Home » තණ නිල්ල දිගේ විත් සැන්දෑ අඳුරේ සැඟව ගිය සමන් ද සිල්වා

තණ නිල්ල දිගේ විත් සැන්දෑ අඳුරේ සැඟව ගිය සමන් ද සිල්වා

by Thanushika
May 1, 2025 12:30 am 0 comment

මෙරට ගීතලෝලී රසික රසිකාවන් යුග යුග ගණනක් නැළවූ ජනප්‍රිය ගායක සමන් ද සිල්වා පසු ගියදා අවසන් නින්දට නික්මුණහ. ජීවත් වූ කාලය …. තම ආදරණීය රසික රසිකාවන්ට විනෝදාස්වාදය එක් කරමින් පුරා වසර 69ක ආයු කාලයක් ඇතුළත ඔහු මෙරට අංක එකේ ගායකයෙක් බවට පත් විය. තමා කුඩා කල පටන්ම ආදරය කළ සංගීතය, ගීතය යන්නට තමන් තුළ තිබුණ ආදරය, ගෞරවය, භක්තිය මියයන මොහොත දක්වාම ඔහු හද තුළ ආදරයෙන් සුරක්ෂිත කරගනිමින්. ඔහු සියල්ල අතහැර යන්නේ කලා ලොවට තිළිණ කළ නොමියෙන මතක රැසක් ඉතිරි කරමිනි.

සමන් ද සිල්වා මෙරට ගායන ලොවට ප්‍රවිෂ්ට වනුයේ 70 දශකයේ මැද භාගයේදී ය. කොළඹ නාලන්දා විද්‍යාලයේ සිසුවකු සිටියදීම සංගීතයට පෙම් කළ ඔහුට පාසල් කාලයේදීම කුඩා සංගීත කණ්ඩායමක සාමාජිකයෙකු වීමේ හැකියාව ලැබිණි. සිය පාසල කලණ මිතුරෙකු වූ සුප්‍රසිද්ධ ගායක් එම්. එස්. ප්‍රනාන්දුගේ පුත් සුසිල් ප්‍රනාන්දු තරුණ සමන්ගේ ගායන දිවිය වර්ණවත් කළේ ය. ඔහුට අයත් ‘සුපර් තරංගා’ ඇතුළු සංගීත කණ්ඩායම්වල ගායකයෙකු ලෙස කටයුතු කරන්නට සමන්ට අවස්ථාව ලැබුණේ මේ මිතුරුදම නිසාවෙනි. කලක් ගත වෙද්දි ගල්කිස්ස මහා හෝටලය වැනි සුප්‍රසිද්ධ හෝටල් සමූහයක් තුළ ගී ගැසීමට සමන්ට අවස්ථාවක් ලැබේ. සමන්ද සිල්වාගේ ගී ලොව ඇරැඹුම සිද්ධ වනුයේ එලෙසිනි.

සමන්ගේ මවුපියන් දකුණ පළාතෙන් කොළඹට පැමිණ පදිංචි වූවන් විය. සමන් සිය ජීවන වෘත්තිය අරඹනුයේ කොළඹ කේන්ද්‍රකොට ගෙනය. වයස අවුරු 16ක් වැනි ඉතාම ළාබාල වියේ දී ගීත කේෂත්‍රයට පිවිසි, සංචාරක හෝටල් ආශ්‍රිතව ගීත ගායනා කරමින් සිටි සමන් නම් වූ කොලු ගැටයාගේ ජීවන ගමන වෙනස් වන්නේ අහඹු ලෙසින්ය.

එවකට ලංකාවේ ප්‍රකට ගායකයකු වූ වර්නන් පෙරේරා හමුවට යාම මේ වෙනස ඇති වන්නට ප්‍රධාන හේතු කාරණාව විය. දිනක් කොළඹ කොටුව කාගිල්ස් සාප්පුව අසල දී තරුණ කෙසඟ කොලුගැටයෙකු පැමිණ වර්නන් පෙරේරාට පවසනුයේ තමන්ට ගීත ගායනා කිරීමේ හැකියාව ඇති බැවින්, ගීතයක් ගැසීමට අවස්ථාවක් ලබා දෙන ලෙසයි. අහම්බයකින් හමු වූ මේ තරුණයාගේ ඉල්ලීම අහක දමන්නට නොසිතූ වර්නත් පෙරේරා ඔහුගේ හඬ කෙබඳුඳැයි බලන්නට ගීතයක් ගයා පෙන්වන්න යැයි පැවසීය. තරුණ කොලු ගැටයා ඉතා ගැඹුරු හඬකින්, අමරදේවයන්ගේ ‘සසර වසනතුරු’ ගීතය ගයා පෙන්නුවේ ය. තරුණයාගේ හඬ හා ගායනය පිළිබඳ පැහැදීමට පත් වර්නන් පෙරේරා ඒ මොහොතේ තීරණය කළේ මේ තරුණයාට අවස්ථාවක් ලබා දිය යුතු බවයි. මේ තරුණයා අන් කිසිවෙකු නොව සමන් ද සිල්වාය.

සමන් ද සිල්වා සිය ප්‍රථම ගී තැටිය නිකුත් කිරීමේ අවස්ථාව හිමි වන්නේ ඒ අයුරිනි. වර්නන් පෙරේරා ඔහුට ඒ මොහොතේම රැගෙන යන්නේ එවකට ගීත නිෂ්පාදන ආයතනයක හිමිකරුවෙකු වූ විජයපාල හෙට්ටිආරච්චි ළඟටය. ඔහු ඉදිරියේ දී සමන් සිය හැකියාව පෙන්වීමෙන් පසු ජෙම්ටෝන් ලේබලා යටතේ ගීත 4ක් එළිදැක්වීමේ අවස්ථාව ඔහුට හිමි විය. ඒ අනුව ඔහුගේ ප්‍රථම ගීත 4 වන්නේ වර්නන් පෙරේරාගේ පද රචනාවට අර්නස්ට් සොයිසා සංගීතවත් කළ දමිළ තනුවලට ගැයූ ගීතය.

එකල සංගීත ලෝකයේ අතිශයින්ම ජනපි‍්‍රය ස්ථානයක් වූ නුවර ලේක් සමාජ ශාලාවේ ද ගීත ගැසීමේ අවස්ථාව සමන්ට හිමි විය සියැක් වාදක මණ්ඩලය ඔහුට මුල්වරට මූණ ගැසෙන්නේ මෙතනදීය. පසු කලක සමන් මෙරට සංගීත කණ්ඩායම ක්ෂේත්‍රයේ ද සුපිරි තරුවක් බවට පත්වූවේය. සමන් ඇන්ඩ් ද ක්ලෑන්, සියැක් හා සුපර් ක්ලෑන් නමින් සංගීත කණ්ඩායම් තුනක හිමිකරු බවට පත් වීමට ඔහුට හැකි විය. මෙකී සංගීත කණ්ඩායම් සමඟ ලෝකේ වටේ ගිය වෙනත් ගායකුවේදැයි සිතිය නොහැකි තරමට ඔහු විදෙස් සංචාර සමඟ එක් වූයේ ය.

ලංකාවේ කපිරිඤ්ඤා ගීත කලාවේ ආරම්භකයා වශයෙන් සලකනුයේ වොලී බැස්ටියන් ය. ඔහුගෙන් පසු ඔහුගේම ගීත, ඔහුගේ පවුලේ අයගේ අවසරයෙන් මෙරට ජීවමාන කරවූයේ සමන් ද සිල්වා ය.

අයිරින් ජොසපින් …… ඇන්ජලින්

අතරින් පතරින් නටයිද කැතරින්……. ගීතය

ගායනා කරමින් ඔහු මෙරට සංගීත ලෝකය උඩු යටිකුරු කළේ ය. ලංකාවේ ප්‍රසංග වේදිකාව දෙවනත් කරමින් සමන් අයිරින් ජෝසපින් ගයන විට, නැටූ ගැයූ තරුණ පිරිස කොතැන් වේදැයි කිව නොහැකිය. තරංගා ලේඛලයන් ඔහුගේ ප්‍රථම කැසට් පටය නිර්මාණය වනුයේ ද මේ නමිනි.

ක්‍රම ක්‍රමයෙන් සංගීත ක්ෂෙත්‍රයේ ජනප්‍රියත්වයට පත්වන සමන් අලුත් අලුත් නිර්මාණ ඉදිරිපත් කරන්නට කටයුතු කළේ ය. අර්නස්ට් සොයිසා, ක්ලැරන්ස් විජේවර්ධන, නිමල් ඩයස් වැන්නන්ගේ සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වූයේ ය. මේ සුසංයෝග කෙතරම් ගැළපුණේ ද යන් අදටත් මෙරට දනන් තුඩු තුඩු රැව්දෙන අපූරු ගීත නිර්මාණ රැසක් ඔහු වෙනුවෙන් නිර්මාණය විය. රන් රස වාගේ ගැළපෙන්නේ, නියරේ පියනඟලා, තන තිල්ල දිගේ ඇදිලා යනවා. පුංචි කුරුලු කූඩුවේ. වැනි ගීත රැසක් එමඟින් බිහි විය.

සමන්ගේ ගායන දිවියේ සුවිශේෂී ගීතයක් ලෙසින් මාලිනි බුලත්සිංහල සමඟ ගායනා කළ පහත ගීතය සඳහන් කළ හැකිය. බොහෝ විට සමන්ගේ ගායන ශෛලියන් ඔබ්බට ගිය මේ ගීතය ගයනුයේ සමන් විසින් යැයි බොහෝ දෙනෙක් නොදන්නා කරුණක් විය හැකිය.

දවසේ පහන් නිවා හිරැද නිදැල්ලේ

වැටතේ වැටට උඩින් මුහුදේ ගිළෙන්නේ

ළඳුනේ කොහෙද දුවන්නේ

සැන්දෑ අඳුර ගලන්නේ

මෙම ගීතයේ ගී තනු නිර්මාණය ක්ලැරන්ස් විජයවර්ධනගේ වන අතර ගී පද රචනය ප්‍රේමකීර්ති ද අල්විස්ගේය. මෙරට ගීත ඉතිහාසයේ දුලභ සුසංයෝගයක් ලෙසින් සමන් සහ මාලිනි බුලත්සිංහලගේ මේ සුසංයෝගය හැඳින්විය හැකිය.

සමන්ගේ දිවි ගමනේ ඔහු ගැයූ ගීත අතරින් සුවිශේෂී ගීතයක් වූයේ තණ නිල්ල දිගේ ගීතයයි. ඔහු මෙම ගීතය ගායනා කරනුයේ 1983 දීය. ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම හිමි වීමක් සමඟ පැවැත් වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය වෙනුවෙන් ඔහු මෙම ගීතය ගායනා කළේ ය. එදා මෙදා තුළ ක්‍රිකට් ලෝලීන් පමණක් නොව සමස්ත ශ්‍රී ලාංකිකයන් ගේම ක්‍රිකට් ගීතය බවට පත් වී ඇත්තේ මේ ගීතය.

සමන්, කලක් මැණික් හා ස්වර්ණාභරණ ආයතනයේ රැකියාවක නියුතු විය. ඔහු සංගීත දිවියේ අරඹුණුයේද වෘත්තිකයකු වශයෙන් එහි සේවය කරමින් එයින් පසු කළෙක ඔහු කාර්ය බහුල වන්නට රැකියාවෙන් ඉවත් වී දිර්ඝ කාලීන සංගීත ක්ෂේත්‍රයේම කටයුතු කළේ ය.

සමන් විවාහ වූයේ අනෝමා ද සිල්වා සමඟය. චිලාන් චෙනාත් සහ නදියා යනුවෙන් ඔහුට පුතුන් දෙදෙනෙකු සහ දියණියක් සිටිති.

වෘත්තීය දිවිය තුළ සංගීත ශිල්පීන්ගේ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් ඔහු නොබියව පෙනී සිටියේ ය. ගායක ගායිකා සංගමයේ කලක් සභාපති වශයෙන් කටයුතු කළේ ය. එසේම වාද්‍ය ශිල්පී සංගමයේ සභාපතිවරයා ලෙසින් කටයුතු කළේ ය.

සරල ගීත, බයිලා ගීත, වේග රිද්ම ගීත ඇතුළු විවිධ ශෛලියේ ගීත ගායනා කළ සමන් සිනමා පසුබිම් ගීත කිහිපයක්ද ගායනා කළේ ය. ඒ අතර රජෙක් වගේ පුතෙක්, සටනෙන් සටන, පොරොන්දුව වැනි චිත්‍රපට විය.

වයස අවුරුදු 69 වැනි කාල පරාසයක් පුරා සමන් මේ සියලු දේ සිදු කර අද සිය ජීවන ගමනින් සඳහටම සමුගෙන ඇත. මෙරට සංගීත ලෝලී හිත මිතුරන් නලවන්නට යළි කිසිදු දිනක සමන් ද සිල්වා ප්‍රසංග වේදිකාවට නොපැමිණෙනු ඇත. එහෙත් ඔහු කාලයක් පුරා මෙරට සංගීත ලෝකය අරා නැඟී සිටිය බව ඔහු මෙරටට ඉතිරි කර ගිය නිර්මාණ සදාකාලිකවම සාක්ෂි දරනු ඇත.

ආදරණීය සමන් අයියේ

ඔබට සුවබර නින්දක් !

 

සේයාරූ – නිශ්ශංක විජේරත්න

[email protected]

හේමාලි විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT