පණාකඩුව තඹ සන්නසෙහි සත්‍ය කතාව රැගත් ශ්‍රී සිද්ධා චිත්‍රපටය මේ දිනවල ඇති සාර්ථකව තිරගත වෙයි. පනාකඩුව තඹ සන්නස ලියවී ඇත්තේ මහා විජයබාහු රජු විසිනි. චෝල ආක්‍රමණ හමුවේ කුඩා කල තමාට ආරක්‍ෂාව සැපයූ බුදල්නාට ස්තුතිය පළ කෙරූ සන්නසක් ලෙස පනාකඩුව තඹ සන්නස හැඳීන්වෙයි.
මහා විජයබාහු නමින් පසුව රජ වුවත්, රජුගේ කුඩා කල හැඳීන්වූයේ කිත්ති කුමරු නමිනි. කිත්ති කුමරු කුඩා කල සිටම සටනට ශූරයෙකි. සටන් ක්‍රම මැනවින් ඉගෙන ගත් කුමරෙකි.
මේ අපූරු කතාව ලියැවී තිබෙන ශ්‍රී සිද්ධා චිත්‍රපටයේ කිත්ති කුමරුට පණ දුන් නවක රංගන ශිල්පියාව සරසවිය හමුවට කැන්දාගෙන ඒමට හැකි විය. ඔහු ජනිදු චමත් කුමාර.
රත්නපුර ශාන්ත ඇලෝසිය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා අ.පො.ස. උසස් පෙළ සඳහා ජනිදු කොළඹ ආනන්ද විද්‍යාලයට පා තබන්නේය. ඔහු කුඩා කල සිටම නැටුමට, රැඟුමට දක්ෂයෙකි. ඉතාමත් සතුටින් ඔහු තම පාසල් කාලයේ දස්කම් ගැන කතා කරමින් සරසවිය සමඟ පිළිසඳර ඇරඹුවේය.
“මම පුංචි කාලෙ ඉඳන්ම කලාවට කැමතියි. ඒ කාලෙ මම වැඩිපුරම ආස කලේ නටන්න.”
“මම නැටුම් තරගවලින් සමස්ත ලංකා ජයග්‍රහණ ලබපු කෙනෙක්. මම මුලින්ම ඉගෙන ගත්තේ රත්නපුර ශාන්ත ඇලෝසියස් විද්‍යාලයේ. මගේ ගම රත්නපුරය. ඒ පාසලේ ඉගෙනුම ලැබුවා අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා. ඒ කාලේ මම අවුරුදු පහක් එක දිගට නර්තන අංශයෙන් (ඒකළ) සමස්ත ලංකා ප්‍රථම ස්ථානය දිනාගත්තා මම ඕලෙවල් පාස් වෙලා කොළඹ ආනන්ද විද්‍යාලයට ආවා උසස් පෙළ කරන්න එහිදී මම අවුරුදු 2කදි නර්තන අංශයෙන් සමස්ත ලංකා පළමු ස්ථානය ලබා ගත්තා.”
ජනිදුගේ පාසල් කාලයේ හපන්කම් පවසන විට ඔහු කලාව උපතින්ම උරුම කරගත් තරුණයෙක් බව පැහැදිලියි. ඔහුගේ නර්තනයට තිබූ හැකියාව නිසාම ශ්‍රී සිද්ධා චිත්‍රපටයේ රඟපෑමට වරම් ලැබීම ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය්‍යක් බව කිව යුතුයි.
මම රියැලිටි වැඩසටහනකට සහභාගි වුණා. ඒක නර්තනය සම්බන්ධව තමයි පැවැත්වුණේ. හිරු සුපර් ඩාන්ස් (සීසන් 01). මම එයින් දෙවැනි ස්ථානය ලබා ගත්තා. ඒකේ අන්තිම අදිරියේදී තමයි මට ආරාධනා ලැබෙන්නෙ. සරත් වීරසේකර මහත්මාගෙන්. ශ්‍රී සිද්ධා චිත්‍රපටයේ කිත්ති කුමාරයාගේ චරිතයට. ඒ වගේම තමයි චිත්‍රපටයේ බුදල්නාගේ චරිතය රඟපෑ රිටිගල සුමේධ ගුරුන්නාන්සෙත් මම ගැන එතුමාට කියලා තිබුණා; කිත්ති කුමරුගේ චරිතයට ගැළපෙනව කියල.
“මුලින්ම මම ගැන අහල තිබුණේ තාත්තගෙන්.”
“තාත්තා මගෙන් ඇහුවා රඟපාන්න යන්න කැමතිද කියලා.”
“පසුව මම සම්මුඛ පරීක්ෂණයට ගියා.”
“ඒකෙන් පස්සේ මාව තේරුණා.”
“හිරු සුපර් ඩාන්ස්වලින් පස්සේ තමයි මට ඒ අවස්ථාව ලැබුණේ.”
“එතකොට මට අවුරුදු පහළොවක් වගේ ඇති.”
“මාව තෝරගත්තා කිව්වහම මට ලොකු සතුටක් හිතේ ඇතිවුණා.”
“ඒ වගේම බයකුත් දැනුණා.”
“මම මීට කලින් රඟපාලා තිබුණෙත් නැහැ.”
“මට ලැබුණ චරිතය සාමාන්‍ය චරිතයකුත් නෙවෙයි.”
“මහා විජයබාහු රජුගේ ළමා කාලය”
“කරන්න වැඩ ගොඩක් තිබුණා.”
“විශේෂයෙන් සටන් කලාව. අංගම් පොර සටන් කලාව තමයි චිත්‍රපටයේ සටන් ජවනිකාවලට යොදාගෙන තිබුණේ.”
“මම කලින් සටන් කලාව හදාරලා නොතිබුණත් එය එතරම් මට අපහසු වුණේ නැහැ ඉගෙන ගන්න.”
“ඵජපඪනබ ඒක කියවද්දි පවා මට දැනුණා මේ චරිතය තුළ බොහෝ දේවල් කළ යුතු බව.”
“මම ඒ අභියෝග බාරගත්තා.”
ශ්‍රී සිද්ධා චිත්‍රපටයේ මහා විජයබාහු රජ චරිතයට පණ පොවන්නේ අපේ රටේ සිටින දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන දිනෙත් ද සිල්වායි. ජනිදු ගේ රංගනයේදී දිනෙත්ගෙන් ලැබුණු සහාය ගැන ද මතක් කිරීම ජනිදු අමතක කළේ නැත.
“දිනේත් අයියව මම මුලින්ම දැක්කහම මම පුදුම වුණා.”
“ඔහු රජ චරිතයට සුදුසුම කෙනා කියලා මට හිතුණා.”
“මම ආධුනිකයි කියලා මට පැත්තකට වෙලා ඉන්න දුන්නේ නැහැ.”
“ හැම වෙලාවෙම මාව ළඟට අරගෙන උපදෙස් දුන්නා.”
“ දිනෙත් අයියා හරිම මිත්‍රශීලී චරිතයක්.”
“එයාගෙන් මට ලැබුන සහාය අප්‍රමාණයි.”
“මේ වෙලාවේ මම ආදරෙන් මතක් කරනවා දිනෙත් අයියව.”
“ඒ වගේ දක්ෂ රංගන ශිල්පියෙක් මට දුන්නු සහයෝගය ඉතා වටිනවා.”
“ඒවගේම ජගත් (ජගත් චමිල) සර්වත් මේ වෙලාවේ මතක් කරන්න ඕනම චරිතයක්.”
“මම රංගනය ඉදිරිපත් කළ යුත්තේ කෙසේද?, මගේ හදාගත යුතු අඩුපාඩු මේ හැම දෙයක් ගැනම ජගත් සර් මට කියලා දුන්නා. ඒක මට ලොකු ශක්තියක් වුණා.
ජනිදුට ශ්‍රී සිද්ධා චිත්‍රපටයේ රංගන වරම් ලැබෙන්නේ අවුරුදු පහළොවක වගේ වයසෙදියි. ඒ ඔහු පාසල් අධ්‍යාපනය ලබමින් සිටි කාලයයි.
පාසල් අධ්‍යාපන කටයුතු සහ රංගන කටයුතු යන අංශයම මනාව සමබර කරගෙන තමන්ගේ ගමන ගිය ආකාරය ඔහු මෙසේ පැහැදිලි කළේය.
“ශ්‍රී සිද්ධා චිත්‍රපටයේ රූගත කිරීම් තිබුණේ පාසල් නිවාඩු කාලයේ කාලයේ ඒ නිසා අධ්‍යාපන කටයුතුවලට ලොකු බාධාවක් ඇතිවුණේ නැහැ.”
“මාසයක් වගේ ඇතුළත මගේ රූගත කිරීම් අවසන් වුණා.”
“අධ්‍යාපන කටයුතුවලට බාධාවක් වෙන විදිහට මම කලා කටයුතුවලට සම්බන්ධ වෙන්නේ නැහැ.”
ශ්‍රී සිද්ධා චිත්‍රපටය පුරාවට වැඩි දර්ශන ප්‍රමාණයට ඇත්තේ සටන් ජවනිකායි. එහිදී මුහුණ දෙන්නට සිදු වූ අභියෝග සහ අත්දැකීම් පිළිබඳ තොරතුරු සරසවිය සමඟින් බෙදා හදා ගන්න ජනිදු අමතක නොකළේය.
“මේ චිත්‍රපටයේ වැඩිපුර තිබුණේ සටන් ජවනිකා. මටත් දර්ශන කිහිපයක් තිබුණා සටන් සහිත.”
“අපිට සටන් කියා දුන්නේ රිටිගල සුමේධ ගුරුන්නාන්සේ. එතුමා මට හොඳ පුහුණුවක් දුන්නා. මම මීට කලින් අංගම් පොර සටන් හදාරලා තිබුණේ නැහැ.”
රිටිගල සුමේධ ගුරුන්නාන්සේ මට පුහුණු කළා. මම නර්තනයත් කරලා තිබුණ නිසා ඒ ක්‍රම වලට ඉක්මනින් හුරු වුණා.”
“ අපිට රූගත කිරීම් තිබුණේ වනාන්තරවල. අපේ නිෂ්පාදන කණ්ඩායම අපිට හොඳ ආරක්ෂාවක් ලබා දුන්නා.”
“මේ චිත්‍රපටයේ තිබුණා වැල් පාලමකින් යන දර්ශනයක්.”
“ඒක ටිකක් අවදානම් සහගත වුණා.”
“එක් දර්ශනයක් තියෙනවා වැල් පාලමෙන් යනකොට මාව වැටෙන. ඒ අවස්ථාව ගොඩක් අවදානම්.”
“ඒත් මම ඒ බැරෑරුම්කම තේරුම් අරගෙන ඒ දර්ශනය කොහොමහරි හොඳටම කරනවා කියන හැඟීම හිතට ගත්තා.”
“ඇත්තටම ඒක මට වාර දෙකකින් විතර කරන්න පුළුවන් වුණා.”
“නැටුම් කරලා තිබුණ නිසා කැරකෙන විදිහ කර නම් ගැසීම වැනි දේවල් පහසුවෙන් කරන්න පුළුවන්.”
“මම එතනදි ඇත්තටම වැටෙනවා වැටෙනව.”
“ඒත් කිසිදු අනතුරක් නැති වෙන්න වටපිටාව සකස් කර දුන්නා; නිෂ්පාදන කණ්ඩායම විසින්.”
ශ්‍රී සිද්ධා චිත්‍රපටය නිසා රංගනය ගැන මම බොහෝ කරුණු මගේ ජීවිතයට එකතු කරගත්තා.”
ජනිදු දක්ෂ නර්තන ශිල්පියෙක්. ඔහු උඩරට නැටුමට මෙන්ම කථක් නර්තනයට උපන් හපනෙක්. ජනිදු තම නර්තන ජීවිතය ගැන ද අදහස් දැක්වූයේ මෙසේය.
“මම මුලින්ම කිව්වා වගේ මම නර්තනයට ගොඩාක් ආදරේ කරන කෙනෙක්. ඒ නිසාම තමයි මට ශ්‍රී සිද්ධා චිත්‍රපටයේ රංගනය සඳහා වරම් ලැබෙන්නේ.”
“මම කථක් නර්තනයත් ප්‍රගුණ කරලා තියෙනවා. වෙරෝනිකා දිසානායක තමයි මගේ නර්තන ගුරුතුමිය.”
“විශාරද දක්වා කථක් හදාරලා තියෙනවා. ඉදිරියේදී නිපුන් විභාගය සඳහා පෙනී සිටින්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.”
“දැනට මම කතක් ඉගැන්වීමේ පන්තියක් පවත්වාගෙන යනවා. රංගනය ගැන හදාරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.”
“මේ හැම දෙයක්ම කරන අතරේ උසස් පෙළ විභාගයටත් මුහුණ දීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා.”
ජනිදු සරසවිය පිළිසඳර හමුවට පැමිණියේ තම මවත් සමගින්ය. ඔහු කුඩා කල පටන් ඔහුගේ දස්කම් පිටුපස සිටින්නේ ජනිදුගේ මෑණියන්ය.
කවදත් ජනිදු පිටුපස සිට ඔහුට දිරිදෙන ඇයට සරසවිය පිළිසඳර සමඟින් එක් වූවාය.
“පුංචි කාලෙදිම තමයි මම ජනිත පුතාගේ හැකියාවන් හඳුනාගත්තේ. එයා කුඩා කාලේ ඉඳන්ම නැටුමට දක්ෂයි.
ඒ නිසා මම පුතාව මීගස්තැන්න ගුරුතුමා ගාවට යැව්වා නැටුම් ඉගෙන ගන්න. පුතා එතැනදී හොඳීන් නැටුම් පුරුදු පුහුණු වුණා. හැමදාම පන්ති ඉවර වෙලා සර් කතා කරනවා දරුවන්ට. දරුවන්ගේ අදහස් දැනගන්න.
දවසක් සර් කතා කරද්දි ජනිදු පුතා එක පාරටම කිව්වා “සර්, මම සර්ව පරද්දවනවා කියලා”.
ඒ වෙලාවේ සර් පුදුම උණා. පුදුම වෙලා හරි සතුටින් අත්පුඩි ගැහුවා.
බාහිර කටයුතු නිසා සමහර අවස්ථාවල පුතාගේ ලකුණු මට්ටම වෙනස් වුණා. ඒත් පුතා කොහොම හරි එයාගේම උත්සාහයෙන් හොඳට වැඩ කරලා ඕ ලෙවල් හොඳට පාස් වුණා. කොළඹ ආනන්ද විදුහලට එන්නේ පුතා ඕ ලෙවල් හොඳීන් සමත් වුණ නිසා.
පුතා පාඩම් වැඩ පටන් ගන්නේ පාන්දර තුනට නැගිටලා.
එයා කම්මැළි දරුවෙක් නෙවෙයි.
පුතාගේ අධ්‍යාපන කටයුතුවලට ළඟින් හිටියා වගේම ශ්‍රී සිද්ධා චිත්‍රපටිය රූගත කිරීම් වලදිත් මම පුතා ළඟින් හිටියා.
මට ආස හිතුණ පුතා රඟපානවා බලන්න මේක එයාගේ පළමු සිනමා නිර්මාණය නිසා. ඇත්තටම මම සතුටු වෙනව මගේ ජනිදු පුතා ගැන ඒ වගේම ආඩම්බර වෙනවා. මගේ අනික් පුතාලා දෙන්නත් මට හොඳ දරුවෝ දෙන්නෙක්.
ජනිදුගේ හපන්කම් සහ අපරිමිත පුත්‍ර සෙනෙහසින් ඔහුගැන මෑණියන් කතා කළේ නෙත්වල සතුටු කඳුළු පුරවාගෙනය.
කෙටි නිහඬතාවයකින් පසු ජනිදු නැවතත් තම කතාබහට එක් වූයේය.
මගේ අම්මා මට ලොකු හයියක්. හැම වෙලාවෙම මගේ ගාවින් ඉන්නවා. ඒ වගේම තමයි මගේ තාත්තා සහ සහෝදරයින් දෙදෙනා. ඔවුන් මගේ මිතුරන් වගේ.
ශ්‍රී සිද්ධා චිත්‍රපටය බලලා ඔවුන් කිව්වේ මේ ඔයාමද කියලා.
එයාලටත් පුදුමයි මගේ රංගනය ගැන.
මේ සියලු කතාබහ අතරේ ශ්‍රී සිද්ධා චිත්‍රපටය වෙනුවෙන් ඔහුට ලැබෙන ප්‍රතිචාර ගැනද සඳහන් කළේය. ලැබෙන ප්‍රතිචාර හොඳයි.
යාළුවන්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. විශේෂයෙන් කියන්න දෙයක් තියෙනවා. මගේ අම්මා මාත් එක්ක මුලින්ම ෆිල්ම් එක බැලුවේ මංගල දර්ශනය වෙලාවේ.
දවසක් අම්මා අපේ ගමේ ගියා රත්නපුරේ. මම අම්මට කෝල් එකක් ගත්තා. ඒ වෙලාවේ මට ඇහුණේ මගේ හඬ.
අම්මා ගමේ ගිය වෙලාවේ ගිහින් ආයෙමත් ශ්‍රී සිද්ධා ෆිල්ම් එක බලලා.
ඒ වෙලාවේ මට හරි සතුටක් දැනුණේ. මගේ යාළුවොත් කිහිප වතාවක්ම චිත්‍රපටය බලලා තිබුණා. මගේ රඟපෑම එයාලා අගය කළා.
ඒ වගේම තමයි පුළුල් තිරයේ මම මාව දකිනකොට මට දැනුණේ කියාගන්න බැරි සතුටක්.
මම මේ අවස්ථාවේ ශ්‍රී සිද්ධා චිත්‍රපටයේ අධ්‍යක්ෂකතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. මාව චිත්‍රපටයට සම්බන්ධ කර ගත්තට. ඒ වගේම නිෂ්පාදකතුමන්ලාට. මට ලොකු සහයෝගයක් ලබා දුන් සියලුම රංගන ශිල්පි ශිල්පිනියන්ව මම ආදරයෙන් මතක් කරනවා. විශේෂයෙන් රිටිගල සුමේද ගුරුන්නාන්සේ, ජගත් චමිල සර්, දිනෙත් අයියාටත් මම මගේ ආදරය පුද කරනවා. ඒ චරිත මට කවදාවත් අමතක වෙන්නේ නැහැ.
ඒ වගේම ශ්‍රී සිද්ධා චිත්‍රපටය කරද්දී අපේ සෑම අඩුපාඩුකමක්ම සපුරලා අපිට ආරක්ෂාව සපයපු නිෂ්පාදන කණ්ඩායමේ සියලුම දෙනාට සහ අංගරචනයෙන්, කැමරාකරණයෙන් ආදිය සහාය වූ සියලුම ශිල්පීන්ට මම ස්තුතියි කියනවා.
විශේෂයෙන් මගේ ගෞරවය හිමිවිය යුතු දෙපළක් ඉන්නවා. ඒ ආනන්දයේදී මට නැටුම් උගන්වපු නිහාල් පෙරේරා සර් සහ ජනක සර්. එතුමන්ලාවත් ආදරයෙන් මතක් කරනවා.
අවසාන වශයෙන් මට ආදරණීය ප්‍රේක්ෂකයින්ට ආදරයෙන් කියන්න තියෙන්නේ,
“එන්න, ඇවිත් ශ්‍රී සිද්ධා චිත්‍රපටය නරඹන්න” මේ චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නේ සත්‍ය සිදුවීමක්.
ශ්‍රී සිද්ධා චිත්‍රපටය නරඹද්දි රට ජාතිය ගැන අමුතුම හැඟීමක් හිතට ඇතිවෙනවා.
ඉතින් ඒ හැඟීම විඳගන්න මම ආරාධනා කරනවා ආදරණීය ප්‍රේක්ෂකයින්ට ඇවිත් ශ්‍රී සිද්ධා චිත්‍රපටය නරඹන්න. නරඹල ඔබගේ ප්‍රතිචාර අප වෙත ලබාදෙන්න.
විශේෂයෙන් මහා විජයබාහු රජතුමාගේ කතාව පාසලේ විෂය නිර්දේශයටත් ඇතුළත් වෙලා තියෙනවා.
ශ්‍රී සිද්ධා චිත්‍රපටය පවුලේ කාටත් නැරඹිය හැකි ලස්සන චිත්‍රපටයක්.
ශ්‍රී සිද්ධා චිත්‍රපටයේ කිත්ති කුමරුගේ චරිතයට පණ පොවමින් සිනමාවට පා තිබූ ජනිදු චමත් කුමාර සිනමාවට නවක රංගන ශිල්පියකු. එහෙත් රංගනයේදී කිසිදු ආධුනික බවක් නොපෙන්වූ ඔහු සැබෑ දක්ෂයෙකි. උඩරට නර්තනයට කතක් නර්තනයට හපනෙකි. ඉතාමත් සුහද ලෙසින් සැරසවිය පිළිසඳර සමඟ එක්වී කතාබහක යෙදුන ජනිදුක් ඔබට සිනමාවේ දිගු ගමනක් යාමට වරම් ලැබේවා!
රංගනයට නර්තනයට උපන් හපන්කම් දක්වන ඔබට ශ්‍රී සරස්වති මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා!
සේයාරූ – මාලන් කරුණාරත්න
නයනාංජලි දෙහිපිටිය