Home » පුංචි දරුවන්ට දැනෙන විදිහට ළමා චිත්‍රපට කරන්න

පුංචි දරුවන්ට දැනෙන විදිහට ළමා චිත්‍රපට කරන්න

ලේඛිකා නදීකා මධුවන්ති

by Thanushika
February 27, 2025 10:27 am 0 comment

මල් කියන්නෙ කාට කාට
ළමයින්ටයි පාට පාට
පෙළක් ළමයි සුවඳ ගොඩයි
පෙළක් ළමයි හරිම හැඩයි

මේ අපට කුඩා කල ඇසුණ , නන්දා මාලිනිය විසින් ගැයූ ළමා ගීතයක කොටසකි. පුංචි දරුවන් මල් වැනිය. පුංචි දරුවන්ගේ සිත් සුන්දරය. පුංචි සිත්තුළ ඉරිසියාව, කුහකකම නැත. එහෙත් කුඩා දරුවන්ගේ සිත් හඳුනාගැනීමට ඉතා අපහසුය. ඔවුන්ට යම් කරුණක් ගැන වටහා දීමේදී ඉතා සැලකිලිමත් විය යුතුය. ඔවුන් ප්‍රිය කරන්නේ ආදරයට, කරුණාවටය. කුඩා දරුවන්ට යමක් වටහා දියයුත්තේ ඔවුන්ට දැනෙන පරිදිය. ඉක්මනින් තේරුම් ගැනීමට හැකිවන පරිදිය.

බොහෝ විට දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්නේ පොත පතින්ම පමණි. එහෙත් පොත්පත් පරිහරණය කිරීමෙන් පමණක් ළමා මනස වර්ධනය කළනොහැකිය. කිසියම් ක්‍රියාකාරකම් මඟින් දරුවාගේ මනසට යමක් ඇතුළු කිරීමෙන් එය දරුවාගේ මතකයේ රැඳෙන ඉඩකඩ වැඩිය. තම දරුවාට කියවීමට, බැලීමට පොතක් ලබා දීමේදී වුවද ඒ ගැන මව්පියන් සැලකිලිමත් විය යුතුයි. ඉතා සිත් ගන්නා සුලු අයුරින්, රූප ඉතා අලංකාර ලෙස වර්ණවත්ව යොදා ගැනීමෙන් පළවූ පොතපත ලබාදීමෙන් දරුවාගේ ඒ සඳහා ඇති රුචිකත්වය වර්ධනය කරගත හැකිය. එමෙන්ම සිංහල භාෂාවෙන් මුද්‍රණය වූ පොතපත සේම ඉංග්‍රීසි භාෂාවෙන් ලියැවුණු පොතපතද දරුවන්ට හුරුකිරීමෙන් ඉංග්‍රීසි භාෂාවට හුරු වීමට ඔවුන්ට රුකුලක් වනු ඇත. දරුවන් සඳහා ඉංග්‍රීසි භාෂාවෙන් නිර්මාණය වූ අපූරු පොත් පෙළක් දොරට වැඩීම පසුගියදා සිදුවිය. එහි හිමිකාරිය කුඩා දරුවන්, මව්පියන්, ගුරුවරුන් අතර ඉතා ජනප්‍රිය චරිතයක් වූ නදී ටීචයි. ඇය නදීකා මධුවන්තී. ඇය අතින් ලියැවුණු ළමා පොතපත පිළිබඳ සහ දරුවන් වෙනුවෙන් ඇය ගෙනයන ඉගැන්වීම් රටාව පිළිබඳ කතා කිරීමට නදීකා මධුවන්තී සරසවිය සමඟ එක්වූවාය.

මම මීට අවුරුදු දහයකට පෙරසිටන් කාර්මික විද්‍යාල, තාක්ෂණික විද්‍යාල සහ පෞද්ගලික විශ්වවිද්‍යාලවල ආරාධිත කථිකාචාර්‍යවරියක් ලෙස සේවය කළා. කොවිඩ් වසංගතය පැමිණීමත් සමඟ දරුවන් නිවෙස් තුළට කොටුවුණා. ඒ හේතුවෙන් නිදහසේ ගෙවුණු ඔවුන්ගේ ජීවිතය පීඩනයකට පත්වුණා කියලා මට දැනුණා. තරුණ සිසුන් පමණක් නෙවෙයි ළදරු පාසැල් යන දරුවන්ගේ තත්වය පවා වෙනස්වුණා. ඔවුන් තාක්ෂණික මෙවලම් වලට හුරුවුණා. ඔන්ලයින් ක්‍රමය යටතේ ඉගැන්වීම් කටයුතු කෙරුණ නිසාත් නිදහස සීමා වුණා. පුංචි දරුවන්ටත් සිදු වුණා ඔන්ලයින් ක්‍රමයට හුරු වෙන්න.

ඒ වෙලාවේ තමයි මට දැනුණේ අධ්‍යාපන ක්‍රමයෙන් ලැබෙන පීඩනය වැඩිබව. එහි කුමක් හෝ වෙනසක් සිදුවිය යුතුයි කියලා මට වැටහුණා. පුංචි දරුවන්ගේ මනසට දෙයක් ලබාදිය යුත්තේ දරාගන්න බැරි තරමට නෙවෙයි. ඔවුන්ට දෙයක් කියාදිය යුත්තේ සරලව. විනෝදයෙන්. අපිත් ඒ අවස්ථාවේ පුංචි දරුවන් වගේ වෙන්න ඕන. විනෝදයෙන් ඉගැන්වීමෙන් තමයි පුංචි දරුවන්ව ආකර්ෂණය කරගත හැකිවෙන්නේ. මම මුලින්ම මගේ දරුවන්ගෙන් තමයි පුංචි දරුවන්ට උගන්වන්න අවශ්‍ය ක්‍රමය පටන් ගත්තේ. ඉංග්‍රීසි අකුරු ශබ්ද කරන විදිහ මම මගේ දරුවන්ට විනෝදයෙන් කියල දුන්නා. ඒ විදිහට කරන ඉගැන්වීම් ඒ අවස්ථාවෙම වීඩියෝ කරගත්තා. ඉන්පසුව සමාජ මාධ්‍යයේ ඒ ගැන පේජ් එකක් හදාගත්තා. ව්චඤඥඥ බඥචජඩඥප ඩධථඥ ඵජඩධධතඪදඨ විදිහට තමයි මම ඒක නම් කළේ. එය ගොඩක් දෙනෙක් නරඹලා තිබුණා.

පසුව මම තීරණය කළා ඒ දේවල් පොතක් විදිහට මුද්‍රණය කරන්න. ඒ අනුව තමයි පොත් ගැන මගේ උනන්දුව ඇතිවුණේ. මගේ මුල්ම පොත ඩ්‍රැකෝ. ඒ කතාවේ ඩ්‍රැගන්ගේ නම ඩ්‍රැකෝ. පිරිමි ළමයාගේ නම රොන්. ඒ කතාවෙන් දරුවෙක් කොහොමද එදිනෙදා ජීවිතයේදී කටයුතු තනියම කරගන්නේ කියන පණිවිඩය ලබා දෙනවා. ඒ වගේම තමන්ට දැනෙන දුක තරහ වගේම චිත්ත වේගයත් පාලනය කිරීම , එකිනෙකාට උදව්කර ගැනීම සහ මිත්‍රත්වයේ බලය පෙන්වනව ඒ කතාවෙන්.

මම විශ්වාස කරනවා කතාන්දර පොත් දරුවන්ගේ ගතිගුණ සහ හැකියාවන් වර්ධනය කරන්න උපකාරී වෙනවා කියලා. විශේෂයෙන් කතාන්දර පොත් කියවීම මඟින් දරුවන්ගේ වචන හඳුනාගැනීම, ඉංග්‍රීසි භාෂා හැකියාව, නිර්මාණශීලිත්වය, චිත්තරූප මවා ගැනීම කාරණා සියල්ලේ එකමුතුවෙන් ඔවුන්ගේ බුද්ධිය වර්ධනය වෙනවා. දරුවන් සමාජයේ යහපත් පුද්ගලයන් බවට පත්වෙන්නේ පොතපත කියවීමෙන්.

මගේ දෙවෙනි පොතෙන් කියවෙන ප්‍රධාන පණිවිඩය වන්නේ අන් අයට උදව් කිරීම. ඒ පොතේ නම ඊඩපඥඥ තඪබබතඥ ඡඥඥඵ (මී මැසි යහළුවෝ) මේ කතාවේ මී මැස්සෝ එකට එකතු වෙලා මකුළු දැලක සිරවී සිටින සමනලයෙක් බේරා ගන්නවා. ඉතිං මේ වගේ කතාවකින්, එකමුතුවෙලා ප්‍රශ්නයක් කොහොමද විසදා ගන්නේ කියලා දරුවන්ට කියාදෙනවා. ඇයි කතාන්දර පොත් කියවීම දරුවන්ට වැදගත් වෙන්නේ කියන එක ගැනත් මම පැහැදිලි කරන්නම්.

කතාන්දර පොත් මඟින් දරුවාට නව ලෝකයක් විවර වෙනවා. වර්තමානයේ දරුවන් වැඩි වශයෙන් තාක්ෂණික මෙවලම්වලට පුරුදු වෙලා. පොත් කියවීමට උනන්දු කිරීමෙන් දරුවන්ව ස්ක්‍රීන් එකෙන් ඉවත් කර පොතපතට හුරුකිරීමට හැකියාව ලැබෙනවා.

දරුවන් නින්දට යාමට පෙර පොතක් කියවනවා නම් ඔවුන්ට ලැබෙන නින්ද සැහැල්ලු බවකින් යුක්තයි. ඒ වගේම දරුවන් සහ මව්පියන් අතර බැඳීම ශක්තිමත් වෙනවා. Bedtime story එකකින් දරුවාට සැහැල්ලුවක් ලැබෙනවා. සුවදායක නින්දක් ලැබෙනවා.

මම ළමා ගීත පොතක් නිර්මාණය කළා. ඒ පොතෙන් ප්‍රසිද්ධ ළමා ගීත (ඉංග්‍රීසි) දහයක්, එය ශබ්ද කරන ආකාරය සහ ඊට ගැළපෙන සිංහල ගීතයද නිර්මාණය කරල තියෙනවා. Twinkle Twinkle, Humpty Dumpty  වැනි ප්‍රචලිත ගීත දහයක් එහි ඇතුළත්. මෙහිදී මට සිංහල ගීතය නිර්මාණය කිරීමට ඉංග්‍රීසි ගුරුවරියක් වන බන්දුමතී ද සිල්වා මහත්මියඋදව් කළා. ඉංග්‍රීසි භාෂාවට සමීප නැති මව්පියන්ට නිවැරැදිව ගීතය ගායනා කිරීමට සහ නිවැරැදි සිංහල තේරුම දැනගැනීමට පුළුවන්. එවිට තම දරුවන්ට එය කියාදීමට මව්පියන්ට හැකියාවක් තියෙනවා. මම බලාපොරොත්තු වෙනවා මෙම පොත් මිලදී ගන්නා අයට සිංහල සහ ඉංග්‍රීසි ගීතවල Audio tracks  ලබා දෙන්න.

කුඩා දරුවන් ආසයි ලස්සන පාට පාට පින්තූර බලන්න. ඒව බලල ඒ විදිහට පාට කරන්න, අඳීන්න පුංචි දරුවෝ ආසයි. ඒ වෙනුවෙන් මම පොත් පහක් නිර්මාණය කළා. එයට Doodle Colouring, Pattern Colouring  කියන දෙවර්ගයට අයත් පොත්. මෙම දෙවර්ගය නිසා කුඩා දරුවන්ගේ මතකය, යම් කාර්යයක් සඳහා යොමු කිරීමේ හැකියාව, අවධානය, කැපවීමෙන් වැඩ කිරීම වැනි දේ සඳහා ඔවුන් පෙලඹෙනවා. ඒ මඟින් ඔවුන්ගේ නිර්මාණශීලිත්වය වර්ධනය වෙනවා.

මෙම පොත් නිර්මාණය කිරීමේදී ඉංග්‍රීසි භාෂාවට තමයි මුල්තැන දුන්නේ. එසේ කිරීමට හේතුව තමයි අපේ දරුවන් අන්තර්ජාතික තලයට යා යුතුයි. ඒ සඳහා ඉංග්‍රීසි ලිවීම වගේම කියවීම, කතාව අවශ්‍යමයි. ඒ සඳහා පුහුණුවක් කුඩා කාලයේ සිටම දරුවාට ලබාදිය යුතුයි. අවුරුදු පහට අඩු දරුවන්ට භාෂා දැනුම ලබාදිමේදී ඔවුන් ඉක්මනින් ග්‍රහණය කරගන්නවා. මම මුලින්ම සඳහන් කළා වගේ Letter Sounds ඔවුන් ඉක්මනින් ඉගෙන ගන්නවා. අවුරුදු දහයක් වගේ යනවිට ඉංග්‍රීසි භාෂාව විෂයයක් විදිහට ඉගෙන ගන්නවාට වඩා පහසුයි කුඩා කාලයේ සිටම ක්‍රමානුකූලව එය මතකයේ තබා ගැනීමට හැකිවන සේ ඉගැන්වීම.

මේ වනවිට දිවයින පුරා පෙර පාසැල් තුන්සියයක් පමණ මා සමඟ අත්වැල් බැඳගෙන ඉන්නවා. මම පෙර පාසැල් ගුරුවරුන්ව නොමිලේ පුහුණු කරනවා. යහපත් සමාජයක් ගොඩනැඟීමට නම් අපි පුංචි දරුවන්ට ඒ සඳහා පුරුදු පුහුණු කළ යුතුයි. නිසි අධ්‍යාපනය ලබා දිය යුතුයි. ඔවුන්ට ඉක්මනින් අවබෝධ කරගන්න පුළුවන් විදිහට අධ්‍යාපන ක්‍රමය සකස් වියයුතුයි. එය තනියම කළහැකි දෙයක් නොවෙයි. ගහක් විශාල වූ විට නැමිය නොහැකියි. ඒ වගේම තමයි දරුවන්. පුංචි කාලයේදීම හොඳීන් අධ්‍යාපනය ලබාදී ඔවුන්ට නිසි මාර්ගය පෙන්වා දුන්නේ නැත්නම් වැඩිහිටි පත්වූ විට ඒ දේ කරන්න බැහැ . මව්පියන් කරන දේ දැකලා තමයි දරුවන් මුලින්ම ඉගෙන ගන්නේ. ඒ නිසා නිතරම මව්පියන්ගෙන් ගුරුවරුන්ගෙන් ඉල්ලන්නේ අපි වෙනස් වෙමු කියලා. අපි හරි දේ කළොත් අනිවාර්යයෙන් දරුවන් හරි දේ කරනවා. මම දකින විදිහට අධ්‍යාපනයයි, සෙල්ලමයි කියන්නේ දෙකක් නෙවෙයි එකක්. විනෝදයෙන් ක්‍රියාකාරකම් ඔස්සේ කුඩා දරුවන්ට ඉගැන්වීමේදී ඔවුන් ඉතා පහසුවෙන් ඒ දේ ඉගෙන ගන්නවා. මම මගේ ජීවිතයේ කුඩා දරුවන්ට ඉගැන්වීම් කිරීමෙන් ලද අත්දැකීමෙන් තමයි එහෙම කියන්නේ. හැබැයි ඒ දේ කළ යුත්තේ ළමා මනස හොඳීන් හඳුනාගෙන විනෝදයෙන්. උගන්වන විට එය පහසුයි වගේම සාර්ථකයි. මගේ ඉගැන්වීම් ක්‍රමය නිසා මට දරුවන්ගෙන්, ගුරුවරුන්ගෙන් ලැබෙන ප්‍රතිචාරත් ඉහළයි. මට හැමෝම කතා කරන්නේ නදී ටීචර් කියලා. ඒ වගේම ප්‍රින්සස් ටීචර් කියලත් කියනවා. එහෙම කියන්න හේතුවක් තියෙනවා.  Nadee teacher home schooling කරද්දී ප්‍රින්සස් කෙනෙක් වගේ ඇඳගෙනත් උගන්වනවා. ඒ විදිහට ලස්සනට පේන කොට පුංචි දරුවන් හරි ආසයි. ඒක ඔවුන්ට දැනෙනවා. ඔවුන් හිතන්නේ ඇත්තටම ප්‍රින්සස් කෙනෙක් කියලා. දවසක් අම්මා කෙනෙක් හරි අපූරු කතාවක් කිව්වා. එයාට ඉන්නෙ පුතාල දෙදෙනෙක් . එක පුතෙක් කිව්වලු ” එයා මගේ ලෝකේ ප්‍රින්සස් ” . අනෙක් පුතා කියනවලු නැහැ එයා පපට්ස්ලා අතේ තියාගෙන ඉන්න නිසා එයා තමයි සත්තුන්ගේ ලෝකේ ප්‍රින්සස් කියලා. අන්න ඒ වගේ එයාල මවා ගත්ත ලෝකයක ඉඳන් ඉගෙන ගන්නවා.

අම්මලා මට නිතරම කියන දෙයක් තියෙනවා . ” අපිට හිතා ගන්න බැහැ නදී ටීචර් උගන්වන කොට ඒ උගන්වන දේවල් ඉතාමත් ඉක්මනින් අපේ දරුවන් මතක තියාගන්නේ කොහොමද කියලා.

ඒ තමයි මම උගන්වන රටාව. ඒ නිසා තමයි පුංචි දරුවෝ නදී ටීචර්ට ගොඩක් කැමැති.මව්පියන්ට පුළුවන් දරුවන් කුඩා කාලයේදීම ඉගෙනීමට හොඳීන් හුරු කරන්න. තාක්ෂණික මෙවලම් දරුවන්ගෙන් ඈත් කරන්න පුළුවන් අම්මාට තාත්තාට විතරයි. ඔවුන් ජංගම දුරකතනයට ඇබ්බැහි වෙලා නම් ඇත්තටම දරුවනුත් ඒ දේට ඇබ්බැහි වෙනවා. කුඩා ළමුන් අතට ජංගම දුරකතන පත්වීම නිසා ඔවුන්ගේ බුද්ධි මට්ටම පහළට යන්න පුළුවන්. මොළය වර්ධනය අඩු වී යනවා.ඔවුන්ව පසුව එයින් මුදාගන්න හිතන්න එපා. පුංචි කාලයේදීම ඒ දේවල් වලින් ඈත් කිරීම මව්පියන්ගේ වගකීමක්. මම මගේ දරුවන් දෙදෙනා වෙනුවෙන් කාලය වෙන්කළ යුතු නිසා සවස හයෙන් පස්සේ මමත් මගේ මහත්මයාත් ජංගම දුරකතන පාවිච්චි කිරීම නතර කරල තියෙන්නේ. ඒ වගේ සෑම මව්පියන්ම එසේ කරනවා නම් දරුවන් යහමඟට ගැනීම පහසු වෙනවා.

පොතපතින් පමණක් නෙවෙයි අපිට වෙනත් මාධ්‍යවලින්ද කුඩා දරුවන් ට ආමත්‍රණය කළ හැකියි. මම මෙහෙම දෙයක් යෝජනා කරන්න කැමතියි. සිනමාව මඟින් දරුවන්ට දැනෙන නිර්මාණයක් කරන්න කවුරු හෝ ඉදිරිපත් වෙනවා නම් වටිනවා. මම පුංචි කාලේ නරඹපු චිත්‍රපටයක් තමයි සූරිය අරණ චිත්‍රපටය. මට එය අදටත් හොඳට මතකයි. ඒ වගේම තමයි සරෝජා සහ හෝ ගානා පොකුණ. ඉන්දියාවේ නිර්මාණය වූ Taare Zameen Par  කියන චිත්‍රපටය දරුවන්ට කොතරම් දැනුණ චිත්‍රපටයක්ද? ඒ වගෙම මව්පියන්ට , ගුරුවරුන්ට වැදගත් පණිවිඩයක් දෙන චිත්‍රපටයක්ද? ඒ ගුරුවරයාගේ ඉගැන්වීම් විලාසය නිසා පුංචි දරුවා වෙනස්වන ආකාරය ලස්සනට පෙන්වා දීලා තියෙනවා . දරුවන්ට ආදරෙයි කතාබහ කළොත් , කරුණාව දැක්වුවොත් ඔවුන් කීකරුව හොඳීන් හැසිරෙනවා. ඉගෙන ගන්නවා. කිසි විටෙකත් දරුවන් තනි නොකළ යුතුයි. සමහර මව්පියන් තම දරුවෝ මුරණ්ඩුයි කියල ඔවුන්ව නේවාසිකාගාරවල නවත්වනවා. එවිට වෙන්නේ ඔවුන් තවත් තනිවෙන එක. මව්පිය සම්බන්ධතා දුරස් වෙනඑක.

ඒ වගේම තවත් කාරණයක් තියෙනවා. කතාකළ යුතු. සෑම දරුවෙකුටම බැහැ කවදා හරි දොස්තර කෙනෙක් වෙන්න, ඉංජිනේරුවෙක් වෙන්න. ඒත් වැඩිහිටියන් බල කරන්නේ ඒ වගේ කෙනෙක් වෙන්න කියලා. අපේ දරුවන්ට හැකියාවන් රාශියක් තියෙනවා. ඔවුන් නිර්මාණශීලී වෙන්න පුළුවන්. ඒවා හඳුනාගෙන දරුවන්ට නිසි මාර්ගය පෙන්වන්න පුළුවන් නම් ඔවුන් බොහෝ දුර යාවී. කුඩා කාලයේ දරුවන් බිත්තිවල චිත්‍ර අඳීනවිට ඒවට තහංචි දැම්මොත් හොඳ චිත්‍ර ශිල්පියෙක් බිහි වෙන්නේ නැහැ. සිබිල් වෙත්තසිංහ වැනි සුප්‍රකට, දක්ෂ චිත්‍ර ශිල්පීන් බිහිවෙන්නේ කුඩා කල සිටම ඔවුන්ගේ හැකියාවන්ට මව්පියන් ඉඩදුන් නිසා. ඒ නිසා පොතපත වගේම කලාව දරුවන්ට අවශ්‍යමයි. ඔවුන්ව සෞන්දර්ය සඳහා යොමු කළ යුතුයි.

මම දරුවන් වෙනුවෙන් දිගටම මේ රාජකාරියේ යෙදෙන්න බලාපොරොත්තු වෙනවා. මම තවත් පොත් කිහිපයක් ලියමින් ඉන්නේ. පෙබරවාරි 14දා පොත් කිහිපයක් එළිදැක්වූවා. කොළඹ එම්.ඩී. ගුණසේන සමාගමේදී. මම මුලින්ම තනියම මේ කටයුත්ත පටන් ගත්තේ. දැන් මගේ පිටුපස ලොකු කණ්ඩායමක් ඉන්නවා. සුනිල් එදිරිවීර සර් මට මේ සඳහා ලොකු ශක්තියක්, දිරිමත් කිරීමක් ලබා දෙනවා. ඔහු තමයි මගේ පොත්වල හැමදේම පරීක්ෂා කරල බලන්නේ. කිසිදු අයකිරීමකින් තොරව නොමිලේම තමයි ඒ රාජකාරිය සුනිල් සර් මට කරල දෙන්නේ. ඔහු මට නිතරම කියන දෙයක් තියෙනවා.

” ඔයා කරන මේ දේ ඉතා වටිනවා. දුව ඉන්න ඕන අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉහළ තැනක. ඒ විදිහට සර් මාව නිතරම දිරිමත් කරනවා. ඒ වගේම මගේ මහත්මයා හසන්ත සංජීව මට ගොඩාක් උදව් කරනවා. මට ඉන්නේ දුවලා දෙදෙනෙක්. ලොකු දුව ඔමායා මිහින්දි. එයාට අවුරුදු හයයි. පොඩි දුව ඔනිලි විහාරා. එයාට තවම අවුරුදු හතරයි.

අවසාන වශයෙන් වැදගත් කාරණයක් කිව යුතුයි. දැන් පවතින අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් සිදුවිය යුතුයි. ඒ දේ ඉදිරියේදී අනිවාර්යයෙන් සිදුවෙයි කියලා හිතනවා. අපි දරුවන්ට පෙර පාසැල් සමයේ සිටම යහමඟට ගත යුතුයි. අධ්‍යාපනය නිසි අයුරින් ලබාදිය යුතුයි. මම මින් පෙර සඳහන් කළා මා වටා පෙර පාසැල් ගුරුවරියන් තුන්සියයක් පමණ ඉන්නවා කියලා. මම ඔවුන්ව නොමිලේ පුහුණු කරනවා. අපි මේ හැමදෙයක්ම කරන්නේ දරුවන් වෙනුවෙන්. ඒ නිසා අපි කණ්ඩායමක් විදිහට වැඩ කරන්න අවශ්‍යයි. මම මේ ඉගැන්වීම් ක්‍රමය තනියම කළොත් ඒක හුවමාරු වෙන්නේ සුළු පිරිසක් අතරේ පමණයි. ඒත් අපි එකතු වෙලා කළොත් විශාල පිරිසකට මෙය දන්වන්න පුළුවන්. මව්පියන්ගෙන්, ගුරුවරුන්ගෙන්, ඉල්ලීමක් කරන්න කැමතියි. දරුවන්ට ආදරය කරන්න. රැකවරණය ලබාදෙන්න. විනෝදයෙන්, සතුටින් ඔවුන්ට උගන්වන්න. ඒ වගේම දරුවන්ව සෞන්දර්ය පැත්තට යොමු කරන්න. කලාකාමී දරුවන්ට පුළුවන් කවදා හෝ යහපත් සමාජයක් ගොඩ නඟන්න.

දරුවන්ගේ ලෝකය ලස්සන කරන්නට කැපවෙන නදී ටීචර්ට සරසවිය පුවත්පතේ සුබ පැතුම් !

[email protected]

නයනාංජලි දෙහිපිටිය

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT