විවිධ දක්ෂතා ඔස්සේ ලෝකය ජයගැනීමට හැකිනම් එය ලක්මෑණියන්ට කෙරෙන ගෞරවයකි. වර්තමානයේ තරුණ පිරිස විවිධ මානයන් සොයා ගොස් ජීවිතය ජය ගැනීමට වෙර දරති. ජීවිතය සාර්ථක වන්නට අධ්‍යාපනයෙන් සන්නද්ධ වී තිබීම ප්‍රධානතම කරුණකි. ඒ සඳහා තමා සතු බාහිර හැකියාවන්ද බලපානු ඇත. හොඳීන් අධ්‍යාපනය ලබා කලා හැකියාවන්ටද දක්ෂතා දක්වන කඩවසම් ආකර්ෂණීය තරුණයෙකු මෙවර සරසවිය පිළිසඳරින් ඔබට හඳුන්වා දිය යුතුය. කන්ද උඩරට ශ්‍රී දළදා වහන්සේගේ ආශීර්වාදය ලබමින් උතුම් දළදා පෙරහැරේ නර්තන ශිල්පියෙකු ලෙස පා තබමින් ඉදිරියට යන්නට මේ අපූරු තරුණයා පින්වන්ත වූයේය. එපමණක් නොව පසුගිය බක්මාසයේ රූ සිලෝන් සූරිය අවුරුදු කුමරා ලෙස අභිෂේක ලැබුවේ ඔහුය. රූ කිරුළක් ලබා ඔහු ලෝකය ජය ගැනීමට වෙර දරණ ඔහු අශාන් නවෝද් ය.
ඔබගේ පාසැල් කාලය ගැන මතකය අවදි කළොත්?
මගේ ගම මහනුවර. මම කුඩා කල සිටම පාසැල් ගියේ මහනුවර කිංස්වුඩ් විද්‍යාලයට.
පාසැල් කාලයේ සිටද නර්තනයට යොමු වුණේ?
ඔව්. පුංචි කාලේ සිටම මම කලාවට ප්‍රියතාවයක් දැක්වූවා. පසුව විෂයයක් ලෙස නර්තනය හැදෑරුවා. මගේ නර්තන ගුරුවරුන් වුණේ ශාමල් විජේරත්න මහතා සහ කුසුම් මහත්මිය. මම ඔවුන් මට හොඳීන් ශාස්ත්‍රය කියා දුන්නා. උඩරට නර්තනය හොඳීන් ප්‍රගුණ කළ නිසා වෙස් මංගල්‍යය පවත්වා වෙස් පැළදීමට මට අවස්ථාව ලැබුණා.
ඔබ ශ්‍රී දළදා පෙරහැරට නර්තනයෙන් සම්බන්ධ වී තිබෙනවා නේද?
ඔව් වසර හතරක් ශ්‍රී දළදා පෙරහැරේ වෙස් නැටුම් කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙස සහභාගී වුණා. එය මට ජීවිතයේ ලද භාග්‍යක්. ශ්‍රි දළදා පෙරහැරේ වෙස් නැට්ටුවෙක් ලෙස නර්තනය ඉදිරිපත් කිරීම වෙනුවෙන් මට ජනාධිපති සම්මාන පවා හිමි වී තිබෙනවා.
උඩරට නර්තනයට අමතරව වෙනත් නර්තන සම්ප්‍රදායන්වලට ඔබ දක්ෂයෙක් නේද?
ඔව්. මම ඉගෙන ගත්තේ උඩරට නර්තනය. මම ඒ සඳහා සමස්ත ලංකා ජයග්‍රහණ පවා ලබාගෙන තියෙනවා. ඒ වගේම පාසැල් කාලයේ චීනයේ පැවති සංස්කෘතික වැඩසහනකට සහභාගී වුණා. බටහිර නර්තනයෙහි එන බැලේ, හිපොප් සහ ඉන්දියානු නැටුම් ශෛලීන් වලටද මම දක්ෂයෙක්. ප්‍රවීණ නර්තය ගුරුවරයෙක් වන බාස්කර් සර් යටතේ මම විවිධ නර්තන ක්‍රම හැදෑරුවා. ඒ වගේම හිරු මෙගා ස්ටාර් වැඩසටහනට සහභාගී වී තියෙනවා. එහි බාස්කර් සර්ගේ නර්තන කණ්ඩායමේ සාමාජිකයෙක් විදිහට නර්තනයේ යෙදුණා.
ඔබ මෝස්තර නිරූපණ ශිල්පියෙක් ලෙසත් කටයුතු කරනවාද?
ඔව්. මම මෝස්තර නිරූපණ ශිල්පියෙක් විදිහට කලක සිටන් පෙනී සිටිනවා. ඒ සඳහා සම්පූර්ණ කාලය වැය කිරීමට නොහැකි නිසා මා නිරත වී සිටින රාජකාරියට බාධා නොවන ලෙස මෝස්තර නිරූපණයෙහි යෙදෙනවා.
කලා කටයුතුවලට අමතරව ඔබ යම්කිසි වෘත්තයක නියැළෙනවාද?
මහනුවර හිඳගල සීවලී මහා විද්‍යාලයේ ක්‍රීඩා පුහුණු ආචාර්යවරයකු ලෙස මම කටයුතු කරනවා. පාසැල් ගිය කාලයේ සිට මම ක්‍රීඩා කළා. 2 වසරේ සිට මම කරාටේ ක්‍රීඩාවේ නිරත වුණා. එය මගේ ඉදිරි රංගන ජීවිතයට වැදගත් වෙයි කියා සිතනවා.
පසුගිය බක්මස ඔබ අත්පත් කරගත් ජයග්‍රහණය ගැන විස්තර කළොත්?
මම පසුගිය සිංහල අලුත් අවුරුදු සමයේ පැවති සූරිය අවුරුදු කුමරා තරඟයට ඉල්ලුම් කළා. එය සංවිධානය කළේ ජාතික අධ්‍යක්ෂ මයුර පෙරේරා මහතා. ලොකු තරඟකාරී බවක් තිබුණා. ඒ තරඟාවලිය තුළ. එහෙත් දැඩි අධිෂ්ඨානයකින් යුතුව මම එයට සහභාගී වුණා. බොහෝ තරුණ තරුණියන් පිරිසක් එයට අයදුම් කර තිබුණා. එහි තිබුණා අපසතු දක්ෂතාවයන් උරඟා බලන ඉසව්වක්. මම නර්තන ශිල්පියෙක් නිසා මම ඒ සඳහා විශේෂ නර්තනාංගයක් ඉදිරිපත් කළා. ගින්දර උපයෝගී කරගෙන අංගම්පොර සටන් කලාවද මිශ්‍ර කර නර්තනාංගයක් විනිශ්චය මණ්ඩලය ඉදිරියේ රඟ දැක්වූවා. එයට ඉහළ ප්‍රතිචාර ලැබුණා. එහි ජයග්‍රහණයද මා සතු වුණා. ඒ වගේම ර්ප. ර්‍ථඥපඵධදචතඪබර අංශයෙනුත් ජයග්‍රහණය හිමි වුණේ මට. රොෂෙල් මහත්මිය සහ සාරා අබේවර්ධන මහත්මිය තමයී එහි විනිශ්චය ලබා දීමට සිටියේ. ඒ අනුව අවසාන මහා තරඟයෙන් මට ජයග්‍රහණය හිමිවුණා.
ඉදිරියේදී ඔබ අන්තර් ජාතික මට්ටමේ තරඟාවලියකට යාමට සූදානමින් ඉන්නවා නේද?
ඔව්. සූරිය කුමරා ජයග්‍රහණය කළ නිසා අන්තර්ජාතික වේදිකාවට යන්න මට අවස්ථාව හිමිවුණා. මිස්ටර් නැෂනල් යුනිවර්ස් 2025 තරඟාවලියට සහභාගී වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. එය පැවැත්වෙන්නේ තායිලන්තයේ බැංකොක් වල. ඒ අවස්ථාව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන්න ලැබීමත් සතුටක්. ඒ වෙනුවෙන් මම සූරිය කුමරා කුමරිය වැඩසටහන අධ්‍යක්ෂණය කළ මයුර පෙරේරා මහතාට ස්තූතිවන්ත වෙනවා. මගේ දක්ෂතා පෙන්වා කෙසේ හෝ ලංකාවට ජයග්‍රහණයක් අත්කර දෙනවා.
ඔබේ වැඩකටයුතු සඳහා අතහිත දෙන පිරිස ගැනත් මතක් කරන්න.
විශේෂයෙන් සූරිය කුමරා කුමරිය සංවිධානය කළ මයුර පෙරේරා ගැන මතක් කළ යුතුයි. ඔහු නිසා තමයි මට මෙතරම් දුරක් එන්න ලැබුණේ. ඔහු යාළුවෙක් වගේ ඇතැම් වෙලාවට. ඒ වගේම අපිට හොඳ ගුරුවරයෙක්. අපිට මනා පුහුණුවක් වගේම ජීවිතය හොඳීන් හැඩගස්සවා ගන්නා ආකාරයත් අපට කියා දුන්නා. ඔහුගේ අවවාද අනුශාසනා පිළිගෙන වැඩකළ බොහෝ දෙනෙක්ට අන්තර්ජාතික ජයග්‍රහණ හිමි වී තිබෙනවා. ඒ වගේම මගේ අම්මා , තාත්තා මල්ලී නංගී හොඳ සහයෝගයක් ලබා දෙනවා. මම උගන්වන පාසැලේ විදුහල්පතිතුමා වන ගී කියනගේ මහතාත්, විදුහලේ අනෙකුත් ගුරුවරුත් ගෙන් හොඳ සහයෝගයක් ලැබෙනවා .
සිනමාවට හෝ ටෙලිනාට්‍ය රංගනයට යොමු වීමට අදහසක් නැද්ද?
අදහසක් තියෙනවා. එය සැබෑවක් වෙයි ළඟදීම. කුඩා කල සිට නර්තනයට හැකියාව තිබෙන නිසා රංගනයටත් හැකියාව තියෙන බව මට විශ්වාසයි. විශේෂයෙන් සිනමාවට පිවිසෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. සූරිය කුමරා ජයග්‍රහණය කළාට පසුව සිනමා නිර්මාණ කිහිපයකට කතා කරල තියෙනවා. තාම එහි මූලික සාකච්ඡා පවත්වමින් ඉන්නේ.හොඳ නිර්මාණයකට දායක වෙලා සිනමාවේ දිගු ගමනක් යන්න බලාපොරොත්තු තබාගෙන සිටිනවා.
නයනාංජලි දෙහිපිටිය