Home » දරුවන් සාහිත්‍යයට සමීප කරන්න මං උත්සාහ කරනවා

දරුවන් සාහිත්‍යයට සමීප කරන්න මං උත්සාහ කරනවා

ලේඛිකා මධූෂා චිරන්තනී ඉලංකෝන්

by Thanushika
December 19, 2024 11:05 am 0 comment

සාහිත්‍යයවේදීහු, කවියෝ, කතාකරුවෝ නිරන්තරයෙන් ලෝකයේ ආලෝකයට දායක වූවෝ වෙති. ඔවුහු විවිධ හැඩ ඔස්සේ සිය ප්‍රකාශනයන් ඉදිරිපත් කරති. මධූෂා චිරන්තනී ඉලංකෝන් නිර්මාණකාරිනියක ලෙස සිය සාහිත කලා දායකත්වය අංශ ගණනාවක් ඔස්සේ ඉදිරිපත් කරමින් කටයුතු කරයි.

මේ වනවිට නවකතාව ඔස්සේ වැඩි අවධානයක් දිනාගෙන ඇති ඇය හඬ කැවීම් ශිල්පිනියක නිවේදිකාවක ලෙසත් කටයුතු කරයි. වර්තමානයේ බැංකු ක්ෂේත්‍රයේ කටයුතු කරන ඇය ආයුර්වේද වෛද්‍යවරියකද වේ. එසේම සිය නිර්මාණ ක්ෂේත්‍ර ඇතුළු සිය සමාජ මෙහෙවර අරබයා නන්විද සම්මානයටත් පාත්‍ර වූ නිර්මාණවේදිනියක ලෙස ද මතු වි පෙනේ.

කවියට කතාවට පෙර ඔබේ වතගොත ටිකක් කතා කර ඉමු.

මම ඉපදුණේ මාතලේ. දැන් පදිංචියත් මාතලේමයි. මාතලේ සංඝමිත්තා ජාතික පාසලේ තමයි මම ඉගෙන ගත්තේ. පාසලේ පොඩි පන්තිවල ඉඳන්මයි කියවන්න නැඹුරු වුණේ. මූලාරම්භය එතන. කවිය තමයි ඇරැඹුම. කවි කියවල කවි ලියල ඒව පත්තරවල පළවෙද්දීත් මම පාසල් අවධියේ. උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් කළත් බැංකු ක්ෂේත්‍රයේ රැකියාවකටයි මුලින්ම පිවිසුණේ. ඒ අවධියේයි මම නැවතත් පුවත්පත් කලාවට ඇතුළු වෙන්නෙ. එතනදී නවකතා ලියන්න ඇරඹුමක් ගන්නවා පුවත්පත් සඳහා. ඒ සඳහා ලැබෙන සුබවාදී ප්‍රතිචාරය එක්ක තමයි පොතක් විදියට පළවෙනි නවකතාව ලියන්න පෙලඹෙන්නේ. ඒ කාලයේම තමයි හඬ කැවීම් ශිල්පිනියක වගෙම නිවේදිකාවක් ලෙස කටයුතු කරන්න පටන් ගන්නෙත්.

ඔබේ නිර්මාණවලට බහුල ව පාදක වෙන්නෙ කුමන කාරණා ද ?

මගෙ කතාවලට පාදක වෙන්නෙ බහුලවම සත්‍ය සිදුවීම්. ඒ විදියට මේ වෙද්දී නවකතා හයක් පාඨකයන්ට ඉදිරිපත් කරල තියෙනවා. ඒ හැම එකක් ම පාහේ ඇගයිමටත් පාත්‍ර වී තියෙනවා. ඒ වගේම ඒ සමහර ඒවා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පාසල් පුස්තකාල සඳහා නිර්දේශිත පොත් කියන තෝරා ගැනීම යටතේ ලබාදෙන බලපත්‍රය පවා ලබාගෙන තියෙනවා. ඒක ලැබුණේ මගෙ නොමායා කියන පොතට. එය සියදිවි නසා ගැනීම් හා සම්බන්ධ එසේම සිය දිවි නසා ගැනීම විසඳුමක් නොවේ කියන අදහස මතු කෙරෙන විදිහට ලියවුණු නවකතාවක්.

ඔබේ ඇගයීම් ගැනත් කතා කරමු

ඔව්. මම ඒ කිව්ව ඇගයීම් අතරට මගේ ලේඛන හා කලා දිවියේ විවිධ ඉසව්වල සහභාගිත්වයට වගේම සමාජ සේවා කටයුතු වෙනුවෙන් ලැබුණු අගැයීම් කීපයක් සඳහන් කරන්න කැමැතියි . එකක් තමයි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙන් ලැබුණු ජාතික කලාකරු කියන ගෞරව නාමය. ඊළඟට මතක් කරන්න පුළුවන් සංඝ සභාවෙන් පිරිනමන දේශමාන්‍ය හා දේශබන්දු සම්මානය. එසේම මගෙ නවකතාවලින් ජාතීන් අතර සහයෝගිතාව ඇති කිරීමට දායක වීම උදෙසා පිදුණු ශ්‍රීලංකාභිමානි කීර්ති ශ්‍රී ජනරංජන සම්මානය. ඒ වගේම ශ්‍රී ලංකා ජාතික කලාකාරිනී ගෞරව නාමය. ඊළඟට ගිය වසරේ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම කාන්තාවන් තිස් දෙනා අතරට තෝරා ගැනීමත් ඒ වෙනුවෙන් ලද ලංකාලංකාරී ගෞරව නාමය වගේම මේ වසරේ ලංකාවේ විශිෂ්ටතම පුරවැසියන් 100 දෙනා අතරට (ඊධන 100) තෝරා ගැනීමත්. මේ ඇගයීම් සියල්ල මගෙ කලා හා සමාජ සේවා කටයුතුවල උන්නතිය වෙනුවෙන් තවත් කැප වී කටයුතු කරන්න මාව දිරිගන්වනවා.

නූතන නිර්මාණවල ප්‍රමිතීන් ගැන ඔබේ අදහස මොකක්ද ?

හොඳ නිර්මාණ වගේම අවර ගණයේ නිර්මාණත් බිහි වෙනව. ඒක එහෙම වෙන්නෙ ගොඩක් වෙලාවට මට හිතෙන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයක් ගන්න. ඉක්මන් නිර්මාණකරණය වගේම ඉක්මන් ප්‍රතිචාර එයාල ගොඩක් විට අපේක්ෂා කරන්නෙ. ඒකටත් පසුබිම් කාරණා ගණනාවක් බලපානව. ඔවුන් බොහෝ විට පෙර පරපුර මෙන් නෙවෙයි දැනුම පවා උකහාගන්නෙ. දැනුම දියුණු කරගැනීම හෝ වේවා අන් නිර්මාණ කාර්‍යයන් හි කටයුතු පිළිබඳ වේවා සියලු සෙවීම් පවා කරන්නෙ අන්තර්ජාලය ඔස්සේම වීම කැපී පෙනෙන දෙයක් . මේ නිසා ඔවුන්ගේ කියවීමේ පරාසය වෙනස්. අඩුයි.මේ නිසාම ඔවුන් ට හොඳ සාහිත පසුබිමකට ඇතුළු වෙන්න තිබෙන අවස්ථා ද සීමා වෙනවා. නව පරපුරේ හොඳ නිර්මාණකරුවන් ඉන්නවා. උදාහරණයකට මට මතක් වෙනව සුනීර සුමංග, ටිම්රාන් කිර්ති වැනි අය. ඒ ඒ ක්ෂේත්‍ර ඔස්සේ ඔවුන් පෙන්වන දක්ෂතා විශේෂයි. නමුත් අලුත් පරපුර මේ විදියට අඩු අවබෝධයක් අඩු දැනුමක් එක්ක ඉදිරියට යෑම අපරාදයක්. එබඳු නිර්මාණ ඔස්සේ පවා ඒ පසුබිම තුළ හොඳ පණිවිඩ නොවේ බොහෝ විට සමාජගත වෙන්නේ. එයින් විය හැකි වන්නේ හානියක්. ආයුර්වේද වෛද්‍යවරියක විදිහට මා වෙත එන යොවුන් වයසේ දරුවන් වෙතින් මම මෙය නිරීක්ෂණය කර තියෙනවා.

වෛද්‍යවරියකගේ කෝණයෙනුත් ඔබේ නිර්මාණ වෙනම ම විදියකට පෝෂණය වෙනවා නේද ?

ඔව් ඒක හරි. නව පරපුරේ මම දකින අඩුපාඩු වගේම වෛද්‍යවරියක විදිහටත් මගේ නිර්මාණවල මම මේ ගැටලු කතා කරන්න උත්සාහ කරනවා. ඒ ඒ සමාජ ගැටලු වටා තමයි මගෙ ගොඩක් නිර්මාණ ගොඩ නැඟෙන්නේ. සමාජ සුබ සිද්ධිය උදෙසාම තමයි හැමදාම මම මේ නිර්මාණ බොහොමයක් කළේත්.

නිර්මාණවේදිනියක විදිහටත් තවත් අංශයකින් ආයුර්වේද වෛද්‍යවරියක විදියටත් ඔබේ අනාගත නිර්මාණ පෙළගැසෙන්නේ කොහොමද ?

මගෙ ඊළඟ කෘතිය වෙන්නෙ පරිවර්තන කෘතියක්. ඒ නිර්මාණයේත් මම දරුවන් ගැන තමයි ගොඩක් කතා කරන්නෙ.

දරුවන්ට සාහිත්‍යය සමීප කරවීමට උත්සුක වීමයි මගෙ වෑයම. දරුවන් විවිධ අංශ ඔස්සේ ගොඩනැඟීම හරි වැදගත්. මෙය ගැහැනු දරුවාටත් පිරිමි දරුවන්ටත් එකසේම අදාළ යි. එතනදී ඔවුන් සාහිත්‍යය ට සමීප දරුවන් ලෙස ගොඩනැංවීමෙන් රටකට සමාජයකට හිමිවන සාධනීය බලපෑම ඉහළ යි. ඒ ඔස්සේ විනයවත් දරු පරපුරක් ගොඩ නැංවිය හැකි බව මගේ විශ්වාසයයි. ඒ වෙනුවෙනුත් මගෙ නිර්මාණ කාර්යය ඔස්සේ වැඩි අවධානයක් දෙමින් කටයුතු කරනවා.

ඉතින් සාරංශයක් විදියට කිව්වොත් මට දැනෙන දේවල් සමාජයට කියන්නයි ඕන වුණේ. ඒකෙන් පැතුවෙ සමාජය හොඳ විදිහට ප්‍රතිනිර්මාණයක් කරන්න. ඉතින් ඒ උදෙසායි මම ලියන්නෙ.

[email protected]

සමුද්‍රිකා වර්ණකුල

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT