” අපෙ අම්මා හැමෝගෙන්ම ගෞරවය ආදරය ලබමින් යම් ඉහළ තැනෙක සිටියත් අම්මා ජීවත්වුණේ පොළවේ පය ගසා ඉන්න සරල කාන්තාවක් විදිහටයි. ..උස්පහත් බේද හිත අහලකවත් තිබුණේම නැහැ…”
කලා ලොවට පිවිසි යම් අයකුට තම නිසග සහජ කුසලතා තුළින් ක්ෂෙත්ර කිහිපයකින්ම එක හා සමාන කීර්තිමත් ගෞරවයක් හිමිවනුයේ නම් එය අහඹුවක් යැයි සිතේ… එවන් විරල වාසනා මහිමයකට උරුමකම් කියන්නියක ලෙසින් මෙවර ඔබට හමුවන අපේ සොඳුරු කතා නායිකාව වෙසෙසින් හඳුන්වා දිය හැක. ඕ තොමෝ ගුවන් විදුලියේ විශිෂ්ටතමයන් අතර සුවිශේෂී ප්රවෘත්ති නිවේදිකාවකි. වරෙක ගුවන් විදුලියේම නාට්‍ය ශිල්පිනියක හා හඬ කැවීම් ශිල්පිනියක ලෙසින් ද මහත්සේ ප්රකටය. එහිම ඇය ” ඒ” ශ්‍රේණියේ නූර්ති ගී ගායන ශිල්පිනියකද වූ අතර තව වරෙක ඕ වේදිකා නාට්‍යය සිරිතේ විවිධ චරිත නිරූපණය කළ ප්රවීණතම රංගන ශිල්පිණියකි. තවත් වරෙකදී ටෙලි තිරය හා සිනමා තිරය තුළින්ද සුවහසක් රසික දනන්ගේ මතකයෙන් කිසිදාක බැහැරව නොයනා තරමේ විශිෂ්ට රූපණවේදිණියකි. මේ හැමදේම අතරින් උස්පහත් බේද කිසිත් නැති මනුස්සකම පමණක් හදවතින් ම ප්‍රකට කළ ඕ ආදරණිය කාන්තාවකි.
“ඔව්..ඇත්තමයි..අපෙ අම්මා හරීම ආදරණියයි..”
ඈ පිළිබඳ යටගිය තතු සොයා සරසවිය වෙනුවෙන් ඇයගේ නිවහනට ගිය මොහොතේදී ඇය පිළිබඳව කළ කතාබහ අතරේදී මා සමීපයේම සුවපහසු අසුනකට බරදී පසුවන අපේ මෙවර කතා නායිකාවගේ ආදරණිය එකම දියණිය බුද්ධිකා මුදිතානි සමරකෝන් මහත්මිය මා සමඟ කීයේද මේ ටිකමය.
කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිගමුව ..අම්පෙගම ග්‍රාමයේ විසූ ආර්. වනිගසේකර සහ නිලිනා ඇහැලියගොඩ කුමාරිහාමි ගෞරවනීය මවුපිය දෙපළට දූ දරුවන් සත් දෙනෙකි. ඉන් වැඩිමහල් දරුවා පුෂ්පකුමාරය. දෙවැන්නා ජයලත් කුමාරය. තෙවැන්නිය ටිකිරි කුමාරිය. සිව්වැන්නිය චන්ද්‍රා කුමාරිය. සයවැන්නා රංජිත් කුමාර වන අතර සත්වැන්නා සරත් කුමාරය.
මින් එම පවුලේ පස්වැන්නියව උපන් අපේ සොඳුරු කතා නායිකාවගේ උප්පැන්නයේ සඳහන් නාමය වනුයේ රාජකරුණා වනිගසේකර මුදියන්සේ රාලහාමිලාගේ මිල්ලාගේ රම්‍යා කුමාරි වනිගසේකර ය. ඕ උපන්නේ 1950 ක්වූ ජූලි මස 17 වනදාය.
මම එතුමියගේ එකම දියණිය වන ළමා ඇඳුම් මෝස්තර නිර්මාණකරණයේ නිරත “දිහෙලිස් ක්ලෝසට්’ ව්‍යාපාරයේ හිමිකාරිනි බුද්ධිමා මුදිතානී සමරකෝන් මහත්මිය දෙස බලමි.. ඕ කල්පනාබරව පසුවන්නීය…
සරසවිය ට..එහි ප්‍රධාන කර්තෘතුමාට සේම මටද සිය ස්තුතිය පිරිනමමින් වඩාත් ඕනෑකමින් අප පිළිසඳරට එක්වන්නීය..
“අපෙ අම්මා ප්‍රාථමික අධ්‍යාපනයට ගියේ අම්පෙ හා පිංදෙනිය මහා විද්‍යාලයට. එතැනින් දෙහිඕවිට බෞද්ධ මිශ්‍ර විදුහලට ගියා. පස්සෙ කෑගල්ල පනාවල මහා විදුහලෙත් ඉන්පස්සේ රුවන්වැල්ල රාජසිංහ විදුහලෙත් ඉගෙනුම ලැබුවා ‘
අපේ ආදරණිය කතා නායිකාව පාසල් සමයේ දී එහි විවිධ කලා කටයුතු වෙනුවෙන් නොපැකිළවම ඉදිරිපත් වන්නීය. ගැයුමට රැඟුමටද හපන් ඇයට එක් දිනෙක ආරාධනයක් ලැබිණි. ඒ සිංහල සාහිත්‍ය සංගමයේ උළෙලකදී ගීතයක් ගයන්නටය..වහා වේදිකාවට පිවිසි ඈ ගීතය ගයද්දී ගුරු භවතුන් එකිනෙකා මුහුණට මුහුණු බලා ගන්නා අයුරු ඕ දුටුවද …
“පෙම් කැකුළ පිපී එනවිට මහදේ….එය පරව ගියා ” ගීතය
හැඩට ගයමින් ඊට සාධාරණය ඉටුකිරීමෙන් පැසසුමට බඳුන් වුවද ඒ එක්කම ඈ නෙත කඳුළට හැරුණේ ගුරු භවතුන්ගේ දෝෂ ප්‍රහාරයක්ද එල්ල වීමෙනි.
“ළමයි වුණාම දැනගන්ට ඕනා ළමයින්ට ගැලපෙන සින්දු ගායනා කරන්න. ළමයි ගයන ගීත ළමයිගේ තරමට තෝරාගත යුතුයි..”
අපේ ආදරණිය කතා නායිකාවගේ නිවස රසපිරි තැනක්ම යැයි හැඟේ. දූ දරුවන් පාඩම් කටයුතු හමාරකොට හැමදා සවස්යාමේදී සැවොම සතුටු සාමීචියකින් අනතුරුව එක්ව ගී ගයන්නේය..එයට මවුපිටයෝද එකතු වෙති. තවත් දවසෙක නාට්‍ය රඟන්නේය.
“අපෙ අම්මාගෙ කලා ජීවිතයට මුල් ම අඩිතාලම වුණේත් ගෙදරින්මයි. අම්මාත් ඕන දේකට ඉදිරිපත් වෙනවානෙ. යි කී අපේ ආදරණිය බුද්ධිමා තම අසුනේ මඳක් හරිබරි ගැසෙමින් යළි කියන්නට වූයේ ” අපෙ අම්මා ට එයාගෙ පවුලෙ කවුරුවත් ම කලා ලොවට සම්බන්ධ කෙනෙක් නැහැ. අම්මාට පසුබිම හැදුනේ ගෙදරින්මයි”
1974 දී ඕ තොමෝ ප්‍රථම වරට කොළඹ එන්නීය.එහිදී චන්දි ගුණතිලකයන්ගේ “හේවායෝ ” නමැති නාට්‍යයේ සහාය ගායනයට වරම් ලද්දාය. “සඳ කිඳුරු” ඇතුළු තවත් නාට්‍ය කිහිපයකටම ඇය ගායනයෙන් එක්වූවාය.
ගුවන් විදුලියේ ” ඒ ” ශ්‍රේණියේ නූර්ති ගායන ශිල්පිණියක ලෙසින් සමත් වූ අපේ ආදරණිය රම්යාවෝ ෂෙල්ටන් ප්‍රේමරත්න..ජයතිස්ස අලහකෝන් නම් සංගීත ආචාර්යවරුන් යටතේ සංගීතයද හදාරන්නට වන්නීය.
රංජිත් ධර්මකීර්ති ගේ “අංගාරා ගඟ ගලා බසී” නාට්‍යය 76 වසරේදී වේදිකා ගතවෙමින් ඇය සිය ගැයුම් කුසලතාවද ප්‍රකට කරන්නීය.
“ඒ කාලෙ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් යටතේ අපෙ අම්මා ට වැඩ කරන්න ලැබුණානෙ..ඒ ගැන නම් අපෙ අම්මා ගොඩාක් සතුටු වුණා. එය අම්මාගේ සංගීත ජීවිතයට..කලා ජීවිතයට..අම්මාට ලොකුම අත්වැලක් වුණා…”
අපේ බුද්ධිමා කියන්නීය.
දැන් දැන් අපේ ආදරණිය කතා නායිකා රම්යාවන් වේදිකා නාට්‍යය රංගනයටද අවතීර්ණ ය. ඇයගේ මුල්ම රංගනය සනිටුහන් වනුයේ “හස්තිරාජ මහත්තයා ” නම් වේදිකා නාට්‍යයෙනි. හෙන්රි ජයසේනයන්ගේ “මනරංජන..වැඩ වර්ජන” නාට්‍යයද හෙන්රි සහ ධර්මදාස කුරුප්පු නාට්‍ය නිර්මාණ “රාමායණය.. සහ සිරි සඟබෝ ” නාට්‍යයන්හිද රඟපෑවාය.
අපේ බුද්ධිමා යළි සිය හඬ අවදි කරන්නීය.
“ඔය රාමායණය කියන නාට්‍යයට රුක්මණී දේවි මහත්මියත් එකතු වුණාලු. අපෙ අම්මා එකම චරිතයක ට රුක්මණී දේවී මහත්මිය සමඟ එකට පුහුණුවීම් කරල තියෙනවා. ඩේසි අක්කා කියල තමයි අම්මා එතුමියට කතා කරන්නෙ. දවසක් අපෙ අම්මා මට කියනවා රුක්මණී දේවී කියන්නෙ පුදුම නිහතමානී ගතිගුණ තියෙන කලාකාරිණියක් කියලා. එහෙම කෙනෙක් එක්කල මුල්ම යුගයේ එකට වැඩ කරන්න ලැබීමත් වාසනාවක් කියල අම්මා ගොඩක් සතුටු වුණා…”
පානදුරේ..නගර ශාලාවේ වේදිකා නාට්‍යයක් රඟදැක්වෙයි. ඒ වනවිට වේදිකා නාට්‍ය සම්බන්ධයෙන් ප්‍රකට ආර්. ආර්. සමරකෝන් මහතාද තම හිතවත් රංගනවේදී එල්සන් දිවිතුරගමයන් සමඟ එහි ගියේය…එහිදී අපේ කතා නායිකාවට ප්‍රථම වරට මුණගැසුණු ආර්. ආර්. සමරකෝන් මහතා ඇය දෙස මඳක් බලා සිට පසුව ඈ වෙතට පැමිණියේය. ඈ පිළිබඳ වතගොත විමසා සිටායේය.. ඉන් අනතුරුව ඔහුගේ ආරාධනය වූයේ තමන්ගේ “කැලණි පාලම” වේදිකා නාට්‍යයේ රගපෑමට එකතුවන ලෙසටය. ඒ ලද ආරාධනයද සමඟින් ඉහිලුම් නැති සතුටකට පත්වූ ඕ තොමෝ මෙතරමි ප්‍රකට නාට්‍යකරුවකු මෙසේ තමන්ට ආරාධනය කිරිම ගැන ම සිත සිතා ප්‍රීති වූවාය.
ඒ වනවිට “කැළණි පාලම” නාට්‍යයේ “මැටිල්ඩා” ගේ චරිතයට සිටියේ චන්ද්‍රා කළුආරච්චි මහත්මිය ය. ඇය ඔහුට සහය පිණිසම සිටියාය. “ලෙඩක් නැති ලෙඩෙක් ” “අහසින් වැටුණු මිනිස්සු ” ආදී ජනප්‍රිය තවත් නාට්‍ය රැසකින් කීර්තිමත් නමක් දිනූ ආර්.ආර්. සමරකෝන් මහතාගේ “කැලණි පාලම” ට හිමිවූයේ ඉහළම ප්‍රසාදයකි. ජනප්රියතාවකි.
“අහඹුව වගේ අපෙ අම්මාට ලැබුණු ඒ අවස්ථාව හරිම පුදුමයි. ඉතින් අම්මා එම නාට්‍යයේ මැටිල්ඩා වුණා. ඒ නාට්‍යයටම අම්මාව වැඩිපුර කොටු වුණා…අම්මාත් ප්‍රසිද්ධ වුණා. ඒ නාට්‍යයට රටපුරා ලොකු ඉල්ලුමක් තිබුණා..අම්මා ට විවේකයක් ඇත්තේම නැති තරම්. කැලණි පාලම” දර්ශන වාර 5000 සම්පූර්ණ කළානෙ ..”
ප්‍රවීණ නාට්‍යවේදී ආර්.ආර් සමරකෝන් මහතාගේ සෑම නාට්‍යයකම පාහේ අපේ ආදරණිය කතා නායිකාවද රඟපාමින් සිටියදී ඇය සහ ඔහු අතර රැඳී සුහදතාවයද නොතිත් ආදරයකට බඳුන් වූයේය..පසුව එම දෙදෙනා වසර දොළහක සොඳුරු ප්‍රේම කතාවකින්ද පූර්ණව සිය ජීවන සිරිත සිරිමත් කරමින් විවාහ ගිවිස ගත්හ…
අපේ ආදරණිය රම්යාවෝ ඔහු සමග අතිනත ගත්තේ 1987 වසරේදීය …88 වසරේදී එම දෙපළට තිළිණ වූයේ මා සමඟ තවමත් ආදරණිය සංලාපයක පසුවන අපේ ආදරණිය බුද්ධිමා මුදිතානි එකම දියණියය.
” ලංකාවේ වේදිකා නාට්‍යයක එදාමෙදාතුර එකම චරිතයක එකදිගට ම රඟපෑවේ අපෙ අම්මා විතරක්මයි කියල මම හිතන්නෙ. අති සාර්ථක වූ කැලණි පාලම නිසා අම්මා තාත්තාටම කොටු වුණා කීවත් හරි. වෙනත් නාට්‍ය නිර්මාණවලට එහෙමට කාලය මදිවුණා…. විවාහයෙන් පසුවත් අම්මාගෙ කලා කටයුතුවලදි අපෙ තාත්තාගෙ ආශීර්වාදය එහෙමම අම්මාට ලැබුණා. ”
ධර්මජිත් පුණර්ජීවගේ “ලිහිණි”නාට්‍යයේ හොඳම සහය නිළියට හිමි සම්මානයෙන් සම්මානිත වූ ඕ තොමෝ සහන් රන්වලගේ නාට්‍ය නිර්මාණ “වෙලාව කීයද” නාට්‍යය ඇතුළු ඇය චරිත නිරූපණය කළ වේදිකා නාට්‍ය සංඛ්‍යාව 14 කි. ටෙලි නාට්‍යයට ද එක්වූ ඇය ටෙලි නාට්‍ය නිර්මාණ 32 ක විවිධ චරිත නිරූපණයෙහි යෙදුණාය. ඉන් ඈ නිරූපණය කළ බොහෝ චරිත තවමත් රසිකයනට අමතකව නැති තරම්..සිනමාවටද පිවිසි ඕ චිත්‍රපට 6 කට ද රංගනයෙන් දායක වූවාය…ඇය එක්වූ ගුවන් විදුලි නාට්‍ය සංඛ්‍යාව නම් අසීමිතය. එසේම ගුවන් විදුලියේ පරිවර්තන නාට්‍ය නිර්මාණයන්හී රසික යුගසවන්පත් සනහාලූ ඇයගේ ප්‍රේමනීය කටහඬ මුසුකළ නාට්‍ය සංඛ්‍යාව ද අපමණය.
අපේ බුද්ධිමා මුදිතානී බිම බලාගත්වනමය…ඈ හිස ඔසවා මදෙස බලා සිටින්නී ඈ නෙතු මත මුල්වරට කඳුළක් දුටුවෙමි.
ඈ බිඳුණු ස්වරයෙන් කතා කරන්නී…..
“අපෙ අම්මායි මමයි හරියට යාළුවො වගේ.. ඕනෑම දෙයක් අප දෙන්නා විවෘතව කතා කරනවා. ..අනේ මං හරි බයයි අපෙ අම්මාට. ඒ එයා නපුරුයි කියල නෙවි. අවස්ථාව අනුව එයා සැරවෙනවා..
“අමල්…අපෙ අම්මා හරීම..හරීම ආදරණියයි. ළඟින් ඇසුරු කළ අයත් ඒ ටික දන්නවා. හැමෝම එක්ක සුහදශීලියි. අපෙ අම්මා අම්මාගෙ පැත්තෙ අයට වගේම තාත්තාගෙ පැත්තෙ අයටත් එකවගේම සැලකුවා..උදව් උපකාර කළා. අනුන්ට උදව් කරන්නම ඕන කියන හිතක් අම්මා ට තිබුණෙ. අසවලාට මං උදව් කළාය කියල අඬබෙර ගහන සිරිතක් අපෙ අම්මාට ගෑවිලාවත් නැහැ. අම්මාට පුළුවන් විදිහට හැමෝටම සැලකුවා. අදටත් ඒ ඈයො ඒව ආදරයෙන් මතක් කරනවා. ජීවිතයේ හැමතැනකදීම අපෙ අම්මා තමන්ගේ ගෞරවය එහෙමම රැකගත්තා. ”
“ප්‍රසිද්ධිය පහසුවෙන් ලැබෙන දෙයක් නෙමෙයිනෙ. අපෙ අම්මා දහදිය වගුරලා බොහොම වෙහෙස මහන්සියෙන් පොඩිම තැනකින් පටන් අරගෙන මේ තරම් මහ දුරක් ආවා.. අම්මාගෙ හිතේ ලොකුකමක් කියලා අහලකවත් නැහැ.. මේ ප්‍රවීණයෙක්..මේ ආධුනිකයෙක් කියල වර්ග කිරීමකුත් නැහැ. ක්ෂෙත්රයේ කා සමඟත් සුහදව වැඩේ කරනවා.. මං වැරදි දෙයක් කරනවයි කියල එයාට හිතුණොත් ඒක මුලින්ම උදුරලා දමන කෙනෙක්..
හැබැයි …කියන්න තියෙන දේ කෙළින් ම මුහුණටම ඕන කෙනකුට කියනවා. ඇත්තෙන්ම අපෙ අම්මා බොහොම ධාර්මික ව ගෞරවයෙන් ජීවත් වූ කෙනෙක්.. කිසිම වෙලාවක අපෙ අම්මා වැරදි පැත්තට නම් කොහෙත්ම නැහැ…කලා ක්ෂෙත්රයට එන්න තරමේ පහසු පසුබිමක් අම්මා ට තිබුණෙත් නැහැ. ඒත් කැපවීමෙන් අම්මා තමන්ට හැකි හැමදෙයින්ම ඉහළටම ආවා ..
විශේෂයෙන් ම අම්මා අම්මාගෙ පැත්තෙ අයට දියුණුවටම අතහිත දුන්නා… තාත්තාගෙ පැත්තෙ අයටත් හරිම ආදරෙන් සැලකුවා.”
අපේ ආදරණිය බුද්ධිමා එකදිගට එසේ කියාගෙන යන්නීය. වරෙක මුහුණ අඳුරට හැරෙයි…වරෙක ආයාසයෙන් සිනාවක් රඳවා ගනියි. එහෙත්…ඈ මට රහසේ නෙත පිරි කඳුළක් පිටඅත්ලෙන් පිසදා ගන්නීය..
“අපෙ අම්මා තවමත් මට ඉන්නවා.. කොහේ හරි හොඳ තැනෙක ඉඳන් ඉස්සර වගේම මා දිහා බලා ඉන්න බව මං දන්නවා. මට විස්වාසයි. අනේ මගෙ අම්මා අදටත් මා එක්කල ඉන්නව කෙතරම් හොඳ ද කියල මට නිතරම හිතෙනවා. අපෙ පවුලේ මං විතරයිනෙ.. ඒ නිසා මයෙ හිතේ දුකත් මට බෙදාහදාගන්නවත් මට කෙනෙක් නැහැනේ.”
අපේ බුද්ධිමා ඒ ටික කීවේ බිමබලාගත්වනම පහත් ස්වරයෙනි.
රූපවාහිනී යන්ත්‍රයක් මෙරටට පැමිණීමත් රූපවාහිනීයේ මුල්වරට හාපුරා කියා ප්‍රේක්ෂකයාට ඇසගැටුණු ප්‍රථම නාට්‍යයේ රඟපෑ අය අතර අපේ ආදරණිය කතා නායිකාව රම්‍යා වනිගසේකර මහත්මියටද හිමිවන්නේ නොදෙවැනි තැනකි.
“ඒ තමයි අපෙ අම්මාගෙ හොඳම කාලය..”
මෙතුවක් දුටු ඇයගේ මැලවී ගිය මුහුණේ සිනාවක සේයාවක් මා දුටුවේ මෙතැනදීය.
ධර්මසේන පතිරාජයන්ගේ ගඟුලෙන් එගොඩට…පළිඟු මැණිකේ…කන්දේ ගෙදර නම් එකල මහත්සේ ජනප්‍රිය වූ නාට්‍යය නැරඹූ රසික සමූහයා වෙතින් ඈ ලද ගෞරවය ද ..ආදරයද නිම්හිම් නැති තරමි.
“අපෙ අම්මා ව රූපයෙන් නොදැක්ක අය කටහඬින් අඳුරගත් අවස්ථා නම් ගොඩක් තියෙනවා. දුර පළාත්වලට හෙම ගියාම.. මේ රේඩියෝ එකේ ප්රවෘත්ති කියන රම්‍යා මෝනා නේද කියල අහනවලු. ඒ තරම් අපෙ අම්මා ගෙ කටහඬ මිනිස්සු අඳුනනවානෙ. කටහඬත් ප්‍රසිද්ධයිනෙ..”
“අනේ මාව හදාගන්න මට කෙළින් කියාදුන්න වටිනා දේවල් මට මතක් වෙනවා….අපි දෙන්නා හරි එකමුතුයි. ”
ඈ යළි බිම බලා ගන්නීය.
අපේ සොඳුරු කතා නායිකාව දේශපාලනයට ගෑවෙන්නවත් අකැමැති වූ බවත් ප්‍රසංග වේදිකාවේ ගී ගායනයට නොගිය බවත් අපේ බුද්ධිමා කියන්නීය.
“ඔය දේශපාලනය ගෑවුණු තැනකටවත් අම්මා යන්නෙ නැහැ. අමාරුවෙන් උපයාගත්ත ගෞරවය ප්‍රසිද්ධිය නැති කරගන්නෙ මොකටද කියලා අම්මා කීවෙ. කවදාවත් තමන්ගේ දේශපාලන මතය සංදර්ශන දමා පෙන්නුවෙත් නැහැ. ”
මොරටුව ..කටුබැද්ද සොයිසා මහල් නිවාසයේ පදිංචියෙන් පොළොවේ වැලිකැටයක්වත් පෑගෙන්නේ නැතිබවම නිතර කී ඕ තම දරු පවුල සමඟින් වාද්දුවේ නව නිවසකට පැමිණියාය. ගෙමිදුලෙහි ඈ අතින් සාත්තුව ලබන මල් පෝච්චි නම් එමටය. ඇය තම විවෙිකය ගෙවන්නේ ද මල් වැවීමෙනි. පෙර මෙන් නොව ඇසට පෙනෙනා ගහකොළ පිරි පරිසරයටද ඕ වඩාත් ආදරය කරන්නීය.
“අමල් ..අහල ඇතිනෙ..පැරණි කාන්තාවකට මොනවද බැරි කියලා කතාවක්…. අන්න ඒ වගේ අපෙ අම්මාටත් මැහුම් ගෙතුම් ආදී මේ හැමදේම හොඳටම පුළුවන්. අම්මාගෙ ඇඳුම් මහගන්නෙත් අම්මාමයි. ඒත් ඉතින් විවේකය නම් හරිම අඩුයි..මහ වැඩ කන්දරාවක් එක්ක සැලසුම් කරගෙන අම්මා කටයුතු කළේ. ”
“කවදාකවත් ඔයත් දුවේ රඟපාන්න එන්න කියල නම් අම්මා මට කියලම නැහැ. මට කැමති මඟක යන්න මට නිදහස්ව හිතන්න දුන්නා. ”
අපේ බුද්ධිමා ඒ ටික කීවේ මා විමසූ පැනයකදීය.
“මං මේ වනවිට බබාලගෙ ඇඳුම් මෝස්තර නිර්මාණ ශිල්පිනියක විදිහට ඔන් ලයින් ව්‍යාපාරයක් කරගෙන යනවා. මම තෝරාගත් මෝස්තර මත පමණයි මෙය කරන්නේ.. ඉතින් හොඳයි. සාර්ථකයි. ”
අපේ ආදරණිය බුද්ධිමා මුදිතානිගේ ව්‍යාපාරයේ නාමය “දිහෙලිස් ක්ලෝසට්..” වෙයි.
දැන් දැන් අපේ ආදරණිය කතා නායිකාව රම්යාවන් රෝගාතුර වන්නීය. මේ රෝගාතුර තත්ත්වයට දැනට වසර 8 ක් පමණ ගතවී ඇත්තේය.
“අම්මාට අක්මාවේ ගැටලුවක් මතුවුණා. ඇල්කොහොල් ශරීර ගත නොවී තිබීමේ රෝගී තත්ත්වයක් කියල වෛද්‍යවරුන් කීවේ…ඒ වගේම අපෙ අම්මා ගොඩාක් පරිස්සම් වුණා. ”
දැන් අපේ කතා නායිකාව තම එකම දියණිය ළඟමය. දියණියගේ සාත්තු සප්පායම දැක ඇය දුක්වූයේ තමන් දියණියට කරදරයක්දැයි තැවුලකිනි.
වරින්වර ඇය රෝගී බව උත්සන්නව රෝහල් ගතවන්නීය. මේ ගෙවී යන්නේ අන්ත දුෂ්කර සමයෙකි.
“අපි දෙන්නා හරිම යාළුයි. හැමදේම අපි හුවමාරු කරගන්නවා. එයා ගැන මං වද වෙන නිසා අම්මා දුකින් හිටියේ..සමහර වයසක අය ලෙඩ වුණාම නපුරු දරදඬු වෙනවානෙ. අනේ අපෙ අම්මා එතකොටත් හරිම ආදරණියයි. මොනවා වුණත් අම්මා බලාපොරොත්තු අත්හැර මොහොතක්වත් හිටියේම නැහැ. ඒකමයි මෙච්චර කල් ඉන්න පුළුවන් වුණෙත්.”
ඕ රෝහල් වාට්ටුවේ ගිලන් යහනේය. තම දියණිය බුද්ධිමාගේ සුරත අල්වාගත් ගමනින් ඇය දියණියගෙන් මෙසේ විමසන්නීය.
“මගෙ දුවේ..මේ පාර මං සනීප වෙලා ගෙදරට ගියාම තනිවම මට ඇවිදින්න පුළුවන් වේවි නේද..”
ඊට උත්තරයක් සොයනු වෙනුවට දියණිය කීවේ “ඔව්. අම්මා සනීප වෙන්නකො ඉක්මනට” කියාය.
එදවස 2024ක්වූ මාර්තු මස 08 වනදා එක් අඳුරු දවසෙකි.
ඒ රාත්‍රිය අතිශයින් බියකරු යැයි දියණියට සිතිණි.
පුරා වසර 40ක් සිය නිසග කෞශල්‍යයෙන් සුවහසක් දෙනා මෝහනීය කටහඬින් සේම රංගනයෙන්…ගායනයෙන් සනහාලූ අපේ සොඳුරු කතා නායිකාව එදා රාත්‍රියේ කිසිවකු හට හෝ නොකියා නොදන්වා කොහේදෝ රහසේම නික්ම ගොස් සිටියාය..
ඒ වනවිට ඕ තොමෝ සිය දිවිසැරියේ 74 වන වියේහි පසුවූවාය.
අපේ ආදරණිය බුද්ධිමා තවත් යමක් කියන්නට සැරසෙන්නීය..
“අම්මාගෙ හිතේ තිබුණු අන්තිම බලාපොරොත්තුව ඉටු කරන්න කාලය අපට ඉඩක් දුන්නේම නැහැ…”
පුරා වසර 40කදී ඈ වෙතින් කලා ක්ෂෙත්රයට සිදුවූ සොඳුරු මෙහෙවර පිළිබඳව ස්වයං ජීවිත ආවර්ජනයක යෙදෙමින් කෘතියක් ලෙසින් එළිදක්වන්නට අපේ කතා නායිකාව තුළ තිබුණේ නොතිත් ඇල්මකි. එයට ඈ අත තැබුවාය.. එය සම්පාදනයට දියණිය ඇතුළු පවුලේ සැමද උනන්දු වූහ. එම කටයුත්ත වෙනුවෙන් කමිටුවක් ද පත් කෙරිණි.
“රම්‍ය වූ ගංතෙරක සිට රම්‍ය මතක ” එම කෘතියේ නම විය. එය එළිදක්වන දිනය මාර්තු 25 දා ලෙසින් ද සැලසුම් කෙරිණි. එහෙත්…සියල්ල උඩුයටිකුරු ව ගියාසේය.. ඊටත් පෙර ඕ තොමෝ සියල්ල හැරපියා නික්ම යාමෙන් සිය මවගේ සතුට එලෙසින් ම ඉටුකැරෙමින් එම කෘතිය මැයි මස 30 දා ජනගත කෙරිණි .
“අපෙ අම්මාගෙ තිබුණු ඒ අන්තීම බලාපොරොත්තුව.”
අපේ ආදරණිය බුද්ධිමා බිමබලාගත්වනම පසුවන්නීය.
සේයාරූ – පාලිත ශ්‍රී ලාල් ආටිගල
අමල් යශෝමන් ජයසිංහ