” හිතට දුකක් දැනුණත් සතුටක් දැනුණත් මතක් වෙන්නෙ අපෙ තාත්තා. තවමත් මට සිහිනයෙන් පවා අපෙ තාත්තාව පෙනෙනවා…”
සිනමාවේදියකු, අධ්යක්ෂවරයකු, තිර කතා රචකයකු, චරිතාංග නළුවකු, සේම සම්මානිත කතුවරයකු ලෙසින් පරසිදු මෙවර අපේ සොඳුරු කතා නායක තෙමේ සිනමා රසිකයාට අමුත්තකු නම් නොවේ..
ඔහු පිළිබඳ තතු සොයා ඔබට කියනු රිසියෙන් පසුවෙද්දී මට හමුවූ ඔහුගේ රුවැති දෙටු දියණිය අපර්ණා අබේසේකර මහත්මිය දැන් මා සමීපයේය..
ආරෝහ පරිණාහ දේහ සම්පත්තියකට හිමිකම් කී ඔහුගේ හඬ පෞරුෂය මට ඇසෙන්නාසේය.. වීර පුරන් අප්පු සිනමා සිත්තමේ කුඩාපොළ හිමියන් මා මතක තිරයේ දිස්වෙයි. නිරතුරුවම ඒ මුහුණින් මොනවට පළවූ ගැඹුරු බැල්ම මා මතකයෙහි තවමත් මතුවී පෙනේ…
” අපෙ තාත්තා බොහොම උස මහත කෙනකු වුණත් අපෙ තාත්තා හරිම සංවේදී කෙනෙක්…” අප සුහද පිළිසඳරට මුලපුරමින් ඒ ටික කීවේ අපේ ආදරණීය අපර්ණා ය.
අපේ සොඳුරු කතා නායකයාගේ උප්පැන්නයේ නම සඳහන් වනුයේ ආනන්ද තිස්ස ද ෆොන්සේකා අබේසේකර ය. පසුකලෙක කාගේත් මුවඟට හුරු වූ ආමන්ත්‍රණය වූයේ තිස්ස අබේසේකර ය. පන්නිපිටියේ ආර්ටි ද ෆොන්සේකා අබේසේකර ඔහුගේ ආදරණීය පියාණන් ය. රූපසිංහ ආරච්චිලාගේ ඇග්නස් මහත්මිය ඒ ඔහුගේ මෑණියන්ය. ඉංග්‍රීසි බසට , සිරිතට විරිතට නැඹුරුව සිටි පියාණන්ගෙන්ද හෙළ සාහිත්‍යය හා බෞද්ධ සාහිත්‍යය පිළිබඳ පරිණත දැනුමකින් යුතු මෑණියන් ගෙන්ද අපේ ආදරණීය කතා නායකගේ ළමා වියේදී මෙන්ම ගැටවර වියෙහිදීද ඔහුට ලැබුණේ ඉගෙනුමට දැනුමට මහත් වූ අත්වැළෙකි.
“අපෙ ආච්චි බුද්ධ ගජ්ජය..යසෝදරා වත කටපාඩමින් අපෙ තාත්තාට කියාදීල තාත්තාගෙන් පාඩම් ගන්නවලු. තාත්තා පොතපතට ඇබ්බැහි වූයේ ආච්චිගෙන්ම තමයි.”
අපර්ණා කියන්නීය.
එම දෙපළට දියණියන් දෙදෙනෙකි. ඒ ලලනී සහ ප්රියානිය. පවුලේ වැඩිමහල් පිරිමි දරුවා වූයේ අපේ තිස්සය.
1939ක්වූ මැයි මස 07 වනදිනදී උපත ලද අපේ ආදරණීය කතා නායකයා උපන්දා සිට රෝගාතුරව පසුවන්නට වී. වරෙක මැලේරියාවෙන් පෙළෙන්නටද වී.
“ඔව්..අමල් . අපෙ තාත්තා එයාගෙ කුඩා කාලෙදි නිතර නිතර අසනීප වෙලා තියෙනවා. ඒ හින්දා ම අපෙ තාත්තාට වෙනත් දරුවනට වගේ නිසි වයසෙදි පාසලට ඇතුළත් වෙන්න බැරිවෙලා තියෙනවා..”
අපේ සොඳුරු කතා නායකයාණෝ පාසලට හාපුරා කියා ඇතුළත් වී ඇත්තේ ඔහුගේ වයසින් අවුරුදු 12 දී පමණය. වරින්වර රෝගී තත්වයෙන් පසුවීම මේ පමාවට එකම හේතුව විය. ඉගෙනුමට ඔහු ඇතුළත් වූයේ පන්නිපිටියේ ධර්මපාල විදුහලටය.. ඉගෙනුමට පොතපතට මහත් ඇල්මක් දැක්වූ හෙතෙම ගුරු භවතුන්ගේ වඩාත් සැලකිල්ලට බඳුන් වූයේ සෙසු දරුවනටත් වඩා ඉංග්‍රීසි බස පිළිබඳ දැනුමින් ඉදිරියෙන්ම පසුවූ නිසාමය. ඉංග්‍රීසි බසෙහි හපනකු කළ ඔහුගේ පියාණන් ඒ වනවිට ඔහු ළමා වියෙහිදීම මිය පරලොව ගොසිනි.
පාසලේ විවිධ උත්සව අවස්ථාවලදී ඉංග්‍රීසි කථනය පැවරුණේ අපේ තිස්සටය. ලිවීමෙහිද සමත්කම් පෙන්වූ තිස්ස සිසුවා සිංහල සාහිත්‍යය දැනුම පිළිබඳව ද ප්රකටව සිටියේය.
උසස් පෙළ විභාගය ද ඉහළින්ම සමත් වූ හේ ඉගෙනුම ලද පාසලේම ඉංග්‍රීසි විෂයෙහි ගුරු පත්වීමක්ද ලැබ එහි ඉංග්‍රීසි ගුරුවරයා වූයේද ඔහු ය. ඒ වනවිට ඔහුට වයසින් අවුරුදු 20කි.
“තාත්තාගෙ තාත්තා ට..ඒ අපේ සීයා දකුණේ වලව්කාර පැලැන්තියෙ කෙනෙක්..බලපිටියෙ මහකප්පින වලව්වේ. ආච්චිත් කන්ද උඩරට ඉහළ පැලැන්තියක. සීයාට නැති සිංහල භාෂා සාහිත්‍යය දැනුම ආච්චිට තිබුණු නිසා තාත්තා ආච්චිගෙන් ඉගෙන ගත්තා. මුලදී පාසලකට ගියෙත් නැහැනෙ. ඉතිං සීයාට පුළුවන් ඉංග්‍රීසි දැනුම වගේම ඒ පොතපත සීයා අපෙ තාත්තාට හුරු කළා.”
ඔහුගේ සීයා වත්කම් අතින් පිරිහී යාමෙන් බලාපොරොත්තුව සිටි කන්ද උඩරට පාසලකට තම එකම පුතු ඇතුළත් කරවාගන්නට නොහැකි වී යාම ගැනද සීයා කනස්සල්ලෙන් පසුවූ බවද අපේ අපර්ණා කියන්නීය.
“ඔව්..කොළඹත් සීයාට ගොඩක් දේපළ ඉඩකඩම් හෙම තිබිල තියෙනවා. සමහර ඒවා රජයට පවරාගෙන. සමහර ඒවා නැතිව ගිහින් සීයාට වත්කම නැතිවුණාලු..”
තම පාසලේ දැනුමින් සේම බාහිර ක්‍රියාකාරකම් අතින්ද ප්‍රකට සිසුවකු වූ හෙතෙම වැඩි දිනක් නොයා එම පාසලේ ම ගුරුවරයකු ලෙසින් ලද පත්වීමද කාගේත් කතාබහට කරුණක්ම විය.
දැන් අපේ කතා නායක තෙමේ තුරුණු වියේය.
“අපෙ තාත්තා ට චිත්‍රපට පිස්සුවක් තිබුණලු. නිතර චිත්‍රපට බලන්න යනවාලු. තාත්තාමයි අපට කිව්වෙ”
ආදරණීය අපර්ණා සිනාසෙමින් කියන්නීය.
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් තැනූ රේඛාව චිත්‍රපටය ද පසුව එතුමාගේ මෙ සන්දේශය චිත්‍රපටය ද නැරඹූ හෙතෙම එම චිත්‍රපට දෙක පිළිබඳව සිතන්නට වී.. අවසන ඔහු තම සිත්හි පැන නැඟුණු අදහසද කැටිකොට ඉංග්‍රීසි බසින් විවේචනාත්මක ලිපියක් ලියා ලෙස්ටර් මහතා වෙත තැපැල් කළේය. ගතවූයේ දින කිහිපයකි. පෙරළා ඔහුට එතුමාගෙන් ලද පිළිතුරු ලිපියකින් කියැවුණේ”වහාම තමන් හමුවන්නට තම නිවසට පැමිණෙන ලෙසටය.
අපේ කතානායක තෙමේ එතුමා හමුවේය. ඔහුගේ දැනුම පරීක්ෂා කරන්නට මෙන් කතාබහක යෙදී හුන් ලෙස්ටර් මහතා ඊළඟට විමසුවේ තමන් ළඟදී හදන්නට සූදානම් වන ගම් පෙරළිය චිත්‍රපටයේ දෙබස් ලියන්නට හැකිදැයි කියාය. අපේ කතා නායකයාණෝ දෙවරක් නොසිතාම එය බාරගත්තේය.. එතැන් සිට ලෙස්ටර් මහතා ඔහුගේ සමීපතමයකුද විය.
අපේ කතා නායකයාගේ පෑන්තුඬින් නිධානය, දෙලොවක් අතර, ඇතුළු ලෙස්ටර් මහතාගේ තවත් සිනමා සිත්තම් හි තිර රචනය ලියැවුණේ ය. සිනමාවෙහි නමක් රඳවන්නට සමත් වූ හෙතෙම රජයේ චිත්‍රපට සංස්ථාවේ සභාපතිධූරයද ඉසිලීය…
තවමත් අපේ ආදරණීය අපර්ණා තම පියාණන් පිළිබඳව මා හා කතාබහේය..වරෙක ඈ මුව ගොළුවෙයි. වරෙක ඕ සිනාසෙයි. තවත් වරෙක බලාගත්වනමය .
“අපෙ තාත්තා චිත්‍රපට සංස්ථාවෙ සභාපති තනතුරේ සිටියදී ඉරානය සමඟ ඇතිකරගත් ගිවිසුමකින් සිංහල සිනමාවෙ ප්‍රගතියට වැඩ සටහන් ක්‍රියාත්මක කළත් ආණ්ඩු පෙරළියත් එක්කම ඒවා යටපත්ව ගියා. අද ජීවතුන් අතර ඉන්න කලාකරුවන් අපෙ තාත්තා ගැන අප එක්ක කතා කරන්නෙ ලොකු ගෞරවයකින්.. සභාපතිධූරය දැරූ ඒ කාලෙ චිත්‍රපට හදන්න එයාලට මුදල් වෙන්කරල දුන්න හැටි. තවත් සේවාවන් ඉටුකළ හැටි ඒ අය කියනවා ”
අපේ කතා නායකයාණෝ තැනූ මහගෙදර සිනමා සිත්තම අදටත් රසික සිත්හි නිදන්ව ඇතැයි සිතේ. විජය කුමාරණතුංගයන් සමඟ කුලුපග මිත්රතාවය ඉහළින්ම පැවතුණි.
“අපෙ තාත්තා හරිම සංවේදී කෙනෙක්. එයාගෙ ලොකු දුව වූ මට තිබුණු ආදරය නම් වචනයෙන් කියන්න බැරි තරම්. මගෙ නංගිටත් එහෙමයි. මං පාසල් ගියේ පාසලේ නේවාසිකාගාරයේ ඉඳන්..ඉතිං මාව බලන්න නිතර තාත්තා එනවා. එදාට පාසලට විශේෂ දවසක් වගේ. හැමෝම තාත්තාව වටකරගෙන. තාත්තාට මෙච්චර මිනිස්සු සමීපද කියල මට දැනුණෙ එහෙම දකින කොටයි. ”
“අපෙ තාත්තා හැම විෂයක් ගැනම ඉහළම දැනුමක් තිබුණා. මං පොඩියි. මාව ළඟට අරන් මාත් එක්කත් තාත්තාගෙ විවිධ අවස්ථා කියනවා. ජීවිතය ගැන සමාජය ගැන මට කියාදුන්න දේවල් තවමත් මට මතකයි.. තාත්තාගෙ කුඩාපොළ හාමුදුරුවන්ගේ රංගනය නම් මට කවදාවත් අමතක වෙන්නෙ නැහැ..”
අපේ සොඳුරු කතා නායකයාගේ ගැඹුරු කටහඬ ගුවන් විදුලියේ මෙන්ම රූපවාහිනියේ විකාශය වූ පරිවර්තන නාට්‍යවලද කැපී පෙනුණි. ඔහු රඟනොපෑවද ඔහුගේ කටහඬ ඇතැම් චිත්‍රපටවල රංගන ශිල්පීන් වෙනුවෙන් යොදා තිබිණි .
“අපෙ තාත්තා හැදුණේ වැඩුණේ හොඳ පවුල් පසුබිමක. තාත්තාගෙ කාලය වැඩිපුර ම ගෙවුණේ ලේඛන කලාවට වගේම පොතපත කියැවීමට. තිර නාටකයක් ලියද්දී මුළු ගෙදරම නිශ්ශබ්දතාවය එහෙමමයි. තාත්තා එයාගෙ කාමරේට වෙලා ලියනවා. එතකොට රෑ දාවලක් නම් නැහැ. හැබැයි ඒවගෙන් මිදිල ඉන්න කොට නම් විමෝදයෙන්. මමත් ලොකු ළමයෙක්නෙ. මා එක්කත් ලෝක සිනමාව ගැන කතා කරනවා. සත්‍යජිත් රේ තාත්තාගෙ සමීපම මිතුරෙක්. මං ඉපදුණු බව එතුමාට කියල තියෙනවා. ඒ කාලෙ උන්න බෙංගාලි චිත්‍රපටවල සිනමා නිළියක්. ඇයගෙ නම අපර්ණා. ඒ නමම තාත්තා මටත් දැම්මා. සත්‍යජිත් රේ මහතා සුභ පැතුවා. ලෝක සිනමාවට සම්බන්ධ තවත් අයත් තාත්තාගෙ ඇසුරේ උන්නා. මගෙ උපන් දිනයට තාත්තා ගෙදරයි..ගෙදර වත්ත පුරාම බකට් පහන් එල්ලනවා..හරියට වෙසක් වාගේ… ”
ආදරණීය අපර්ණා එසේ එකහුස්මට කියාගෙන යන්නී…”අපෙ තාත්තාගෙ කටහඬට මං හරිම ආසයි” යැයිද සිනාසී කියන්නීය.
ඕ තොමෝ තවත් යමක් කියන්නට සැරසෙයි. මම නිහඬව සවන්දෙමි.
“අපෙ තාත්තා ළඟ රටේ හැමෝම අගය කරන යම් කුසලතාවක් තිබුණි නම් ඒ තාත්තාගෙ අම්මාගෙන් ලබාපු චින්තනය නිසාමයි කියල මං විශ්වාස කරන්නෙ. මොකද..අමල් .. තාත්තා ලියන සමහර කතාවල අපෙ ආච්චි …තාත්තාගෙ අම්මා එදා කියාදුන්.. ඔවාදුන් දේවල්ද ගැබ්වී තියෙනවා…කොහොමත් අවුරුදු 12 වනතුරුම පාසලකට නොයවා ගෙදරම හිටිය තාත්තාගෙ ජිවිතයේ පළමු ගුරුතුමා තාත්තාගෙ තාත්තා ..තාත්තාගෙ අම්මා . ඒ අපෙ ආච්චි සීයා.”
හෙතෙම ක්‍රියාකාරී දේශපාලනයටද පිවිසියේ ය. සමසමාජ පක්ෂයේ ඉදිරි පෙළ ක්‍රියාකාරියකු වූ හේ ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා ..සමීපතමයකු විය. වේදිකාවේ ද පෙරළිකාර දේශපාලන චරිතයක්සේ ප්රකටව සිටියද වෙනත් පක්ෂවල එදා නායකකාරකාදීන්ද ඔහුගේ හිතවතුන් විය.
” මගෙ විවාහයට නම් අපෙ තාත්තා අකැමැති වුණා. ඒ වුණත් තාත්තා මා ළඟින්ම උන්නා. මට තිබුණු ආදරයේ අඩුවක් ද කළේ නැහැ. අපිත් එදා තරුණ ගැහැනු ළමයිනෙ. තාත්තා කඩදාසියක ලියලා මට දුන් කවියක් තවමත් මම තියන් ඉන්නවා…”
” ඔයත් වෙන්ව ගිය පසු
නියමය ලෙසට.
දමායන්න බැරි කිසිවක්
නැහැ මෙමට…”
අපේ කතා නායකයාණෝ දුම්වැටියට ..මධුවිතට වඩාත් ප්‍රේම කළේය. වයසින් අවුරුදු 40 පමණදී දියවැඩියාව රෝගයට බඳුන් පසු වූ හේ ප්‍රතිකාර මධ්‍යයේ පසුවන්නේය.
සංගීතය පිළිබඳව ද දැනුම පරිණතය. හේ දක්ෂ සිත්තරෙකි. සිය දිවිමඟෙහි තමන් නිරත ක්ෂේත්රයන්හි කුසලතා ප්‍රකට කළ අවස්ථා රැසකදීම සම්මානිත වූයේය.
මම අපර්ණා දෙස බලමි. ඕ තොමෝ සිය පිටඅත්ලෙන් වහා දෑස පිසදා ගන්නීය.
ඒ ඈ තම කඳුළු සඟවා ගන්නට ගත් නිෂ්ඵල වෑයමකි.
“අපෙ තාත්තා සමහරදාට මට හීනෙන් පෙනෙනවා. අදටත් හිතට දුකක් ආවාම තාත්තාව ඉබේම මතක් වෙනවා.. කටවත්ම තාත්තා දොස් කියන්නෙ නැහැ. තරහක් තියාගන්නෙ නැහැ. එයා තනිවම දරා ගන්නවා. සමහර වෙලාවට මාව බලන්න ආවාම තාත්තා එයාගෙ ජිවිතයේ වැරදුණු තැන් …ඉක්මන් වුණ තැන්.. මා එක්ක කතා කරනවා. හැමදේම සිද්ධ වෙන්නෙ මිනිස්සුන්ටනෙ. ඉතිං තාත්තාටත් වැරදුණු තැන් තියෙන්න ඇති. එහෙමයි මට හිතෙන්නෙ.”
තාත්තා ආයෙත් අපර්ණා ළඟට ආවොත්…” යැයි මා නිකමට විමසූ පැනයට හුන් අසුනින් සැණින් නැඟිට හිඳගත් ඕ කටපුරා සිනාසී කීයේ ” අනේ එහෙම නම් මට ඊට වැඩිය සතුටක් තවත් නැහැ..”
“රාහු කාලය පන්නල ඔය ගමන යන්න ලොකු දුවේ”
වරෙක අපර්ණාට තාත්තා කියන්නේය. ඒ අපේ කතා නායක තෙමේ නක්ෂත්රය කෙරෙහි දැක්වූ විශ්වාසයකි.
ලිවීමෙහි හපනකු වූ අපේ තිස්ස අබේසේකරයන් කතුවරයකු ලෙසින් දිනූ හරසර තිළිණ හා සම්මාන අතරින් ඕඅධ්ව්ට්ධ්ව්ට් ඊර්ණව්ක ඩ්ර්ණර්ඡ් කෘතියට හිමිවුයේ විශේෂ තැනකි.
අපේ කතා නායකයාණෝ වරින්වර රෝගාතුර වෙයි. රෝහලේ පසුවෙයි.
“අපෙ තාත්තාට එහෙමට අසනීපයක් තිබුණාය කියල අප දැනගෙන හිටියෙත් නැහැ. අසනීපයට හේතුවක් තාත්තා දැනසිටියෙත් නැහැ. ”
අපර්ණා බිඳුණු ස්වරයෙන් කියන්නීය.
හෙතෙම රෝහල් වාට්ටුවේ ගිලන් යහනේය…ඔහු සුවදුක් බලන්නට පැමිණියේය අපේ නන්දා මාලනී මහත්මිය ය.
“තිස්ස මැරෙන්න බයද..”
“අපොයි නැහැ…”
ඔහුගේ හිතවතුන් බොහෝ පිරිසක් ඔහු සමීපයේ සිටියහ. එක් ඇසක්ද අප්රාණිකසේය. ගිලන් යහන ළඟ පසුවන ලොකු දුව අපර්ණා දෙස බලා සිටි හේ ” මගෙ ඊධදර ඩ්ධථඥ” පොතට ලැබෙන මුදලින් ලක්ෂ පහක් මගෙ ලොකු දුවගෙ අවශ්‍ය දේවල් කරගන්න මම මුදල් දෙනවා.”
ඒ ඇසූ අපර්ණා හැඬූ කඳුළින් යුතුව කීයේ “මට මුකුත්ම එපා. තාත්තා සනීප වෙලා ගෙදර එන්න යැයි පමණෙකි. තාත්තා එක් ඇසකින් පොත් ලියූ සැටිද ඈ සිහියට නැඟිණි.
චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියද ඔහුට බොහෝ හිතවත්ය. විජය-චන්ද්‍රිකා දෙපළ බලන්නට තාත්තා සමඟ ආගිය සැටිද ඈ මතකයට නැගෙයි.
ඔහු තමන්ට අන්තිම ලියවිල්ලක් ඇති බව පවසා කඩදාසියක් ඉල්ලා සිටියදී සමීපයේ පසුවූ බෙල්ලන්විල හිමියන් පැවසූයේ රෝහල් වාට්ටුවකදී ලියාදෙන කිසිවක් වලංගු නැති බවත් ගෙදරට ගිය පසුව ලියවිල්ල ලිවිය හැකි බවත්ය.
ඔහුට තිළිණ වූ කලාපුරයේ ඉඩම් කැබැල්ලක්ද තම ලොකු දුව අපර්ණා නමින් තිළිණ කළේය…
අපේ කතා නායකයාගේ අසනීප තත්ත්වය දැන් දැන් හැරෙන්නේ නරක අතටමය. “මගෙ හිස කැක්කුමයි ” කියමින් හේ තම හිස දෑතින් බදාගන්නේය.. බයිපාස් සැත්කමට ද නිර්දේශ කෙරිණි. මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා නිරතුරුවම ඔහු සමීපයේය.
” තිස්සගෙ මොළයේ කොටසක් නරක් වෙලා. ඉවත් කරලයි තියෙන්නෙ. රටට වටිනා මෙහෙවරක් කළ හොඳ ඔළුවක් තිබුණු මනුස්සයෙක් ”
කාලෝ මහතා ඔහුගේ හිතවතුනට කීයේය. මේ කිසිවක් ඔහුට නෑසේ..
අපේ ආදරණීය අපර්ණා බිම බලාගත්වනමය . බොහෝ වේලාවක් ඕ නිහඩවම සිට පසුව ඈ කටහඬ අවදි කරන්නීය.
” කාට හෝ කර්ම විපාක විඳීන්නට තියේනම් මගෙ ලොකු දුවේ …ඒ කර්ම විඳවන්නම ඕනා..”
තාත්තා නිතර තමන් සමඟ කී ඒ කතාවල තවමත් ඕ තේරුම් නොදනී. තාත්තා තමන් තුළ දුකක් දරා සිටියද එය තනිවම විඳදරාගත් බවක් අපර්ණා කියන්නීය.
“අපෙ තාත්තා හරිම සංවේදීයි. කාටවත්ම බැනල නැහැ. දොසක් කියල නැහැ. කේන්ති එන කෙනෙක්. ඒවා තාත්තා තමන් තුළින් ම පාලනය කරගත් විදිහ නම් අදත් මට පුදුමයි.”
අපේ ආදරණීය තිස්ස අබේසේකරයන් නිවසට රැගෙන යන ලෙසට වෛද්‍යවරුන්ගේ උපදේශය විය. වරින්වර හිස සම්බන්ධ පරීක්ෂණ රැසක්ම දැන් අවසන් ය. එහෙත් රෝගියා තවමත් නිසොල්මනේය.
අහෝ…! අපේ සොඳුරු කතා නායකයාගේ කට පැත්තකට ඇදවී ගියේය. ඔහු වෙනුවෙන් ලේ දෙන්නට පැමිණ සිටි හිතවත්තු පිරිසක් ලේ බැංකුව ළඟය.
“දරුවන් වන අපෙන් කවදාවත් අපෙ තාත්තා මුකුත්ම බලාපොරොත්තු වුණේම නැහැ. තාත්තා අප වෙනුවෙන් කළ යුතුකම් අප්‍රමාණයි. ඒ ආදරය අදටත් මට සුවඳයි. ”
“අපෙ තාත්තා සිනමාවට ගොඩක් ආදරය කළා. ඒ වෙනුවෙන් බොහෝ දේ කළා. ඒත් අපව නිළියන් කරන්න තියා රූ ගත කිරීම්වලට පවා කවදාවත් එක්ක යන්නෙ නැහැ. අපෙ තාත්තා අපට නිතර කියාදුන්නෙ ජීවිතය …..ඒ තමයි අපෙ තාත්තා” අපේ ආදරණීය අපර්ණාගේ හඬ බිඳී ගිය ස්වරයකි.
මැලවී ගිය මුහුණින් යුතුවද ඕ තම ගෞරවනීය පියාණන් පිළිබඳව කතා කරන්නට පැමිණීම පිළිබඳව සරසවිය පුවත්පතටද..එහි කර්තෘතුමාටද ..මා වෙතද සිය හෘදයාංගම කෘතඥතාවය පුද කර සිටින්නටද ඈ අමතක නොකළාය…
මේ වනවිට සවස නිවසට කැඳවා යන්නට සිටි අපේ සොඳුරු කතා නායකයාණෝ කොහේදෝ කිසිවකුටවත් නොකියා නොදන්වා රහසේම නික්ම ගොස් සිටියේය..
ඒ…2009ක්වූ අප්‍රේල් මස 18 වනදාය.
අමල් යශෝමන් ජයසිංහ
සේයාරූ – පාලිත ශ්‍රී ලාල් ආටිගල