වසර ගණනාවක් මුළුල්ලේ විටෙක සෘජුවමද , තවත් විටෙක ඒ බවක් හැඟවෙන පරිදිද නිශ්චිත ප්‍රේක්ෂක කණ්ඩායම් ඇමතීමට යත්න දරන ප්‍රමුඛතම සිනමාකරුවකු සේ උදයකාන්ත වර්ණසූරිය හඳුනා ගැනීම පහසුය. ඔහු වරෙක සම්ප්‍රදායික පවුලේ ප්‍රේක්ෂකයන් අමතයි. තවත් වරෙක අමතන්නේ වසු වියේ ආදරවන්තයන්ය. ආදරවන්තියන්ය. සුලබ හාස්‍යයට රසවත් දෑ එක් කරලන අවස්ථාද මෙතැනදී හමුවේ. කර්කෂ දේශපාලනය හා ප්‍රචණ්ඩත්වයද ඔහුට අදාළ මාතෘකාවකි. ලිංගිකත්වය ප්‍රවේශමෙන් හසු කර ගැනීමේ වෑයම්ද දක්නට නොලැබෙනවාම නොවේ. මේ අතරට ළමාවරුන් හා ඔවුනගේ දෙමාපියන් සේම භාරකරුවන් අමතන්නටද ඔහු පසුබට නොවෙයි.
මේ අනුව මෙදවස උදයකාන්තව හසු කර ගත හැක්කේ විෂයානුබද්ධව වර්ගීකරණය තරමක් අසීරු සිනමාකරුවකුද වශයෙනි. සිනමා වෙළෙඳ පොළ තුළ සාර්ථකවීම්ද, අසාර්ථකවිම්ද වාර්තා කරන්නට ඔහුගේ සිනමාපට සමත් වන්නේ මේ නිසාය. දෙවසරකට පමණ පෙරාතුව ‘ගින්දරි 3’ සිනමාපටයෙන් වෙළෙඳ පොළ ජයග්‍රහණ සාපේක්ෂව වුව වාර්තා කළ උදයකාන්ත මේ මොහොතේ බරපතළ පසුබෑමක් වාර්තා කරන්නේ ‘රිදී සීනු’ ඔස්සේයි. ‘රිදී සීනු’ හොර රහසේම සිනමාශාලා කරා පැමිණ පැදුරටත් නොකියා පලා ගිය සිනමාපටයක් සේ හඳුනා ගැනීම කිසිසේත්ම අයෝග්‍ය නොවේ. උදයකාන්ත බඳු අර්බුද මැද හෝ සිනමාකරුවාගේ භූමිකාව අඛණ්ඩව නිරූපණය කරන්නකු මෙබඳු ඉරණමකට මුහුණ පෑම විස්මයක්ද දනවයි.
‘රිදී සීනු’ ඉලක්ක කර ගන්නේ ළමා රසිකයන්ය. ඔවුහු තනිපංගලමේ සිනමාශාලා කර නොඑති. එහෙයින්ම ඔවුනගේ දෙමාපියන් හෝ භාරකරුවන් ආකර්ෂණය කර ගන්නා දෑ අන්තර්ගත කිරීම ප්‍රමුඛ අවශ්‍යතාවක් වේ. එසේම පාසල් දර්ශන සඳහා උචිත පසුබිමක් සකසා ගැනීමද වැදගත්ය.
කෙසේ නමුදු ‘රිදී සීනු’ පෙර කි පරිදි පැදුරටත් නොකියාම පලා ගියේ මන්දැයි කියා විමසා බලන පළමු අවස්ථාවේදීම පසක් කර ගත හැක්කේ යට කී කාරණා සම්බන්ධයෙන් සිනමාකරුගේ පාර්ශ්වය ප්‍රයෝගික දැක්මක නොපිහිටි බවයි.එනම් සිනමාපටයේ අරුත ළමාවරුනට හා ඔවුනගේ දෙමාපිය වැඩිහිටි පිරිසට සංවේදී නොවීමය. මේ අරුත අනුචිතය යන්න මෙහිලා අදහස් නොකරන බව සඳහන් කළ යුතුමය.
උදයකාන්ත ප්‍රකට කරන අරුත සේ කුළුගැන්වෙන්නේ පසුගාමී වත්මන් ජන සමාජය ඉදිරිගාමී මඟකට යොමු කරලීම පිණිස වූ ව්‍යාපෘති පුංචිම පුංචි තැනකින් ඇරඹිය යුතු බවයි. මෙබන්දක් කෙමෙන් ප්‍රචලිත වී අවසන රාජ්‍ය නායකයාගේ නියමයෙන් හා අනුග්‍රහයෙන් ජාතික මට්ටමේ සාර්ථකත්වයක් ගෙන එන බවයි. ළමාවරුන් ඉලක්ක කර ගන්නා නිර්මාණ කාර්යයකට මෙය අගනා තේමාවක්ය යන්න පැහැදිලිය. යහපත් යමක් සිය සමාජයේ උන්නතිය පිණිස එක්කරලීම සඳහා ළමා පරපුරද වගකීමක් දැරිය යුතුය යන්නයි උදයකාන්ත අදහස කරන්නේ.
මේ අරුත වත්මන් සිනමා වෙළෙඳ පොළේදී මනාව අලෙවි නොවූයේ එබන්දක ප්‍රයෝගික බව පිළිබඳ බරපතළ සැකයක් මෝදු වීම නිසාම නොවේ. එය පරයා යමින් ළමා පරපුර ඇමතූ ‘අපේ ප්‍රින්සිපල්’ සිනමාපටයද නිසාවෙනි. එසේම ළමා හා ගැටවර සිනමා රසිකත්වය ආනන්දයෙන් පුරවන විදෙස් සිනමාපට ආගමනයද නිසාය. ප්‍රචාරක යාන්ත්‍රණය තියුණු මුහුණුවරක් නොගැනීමද නිසාය.
ළමා පරපුර ඉලක්ක කර ගන්නා සිනමාපටයක වෙළෙඳ පොළ ජයග්‍රහණ උදෙසා ප්‍රේක්ෂක ප්‍රතිචාර භාවිත කළ යුතු අන්දම කෙරෙහි මෙහි වගකිවයුත්තන් දැක්වූ අවධානය සඵලදායී නොවන බවද පෙනේ. පළමු වටයේ ප්‍රදර්ශනය සාර්ථක නොවීමද මේ කෙරෙහි බලපාන්නකි.
සිනමාපටය ඇරඹෙන්නේ දඟකාර කුඩා සිසුන් දෙදෙනෙකු විසින් සිය පාසලේ සීනුව අතුරුදන් කිරීමේ සිදුවීමකිනි. සිනමාපටය අවසන් වන්නේ මෙයින් එක් සිසුවකු හා ඔහුගේ සොහොයුරියගේ අදහසකට අනුව සංවිධානය වී පසුව රාජ්‍ය නායකයාගේ අවධානයටද ලක්ව සාර්ථකව පැවැත්වූ යහපත් ක්‍රියා සඳහාම වෙන් කළ දිනයට පසුව එළැඹෙන අවස්ථාවකිනි. රාජ්‍ය නායකයා නව සීනුවක් විදුහලට තෑගි කරයි. වත්මන් ළමා පරපුර ඇඳ බැඳ තබා ගත නොහැකි මේ ආරම්භය හා අවසානයත්, ඒ අතර දිගහැරෙන සිදුවීම් සමුච්චයත් පවසන්නේ යම් කල් ඉකුත් වූ බවකි. එනම් තේමාව කාලෝචිත වුවද එය පවසන විලාසය වත්මනට නොගැළපෙන්නේය යන්නයි.
දශක කිහිපයකට පෙර විසූ ළමුන් මෙන් නොව වත්මන් ළමුන් සතුව යම් සමාජ සවිඥානකත්වයක් තිබෙන බව නොරහසකි. වෙසෙසින්ම විධිමත්ව හෝ අවිධිමත්ව මාධ්‍ය ඇසුරු කිරීමද නිසා ය. එමෙන්ම අන්තර් පුද්ගල සම්බන්ධතා සාපේක්ෂව වැඩී ඇති නිසාය. මේ නිසා ‘රිදී සීනු’ පුවත වෙතින් සුවිශේෂත්වයක් දැක ගැනීම ඔවුනට අසීරුය. අප්‍රකට කුඩා පාසලක සිසුන් දෙදෙනෙකුට ජාතික මට්ටමේ මැදහත්විමක් කළ හැකිය යන්න හැම විටෙකම යථාර්ථයක් නොවේ. මෙහි එන සියලු වැඩිහිටියන් වචනයේ පරිසමාප්ත අන්දමින්ම යහපත් අයවලුන් වීමද වත්මන් ළමුනට ඇදහිය නොහැක්කකි.
වත්මනට ගැළපෙන පරිදි ‘රිදී සීනු’ පුවත විවරණයට උදයකාන්ත පියවර ගත්තේ නම් ප්‍රමාණවත් සිනමා ශාලා ප්‍රදර්ශනයක් නිසැකවම සහතික වනු ඇත. උදයකාන්ත වර්ණසූරියගේ සිනමාපටයක්ය යන හඳුන්වා දීමද මෙහිදී මහෝපකාරී කර ගත හැකිවේ.
තුසිත ජයසුන්දර