පීරිස් මුදලාලි වයලට් නෝනගේ බඳ වටා අත දාලා එහෙන් මෙහෙන් මිරිකන කොට, පපුව තමන්ගේ ඇඟට තියලා බදාගන්නකොට, කනට කරල අමු කුණුහරුපයක් කියන කොට වයලට් නෝනගේ මුළු ඇඟම හිරි වැටුණා. කවදාවත් නැති අමුතු ආසාවක් ශරීරය පුරාම දුවන්න ගත්තා.
සිරි සෝමට එළියේ බූරු ඇඳ දාලා නිදාගන්න කියපු දවසෙ ඉඳන් අතෑරලා දාලා තිබුණ ශරීරෙට එන්නතක් ලැබිලා වගේ ප්‍රබෝධමත් වුණා. හරියට ඉඩෝරයට ඉරි තැලිලා තිබුණ පොළොවට අලුත් වර්ෂාවක් ලැබුණම හැංගිලා තිබුණු බිජු ඇට පුපුරලා පැළවෙනවා වගේ රාගයේ ගිනි පුපුරු පිපිරෙන්න ගත්තා. පීරිස් මුදලාලිගේ අත ඇඟේ ගෑවෙනවට කලින් හිතේ තිබුණ අකමැත්ත බටර් වගේ දියවෙලා ගිහින් ඒ පහසේ සුවයක් දැනුණා.
“වයලට් නෝනේ . . . . “ මුදලාලි බෙල්ල දිගේ අත යවල කනට මිමිනුවා.
“මොකද මුදලාලි …. “ වයලට් නෝනා කතා කළේ සිහින් හඬින්.
මේ වයලට් නෝනයි, පීරිස් මුදලාලයිි මට මුණගැහුණේ පසුගිය සතියේයි. ප්‍රීති රන්දෙණිය විසින් රචනා කරන ලද නවතම නවකතාව ‘භානුට පිස්සු’ නවකතාවෙන්. කියවන්න පටන් ගත්ත තැන ඉඳන්ම එක හුස්මට කියවගෙන යන්න හැකි නවකතාවක්. එක පැත්තකින් මට හිතුණා මේක ලිව්වේ ප්‍රීති රන්දෙණියමද කියලා. මොකද මේ මාතෘකාව වැඩිහිටි තේමාවකට බරයි.
ප්‍රීති මේන් පෙරත් නවකතා රචිකාවියක ලෙසින් කරලියේ සක්මන් කර තිබුණද, ලිංගිකත්වය වැනි මාතෘකා මෙතරම් විවෘතව ඇගේ පොත් වල කතා කර තිබුණේ නෑ. ඈ පළකළ ‘ගිනි’ නවකතාව තුළ බොහෝ කරුණු කාරණා දීර්ඝව විස්තර කළද ‘භානුට පිස්සු ‘කෘතිය ඉන් එහා ගිය එකක් ලෙස හැඟුණා. ප්‍රීති හමුවීමට ප්‍රධානම හේතුව ඇගේ ‘භානුට පිස්සු’ කෘතිය වුවත්, ඇගේ කලා ජීවිතයේ මෙතෙක් බොහෝ කරුණු කාරණා ගැන අපේ කතාබහ යොමුවුණා.
“මගේ අතින් නවකතාවක් ලියැවෙන්නේ කාලයක් පුරා ඒ වස්තු බීජය මගේ හිත ඇතුලෙ වර්ධනය වුණාට පස්සේ. මේ වස්තු බීජයත් මගේ හිත ඇතුළේ හුඟාක් කල් පැළපදියම් වෙලා තිබුණා. සමාජයේ් එදිනෙදා හමුවෙන පුද්ගලයන්ගෙන් කියවෙන දේවල් වලින් මේ කතාවට තව තවත් දේවල් දවසින් දවස එකතු වෙනවා. ඔහොම කාලයක් යනකොට මට මේක හිතේ තියාගෙන ඉන්න බැරි වෙන තත්ත්වයට එනවා. සමහර වෙලාවට මට නිදාගන්න ගියත් මේ කතාව මතක් වෙනවා. අන්න ඒ තත්ත්වයට ආවම මට එක්තරා අවස්ථාවක් එනවා මේක ලියන්නම ඕන කියලා. එතකොට තමයි මම ලියන්න ගන්නේ. ‘භානුට පිස්සු’ නවකතාව මම ලියන්න ගන්නෙත් එහෙම.”
ප්‍රීති අපි හඳුන්වන්නේ නවකතා රචිකාවක් විදියටම විතරක් නෙවෙයි. ඈ ඉතාමත් දක්ෂ ගීත රචිකාවක්. ඒවගේම තමයි ළමා කතා රචිකාවක්. ඇගේ පොත් ලැයිස්තුව පිරික්සා බැලුවහොත් වැඩිපුරම ඇත්තේ ඈ විසින් රචිත ළමා කතා හා යොවුන් කතා. එහෙම කෙනෙකුට වැඩිහිටි මාතෘකාවකට පොතක් ලියන එක අකැපද? ඒකට උත්තරය’නෑ. එහෙම නෑ.’ කියන ආකාරයෙන් ඇය මේ කෘතිය රචනා කර තිබෙනවා. ග්‍රාමීය ජන ජීවිතයේ අපූරු තැන් ඇය විස්තර කර ඇති අපූරුව දෙස බලන විට, ප්‍රීතිවැනි නාගරික ජීවිතයක් ගත කරන්නියක මේ ගැමි පරිසරයේ චිත්ත රූප කෙසේ මවා ගත්තද? එම භාෂා විලාසයත් කෙසේ හසුරුවා ගත්ත දැයි සිතන ආකාරයට ඇය මෙය ඉදිරිපත් කර තිබෙනවා.
“ඇත්තටම කිව්වොත් මම කතාවක් පටන් ගන්නේ කතාව ඉවර කරන්නේ මෙහෙමයි කියල හිතාගෙන නොවෙයි. ලියාගෙන යන විදිය අනුව ඒක තීරණය කරනවා. දැන් භානුට පිස්සු වගේ නවකතාවක් ලියන්න මට මාස හතරක් පහක් වගේ කාලයක් ගියා. ඇත්තටම මේ පොතේ කියවෙන්නේ ග්‍රාමීය ජන සමාජය ඇතුලේ සිදුවුණුු සිදුවීම් සමුදායක්. මේ කතාව මගේ හිතේ ගොඩනැගෙන වස්තු බීජය වෙන්නේ භානු වගේ පිස්සු ගැහැනු ළමයෙක් මට ආශ්‍රය කරන්න ලැබීමෙන්. එයාගේ දින චරියාව මම දකිනවා. එයා කතා කරන දේවල්, එයා කියන දේවල්, එයාගේ ජීවිතේ අතීත සිද්ධි වගේ දේවල් ඇසුරෙන් තමයි මේ කතාව ගොඩනැගෙන්නේ.”
“භානුමති, උඹ මේ ළමයට උගන්නපන්. මමයි අම්මා කියලා. මම වැඩ ඇරිලා ආවට පස්සේ උඹ ළමයව අල්ලන්න එපා.”
“එහෙනම් උඹ ළමයව තියාගනින්. මේක හරි කෝලමක්නෙ. මම බලෙන් තියාගෙන ඉන්නවා වගේ. පොඩි එකීනේ මගේ අස්සටම එන්නේ. උඹල දෙන්න මට ගෙදර ඉන්න දුන්නෙත් නෑ. මම ගෙදර හිටියනම් මෙලහකට සුමින්ද බැඳල මටත් ළමයෙක් ඉන්නවා. මාව ගෙදර ගිහින් ඇරලපං. උඹට විතරක් නෙමෙයි මටත් කසාද බඳීන්න ඕනේ. මටත් ආසයි ළමයෙක් හදන්න. මාව ඇරලපං ගෙදර.”
“මේකිගේ කට….. තනියම තියන්න බෑ කියලා තාත්තා කියපු නිසා මම එක්කරගෙන ආවා. හරි, උඹට පුළුවන් නම් සුමින්දය හොයාගෙන වරෙන්. මම බන්දල දෙන්නම්.”
“සුමින්ද මට ආදරෙයි. මාව බඳීනවා. උඹලා තමයි ඊර්ෂ්‍යා කරන්නේ. ඇයි මං ලස්සනයිනේ . . . . “
බානුමතිය ගැන ප්‍රීති වචන එකතු කරන්නේ එහෙම. කතාවේ හැටියට සමහර වෙලාවට හිතෙනවා පිස්සු තියෙන්නේ භානුටද එහෙම නැතිනම් මේ කතාවේ ඉන්න අනිත් චරිත වලටද කියලා.
“මට මුණගැහුණු චරිත වරින් වර කියන දේවල් එක්ක තමයි මම මේ කතාව ගොඩනැගුවේ. මේක ඇතුලේ වැඩිහිටි තේමාවක් තමයි තියෙන්නෙ. මීට කලින් මම මගේ ‘ගිනි’ නවකතාව හරහාත් යම් යම් වැඩිහිටි කාරණා කියන්න උත්සාහ කළා. නමුත් ලිංගිකත්වය වැනි මාතෘකාවක් මේ තරම් විවෘතව මම මීට ඉහත කතා කරල නෑ. මට කතාව ගොඩනගාගෙන යද්දි තේරුණා මේ කතාවට ඒ දේවල් අත්‍යවශ්‍යයි කියල. කතාව විසින් ඉල්ලා සිටින නිසා ඒ දේවල් යෙදුවා මිසක් පොත විකුණා ගැනීමේ උවමනාවෙන් නෙවෙයි මේ දේවල් එකතු කලේ. මේ ළමයා කියපු දේවලුත් එක්ක මට හිතුණා ඒ දේවල් ඇතුළත් කළොත් තමයි මේ කතාව ලස්සන වෙන්නේ කියලා.”
භානුට පිස්සු කියන්නේ ප්‍රීතී අතින් ලියැවුණු හත්වැනි නවකතාව. ඇය ලියූ ගිනි නවකතාව ගැනත් ඒ කාලයේ මෙවැනිම කතාබහක් ඇති වූවා. ප්‍රවීණ චිත්‍රපට හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ සුදත් රෝහණයන් ඇයගේ ගිනි නවකතාව පිළිබඳ විවරණයක යෙදෙමින් කවුරුන් හෝ නිෂ්පාදකවරයෙකු ඉදිරිපත් වන්නේ නම් ඒ ඇසුරෙන් චිත්‍රපටයක් හෝ ටෙලි නාට්‍යයක් කිරීමට තමන් කැමති බවද පවසා තිබුණා. ප්‍රීතිගේ නවකතාවල දක්නට ලැබෙන සුවිශේෂත්වය වන්නේ සිත් තුළ මැවෙනා අලංකාර රූප රාමුය. එවැනි චිත්තරූප මැවීමට හැකි භාෂා ශෛලියක් සහ ඉදිරිපත් කිරීමේ ශෛලියක් ඇයට ඇත. භානුට පිස්සු කියවත් දී ද ඒ චිත්ත රූප මැවීම ඒ ආකාරයෙන්ම සිදුවුණ.
සාමාන්‍යයෙන් ප්‍රීති නවකතා හෝ කුමන නිර්මාණයක යෙදුණද, එය තමන්ගේ නිර්මාණ ගොන්න ගණනින් වැඩි කර ගැනීමේ අවශ්‍යතාවයකින් සිදුකරන්නේ නැත. එසේම සෑම සාහිත්‍ය මාසයකදීම සාහිත්‍ය කෘතියක් එළිදැක්වීමේ උවමනාවකින්ද ඇය පසු වන්නේ නැත. තම සිත තුළ මෝරන කතාව සිතට ඉඩ නොදී වාන් දමන විට ලිවීම ඇගේ සිරිතය.
“මම ලියන්න ආසම දේ තමයි ළමා කතා. මම විශ්වාස කරනවා මට ළමා කතා ලියන්න සුවිශේෂී හැකියාවකුත් තියෙනවා කියලා. නමුත් අද වන විට ළමා කතාවක් නිකුත් කිරීමේදී සිදුවන විවිධ අපහසුතා නිසා මම ඒකට ටිකක් පසුබට වෙනවා. ඒකට යන වියදමත් ටිකක් වැඩියි. මුද්‍රණ වියදමත් වැඩියි. ඒ නිසා ප්‍රකාශකයෙකු සොයා ගැනීමත් ටිකක් දුෂ්කරයි. ඒ නිසා තමයි මම ටිකක් මේ පැත්තට යොමු වුණේ. නැත්නම් මම වැඩිපුරම ලියලා තියෙන්නේ ළමා කතා. මම හිතන්නේ හතළිහකට පනහකට වැඩිය ලියලා ඇති.
පසුගිය කාලය මගේ අතින් ගීත රචනාත් කිහිපයක්ම ලියැවුණා. ඒ අතරින් මගේ දියණියගේ විවාහ උත්සවය වෙනුවෙන් ලියවුණු ගීතය සුවිශේෂියි. අමන්ද්‍යා උත්පලී තමයි ගීතය ගායනා කළේ. මහේෂ් දෙනිපිටිය තමයි ගීතය සංගීතවත් කළේ. ඇත්තටම දුවගේ විවාහ උත්සවය දවසේ බොහෝ දෙනෙක් හිතුවේ මම හොඳටම අඬයි කියලා. මොකද දුව මගෙත් එක්ක ඉන්න පුළුවන් උපරිම කාලේ ඉඳලා තමයි විවාහ වුණේ. එයා විදේශ ගත වෙලා ඉන්න කාලෙත්, ඊට පස්සෙත් මම එයාට විවාහ යෝජනා හරියට ගෙනාවා. නමුත් එයා කැමති වුණේ නෑ විදේශගතවෙන අයට. එයා ඒ තීරණය ගත්තේ අපි දෙන්නා දාලා රට යන්න එයා කැමති නොවුණ නිසා. දුව විවාහ නොවී ඉන්නකොට මට නිතර මතක් වුණා මෙයා අපි වෙනුවෙන් නේද මෙහෙම ඉන්නේ කියලා.
අන්තිමේදී එයා හොයපු ආකාරයටම විදෙස්ගතව පදිංචි නොවන හොඳ පවුලක් එයාට හමුවුණා. ඒ හින්දා එයාගේ විවාහ උත්සවය දවසේ මම හිටියේ පුදුම සතුටකින්. ඒ සතුටට මම ලියපු ගීතය ළඟදීම නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව පසුගියදාක මට දයාරත්න රටගෙදර මහත්මයා අධ්‍යක්ෂණය කරන ‘තුත්තිරි මල්’ ටෙලි නාට්‍යයේ ගීත රචනයට ආරාධනාවක් ලැබුණා. මේ ටෙලි නාට්‍යයත් ළමයින් සම්බන්ධයෙන් වන ටෙලි නාට්‍යයක්. ඒ වෙනුවෙන් ගීත තුනක් මම රචනා කළා. ඒ වගේම පසුගිය කාලයේ අලුතින් කරපු ගීත කීපයකුත් යූටියුබ් එකේ සැරිසරනවා. ටෙලි නාට්‍යයකට මුලින්ම මම ගීතයක් රචනා කළේ මීට කාලයකට කලින් සුදත් දේවප්‍රිය අධ්‍යක්ෂණය කළ ටෙලි නාට්‍යයකට. ඊට පස්සේ තමයි මට මේ අවස්ථාව ලැබුණේ. මේ ටෙලිනාට්‍යයේ ගීත අනුරාධා නන්දසිරිත් තවත් ළමා ගායිකාවන් කිහිපදෙනෙකුත් ගායනා කිරීමට නියමිතයි.”
වර්තමානය වන විට පී‍්‍රතී සාහිත්‍යකාරියක ගීත රචකාවක ලෙසින් අප හඳුනා ගත්තත් ප්‍රීති සෙනෙවිරත්න නමින් එකල ඈ වඩාත් ප්‍රසිද්ධ වූයේ සිනමා නිළියක වශයෙනි. එහෙත් විවාහයෙන් පසුව රංගනයට සමු දී සිටි ඇය පසුගිය කාලයේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ‘විජයබා කොල්ලය’ චිත්‍රපටයෙන් යළි රංගනයට එක් වූවාය. ඇය ගීත රචනයෙන් දායක වන දයාරත්න රට ගෙදර ගේ ‘තුත්තිරි මල්’ ටෙලි නාට්‍යයේ කුඩා චරිතයකට රංගනයෙන් එක් වන්නට ද ඇයට ආරාධනා ලැබී තිබේ.
“දුවේ, උඹ තනියම දුක් වෙන්නේ නැතිව අපිටත් උඹේ දුක කියපන්කෝ. මං උඹේ අම්මනේ. අම්මට කියන්න බැරි දෙයක් උඹට තියෙනවද?”
නිමාලි අම්මගේ ඔඩොක්කුවට ඔළුව තියලා මහා හයියෙන් අඬන්න ගත්තා.
“ඉතින් කියපන්කෝ රත්තරනේ මොකද වුනේ කියලා. සිරිමල්ව හම්බ වුණාද?”
“ඔව් අම්මේ . . . . .”
ඇය මිමිනුවා.
“ඉතින් . . . . ?”
“ඌ බැඳපු මිනිහෙක් අම්මේ . . . ළමයි තුන්දෙනෙක්ගෙ තාත්තා කෙනෙක්. මං යනකොටත් ඒකා එක දරුවෙක්ව වඩාගෙන හිටියේ.”
“නාඩා ඉදින් මැණික. උඹ උගෙන් බේරුණා කියලා සතුටු වෙයං. උඹව දෙවියෝ බේරලා දුන්නා කියලා හිතපන් දුවේ.”
ප්‍රීති ගේ භානුට පිස්සු පොත අතහරින්නට හිතෙන්නෙම නෑ. පොතේ ප්‍රධාන චරිතය වන වයලට් නෝනාගේ ජීවිතයේ සිදුවන එක වැරදීමක් නිසා මුළු පවුලක්ම
විනාශ මුඛයට යන විදිය ප්‍රීති මේ කතාව පුරා විග්‍රහ කරනවා. ඇයට අවශ්‍ය වයලට් නෝනා ගැන විශේෂ සඳහනක් කරන්න.
“මට විශේෂයෙන් කියන්න ඕන මේ කතාවේ භානුගේ අම්මා වුණු වයලට් නෝනාගේ චරිතය ගැන. ඇය මේ පවතින සමාජය විසින් ගොදුරක් කරගන්නා කාන්තාවක්. මොහොතක සුවයක් වෙනුවෙන් ගොදුරු වෙන මේ කාන්තාවට පස්සේ ඒ පිළිබඳ ආශාවක් ඇතිවෙනවා. එහෙත් මේ පුංචි සිදුවීම නිසා ඇතිවුණු හානිය කොතෙක්ද කියලා මේ පොතේ විස්තර වෙනවා. පරම්පරා ගණනාවක් යනතුරු ඒක නිසා වරදිනවා. මට ඕන වුණේ ඒ හරහා සමාජයට ආදර්ශයක් දෙන්න. හැඟීම් වලට වහල් වෙලා මුළු පවුලක්ම විනාශ වෙන ආකාරය පෙන්වන්න.
ඉස්සරහට මම අලුත් කතාවක් ගැන සිතමින් ඉන්නවා. මේ පාර මගේ අතින් ලියවුණේ ගැහැනු ළමයෙක් ගැනනේ. ඊළඟ කතාව පිරිමි ළමයෙක් ගැන ලියන්න හිතාගෙන ඉන්නවා. ඒ සම්බන්ධයෙන් මට අත්දැකීම් අඩුයි. ඒ නිසා මේ දිනවල අත්දැකීම් එකතු කරමින් ඉන්නවා.
දැන් අපේ ජීවිතේ හරිම නිස්කලංකයි. දූත් විවාහ වෙලා පදිංචි වෙලා ඉන්නේ විනාඩි දහයෙන් පහළවෙන් එන්න පුළුවන් දුරක. රවීයි – මමයි ගත කරන්නේ හරිම නිස්කලංක දිවියක්. දැන් එයාට ගොඩක් සුවයි. ඔහු ඔහුගේ වැඩකටයුතු ටික තනියෙන් කරගන්නවා. ඇවිදීමේ අපහසුතාවය තමයි තව ටිකක් තියෙන්නේ. ඉස්සර තරම් වේගයෙන් ඇවිදින්න අපහසුකම තමයි තියෙන්නේ. ඉතින් අපි අපේ ජීවිතේ සරලව සුවෙන් සනීපෙන් ගත කරනවා.
මට විශේෂයෙන් ඉල්ලීමක් කරන්න ඕන මගේ රසික පිරිසගෙන්. මගේ අලුත්ම නවකතාව ‘භානුට පිස්සු’ මේ දිනවල ගන්න පුළුවන්. සුරස ප්‍රකාශනයක් විදියට තමයි පොත එළි දැකලා තියෙන්නේ. සුපුරුදු විදිහටම පොත කියවලා මට ප්‍රතිචාර දක්වනවා නම් මම හරියට සතුටු වෙනවා.
සේයාරූ – නිශ්ශංක විජේරත්න
හේමාලි විජේරත්න