Home » ‘තෙත්සූයා නම් දුනුවායා’ දුනු ශිල්පය කියාදෙන විලාසයෙන්, ජීවිත කලාව කියා දෙනවා

‘තෙත්සූයා නම් දුනුවායා’ දුනු ශිල්පය කියාදෙන විලාසයෙන්, ජීවිත කලාව කියා දෙනවා

by Thanushika
September 18, 2025 9:58 am 0 comment

ඩිල්ෂානි චතුරිකා දාබරේ ලාංකේය නූතන සාහිත්‍ය කලාවෙහි නමක් දිනූ කැපී පෙනෙන නිර්මාණකාරියකි. කලා විචාරිකාවකි. ඇය විසින් රචනා කළ කුලුඳුල් ග්‍රන්ථය ලෙස ‘ප්‍රේමාතුර චෙරි කුසුම’ කාව්‍ය සංග්‍රහය පාඨක අවධානයක් දිනු කෘතියකි. එමෙන්ම ඇය විසින් පරිවර්තනය කළ ‘තෙත්සුයා නම් දුනුවායා’ සහ ‘බිලී⁣⁣ගේ දිවි සැරිය’ කෘති පාඨකයන්ගේ ප්‍රතිචාර රාශියක් හිමිකරගත් කෘති ද්විත්වයකි. ඇය විසින් ලියු නවතම කෘතිය වන ‘මව්වත් හදවත්’ නුදු⁣රේදීම දොරට වැඩීමට නියමිතයි. මෙවර සරසවිය කලාපයේ ඉඩ හසර වෙන්වූයේ ලේඛිකා ඩිල්ෂාණි චතුරිකා දාබරේ සමඟ සිදු කළ කතාබහක සමඟිනි.

ඩිල්ශාණිට ලිවීමේ ආසාව මුලින්ම ඇතිවෙන්නෙ කොහොමද?

මම දන්න කාලේ ඉඳන්ම, යම් යම් දේවල් නිර්මාණාත්මකව ඉදිරිපත් කරන්න ආසා කළා. මම දන්න දේ තවත් කෙනෙක් එක්ක බෙදාගන්න මට නිතරම වුවමනා වුණා. එක්කෝ පිරිසක් ඉදිරියේ කතා කරලා, නැත්නම් ලියලා, නැත්නම් කවි ගී කියලා. මම හිතන්නෙ, මට වුවමනා වුණු ඒ දේ විධිමත්ව කරන්න ලැබුණේ ලිවීම කියන මාධ්‍යය ඇතුළෙදියි. මම දවසකට පිටු කිහිපයක් හරි කියවන්න කැමති කෙනෙක්. පොඩි කාලෙ අම්මා කන්තෝරුවේ පුස්තකාලෙන් පොත් ගෙනාවා. ලොකු මාමා ගාව පොත් අල්මාරියක් තිබුණා. ඒ නිසා, පොඩි කාලෙ ඉඳන් කියවන එක කළා. කියවද්දි කියවද්දි අපිට තව ලියන්න උත්තේජනයක් ලැබෙනවා.

‘පෙමාතුර චෙරි කුසුම’ කවි පොත ලියවෙන්නේ කොහොමද? මොකක්ද ඊට පසුබිම?

මම භාෂාවේ රිද්මයට ඉතාම ඇලුම් කරන කෙනෙක්. ජීවිතේ හැමදේකම ඊටම උරුම රිද්මයක් තියෙනවා. මහගමසේකරගේ ‘සිංහල ගද්‍ය පද්‍ය නිර්මාණයන්හි රිද්ම ලක්ෂණ’ පොත විමසා බැලුවොත් පෙනේවි, නිර්මාණාත්මක ලේඛනයෙදි විතරක් නෙමේ, එදිනෙදා කතාබහේදි පවා අපිට කොතරම් රිද්මයක් තියෙනවද? කියලා. කවිය මිනිස්සුන්ට පත්තියන් වෙන්න ගන්නෙ, ඉපදෙන්නත් කලින්, මව් කුසේදිමයි. ඉතින් රිද්මය එක්ක අපි මුහුවෙන එක සාධාරණයි. මම සංදේශ කවි, යසෝදරාවතේ කවි, කොළඹ කවි ඉගෙනගත්තෙ රිද්මයකට. තනියම කියද්දි පවා අලුතෙන් තාල දිදී කිව්වෙ. ඒ නිසා කවි මට මතක හිටියා. රිද්මයට ඇති රුචිය නිසාමදෝ කවි මා අතින් ලියැවුණා. පොඩි කාලෙ අම්මගේ කාර්යාලෙ සඟරාවලට මම කවි ලිව්වා. ලොකුවෙලා උසස් පෙළ කරද්දිත් කවි ලියැවුණා. නිතර සංස්කරණය වුණා. ඒවා පුවත්පත්වල පළ කළාට, ළඟ තියාගෙන හිටියට පොතක් කෙරුණෙ නැහැ. දවසක හිතුණා, ඒ කවි මං රසවින්දා ඇති, අනෙක් අයටත් රසවිඳීන්න පොතක් කරන්න ඕනෙ කියලා. ‘පෙමාතුර චෙරි කුසුම’ බිහිවෙන්නෙ එහෙම. ඒ කවිවලත් රිද්මයට මම මුල්තැන දී ඇති බව කියෙව්වොත් වැටහේවි.

කවි පොතෙහි එන ‘මිණි සළඹ හඬවන්’ කවිය සුවිශේෂ කවියක්. මේ කවිය ලියවෙන්න බලපෑ අත්දැකීම මොකක්ද?

මේ සමාජ ක්‍රමයට අනුගතවීම වෙනුවෙන් එදිනෙදා ජීවන අරගලයෙදි කාන්තාවන්ට පැති කිහිපයක් සමබර කරගන්න වෙනවා. ඒ අතරින් එකක් රැකියාව, අනෙක කුටුම්භය. ඒ එක පැත්තකටවත් අඩුවක් නොකර, දෙපැත්තටම උපරිමය ඉටුකරන්න ගැහැනු දරන ප්‍රයත්නය මම පොඩි කාලේ ඉඳන්ම මුලින්ම දැක්කෙ අම්මාගෙන්. මට මතක ඇති කාලෙ ඉඳන් අම්මා සාරිය ඇඳගෙන ගෙදරින් වැඩට යන්න පිටත්වෙන්න කලිනුත්, වැඩ ඇරිලා ආවමත්, එක සේ වෙහෙසුණා. රැකියා ජීවිතේ එයා අවංකව වැඩ කළා වගේම, ගෙදර ඇවිත් මගෙයි මල්ලිගෙයි පාසල් වැඩත් හොයා බැලුවා. ඒ සේරම කරන්න අම්මාට හයිය ආවෙ කොහොමද? කියලා හිතද්දි මට කවියක් ලියන්න පුළුවන් සංවේදී තැනක් මතක් වුණා. පාන්දර නැගිට්ට ගමන්, කඩිමුඩියෙ මුළුතැන්ගෙයි ඉඳන් වැඩකරලා රස්සාවට ගිහින් ඒ වැඩ අස්සෙත් දරුවො ගැන හිතන අම්මා කෙනෙක් ඒ කවියෙ ඉන්නවා.

ඔබ පරිවර්තනය කළ ‘තෙත්සූයා නම් දුනුවායා’ කෘතියෙන් පාඨකයෙකුට ඇති වැදගත්කම පිළිබඳ ඔබේ අදහස කුමක්ද?

අපි දිගු දුර ගමනක් විශාල කලබලයකින් යමින් ඉන්න මිනිස්සු. ඒ ගමන හැබෑම ආත්ම විශ්වාසයෙන් නොරිදවා නොරිදවී යන්න නම්,  තමන්ටම කියලා හයිය හිතක් වුවමනා වෙනවා. ඒ හිත හයියකරගන්න වුවමනා කරන, එළිය ලැබෙන්නෙ එක්කෝ පුද්ගලයෙක්ගෙන් නැත්නම් පොතකින් වෙන්න පුළුවන්. පාවුලෝ කොයියෝ කියන්නෙ ඒ වුවමනා කරන එළිය වෙනුවෙන් ආධ්‍යාත්මික මාවතක් වෙතට අපව ගෙන යන ලේඛකයෙක්. ඔහුගේ පොත්වලට නූතන පාඨකයො මේ තරම් වශී වෙන්නේ ඒ ගුණය නිසායි. හුදෙක් කතාන්දරයම නෙමෙයි, ඒ යටින් ඔහු ජීවිතයට වුවමනා ඔසු ගුණත් අරගෙන එනවා. ‘තෙත්සූයා නම් දුනුවායා’ (The Archer)  පොතේ තියෙන්නෙ, දුනුවායෙක් ගෝලයාට දුනු ශිල්පය කියාදෙන විලාසයෙන්, ජීවිත කලාව කියාදුන් ආකාරය ගැනයි.

ඔබ කලා විචාරිකාවක් විදියටත් කටයුතු කරනවා. ලාංකේය නූතන සාහිත්‍යයෙන් ලේඛකයන් බිහිවෙනවා බොහෝ ප්‍රමාණයන්. නමුත් නූතන පරම්පරාවෙන් විචාරකයන් බිහි නොවන්නේ ඇයි?

හේතු කිහිපයක් තියෙනවා. ඇතැම් නිර්මාණකරුවන් ඔවුන්ගේ නිර්මාණ විචාරය කරනවාට එතරම් රුචි නැහැ, ඔවුන් කැමති අගය කරනවාටයි. ඒ නිසා, විචාරය දන්නා අයත්, එයින් ඈතට යනවා. අනෙක් කරුණ, පොත් කියවන්න කැමති වුණත් බොහෝ දෙනෙක් විචාරය කරන්න තමන් නුසුදුසුයි කියා පසුබට වෙනවා, ලියන්න බිය වෙනවා. අනෙක් අතින්, ප්‍රායෝගික කරුණ නම්, විචාරකයන් පවා, හුදෙක් විචාරය වෙනුවෙන්ම පෙනී ඉන්නෙ නැහැ. ඔවුනුත් නිර්මාණකරණයේ යෙදෙනවා, ඔවුන්ටත් වෙනම ජීවිතයක් තියෙනවා.

ඔබ වඩාත් ප්‍රියකරන කෘති මොනවද කියලා මම ඇහුවොත්…

ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර්ගේ  little house  පොත් පෙළ සදා ප්‍රියතමයක්. මුල් පොතේ රස නොනසා පරිවර්තනය කළ ගංගා නිරෝෂණීව සිහිකළ යුතුයි. ඒ වගේමයි, කවි අතින් ගුණදාස අමරසේකරගේ ‘අමල්බිසෝ’ පොතේ රිද්මයට සහ හද බසට කැමතියි. කෙටි කතා අතිනුත් ගුණදාස අමරසේකරට සහ ප්‍රභාත් ජයසිංහට මම කැමතියි. ෆෙඩ්‍රික් ෆෝසයිත්ගේ ත්‍රාසජනක කතා කලාව මාව හෙල්ලුවා. හෙසගේ ‘සිද්ධාර්ථ’ කෘතියට දයාරත්න ගරුසිංහ කළ පරිවර්තනය, බසක අරුමය මට පෙන්නුවා. බටහිර සාහිත්‍යයේ ‘ඇනා කැරනිනා’ සහ ‘එමා බෝවාරි’ කෘතිවල සමානතා සහ ජීවන දර්ශනය සිත්ගත්තා. රමණීය බස් වහරකින් සනත් බාලසූරිය ලියූ, ‘මචපුචාරේ අවාරේ’, සැරිසර සටහන් පොත මෑතකාලේ මගේ අවධානය දිනාගත්තා. දිගුකාලීනව දිවීමෙහි නියුතු මුරකමි, එහි අරුමය ගැන ලියූ, What I talk about when I talk about running’  කෘතියත් සෑහෙන රසවින්දා. අයියන්දේගේ ස්වයං චරිතාපදානයක් වුණ,‘The Soul of a woman’ කාන්තාවන්ට විශ්වකෝෂයක් වගේ. මේ දිනවල මෙල් රොබින්ස්ගේ Let them Theor කෘතිය කියවමින් ඉන්නවා. එය Self help ආකාරයේ පොතක්.

සාමාන්‍ය එදිනෙදා ලිවීම කියන කර්තව්‍යය සිද්ධවෙන්නෙ කොහොමද? ලියන කාලෙට හැසිරීම මොනවගේද?

මම උදේ වරුවෙන් උපරිම ප්‍රයෝජන ගන්න කැමති කෙනෙක්. හොඳ තේ එක්ක හදාගත්තම, ලියන තැන පසුබිම පැහැදිලි නම්,  දළ සටහනකුත් හදාගෙන නම් තියෙන්නෙ, ලියාගෙන යන්න පුළුවන්. ලියන ජවය එන වෙලාවට, ලියාගෙන යන්න ආසාව ඇතිවෙනවා. ඒ වෙලාවට හොඳ වාක්‍යයක් ලියවුණත් ඇති සතුටක් දැනෙනවා. ලියන්න කරුණු මතුවෙන්නෙ අපි නොහිතනම වෙලාවලදි. කද්දි, බොද්දි, නිදියද්දි. කේ. ජයතිලකගේ ‘දින සටහන්’ පොතෙත් තියෙනවනේ, ‘නාන කාමරය වතුර පමණක් නොව, අදහස් ද ගලා එන තැනකි’ කියලා. ඒ වෙලාවට ළඟ තියෙන මොනම හරි දෙයක ලියාගන්නවා. පස්සෙ ඒක හරියට වවලා ලියනවා. ලියන්නෙ නැති වෙලාවට කරන්නෙ, සැලැස්ම හදන එක, ලියූ ඒවා සංස්කරණය කරන එක. ලියන, ලියවෙන විදි ගැන එක එක කතුවරුන්ගේ සැබෑ ජීවිත විස්තර කියවීමත් හරි ප්‍රියජනකයි.

ඔබේ කෘති රචනා කිරීම, පරිවර්තනය කිරීම භාෂා හැසිරවීම ඔබට ම ආවේණික එකක්. ඔබේ සාහිත්‍යමය කටයුතුවලට බලපාන ලද පුද්ගලයන් හෝ සාහිත්‍ය කෘති මොනවාද?

මම හිතනවා ලංකාවෙ පුරාතන ගද්‍ය සහ පද්‍ය, බටහිර classics  වගේම හොඳ පරිවර්තන කෘතිත් මගේ භාෂාවට බලපෑවා කියලා, බසට රිද්මය ආවෙ එතැනින් කියලා. බුත්සරණ, අමාවතුර, සද්ධර්මරත්නාවලිය වගේ සිංහල සාහිත්‍යයේ වටිනාම පොත් පැරණි සාහිත්‍ය අතරෙ තියෙනවා. ඒවා අතෑරලා අත පිහිදාගෙන අනාගතයට යන්න බැහැ. අනික් අතින්, විදෙස් සාහිත්‍යය නොහදාරා, ලංකාවේ පොත්වල විතරක් ම ඇලිලා ඉන්නත් බෑ. පැරණි සාහිත්‍යයත් නූතන සාහිත්‍යයත් කියන මේ දෙකම අපිට අවශ්‍යයි. මම මිනිස්සුන්ව කියවගන්න කැමති කෙනෙක්. මිනිස්සුන්ගේ සියුම් මොහොතවල් පුහුණු ලේඛකයො හොඳීන් ග්‍රහණය කරගන්නවා. එවැනි ලේඛකයන් මගේ සිත්ගත්තා. මාර්ටින් වික්‍රමසිංහ, ජී.බී. සේනානායක, ගුණදාස අමරසේකර  වැනි අය වගේම ලෝක සාහිත්‍යයේ ලියෝ තෝල්ස්තෝයි, චෙකොෆ්, ඕ. හෙන්රි වැනි අයගේ පොත් අපිව ජීවන ගැඹුරකට අරගෙන යනවා. ඒ වගේම ප්‍රගතිශීලී ලේඛිකාවන් වන කමලා දාස්, වර්ජිනියා වුල්ෆ්, මායා ඇන්ජලෝ ගැන මම උනන්දුයි. ලිවීම විතරක් ම නොකර, වෙනත් විනෝදාංශ පවා පවත්වාගෙන යන හරුකි මුරකමි සහ ඔර්හාන් පමුක්, විවිධ විෂයන් තුළ හිඳීමෙන් ලද දැනුම තමන්ගේ කෘතිවලට අරගෙන එන හැටි නිරීක්ෂණය කරන්න ආස හිතෙන දෙයක්.

[email protected]

මලින්ත විතානගේ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT