වසර 26ක් පුරා ‘කටහඬ’ නිවේදන පාඨමාලාව තුළින් බොහෝ දෙනකුට නිවේදනය, රංගනය, හඬකැවීම් ආදිය සඳහා දොරගුළු විවර කරදුන් ගුරුවරයකු, නිවේදකයකු, වැඩසටහන් මෙහෙයවන්නකු, හඬකැවීම් ශිල්පියකු, පුවත්පත් කලාවේදියකු, රංගන, නර්තන ශිල්පියකු, ලේඛකයකු ආදී භූමිකා රැසක ක්‍රියාශීලීව කටයුතු කරමින් සිටින ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ බොහෝකලකට පසු සිය මාධ්‍ය කලාදිවිය පිළිබඳ සරසවිය හා මෙසේ සංවාදයක නිරත විය.
මේ දිනවල ඔබේ නිර්මාණ කාර්යයන් ගැන කීවොත් …..?
මගේ “කටහඬ”ට අවුරුදු 26යි..තවමත් අදටත් මගේ “කටහඬ” නිවේදන පාඨමාලාව මම සිදුකරමින් යනවා. “කටහඬ” ලංකාවේ පළමු නිවේදන පාඨමාලාව ලෙස හඳුන්වන්න පුළුවන්. අදටත් සක්‍රියව මම එකී පාඨමාලාව කරගෙන යනවා. විශාල ගෝලයන් පිරිසක් මේ තුළින් මම බිහිකළා..ඒවගේම රංගන කාර්යයත් කරගෙන යනවා…
කටහඬ පාලනය පිළිබඳ ඔබ ඉතා සාර්ථකව මෙම පාඨමාලාව කරගෙන යනවා.එකී ගුරුභූමිකාව සහ පාඨමාලාව පිළිබඳ තවදුරටත් සඳහන් කරනවා නම් ….?
ඔව්, 1998 අගෝස්තු 01 වැනිදා තමයි “කටහඬ” නිවේදන පාඨමාලාව මම ආරම්භ කළේ. දැනට අවුරුදු 26ක් වෙනවා මේ පාඨමාලාවට. එච්.එම්.ගුණසේකර නමැති සන්නිවේදකයාට උපහාර වශයෙන් “කටහඬ” පාඨමාලාව ඇරඹියේ. ලංකාවේ පළමු නිවේදන පාඨමාලාව වගේම නිවේදක සංසදය ලෙසත් මෙය හඳුන්වනවා. සෑම අංශයකින්ම මෙහි ඉගැන්වීම් සිදුකෙරෙනවා. න්‍යායාත්මක වගේම ප්‍රායෝගික දැනුම මේ තුළින් ලබාදෙනවා. රංගන ශිල්පියෙක්, නිවේදකයෙක්, වැඩසටහන් මෙහයවන්නෙක් ආදී විවිධ ක්ෂේත්‍ර සඳහා පිවිසීමට මේ පාඨමාලාව අත්වැලක් සපයනවා. මාධ්‍යයට සම්බන්ධ පිරිස, ගුරුවරුන්, දේශපාලනඥයන්, නීතිඥයන් ආදී විවිධ පිරිස මගේ මේ පාඨමාලාවට සහභාගී වෙනවා.ගුරුවරයකු ලෙස මම එහිදී ඉතා කාර්යබහුලයි. හැමදාම වගේ පන්ති පවත්වනවා. උදේ සිට රෑ 10 පමණ වෙනකල් පන්ති පවත්වනවා. දෙරණ රූපවාහිනියේ සේවය කරන කළිඳු කරුණාරත්න, ජාතික රූපවාහිනියේ ඉනූෂා වීබැද්ද, ස්වාධීන රූපවාහිනියේ සමීර උදයංග ආදීන් මගේ ගෝලයෝ ලෙස හඳුන්වන්න පුළුවන්. මේ පාඨමාලාව හදාරන අයට රංගනයෙන්, ගායනයෙන්, පුවත්පත් කලාවෙන්, මාධ්‍ය ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න අවශ්‍ය ප්‍රායෝගික, න්‍යායාත්මක පුහුණුව මම ලබාදෙනවා. ගෝලයන් ක්ෂේත්‍රය තුළ කටයුතු කරනවා දැක්කම පියකුට දරුවකුගේ දියුණුව දැකීමෙන් ලබන සතුට හා සමාන සතුටක් මම ලබනවා.
මාධ්‍යවේදියකු ලෙස ඔබේ ආරම්භය සිදුවූයේ ගුවන් විදුලියෙන් කියා මම සිතනවා…..?
මම මුලින්ම කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ ඉගෙනුම ලබා පසුව කොළඹ නාලන්දා විද්‍යාලයට ඇතුළු වෙනවා. එතැන් සිට දිගටම මගේ කලා කුසලතා වගේම නිවේදන කලාවේ ආරම්භයත් සිදුවෙනවා… මාධ්‍යවේදියකු වශයෙන් ගුවන් විදුලියේ තමයි මගේ ආරම්භය සිදුවෙන්නේ. එහි සරස්වතී මණ්ඩපයේ මම නිවේදන කටයුතු ඇරඹුවා කීවොත් හරි. ප්‍රවීණ ගීපද රචක කරුණාරත්න අබේසේකරයන්ගේ සොහොයුරකු වූ ගුණරත්න අබේසේකරයන් තමයි මාව සරස්වතී මණ්ඩපයට එක්කගෙන ගියේ. ඉන්පසු “රත්න සභා මණ්ඩපය, පොතින් උපන්නෝ ” ආදී වැඩසටහන්වලට දායකවුණා. මාත් එක්ක මහාචාර්ය සමන්ත හේරත්, නාලක ගුණවර්ධන, දීලීප අබේසේකර, රොහාන් ශාන්ත බුලේගොඩ ආදීනුත් සරස්වතී මණ්ඩපයට සම්බන්ධ වෙනවා. 1990 දශකයේ මුල ගුවන් විදුලියේ සහන නිවේදක පරීක්ෂණයට මම යොමුවුණා. ඊට පසුව නිවේදකයකු ලෙස මම සිටි එෆ්.එම්, අධ්‍යාපනය සේවය, මැදපෙරදිග සේවයට සම්බන්ධ වුණා.
ගුවන් විදුලියෙන් පසුව රූපවාහිනියටත් ඔබ ආවා…..?
ඇත්තෙන්ම ඔව්. ඉන්පසු ජාතික රූපවාහිනියේ “ආයුබෝවන්, සුබ උදෑසනක් වැඩසටහන්” මෙහෙයවන්න මට පුළුවන් වුණා. ඒ සඳහා මාව සම්බන්ධ කළේ මාධ්‍යවේදියකු, ලේඛකයකු වන පී. එම්. සේනාරත්න මහතා. සිඩ්නි චන්ද්‍රසේකර, තිලක් ගුණවර්ධන ආදීන්ගේ වැඩසටහන්වලට මාව සම්බන්ධ කරගත්තා. “ඇහැට කනට” වගේම විනීතා කරුණාරත්නගේ “ගී භත” රූපවාහිනී වැඩසටහන්හිත් නිවේදකයකු විදිහටත් සේවය කළා. ඒවගේම ස්වාධීන රූපවාහිනියේ “සුරක්ෂා සැදැල්ල”, 1990 දශකයේ විකාශය වූ “කලා රසාංග, කෝමල රේඛා, විනිවිද”සජීවී වැඩසටහන ආදී වැඩසටහන් මෙහෙයවීම් කළා. ඊව්ඹ් චැනලයේ “සවනට ගී මධු” මගේ වැඩසටහන අතිශය ජනප්‍රිය වුණා. ඒවගේම අලුත් අවුරුදු උත්සව, වෙසක් උත්සව ආදිය මෙහෙයවීම්වල මම අදටත් අඛණ්ඩව සහභාගි වෙනවා.
පුවත්පත් කලාවේදියකු ලෙසත් ඔබ කාලයක් සේවය කළා..ඒ මතකයට ගියොත් …..?
ඔබලාගේ පුවත්පත් ආයතනයේ දිනමිණ කර්තෘ මණ්ඩලයේ මාධ්‍යවේදියකු ලෙස වසර 20ක් මම වැඩ කළා. ලේක්හවුස් ආයතනයේ “දිනමිණ, සිළුමිණ, තරුණි, සරසවිය, යොවුන් ජනතා” ආදී පුවත්පත් රැසකම උප කර්තෘවරයකු ලෙස සේවය කළා…ඒ කාලය තුළ බොහෝ අමතක නොවන සිදුවීම් වුණා. එකල වුණු සෑම සිදුවීමක්ම අමතක නොවන සිදුවීම්. පත්තර මහගෙදර මතක සටහන් එකතු කර “පත්තර මහගෙදර දශක දෙකක මතක වත” නමින් පොතකුත් මම සම්පාදනය කළා..
මාධ්‍යවේදී දිවියේ අමතක නොවන සුවිශේෂී මතක නැවත ආවර්ජනය කළොත් …..?
මාධ්‍ය ඉතිහාසය පුරාවටම තිබෙන්නේ අමතක නොවන දේවල්. මම කොහොමත් අලුත් ඇසකින් ලෝකය දකින්න පුරුදු වෙන කෙනෙක්. සාම්ප්‍රදායික ප්‍රශ්නාවලිය වෙනස් කර මුහුණටමුහුණ ප්‍රශ්න ඇසීමේ වැඩසටහන් අපි “සවනට ගී මධු” තුළින් නිර්මාණය කළා. ඒවගේම පුවත්පත් කලාවේ නිරතව සිටි සමයේ නම් අමතක නොවන බොහෝ සිදුවීම් රැසකටම මුහුණදෙන්න වුණා.
මාධ්‍ය ලොවට පිවිසෙන නවකයන් ගැන ඔබේ මතය කොයිවගේද ……..?
අලුත් පරපුරක් බිහිවිය යුතුයි. දක්ෂයෝ ඕනතරම් ඉන්නවා. ඔවුන්ට නිවැරදි මාර්ගෝපදේශනය දිය යුතුයි. “සකස්කඩ නොකී කට උගේ කට හුඹස් කට” කියලා කියමනක් තියෙනවනේ. ඒවගේම ඕනෑම අයකුගේ කට සකස් කළ යුතුයි. නැත්නම් එය හුඹස් කටක් වෙනවා. නවකයන්ට පවා හඬ ගැන අවබෝධයක් තිබිය යුතුයි. සැබෑ සන්නිවේදකයකුට යානොහැකි දුරක් නැහැ .ලේඛකයකුට ඇති අවිය පෑන, චිත්‍ර ශිල්පියකුට ඇති අවිය තෙලිතුඩ, ගායකයකුට ඇති අවිය කටහඬ. එනිසා නවකයන් පෙර පරම්පරාව හොඳීන් අධ්‍යයනය කළ යුතුයි. දක්ෂ නිවේදකයකුට නම් මනා පෞරුෂයක් සහිත කටහඬක් තිබිය යුතුයි.. භාෂා ඥානය, නිවැරදි උච්චාරණය, සමාජ අවබෝධය, බහුශ්‍රැත බව, අපූර්ව ඉදිරිපත් කිරීමේ හැකියාව ආදී ගුණාංග තියෙන්න ඕනේ. මේ දේවල් ගැන අවබෝධයෙන් යුතුව අධ්‍යයනය කරමින් මාධ්‍ය ක්ෂේත්‍රයේ කටයුතු කළොත් නවකයන්ට දීර්ඝ ගමනක් යන්න පුළුවන්.
මාධ්‍ය ක්ෂේත්‍රයට පැමිණීමේදී ඔබට පවුලේ ආභාසය බලපාන්නත් ඇති…..?
අනිවාර්යයෙන් මට ඒ සඳහා ගෙදර පසුබිම බලපෑවා තමයි. මගේ පියා ප්‍රවීණ මාධ්‍යවේදියකු, පුවත්පත් කර්තෘවරයකු වන ගුණදාස ලියනගේ. අම්මා කථිකාචාරිනී චන්ද්‍රලතා ලියනගේ. සිරස ආයතනයේ නිවේදිකාවක් මෙන්ම අධ්‍යක්ෂවරියක් වන චේතනා ලියනගේ මගේ නැඟණිය. පුවත්පත් මාධ්‍යවේදියකු වන වජිර ලියනගේ මගේ අයියා. අපේ ගෙදර විසිතුරු භාණ්ඩ නැහැ, තියෙන්නේ පොත්පත්. මට ඉස්සර ඉඳන්ම පොත්පත් කියවීමේ ඇබ්බැහියක් තිබ්බා. අදටත් ඒ පිපාසයෙන් පෙළෙනවා. තාත්තා ප්‍රවීණ මාධ්‍යවේදියකු වූ නිසාම කුඩා කල සිටම මාධ්‍ය ක්ෂේත්‍රයට නැඹුරු පරිසර පසුබිමක අපි හැදුණේ. තාත්තා “රිවිරැස, ලංකාදීප ” ආදී පුවත්පත්වල ප්‍රධාන කර්තෘ ලෙසත් වැඩකළා. කුඩා කාලයේ ඉඳන්ම මම නොයෙක් දේ පත්තරවලට ලියනවා. තාත්තා කර්තෘ, ඒත් මගේ ලිපි කුණු කූඩෙට යනවා. ඒත් මම උත්සහය අත්හැරියේ නැහැ. ඒ කාලයේ ඉරිදා පත්තරය මිලදී ගන්න මිරිහානේ අපේ ගෙදර ඉඳන් පිටකොටුවට පාපැදියේ යනවා. ඒ මම ලිව්ව ලිපි පළවෙලා තියෙනවද බලන්න. ඒකාලයේ පුවත්පත්වල මගේ ලිපි පළ නොවුණත් උත්සහය අත්හැරියේ නැහැ. අද වනවිට මම මාධ්‍ය ක්ෂේත්‍රයේ යම් ස්ථාවරයක ඉන්නේ පවුල් පසුබිමෙන් ලැබුණු ආභාසය නිසයි…
ඔබ තුළ සිටින රංගන ශිල්පියාගේ භූමිකාව ගැන කිව්වොත්…..?
මම පාසල් වියේ සිටම නාට්‍ය කලාවට යොමුවුණා. පාසල් කාලයේම නාට්‍ය නිෂ්පාදනය කළා. “නිරුවත් ප්‍රේමය, නියඟලා මල්” ආදී වේදිකා නාට්‍ය පාසල් අවධියෙන් පසුව කළා. අධ්‍යක්ෂණය, නිෂ්පාදනය, තිර රචනය ආදියත් මා සිදුකළා..බන්දුල විතානගේගේ “සෙනෙහෙබර ඩොලී, හිරු දහස” ආදී වේදිකා නාට්‍යවලත් ලින්ටන් සේමගේගේ “පංචායුධය” වේදිකා නාට්‍යයේත් “ගිනිගත් නුවර, නිරුවත් ප්‍රේමය” ආදී වේදිකා නාට්‍යවලත් රඟපෑවා. ටෙලිනාට්‍ය රංගනය ගැන කිව්වොත් “අසල් වැසියෝ, රැකවරණය, හිමකැට මාලය, සිහින සාප්පුව, සිහින අරන් එන්න, අන්දර වැට, වස්සාන ප්‍රේමය” ආදියට රංගනයෙන් දායක වුණා. “ලේ කිරි කඳුළු, රාජ්‍ය සේවය පිණිසයි, සොඳුරු දඩයම, පායාඑන්න හිරු සේ, හදවත මල් යායයි, මගෝ ඩිගෝ ඩයි, චන්ද්‍ර සුළඟ ” ආදී චිත්‍රපටවලටත් මා රංගනයෙන් එක්වුණා.
ශ්‍රීමත් ඉන්ද්‍රජිත් නමැති ලේඛකයාගේ නිර්මාණ කාර්යයන් පැවසුවොත්…..?
දැනට මම පොත් 40කට වඩා ලියා තිබෙනවා. ප්‍රථම නිවේදක අත්පොත වන “මුහුණට මුහුණ”‘පොත කිව්වේත් මමයි..නිවේදන කලාව සහ කටහඬ පිළිබඳ පොත් කිහිපයක්ම ලිව්වා. පුවත්පතේ කලාවේ දශක දෙකක මතක ආවර්ජනය කරමින් “පත්තර මහගෙදර දශක දෙකක මතක” නමින් ග්‍රන්ථයක් සම්පාදනය කළා. ඊට අමතරව “ප්‍රභාෂ්වර ජීවිතය, අරුමැසි කටහඬ, කටහඬින් වැඩගන්න, රටටම කතා කරන්න, සිරිමත්ගේ සිතුවම්, පීලි පනින නහරවැල්, පන්හිඳක සංහිඳ, රත්තරන් අම්මා, සිහින මාලිගා, පැටිකිරිය 123, ආදරණීය නීලිකා, සුනාමි සාපය, සර්පයකු සමඟ සටන් වැද, වැලිකතරක ගිනි කඳුළු, ආකාස්මිත ආදරය, නිල අල්ලා මොළ සූරාකෑමේ කලාව” ආදී පොත් බොහෝමයක් මා අතින් ලියවුණා
හඬකැවීම් ක්ෂේත්‍රය තුළත් ඔබ දක්ෂතා පෙන්නුවා නේද…..?
කටහඬ පුහුණුව සමඟම මම හඬකැවීම් ක්ෂේත්‍රය තුළත් යම් නමක් දිනාගෙන සිටිනවා. “ශාන්ති, ප්‍රවීණා (බාලාජි), හැරී පොටර් (මායාකාරයා), බේවොච්(ෂෝන් මොන්රෝ), ඉසිවර වෙදැඳුරු, ලෝඩ් ඔෆ් ද රින්ග්ස්(එල්රොන්ඩ්), මහා භාරත්, ගෞතම සිද්ධාර්ථ, ශනි (සූර්ය දෙවියෝ), මායාවරුන්ගේ ලෝකය (රූංති රජු), මේ ආදරයයි” ආදි විදෙස් ටෙලිනාට්‍ය රැසකම හඬකැවීම් ශිල්පියකු විදිහට මගේ හඬ මුසුකළා…
ප්‍රසංග වේදිකා මෙහෙයවීම ගැන කතා කළොත් …..?
වසර ගණනාවක් තිස්සේ ප්‍රසංග වේදිකාව තුළ සක්‍රියව මා කටයුතු කරනවා. 2002 වසරේදී ප්‍රථමවරට “ගී සිරිමත්” ප්‍රසංගය පැවැත්වුවා. එහිදී විශාරද ගුණදාස කපුගේ, නිරෝෂා විරාජිනී, භාතිය ආදීන් එයට සහභාගි වුණා. ඒවගේම ගුණදාස කපුගේ, මාලිනී බුලත්සිංහල, කරුණාරත්න දිවුල්ගනේ ආදීන්ගේ එකතුවෙන් ගී සමාධියක් පැවැත්වුවා. “ස්වර සමාධි”: නමින් එය මම මෙහෙයවුවා. මාලිනී ගී සමාධිය (ගී සිසිලස).දිවුල්ගනේ, දීපිකා ප්‍රියදර්ශනී, ස්වර දැහැන (නෙතට කඳුළක්), සරසවිය සිනමා උළෙල ආදිය මෙහෙයවීම් කළා….දෙස් විදෙස් සංගීත ප්‍රසංග, නර්තන ප්‍රසංග ආදී ප්‍රසංග රැසක්ම මගේ හඬින් විචිත්‍රවත් වුණා
ඉදිරි නිර්මාණ කාර්යයන් ගැනත් යම් ඉඟියක් දුන්නොත්…..?
“ගී සිරිමත්” ඒකපුද්ගල ගී ප්‍රසංගය ලබන දෙසැම්බර්වල එල්ෆින්ස්ටන්හිදී පවත්වන්න සැලසුම් කර තිබෙනවා. රංගනයෙන් දායක වූ චිත්‍රපට කිහිපයකුත් තිරගත වෙන්න නියමිතයි…ලාල් ප්‍රියදේව අධ්‍යක්ෂණය කළ “නුහුරු වෑයම” චිත්‍රපටයේ කෙළිලොල් චරිතයක් කළා…මොහාන් නියාස්ගේ “කෝලම්ලන්තේ” චිත්‍රපටයේ රූගතකිරීම් ළඟදීම ආරම්භ කරනවා
පවුලේ විස්තර කීවොත් …..?
මගේ තාත්තා මාධ්‍යවේදී ගුණදාස ලියනගේ, මව චන්ද්‍රලතා ලියනගේ, ශ්‍රී ජයවර්ධනපුර බාලිකාව, කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය, පාමංකඩ අන්තර්ජාතික පාසල ආදියේ විදුහල්පතිනිය ලෙස කටයුතු කළා. ඇය 5 වසර පෙළපොත සම්පාදනය කළා. ජාතික අධ්‍යාපන ආයතනයේ ඇය සේවය කළා. පුතා සංදීව් දේශාන් ලියනගේ. එයා ව්‍යාපාර කළමනාකරණය හැදෑරුවා….දැනට උසස් අධ්‍යාපනය සඳහා විදෙස්ගතව ඉන්නේ. අක්කා උපේක්ෂා ලියනගේ ගාල්ල කරාපිටිය රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක්. සිරස ආයතනයේ අධ්‍යක්ෂවරියක හා නිවේදිකාවක වන චේතනා ලියනගේ මගේ නංගි…වජිර ලියනගේ මගේ සහෝදරයා, ඔහුත් පුවත්පත් මාධ්‍යවේදියෙක්.
මනෝජ් රුක්මල් කුමාරසිංහ