අම්මගේ කැමැත්ත නිසාම මම චිත්‍රපටයේ වැඩ කරන්න කැමැති වුණා. කාංචනා චිත්‍රපටයේ රූ ගත කිරිම් ආරම්භ වුණේ 1977 මුල භාගයේදී. මුහුරත් උලෙළ පැවැත් වුණේ කොළඹ රීගල් සිනමා ශාලාවේ. රූ ගත කිරිම සඳහා මට නුවරින් කොළඹට පැමිණිමට සිදුවුණා. ඒ වනවිටත් අම්මා අන්කල් ගෙන් අයින් වෙලා එඩේරමුල්ලේ ඇනෙක්ස් එකක තනියම ජීවත් වෙනවා. ප්‍රකට සිනමා නිළි සන්ධ්‍යා කුමාරි ඒකාලේ අම්මගේ සමීපතම මිතුරියක්. මට මතකයි අපි අම්මා බලන්න නිවාඩුවට කොළඹ ආවමත් සන්ධ්‍යා කුමාරි හමුවෙන්න අපි එයාගේ ගෙදරට යනවා. උපාලි අන්කලුත් අපිට හරිම ආදරෙයි. ඒකාලේ උපාලි අන්කල් කාර් රේස් පදිනවා. මට මතකයි අපි කාර් රේස් බලන්නත් ගියා. මේ දෙන්නම අපේ අම්මට දැක්වූයේ පුදුමාකාර ආදරයක්.
කාංචනා චිත්‍රපටයේ රූ ගත කිරිම් වලට එන්න අම්මා මාව සූදානම් කළා. අම්මට ඕන වුණා මුහුරත් දවසට උදේ පාන්දරින්ම මෝදර කෝවිලට මාව රැගෙන යන්න. ඒක නිසා මුහුරත් දවසට කලින් දවසේ අපි කොළඹ ආවා.
ඒකාලේ සන්ධ්‍යා ආන්ටිගේ අම්මා හිටියේ කොටහේනේ මහල් නිවාසයක. අම්මා මාවත් අරගෙන කොටහේනේ පිහිටි සන්ධ්‍යා ආන්ටිලගේ අම්මගේ ගෙදරට ආවා. සන්ධ්‍යා ආන්ටිත් මේ මොහොතේ මේ ගෙදරට ඇවිත් හිටියා මට මතකයි. පහුවදා උදේම කෝවිලට යන්න ඕන නිසා සන්ධ්‍යා ආන්ටි කිව්වා එදා එහේ නවතින්න කියලා. අම්මයි මමයි දෙන්නම එදා එහේ නැවතුණා. කුඩා මහල් නිවාසයක් වුණු ඒ ගෙදර ඒ හැටි ඉඩ පහසුනම් තිබුණේ නෑ. අම්මයි මමයි නිදා ගත්තේ බැල්කනි එකේ මෙට්ටයක් දාගෙන. එක පැත්තකින් මදුරුවෝ කනවා. අනිත් පැත්තෙන් හරි රස්නෙයි. ඒ වගේම නගරය මැද නිසා එළිවෙනතුරු සද්ද බද්ද. මහරෑ එළිවෙන ජාමෙත් සින්දු දාලා. මේ පරිසරය මට නම් හරි ගියේම නෑ. අපි ජිවත් වුණේ නුවර සනීපදායක පරිසරයක. සද්ද බද්ද මැද නිදියලා අපට පුරුද්දක් තිබුණේ නෑ. මට එළිවනතුරු නින්ද ගියේ නෑ.
පහුවදා උදේ පාන්දරින්ම නැගිට්ට අම්මා මාව මෝදර කෝවිලට එක්කන් ගියා. ඒ පුරුද්දට ඊට පස්සේ කරපු හැම චිත්‍රපටයක්ම පටන් ගන්නකොට මෝදර කෝවිලට හෝ මයුරා කෝවිලට යන එක මගේ පුරුද්දක් වුණා. කාංචනා මුහුරත් උලෙළට යන්න අම්මා මට සාරියක් ඇන්දුවා. චිත්‍රපටය ඇතුළත පෙන්වන චිත්‍රපටයේ මුහුරත් උත්සවයත් එදිනම රූපගත කළා. මම හිතන්නේ මේ මම සාරියක් ඇදපු දෙවැනි දවස කියලයි. මීට කලින් අපේ පවුලේ මංගල උත්සවයකට ඔසරියක් ඇන්දා මතකයි. අම්මා විසින්ම මට කොණ්ඩෙකුත් උඩට කරලා බැන්දා. ඊට පස්සේ අපි දෙන්නත් එක්කම රීගල් සිනමා ශාලාවට ගියා.
ශ්‍රියාණි අමරසේන, අමරසිරි කලංසුරිය වොලි නානායක්කාර, දයා තෙන්නකෝන් වැන්නෝ එතනදි මට මුණ ගැහෙනවා. විජය කුමාරතුංගව ඉස්ඉස්රලම මම දකින්නෙත් එතැනදි.
අම්මා නිළියෙක් වුණාට මට මේ නළු නිළියන් බහුතරයක් දෙනා මුණ ගැහිලා තිබුණේ නෑ. ඒකාලේ අපි මහනුවර තැපැල් කන්තෝරුව ළඟ නිල නිවාසේ ඉන්නකාලේ රොබින් ප්‍රනාන්දු චිත්‍රපටයක ෂුටිං සඳහා පැමිණ සිටිනවා දැකලා තිබුණා. අම්මා සිනමා ක්ෂේත්රෙයයේ හිටියට අපි හිටියේ තාත්තත් එක්ක නිසා මේ පිරිස් සියලු දෙනාම අපිට මග හැරුණා.අනිත් පැත්තෙන් පාසලේදි වත් මම නාට්‍ය හෝ රඟපාන පැත්තට කිසි දවසක යොමු වෙලා තිබුණේ නෑ. අඩුම තරමින් සමිතියක සින්දුවක් වත් කියලා තිබුණේ නෑ. මගේ හිතේ හැම මොහොතෙම වැඩ කළේ කොහොමද මම මේ රගපෑම් කරන්නේ කියන එකයි. කොහොම හරි කාංචනා රූ ගත කිරිම් ඇරඹුණා කොළම රීගල් සිනමා ශාලාවේදි. ඩොනල්ඩ් කරුණාරත්න පළවෙනි ෂොට් එක ගන්න පටන් ගත්තා. මම හිටියේ විජය කුමාරතුංගත් එක්ක පළවෙනි දර්ශනයේ. මම ඩයලොග් එක කියලා ඉවර වෙන විටම කට් කළා.
කෝ …. කොහාටද ඩයලොග් එක කිව්වේ? ඩොනල්ඩ් කරුණාරත්න මගේ දිහා බලමින් අහන්න ගත්තා
මට කිසිම හැගීමක් තිබුණේ නෑ ඒ ගැන. ඇත්තටම ඒ වෙලාවේ මම ඩයලොග් එක කියලා තිබුණේ විජය පැත්තට හැරිලා. පළවෙනි ෂොට් එකේ මූණත් නෑ. ඩයලොග් එකත් නෑ. කැමරාව තිබුණේ වෙන කොහේවත්. ඒ කියන්නේ සිනමාවට මම ඒතරම්ම ආධුනිකයි කියන එකයි. රඟපාන්න ඕන කැමරාවට කියන එක ගැන මට හැඟීමක් තිබුණේ නෑ.
ඒ තමයි මගේ සිනමා ගමනේ පළවෙනි මතකය.
දර්ශනය ඉවරවෙලා මම වටපිට බැලුවත් අම්මා පේන්න හිටියේ නෑ. මම අම්මව හොයනකොට තමයි දැන ගත්තේ එයා බැල්කනි එකේ ප්‍රොජක්ටර් එක තියන කාමරයට වෙලා ඉන්නවා කියලා. එයාට මම මොනවා කර ගනීද කියන එක ගැන බයක් මතුවෙලා. පළවෙනි දර්ශනය ගන්න එක බලා ඉන්න බැරි වෙලා. කොහොම වුණත් දර්ශන එක දෙක අරගෙන යනකොට මම මේ වැඩේ අල්ලා ගත්තා.
ලබන සතියේ විජය සමඟ ගීත දර්ශන
හේමාලි විජේරත්න