– අපේ පවුලම සංගීතයට හරිම ආදරෙයි
– මං කවදත් නිහඬ බව ගොඩාක් අගයන කෙනෙක්. මට මිතුරියන් කියල උන්නෙත් දෙන්නයි. ගෙදරදි වුණත් මං එහෙමයි
– මං ගායන ශිල්පිනියක් වීම ගැන මා තුළ තියෙන්නේ මහමෙරක් තරම් සතුටක්..නිහතමානී ආඩම්බරයක්. විශාල තෘප්තියක්…
– අපෙ අම්මා හරිම ලස්සන කාන්තාවක්
– මං පුංචි කාලෙ පටන් සිහින මැව්වේ කන්‍යා සොහොයුරියක් වෙන්න
” මම කන්‍යා සොහොයුරියක් වෙන්න හරිම ආසාවෙන් හිටියේ. ඒක අම්මාට කීවාම ඔයාට තව වයස තියෙනවනෙ කියලා අම්මා මාව සංගීත පන්තියකට දැම්මා…”
ලාංකේය ගීත ශ්‍රාවක සිත්සතන් අතර මේ අපේ ආදරණිය කතා නායිකාවට හිමිවන්නේ ගෞරවනීය තැනකි. සරසවිය වෙනුවෙන් ඈ පිළිබඳ තතු සොයා ගිය ගමනේදී ඈ හමුවනතුරු ඇයගේ ප්‍රේමනීය හඬින් ගුවන් විදුලියෙන් ඇසූ ගීත රැසකට මා මතක පොතේ පිටු දිගහැරෙයි..
“මේ උයන් තෙරේ…මේ තුරු සෙවණේ..ඔබේ කතා මට තවම ඇසේ….” “තම එකම දියණිය සමඟින් ගැයූ “සිනාමල් ගොඩක්…” ” මහා මෙරක් ලෙස ඔබ ගැන සිතුවෙමි..” “සඳද වසා..හිරුද වසා…” ආදී තවත් මියුරු ගීත රැසක් මා මතක පොත මට කියාදෙයි.
සැබැවින් ම නිහඩ බවම වඩාත් අගයන ඕ තොමෝ දැන් මා සමීපයේ සිට මෙතුවක් ඈ පැමිණි ගමන්මඟ පිළිබඳව මා හා සුහද සංලාපයේය…
“ඉතින්…කොහොමදැයි..” මා විමසූ පැනයෙන් තමන් සොයා පැමිණීම ගැන සරසවිය පුවත්පතටද එහි කර්තෘතුමාටද මටද ස්තූතිය පිරිනැමූ ඕ කාටත් හුරුපුරුදු ඒ මුවපිරුණු නිහතාමනී සිනාවෙන් සංග්‍රහ කරන්නීය.
පුවත්පත්කලාවේදියකු වූ කොළඹ ..මොරටුව.. හැරිසන් පීරිස් සහ රෙජිනා පීරිස් යන ආදරණිය මවුපිය දෙපළට හිමි දූ පුතුන් අටදෙනකු අතරින් මෙවර ඔබ හමුවට පැමිණි ඇය පවුලේ පස්වැන්නිය ලෙසින් උපන් දියණිය ඇයය. නොඑසේනම් නිර්මලා ප්‍රියදර්ශනී මරියා පීරිස් හෙවත් අපේ ප්‍රවීණ ගායන ශිල්පිනිය නිර්මලා රණතුංග මහත්මියද ඇයමය…රටම දන්නා ප්‍රවීණ ගායන ශිල්පිණිය මල්කාන්ති නන්දසිරි මහත්මිය ඇයගේ ලොකු අක්කාය. ඉන්පසු ඇයට අයියලා දෙදෙනෙකි. ඊළඟට ඇයගේ අක්කා දැන් මෙලොව හැරගොසිනි. ප්‍රකට ගායන ශිල්පිනියක වන නිරංජලා සරෝජිනී පිරිස් මහත්මිය ද සකුන්තලා මහත්මිය ද ඇයට බාල සහෝදරියන් වන අතර සංගීත විශාරද මමෝජ් පීරිස් ඇයගේ ආදරණිය මල්ලීය…
ඕ තවමත් සිනාපිරි මුවිනි.
“අපේ පවුලම සංගීතයට හරිම ආදරෙයි. මගෙ පප්පා එකෝඩියන් වාදනයට දක්ෂයි. එතකොට මගේ අම්මාත් ඉංග්ලිෂ් මැන්ඩලීනයට දක්ෂයි…ඒ දෙන්නාටම තිබුණේ උපතින්ම ගෙනා කුසලතාවයක්…නැතිනම් ඉගෙන ගෙන නෙවෙයි. අපෙ අම්මා ට හරිම ලස්සන කටහඬක් තිබුණා. එයාට දක්ෂතාවය තිබුණාට ආච්චිලා සීයලා ඒ පැත්තට ගන්න කැමති වෙලා නැහැනෙ. ඒ වගේම අපෙ අම්මා හරිම ලස්සන කාන්තාවක්…අනේ..ඒ කාලෙ අම්මා කොච්චර ලස්සනද කියලයි අදටත් මට හිතෙන්නෙ..”
ඈ කතා ලතාවෙහි ද ගීතවත් බවක් සැඟව ඇතැයි මට හැඟේ.
සංගීතයෙහි නොතිත් ඇල්මෙහි පසුවන මේ ප්‍රකට පවුලේ සමගිය..සමාදානයද උතුරා යයි. පප්පා නීතියට වැඩය. සවස නොවරදවාම දෙවියන් උදෙසා පවුලේ සැවොම එක්ව යාඥා කළයුතුය. දේවස්ථානයේ සෑම කටයුත්තකදීම දායකත්වය දිය යුතුය. එහි ගීතිකා ආදියට එක්විය යුතුය. මේ අතරේදී සවස් යාමයේ සිට රෑ බෝවනතුරුම අම්මා පප්පා වයති. ගයති. රාත්‍රි අහර පිසින්නට අම්මා හා අනෙක් ඈයෝ මුළුතැන්ගෙයි පසුවන කළ අපේ ආදරණිය කතා නායිකාව නිර්මලා පීරිස් දියණිය පප්පාගෙ වාදනයට නතුව ගී ගයන්නීය. මේ සංගීතය අහල පහළ කොයි කාටත් හුරුපුරුදු ය…
” මං අධ්‍යාපනය ලැබුවේ කෝට්ටේ ශාන්ත තෝමස් විදුහලෙන්…”
පාසලේ සෙසු අය අතර නිහඬ චරිතයකට හිමිකම් කී අපේ නිර්මලා සිසුවිය එහි කිසිදු දෙයකට මුලදී නම් ඉදිරිපත් වූයේම නැති. සිංහල පාඩමේදී කවි පන්ති ගායනයේදී දක්ෂතාවන් පෙන්නුම් කිරීමෙන් සිංහල විෂය බාර සිරිල් පෙරේරා ගුරු භවතා ඇයගේ ගැයුම අගයමින් තව තවත් දිරිගැන්වීය..විවිධ ගායනා තරඟ සඳහාද ඔහු ඇයව යොමු කළේය.
“ඇත්තමයි…මං එතුමාට අදත් ගරු කරනවා..”
දැන් දැන් අපේ සොඳුරු කතා නායිකාව නිර්මලා ගායනා තරඟාදියෙන් ප්‍රථම ස්ථානයම පාසලට දිනා දෙමින් සිය ගැයුම් සිරිත දින දින වඩාත් ඔපවත් කිරීමෙන් පාසලේ කැපී පෙනෙන ශිෂ්‍යාවක ලෙසින් ප්‍රකට වූවාය.
“අනේ මන්දා…මං කවදත් නිහඬ බව ගොඩාක් අගයන කෙනෙක්. මට මිතුරියන් කියල උන්නෙත් දෙන්නයි. ගෙදරදි වුණත් මං එහෙමයි. ”
ඈ සිනාසෙමින් කියන්නීය.
” නිරජලා නංගි මගෙ ළඟට ඉන්න නංගියානෙ. ඒ කාලෙ ඉතින් එයයි මමයි ගෙදරදි රණ්ඩු සරුවල් ගොඩයි. ටෙරිබල් ඇන්ඩ් හොරිබල් කියල අපේ පප්පා අපි දෙන්නට නම් දෙකකුත් පටබැඳල තිබුණා.. අනේ ඒ කාලෙ කොයිතරම් සුන්දරද..කියලා හිතෙනවා”
සවසට ගෙදරට එන පප්පා අතෙක දරුවනට කෑමට ගෙනෙන යමක් වරදින්නේම නැති. ඉදින්..කෑම පොරයට සැරසෙන්නේද මේ අක්කා හා නංගීය. නිතර ඈ මුවඟ ගීතයකි. නැතිනම් පොතක ඇලී සිටී.
“මං පුංචි කාලෙ පටන් සිහින මැව්වේ කන්‍යා සොහොයුරියක් වෙන්නනෙ. ඉතින් මං ඒ ආසාව අපෙ අම්මා ට කීවාම ඉන්ඩකො. අනේ.. ඔයාට තවම වයස තියෙනවනෙ කිව්වා.පස්සෙ මාව සංගීත පන්තියකට දැම්මා. මම පියාමෝ වාදනය ඉගෙන ගෙන ඒ සාමාර්ථ තුනකින් සමත් වුණා. සංගීත පන්තිය නතරවුණාම මාව හීන්බබා ධර්මසිරි නැටුම් ගුරුතුමාගෙන් නැටුම් ඉගෙන ගන්න දැම්මා.පණීභාරත…චිත්‍රා අල්ගම ළඟ උඩරට නැටුම් පුහුණු වුණා. ”
මම ඇයට සාවධානව සවන් දී සිටිමි.
දැන් තේරෙන වයසකට පැමිණි ඇය ගුවන් විදුලියේ ළමා මණ්ඩපයේ ගායනයට පිවිසියාය. ඒ වනවිට අවුරුදු එකොළහක් පමණ ඇති. ලොකු අක්කා මල්කාන්ති ඈ අත අල්වාගත් ගමනිනි. අපේ කරුණාරත්න අබේසේකරයන්ගේ ළමා වැඩසටහන්වලටද ඇය එක්වූයේ ගායනා වෙනුවෙන් ළමුන්ගේ අඩුවක් පැවැති අවස්ථාවකදී ඇයට ගයන්නැයි ඔහු කළ ආරාධනයෙනි. එහිදී ඕ යුග ගායනයටද එක්වූවාය.
“උන්නොත් මෙදා නිදිමතේ..
අප දිනු ජාතිය හාමතේ…”
ගීතය ළමා මණ්ඩපයට ඇය ගැයූ ප්‍රථම ගීතය විය. කාගේත් මුවින් කියැවුණේ එය ලස්සනට ගායනා කළ බවය. අදත් එම ගීතයට තැටියක් කපා තිබෙන බවද අදටත් එම ගීතය ඇසෙන බවද ඕ කියන්නීය..
අපේ ආදරණිය කතා නායිකාව නිර්මලාගේ ලොකු අක්කාගේ හොඳම මිතුරිය අපේ නන්දා මාලනි මහත්මිය සුනෙත් ගෝකුල මහතාද සමඟින් නිවසට පැමිණ ගී ගයයි. “රුවැති ළඳක්” නම් ගීත නාටකයකට සැරසෙන ඔවුන් ගායනයට රංගනයට සමත් අයට කැඳවීමක්ද පුවත්පත් දැන්වීම් මඟින් ප්‍රසිද්ධ කර තිබිණි.
“ඒ කාලේ මට දිගු කොණ්ඩයකුත් තිබුණානෙ…..මං බාත්රූම් එකට ගියාම හෙම සින්දු කියනවා. එදත් මං බාත්රූම් එකේ ඉඳන් ගයනව අපේ ගෙදරට ඇවිත් හිටිය නන්දා අක්කා අහගෙන ඉඳලා. පස්සෙ අපේ ලොකු අක්කගෙන් අහල තියෙනව නංගිට නැටුම් පුළුවන්ද කියලත්..පස්සෙ අපි හොයාපු කෙනා මේ අපි ළඟමනෙ ඉඳල තියෙන්නෙ කියලා මාව නන්දා අක්කගෙ ගෙදරට එක්ක එන්න කියල ගිහින්…”
“රුවැති ළඳක් ” ගීත නාටකයේ ජයන්තදාස් පෙරේරා..ප්‍රධාන චරිතය ද ලංකා රාජිනී…වාහිණී ගුණසේකර..නිමල් දයාරත්න…ආදී තවත් අයද එහි රඟපෑහ. එය පුවත්පත් වලද එදා පළවිණි.
ඇගේ රුවින්..ඇගේ හඬින් රුවැති ළඳක් මැවෙන මගක්.. මැයෙන් එදා පත්තරවල පළවූ අතර එම ගීත නාටකය රටපුරා ගියේය..අම්මාගේ විරුද්ධත්වයද සුළුපටු නොමැති වූයෙන් අපේ ආදරණිය කතා නායිකාව නිර්මලා ඉන් ඉවත්ව ගෙදර රැඳී සිටියාය..
“ඒ වුණාට මම ළමා මණ්ඩපයේ ගීත ගැයුවා..”
ඈ ජයග්‍රාහී ස්වරයෙන් කියන්නීය.
භාරතයේ මහාචාර්යවරියක වන දීපාල් නාග් සරල ගී පරීක්ෂණ සඳහා ගුවන් විදුලියට පැමිණියාය. එහිදී අපේ කතා නායිකා නිර්මලා එහි ගායනා පරීක්ෂණයකට පෙනී සිටිමින් “ඒ” ශ්‍රේණියේ ගායන ශිල්පිනියක ලෙසින් ඉහළම ලකුණු ලබාගනිමින් ඉන් සමත් වූවාය. ඉන්පසු ඕ සරල ගී වැඩසටහන් සඳහා ඉදිරිපත් වූවාය.
මේ ගී ගයන්නී අලුත් ගායිකාව දුටු ගුවන් විදුලියට නිතර යනෙන අපේ ආචාර්ය වික්ටර් රත්නායකයන් ඔහුගේ සරල ගී වැඩ සටහනට යුග ගීතයක් ගයන්නට අවස්ථාව ලැබ දුන්නේය. ඇයගේ පළමුවන සරල ගී වැඩ සටහනට ගීත තුනක් ඇතුළත් වූ අතර අපේ මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරියන්ගේ තනු රචනයෙන් “දහසක් කුමරුන් ආවත් …” ගීතය බිහි විය..”එදා ඔබ මෙහි නොආවා නම් ” ගීතයද ඊට ඇතුළත් විය.
අපේ ආදරණිය නිර්මලා යමක් කියන්නට සැරසෙන්නීය.
“ඒ කාලෙ සනත් නන්දසිරි අයියා අම්පාර උහන විද්‍යාලයේ උගන්වන්නෙ..ලොකු ෆයිල් එකකුත් අතේ අරන් සනත් අයියා අපේ ගෙදරට එනවා. අපේ ලොකු අක්කා බලන්න..මං දවසක් ඉතින් එයාට හොරෙන් එයාගෙ ෆයිල් එක බැලුවා කියමුකෝ. ඒකෙ තිබුණ දහසක් කුමරුන් කියන ගීතය මං හොරාට ගත්තා. පස්සෙ මං අපේ සනත් අයියාටම ඒ සින්දුව දුන්නා ඒකට තනුව දමන්න..ඉතින් තවත් පස්සෙ දවසකදි මං සනත් අයියාට ඒ ඇත්තම කතාවත් කිව්වා..”
ඕ දෙවුර සලා හිනැහෙන්නීය..
“අනේ මං මහ ගොඩාක් ගීත ගයනා කරල නැහැ. ම්..ම්..දාහක් විතර..ඒ එක්කම මං කැසටි පට වලට වෙනත් අයත් එක්කත් ගායනා කළා..මේ උයන් තෙරේ…කඳුළින් සිනාසෙමූ..මධු බඳුන් තවත් ගීත තොරොම්බල් සී.ඩී. තැටියක් කළා…මධු බඳුන් ගීතයට එදා ලොකු ඉල්ලුමක් තිබුණා ”
ඒ ටික ඇය කීවේ මා විමසූ පැනයකට පිළිතුරු ලෙසිනි.
ඈ මුහුණ මත අඳුරු වලාවක් පතිත වූවා වැන්න.
“මේ මං කියන කතාවට අදාළ කෙනා කවුද කියල නම් කියන්න මං කැමති නැහැ. එදා මධු බඳුන් ගීතය ගයපු වෙලාවෙ අපේ සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න මහත්තයා කෙනකුට කීව දැන් තමයි හොඳ නිර්මලා එක්ක යුග ගී ගයන්න කියලා. ඒත් එදා මාව එයා ප්‍රතික්ෂේප කළා.. ගීතයට තනුව විතරක් හදා දෙන්නම්..මා එක්ක ගයන්න කැමති නැහැ කියලා එයා මටම කිව්වා…ඒත් වැඩේ කියන්නෙ..තවත් පස්සෙ දවසකදි එයාම මට යුග ගායනයකට කතා කළා කියමුකෝ..එයා මාව ප්‍රතික්ෂේප කළා වගේම මමත් එදා ප්‍රතික්ෂේප කළා. එදා මං අධිෂ්ඨාන කරගත්තා බී. වික්ටර් පෙරේරා යටතේ හොඳට සංගීතය ප්‍රගුණ කරලා ඉගෙන ගන්නවා කියලා. මං ඩිප්ලෝමාව දක්වා ඉහළින්ම සමත් වුණා. මගෙ ගුරුතුමා නැතිවුණා. පස්සෙ නචපබ බඹධ කරන්න මම ප්‍රේමදාස මුදුන්කොටුව ගුරුතුමා ළඟට ගියා. විශාරද උපාධිය මං ඉහළින්ම සමත් වුණා.
අපේ වික්ටර් රත්නායක අයියා මාව එයාගෙ “ස” ගී ප්‍රසංගයේ ගායනයට ගත්තා. ඒක මම ගෞරවයෙන් සිහිපත් කරනවා…”
අපේ සොඳුරු කතා නායිකාව දැන් සංගීත අසපුව නමින් බිහිකළ සංගීත කලායතනයක ප්රධානාචාර්යවරියකි. සංගීත ගුරුතුමියකි.
“මගේ සංගීත අසපුවට ඉගෙනුමට එන අයට මම සර්පිනාවද වයමින් ගායනය පිළිබඳ දැනුම ලබාදෙනවා. සංගීත විශාරද උපාධිය දක්වාම මම උගන්වනවා. ඉන් මම විශාල ආත්ම තෘප්තියක් ලබනවා…”
ඇය යටතේ ඉගෙනුම ලබන්මෝ 70කට අධිකය. එක් වසරකට වරක් තම ගෝලයන්ගේ දැනුම පිරික්සා බලන්නට ඇය ප්‍රසංගයක් පවත්වයි. ”
“ඇත්තමයි…මං මගේ ජීවිතයේ ගායන ශිල්පිනියක් වීම ගැන මා තුළ තියෙන්නේ මහමෙරක් තරම් සතුටක්..නිහතමානී ආඩම්බරයක්. විශාල තෘප්තියක්…”
ඕ සිනාවකින් මුව සරසා කියන්නීය.
අපේ සොඳුරු කතා නායිකාව අතිනත ගත්තේ සංගීත ක්ෂෙත්රයේ තබ්ලා තාල වාද්යයෙහි ප්‍රමුඛයා වූ විජයරත්න රණතුංගයන් සමඟිනි. ඔහු පිළිබඳව ද කතා කරන්නට අමතක නොකළ අපේ ආදරණිය කතා නායිකාව නිර්මලා මෙසේද කියන්නීය.
“ඔව්..මගේ සංගීත..ගායන කටයුතු වලදි විතරක්ම නෙවි…එයා මට හැම අතින්ම හෙවණක්ම වුණා. විවාහයට පෙරදි ඉඳන් මං එයාගෙ තබ්ලා වාදනයට වශීවෙලා හිටියාය කීවොත් තමා හරි…එයා හරිම සංවේදී සිතක් ඇති මහත්මා ගුණින් පිරුණු කෙනෙක්…මගේ සංගීත ගමනට එයාගෙන් ලැබුණු සවිය..අපමණයි. ඒත් එයා අපට නැතිවුණා…
අපට පුතෙක් සහ දුවක් ඉන්නවා…පුතා නුවන් චාමර රණතුංග …මගේ දුව සංගීත විශාරද සෙව්වන්දි රණතුංග ..එයා දක්ෂ ගායිකාවක්…දුවත් මමත් එක්ව ගැයූ ගීතයක් තමයි සිනාමල් ගොඩක් ගීතය. ”
අපේ ආදරණිය නිර්මලා පීරිස් නැතහොත් විවාහයෙන් පසු නිර්මලා රණතුංග නම් විය..
දැන් ඇය මුනුපුරු මිනිබිරියත් මැද විවේකය ගෙවන්නීය…
“මට මුනුපුරාල දෙන්නයි. ඒ තමයි රුවින්ද සහ යසෝත්. මිනිබිරිය තමයි මගෙ දුවගෙ දුව පද්යා ..”
ඇයගෙන් සමුගන්නට කාලය එළැඹී ඇත්තේය. ලාංකේය සංගීත ලෝලින්ගේ ගෞරව බහුමානයට පාත්‍ර වූ ආදරණිය පවුලකට අයත් සංගීත පරපුරකින් බිහිවූ තවත් එක් විශිෂ්ට චරිතයක්ම වූ උදක්ම නිහතමානී සිතැත්තියක වන අපේ ආදරණිය ප්‍රවීණ ගායන ශිල්පිණිය …සංගීත විශාරද නිර්මලා රණතුංග මහත්මිය නැවතත් කෘතවේදි සිනහවකින් මුව විදහා මෙසේ කියන්නීය.
“මම සරසවියට ස්තුතිවන්ත වෙනවා…!”
සේයාරූ – පාලිත ශ්‍රී ලාල් ආටිගල
අමල් යශෝමන් ජයසිංහ