පොතපත කියවීමට ඉතා කුඩා කල පටන් මහත්සේ කැමැත්තක් දැක් වූ ඔහු නිරන්තරයෙන් සාහිත්‍ය රස සොයා පොත් රාක්ක අතරේ ගැවසෙන්නට විය. එලෙස ගැවසෙන මොහොතක ඔහුගේ අතට හසුවනුයේ ඩීමන් ආනන්ද රචනා කරන ලද වවුලා කෘතිය හා අන්ධ රහස් පරීක්ෂකයා නැමැති කෘති දෙකයි. මේ වනවිට ඔහු මාතර රාහුල විද්‍යාලයේ හයවන වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙක් විය. 1995 වසරේ තම අතට අහම්බෙන් හමුවු මෙම කෘති දෙක බොහෝ ආශාවෙන් කියවීමෙන් පසු ඩීමන් ආනන්දගේ සාහිත්‍ය කෘති රචනා ශෛලියට මහත්සේ ආදරය කරන්නට විය. ඒ ආදරය ඔහුව සාහිත්‍යකරුවෙක් දක්වා රැගෙන එන්නට විය. මේ වනවිට ලේඛකයෙක් ග්‍රන්ථ කර්තෘවරයෙක් තිරපිටපත් රචකයෙක් ලෙස කටයුතු කරන ඔහු නමින් ජයශංඛ කරුණාරත්නය. පසුගියා දා තම දාසය වන කෘතිය ලෙසින් ඩ්‍රැකියුලාගේ ශාපලත් අඩවිය ග්‍රන්ථය. ජනගත කෙරුණු අතර එය තමන්ගේ සාහිත්‍ය පෝෂණය වෙනුවෙන් වෙනසක් ඇති කළ ඩීමන් ආනන්දයන්ගේ නමට උපහාරයක් ලෙස පුදනු ලැබීය.
ටෙලි කොම් ආයතනයේ ජ්‍යෙෂ්ඨ සහකාර ඉංජිනේරුවරයෙක් ලෙස කටයුතු කරන ජයසංඛ කරුණාරත්න මහතා මෙරට සාහිත්‍ය පෝෂණයට මහඟු සේවාවක් කළ ඩීමන් ආනන්දයන් පිළිබඳ යළි යළිත් සිහිකැඳවීම වෙනුවෙන් උපහාර උලෙළක් පසුගිය දා කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වුයේ ඩීමන් ආනන්ද යළි කියවමු නමිනි. මේ ඔහුගේ එම පෞද්ගලික උත්සාහයේ කතන්දරය ගැන කියවෙන කතාබහකි.
ඩීමන් ආනන්ද යළි කියවමු නමින් මතකාවර්ජනය වැඩසටහනක් සංවිධානය කරන්න ඔබ අදහස් කළේ ඇයි?
ඩීමන් ආනන්ද පොත් 1015ක් රචනා කරපු පුද්ගලයෙක් ඔහු අප අතරින් වියෝ වූණේ 2007 පෙබරවාරි 15 වැනිදා ඔහු ජීවත්වෙලා ඉන්න කාලයෙත් ඔහු මිය ගියාට පස්සෙවත් ඔහු ගැන මෙතෙක් කාලෙකට අනුස්මරණයක් සිද්ධ වුණේම නෑ. ඩීමන් ආන්නද කියන චරිතය මට හම්බවෙන්නේ මගේ පාසල් අවධියේදී 1995 මාතර රාහුල විද්‍යාලයේ මම ඉගෙන ගන්න කාලේ තමයි මම ඔහුගේ පොතක් කියවන්නේ. ඒ පොත කියෙව්වාට පස්සේ මට ඩීමන් ආනන්දගේ සාහිත්‍ය ගැන ලොකු ආශාවක් ඇතිවුණා. මම ඩීමන් ආනන්ද කියන්නේ කවුද කියල හොයන්න පටන් ගත්තා. ඒත් මට ඔහුගේ පොත පත ගැන ඔහු ගැන වැඩි විස්තරයක් හොයාගන්න අපහසු වුණා. ඒත් මගේ උත්සාහය අතහැරියේ නෑ. ඔය අතරේ 1996 දී ඩීමන් ආනන්දගේ දෙවන පුනරාගමනය සිද්ධ වෙනවා. එතුමාගේ පොත් හතරක් නිල්වලා ප්‍රකාශන ලෙස එළි දකිනවා. ඩ්‍රැකියුලාගේ මනාලියෝ, ජේම්ස් බණ්ඩා, බදුල්ල එක්ස්ප්‍රස්, ජල්තර හොල්මන නමින් අන්න එතනදී ආයෙත් මේ ඩීමන් ආනන්ද නාමය අපිට මුණ ගැහෙනවා. ඔය අතරේ මම ඩීමන් ආනන්දගේ ඔය පොත් වලින් ඔහු පදිංචි ලිපිනය සොයා ගන්නවා. වැල්ලම්පිටියේ එතුමාගේ ලිපිනයට ලියුම් ලියල එහි තිබුණ දුරකථන අංකයට කතා කරල මම ඔහු සමඟ මිත්‍රකමක් හදාගන්නවා. ඔය අතරේ එතුමා හමුවන්නත් මම යනවා මට ඔහු මුණගැහෙන කොටත් මම පාසල් ශිෂ්‍යයෙක්. මට මතක හැටියට 2000 වසරේදී විතර. එතුමාගේ පොතක් මම මුලින්ම ගෙදර අරන් ගිය වෙලාවේ මට තාත්තාගෙන් ලැබුණේ හොඳ ප්‍රතිචාරයක් නොවෙයි මට තාත්තා කෙළින්ම කිව්වා මේ පොත් ගේන්න එපා ගෙනාවොත් ගිනි තියනවා කියලා හැබැයි මම තාත්තා කිව්ව දේ පිළිගන්න ගියේ නෑ මම ඇයි මේ ලේඛකයාගේ පොත්වල මෙහෙම කියන්නේ කියල හොයල බලන්න පටන් ගත්තා. පසුකාලීනව මට තේරුණා එතුමාට මේ එල්ල වුණු දේවල් ඇතුළේ තිබුණේ පදනමක් නැති චෝදනා කියලා
ඩීමන් ආනන්ද මහතාගේ කෘති මෙරට කියවීම් කලාවේ පුනරුදයක් ඇති කරන්න. මුලික වුණා කියන දේ ඔබ විශ්වාස කරනවාද?
ඔව්. මම ඒක දැඩිව විශ්වාස කරන දෙයක්. ලංකාවේ සාහිත්‍ය තුළ කියවීමේ සාහිත්‍ය ඇති කරන්න. මිනිස්සුන්ගේ රුචිය ඇති කරන්න බිහි කළ ගොඩක් පොත් එතුමන්ගේ පෑන ඔස්සේ බිහිවුණා. ඒ පොතපත කියවල බිහිවෙච්ච ආචාර්ය මහාචාර්යවරුත් අද ඉන්නවා.
ඩීමන් ආනන්දගේ පොත් කියවල මහාචාර්ය ආචාර්ය වූ අය ඉන්නවා වගේම එහෙම අයම නැවත එතුමන්ගේ ලේඛන කලාවට බනින අයත් නැතුවා නොවෙයි. නේද?
ලංකාවේ හැටි එහෙමනෙ. එතුමාගේ සාහිත්‍ය අගය කරපු කීප දෙනෙක් එතුමන්ගේ ජීවිත කාලය තුළත් හිටියා. නමුත් එතුමන්ගේ සාහිත්‍යයෙන් පෝෂණය වෙලා ඒ ගැන වගේ වගක් නැතුව මුනිවත රැක්ක කොටසකුත් ඕනෙ තරම් හිටියා. එතුමා මියගියහම වුණත් ඔහු ගැන පත්තරයක වුණත් ලිපියක් පළවුණේ නැතිතරම් කොටින්ම කියනවා නම් මම එතුමන් ගැන අන්තර්ජාලයේ හොයනකොට පින්තූරයක්වත් තිබුණේ නෑ. ආවේ එතුමන්ගේ පත්තරයක පළ වූ මරණ දැන්වීමක් ඒ පාර මම කළේ එතුමන්ගේ පොතක තිබුණු පින්තූරයක් අරන් මම ඒක ඉන්ටනෙට් එකට අප්ලෝඩ් කළා.
ඩීමන් ආනන්ද නමින් රසික පිටුවක් පවා ඔබ අන්තර්ජාලයේ නිර්මාණය කරනවා නේද?
ෆේස්බුක් ආපු අලුත මම ඩීමන් ආනන්ද රසික පිටුවක් හැදුවා. 2008 වසරේදී. මට පුළුවන් හැටියට මම දෙයක් කළා. සමහර පුවත්පත් වලට මම එතුමා ගැන ලිපි ලිව්වා. මට කළහැකි අයුරින් මම එතුමා වෙනුවෙන් යමක් කළා. අපි එතුමාගේ එක පැත්තක් ගැන දැන සිටියට තව නොදන්න පැත්තකුත් තිබුණා. එතුමා සිනමාවට සම්බන්ධ චිත්‍රපට තිරකතා සිංදු පොත් චිත්‍රකතා ආදියටත් සම්බන්ධ වෙලා හිටිය අප්‍රකට පැත්තක් මම දැක්කා. එතුමන් ගැන පටුව බලන්නැතුව ඉතා පුළුල්ව අපි බැලිය යුතුයි කියන තැන මා හිටියා. ඒක නිසා මෙතුමා ගැන මේ සියල්ල එකතැනකට ගෙනත් කතා කරන්න ඕනෙ කියන ලොකු අදහසක් මට තිබුණ නිසා උත්සාහය කල් යමින් ඇවිත් අවුරුදු පහළොවක් විතර ඇදි ඇදි ඇවිත් තමයි ඩීමන් ආනන්ද යළි කියවමු. සංවිධානය කළේ.
ඩීමන් ආනන්ද යළි කියවමු තුළින් ඔබ මොනවගේ දෙයක්ද සිද්ධ කළේ?
මට ඕනෙ කළා ඩීමන් ආනන්ද ජීවතුන් අතර සිටි අවධියේ ඔහුව සමීපව ඇසුරු කළ අයගෙන් නිවැරැදි තොරතුරු ගන්න. රෑට චිත්‍රපට බලල උදේට කතා ලියනවා කියල ඔහුට ලේබල් ගහල තිබුණා. ඇත්තෙන්ම එහෙම දෙයක් වෙලා තිබුණේ නෑ. එතුමා කරල තිබුණේ පොත් සාප්පු වල තිබුණ ඉංගී‍්‍රසි පොතපත අරගෙන පරිවර්තනය කිරීමක් මේක අර විචාරකයෝ කියන කොටස කළේ එතුමාව හරි තැන නොතියා පහත් තැනකට ඇදල දාන එක. එතුමා සාහිත්‍යකරණයට එන්නේ අපරාධය හා දඩුවම පොත පරිවර්තනය කරල ඒක ප්‍රකාශකයෝ භාරගත්තේ නැති නිසා තමයි එතුමා සාහිත්‍ය ගැන කළකිරිලා අහම්බෙන් තමයි මේ මාරක කතා පැත්තට යොමුවෙන්නේ. ඩීමන් ආනන්ද ගැන සමාජය නොදන්න කරුණු හෙළිදරව්වකට තමයි මම ඔහු ගැන දන්නා විද්වත් මණ්ඩලයක් එක් තැනකට එකතු කරල මේ කතිකාවතට මාර්ගය සකස් කළේ.
කථිකාවතට ඔබ යොදාගත් කණ්ඩායමේ සාමාජිකයන් වුණේ කවුද?
ඩීමන් ආනන්දගේ සාහිත්‍ය රසය අත්විඳි පරම්පරා කීපයකම අය අපි මේ සඳහා සම්බන්ධ කරගත්තා. ඔහු සමඟ ඇසුරු කළ අය. මහාචාර්ය අශෝක පේ‍්‍රමරත්න, මෙල්රෝයි ධර්මරත්න, වර්නන් පෙරේරා, දීලිප ජයකොඩි, මනෝරම වීරසිංහ, ඩබ්ලිව්. කේ. ගුණදාස මහත්වරු මේ සඳහා එක්වුණා. මෙම කටයුත්ත සංවිධානය කිරීමේදී කොළඹ මහජන පුස්තකාලයේ පාඨක සමාජයේ උපසභාපති කාන්ති කරුණාරත්න මහත්මිය ගොඩක් උදවු කළා. ඊට අමතරව චතුර ජනශ්‍රී පතිරණ උත්සව සභාව රසගැන්වීමෙන් දායක වුණා. ඩීමන් ආනන්දගේ දුව වරුණි ශර්මිලා ආනන්ද ඩීමන් ආනන්ද ගේ මල්ලී- ආතර් ආනන්ද ඇතුළු පවුලේ සාමාජිකයොත් මේ උත්සවයට ආරාධනා ලැබ පැමිණියා. මේ කටයුත්තට එක් වූ විද්වත් මණ්ඩලයට සමරු තිළිණ ප්‍රධානයකුත් අපි සිද්ධ කළා. ටෙලිකොම් ආයතනයේ අනුග්‍රහයෙන්.
මෙම උත්සවයට සමගාමීව ඔබගේ කෘතියකුත් එළි දැක්කා නේද?
ඩ්‍රැකියුලා සාපලත් අඩවිය නමින් මම පොතක් එළි දැක්වුවා එය මම ඩීමන් ආනන්ද මහතාගේ නමට පිදීමක් කළා. ජේම්ස් බොන්ඩ් ඩ්‍රැකියුලා පිළිබඳ මිනිස්සු අද කාලෙ වගේ තාක්ෂණය නොතිබු යුගයේ ඒ ගැන දැනගත්තේ ඩීමන් ආනන්දගේ පොතපත හරහා ඒ නිසා එයට උපහාරයක් ලෙස තමයි මම එතුමාට මගේ කෘතිය පිදිම සිද්ධ කළේ.
ඔබගේ රචනා ශෛලිය ගොඩනැගෙන්නෙත් ඩීමන් ආනන්දගේ රචනා ශෛලියටද?
මම සිතාමතා නොකළත් එතුමාව මම සාහිත්‍ය කලාජීවිතය තුළ පරමාදර්ශී චරිතක් ලෙස හඳුනාගෙන තියන නිසා මගේ ලියන ශෛලියත් බොහෝවිට එතුමන්ගේ ශෛලිය අනුව යනවා වෙන්න පුළුවන්.
මෙවර ඔබ රචනා කළේ කීවෙනි ග්‍රන්ථයද?
දාසය වෙනි පොත 2008 වසරේ තමයි මම මුලින්ම පොතක් ලියන්නේ වැසි දා රෑ නමින් එය මගේ පළමු කෘතිය ඊට පස්සේ සාතන්ගේ හෝරාව, යක්ෂයා කිසිසේත් නොනිදයි, ඉන්ස්පැක්ටර් ත්‍රාස, ලේ තැවරුණු රෝසමල්, ඩ්‍රැකියුලා සොහොනෙන් නැගිටියි. ඩ්‍රැකියුලාගේ ලේ වියරුව, ගිනියම් ඇස්, පිටුවහලාගේ නීතිය, දික්කන්ද වලව්ව, ගිජුලිහිණියන්ගේ රාත්‍රිය, නිසාචරයෝ, ධවල සංග්‍රාමය ආදී පොත් රැසක් මම රචනා කරනවා.
ත්‍රාසය පැත්තට බර සැමවිටම කුතුහලය දනවන පොතපත නේද ඔබ අතින් රචනා වුණේ ඇයි ඔබ නවකතාව, කෙටි කතාව පැත්තට නැඹුරු නොවුණේ?
ඩීමන් ආනන්දට ආදරය කරල ඔහු ගිය සාහිත්‍ය මඟ තෝරාගෙන ඔහුගේ ශෛලිය අනුගමනය කරමින් තවත් ඩීමන් ආනන්ද කෙනෙක් වන්න ද ඔබගේ උත්සාහය.
ඩීමන් ආනන්ද කියන පුද්ගලයා දැන හෝ නොදැන ලංකාවේ ශානරයක් බිහි කරන්න උත්සාහ කළා අපේ රටේ සාහිත්‍ය හරිම දුප්පත්. අපේ රටේ සාහිත්‍ය බෙදන්න තියෙන්නේ පොඩිතැන් වලට නමුත් බටහිර සාහිත්‍ය එහෙම නෑ. ඒක පුළුල් සාහිත්‍යයක් විවිධ පැති ගණනාවක් තුළ විහිදුණු ලේඛක පිරිසක් ඉන්නවා. අපේ රටේ එහෙම වෙන් වූ ලේඛක පිරිසක් නෑ. අපිට කියවන්න හිතෙන පොත් අද නෑ. මේව කියෙව්වා කියල සමාජයේ ලොකු පරිචයක් මිනිස්සු තුළ ඇතිවෙන්නේ නෑ. සරල සාහිත්‍යයක් ඇසුරු කළොත් තමයි අපිට යන්න පුළුවන් ගැඹුරු සාහිත්‍යයකට ගිහින් ඒක රසවිදල තිබිය යුතුයි. මේ වගේ සරල සාහිත්‍යයක් අපිට තිබුණ නිසයි අපි ඒවා පාසල් කාලයෙත් හොය හොයා කියෙව්වේ.
ජයශංඛ විවිධ සාහිත්‍ය පැතිකඩ වල් ගැන පැවසුව ඔබත් එක් පැත්තකට පමණක් කොටු වූ ලේඛකයෙක් යැයි මම පැවසුවොත්?
ඔව්. එහෙම හඳුන්වනවට මම කැමතියි. මම ඒ ශානරයේ ලියන ලේඛකයෙක් පමණයි. අපි කරන දේත් දැක්මක් තියෙන්න ඕනේ. අද යෞවන සාහිත්‍ය තුළ වුණත් ලියන ලේඛකයෝ නැතිවෙලා තියනවා. යෞවනයෙන් පසු එන ගැප් එකට ලියන්න දැන් කොහොමත් ලේඛකයෝ නෑ. පරිවර්තන තමයි අපිට දකින්න තියෙන්නේ මම හදන්නේ මිනිසුන්ට කියවන්න පුළුවන් සාහිත්‍යයක් ගොඩ නගන්න.
මාරක කතා චක්‍රවර්තී ඩීමන් ආනන්දගේ පොත පත පරිශීලනය කරන ඔබ ඔහුව දැන හඳුනාගෙන අගය කරන අතරේ ඇහුවේ නැද්ද ඔහුව සාහිත්‍යකරුවන් ප්‍රතික්ෂේප කරලන්නට හේතුව කුමක්ද කියා?
කලෙයි මඟුල්, ලංගම්, කරුණාරත්න සහෝදරයෝ සන් රයිස් වගේ ප්‍රකාශකයෝ තමයි මෙතුමාගේ පොත් මුද්‍රණය කළේ මේ අය ලොකු ප්‍රකාශන සමාගම් නොවෙයි. ඔවුන් බැලුවේ පොත පත ගැහුවහම විකුණාගන්න. ඒකට ඒ අය උපක්‍රමයක් ලෙස භාවිත කළා. බටහිර චිත්‍රපටවල පෝස්ටර් අඩනිරුවත් ගැහැනු රූප සමහර පොත්වල කවර වලට පවා ඒවා අරන් තියනවා. හැබැයි ඇත්තටම කවරේ තියන දේ පොත ඇතුලේ නෑ. ඩීමන් ආනන්ද පොතේ පිටපත ලියල දුන්නා. එයාගේ ගාණගත්තා කවරේ කොහොමද කියල බැලුවේ නෑ. විවිධ තැන්වලට පිටපත ලියල දීම විතරක් කරල තිබුණා. පොතට කවර හැදීම කරල තිබුණේ ඔවුන් ප්‍රකාශකලා කවර හැදුව ඒකේ ලේබලය වැදුණේ ඩීමන් ආනන්දට කුණුහරුප පොත් කාරය කියලා. හැබැයි මම වගකීමකින් කියනවා එතුමාගේ පොත් කිසිවක කුණුහරුප නම් නෑ. අද ලංකාවේ සම්මාන හම්බවෙන පොත්වල තියන කුණුහරුප කතාවත් හැබැයි එතුමාගේ පොත්වල නෑ. කවර වල ආපු ගැටලුව වෙන්න ඕනේ එතුමාට මේ පටලැවිල්ල ඇතිවුණේ.
එතුමා සාහිත්‍ය කාරයෙක් වීම ගැන සංතෝසයෙන් හිටියේ නෑ. අන්තිම කාලේ එතුමා හොඳ ජීවිතයක් ගත කළ කෙනෙක්. එතුමා කිව්වේ මම පොත් ලිව්ව නම් මට වෙන්නේ පාරේ හිගා කන්න සුජි කලා ව්‍යාපාර තමයි මාව මෙතනට ගෙනාවේ කියල ලංකාව තුළ එතුමට ඇතිවුණු විවේචන කොච්චර ද කියනවා නම් එතුමාව ඉස්සරහ තියාගෙන එතුමට බනින තත්ත්වයක් තිබුණා එතුමව හඳුනන්නැතුව අද රටේ සාහිත්‍ය කෑවේ ඩීමන් ආනන්ද කියල බැන්න අවස්ථාවක තිබිල තියනවා. කොහොම කළත් එතුමන් ගැන කරපු විචාර හරියට සිදුවෙලා නෑ කියන දේ පැහැදිලියි. ඒකයි ඇත්ත කතවා.
සාහිත්‍යකරණයේ නියැළෙන ඔබට ගෙදරින් එහෙමත් මනා සහයක් ඒ සඳහා ලැබෙනවා ඇති?
මගේ බිරිය ඉෂාරා ෆ්‍රැන්සිස් ඇය මට නොමඳ සහයක් ලබාදෙනවා. මගේ පොත්පත්වල වැඩ කටයුතු සඳහා මගේ පුතා සවෙත් සන්දිලු මාතර රාහුල විද්‍යාලයේ ඉගෙනුම ලබනවා. පුතත් සාහිත්‍ය පොතපතට බොහොම ලැදියි.
ඩීමන් ආනන්ද යළි කියවමු උත්සව සභාව සංවිධානය කිරීමේදී ඔබට ශක්තියක් වූ පිරිස් එහෙමත් ඇති?
ප්‍රසන්න පිගේරා මහතා ඩීමන් ආනන්ද මහතාගේ පින්තූරයක් සිතුවම් කරල උත්සව සභාවට එක් කිරීමක් සිද්ධ කළා. පාලිත ජයකොඩි, තේජන ලංකාතිලක, ගනුෂ්ක රන්දුල වගේ මගේ හිතවත් කීප දෙනෙකුත් මෙහි සංවිධාන කටයුතු සාර්ථක කරගන්න මට ගොඩක් උදව් කළා.
සාහිත්‍යකරණයේ කටයුතු වලට අමතරව ඔබ තිරපිටපත් රචනයෙත් නියැළෙනවා.
2013 වසරේ ඉඳල මම ජාතික රූපවාහිනියේ හඬ කැවීම් අංශයේ තිරපිටපත් රචකයෙක් ලෙසත් කටයුතු කරනවා අතුල රන්සිරිලාල් මහතා යටතේ තමයි මම ඒ සඳහා පුහුණුව ලැබුවේ.
සේයාරූ – නිශ්ශංක විජේරත්න
චන්දන දයාසිරිවර්ධන