මේ දිනවල තිරගත වන සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ගෞතම බුද්ධ මාතා චිත්‍රපටයේ ජනපද කල්‍යාණිය ලෙසින් රිදී තිරයට හා හා පුරා කියා ගොඩවෙන ඇය නිලූෂි පවන්යා ය. ටෙලි තිරයෙන් අප හඳුනාගත් ඇයගේ රිදී තිර සම්ප්‍රාප්තිය පිළිබඳවත් ඇගේ නවතම තොරතුරු පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කෙරේ.
මේ දිනවල තිරගතවන ගෞතම බුද්ධ මාතා චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
“ගෞතම බුද්ධ මාතා” චරිතයට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මා එහි නිරූපණය කරන්නේ “ජනපද කල්‍යාණියගේ” චරිතය. ඇත්තටම මේ චිත්‍රපටිය බලලා මට කතා කරපු බොහෝමයක් අය හිටියා. ඉතින් හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.
ඔබව “ජනපද කල්‍යාණිගේ” චරිතයට තෝරාගත්තම මොකද හිතුණේ?
ගොඩක් ලොකු සතුටක් ඇතිවුණා. මට මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සමග මීට අවුරුදු හතරකට විතර පෙර වැඩ කරන්න අවස්ථාවක් උදාවුණත් එම නිර්මාණයට දායක වෙන්න නොහැකි වුණා. ඊට පස්සේ අවුරුදු හතරකට පස්සේ තමයි මේ චරිතයට ආරාධනා කළේ.ඇත්තටම ලොකු සතුටක් ඇතිවුණා ඒ වෙලාවේ. මේ චරිතය විශේෂ චරිතයක්. අවසානයේ හිස මුඩු කරගෙන කසාවත් අඳීන චරිතයක්. ඇත්තටම පෞද්ගලිකව මම ඒ චරිතය ලැබීම පිළිබඳව සතුටු වෙනවා.
සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන් වැනි ප්‍රවීණයෙක් යටතේ වැඩ කරන්න ලැබුණු අවස්ථාව ගැන මොකද හිතෙන්නේ?
මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සිනමාවේ ප්‍රවීණයෙක් ඒ වගේම කලා ලෝකයේම ජ්‍යේෂ්ඨයෙක්. එවැනි කෙනෙක් සමඟ වැඩ කරන්න ලැබීමම විශාල භාග්‍යක්. මොකද මං හිතනවා එතුමන්ගේ නිර්මාණවලට දායක වන බලාපොරොත්තුවෙන් ඉන්න ලොකු පිරිසක් ඉන්නවා. ඒ අතරින් මට ලැබුණු අවස්ථාව ගැන සතුටුයි. ඒ වගේම එතුමාගෙන් ලැබුණු ගුරුහරුකම් මට විශාල පිටිවහලක් වුණා. පෞද්ගලිකවත් එතුමාගේ ජීවිතයෙන්ම ගන්න පුළුවන් බොහෝ ආදර්ශ තියෙනවා. ඉතින් මම ගොඩක් සතුටු වෙනවා ඒ ලැබුණු අවස්ථාව ගැන.
ඔබගේ පළමු සිනමා නිර්මාණය මෙයද?
මගේ පළවෙනි සිනමා නිර්මාණය මෙය නෙවෙයි. නමුත් පළමුව තිරගත වන චිත්‍රපටය ගෞතම බුද්ධ මාතා චිත්‍රපටයයි. ඇත්තටම සිනමා තිරයේ මාව පළමුව දකින්නේ මේ චිත්‍රපටයෙන්.
නිලුෂි ඉදිරියටත් සිනමා නිර්මාණ වලින් දැකගන්න පුළුවන්ද ප්‍රේක්ෂකයන්ට?
ඔව් ඉදිරියේදීත් සිනමා නිර්මාණවලින් ප්‍රේක්ෂකයන්ට මාව දැකගන්න ලැබෙයි. මං එන්නේ මුලින්ම පුංචි තිරයෙන්. ඉතින් පුංචි තිරයෙන් වගේම රිදී තිරයෙනුත් මාව දැක ගන්න හැකිවේවි.
ඔබ කොහොමද රංගනයට පිවිසෙන්නේ?
ක්ෂේත්රයට පිවිසෙන්නේ 2018 වර්ෂයේ දී. මම නිරූපණ තරගයක විනිශ්චය සඳහා ගිය අවස්ථාවක සනෝජා බිබිලේ ප්‍රකට රංගන ශිල්පිනියව මට මුණගැසෙනවා. ඇය තමයි මට කිව්වේ හොඳ උසක්, ඒ වගේම හොඳ ලුක් එකක් තියෙන නිසා රංගනයට එන්න කියලා. අහම්බෙන් වගේ තමයි මම මේ ක්ෂේත්රයට ආවේ. රංගනයට 2018 අවුරුද්දේ ආවාට ඊට පෙර නිරූපණය, නිවේදනය, නර්තනය ආදී විවිධ වැඩ කටයුතු කළා. ඒ වගේම මම 2009 අවුරුද්දේ අයි. ටී. එන් එකේ අවුරුදු කුමාරි තරඟයෙන් තෙවන ස්ථානය දිනාගත්තා. ඇත්තටම රංගනය මගේ හිතේ තිබුණු දෙයක් නෙවෙයි. ඒත් මේ වෙනකොට මම ගොඩක් ආස කරන දෙයක් රංගනය කියන්නේ.
පුංචි තිරය සිනමාව වේදිකාව යන අංශ තුනෙන් නිලූෂි වැඩියෙන්ම කැමති මොන අංශයටද?
මම මේ තුනටම කැමතියි. සිනමාව කියන්නේ එක පැත්තක්, පුංචි තිරය තව පැත්තක්, වේදිකාව කියන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් පැත්තක්. වේදිකාවේදී ප්‍රේක්ෂකයින්ට සජීවීව අපිව දැක ගන්න පුළුවන්. මම වේදිකා නිර්මාණවලට දායක වෙලා නැහැ. නමුත් වේදිකා නාට්‍යයකට දායක වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒකට ලොකු කාලයක් වැය කරන්න ඕනි විශේෂයෙන් පුහුණු වීම් වලට එහෙම. මට තියෙන කාලය අඩුකම නිසා වේදිකා නාට්‍යයකට ආරාධනා ලැබිලත් සම්බන්ධ වෙන්න නොහැකි වුණා. නමුත් මම කැමැත්තෙන් ඉන්නවා එක හෝ වේදිකා නාට්‍යයකට සම්බන්ධ වෙන්න.
ඔබ නර්තන ශිල්පිනියක් ඒ ගැනත් කියමු.?
ඔව් මම නර්තන ශිල්පිනියක්. මම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙන් තමයි නර්තන උපාධිය හදාරන්නේ. නර්තන කටයුතු රංගනයට පිවිසුණාට පස්සේ ගොඩක් දුරට මගහැරෙනවා. හැබැයි නර්තනය මගේ ඇඟේම තියෙන දෙයක්. ප්‍රශ්නයක් වුණත්, හිතේ තියෙන ආවේගයකදිත් මම ඩාන්ස් කරන අවස්ථා තියෙනවා. අපේ ප්‍රශ්න වුණත් සුළු වෙලාවකට හරි අමතක කරන්න පුළුවන් දෙයක් නර්තනය කියන්නේ. ඒක සෞඛ්‍යයටත් ඉතා හොඳයි.
කලා ක්ෂේත්රයේ ඔබට ඉන්න හොඳම යාළුවෝ කවුද?
ඇත්තටම කලා ක්ෂේත්රයේ මට හොඳම යාළුවො නෑ. මගේ හොඳම යාළුවො දෙන්නා නර්තනී රාජපක්ෂ ඒ වගේම ඩොක්ටර් ප්‍රමිලා රණසිංහ. මේ දෙන්නා තමයි මං ළඟින්ම ආශ්‍රය කරන යාළුවෝ දෙන්නා. මේ ක්ෂේත්රය ඇතුලේ ඉන්න හැමෝම මගේ යාළුවෝ. වැඩවලදී අපි මුණ ගැහෙනවා, කතා බහ කරනවා. නමුත් හොඳම යාළුවෝ කියලා කවුරුත් කලා ක්ෂේත්රයේ නෑ.
පවුලේ විස්තර කොහොමද?
මට අම්මා, තාත්තා, අයියලා දෙන්නා සහ අක්කා කෙනෙක් ඉන්නවා. මගේ තාත්තා රජයේ සේවකයෙක්. තාත්තා පහුගිය දවස්වල අනතුරකට මුහුණ දීලා හිටියේ. දැන් ටික ටික සුව වෙමින් ඉන්නවා. අම්මයි තාත්තයි නිරෝගීව ඉන්නවා දකින එකයි මගේ සතුට.
නිලූෂී දැන් පෙම්වතියක්ද?
මම පෙම්වතියක් නෙවෙයි. මං තවම සින්ගල්. ආදරය ගැන මන් තවම හිතන් නෑ. මුලින්ම මං මාව ගොඩනඟා ගන්න ඕනි. ඉතින් එතකන් ආදරයට පොඩි බ්රේක් එකක් අරන් තියෙන්නේ.
2025 අවුරුද්දේ අලුත් වැඩකටයුතු මොනවාද?
අලුත් බලාපොරොත්තු ගොඩක් තියේ. මගේ අලුත් චිත්‍රපට දෙකක් තිරගත වෙන්න නියමිතයි මේ අවුරුද්දේ.ඒ වගේම ටෙලිනාට්‍ය දෙකකුත් විකාශනයට නියමිතයි. මම නිරූපණ ක්ෂේත්රයේ ලොකු වැඩකට අතගහලා තියේ.ඉතින් ඒකත් මේ අවුරුද්දේ කරන්න හිතන් ඉන්නවා. 2025 අවුරුද්ද හැමෝටම හොද අවුරුද්දක් වේවි කියලා මං හිතනවා.
රන්දික මධුෂාන්