බුද්ධිමත් ගැහැනියක් වන්න…!
නමුත් තමන් තරම් අධ්‍යාපනයක් ලැබීමට
වාසනාවක් හිමි නොවූ අයව පහත් කොට නොදකින්න
ස්වාධීන ගැහැනියක් වෙන්න
නමුත් තමන් ආර්ථික වශයෙන් ස්වාධීන වීම
ගැන මානයෙන් නොසිතන්න
සුන්දර ඇඳුමින් පැපඳුමින් සැරසෙන්න
නමුත් ඒ සුන්දරත්වය තමන් සතුටු කිරීම
සඳහාම මිසක කා සමඟවත් තරඟයට
නොකරන්න
සතුටින් සිනහසී ජීවත්වන්න නමුත් ඔබේ හිත
මිතුරන් යහළු යෙහෙළියන් සමඟ එකතු වී
එකට සිනහසෙනවා මිසක එකිනෙකාගේ
අඩු පාඩු දක්වා සිනහසී සතුටු නොවන්න
මේ අයුරින් අද අපේ කතා නායිකාව මුහුණු පොතේ සටහනක් තබමින් තමන්ගේ ග්රාහක ප්‍රජාවගේ මනසට හිතන්නට යමක් එක් කරනු ලැබුවේ අකුරු එකිනෙක එකතු කරමින් විවිධ වූ මාතෘකාවන් ඔස්සේ ඈ මුහුණු පොතට එක් කළ මෙවැනි අරුත් බර සටහන් මේ වනවිට කොතරම් සමාජශෝධනයන් සඳහා පාදක වූවාද යන්න. ඒ සඳහා ඇයට ලැබුණු ප්රතිචාරයන් සාක්ෂි දරනවා ඇත. පුරා වසර දහයක් පමණ පුරාවට ඈ විසින් මුහුණු පොතට ලියු මෙවැනි සටහන් තවදුරටත් සමාජ ගතකිරීමේ අභිලාශයෙන් ඈ කමටහන් නැති පෙම්හටන් නමින් මෙවැනි සටහන් එකට එකතුකොට ග්රන්ථයක් බවට පත් කරලන්නටත් මේ වනවිට යුහුසුලුව කටයුතු කර අවසන්ය. මේ වනවිටත් ඉකුත් වසරේ නොවැම්බර් මස සිට පාඨක ප්‍රජාවට තිළිණ කළ කමටහන් නැති පෙම්හටන් උත්සවාකාරයෙන් දොරට වැඩීමේ උත්සවයක් මෙම මස 31 වැනිදා (හෙට) සවස 3.00ට ලයිසියම් කැම්පස් ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට මේ වනවිටත් කටයුතු සුදානම් කොට ඇත. නිර්මාණකරණයේ නියැළෙමින් සමාජයට හිතන්නට යමක් එක්කරන තම සිතෙහි ඇතිවන සිතුවිල්ල අකුරුවලට පෙරළමින් අරුත්බර වැකියක් සටහන් කරන ඈ නමින් ප්‍රතිභා ප්‍රභා පෙරේරාය. අද වන විට මුහුණුපොත හරහා ඈ සමාජ ශෝධනයේ නියමුවරියක වී සිටින්නේ ඇගේ නිර්මාණ පද සටහන් අතරට දිනෙන් දින පාඨක ප්‍රජාවක් එක් කරලමිනි. ගායිකාවක ලෙසින් ද මේ වනවිට රසික ප්‍රජාවට ආමන්ත්‍රණය කර සිටින ප්‍රතිභා ප්‍රභා අන් කවුරුත් නොව, පේ‍්‍රමය ගැන රසික හදවතට ගී ලියූ ජීවිතය පිළිබඳ කවි ලියූ ජනපි‍්‍රය ගීත රචිකාවක් ග්රන්ථ කර්තෘවරියක් වූ යමුනා මාලිනී පෙරේරා මහත්මියගේ වැඩිමල් දියණියයි. එසේම ඇය ප්‍රකට රංගන ශිල්පී, නැසීගිය සේනක පෙරේරා මහතාගේ දියණියයි.
කමටහන් නැති පෙම් හමන් ගැනත් ඇගේ අලුත් කලාකටයුතු ගැනත් අපි කතා කරමු. ප්‍රතිභා ප්‍රභා පෙරේරා සමඟ.
ගායිකාවක ලෙස අපි හඳුනාගෙන සිටි ප්‍රතිභා ග්රන්ථ කර්තෘවරියක් ලෙසින් දොරට වඩින්න සුදානම් වෙනවා කියල ආරංචියක් තියනවා?
ඒ ආරංචිය ඇත්තක් ‘කමටහන් නැති පෙම් හටන්’ නමින් තමයි මම මේ පොත නම් කරල තියෙන්නේ.
කාලයක් මම මුහුණුපොතට ලියු ලිපි එකතුවක් සමඟ තව අලුත් ලිපි කිහිපයකුත් එකුතු කරල පොතක් ලෙස එළි දැක්වීමක් කරනවා. මගේ මුහුණු පොතේ පාඨකයන්ගේත් මගේ අම්මාගේ දිරිදිමත් පෙලඹවීමත් එක්ක තමයි මම මේ ග්‍රන්ථය එළිදක්වන්නේ මේ මගේ පළවෙනි කෘතිය ග්රන්ථකතුවරියක් ලෙස හා පුරා කියා මම සමාජයට එන්නෙත් මේ කෘතිය ඔස්සේ මට ආදරය කරන ගෞරවය කරන බොහෝ දෙනෙක් පිරිවරා ගෙන උත්සවාකාරයෙන් දොරට වැඩීමක් තමයි මේ මාසේ තිස් එක් වැනිදා සිද්ධ කරන්නේ.
මුහුණුපොතට ලියපු මේ ලිපි එකතුව ඔබ සමාජගත කරන්නත් අපුරු ප්රයත්නයක් දරනවා කියලත් ආරංචියි?
පොතක් හැටියට මෙය නිකුත් කිරිමෙන් මම බලාපොරොත්තුවන්නේ කියවන කෙනෙක්ට යම් මානසික සැනසීමක් ලබාදීම. ඒ වගේම තමයි ඔවුන්ට ජිවිතය දිහා ධනාත්මකව බලන්න හුරු කරන්න. මේ පරමාර්ථයෙන් මම ලිව්ව ලිපි එකතුව එළිදැක්වීමේදී මම සැලසුම් කරනවා උත්සවයට ආව පුද්ගලයෙක් නැවත ශාලාවෙන් එළියට යන්න ඕනේ ධනාත්මක සිතුවිල්ලක් තම සිත තුළ දරාගෙන කියන අධිෂ්ඨානය ඇතුව සරලව කිව්වොත් උපදේශනයක් ලබමින් දෙයක් තම ජීවිතයට එකතු කරගෙන තමයි හැම කෙනෙක්ම මෙතනින් පිටවිය යුත්තේ.
ඔබේ මේ පොත් දොරට වැඩිමේ උත්සවය සාම්ප්‍රදායික උත්සවක් නොවන හැඩයි?
සාම්ප්‍රදායිකව පොත ගැන පමණයිනේ බොහෝ මෙවැනි උත්සවවල කතා කෙරෙන්නේ. එහෙම නැත්තම් ලිව්ව කතුවරයා ගැන පමණයිනේ. නමුත් මගේ මේ වෙනස තුළ මම අනුගමනය කරන පිළිවෙත වෙනස්. උපදේශනයක් ලබාදීම මගේ මුලික එක් අරමුණක් පමණයි. හැබැයි උත්සවයට ඇවිල්ලම තමයි ඒ වෙනස අත් විදින්න ඕනේ. මම කලින්ම ඒ දේ කිව්වොත් සර්ප්‍රයිස් එක නැතිවෙනවා ඒක රහසක්. එන හැමෝටම මේක අලුත්ම අත්දැකීමක් වෙයි. දැනට ඒ ඇති 31 වැනිදා ලයිසියම් විශ්වවිද්‍යාලයේ ශ්‍රවණාගාරයේදී ඒ නුහුරු අත්දැකීම ජීවිතයට එක්කරගන්න මම හැමෝටම ආරාධනය කරනවා. වෙනස්ම අත්දැකීමක් මමත් සමඟ විදින්න මෙතනට එන්න කියලා.
මෙවැනි වදන් මුහුණුපොතට නිර්මාණය කරන්න ඔබට අදහසක් ඇති වුණේ?
මම මෙවැනි ආකාරයේ ලිපි ලියන එකට ප්‍රධාන සාධකය වුණේ මම මනෝවිද්‍යාව හැදෑරිම. ඉස්සර ඉඳලම මම ආශා කරපු විෂයක් මේක මම කාලයක් ගුරුවරියක් ලෙස සේවය කළ වත්තල ලයිසියම් පාසලේ ගුරුවරියක් වුණහම මනෝවිද්‍යා පසුබිමක් ගැන දැනුම්වත් වෙලා ඉන්න ඕනේ. දරුවෙක් එක්ක ගනුදෙනු කිරිමේදි මනෝවිද්‍යා දැනුම ගුරුවරයෙකුට මුලික සුදුසුකමක් ඒ නිසාම තමයි මම මනෝවිද්‍යාවට ආශා කළේ ඒක ඉගෙන ගත්තේ. ඒ අනුව මමත් නොදැනුම්වත්ව මගේ ලේඛන හැකියාවත් එක්ක මාව නිරායාසයෙන් පෙලඹෙවුවා මෙවැනි ලේඛන සටහන් පැත්තට සමාජ මාධ්‍යජාලා තුළ වුණත් අපි දකිනවා. මිනිස්සුන්ට තියන ප්‍රශ්න සමහර දේවල් ප්‍රශ්නත් නොවෙයි. සමහරු සියදිවි නසා ගන්නවා. තරුණ ළමයි ජිවිතය නාස්ති කරගන්නවා. ඔය වගේ දේවල් දකිනකොට ඇහෙනකොට මම මුහුණු පොතට ලියන්න පටන් ගත්තා.
මුහුණුපොතට ලියන්න කලින් පටන් ඔබ ලේඛන කලාවට අත්පොත තබල තිබුණාද?
පත්තරවලට ලියපු අවස්ථා තිබුණා. නමුත් අම්මා වගේ පුරුද්දක් ලෙස මම කළේ නෑ. මගේ චරිතෙ හැටි තමයි යමක් මම ඒකම කියල එල්බගෙන කරන කෙනෙක් නොවෙයි. ඒ විධියට එල්බගෙන මම කරන එකම දේ තමයි මගේ රස්සාව. මගේ තියන පුංචි පුුංචි හැකියාවන් ඔස්සේ මට ඕනේ මැරෙන්න කලින් එයින් ප්‍රයෝජනයක් ගෙන සමාජයට යමක් දෙන්න.
ප්‍රතිභා ප්‍රභා මානව දයාව පෙරදැරිකරගත් තැනැත්තියක් බවයි. ඔබේ හැඟීම් ප්රකාශනයක් තුළ දකින්න තියෙන්නේ?
මම කිව්වනේ මට තියනවා පුංචි පුංචි හැකියාවන් ගොඩක් කියලා. ඒකෙන් එක කලාවක් හැකියාවක් තමයි ලිවීම. ඇත්තම කියනවා නම් මම ලියන්න ඕනේ කියන මතයට ආවේ මමත් එක්ක මට සංවාදයේ යෙදෙන්න අවස්ථාවක් වන නිසා මම හැම වෙලේම හිතපු දෙයක් තමයි මම ඇයි මම වුණේ? මගෙන් මොකක්ද මේ ලෝකයට ඕනෙ කරලා තියෙන්නේ කියලා. හැම දේකටම හේතුවක් තියනවා නම් මගේ උත්පත්තියේ හේතුවත් මමම සොයාගත යුතුයිනේද?
මනුස්සයෙක්ගේ සිත හරි ඉක්මනට රිදෙනවා. ඒ වගේම හරි ඉක්මනට සැනසෙනවා. හිත රීදිම කියන එක වේදනාකාරී අත්දැකීමක් බව අත්දැකීමෙන් දැනගත්තට පස්සේ මගේ හිත හදාගැනීම අරමුණු කරගෙන ලියපු ලිපි කියවපු බොහෝ දෙනෙක් කිව්ව දෙයක් තමයි ඔයා මේ ලියලා තියෙන්නේ මටමයි. මං ගැනමයි. කියලා එතනදී මම තේරුම් ගත්තා. පෙනුමෙන් පැහැයෙන් හැසිරීමෙන් මිනිසුන් වෙනස් වුණත් සිතුවිලි සංවේදනාවලින් හැම මනුෂ්‍යයෙක්ම එක්කෙනෙක් බව හැමෝටම දුක හිතෙනවා. නමුත් දුකට පිළිතුරු එකිනෙකා සොයාගන්නේ එක එක විදියට සමහරු ජිවිතය නැති කරගැනීම දක්වා ඒ සොයාගැනීම අරගෙන යනවා. මට ඕනෙ වුණේ මිනිස්සුන්ට හිත හදාගන්න පුළුවන් විිදිය කියලා දෙන්න ඒක මානව දයාව පෙරදැරි කරගෙන ආව සිතුවිල්ලක් මිසක් කිසිම වාණිජ අරමුණක් මත ඇති වූ එකක් නොවෙයි.
ප්‍රතිභා කියන්නේ පුංචි පුංචි හැකියාවන් ගොඩක් තියන තැනැත්තියක් කියල ඔබ සඳහන් කරනවා. මොනවද ඒ හැකියාවන්?
මම කිව්වනේ මම එක දේකට එල්බගෙන ඉන්න කෙනෙක් නොවෙයි කියලා මම සිංදුකිව්වා. ගීත රචනයේ නියැළියා. මේ වනවිට මම ගීත රචනා තුනක් විතර කරල තියනවා. නිවේදන කටයුතුත් කළා. පාසල් යන කාලයේ රංගනයත් කළා. මම ළඟ තියන පුංචි පුංචි හැකියාවන් වලින් මම මැරෙන්න කලින් හරි එයින් ප්‍රයෝජන ගන්න පුළුවන් වීම ගැන අද සතුටු වෙනවා.
මනෝ විද්‍යාව පිළිබඳ හැදෑරීමක් කළ තැනැතිත්යක් වශයෙන් ඔබ මොන වගේ තේමාවක් ඔස්සේ ද මුහුණුපොතට නිර්මාණ ගොනු කළේ?
මම දෙයක් ලියන්න පටන් ගන්නකොට හිතන්නේ මේ ලියන දේ ඔනෙම කෙනෙක්ට තේරෙන්න ඕනේ. මම ලිව්වේ එක් පිරිසක් ඉලක්ක කරල නොවෙයි සමස්තයට ගැළපෙන ලෙස මොන අධ්‍යාපන මට්ටම්වල හිටියත් ඔහුට හෝ ඇයට මෙය කියවීමෙන් තේරෙන්න ඕනේ. එතනදි මම භාෂාව මරා දා ලියනවා කියල අදහස් කළේ නෑ. මම කළේ මගේ ලියන භාෂා රටාවට ඔවුන්ව නතු කරගැනීමක් මගේ ලියපු නිර්මාණ ආදරය ගැන ප්‍රශ්න පවුල් ජිවිතය, විවාහය, එදිනෙදා ජීවිතයේ ඇතිවන යාළුකම් මිත්‍රකම්, රැකියාව තුළ ගනුදෙනු කිරිම්, මානුෂික සබඳතා මේ වගේ විවිධ වූ මාතෘකා ඔස්සේ තමයි මේ ලිපි ලියවිලා තියෙන්නේ.
මුහුණු පොතට ලියවෙන ඔබේ අදහස් පොතක් වශයෙන් එළිදකින අදහස ඔබ තුළ ඇතිකරන්නේ?
මගේ මුහුණුපොත පරිශීිලනය කරන බොහෝ පාඨකයෝ මගෙන් ඉල්ලීමක් කළා. මගේ අදහස් නිර්මාණ පොතක් වශයෙන් දකින්න සලස්වන්න කියලා. නමුත් මම සාමාන්‍යයෙන් මේ වගේ වැඩවලට කම්මැළි කෙනෙක්. නමුත් මගේ අම්මා තමයි පොත් සම්බන්ධව ඉන්න එකම උත්පේ‍්‍රරකය. මගේ අම්මා උදේ පාන්දර හතරේ ඉදල ලියන කෙනෙක්. මට හිතාගන්නත් බෑ එකම දේකට මෙතරම් කැපකිරිමක් කරන්නේ කොහොමද කියලත්. කොහොම හරි මගේ අම්මා නිසාත් ප්‍රේම් දිසානායක මහතාත් නිසා තමයි කමටහන් නැති පෙම් හටන් එළියට එන්නේ.
මේ ආකාරයට ඔබ ලිපි ලියන්න පෙලඹෙන්නේ කොයිවකවානුවේ පටන් ද?
2015 වසරේ පටන් නමුත් මීට කලින් ඉඳලත් මම ලිපි ලිව්වා. නමුත් ඊට කැපවෙලා මම ලිපි ලිව්වේ නෑ. දැනටත් මොනවත් ලිව්වේ නැති වුණාම ඇයි නිහඬ කියලත් අහන අය ඉන්නවා. මේ දවස්වල මගෙත් ලියන එක පොඩ්ඩක් නතර වෙලා තියෙන්නේ.
කොපමණ නිර්මාණ එකතුවක් කමටහන් නැති පෙම් හටන් තුළ අන්තර්ගතද?
ලිපි හැටක විතර එකතුවක් මේ ග්‍රන්ථයේ ඇතුලත්.
අම්මාගේ දැඩි පෙරැත්ත නොවෙන්න ඔබ තවමත් ග්රන්ථකර්තෘවරියක් නොවෙන්න ඉඩ තිබුණා?
ඔව් මගේ ළඟ අද ඉන්න මහා වෘක්ෂය මගේ සෙවනැල්ල අම්මා. ඒ සඳහා මට දිරිය ශක්තිය දුන්නේම ඇය. කමටහන් නැති පෙම් හටන් ග්රන්ථයක් හැටියට එළිදකින්නේ පේ්ර්ම්දිසානායක මහතාගේ අප්‍රතිහත ධෛර්ය නිසාවෙන්. සමාජයේ අපිට හම්බවෙනවා ඉහ නිකට පැහුණු අය මුහුකුරා යනවා කියන එකේ ආරම්භය මෙය නොවෙයි. අත්දැකීම්වලින් හා අනාගත පරපුරට පාරක් හදාදෙනවා කියන එක තමයි මම දකින්නේ. මුහුකුරා යාමක් විදියට මම ඒ දේ හොඳින් දැක්ක කෙනෙක් තමයි පේ්ර්ම් දිසානායක මහතා.
කමටහන් නැති පෙම් හටන් එක මිටට එකතු කරන්නට පෙරඅතුව ඔබ මේ නිර්මාණ පළමුව මුහුණුපොතට එක්කරන අවධියේ ඔබේ සිතැඟි සිතුවිලි කොයි ආකාරයෙන් ද සමාජයට බලපෑමක් එල්ල කළේ?
මුහුණු පොතට මම ලියපු එක්තරා ලිපියකට රජරට ප්‍රදේශයේ තරුණයෙක්. මේ වගේ ප්‍රතිචාරයක් මට දක්වල තිබුණා. මිස්ගේ මේ ලිපිය එදා මුහුණු පොතේ පළනොවන්න මම අද ඉන්නේ හිරගෙදර කියල ඒ පුද්ගලයා මාත් එක්ක ඔහුගේ කතාව බෙදාගත්තා. ඔහු අවුරුදු ගණනක් ගෑනු ළමයෙක්ට ඉගෙන ගන්න තැන ඉඳල උදවු කරල අවසානයේ ඔහුව අතහැර වෙනත් කෙනෙකු හා සම්බන්ධයක් ගොඩනගා ගත්ත සිද්ධියක් මුල් කරගෙන ඔහුට ආ දරුණු වේදනාව මම ලිව්ව දේ බලල යටපත් කරගෙන ඔහුගේ හිතහදා ගත්තා. කියන දේ තමයි මට ඔහු පැවසුවේ. මගේ ඒ සටහන දැක ඔහු තමන් කරන්නට සිටි දෙයක් අඩියක් පස්සට නොගන්න අද ඔහු මිනීමරුවෙක් කියල තමයි ඔහු කෙටියෙන් මේ කතාව අවසන් කළේ. සමහර විට මගේ වචන ටික ඔහු නොදකින්න. අර ගෑනු ළමයාගේ ජිවිතය නැති වෙන්න තිබුණා. නොඑසේ නම් මේ තරුණයත් ඒ ගෑනු ළමයා මරා දමා සියදිවි නසාගන්න තිබුණා. එතනදී මට සතුටක් දැනුණා. මම දරපු උත්සාහයේ යම් තරමක් හරි සමාජයට වැඩදායි දෙයක් කරන්න ලැබුණානේ කියලා.
කමටහන් නැති පෙම් හටන් එළිදැක්වීම තුළ ලැබෙන ප්‍රතිචාරත් සමඟ ඔබ දිගටම ඔබේ මව සේම ග්‍රන්ථකරණයේ නියැළෙන්නද බලාපොරොත්තුව?
නෑ.කොහෙත්ම නෑ. මෙතනින් එහාට මම ලියන්න ආශයි. කෙටි කතා පොතක් කරන්න මගේ ආශාවක් තියනවා. මේ වනවිටත් මම එවැන්නක නියැළිලා ඉන්නවා. මේ කරන කාර්ය මගෙන් සමාජ සත්කාරයෙක් හැටියට ඉදිරියටත් මුහුණු පොතට එක්වේවි දිගටම. හැබැයි ඒවා පොතක් හැටියට එළිදකියි ද කියලා නම් මට පොරොන්දු වෙන්න බෑ. මම සාමාන්‍යයෙන් ජිවිතය සැලසුම් කරනවා අඩුයි. මම ආශයි අලුත් දේවල් අත්හදා බලන්න. එකම පාරේ යනවට වඩා විවිධ පාරවල්වල ගිහින් මගේ ළඟ තියන විවිධ කුසලතා වලින් වැඩක් ගන්න තමයි මම ගොඩක් ප්‍රියකරන්නේ.
සාහිත්‍ය පැත්තට යොමුවීම තුළ ඔබ මුලින් අපි හඳුනාගත්ත ප්‍රතිභා ප්‍රභා කියන අර ගායිකාව අද අමතක කරලද?
එහෙමත් නෑ. මම අලුතින්ම කළ ගීයක් මේ පොත එළිදක්වන උත්සවයේදී මුලින්ම සමාජයට මුදා හරිනවා. ඒ ගීතය මම තනියෙන් ගායනය කරන්නේ ගීතය සංගීතවත් කළේ පවන්ද සිල්වා පද රචනය කළේ දුල්හාරි වොහාරා හරිම සරල පද රචනයක්. මමත් ගොඩක් කැමැති ගීතයක් මගේ අම්මා නොලියපු ගීතයක් කියන පළවෙනි වතාව තමයි මේ ගීතය.
මේ ඔබේ කීවෙනි ගීතයද මේ වසරේ එළිදකින්නේ?
මම හිතන්නේ එකොළොස්වැනි ගීතය කියල මම මුලින්ම ගීතයක් ගායනා කරන්නේ කසුන් කල්හාර සමඟ සිහිනයට පාරක්… කියන ගීතය සමඟ මේ ගීතයට රසික ප්‍රතිචාර ඉහළින් ලැබුණා. ඊට පස්සේ තව ගීතයක් කළා. තීක්ෂණ අනුරාධ එක්ක.
ඔබ ජනපි‍්‍රය වුණේ ගායිකාවක් වශයෙන් රසිකයන් අතර?
මම දන්නෑ මම ජනපි‍්‍රය ද කියල. ඒක තීරණය කරන්නේ රසිකයෝ මම ගීතයක් කිව්වා එච්ිචරයි. මට අම්මා සිංදු ලියල දුන්නා. මම කිව්වා අම්මා නම් කිව්වේ ඇය ලියන ගීත විතරක් කියන්න හදන්න එපා අනික් අයත් රචනා කරන ගීත ගායනා කරන්න කියලා. මම හැදී වැඩුණෙත් ප්‍රසිද්ධ ජනපි‍්‍රය පුද්ගලයෝ සමඟ. අපේ දෙමාපියන් නිසාම. ඒ ජනපි‍්‍රයත්වය කියන දේ අපිට නිරායාසයෙන් ගොඩනැගිල තිබුණා. මට ඒ නිසා මම ජනපි‍්‍රය ද කියල තේරුණේ නෑ. පිටත ඉඳල බලන කෙනෙක් තමයි ඒ දේ තීරණය කරන්න ඕනේ. මම යම් නිර්මාණයක නියැළෙන්නේ ජනපි‍්‍රය වෙන්න නොවෙයි. මගේ ආත්ම තෘප්තිය තකා විතරයි.
ආත්ම තෘප්තිය ලැබීම තුළ ඔබ අපේක්ෂාකරන්නේ?
නිර්මාණශිලි දෙයකට මම යෙදෙන්නේ ආත්මතෘප්තියට ඒක මගේ පළමු පියවර දෙවන පියවර මම සමාජයට නිර්මාණයක් තුළින් නරකක් නොකිරීම. තෙවන පියවර තමයි මම ඒ කරන දෙය මතක හිටිනයමක් වීම. මේ කාරණා තුන තමයි මාව යමකට පොළඹවන්නේ. එහෙම නැතුව ජනපි‍්‍රයත්වය සෙවීම නොවෙයි.
ඔබේ ගීත එකතුවක් ගීත ඇල්බමයක් ලෙස ගෙන එන්න සිතුවේ නැද්ද?
එහෙම දෙයක් මට හිතුණේ නෑ. එහෙම දේවල් මම හිතන්නේ නෑ. අපේ අම්මට තියනවා ප්‍රශ්නයක් මට ඔය වගේ දේවල් හිතෙන්නැති එක ගැන.
ගීත ගායනයෙන් ගමනක් ඇවිත් ඔබ එයින් විරාමයක් ගන්නවා. දැන් නැවත ආයෙත් ගීත ගායනයට යොමුවෙලා. මේ විරාමයට හේතුවක් තියනවද?
මම රැකියාට හරිම ආදරෙයි. මගේ පැෂන් එක රැකියාව මගේ විවිධාකාර අත්හදා බැලීම් වලට මගේ රැකියා ස්ථානය මට දෙවොලක්. මේ දෙවොල නොතිබෙන්න මට ඒ අත්හදා බැලීම්වලට එළියෙන් ඉඩකඩක් හොයන්න තිබුණා. මට මගේ රැකියා ස්ථානයෙන් ඒ ඉඩහරසර මට ලැබෙන නිසා පිපාසාවෙන් මම වෙනත් තැන් හොය හොයා යන්නේ නෑ.
මම මම ගැනම පර්යේෂකයෙක් පමණයි කිය කිය ජීවිතයේ ගමනක් යන ඔබ රංගනය ගැන වැඩිදුරක් නොගියේ?
මම පාසල් යන කාලයේත් රඟපාන්න ගියේ තාත්තාගේ දැඩි අකමැත්ත මධ්‍යයේ. තාත්තා කොහෙත්ම කැමැති වුණේ නෑ. මම රඟපානවා දකින්න. මම කොළඹ ගෝතමී බාලිකා විද්‍යාලයේ ඉගෙන ගත්තේ පාසල් අතර පැවැති සමස්ත ලංකා නාට්‍ය තරඟාවලියට විතරක් යන්න මට තාත්තා බොහොම අකමැත්තෙන් වුණත් අම්මාගේ ඉල්ලීමට ඉඩ දුන්නා. නිහාරි වික්‍රමආරච්චි ගුරුතුමිය තමයි මගේ පාසල් නාට්‍ය ගුරුතුමිය වුණේ. එතුමිය මගේ තාත්තාගේ නාට්‍යවල රඟපාල තිබුණ නිසාම තාත්තා එයාගේ දැඩි තීන්දුව ලිහිල් කළා. තාත්තා මියගියාට පස්සේ සමුද්‍රදේවි නාට්‍ය සඳහා මට රඟපාන්න ලැබුණා. ඒත් තාත්තා නෑ කියල මම රඟපාන්න ගියේ නෑ. තාත්තා අකමැති දේ එයා නැතිවුණා කියල මම රඟපාන්න ගියේ නෑ. ආරාධනා ලැබුණා. ඊට පස්සෙත් ඒත් මම ගියේ නෑ.
නිවේදන කටයුතු පැත්තටත් ඔබ හැකියාවන් ප්‍රදර්ශනය කළා නොවේද?
පාසල් යන කාලයේ මාධ්‍යකවයේ සභාපති ලෙස කටයුතු කරන කොටත් පාසලේ ශිෂ්‍යනායිකාව ලෙස කටයුතු කරන කොටත් මම තමයි නිවේදන කටයුතු සිද්ධ කළේ. ඒ ආපු හුරුවත් සමඟ තමයි මම මහරුක් ටීවී නාළිකාවට සිංදුවක් කියන ප්‍රෝග්‍රෑම් එක කළේ. සිංදු ලිව්ව රචකයන්ගේ දුවල එක්ක ඒක මට අමතක කරන්න බැරි බොහොම සංවේදී ජනක ප්‍රෝග්‍රෑම් එකක්.
මනෝවිද්‍යාව පිළිබඳ දිගුහැදෑරීමකට ඔබ යන්න අදහස් කළේ නැද්ද?
මනෝ විද්‍යාව පිළිබඳ මම හැදෑරීමක් කළේ ඩිප්ලෝමාවක් විධියට. දැනට මම බාහිර උපාධියක් හදාරනවා. අධ්‍යාපන කළමනාකාරිත්වය හා නායකත්වය කියල මම හරි ආසයි මගේ අධ්‍යාපන ක්ෂේත්රයට අදාළ දේවල් හදාරන්න මම ගොඩක් කැමැතියි. ඉගෙන ගත්ත එකත් මම කවදාවත් නතර කරන්නේ නෑ. මම ගොඩක් කැමැතියි ඉගෙන ගන්න. හැමදේම දන්නවා කියල අපි හිතුවොත් එතන අවසානය අපිට හම්බවෙන හැම කෙනෙක්ගෙන්ම අපි දෙයක් ඉගෙන ගන්න උත්සාහ කරන්න ඕනේ.
පාරවල් ගණනාවක ඔබ ගමනේ යෙදෙන යෙදුණ කෙනෙක් හැටියට ඔබ සාර්ථක ගමනක් මේ වෙනකොට ගිහින් තියෙන්නේ මොන මඟේ ද?
මම හිතන්නේ ඒ ගිය මොන මාර්ගයෙන්වත් නොවෙයි මම අද සාර්ථක වෙලා තියෙන්නේ අද මනුස්සයෙක් වෙලා මම උත්සාහ කරන්නේ මගේ ජීවිතයේ තියන ලොකුම අභිප්‍රාය හොඳ මනුස්සයෙක් හැටියට ජිවත්වීම. සමාජයට කරදරයක් නැතුව ජීවත්වීම ඒක තමයි මම බලාපොරොත්තු වන අධිෂ්ඨානය.
මුහුණු පොතේ ඔබේ රීඩස්ලා මොනවද ඔබට යෝජනා කළේ නිර්මාණ ඉදිරිපත් කරන ඉසව් පිළිබඳ?
එහෙම ඉසව් පෙන්වන අය ඉන්නවා. ගොඩක් කාන්තා පාර්ශ්වය තමයි මගේ නිර්මාණ වැලඳගෙන තියෙන්නේ. හැබැයි මම පිරිමි අයටත් ගොඩක් දේ ලියල තියනවා. සමාජයේ මතයක් තියනවා පිරිමි දරුවන්ට අඬන්න දෙන්නැති එක ගැන. නමුත් මම පිරිමි හදවතට අඬන්න කතා කළා මගේ මුහුණුපොතේ නිර්මාණ සමඟ. පිරිමි කියන කොටස දරදඬු කරල කිසිම හිතක් පපුවක් නැති කොටසක් කියල බලකරල කියල තියෙන්නේ සමාජය පිරිමිය කියන්නෙත් සාමාන්‍ය මනුස්සයෙක්. ඒ මනුස්සයටත් හිතරිදෙන අඩන්න වන අවස්ථා තියනවා. මම දන්න විධියට පිරිමි තමයි සියදිවි නසාගන්න තැන ඉදිරියෙන්ම ඉන්නේ. මොකද පිරිමියා හිතනවා ප්‍රශ්නයක් කාටහරි කියන්නවත් සමාජය ඔවුන්ට ඉඩකඩ සලසා නෑ කියලා. සංවේදී මිනිස්සු සමාජයේ ඉන්න ඕනේ අසංවේදිකම හින්ද තමයි සමාජයේ ප්‍රශ්න ඇතිවෙලා තියෙන්නේ. තව කෙනෙක්ගේ දුක වේදනාව දැනෙන කෙනෙක් තමයි අපිට ඕනෙ කරල තියෙන්නේ. මම මේ පොතේ ලියල තියන පිරිමි හඬන හඬ මේකට හොඳ උදාහරණයක්.
ඔබ අද රැකියාව කරන ආයතනයත් ඔබට අද මහා ආශිර්වාදයක්?
ලයිසියම් මධ්‍යම කාර්යංශයේ පාසල් ව්‍යාපෘති (School Event) කළමනාකාරිවරියක් ලෙස සේවය කරනවා. ලයිසියම් ප්‍රධාන ශාඛා නවයක් තියනවා. ලයිසියම් පෙර පාසල් දා හතක් තියනවා. මේ ආයතන සියල්ලේම විශේෂ වැඩසටහන් භාරව කටයුතු කරන්නේ මම මොහාන් ලාල් ග්‍රේරු මහතාත් කුමාරි ග්‍රේරු මහත්මියත්, නිකිත ග්‍රේරු මහතාත් ඇතුළු ඉහළ කළමනාකාරිත්වයෙන් අපිට ලැබෙන සහයෝගය ඉතාම ඉහළයි. එවැනි ඇසූ පිරූ අය සමඟ මට වැඩකරන්න ලැබීමත් මම හරිම වාසනාවන්තයි. මගේ මේ පොත දොරට වැඩීමේ උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වන්නේත් නිකිත ග්‍රේරු මහතා එතුමා දක්ෂ දේශකයෙක්. මෙතෙක් පොත් දොරට වැඩීමකදී නොඇසූ අරුත්බර දේශනයක් වගේම වෙනස්ම අත්දැකීමක් අත්විදින්න පුළුවන් උත්සවයක් දැකබලා ගන්නත් එක්ක මේ මස 31 වැනිදාට ලයිසියම් කැම්පස් ශ්රවණාගාරයට පැමිණෙන ලෙස සියලු දෙනාට මම ආරාධනය කරනවා. මා ලියූ අකුරක් පාසා ජීවිතය කැබැල්ලෙන් කැබැල්ල අහුලන ඕනෑම කෙනෙකුට ධෛර්යයක්ම වේවා මා ලියු කමටහන් නැති පෙම්හටන් පොත හිතරිදුණු බිදුණු ඕනෑම අයෙක් අත රැදේවා. මෙලොව සියලු දෙනාට යහපතක් වේවා මා ගත් උත්සාහය තුළ එයයි මගේ ඒකායන ප්‍රාර්ථනය.
සේයාරූ – නිශ්ශංක විජේරත්න
චන්දන දයාසිරිවර්ධන