Home » තරු ගුණයත් රංග කුසලතාවත් එක් කළ සබීතා පෙරේරා

තරු ගුණයත් රංග කුසලතාවත් එක් කළ සබීතා පෙරේරා

by Thanushika
June 26, 2025 12:30 am 0 comment

වෘත්තීය නිළියක වශයෙන් මෙරට වාණිජ සිනමාවත් කලාත්මක සිනමාවත් එකසේ ජයගත් රූපණවේදිනියක ලෙස සබීතා පෙරේරා හඳුනාගත හැකිය. කලක් මෙරට රිදී තිරයේ කාර්‍යබහුලම රංගන ශිල්පිනියක වූ ඇය 80 දශකයේ සිනමාවේ සිය ස්ථාවරත්වය ගොඩනඟාගත් ප්‍රමුඛ පෙළේ නිළියකි.

මව්පිය උරුමයෙන් ළාබාල වියෙහිදිම සිනමාවට පිවිසෙනුයේ ‘හතර කේන්දරේ’ ‘ඉවසන දනා’ වැනි චිත්‍රපට ඔස්සේය.

වර්ණකුªලසූරිය කොස්වත්ත ලියනගේ සබීතා ජානකී පෙරේරා මෙරට සිනමාවේ ජනප්‍රිය නළු නිළි යුවළක වූ ස්ටැන්ලි පෙරේරා සහ ගර්ලි ගුණවර්ධනගේ දයාබර දියණියකි.

වෙන්නප්පුව ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ හා කොළඹ විශාඛා විද්‍යාලයේ අකුරු කළ ඇය සිනමාවේ නව තාරකාවක් සේ දොරට වැඩියේ ජේ. සෙල්වරත්නම්ගේ ‘ සබීතා ‘ චිත්‍රපටය ඔස්සේ ය. ඉන්පසු මෙම දක්ෂ රූපණවේදිනියට වාණිජ සිනමාවේ දොරටු විවර වූ අතර එතැන් සිට වෘත්තීය නිළියක ලෙස වාණිජ සිනමාවත් කලාත්මක සිනමාවත් එක ලෙස ජයගත් රංගන ශිල්පිනියක වූවාය. ආකර්ෂණීය තරු ගුණයත්, රංග කුසලතාවත් යන දෙඅංශයෙන්ම කැපී පෙනුණ රූපණවේදිනියක වූයේ නම් ඒ, මෙරට ආකර්ෂණීය හා ප්‍රවීණ රූපණවේදිනියන් දෙපළක් වූ රුක්මණී දේවි හා මාලිනී ෆොන්සේකා යන රංගන ශිල්පිනියන්ගෙන් පසු ඇයය යන්න වරක් මෙරට ප්‍රවීණ සිනමාවේදියකු වූ තිස්ස අබේසේකරයන් පවසා තිබිණ. ඇගේ දිගු සිනමා රංගන ජීවිතය තුළ දායක වී ඇති චිත්‍රපට ගණන විශාලය. ඒ සියල්ලෙහි පාහේ කුසලතාපූර්ණ චරිත නිරූපණයේ යෙදුණු ඈ ‘බංගලි වළලු’ ‘ නැවත හමුවෙමු’ ‘ඇර සොයිසා’ ‘චන්නයි කෙල්ලො දෙන්නයි’ ‘මොනරතැන්න 2’ ‘ආදර ගීතය’ ආදි චිත්‍රපට ගණනාවක් ඔස්සේ සිය ජනප්‍රිය ස්ථාවරත්වය ගොඩනඟා ගත්තාය. පසු කාලයේ ‘නොම්මර 17’ ‘මමයි රජා’ වැනි චිත්‍රපට බොක්ස් ඔෆිස් වාර්තා තැබූ චිත්‍රපට බවට පත් වූයේ ඇගේ රංගන දිවියේ ජනප්‍රියත්වය මොනවට පැහැදිලි කරමිනි.

ඇගේ සිනමා ගමනේ අවධානය ඈ කෙරේ සුවිශේෂ ව යොමු වන්නේ එච්. ඩී. ප්‍රේමරත්නයන් අධ්‍යක්ෂණය කළ ‘ දෙවෙනි ගමන’ චිත්‍රපටය ඔස්සේ ය. ඈ එහි මාහැඟි රංගනයක යෙදුණු බව විචාරක පිළිගැනීම විය. රූපණවේදිනියක ලෙස දෙවැනි ගමනේ ප්‍රකට කළ රංග ප්‍රතිභාව තිස්ස අබේසේකරයන් අධ්‍යක්ෂණය කළ ‘ විරාගය’ චිත්‍රපටයෙන් තවදුරටත් විද්‍යාමාන කළ බවටද පිළිගැනීමක් විය.

සිංහල සිනමාවේ විජය මාලිනී යුගයෙන් පසු ඇගේ දායකත්වය සහිත සිනමා යුග දෙකක් පිළිබඳ හඳුනාගත හැකිය. ඒ ඇගේ දායකත්වයෙන් ඇරැඹෙන සනත් සබීතා යුගය හා විජය-සබීතා යුගය වශයෙනි.

1985 වසරේ පැවැති සරසවිය සම්මාන උලෙළේදී (දෙවෙනි ගමන) චිත්‍රපටය වෙනුවෙන් හා 1988 වසරේ පැවැති සරසවිය සම්මාන උලෙළේදී (පොඩි විජේ) චිත්‍රපටය වෙනුවෙන් හොඳම නිළිය සරසවිය සම්මානයෙන් පිදුම් ලැබූ ඇය, 1987 වසරේදී පැවැත්වු පහළොස්වැනි සරසවිය සම්මාන උලෙළේ 1986 වර්ෂයේ සරසවිය ජනපි‍්‍රය නිළිය ලෙසද 1990 වසරේදී පැවැත්වූ 18 වැනි සරසවිය සම්මාන උලෙළේ 1989 වර්ෂයේ ජනප්‍රිය නිළිය ලෙස ද සම්මානයෙන් පිදුම් ලැබූවාය.

ඈ ඇගයුමට පාත්‍ර වී ඇති අනිකුත් සම්මාන අතර OCIC ස්වර්ණ සංඛ ආදි සම්මාන කැපී පෙනෙයි.

සබීතා පෙරේරා ලාංකේය සිනමාවෙන් ඔබ්බට ගොස් පාකිස්තානු සිනමාවද ජයගත්රංගන ශිල්පිනියකි. විශේෂයෙන් උර්දු චිත්‍රපටවල ඉහළ ජනප්‍රියත්වයක් දිනාගත් රංගන ශිල්පිනියකි. එමෙන්ම එහි සම්මානයටද පාත්‍ර වූ නිළියකි. ඒ පාකිස්තානු අල් ශකාර් සම්මාන උලෙළේ වරක් හොඳම නිළිය සම්මානයට පවා පාත්‍ර වෙමිනි. ඒ ව්ඒච්ධ්කඒ නම් උර්දු චිත්‍රපටය උදෙසාය.

ඇගේ සිනමා රංග කලා ජීවිතය තුළ ඉදිරිපත් කෙරුණු ඉහළම චරිතාංග නිරූපණයක් වූයේ ‘ සිසිල ගිනි ගනී’ (ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ) චිත්‍රපටයේ ‘ ඇනට්’ ගේ චරිතය වන්නේය යන්න ප්‍රබල විචාරක මතයකි. අසූව දශකයේ ඇරැඹි සිය ජනප්‍රිය සිනමා ගමනේ යම් නිහඬ කාලයකින් අනතුරුව ඈ නැවතත් ප්‍රේක්ෂකයන් අතර අවධානය දිනා ගනු ලබන්නේ ‘අබා’ (ජැක්සන් ඇන්තනී අධ්‍යක්ෂණය කළ) චිත්‍රපටය ඔස්සේ ය.

සිනමා රූපණවේදිනියක ලෙස ප්‍රකට කළ රංග ප්‍රතිභාව සේම ටෙලි තිරයද ඇගේ රංගන ප්‍රතිභාවෙන් බැබළුණි. ඒ රන් කහවණු, පිටගම්කාරයෝ, ඇසළ කළුවර, අකාල සන්ධ්‍යා වැනි ටෙලි නිර්මාණවල කළ කැපී පෙනෙන රංගන දායකත්වය ඔස්සේය.

සේයාරුව ටෙනිසන් එදිරිසිංහ

 සමුද්‍රිකා වර්ණකුල

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT