– නාට්‍ය කලාවත් කොළඹට සීමා වෙලා
– මොන බාධක ආවත් නාට්‍ය කලාව නැති වෙන්නේ නෑ
වර්තමානය වන විට ලාංකේය වේදිකා නාට්‍ය කලාව පිළිබඳ කතා කරන බොහෝ දෙනාගේ අදහස වන්නේ, ලංකාවේ වේදිකා නාට්‍ය කලාව දිනෙන් දින නැති වෙමින් තිබෙනවාය යන්නයි.
එයට හේතු බොහොමයක් සමාජයේ කතා වුවද වේදිකා නාට්‍ය කලාවේ පැවැත්ම උදෙසා කුමක් කෙසේ කළ යුතු ද යන්න වර්තමානය වන විට ප්‍රබල ගැටලුවක් වී ඇත.
එසේම කොළඹට පමණක් සීමා වූ ලාංකේය වේදිකා නාට්‍ය කලාව කෙරෙහි ප්‍රේක්ෂක සහභාගීත්වය දිනෙන් දින අඩු වීම නිසා, වේදිකා නාට්‍ය කලාව කර්මාන්තයක් මෙන්ම කලාවක් ලෙස දැඩි අර්බුදයකට මුහුණ දෙමින් සිටී.
වීදි නාට්‍ය කලාවේ පුරෝගාමියා වන ගාමිණි හත්තොටුවගමගේ වීදි නාට්‍ය කණ්ඩායම හරහා ක්ෂේත්‍රයට පිවිස, නාට්‍යාචාරිණී සෝමලතා සුබසිංහ හරහා තව දුරටත් නාට්‍ය කලාව සහ රංගනය ප්‍රගුණ කළ ඔහු ශ්‍රී ලංකා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව පිළිබඳ ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය, ප්‍රකට නාට්‍යවේදී සහ සම්මානනීය රංගනවේදී ප්‍රසන්නජිත් අබේසූරිය සමඟ ඒ පිළිබඳ සිදු කළ සාකච්ඡාවකි මේ.
කුමන අර්බුදයක් හමුවේ පවා පිරිසක් ඉන්නවා ලංකාවේ වේදිකා නාට්‍ය කලාව කොහොම හරි අල්ලගෙන යන. ඒ පිරිස අතර උඩම ඉන්න කෙනෙක් තමයි ඔබ.
ඇත්තටම ලංකාවේ වේදිකා නාට්‍ය කලාව අභියෝගයට ලක් වෙලාද තියෙන්නේ?
නාට්‍ය කලාව අද ඊයේ විතරක් නෙවෙයි, හැම කාලෙකම නාට්‍ය කලාව අභියෝගයට ලක්වෙනවා. ඒකට හේතුව වන්නේ විශේෂයෙන්ම නාට්‍ය කලාව සජීවී මාධ්‍යයක් වීම. සමාජයේ මතු වන හැලහැප්පීම් විපර්යාසයන් නාට්‍ය කලාවට සෘජුවම බලපානවා. සමහර ඒවා දරුණු ලෙස බලපානවා. ලෝක ඉතිහාසය පුරා ඇති වූ වසංගත තත්ව, යුද තත්ත්ව, ස්වාභාවික විපත් සහ ආර්ථික අර්බුද නාට්‍ය කලාවට සෘජුවම බලපෑවා. හැබැයි නාට්‍ය කලාව කියන්නේ ලෝක ඉතිහාසයේ පැරැණිතම කලාවන්ගෙන් එකක්.
පසුකාලීනව කලා මාධ්‍යයන් විදිහට ගුවන් විදුලිය, සිනමාව, රූපවාහිනිය සහ එතනින් එහාට තියෙන ඩිජිටල් අවකාශය, සමාජ මාධ්‍ය බිහි වුණත්, ඒවා මොන තරම් ප්‍රබල වුණත්, ඒ මොන බාධක ආවත් නාට්‍ය කලාව නැති වෙන්නේ නෑ. ඒක නාට්‍ය කලාවේ විශේෂ ගුණයක්. ඉතිං ඒ සියල්ල මධ්‍යයේ නාට්‍ය කලාව නිරූපද්‍රිතව පවතිනවා.
ලංකාවේ වේදිකා නාට්‍ය කලාව ගත්තහම, ලංකා ඉතිහාසයේ විවිධ ගැටලු ආවනේ. මෑත ඉතිහාසය ගත්තහමත් වසංගත තත්ත්ව ආවා, ආර්ථික අර්බුද ආවා, ස්වාභාවික විපත් ආවා. ඒ හැම එකක්ම අබියස කලාවේ යම් පසු බැස්මක් තිබෙන්න පුළුවන්. නමුත් ඒ හැම අභියෝගයක්ම සමඟ තවමත් නාට්‍ය කලාව පවතිනවා. අලුත් නිර්මාණකරුවෝ බිහිවෙනවා. අලුත් නිර්මාණ බිහිවෙනවා. ඒවා බලන්න මිනිස්සු ඉන්නවා. මේ තත්ත්ව ඉතිං අඩු වැඩි වෙමින් පවතිනවා.
ඔබ හිතන්නේ වේදිකා නාට්‍ය කලාව නිරුපද්‍රිතව පවතින්න බලපාන හේතුව කුමක් කියලාද?
නාට්‍ය කලාවේ සජීවී බව තමයි ඊට මූලිකම හේතුව වන්නේ, අපේ රට වලට වඩා ඉන්දියාව වගේ රටවල සිනමාව වැනි ක්ෂේත්‍ර ඉතාම දියුණුයි. රූපවාහිනියත් එහෙමයි. ඉන්දියාවේ රූපවාහිනී චැනල් එකසිය ගාණක් විතර තියෙනවා. නමුත් තවමත් නාට්‍ය කලාවේ පසුබෑමක් නෑ. ඒකට හේතුව තමා, මේ සජීවී භාවය ඕනම කාලයක ඕනම සමාජයක ජීවත් වන මිනිස්සු, සජිවී කලාවන්ට කැමතියි. තඪමඥ නඥපටධපථචදජඥ (සජීවී ඉදිරිපත් කිරීම) කියන එකට මිනිසුන් කැමතියි. කලාව විතරක් නෙවෙයි. උදාහරණයක් විදිහට ක්‍රීඩාව ගත්තහම ගෙදර තියෙන ටීවී එකෙන් මැව් එක බලන්න පුළුවන්. නමුත් අපි ලක්ෂ ගණන් වියදම් කරලා මැව් බලන්න රටවල් වලට යනවා. ඒ සජිවීව මැව් එක බලන්න තියෙන ආසාව නැත්නම් කැමැත්ත නිසා. ඉතින් නාට්‍ය කලාව කොහොමත් සජීවි කලාවක්. ඒ නිසාවෙන්ම නාට්‍ය කලාව කොහොමත් එක දිගට පවතින්න මෙම ගුණාංගය බලපානවා.
චෝදනාවක් කළොත් නාට්‍ය කලාව කොළඹට විතරයි සීමා වෙන්නේ කියලා ඔබ එය පිළිගන්නවාද?
නාට්‍ය කලාව විතරක් නෙවෙයිනේ. හැමදේම කොළඹට සීමා වෙලා තියෙන්නේ. ලංකාව තියෙන්නේ කොළඹ ඇතුළේ කියලා ජධතධථඡධ ඪද ජධතධථඡධ කියන නාට්‍ය ඇතුළේ කියනවා. ඒ කියන්නේ ලංකාව තියෙන්නේ කොළඹ ඇතුළේ කියන එකයි. ඒක තමා ඇත්ත. පාස්පෝට් එක ගන්න කොළඹට එන්න ඔනේ. මහා ඉස්පිරිතාලෙට යන්න කොළඹට එන්න ඕනේ. සමහරු බදුල්ල ඉස්පිරිතාලෙට ගිහිල්ලා අන්තිමට අසාධ්‍ය වුණාම හෙලිකොප්ටරයකින් කොළඹට එක්කන් එනවා. සාහිත්‍යයන්, පොත් ප්‍රදර්ශනත් වගේම නාට්‍ය කලාවත් ඔක්කොම තියෙන්නේ කොළඹට සීමා වෙලා. ඒක එදා ඉඳන් පැවති සිද්ධියක්. විවිධ පළාත් වලටද නාට්‍ය දර්ශන වාර තිබුණාට ඒවා එතරම් සාර්ථක නෑ.
වර්තමානයේදී විදේශ රටවල වේදිකා නාට්‍ය කලාව මොන වගේ තැනකද තියෙන්නේ ?
විදේශ රටවල් වල සමහර වේදිකා නාට්‍ය අවුරුදු 25 ක් 30ක් එක දිගට පෙන්නනවා. දැන් ඇමරිකාවේ තියටර් කියන ඒවා වල සවුන්ඩ් ඔෆ් මියුසික් හරි වෙන නාට්‍යයක් කියලා හිතමුකෝ. ඉතිං ඒ නාට්‍ය අවුරුදු දොළහක් පහළොවක් එක දිගට හැමදාම පෙන්වනවා. එවිට ඒවා බලන්න විශාල ප්‍රේක්ෂක පිරිසක් එනවා. අවුරුද්දක් විතර යනකල් ප්‍රවේශ පත්‍ර වෙන් කරගන්න බෑ. අවුරුදු 12ක් එක දිගට අඛණ්ඩව නාට්‍ය පෙන්වනවා. එහෙම වෙලත් තව මාස අටක් වෙනකල් ප්‍රවේශ පත්‍ර නෑ. සමහර වෙලාවට කලාතුරකින් වගේ කැන්සල් වෙන ඒවා හම්බවෙනවා, මම ගිය එක වෙලාවක එහෙම කැන්සල් වුණු ටිකට් එකක් මට ලැබුණා. ඉතින් ඒ රටවල එහෙම සංස්කෘතියක් තියෙන්නේ.
වේදිකා නාට්‍ය ප්‍රේක්ෂකත්වය දේශීය හා විදේශීය ලෙස වෙන් කළහොත් මොන වගේ ප්‍රවණතාද දැක ගන්න පුළුවන් වෙන්නේ?
විදේශ රටවල නම් නාට්‍ය බලන්න ඕන අය නාට්‍යාගාරයට එනවා. දැන් ලංකාවෙ තියෙන්නේ ඊට වඩා වෙනස් සංස්කෘතියක්. අපි නාට්‍ය අරන් අනුරාධපුරට, කැකිරාවට යනවා. ජංගම නාට්‍ය කලාවක් අපේ තියෙන්නේ. පිටරට තියෙන්නේ ලොස් ඇන්ජලිස් ඉදලත් පැය හයක් නවයක් ෆ්ලයිට් එකේ නිව් යෝර්ක් වලට ඇවිත් බලන නාට්‍ය සම්ප්‍රදායක්. පිටරට තියෙන්නේ ප්‍රේක්ෂාගාරය නාට්‍ය වෙත එන සංස්කෘතියක්. එහෙත් අපේ රටේ එහෙම නාට්‍ය නැරඹීමේ සංස්කෘතියක් නැහැ. අපි කරන්නේ ලයනල් වෙන්ඩ්ට් එකේ මංගල දර්ශනය පෙන්නනවා නැත්නම් ටවර් එකේ මංගල දර්ශනය පෙන්වනවා. ඊට පස්සේ ඒ නාට්‍ය කැකිරාව මධ්‍ය මහා විද්‍යාලයේ පෙන්වන කොට නාට්‍යයෙන් භාගයයි පෙන්වන්න වෙන්නේ. ඒ තරමට ස්ටේජ් එකේ සැප පහසුකම් නෑ. වායු සමීකරණ නෑ. රංග ශාලා නෑ. තියෙන්නේ ප්‍රජා ශාලා නැත්නම් දේශන ශාලා වගේ ඒවා. මේ වගේ අර්බුදකාරී සංස්කෘතියක් තමයි ලංකාවේ වේදිකා නාට්‍ය කලාවේ තියෙන්නේ. ඇත්තටම නාට්‍ය කලාව කොළඹට විතරක් සීමා වෙලා.
වර්තමානයේ වේදිකා නාට්‍ය ප්‍රේක්ෂකයාගේ අරමුණු මොන වගේ ඒවාද ?
බොහෝ අවස්ථාවලදී කොළඹ අවට වේදිකා නාට්‍ය නරඹන්න පැමිණෙන්නේ තමන්ගේ සමාජ තලය පෙන්වීමට සහ පවත්වාගෙන යන්න. නැත්නම් අධ්‍යාපනික කාරණා සඳහා වගේ කාරණා අරමුණු කරගෙනයි. නාට්‍ය රස විදීමට එනවා කියන පිරිස ධනවත් මධ්‍යම පන්තියකට සීමා වෙලා තිබෙනවා. ඇතැමුන් සමාජයේ පහළ පංතියේ තියෙන ප්‍රශ්න කතා කරන නාට්‍ය නරඹා ඔවුන්ගේ සමාජ ප්‍රශ්නය රස විදලා යනවා.
කර්‌මාන්තයක් විදිහට වේදිකා නාට්‍ය මුහුණ දෙන මූලිකම අභියෝගය කුමක්ද ?
ආර්ථික වශයෙන් තමයි මූලිකම අභියෝගය එල්ල වෙන්නේ. ලොකු හෝල්වල නාට්‍ය ගන්න ගියාම විශාල මුදලකුත් වැය වෙනවා. එය සංවිධායක මණ්ඩලය විසින් ගෙවන්න ඕනේ, නාට්‍ය ශිල්පින්ට කන්න බොන්න දෙන්න ඕනේ, හුණුවටයේ කතාව වගේ නාට්‍යයක් නම් රංගන ශිල්පීන් තිහක් විතර ඉන්නවා. නාට්‍ය කණ්ඩායමේ අයයි ගත්තාම විශාල පිරිසක්. ඉතින් ඔවුන් සියලු දෙනාට කන්න බොන්න දීල ප්‍රවාහන පහසුකම් දුන්නාම ලොකු මුදලක් වැය වෙනවා. එවිට වැයවෙන මුදල හොයා ගන්න සිද්ධ වෙන්නේ ටිකට් පත් වලින්.
එහෙත් ටිකට් එකේ ගාන ගොඩක් වැඩි කරන්නත් බෑ. එක්කෝ 400යි නැත්නම් 500යි. එවිට තියෙන එකම විදිහ තමයි පාසල් සහ විශ්ව විද්‍යාල දරුවන්ට නැරඹුම් වාර වෙන් කරලා හෝල් පුරවන එක.
ලංකාවේ වේදිකා නාට්‍ය කලාවට තියෙන චෝදනාවක් තමයි අලුත් නාට්‍ය ඉදිරියට එන්නේ නෑ. නාට්‍ය යාවත්කාලීන නොවී යල්පැන ගිය නිර්මාණ විශ්වවිද්‍යාල තුල වගේම විශය නිර්දේෂයෙන් අදටත් හදාරණවා කියන එක. ඇත්තටම එහෙම තත්ත්වයක් තියෙනවද?
මෙහි සාධාරණ සත්‍යයකුත් තියෙනවා. හැට හැත්තැව දශක වල තිබ්බ නාට්‍ය වල රචනා පැත්ත දියුණුයි. ඒවායේ තියෙනවා සාහිත්‍යමය වටිනාකමක්. ඊට පසුකාලීන වෙන නාට්‍යවල තියෙන්නෙ සාහිත්‍යමය ගුණයට එනම් පෙළ සාහිත්‍යයට වඩා රංග කාර්යන්. එතකොට නාට්‍ය හා රංග කලාව කිව්වාම නාට්‍ය හරි දියුණුයි. ඒ කාලේ රංග තාක්ෂණය දියුණු නෑ. වර්තමාන පරම්පරාවේ රංග තාක්ෂණය හරි දියුණුයි. වේදිකා භාවිතා කරන විදිහ රංගනය භාවිතා කරන ආකාරය තාක්ෂණික දේවල් ආලෝක කරණය සංගීතය ඔක්කොම දියුණුයි. නමුත් නාට්‍ය පෙළ රචනයේදී අර තිබූ ගැඹුර නෑ. ඉතින් එවිට විශය නිදේශයන්ට අර පැරණි දේවල් ඇතුළත් කරන්නේ එහි වන සාහිත්‍යමය වටිනාකම නිසා. හැබැයි එහෙම නාට්‍ය වර්තමානයේ නැතුවාම නොවේ. ඒක තමා ඔය විෂය මාලා සංවර්ධන කමිටු සහ ඒවා ගැන තීන්දු තීරණ ගන්න ජාතික අධ්‍යාපන ආයතනවල ඉන්න අය කලාවත් එක්ක යාවත්කාලීන වෙන්න ඕන කියන්නේ. එයාලා බලලා තියෙන්නේ පනහ හැට හැත්තෑව දශකයේ නාට්‍ය. ඔවුන්ට තාමත් තරුණ නාට්‍යකරුවා වන්නේ සුගතපාල සිල්වා මහත්මයා. ඕකයි මේ වේදිකා නාට්‍ය කලාවේ තියෙන ගැටලුව. කෙසේ වෙතත් වේදිකා නාට්‍ය කලාවේ ගුණාත්මක බව සහ ප්‍රේක්ෂක රසඥතාවය ආදිය කාලෙන් කාලෙට වෙනස් වෙමින් වේදිකා නාට්‍ය කලාව අඛණ්ඩව ඉදිරියට ගමන් කරනවා.
හංසිකා වීරසිංහ
ජනසන්නිවේදනය අධ්‍යයන අංශය, කැලණිය විශ්වවිද්‍යාලය