චින්තනි අමරසිංහ අංකුර ලේඛිකාවක ලෙසින් මෙරට සාහිත්‍ය ලෝකයට පිවිසියේ මීට වසර හතරකට පමණ ඉහතදීය. ඇගේ පළමු නවකතාව මුහුණු පොත හරහා ජනගත වීමෙන් පසු මුද්‍රණද්වාරයෙන් එළි දුටුවකි. කුඩා කාලයේ සිටම ලියන්නට කියවන්නට වැඩි කැමැත්තක් දැක්වූ ඇය. ලේඛන කලාව ඇසුරු කරන්නේ සිය පාසල් වියේදීමය.
මින් වසර කිහිපයකට ඉහතදි සාහිත්‍ය ලෝකයට ප්‍රවිෂ්ට වුවද, ඇගේ රචනාවන් හි ආධුනික ලක්ෂණ දැකිය නොහැකිය. පරිණත ලේඛිකාවක් ලෙසින් සිය නිර්මාණ කාර්යයේදි පාඨක මනසට නැවුම් අත්දැකීම් ළඟා කරගන්නට ඇය දක්වන සමත්කම අනභිභවනීයය. ආධුනික ලේඛිකාවක් වුවද, ඈ සිය නිර්මාණ කාර්යයේදී බොහෝ නිර්භීතය. ආදරය, ප්‍රේමය සහ මානව සබඳතා විස්තර කිරීමේදී ඒ නිර්භීතභාවය ඇගේ නවකතා තුළ බොහෝ විට දක්නට හැකිය. ගෙවුණු කෙටි කාල සීමාවක් ඇතුළත නව කතා 10ක් රචනා කර ඇති ඇය අපට මුණ ගැසුණේ අහම්බයකිනි. පසු ගියදා ප්‍රවීණ ලේඛිකා ශාන්ති දිසානායක මුණ ගැසීමට ගිය මොහොතකදි චින්තනී අමරසිංහ නම් මෙම ලේඛිකාව මුණ ගැසිණ. මෙම පිළිසදර ඇගේ සාහිත්‍ය දිවිය පිළිබඳ කළ කතාබහකින් සැකසිණ.
ඔබ ලියන්න පෙලෙඹෙන්නේ කොහොමද?
අපේ අම්මා වැඩකළේ ජාතික කඩදාසි සංස්ථාවේ. අපේ ගම වුණේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටි පුංචි ගමක්. ඒ ගමේ නම දබරැල්ල. සබරගමු පළාතේ සහ දකුණු පළාතේ මායිමේ තමයි අපේ ගම පිහිටා තිබෙන්නේ. මම පහ වසරට වෙනකම් මූලික අධ්‍යාපනය ලැබුවේ දබරැල්ල මහා විද්‍යාලයේ. ඒ කාලේ අපේ ගමට ලයිට් තිබුණේ නෑ. අපි ලාම්පු එළියෙන් තමයි පොත් කියවන්නේ. මම පුංචි කාලේ මොන්ටිසෝරි ගියේ නෑ. ටික දවසක් ගිහින් යන්න බෑ කියලා මම ගෙදර නැවතුණා.නමුත් මම දෙක වසරට එනකොට මට ලොකු පොතක් කියවන්න තරම් දැනුමක් තිබුණා. ඒකට හේතුව වුණේ අපේ අම්මා. ඇය කාර්යාලයට ගිහින් එනකොට හැමදාම හවසට පුස්තකාලයෙන් පොතක් ගේනවා. මම කරන්නේ හැමදාම රෑට ඒ පොත කියවලා පහුවදාට අම්මට දෙනවා හවස එනකොට අලුත් පොතක් ගේන්න කියලා. එහෙම තමයි මම කියවන්න පුරුදු වුණේ. මට අවුරුදු 10 වෙනකොට මම ලොකු පොත් ප්‍රමාණයක් කියවලා තිබුණා. මේ කාලේ වෙනකොට මම විශ්ව සාහිත්‍යයත් කියවන්න පටන් ගත්තා. ඒ වෙනකොට මම ලියෝ ටෝල්ස්ටෝයි ගැන පවා දැනගෙන හිටියා.
මම පහේ ශිෂ්‍යත්වය සමත් වෙලා හය වසර සඳහා මාතර සුජාතා විද්‍යාලයට ඇතුළත් වෙනවා. නිවසේ ඉඳලා තියෙන දුර ප්‍රශ්නය නිසා මට නේවාසිකාගාරයේ නතර වෙන්න සිද්ධ වෙනවා. මේ පරිසරය මට නිවෙසට වඩා වෙනස් පරිසරයක්. හරිම ආධුනිකයි. මට යාළුවෝ නේවාසිකාගාරයේ හිටියට ගෙදරින් මට ලැබුණ ආදරයයි මේ පරිසරයයි දෙකක්. මම වැඩියෙන් ආස ගෙදර අයගේ ආදරය මැද්දේ ගෙදර ඉන්න. මේ පරිසර හුවමාරුවත් එක්ක මට ටිකක් වෙනස් අත්දැකිම් විඳීන්න වුණා. බොහෝ වෙලාවට ගෙදරදි වගේ කියවන්න පොත පත මට ලැබුණෙත් නෑ. මේ හුදකලා බව නිසාම මම පාසල් නේවාසිකාගාරයේ ඉඳගෙන ලියන්න පටන් ගත්තා. මගේ ලියවිල්ල ආරම්භ වුණේ එතැනින්. මට දැනුණ දුක, හුදකලාව මම විසින් ගොඩනඟා ගත් මනෝ ලෝකයක් ඇතුළෙ මම ලියන්න පටන් ගත්තා.
මොනවද මුලින්ම ලියන්න පටන් ගත්තේ?
ළමයින්ට ප්‍රේම කතා ලිවීම නේවාසිකාගාරය ඇතුළේ තහනම් වුණා. නමුත් මේ වනවිට මම කියවලා තිබුණු දේවලුත් එක්ක, මම දැනගෙන හිටියා මිනිස්සු අතරේ ප්‍රේමය කියලා දෙයක් තියෙනවා, මානව බැදීම් තිබෙනවා. ඒ අතරේ හරි සංවේදී කාරණා තිබෙනවා කියලා මම දැනගෙන හිටියා. මේ වගේ දේවල් මම ලියන්න පටන් ගත්තා. හැබැයි මම ලියන දේවල් හැම සතියෙම අපේ හොස්ටල් මේට්‍රන් අල්ලනවා. එයා ඒවා විනාශ කරලා දානවා. මම ඊළඟ සතියෙත් ලියනවා. එයා අල්ලනවා. මම ලියනවා. එයා සමහර දවසට මීටින් තියලා කියනවා ළමයි මේ වගේ දේවල් ලියන්න හොඳ නෑ කියලා. අද දකින විදියට ඒක ලොකු පසුගාමී බවක් කෙනෙකුට දැනෙන දෙයක්. ඒ වේගෙන් එදා මම ලිව්වා නම් අද මම මීට වඩා ගොඩාක් දුර ගිහින් කියලා මට හිතෙනවා.
ඔහොම ලිය ලිය ඉඳලා මම උසස් පෙළ කරන කාලේ පොඩි නව කතාවක් ලියනවා. හොස්ටල් මේට්‍රන්ගේ ඩි මෝටිවේෂන් එක නිසා මම ඉස්කෝලේ සාහිත්‍ය තරඟ වලට පවා මම ඉදිරිපත් වුණේ නෑ. මම ලිව්වේ මගේ තෘප්තියට පමණයි. මම ලියනවා මම කියවනවා.එච්චරයි. උසස් පෙළ කරන කාලේ මම ලිව්ව නව කතාව අතින් අත ගියා. මාතර ඉස්කෝලවල හැම කෙනෙක් අතටම මේක අතින් අත ගියා. මේ නව කතාව මම ලිව්වේ පුංචි එක්ස්සයිස් පොතක. අතින් ලිව්වේ. මේ කතාව හරියට ජනප්‍රිය වෙනවා. ඔය අතරේ මම විශ්වවිද්‍යාලයට තේරෙනවා. මේ කාලයේ පිරිමි ළමයෙක් සමඟ ප්‍රේම සබඳතාවයක් ඇති වෙනවා. එයා ගේ කැමැත්තක් තිබුණේ නෑ මම ලියනවට. ඒක නිසා මම අවුරුදු ගණනාවක් ලියන්නේ නැතුව ඉන්නවා. ඒ ප්‍රේම සබඳතාවය අවුරුදු 8ක් විතර තිබුණා. ඒ කාලය පුරාම මගේ අතින් කිසිවක් ලියවුණේ නෑ. විශ්වවිද්‍යාලය ඇතුළේ ඉන්න කාලේ තුළ වුණත් කිසිවක් ලියවුණේ නෑ. මම ආසාවට යමක් ලිව්වත් ඒක මා සන්තකයේ තියා ගත්තා මිසක් කිසිම පබ්ලික් දෙයකට ගියේ නෑ. නමුත් ලියන්න ආස මට මේ තත්ත්වය දරා ගන්න අමාරුයි. ටික කාලයක් යනකොට බොහෝ දේවල් මමම ලියලා තියා ගන්න පුරුදු වුණා. මේ විදියට ලියපු සෑහෙන කතා ප්‍රමාණයක් ඔය විදියට මා ළඟ ඉතුරු වෙන්න පටන් ගත්තා.
ඔබේ පළමුවෙනි පොත එළි දකින්නේ කොහොමද එතකොට?
මම විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ ඉගෙනුම ලබද්දිම රැකියාවකට සම්බන්ධ වෙනවා. මම හැදෑරුවේ ගණකාධිකරණ විෂයය. විශ්වවිද්‍යාලයේ දෙවැනි වසර අවසාන වෙත්දිම මම මගේ වෘත්තීය ජිවිතය පටන් ගන්නවා. ඔඩිට් ඇසිස්ටන්ට් කෙනෙක් විදියට. ඔය විදියට විවිධ තනතුරු දරමින් මම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවට එකතු වෙනවා. 2012 දි මම එතෙන්ට සම්බන්ධ වෙලා වසර 12ක් විතර එතැන රාජකාරිය කරනවා. මේ කාලය ඇතුළත තමයි කොවිඩ් සීසන් එක එන්නේ. මට ජිවිතයේ පළවෙනි වතාවට මාස දෙකක ලොකු නිවාඩුවත් ලැබෙනවා. මේ මාස දෙක ඇතුළත මම ආයෙත් නව කතාවක් ලියන්න පටන් ගන්නවා මුහුණු පොතට. ඒකේ නම ‘සංසාර්යයා’ ඕක මුහුණු පොත පුරා ජනප්‍රිය වෙනවා. සමහරු රෑ දෙක තුන වෙනකම් ඇහැරගෙන බලා ඉන්නවා මම කතාව ලියනකම්. මේක ඉවර වුණාම 2020 කොවිඩ් ඉවර වෙලා ලැබුණු පොඩි ඉඩකඩකදි මේ පොත මුද්‍රණයෙන් එළිදක්වනවා. ඒක තමයි මගේ පළවෙනි පොත. මේ කාලය වනවිට මගේ මුල් රිලේෂන් ෂිප් එකත් බිඳ වැටිලා සෑහෙන කාලයක් වෙනවා. ඒ නිසා විරෝධය පළ කරන්න කෙනෙක් නැහැ. මේ කාලය ඇතුළත මගේ ජිවිතය වෙනස් වෙනවා. මේ වෙනකොට මගේ ස්වාමියා අමිල මුණ ගැසෙනවා. අපි දෙන්නා අතර තිබෙන අවබෝධාත්මක ප්‍රේමය මත ඔහු මගේ කාර්යයන්වලට අත හිත දෙනවා. ඒ අනුව තමයි 2020 මගේ පළවෙනි නවකතා පොත නිකුත් කරන්නේ. අගහස් ප්‍රකාශන ආයතනයේ රංජිත් දිසානායක මහත්මයාට ස්තූති වන්ත විය යුතුයි. ඔහු මාව කවුද කියලවත් දන්නේ නැතුව මේ පොත ප්‍රකාශයට පත් කලාට. අවුරුද්දක් වගේ ඇතුළත පිටපත් 1000ම විකිණිලා අවසන් වුණා.
ඔබේ දුඹුරු විදුරු ඇස් ලියවෙන්නේ කොයි කාලෙද?
නැවත කෝවිඩ් කාලයක් එනවනේ 2022 දි. මේ කාලය වනවිට ප්‍රකාශන ආයතන නෑ. පොත් ප්‍රදර්ශන නෑ. සියල්ලම අඩපණව ගිය කාලයක්. මේ වනවිට මම දුඹුරු වීදුරු ඇස් ලියලා තිබුණේ. මම ලියලා එකතු කරපු කතා අතර තිබුණු කතාවක් තමයි දුඹුරු විදුරු ඇස්. ප්‍රකාශන ආයතන නැති නිසා මම තනියෙන් මේ පොත කර්තෘ ප්‍රකාශනයක් ලෙසින් ඉදිරිපත් කළා. ඒ පොත හෙමින් හෙමින් විකුණුනා. මේ අතරේ මම තව පොතක් ලියන්න පටන් ගත්තා ‘මිඩ් මාර්ච්’ කියලා. සුරිය ප්‍රකාශන අධිපති අතුල ජයකොඩි මහත්මයා මගේ ‘දුඹුරු විදුරු ඇස්’ කියවලා මට ආරාධනා කරනවා කතාවක් ලියන්න. ඒ අනුව තමයි මම මිඩි මාර්චි ලියන්නේ. මේක මගේ ලේඛන ජීවිතේ වෙනස් කඩඉමක් වුණා. මොකද ඒ වනතුරු මම ලිව්වේ ප්‍රේමකතා. මිඩ් මාර්ච් එයින් ටිකක් වෙනස් වුණා. අපේ වගේ පුංචි ගමකින් එන පුංචි ගැහැනු ළමයෙක් ව්‍යවසායිකාවක් විදියට කොහොමද දියුණු වෙන්නේ කියන එක තමයි මේ කතාවෙන් කියවුණේ. මේ ඇතුළේ මගේ අත්දැකීම්, මගේ ගම, මට හමුවූ මිනිසුන් ගැහැනුන් ඉන්නවා.
මේ වෙනකොට පොත් කීයක් ලියලා තියෙනවද?
පොත් දහයක් ලියලා තියෙනවා.මිඩ් මාර්ච් එකෙන් පස්සේ නොහදුනන්නි ප්‍රකාශන ආයතනය මට පොතක් කරන්න කතා කළා.එයාලා මගෙන් වසරකට පොත් දෙකක් බලාපොරොත්තු වුණා. ඔවුන් සමඟ මම ‘චින්නි කෝපි, නිල් මල් පිපිණු පපුවක්’ කියන පොත් දෙක කළා. 2024 ට මම දෙව්මිණි ප්‍රකාශනයක් ලෙසින් ‘මතක කඳු’ කියලා පැහැසර ප්‍රකාශන ආයතනයත් සමඟ අරුණෝද මාත්‍රා කියලා පොතක් කළා. ඊට පස්සේ ‘තිත් යට කොමා’ කියලා පොතක් කළා. නොහඳුනන්නි සමඟ. ආශිර්වාද ප්‍රකාශනයක් ලෙසින් ‘මෙමොසා මංපෙත’ කළා. තව ‘ඩැෆොඩිල් ටෙරස්’ කියන පොත ඉදිරියට එන්න තියෙනවා. මේ සියල්ල එකතු වෙනකොට පොත් 10ක් වෙනවා.
මේ පොත් 10 ලියන්නේ ඔබ වසර කීයක් ඇතුළතද?
වසර 4ක් ඇතුළත.
ඔබේ නිර්මාණකරණය සදහා ඔබට පසුබිම් වෙන්නේ මොනවද?
මම එක එක කාලවලදි එක එක ආකාරයේ අයත් සමඟ විවිධ පැතිවල ජීවත්වෙලා තියෙනවා. ඒකට මම හරිම ආසයි. මම හරි ආසයි මිනිස්සුන්ව දකින්නයි කියවන්නයි. ඒක මගේ විනෝදාංශයක් මිනිස්සු කියවන එක, මිනිස්සුන්ගේ ජිවිතේ කොහොමද හැසිරෙන්නේ කියන එක කියවන්න මම ආසයි. මේක ඕපදූප නොවෙයි. මිනිස්සුන්ව කියවනවා කියන එක මාර දෙයක්. අපි ඒක ඒ වෙලාවේ අත්දැකීමක් විදියට ගත්තට ඒක අපේ හිත්වල තැන්පත් වුණාම අපි පොතක් ලියනකොට, විවිධ චරිත ගොඩනගද්දි ඒවා අඩුවැඩි වශයෙන් අපට මතක් වෙනවා. මේ වගේ හැදෙන චරිත ගැන මම සැලකිලිමත් වෙනවා.
මම කෙටි කාලයක් විදේශ ගත වෙලා හිටියා.අබුඩාබි රටේ. එතකොට මම එහෙදි දැක්ක ලංකාවේ මිනිස්සු ගිහිල්ලා, සමහරුන්ගේ භද්‍ර යෞවන කාලේ පැය 24ම වැඩ කරන මිනිස්සු ඉන්නවා එහේ. ඒ අයගේ විවේක දිනයකදි ඔවුන් කොහොමද ඉන්නේ ආදිය මම අධ්‍යයනය කළා. ඕක පාදක වුණා මගේ ‘මිමෝසා මංපෙත’ පොත ලියද්දි.
මම ගොඩාක් වෙලාවට ධනාත්මක අවසානයන්ට යන කෙනෙක්. මම විශ්වාස කරනවා මිනිස්සුන්ගේ ජීවිතවල හැමදේම වෙන්නේ හොඳට කියලා. සමහර අන්ත බිදවැටීම් තිබෙනවා. හැබැයි ඒ බිදවැටීම් ඒ අවස්ථාවේදී දුකක් කලකිරීමක්. නමුත් ටික කාලයකදී ඒක අත්දැකීමක්. අනිවාර්යයෙන්ම කෙනෙකුට යමක් නැති වෙන්නේ, නියත දහම ඇරුණු කොට, ඒක නැතිවීම, බිඳවැටීම හරහා හැදෙන අවකාශය ඊට වැඩිය ලොකු දෙයක් වෙනුවෙන් තමයි හැදෙන්නේ කියලා මම විශ්වාස කරනවා. මම ධනාත්මක චින්තනය බෙහෙවින්ම විශ්වාස කරන නිසා. මම හිතනවා කෙනෙක් විශ්වාසයක් තියෙනවා නම්, ඒකතමයි මිනිසෙකුගේ ජයග්‍රහණය කියලා. ඒ හින්දා මම මගේ කතා පොත්වල අවසානය ධනාත්මකයි.
මට විවේචන තියෙනවා. කොහොමද එහෙම වෙන්නේ කියලා. මේ සිද්ධ වෙන දේවල්ද? කියලා. මම කියනවා වෙනවා කියලා. තමන් විශ්වාස කරනවා නම් තමන්ට මේක වෙනවා කියලා.ඒක මොන ක්‍රමවේදයක් වෙලා හරි වෙනවා. ඒක නොවෙනවා නම් නොවෙන්නේ ගමනට ලොකු බලපෑමක් වෙනව නම් මිසක්, ඒ කියන්නේ ඊට වඩා හොඳක් වෙන්න තියෙන නිසයි. මලක් නොවෙයි, මල් උයනක් වෙන්න කියලා මිසක් නැත්නම් වෙන දෙයක් නිසා නොවෙයි.
ඔබේ රැකියාව හා අධ්‍යාපනය කලාවෙන් බැහැරව ඉලක්කම් සමග ගණු දෙනු කෙරිල්ලක්. කොහොමද අකුරු සමග ගණු දෙනු කෙරිල්ල මේ තුළ සමාන්තර වෙන්නේ?
මගේ මොළයේ වම් පැත්තයි දකුණු පැත්තයි ටික ටික වැඩ කියලයි මම කියන්නේ. ඉලක්කම් කියන්නේ තාර්කික පැත්තනේ. අකුරු කියන්නේ කලාව. මේ දෙකම එක විදියට ගොඩක් අයගේ වැඩ කරන්නේ නෑ. මම දැනට වැඩ කරන්නේ සාගර විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ සහකාර අධ්‍යක්ෂ, ප්‍රසම්පාදන හා ගබඩා. එතෙන්ට එනකම් මම හොඳ ගමනක් ඇවිත් තියෙනවා. මම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ ජ්‍යේෂ්ඨ සහකාර මුල්‍යාධිකාරී වශයෙන් වසර 10ක සේවා කාලයෙන් පස්සේ මෙතනට ආවේ. ගණකාධිකාරිවරියක් වශයෙන් අබුඩාබිවල වැඩ කරලා තියෙනවා. ලංකාවේ තව පෞද්ගලික ආයකනවල වැඩ කරලා තියෙනවා.
ඉතින් මගේ වෘත්තිය ජිවිතේ ගත්තත් ඒකත් සාර්ථකයි. නිර්මාණ ජීවිතේ ගත්තමත් ඒකත් සාර්ථකයි කියලා මට හිතෙනවා. මගේ බලාපොරොත්තුව ඇත්තටම තවදුරටත් ඉගෙන ගන්න. ජනසන්නිවේදනය මාධ්‍ය පැත්ත ගැන මට න්‍යායාත්මකව ඉගෙන ගෙන නැහැ. මම මේ ලියන්න උපන් හැකියාවට. මම සිංහල භාෂාව හදාරල තියෙන්නේ සාමාන්‍ය පෙළට විතරයි. මට ඕන වැඩිදුර ඉගෙන ගන්න. මම මාස්ටර් ඩිග්‍රි එකක් වෙනකම් ගණකාධිකරණය හැදෑැරුවා. චාර්ටඩ් වලත් මම දෙවැනි අදියර සම්පූර්ණ කරල තියෙන්නේ.
ඔබේ වෘත්තීය ජිවිතය සහ සාහිත්‍ය ජිවිතයෙන් වැඩි කැමැත්ත කොයි පැත්තටද?
ඇත්තටම කිව්වොත් මම සාහිත්‍ය ජිවිතයට වැඩියෙන් කැමැතියි. තව උත්සාහ කළොත් මට බොහොම පහසුවෙන් මගේ වෘත්තීය ජීවිතයේ ඉහළට යන්න පුළුවන්. නමුත් මම මගේ නිර්මාණ ජීවිතයට බෙහෙවින්ම ආදරෙයි.
නිර්මාණ ජීවිතේ ඉදිරි බලාපොරොත්තු මොනවද?
දැනට මම ප්‍රේම කතා ලියාගෙන යන කෙනෙක් විදියට තමයි හඳුන්වන්නේ. අපේ කතා බොහෝ දුරට වැටෙන්නේ ‘මල්’ කතා විදියට තමයි. නමුත් මම ඒකේ වැරැද්දක් දකින්නේ නෑ. මල් කතා කියන්නෙත් සාහිත්‍යයක්. වසර දෙදාහෙන් පස්සේ ලංකාවේ අවුරුදු 10- 15ක ලොස්ට් ජෙනරේෂන් එකක් ඉන්නවා. ඒ අයට කියවන්න දේවල් නෑ. එක යුගයක ආපු ‘සදරේණු’ ‘සුවඳ’ වැනි පත්තරවලින් පස්සේ යොවුන් සාහිත්‍ය කලාවක් නෑ. ඒ හිඩැසත් සමඟ ගොඩනැඟුණු පරම්පරාවක් ඉන්නවා.
ඉස්සර අපි ප්‍රේම කතාවක් ලියද්දි තිබුණු පරිසරය දැන් ඉන්න වර්තමාන තරුණ තරුණියන්ට පුදුමයක්. ඒ අය ජීවත් වෙන්නේ තාක්ෂණයත් සමග වැඩුණු පරිසරයත් එක්ක. ඒ අයට යමක් දෙන්න දැන් අපිත් අප් ඩේට් වෙන්න ඕන. අඩු තරමින් ඊ වර්ෂන් එකක් වත් තමයි ඒ අයට දෙන්න වෙන්නේ. එහෙම නැතුව අපි පුරුදු වෙලා ඉන්න පොතේ සුවද විද විද පොත පෙරළමින් කියවන පුරුද්ද ඔවුනට නෑ. මට හිතෙනවා වර්තමානයෙන් ඒ අය මහන්සි වෙලා අතීත ප්‍රේමය ගැන හොයයි කියලා කවදහරි දවසක.
ඔබට පුර්වාදර්ශ සපයපු ලේඛක ලේඛිකාවන් ඉන්නවද?
මම කුඩා කාලයේ පටන්ම කියවපු එක තමයි මට ලැබුණු ලොකුම පුර්වාදර්ශය. අතට අහුවුණු හැම දෙයක්ම මම කියවපු ළමයෙක්
ඔබේ බලාපොරොත්තු මොනවද?
සාහිත්‍යය තුළින් ලෝකයට ආදරය වපුරන්න ඕන. මේ ලෝකයට අඩු ආදරය. ඒක තමයි මගේ බලාපොරොත්තුව.
සේයාරූ – මාලන් කරුණාරත්න
සේයාරූ – නිශ්ශංක විජේරත්න
හේමාලි විජේරත්න