ලෝකයේ බොහෝ සිනමාපටයන් තුළ නර්තනය මුසු වු රංගනයන් අපට දැක ගත හැකි වෙනවා. එනමුත් සමස්ත චිත්‍රපටය පුරාවටම නර්තන විෂය කතිකාවට බදුන් කරගනිමින් එහි දර්ශන තලයට විශාල අවකාශයක් ලබාදෙන නිර්මාණයන් විරලයි. වාණිජකරණයට ලක් වූ සමාජ වපසරිය තුළ අභාවයට යන දේශීය සාම්ප්‍රදායික කලා උරුමයක් වූ නර්තන විෂයම තේමා කරගත් “ශේෂ චිත්‍රපටිය” එවන් වූ දුර්ලභ ගණයේ නිර්මාණයක්. ඉසුරු ගුණතිලකගේ කුලුඳුල් සිනමා නිර්මාණයක් වන “ශේෂ” 2024 වසරේදී කෑන්ස් ලෝක සිනමා උලෙළේ ලෝකයේ හොඳම නර්තන සිනමාපටයට හිමි සම්මානය දිනා ගත්තා. එහි නර්තන ගුරුන්නාන්සේගේ බෙරවාදන ශිල්පියා වූ “හේතුවා” ගේ දියණිය වන “සරලා” ගේ චරිතයට පණ පොවන්නී ඇයයි. මෙවර අප හා සුහද පිළිසදරෙහි එක්වෙන ඇය සම්මානීය රංගන ශිල්පිනී ඉරුදිනි උමාලී තිලකරත්න.
උමාලී ඉතින් කොහොමද ? මේ දවස්වල මොනවද ඔබේ වැඩකටයුතු ?
හොඳීන් ඉන්නවා.
මේ දිනවල රංගන හා ප්‍රාසාංගික වැඩ කටයුතු කරමින් කාලය ගත කරනවා.
පසුගිය 27 වෙනිදා
LBW සුපුන් රත්නායකගේ කොටස් 35 ක ටෙලිනාට්‍යය රූගත කිරීම් සම්පූර්ණ කළා. ඉදිරියේදී රොහාන් පෙරේරා ගේ “සීගිරි ” චිත්‍රපටයත් තිරගත වීමට තියෙනවා. සම්පත් ශශ්‍රී රෝෂන්ගේ “එමලි” චිත්‍රපටයේ හඬකැවීම් ආරම්භ කරන්න නියමිතයි. රාජිත දිසානායක සමඟ නව නිෂ්පාදනයක පෙර පුහුණුවීම් අඛණ්ඩව කරගෙන යන ගමන් ඉන්නවා. ජුලි 6 වෙනිදා බන්දුල නානායක්කාරවසම් ගේ ‘රෑ ඉර පාන’ ගී ප්‍රසංගය BMICH එකේ දී පැවැත්වෙනවා. අගෝස්තු 3 වෙනිදා Beat Drummers ලාගේ “බෙරClinic ” සජීවී ප්‍රසංගය විහාර මහා දේවි එළිමහන් රංග පරිශ්‍රයේ දී සිදු කරනවා. මේ දෙකටම මම ගායනයෙන් සම්බන්ධ වෙනවා.
චිත්‍රපට රූගත කිරීමකට ජුලි මාසය වෙන් කරගෙන ඉන්නවා.
නාමල් ජයසිංහ නිර්මාණය කළ “හුස්ම මගේ” කෙටි චිත්‍රපටිය එලි දැක්වීමට නියමිතයි. එයට සමගාමීව නිර්මාණය කළ ” හදවතට ලංවෙන්න” කියන මං ගායනා කළ ගීතය YouTube නාලිකාවේ දැන් අසන්න, නරඹන්න පුලුවන්.
ලෝකයේ හොදම නර්තන සිනමාපටයට හිමි සම්මානය කෑන්ස් ලෝක සිනමා උළෙලේ දී “ශේෂ” දිනාගත්තා. එවැනි නිර්මාණයකට දායක වීම පිළිබද ඔබට මොකද හිතෙන්නේ?
දේශීය නර්තනය කියන්නෙ මගෙ කලා ජීවිතයට අඩිතාලම එලපු විෂයය වගේම මගේ ජීවිතයට එදත් අදත් බද්ධ වූ විෂයයක්. ඒ හා සම්බන්ධව ගෙතුනු නිර්මාණයකට රංගනයෙන් දායක වෙන්න තීරණය කළ එක ගැන මම සතුටු වෙනවා. ඒ නිර්මාණය විදෙස්වල ඉන්න ලාංකිකයන්ට දැක බලා ගන්න ලැබුණු එක ගැනත්, යුරෝපයේ දර්ශනවාර වලට සම්බන්ධ වෙලා ප්‍රේක්ෂකයන්ගේ අදහස් අහන්න අවස්ථාව ලැබුණු එක ගැනත් මං සතුටු වෙනවා.
මේ නිර්මාණයට සම්බන්ධ වෙන්න ලැබුණේ කොහොමද ?
මට මෙහි රඟපෑමේ අවස්ථාව හිමි වුනේ ඉසුරු ගුණතිලකගේ ආරාධනාව මත.
විදේශයන්හි “ශේෂ” තිරගත වෙද්දී එහි “සරලා” ට ලැබුණු ප්‍රතිචාර කොහොමද ?
සෑහීමට පත් වෙන ප්‍රතිචාර මට ලැබෙනවා. ඒ අතර විදේශීකයන්ගෙන් පවා නැවුම් ප්‍රතිචාර ලැබුණා. සමාජේ එහෙම අවස්ථා දුර්ලභයි.”ශේෂ” ලංකාවේ ප්‍රදර්ශනය වීමට තාම වරම් නැහැ. ඉදිරියේදී බලමු.
ශේෂ කණ්ඩායමෙන් ඔබට ලැබුණු සහයෝගය කොහොමද?
මෙහි විවිධ අංශවල මූලිකත්වය ගත්තේ එහි අධ්යක්ෂ වන ඉසුරු වගේම තරුණ පිරිසක්. කැමරාකරණයෙන් චින්තක, සංස්කරණයෙන් හා හඬ පටිගතකිරීමෙන් හරිත, නිෂ්පාදන කණ්ඩායමේ රවිඳුත්, ලහිරුත්, ඇඳුම් නිර්මාණයෙන් චතූ ගම්ලත් විශේෂයෙන් මතක් කළ යුතුයි. රත්නපුර ප්‍රදේශයේදී නවාතැන් කටයුතු පිළිබඳ සෙවීම්වල නිරත වූ හා මේ කාර්යයට සම්බන්ධ වූ සියලු දෙනාගේ දායකත්වයත් මෙහිදී මතක් කළ යුතුයි. යොහාන්, රංගනයේ යෙදුණු කෙනෙක් නොවුනත් ඔහුගේ තිබූ උනන්දුවත් විනයත් මම අගය කරනවා. ඒ වගේම රවිබන්ධු විද්‍යාපති ගුරුතුමන් මට මේ චිත්‍රපටයට දායක වෙන්න තීරණය ගන්න දුන්නු මුල් පන්නරය මතක් කළ යුතු වෙනවා. චන්දන වික්‍රමසිංහ ගුරුතුමා රංගනයෙත් නර්තනයෙත් වෙනස්කම් හඳුනාගනිමින් බොහොම නිහතමානීව හා සහයෝගයෙන් එම කාර්යයේ නිරත වුණු හැටි සිහිපත් කල යුතුයි. මල්කාන්ති ජයසිංහ, මෙහි සිනමා රචක සමන්ත ගමගේ, තිළිණ, නලින් ප්‍රදීප් උඩුවෙල හා නර්තන ගෝල පිරිසට සිටිය ශිල්පීන්ගේ සහයෝගයත් අනිවාර්යයෙන් මතක් කළ යුතු වෙනවා.
ශේෂ චිත්‍රපටියට සම්බන්ධ වීමේදී ශේෂ වූ මතක මොනවාද?
මොන බාධක ආවත් මේ කණ්ඩායම පසු නොබැස මේ නිර්මාණය සම්පූර්ණ කලානේ කියන තෘප්තිය තමයි ශේෂ හරහා මගේ මතකයේ රැදුණේ.
ඔබ යම් චරිතයක් තෝරා ගන්නේ ඒ විෂය පිළිබද හැදෑරීමක් කරලාද? නැත්තම් ඒ විෂය පිළිබද හැදෑරීමක් අපේක්ෂාවෙන්ද ?
රංගනය කියන්නෙ විෂයයක්.ජීවිතයේ සමස්ත පැවැත්ම හා බද්ධ වෙන විෂයයක්.
රංගනය වෙනුවෙන් හැදෑරිය යුතු සියල්ල පෙර හැදෑරීම රංගන ශිල්පියෙකුගේ කාර්යයක් ලෙස මම දකිනවා.
ඔබ රංගනයට අවතීර්ණ වුණේ සිනමාවෙන්. රංගන ශිල්පිනියක් ලෙස ඔබ අද සෑහීමකට පත්වෙනවාද?
ඔව්. මට කරන්න ලැබෙන හා ඒ අතුරින් කරන්න බාරගන්න රංගන කාර්යයන් කැපවීමෙන් කරන්න උපරිම උත්සාහ කරනවා. ඒ ගැන සෑහීමට පත් වෙනවා. නමුත් ලංකාවේ කර්මාන්තයක් විදිහට අපි ඉන්නෙ බොහොම දුර්වල මට්ටමක. ඒ විනය හා යාන්ත්‍රණය ගැන සෑහීමකට පත් වෙන්න බැහැ.
පසුගිය කාලවකවානුව තුළ සිනමාශාලා වැසීයාමක් දක්නට තිබුණා. වත්මනෙහි You Tube හරහා චිත්‍රපටි නරඹන ප්‍රේක්ෂක පිරිසක් ද නිර්මාණය වෙලා තියෙනවා. ලංකාවේ සිනමා කර්මාන්තයෙහි අභිවෘද්ධිය උදෙසා කුමක් ද සිදු විය යුත්තේ යන්න ඔබේ අදහස දැනගන්න කැමතියි?
රාජ්‍ය තාන්ත්‍රිකව ප්‍රතිපත්ති සැකසිය යුතුයි. ඒවගේම රාජ්‍ය අනුග්‍රහය ලැබිය යුතුයි. සිනමා ශාලා තවත් ගොඩනැගී නඩත්තු විය යුතු වෙනවා. නිෂ්පාදන හා නිර්මාණකරුවන්ට තම කටයුතු කරගැනීමට පහසු වාතාවරණයන් ගොඩනැගිය යුතුයි. Youtube වැනි platforms හෝ රූපවාහිනී නාලිකා හරහා බලන්න වෙන්නේ ඒ නිෂ්පාදකයින්ට තම නිෂ්පාදනය වෙන පෙන්නන්න තැනක් ඉතිරි නොවෙන නිසා වෙන්න පුලුවන් නේ. කෙටියෙන් කිව්වොත් සියලු පාර්ශ්වයන් ලාබ ලබන කර්මාන්තයක් බවට පත් කරන්න සියලු පාර්ශවයන් මහන්සි විය යුතුයි. නමුත් එය වෘත්තීය ගරුත්වයක් ඇතිව සිදුවිය යුතු දෙයක්.
ආනන්ද අබේනායක අධ්‍යක්ෂණය කළ “පීතෘ” ටෙලිනාට්‍යයෙහි ගෞරි ලෙස දියණියකගේ චරිතය නිරූපණය කළ ඔබ සැබෑ පීතෘව දකින්නේ කොයි විදිහටද ?
මගේ තාත්තා අසාමාන්‍ය අද්විතීය චරිතයක්. ඔහු නිතරම ඇස් මානයේ නොසිටියට අම්මා හරහා හෝ තම කාර්ය මණ්ඩලය හරහා හෝ මට ලැබෙන්න අවශ්‍යය හැම දෙයක්ම ලබා දෙන්න මහන්සි වූ කෙනෙක්. ඔහුට අහිමි වූ ලෝකය මටත් මගේ මල්ලිටත් ලබා දෙන්න මහන්සි වූ කෙනෙක්. අපිට ලෝකය පෙන්වන කෙනෙක්. අත්‍යවශ්‍ය වෙලාවට අත්‍යවශ්‍ය සියලු දේ ළඟා කරගන්න දක්ෂ කෙනෙක්. උපරිමයෙන් දානය ප්‍රගුණ කරන කෙනෙක්. අසාධාරණය ඉදිරියේ නොසෑහෙන්න කිපෙන සාධාරණ මනුස්සයෙක්. මතින් දුමෙන් තොර නිර්මාංෂී කෙනෙක්. තමන් ළඟ රැකියා කරන අය වෙනුවෙන්, විශ්‍රාම නොයා, අදටත් මහන්සි වෙන ව්‍යාපාරිකයෙක්. රටට ජාතික මෙහෙවරකට උරදෙන්න දැඩි තීරණ අරන් විදෙස් රටක පදිංචි නොවී ස්වඋත්සහයෙන් තමන්ගෙ ආයතන ගොඩනගාගත්ත, රටට නව නිෂ්පාදන හඳුන්වා දුන්න ව්‍යවසායකයෙක්. තේ කර්මාන්තය සම්බන්ධව හසල දැනුමක් ඇති, තමන්ගේ අත්දැකීම් බෙදාගන්න, තව කෙනෙක්ට අනුප්‍රාණයක් ඇතිකරවන්න පොත්පත් පවා ලියන කෙනෙක්. නිතර දෙවෙලේ තොඳොල් බස් හුරතල් කිරීම් ඔහු ළඟ නෑ. නමුත් පවුලේ වැඩිමලා හැටියට බොහොම තරුණ කාලෙක වගකීම කරට ගත්ත කෙනෙක්. සංගීතය, ගීතය දැඩි සේ රසවිඳීන කෙනෙක්. මොන දේ වුණත් අපේ අම්මාව රකින ස්වාමියෙක්. බොහෝ අයට මගෙ තාත්තා වගේ චරිත කියවගන්න අපහසුයි. ඒත් ඔහු පිදිය යුතු මනුස්සයෙක්.
ගෞරි තුළින් උමාලී ජීවීතය දකින්නේ කොහොමද?
උමාලි ජීවිතේ කියවනවා.
චරිතයකට අදාළව එයාගේ ජීවිතය දකිනවා, රංගනය හරහා ඒ ජීවිතය ප්‍රේක්ෂකයාට පෙන්වනවා.
උමාලී පිළිබඳ උමාලීගේ කියවීම මොනවගේද ?
හැමදාම අලුත් දෙයක් මම මා ගැන ඉගෙනගන්නවා. නිර්මාණකරණයේ යෙදෙන්න කැමති, ඉගෙනගත්ත දෙයක් තව කෙනෙක් එක්ක බෙදාගන්න කැමති, කියලා දෙන්න කැමති, සියලු දේට උපේක්ෂාවෙන් මෛත්‍රීයෙන් මුහුණ දෙන්න කැමති සාමාන්‍ය මනුස්සයෙක් මං.
කාන්තාවන් වෘත්තීය ලෙස රංගනයෙහි නිරත වීම පිළිබඳ ලාංකික සමාජය දරන දෘෂ්ටිය වෙනස් වෙනවා. ඒ පිළිබඳ ඔබේ මතය ?
ඔව්. “කාන්තාවක්” කියන මානසික මට්ටමෙන්ම වැඩ කරන්න අපහසු කර්මාන්තයක්. ඒකට හිත විවිධ ආකාරයට හසුරුවන්න පුරුදු වෙන්න ඕනේ. රංගනය කියන විෂයය බැරෑරුම් මතුපිටින් දකිනවාට වඩා. මනා කළමනාකරණයක් නැති වුනොත් වෙන්න පුළුවන් දියුණුවට වඩා හානිය වැඩියි. නමුත් ජීවිතයේ විවිධ පැතිකඩ අත්විඳීන්න, අත්දැකීම් ලබන්නට පුළුවන් විෂයක්. මේ වෘත්තීය හැමෝටම නොලැබෙන වරමක්. ඒ ලැබෙන අවස්ථාවන් හසුරවන්න අපි දක්ෂ විය යුතුයි. වෘත්තීයමය විනයක් නැතුව දිග ගමනක් යන්න අපහසුයි.ඒ ඇරුණු විට බාහිර සමාජය හිතන පතන විදිහ හා ඒ පිළිගැනීම බලාපොරොත්තුවෙන් පමණක් නිරත වෙන්න පුළුවන් වෘත්තීයක් නෙමෙයි මේ. හිත සවිය තිබිය යුතුයි. සම්මතයත් අසම්මතයත් කියන පැතිකඩ දෙකම නියෝජනය කරන ක්ෂේත්රයක් තමයි කලාව හා ඒ මාධ්‍යයන්. ඒ ස්වභාවය හඳුනාගැනීම වැදගත්.
ඔබ චරිතයන් ආත්මීකරණය කර ගැනීමේදී සංවේදී වූ අවස්ථා තිබෙනවාද?
ඔව්. චරිතයට අදාළව සංවේදී වීම රංගනය ක්‍රියාවලිය තුලදී මං සිදුකරනවා.
ඔබ රංගන ජීවිතයේ මෙතෙක් ලැබූ ජයග්‍රහණ මොනවාද?
…ඇගැයීම්…
*”පූජාසනය” (2017)-සිග්නීස් කුසලතා සම්මානය
* “අරුංගල්” (2010)
-වසරේදී හොඳම සහය නිළිය- ස්ටේෂන් ටෙලි සම්මානය,
*”බෝහිමියානුවා”(2017)හොඳම නිළිය – සිග්නිස් සම්මානය, සුමති ටෙලි සම්මානය සහ රයිගම් ටෙලි සම්මානය,
* “නිනෝ ලයිව්” (2018)
නැගී එන නිළිය – දෙරණ සිනමා සම්මානය ,
* “A Level” (2018)-හොඳම සහය නිළිය-හිරු ස්වර්ණමය සම්මානය, දෙරණ සිනමා සම්මානය,
* ” නිනෝ ලයිව් “(2019)- හොඳම පසුබිම් ගායිකාව- ජනාධිපති සිනමා සම්මානය
* “සංසාරාරණ්‍යය අසබඩ” ටෙලිනාට්‍ය (2021)- හොඳම සහාය නිළිය- සිග්නිස් සම්මානය
* “පිතෘ” (2022)
හොඳම නිළිය- රයිගම් ටෙලි සම්මානය,
*”සකර්ම” (2022)-හොඳම නිළිය -සුමති ටෙලි සම්මානය
…නිර්දේශ…
* “නිනෝ ලයිව්”(2019)-
හොඳම සහාය නිළිය -සරසවිය සම්මානය, ජනාධිපති සම්මානය,
* “සී රජ” (2018)
හොඳම සහාය නිළිය- රයිගම් ටෙලි සම්මානය,
* “පිතෘ” (2022)
හොඳම නිළිය- සුමති ටෙලි සම්මානය, සිග්නිස් සම්මානය,
* “සකර්ම” (2022)
හොඳම සහය නිළිය/ හොඳම නිළිය – සිග්නිස් සම්මානය හා රයිගම් ටෙලි සම්මානය.
* “රූකඩ පැංචි ” (2023) හොඳම සහය නිළිය -සරසවිය සම්මානය.
* “සිහින නෙළුම් මල්”. (2025)-හොඳම සහය නිළිය- සරසවිය සම්මානය.
මේ සියළු දේ මා නිරූපණය කල චරිතයන් වෙනුවෙන් මට ලැබුණු ඇගඅයීම්.
තවම විකාශය නොවු මහාචාර්ය ආරියරත්න ඇතුගලයන්ගේ ” සිසි වන වුවන” ටෙලි වෘතාන්තයෙහි ඔබේ චරිත ස්වභාවය සඳහන් කළොත්?
අසාධාරණවලට ලක්වුණු නමුත් ජීවිතය ජයගන්න “ද්‍රෞපදී” නම් තරුණියකගේ චරිතයක් තමයි මං මෙහිදී නිරූපණය කළේ. මේ නාට්‍යයේ රඟපෑම වගේම අනෙකුත් අංශවලදීත් තරුණ ගැහැනු ළමයි ගොඩක් දෙනෙක් වැඩ කලා. ඒකත් සෑහෙන ලස්සන අත්දැකීමක් වුණා. එය ඉදිරියේදී නරඹන්න පුලුවන් වෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා.
“ද්‍රෞපදී” ව ඔබ ග්‍රහණය කරගත්තේ කෙසේද ?
මුලින්ම පිටපත කියවා එය සාකච්ඡා කිරීම තුළ මේ චරිතයෙහි අභ්‍යන්තරයට ප්‍රවිෂ්ඨ වුණා. ඉන් පසු රංගන පෙරහුරු කිරීම් අතරතුර අනෙකුත් ශිල්පීන් සමඟ ගනුදෙනු කිරීම හරහාත් මේ චරිතය මනසට ග්‍රහණය කර ගත්තා.
පසුගියදා රූපගතව අවසන් වූ මහේෂ් දහනායක අධ්‍යක්ෂණය කළ “නුරාමනී” හි “සිරියා” ඔබ මෙතෙක් කළ චරිත අතරින් වෙනස්ම චරිතයක් නේද ?
ඔව්. මෙහිදී අධ්‍යක්ෂකට අවශ්‍ය වුණේ සිරියාවන්ත, කටකාර, ආකර්ෂණීය තරුණ ගැහැනු කෙනෙක් හැටියට “සිරියා” ව පෙන්නන්න. මම ඒ චරිතයට උපරිම සාධාරණයක් කරන්න උත්සාහ කළා. ඒ තිබුණු වපසරිය ඇතුලේ මම සිරියාව වින්දා.
“සිරියා” පුංචි තිරයෙහි දකින්න ලැබෙන්නේ කවදාද ?
මේ අවුරුද්දේ විකාශය වේවි යැයි සිතනවා .
සිනමාව හෝ පුංචි තිරය හරහා දවසින් දවස නවක මුහුණු ප්‍රේක්ෂකයන් අතරට එනවා. ඔවුන් රංගන ක්ෂ්රේතය තුළ ස්ථාවරත්වය රදවා ගත යුත්තේ කොයි ආකාරයට ද?
අපේ කර්මාන්තය ස්ථාවර නෑ. එහි ගැටලු තියෙනවා. තනිව ගත්තොත්, රංගනය විෂයක් කරගත් කෙනෙක් දක්ෂ වෙන්න ඕනෙ තමන් ගැන සැලකිලිමත් වෙන්න. සියලු ආකාරයෙන් සෞඛ්‍යය සම්පන්නව තමන්ගේ කුසලතා දිනපතා වර්ධනය කරගත යුතු වෙනවා. ඒ වගේම යහපත් සිත සමත් වෙනවා සවිමත් මනුස්සයෙක් වෙන්න.අවස්ථාවන් මනා ලෙස කළමනාකරණය කරගෙන, ඉවසීමෙන් මේ ගමන යන්න උත්සාහවන්ත විය යුතුයි .
මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ අධ්‍යක්ෂණය කළ ඔහුගේ කුලුඳුල් සිනමා නිර්මාණය වන ” මැයි මාර ප්‍රසංගය” ඔබ සංචරණී ලෙස රංගනයෙන් දායක වෙනවා.ඉසත්ය නිර්මාණයක් නිරූපණය කිරිමේදී ඔබ ලැබූ අභියෝග මොනවාද ?
මම සංචරණිව සැබැවින් දැකලා නැහැ.ඇයව දැකපු අය කියන්නෙ මං වගේ කියලා. ඉතිං මට අවශ්‍ය වුණේ ඒ සරල සුන්දර ගැහැනු ළමයා විදිහට ඒ දවස් කීපය කැමරාව ඉදිරියේ සටහන් කරන්න විතරයි. මෙහි අභියෝගය තියෙන්නේ මා දකින විදිහට ප්‍රේක්ෂකයාට. පොත කියවද්දි තම තමන් හිතින් මවාගත්ත සංචරණිව අමතක කරලා, මස්ඉඹුල මහතා සිනමාපටය හරහා පෙන්වන්න හදන සංචරණීවත් සමිඳවත් කොහොමද ඔවුන් වැලඳගන්නේ කියනෙක තමයි මං හිතන්නේ අභියෝගයට.
සමිධ සහ සංචරණී ගැන ලියවුණු අප්රකාශිත ප්‍රේමයක් ගැන “මැයි මාර ප්‍රසංගයේ” කියවෙන්නේ.එවැනි අප්රකාශිත ප්‍රේමයක් මේ ජීවීතේ දී ඔබට දැනිලා තියෙනවාද ?
මේ ජීවීතේදී එහෙම අප්රකාශිත ප්‍රේමයක් මට දැනිලා නැහැ.
දැන් ඔබ ආදරය විදින කෙනෙක්ද?ආදරය පිළිබඳ ඔබට දැනෙන හැගීම මොනවගේද ?
මට මතක් වෙන්නේ ‘ආකාස කුසුම්’ චිත්‍රපටයේ රංග දසනායක සංගීතවත් කළ ගීතය . ” මට දැනෙනවා.. ආදරේ “..
මං ආදරෙයි මං හුස්ම ගන්න හැම මොහොතකටම.. මං හිතිං ආදරය විඳීනවා ආදරය කරනවා. ජීවිතේ නීසරයි නැත්නම්. ඒ ඇතුලේ බලෙන් ලබාගන්න රඳවගන්න දෙයක් ඉතුරු වෙන්නේ නෑ. මට පුළුවන් හැම මොහොතකම මටත් මගෙ අවට ඉන්න සියලු ප්රාණීන්ටත්, දේටත් ආදරෙන්ම සලකන්න මං උත්සාහ කරනවා. මගේ ඒ ස්වභාවය තේරුම් ගන්න පුළුවන්, මා එක්ක ජීවිතේ බෙදාගන්න පුළුවන්, හිත බය සැක නැති, නිර්භීත මනුස්සයෙක් නම් මගේ ජීවිතේ මට තාම මුණගැහිලා නෑ. හැබැයි මං ආදරේ විඳීනවා.
ඔබට මෙතරම් දුරක් ඒමට සහය දැක්වූ අය කවුද?
මුලින්ම, මගේ පවුලේ අය වූ දෙමව්පියන් සහ සහෝදරයාගෙන් විශේෂ සහයෝගයක් හැමදාම මට ලැබුණා.
පසුකාලීනව මම පාසැලට ප්‍රවේශ වීමෙන් අනතුරුව කොළඹ මියුසියස් විද්‍යාලයේ ගුරුභවතුන් හා යාළුවන්ගෙන් ද මට නොමද සහායක් ලැබුනා. 2000 වසරේදී මා සිනමාවට පිවිසුණ දා පටන් සියලු නිෂ්පාදක, අධ්‍යක්ෂක හා තිර පිටපත් රචකයින්, රංගන හා කාර්මික ශිල්පීන්, ජන මාධ්‍ය හිතවතුන් හා රසිකයන් හරහා විශාල සහයෝගයක් ලැබුනා.ඉතින් මේ අවස්ථාවේදී මට සහයෝගය දැක්වූ සියලුම දෙනාට කෘතඥතාවය පිරි නමනවා.
ඔබේ ඉදිරි අනාගත සැලසුම් මොනවාද?
අපි හැමදේම කරන්නේ ජීවත් වෙන්න. සුවපත්ව සතුටින් ඉන්නෙක තරම් ජීවීතේ වෙන බලාපොරොත්තුවක් තියෙනවාද.
වසුන්දරා කුමාරී ධර්මරත්න