Home » පෙම්වතාට අවංකව ආදරය කරන ‘සචිත්‍ර’ මට ලොකු අභියෝගයක් වුණා

පෙම්වතාට අවංකව ආදරය කරන ‘සචිත්‍ර’ මට ලොකු අභියෝගයක් වුණා

රංගන ශිල්පි චතුරංග කොඩිතුවක්කු

by Thanushika
August 21, 2025 12:30 am 0 comment

“සචිත්‍ර” යනු මේ දිනවල රූපවාහිනී ප්‍රේක්ෂකයාට ආගන්තුක චරිතයක් නොවේ. නළුවකු වශයෙන් අභියෝගාත්මක රංගනයක් භාරගනිමින් සිය රංගන ශක්‍යතාව පුංචිතිරය ඔස්සේ මනාව නිරූපණය කරන ඔහුට ප්‍රේක්ෂක, විචාරක අවධානය අද වනවිට නොමඳව ලැබෙමින් පවතියි. “වීදුරු තිර” ටෙලිනාට්‍යයේ “සචිත්‍ර” ලෙස සිදුකරන අභියෝගාත්මක රංගනය පිළිබඳ සමාජමාධ්‍ය තුළ ද නොයෙක් කතිකාවන් ඇතිවෙමින් පවතින මොහොතක එකී රංගනය සහ සිය කලා දිවිය පිළිබඳ කතාබහ කිරීමට හෙතෙම මෙසේ සරසවිය හා එක්විය. තාරුණ්‍යයේ හැඩකාර බවිනුත් කෙළිලොල් බවිනුත් සපිරි ඔහු චතුරංග කොඩිතුවක්කුය.

මේ දිනවල ආන්දෝලනාත්මක කතාබහකට ලක්ව තිබෙන “වීදුරු තිර”හි සචිත්‍ර ඔබයි. කොහොමද සචිත්‍රව ඔබට දැනෙන්නේ…?

මේ දිනවල අතිශයින්ම ප්‍රේක්ෂක කතාබහට ලක්වන චරිතයක් තමයි සචිත්‍ර කියන්නේ. ඇත්තෙන්ම මම සිතුවේ නැහැ සචිත්‍රගේ චරිතයට ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබෙයි කියලා . සචිත්‍ර ගැන කිව්වොත් ඔහු සමරිසි තරුණයෙක්. ඔහු ආදරය කරන්නේ සුලෝචන නමැති තරුණයකුට. සචිත්‍ර කියන්නේ ගොඩාක් හොඳ ආදරවන්තයෙක්. තම පෙම්වතාට අවංකව ආදරය කරන කෙනෙක්. බොහෝ ඉවසිලිවන්ත , වඩාත් කේන්ති නොයන ඒවගේම කේන්ති ගියොත් දරාගන්න බැරි පුද්ගලයෙක් . ඒවගේම සචිත්‍ර තමන්ගේ ආදරය රැකගන්න වෙරදරන තරුණයෙක්.

   සචිත්‍රගේ චරිතය බාරගැනීම අභියෝගයක් වුණේ නැද්ද….?

අනිවාර්යයෙන් අභියෝගයක් වුණා . ලංකාවේ සමලිංගිකත්වය කියනදේට තිබෙන්නේ එතරම් හොඳ ප්‍රතිචාරයක් නෙවෙයිනේ. සංස්කෘතිය නමැති රාමුව තුළ සිරව සිටින රටකදී මෙවැනි චරිතයක් රඟපෑමම අභියෝගයක් වෙයි කියලා සිතුණා . එහිදී ප්‍රේක්ෂකයන් අපිව මනින විදිහත් වෙනස් වෙනවා. මම ඒ කිව්වේ සමාජමය තත්ත්වයයි. රංගනය පැත්තෙනුත් යම් අභියෝගයක් තිබුණා . මීට පෙර පුංචිතිරයේ මම පෙම්වතකු සමඟ ප්‍රේම ජවනිකා රඟපා තිබුණේ නැහැ . පළමු අවස්ථාවටයි රංගන ශිල්පියකු සමඟ ප්‍රේම ජවනිකා කරන්න සිදුවුණේ. එය ඇත්තෙන්ම ලොකු අභියෝගයක්. එසේම “වීදුරු තිර ” ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂ ශාන් ජයරත්න , රංගන ශිල්පිනී ශලනි තාරකා යන දෙදෙනාට ස්තුතිවන්ත වෙනවා මාව විශ්වාස කරලා සචිත්‍ර චරිතය ලබාදීම වෙනුවෙන් . මගේ ජීවිතයේ එක් හැරවුම් ලක්ෂ්‍යයක් “වීදුරු තිර” ඔස්සේ නිර්මාණය වුණා කිව්වොත් හරි.

ප්‍රේක්ෂකයාගෙන් ලැබෙන ප්‍රතිචාර මොනවගේද ….?

මම සිතුවටත් වඩා සෑහෙන හොඳ ප්‍රතිචාර ලැබෙනවා . මගේ රංගන ජීවිතයේ වැඩිම ප්‍රතිචාර ලැබුණේත් මේ “සචිත්‍ර” චරිතයටයි. මම සිතනවා සචිත්‍ර චරිතයට මම සාධාරණයක් කළා කියලා . ඒ ගැන නිහතමානීව සතුටු වෙනවා

රූපවාහිනිය තුළ රංගනයේදී අපට යම් සීමාවකට යටත්වෙන්න වෙනවා. සිනමාව තුළ වඩාත් සංකීර්ණව නිර්මාණය මුදාහරින්න පුළුවන්. “වීදුරු තිර” සිනමාකෘතියක් වූවානම් කියා සිතෙන්නේ නැද්ද…..?

ඔව්, ඔබේ කතාවට මම එකඟයි..රූපවාහිනියේ රංගනය තුළ අපට යම් යම් සීමාවන් පනවලා තිබෙනවා . රූපවාහිනිය යනු පවුලේ ජනමාධ්‍යයක්නේ. “වීදුරු තිර” සිනමා කෘතියක් වුණානම් මීට වඩා නිර්මාණය තරමක් වෙනස් වෙන්නත් තිබුණා. මෙහිදී අධ්‍යක්ෂ ශාන් ජයරත්න අඩු,වැඩි නැතිව සමබරව හරිම ලස්සනට “වීදුරු තිර” අධ්‍යක්ෂණය කළා ටෙලිනාට්‍යයක් ලෙස. එය ලොකු ජයග්‍රහණයක්. සමාජයට දියයුතු පණි

විඩය හරියටම මෙයින් ලබාදුන්නා කියලා මම විශ්වාස කරනවා . සිනමාකෘතියකට වඩා “වීදුරු තිර” ටෙලිනාට්‍යයෙන් විශාල ජනතාවක් අතරට අපට යන්න පුළුවන් වුණා.

“වීදුරු තිර” රංගනයේදී අධ්‍යක්ෂ – තිර රචක, කැමරා අධ්‍යක්ෂ සමඟ ඔබේ ගනුදෙනුව කවරාකාරද …?

ශාන් ජයරත්න කියන්නේ මගේ සහෝදරයෙක් වගේ. ඔහු සමඟ මීට කලින් වැඩකරලා තිබෙනවා .ගයනි අසිංසලා අක්කා තිර පිටපත ලියූ ටෙලිනාට්‍යවලත් මම රඟපා තිබෙනවා . ඉන්දික ලක්මාල් නමැති කැමර අධ්‍යක්ෂ සමඟත් මම මීට පෙර වැඩකර තිබෙනවා . ඔහුත් මට සහෝදරයෙක් වගේ. හැමෝම හොඳට හුරුපුරුදු අයනේ. ඒදේවලුත් දායකවුණා සචිත්‍රව නිර්මාණය කරගැනීමට. මගේ අදහස්වලටත් ඔවුන් ඉඩදීලා හොඳ සහයෝගයෙන් අපි වැඩකළා.

ඔබ සමඟ මෙහි රඟපාන චමීර, ශලනි ඇතුළු පිරිසගෙන් ලද සහාය සිහිකළොත් ….?

චමීර ලියනගේ අයියා අතිදක්ෂ රංගන ශිල්පියෙක් . මීට කලින් මම ඔහු එක්ක වැඩකරලා තිබුණේ නැහැ . ශලනි තාරකා අක්කා එක්කනම් වැඩකර තිබුණා . ඒ ඛ්උ ටෙලිනාට්‍යයේදී. එහිදී ශලනි අක්කාගෙන් හොඳ සහායක් ලැබුණා . “වීදුරු තිර” වලදීත් එහෙමයි. චමීර අයියාගෙන් සචිත්‍ර, සුලෝචන සුසංයෝගය සෑදෙන්න හොඳ සහායක් ලැබුණා. සචිත්‍ර චරිතය සාර්ථක වෙන්නත් චමීර අයියා රඟපෑ සුලෝචන චරිතය හේතුවුණා. අපි දෙන්නාගේ සුසංයෝගය හදාගන්න චමීර අයියා මට උපදෙස් දුන්නා. ඒවගේම අනෙක් රංගන ශිල්පීන්ගෙනුත්, කාර්මික ශිල්පීන්ගෙනුත් ඉතා හොඳ සහයෝගයක් මට ලැබුණා

මෙවැනි චරිතයක් බාරගැනීම ගැන මා පෞද්ගලිකව සතුටුවෙනවා. සචිත්‍ර වැනි චරිත පිළිබඳ ඔබේ මතය දැනගන්න කැමැතියි …….?

බොහෝම ස්තුතියි. සචිත්‍ර වැනි චරිත ගැන මගේ මතය කිව්වොත් මෙහෙමයි, අපි හැම කෙනෙක්ම සොයන්නේ ආදරය. සචිත්‍ර කියන්නේත් ඒවගේ ආදරය, රැකවරණය සොයන කෙනෙක්. එතැනින් එහාට මම කිසිදෙයක් දකින්නේ නැහැ . සචිත්‍රත් අපි වගේම ඇට, මස්, ලේ, නහරවලින් හැදුණු ආදරවන්තයන්ගේ කුලකයට අයත් සාමාන්‍ය මනුස්සයෙක් .

සමරිසි ආදරය පිළිබඳ ඔබේ පෞද්ගලික විග්‍රහ කළොත් ….?

සමරිසි හෝ විෂමරිසි ලෙස ආදරය වර්ග කරන්න මම කැමැති නැහැ . මම ආදරය පොදුවේ දකින කෙනෙක්. අපි එසේ කිසිදෙයක් අනවශ්‍ය ලෙස හෙළිකළ යුතු නැහැ කියා මා සිතනවා. තමන්ට ගැළපෙන කෙනා ගැළපෙන ලෙස කොයිමොහොතක හෝ ලැබෙනවා. ආදරයේදී ඒ කුලකයට අපි සැවොම අයත්. ඒක එකිනෙකාගේ පෞද්ගලික අයිතිය. ඒක විවේචනයට හෝ ගැරහීමට කාටවත් සදාචාරාත්මක අයිතියක් නැහැ . කාටවත් ආදරයට තහංචි දාන්න බැහැ . ලෝකෙන්ම සිර කළත් අපට කෙනෙක්ගේ සිතක් සිර කරන්න බැහැනේ . එනිසා අපි කාගේවත් ආදරයට තහංචි දාන්න හොඳ නැහැ

ශාන් ජයරත්නගේ නවතම ටෙලිනාට්‍යයේත් ඔබ රඟපානවා. ඒ ගැන යමක් කියනවානම් ……?

ඔව්, ඒකත් වෙනස්ම වැඩක් වේවි. ළඟදීම ශාන් ජයරත්නගේ අලුත්ම වැඩේ බලාගන්න පුළුවන් වේවි. ශාන් කියන්නේ නැඟී එන අලුත්ම අධ්‍යක්ෂවරයෙක්. ඔහු මටත් වඩා වයසින් බාලයි. ඔහු අනාගතයේදී පරිණත බවත් සමඟ හොඳ , දක්ෂ අධ්‍යක්ෂවරයෙක් වේවි. ශාන්ගේ දැවැන්තම නිර්මාණයක රඟපාන්න ලැබුණොත් ඒකත් මගේ භාග්‍යයක් කොට සලකනවා

මේ දිනවල රංගනයෙන් දායක වන නිර්මාණ මොනවාද …….?

ඔව්, මේ දිනවල මගේ නිර්මාණ කිහිපයක් රූපවාහිනියේ විකාශය වෙනවා. ස්වර්ණවාහිනියේ “ජුරාලියා”, හිරු නාළිකාවේ “රොන් සොයා”, සියත නාළිකාවේ ” සින්ධූ” ආදී ලෙසින්. මා රඟපෑ ටෙලිනාට්‍ය දෙකක් විකාශයට නියමිතයි . ඒවගේම මම උප ප්‍රධාන චරිතයක් රඟපෑ “මදර් ලංකා” චිත්‍රපටයත් පසුගියදා තිරගතවීම් ඇරඹුවා. ඒකත් හොඳ ප්‍රතිචාර සමඟ තිරගත වෙනවා

රඟපෑ චරිත අතරින් ඔබට වඩාත් සුවිශේෂී චරිත මොනවාද…..?

මම රඟපෑ චරිත සියල්ලම මට සුවිශේෂියි. ඒ සියලු චරිත කළේ හරිම කැමැත්තෙන්.

සිනමාව තුළ ඔබේ භූමිකාව පැහැදිලි කරනවානම් ….?

සිනමාවේ මම රංගනයෙන් දායක වූ අනූෂ එදිරිමුනි අධ්‍යක්ෂණය කළ “මදර් ලංකා” පසුගිය 14 දා සිට තිරගත වෙනවා. එහි උප ප්‍රධාන චරිතයක් මම කළේ. සිනමාවේ මම රංගන ශිල්පියා නමැති භූමිකාවටයි අයිතිවෙන්නේ.

රංගන කාර්යයේදී ගුරුකොටගත් චරිත හා දෙස්, විදෙස් නිර්මාණ ගැන කීවොත් ….?

ලියනාඩෝ ඩිකැෆියෝ, ජොනී ඩෙප් වැනි රංගන ශිල්පීන්ගේ සිනමා නිර්මාණ තුළින් ඔවුන්ව අධ්‍යයනය කරනවා. ඒ හොලිවුඩ් පැත්තෙන්. බොලිවුඩ් පැත්තෙන් ගත්තොත් ෂාරුක් ඛාන්, රිතික් රෝෂන් වැනි නළුවන්ගේ රංගනයන්ට කැමැතියි. ඔවුන් දෙදෙනාගේ තිබෙන ආකර්ෂණයත් සමඟයි මට නළු සිහිනය ඇතිවුණේ. විවිධ ශානරවල සිනමා නිර්මාණ මම රසවිඳීනවා. හොඳයි කියලා දැනෙන සිනමා නිර්මාණ මම නිරන්තරයෙන් නරඹනවා. චිත්‍රපට නැරඹීමෙන් තමයි මම සිනමාව ගැන බොහෝ දේ ඉගෙනගන්නේ.

පාසල් අවධියේත් කලාකටයුතුවලට දායක වී තිබෙනවාද …..?

පාසල් අවධියේදී මම සංගීත විෂයය හැදෑරුවා. ඉංග්‍රීසි මාධ්‍යයෙන් සමස්ත ලංකා නාට්‍ය තරඟයකට සහභාගි වෙලා තිබෙනවා . එයින් ජයග්‍රහණත් ලබාගෙන තිබෙනවා . ඒ අවධියේ රංගනයට නම් මුල්තැන දුන්නේ නැහැ

චතුරංග කොඩිතුවක්කු නමැති මෝස්තර නිරූපණ ශිල්පියා (Modler) ගැන සිහිපත් කළොත් …….? ජයග්‍රහණ, සම්මාන ලබාගෙනත් ඇති….?

නිරූපණ ක්ෂේත්‍රයෙන් ලොකුවට නම් ජයග්‍රහණ ලබා නැහැ . 2019 දී “ර්චද ඩ්භදබ” තරගයට ඉදිරිපත් වෙලා අවසන් 15දෙනා අතර සිටියදී මම තරගයෙන් ඉවත් වුණා. ඒ කාලයේම තමයි “හදවතේ කතාව” ටෙලිනාට්‍යයට මට ආරාධනා ලැබුණේ . ඒ සමඟම රංගනයට පිවිසීම නිසා මෝස්තර නිරූපණයට වඩාත් යොමුවුණේ නැහැ

විදෙස් නිර්මාණ සඳහා ආරාධනා ලැබී නැද්ද…..?

ලංකාවේ රූගතකිරීම් කළ එක් තෙළිඟු නිර්මාණයකට දායක වුණා. ඉදිරියේදී විදෙස් නිර්මාණවල රඟපෑමට මට අවස්ථාව ලැබෙයි කියා සිතනවා

රූපරචනාවලට දායක වී තිබෙනවා නේද…?

දැනට රූප රචනා 50කට වැඩි ප්‍රමාණයකට දායකවී තිබෙනවා . ඉදිරියේදී මගේම ගීත නිර්මාණයකට සූදානමක් තිබෙනවා

සිනමාව, කලාව, රංගනය පිළිබඳ වැඩිදුර ඉගෙනීමට අදහසකුත් ඇති…?

ඔව්, අනිවාර්යයෙන්ම. දැනට කාර්යබහුලත්වයත් සමඟ අධ්‍යයන කටයුතුවලට යාගන්න බැරි තත්ත්වයක් තියෙන්නේ . ඉන්දියාවට ගිහින් කලාව, සිනමාකරණය වැඩිදුර ඉගෙනීමට කැමැත්තක් තිබෙනවා. දැනට ජ්‍යේෂ්ඨ රංගන ශිල්පීන්ගේ රංගනයන් අධ්‍යයනය කරමින්, ඔවුන්ගේ උපදෙස්, ගුරුහරුකම් යටතේ රංගනය පිළිබඳ ස්වයං අධ්‍යයනයක නිරතවෙනවා

වෘත්තියමය වශයෙන් කලාවේ නිරත වෙන්නද බලාපොරොත්තුව….?

දැනටමත් මම වෘත්තියමය රංගන ශිල්පියෙක්. දිවි ඇති තෙක්ම රංගනයේ නිරතවෙන්න තමයි බලාපොරොත්තුව

ලේඛනයට නැඹුරුවක් නැද්ද…? තිර පිටපතක් මා හට ලියන්න උත්සාහ කළේ නැද්ද…?

ඇත්තෙන්ම මට ලියන්න බැහැ. තිර රචනාවලට දේවල් සිතන්න පුළුවන්. සිතෙන් මම බොහෝ කතා මවනවා. සමහර දේවල් මගේ ජංගම දුරකතනයට බාගත කරගන්නවා. අනාගතයේ මගේම වැඩක් කරද්දී ඒ දේවල් මම භාවිතයට ගනීවි

වේදිකාවට ගොඩවෙන්න අදහසක් නැද්ද …?

වේදිකාවට ආරාධනා බොහෝ ලැබුණා. වේදිකාවට එන්න ආසයි. එහෙත් කාර්යබහුලත්වය සමඟ ඒ සඳහා යොමුවිය නොහැකියි. ඉදිරියේදී බලමු..

නර්තනය, නිවේදනය ආදී අංශයන්ට නැඹුරුව මොනවගේද ……?

දැනටමත් මම හිරු නාළිකාවේ නිවේදන කටයුතු කරනවා. නර්තනය නම් ලොකුවට හදාරලා නැහැ . ඒ ගැන ලොකු ආසාවකුත් නැතිවුණත් නර්තනය ඉගෙනගන්න ආසයි. ඒත් මම වැඩියෙන්ම ආස කරන්නේ රංගනයට හා නිවේදනයට.

චරිතයක් බාරගැනීමේදී විශේෂයෙන් සලකා බලන කරුණු තිබෙනවද…..?

විශේෂ කරුණු කියලනම් නැහැ . ලැබෙන ඕනෑම චරිතයක් භාරගෙන එහි මගේ උපරිමය පෙන්වන්න මම කැමැතියි . සුදු, කළු ඕනෑම චරිතයක් භාරගන්නවා

අනාගතයේදී අපට චතුරංග කොඩිතුවක්කු නමින් අධ්‍යක්ෂවරයෙක්, නිෂ්පාදකවරයෙක් දක්නට ලැබේවිද….?

ඇත්තෙන්ම මම අධ්‍යක්ෂණයට කැමැතියි . ඒත් මම සිතන්නේ මා යා යුතු මාර්ගය රංගන ශිල්පියා කියන මාර්ගය කියලයි. හොඳම නළුවා වීම තමයි මගේ බලාපොරොත්තුව. අනාගතයේ අධ්‍යක්ෂවරයෙක් වේවිද කියලත් කියන්න බැහැ . එහෙත් මම නිෂ්පාදකවරයෙක් නම් වේවි. හොලිවුඩ්, බොලිවුඩ්වල පවා රංගන ශිල්පියෙක් තමයි බොහෝදුරට නිෂ්පාදකවරයකු වෙන්නේ. නිෂ්පාදකවරයකු වීම මම දකින සිහිනයක්.

තාරුණ්‍යයේ සිටින ඔබ ප්‍රේමයේ මිහිර විඳීනවාත් ඇති……?

පාසල් සමයේ සිටම ප්‍රේමයේ මිහිර විඳීනවා. මිහිරි වගේම අමිහිරි අත්දැකීමුත් මට තිබෙනවා . ප්‍රේමය, ආදරය කියන දේ සෑම කෙනෙක්ටම අවශ්‍යයි

ඉදිරි නිර්මාණ කාර්යයන් ගැන ඉඟියක් දුන්නොත් ………..?

නිර්මාණ 2,3ක්ම එන්න තිබෙනවා . ඒවා ලංකාවේ ලස්සනම නිර්මාණ වේවි

පවුලේ විස්තර සහ ඔවුන්ගෙන් ඔබේ කලා දිවියට ලැබෙන සහාය මොනවගේද ….?

මගේ අම්මා, තාත්තා දෙන්නම ජීවතුන් අතර නැහැ. ඔවුන් දෙදෙනා ජීවතුන් අතර සිටින කාලයේ පාසල් සමයේ සිටම මට විශාල සහායක් දුන්නා. ඒ ගැන අම්මාටත් තාත්තාටත් ස්තුතිවන්ත වෙනවා

 

[email protected]

මනෝජ් රුක්මල් කුමාරසිංහ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT