පිරිමියෙක් පිළිබඳ කැමැත්තක්, හැගීමක් ඇතිවන ආකාරයේ වෙනසක් මගේ හිතට දැනෙන්න ගත්තේ මම කාංචනා දර්ශන තලයේ ඉන්නකොට. ඒක මොන විදියේ හැඟීමක්ද කියලා විස්තර කරන්න මට තේරෙන්නේ නෑ. මම දැනගෙන හිටියේ නෑ ඔහු කවුද කියන්නවත්. ඒ වුණාට දුටු පමණින් හිත සසල වුණා කියලා මට දැනුණා. ඔහුට කඩවසම් රූ සපුවත් තිබුණා. මම දැක්කා දින කීපයක්ම ඔහු දර්ශන තලයේ ඉන්නවා. හැබැයි කවදාවත් කතා බහ කරල හෝ හිනාවකින් හෝ සංග්‍රහ කරලා තිබුණේ නෑ. නමුත් ඔහුව දකින එකෙන් මම ලොකු සතුටක් ලැබුවා. මට හිතුණේ එය ඒක පාර්ශ්වීය ප්‍රේමයක් කියලා. ඔහුව දැක්කේ නැති දවසට ‘අනේ අද දැක්කේ නෑනේ කියලා හැගීමක් ඇති වුණා. පස්සේ දවසකදි අපි දෙන්නා කතා කරනවා. ඒ කාලේ ඔහුටත් මා ගැන හැඟීමක් ඒ විදියටම ඇති වෙලා තිබෙනවා. නමුත් අපි දෙන්නා අතර සම්බන්ධතාවයක් ගොඩ නැගෙන්න ඉඩක් තිබුණේ නෑ. දර්ශන තලයේ අපේ අම්මත් රැඳී හිටියා. ෂුටිං වලට විතරයි ඉඩක් තිබුණේ. නමුත් මගේ හිතේ ඔහු කෙරේ පොඩි ළෙන්ගතුකමක් වැඩෙන්න ගත්තා. හැබැයි ඒ ළෙන්ගතුකම මම වින්දේ මගේ තනි හිතෙන්. පස්සේ මට දැන ගත්නන ලැබෙනවා එයා චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාගේ සහ නිෂ්පාදකවරයාගේ යාලුවෙක් කියලා.
ඒ කාලේ අපි රඟපාන්න ගියාට කිසි කෙනෙක් සමඟ තනියම කතා කරන්න තරම්වත් සමාජශීලි වෙලා තිබුණේ නෑ. ඒ නිසා අපිට එහෙම කතා කරන්න ඉඩක් ලැබුණේ නෑ. හිතේ ඇතිවන හැඟීම් හිත ඇතුළෙම ඉපදිලා මියැදුණා. ප්‍රේමය පිළිබඳ මට ඇතිවුණ පළවෙනි දැනීම මේක කියලා මට හිතුණා. ඔහු හරිම ප්‍රසන්න පිරිමි ළමයෙක්. උස අඩි හයක් විතර ඇති. මම කාංචනා ෂුටිං ඉවරවෙලා විභාගේ ලියන්න ඉස්කෝලෙට ගියා. ඔය අතරතුරදි දවසක් මට මහනුවරදි ඔහු මුණ ගැහෙනවා. අපි දෙන්නට පොඩි වෙලාවක් කතා කරන්න ලැබෙනවා. එතැනදි තමයි මම දැන ගත්තේ ඔහුටත් මා පිළිබඳ කිසියම් හැඟීමක් ඇතිවෙලා තිබුණා කියලා. නමුත් විභාගේ ඉවරවෙලා මම එක පිම්මේ දුවගෙන කොළඹ අම්ම ළඟට එනවා. ඒ පෙම් හැඟීම් නුවර අහස යටම හුළඟට විසිරිලා යනවා. තද බැදීමක් තිබුණා නම් එහෙම විසිරිලා යන්නේ නෑනේ. ඒක හිත් දෙකක ඇතිවුණ අහිංසක සිතුවිලි මාත්‍රයක් විතරයි.
උසස් පෙළ විභාගයට මම හොඳීන් මුහුණ දෙනවා. මාව විශ්වවිද්‍යාලයට තේරෙයි කියන බලාපොරොත්තුව මට තියෙනවා. ඒ විශ්වාසය කොයි තරම් තිබුණද කියනවා නම් මම මගේ යාළුවන්ටත් ගෙදර අයටත් කිව්වේ මම නම් ආයේ විභාගේ ලියන්නේ නෑ කියලයි.
හුගාක් දෙනෙක් ඇහුවා ඇයි ඔයා එහෙම කියන්නේ කියලා…
නෑ මම ආයේ විභාගේ ලියන්නේ නෑ. මම කැම්පස් යනවා…
කියලා බොහොම විශ්වාසයෙන් මම කිව්වා.
විභාගේ ඉවරවුණු ගමන් මම කොළඹ එනවා අම්මා ළඟට. ගංගා නංගිත් මාත් එක්කම කොළඹ එනවා. චුටි නංගිලා දෙන්නම මේ කාලේ වෙනකොට අම්මා හිල්වුඩ් එකේ බෝඩිං කරනවා. මල්ලි ඉන්නේ තාත්තාත් එක්ක. අපිව අම්මා ළඟට ගන්න ඕන නිසාම අම්මා දලුගමින් ගෙයක් කුලියට ගන්නවා. ඒ වෙනකොටත් අම්මා බැසිල් අන්කල් (බැසිල් ද සේරම්) ගෙන් වෙන්වෙලා තනියම ජිවත් වුණේ. අම්මා ගේ කුලියට ගන්නේ රවීන්ද්‍ර රන්දෙණිය මහත්මයාගේ ගේ කිට්ටුවෙන්. මේ කාලේ වෙනකොට තාත්තාවත් කොළඹට මාරු කරනවා. කැලණියට ආසන්නයේ අකුරුපිටිය හරියේ බෝඩිමක් අරගෙන තාත්තා මල්ලිත් එක්ක ඇවිත් පදිංචි වෙනවා. තාත්තා මධ්‍යම තැපැල් හුවමාරුවේ උප තැපැල් පති වෙලා තමයි කොළඹට එන්නේ. මල්ලිවත් කොළඹ ඉස්කෝලෙකට දා ගන්නවා. දැන් තමයි ආසන්න වශයෙන් හෝ අපේ පවුල එක ළඟක හිටිය අවස්ථාව උදා වෙන්නේ.
අපේ අම්මගේ ජිවිතේ දිහා මම හරි විදියට බලන්න පටන් ගන්නේ එයත් එක්ක ජීවත් වෙන්න පටන් ගත්තට පස්සේ. එයා කොයි තරම් ධෛර්යවන්ත ගැහැනියක්ද කියලා මට අවබෝධ වෙන්නේ එතකොට. විවාහයක් දෙදරා ගියාම ගැහැනියක් කොයිතරම් කඩා වැටෙනවද? අපේ අම්මගේ විවාහ දෙකම ඒ විදියට දෙදරා යනවා. නමුත් අපේ අම්මා ඉන් කඩා වැටුණා කියලා මම දැක්කේ නෑ. එයාගේ විවාහ දෙකෙන්ම එයාට ලැබුණු දරුවෝ පස්දෙනාම එයා එක විදියට වැලඳ ගන්නවා. දරුවන්ගේ අනාගතය ගැන, අධ්‍යාපනය ගැන හැමවෙලේම මැදිහත් වෙනවා. දෙවැනි විවාහයේ බැසිල් අන්කල් ගෙන් අයින් වුණත් වින්ධ්‍යා නංගියි යමුනා නංගියි දෙන්නා එයා ළඟට ගන්නවා. දෙන්නම හිල්වුඩ් එකට දාලා බෝඩිං කරලා උගන්වන්නේ අම්මා. අනිත් පැත්තෙන් එයා කවදාවත් අපේ තාත්තා එක්කවත්, බැසිල් අන්කල් එක්කවත් තරහ වෙලා වෛර බැඳ ගත්තේ නෑ. අපේ තාත්තා අම්මගේ ගෙදරට ආවත් එයා උයලා පිහලා කන්න දුන්නා. බැසිල් අන්කල් නංගිලාව බලන්න ආවමත් එයා ඒ විදියටම එයාටත් සැලකුවා. අම්මගේ ඒ චරිත ලක්ෂණ ගැන අදටත් මට හිතා ගන්න බෑ.
කොහොමහරි ඒ ලෙවල් ලියලා අම්මා ගාවට ආවට පස්සේ ආයෙත් මම නුවර යන්නේ නෑ. ආර්ථික විද්‍යාවයි, ඉතිහාසයයි, භූගෝල විද්‍යාවයි උසස්පෙළට කරපු මට උසස්පෙළ ප්‍රතිඵල ආවම විශ්වවිද්‍යාලයට යන්න පුළුවන් වුණා. ඒ අවුරුද්දේ නුවර මහාමායාවෙන් කලා අංශයෙන් විශ්වවිද්‍යාලයට තේරුණේ මමයි මගේ ඥාති සොහොයුරියයි විතරයි. විශ්වවිද්‍යාලයට තේරුණාට ඒ තරම් ඉක්මනින් විශ්වවිද්‍යාලය පටන් ගත්තේ නෑ.
මුලින්ම මාව තේරිලා තිබුණේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට. අපි පුංචි කාලේ තාත්තා අපට පෙන්වමින් ගිය විශ්වවිද්‍යාලයට. ඒත් දැන් අපි පදිංචිය කැලණිය නිසා මට ඕනවුණා කැලණියට මාරුවිමක් හදා ගන්න. උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට ගිහින් ඉල්ලීමක් කරලා කැලණියට තේරුණු කෙනෙක් පේරාදෙණියට යන්න කැමැත්තෙන් හිටපු නිසා සුහද මාරුවක් විදියට මට කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න අවස්ථාව සැලසුණා. ඒ යුගය වනවිට කැලණිය විශ්වවිද්‍යාලය තුළ තිබුණ කලබලකාරි වාතාවරණය නිසා විශ්වවිද්‍යාලය පටන් ගන්න එක දවසින් දවසම කල් ගියා.
ලබන සතියේ සන්ධ්‍යා දර්ශනී නදිකා ගුණසේකර ලෙස බෞතිස්ම වෙයි.
හේමාලි විජේරත්න