ජීවිතය ගෙවී යන්නේ අපේක්ෂිත හා අනපේක්ෂිත සිදුවීම් රැසක් සමඟිනි. ඇතැම් අපේක්ෂිත සිදුවීමකදී අනපේක්ෂිත අන්තර්ගතයක් සක්‍රිය වීමට ඉඩ තිබේ. අනපේක්ෂිත සිදුවීමක අපේක්ෂිත ලකුණු නොතිබෙන්නටද ඉඩක් ඇත. සිය පළමු සිනමා නිර්මාණය ‘නෙලුම් කුලුන’ මැයෙන් ඉදිරිපත් කරන තරුණ සිනමාකරු ඉලන්ගෝ රාම් උත්සුක වන්නේ ජීවිතය පිළිබඳ මෙම සත්‍යය හා ඒ වටා කරකැවෙන සාපේක්ෂ හා නිරපේක්ෂ තතු නවමු හා රසිකයා වහා සසල කරන ආකාරයෙන් සනිටුහන් කරන්නටය. මෙනිසාම සිනමාපට නැරඹීම ජීවිතයේ පළමු හෝ දෙවන අංගයක් බවට පත් කර ගෙන සිටින නිල සිනමා රසිකයා පවා වහා වසඟ කර ගැනීමේ හැකියාවක් ‘නෙලුම් කුලුන’ විසින් පෙන්නුම් කරනු ලබන බව පෙනේ. සිනමාකරණයේ බොහෝ දුරක් යා හැකි අභිනව මඟක් විවර කර ගැනීමට මේ ඔස්සේ සිනමාකරු ඉලන්ගෝට ලැබෙන අවකාශය අපමණය.
‘නෙලුම් කුලුන’ නිමවීමේදී සිනමාකරු ඉලන්ගෝ ද්විත්ව හෝ ත්‍රිත්ව අරුත් ජනනය වන වාචික ප්‍රකාශ සහිත තිරනාටකයක් සකසා ගෙන ඇති වග නොරහසකි. ඉන් සුලබ හා දුලබ හාස්‍යයක් උත්පාද වීමට ලැබෙන පිටිවහල සැලකිය යුතු තරම්ය. අනතුරුව හඳුනා ගත හැක්කේ මෙම වාචික ප්‍රකාශ පරයා යන හා ඊට අතිරේක අගයක් සපයන රූපණ කාර්යයන් ගණනාවකි. නිරතුරුව භාවිත කරන සමීප හා අඩක් සමීප රූප රාමු හේතුවෙන් සියලු රූපණ කාර්යයන් පාලනය කර ගන්නට ඉලන්ගෝ දක්වන්නේ මතුපිටින් එහෙමටම නොපෙන්වන වෙහෙසකි. සිය තිරනාටකයේ බල මහිමය නිසාම මෙතැනදී ඔහු අසමත් නොවෙයි. පළපුරුදු නළු නිළි පිරිස ස්වීයත්වයක් සාක්ෂාත් කර ගැනීමේ කිසිදු ඉඩක් නොමැති පසුබිමක සිනමාකරුගේ විධානයට පමණක්ම යටත්ව රූපණ කාර්යයෙහි නිරත වන සැටියකි. මෙනිසා සෑම චරිතයකටම සමාන වැදගත්කමක් ලබා දීමේ සිනමාකරුගේ අරමුණ ප්‍රමාණවත්ව ඉටුවී ඇති බව පෙනේ. එක අතකට මේ පළපුරුදු සිනමාකරුවනටද වරෙක ජය ගැනීම අසීරු වූ අභියෝගයක් සේ සැලකීම අනුචිත නොවේ.
මෙහි එන අනපේක්ෂිත සිදුවීම වියපත් දෙදරු පියකු සුව පහසු අසුනක් මත මිය යාම නොවන බව පැහැදිලිය. එනමුදු මේ මිය යන්නේ පියකු බවත්, බිරිඳ හා දරුවන් සේම සෙසු පාර්ශ්වද ඉන් දුකට පත්වන බවත් අමතක නොකිරීම සහේතුක වේ. ඉලන්ගෝ මෙසේ මේ පිරිස දුකට පත්වන වග අවධාරණය නොකරන්නේ සිනමාපටයේ විලාසය අනතුරේ වැටෙන්නට ඉඩ නොදිය යුතු නිසාවෙනි. ඉනික්බිතිව දැක්වෙන්නේ සිනමාපටයේ කේන්ද්‍රීය කාරණාවයි. එනම් මෙසේ මිය ගිය වියපත් පුද්ගලයාගේ රහසඟ තවදුරටත් සෘජුව පවතින බවත්, එය නිදි ගැන්වීමේ සියලු ප්‍රයත්න ව්‍යර්ථ වන බවත් සඳහන් කරලීමෙනි . ආදරණීයකුගේ වියෝව හරහා මළ සිරුරක් උපහාසයට ලක් කරලීමේ තැනකටද සිනමාපටය ගමන් කරලන්නේ මෙතැන් පටන්ය. මෙහිලා හාස්‍යයට යටින් පවතින ඛේදය පිළිබඳ කතිකාවක් පොහොසත් කරලීමේ අවකාශයක් පෑදෙන බව පෙනේ. රසික පාර්ශ්ව හුදු හාස්‍ය රසයක් විඳ ගන්නා අතර මේ ඛේදය හඳුනා ගැනීම අත්‍යන්තයෙන්ම වැදගත්ය.
සිනමාපටයේ සමස්තය විනිවිද දැකීමේදී දෙකරුණක් කෙරෙහි සිනමාකරු වෙසෙස් උනන්දුවක් දක්වන බව පෙනී යයි. ඉන් පළමුවැන්න වනුයේ මෙබඳු අනපේක්ෂිත මුහුණුවරැති අවස්ථාවක ඥාතීන්, අසල්වාසීන්, මිතුරන් ඇතුළු පාර්ශ්ව ප්‍රකට කරන සුලබ ඇවතුම් පැවතුම් ඔස්සේ මිනිස් චර්යා සතු ගතික ලකුණු සියුම්ව හසු කර ගැනීමයි. ඒවා සිනමානුරූපී ලකුණු සහිතව නිරූපණයයි.මේ සාමාන්‍ය මිය යාමක් නොවන්නේය යන සඳහන නිරනුමානවම උචිත වන්නේ මෙතැන විමසීමේදීය. පෙරදීද කී පරිදි නිරතුරුවම භාවිත කෙරෙන රූපණ කාර්යයට අදාළ සමීප හා අඩක් සමීප රූප රාමු සතු උචිත බව මේ හා ගැළපීම සැබැවින්ම අපහසු නොවේ.
එසේම සිය නළු නිළි පිරිසට ස්වීයත්වයක් පළ කිරීමේ ඉඩක් ලබා නොදීමට සිනමාකරු ඉලන්ගෝ එළැඹෙන පූර්ව තීන්දුව කෙතරම් නැණවත්දැයි යන්න පසක් කර ගන්නට මෙයින් ලැබෙන්නේ මනා අවසරයකි. පළපුරුදු නළු නිළි කැළ කිසිදු නොඑකඟතාවකින් තොරව සිනමාකරුගේ මෙම පිළිවෙත පිළිගන්නා බවද, එය අනුගමනය කරන බවද පෙනේ. අවස්ථා දෙක තුනකදී පමණක් ප්‍රියන්ත සිරිකුමාර හා තුසිත ලක්නාත් සිය වපසරියේ අද්දරටම පැමිණෙන අන්දම දැක ගත හැකිය. මෙබන්දක ඇති අවදානම පිළිබඳ වැටහීමකින් යුතුව දිල්හානි අශෝකමාලා ප්‍රකට කරන රංගනය එක්තරා අන්දමක පාඩමකි. කෙසේ නමුත් ප්‍රියන්ත සිරිකුමාර හා තුසිත ලක්නාත් සිරිලක සිනමා තිරයට රූපණ අපූර්වත්වයක් ගෙන එන වග නොපවසා සිටීම සුදුසු නොවේ. නි
සැකවම ඔවුන් සුපිරි සිනමා තරු වන බවක්ද නොපෙනේ. ඔවුන් සතුව ඇත්තේ හා වගා කර ගනිමින් සිටින්නේ විකල්ප සිනමා තාරකා ලකුණුය.
මෙසේ මෙම අවමංගල්‍ය අවස්ථාව හා එක්වන සියලු දෙනා වෙතින් සිනමාකරු ඉලන්ගෝ මතුකරන සුහදතාව, නුරුස්නා බව, ඊර්ෂ්‍යාව, වෛරය, විස්මය ආදී දෑ සමඟ එන යටි පෙළ අරුත් සමුච්චය සිනමාපටයේ ප්‍රමිතිය සේම විවාදාත්මක බවද ඉහළ නැංවීමට අවකාශ සලසා දෙන අයුරු පෙනේ. මෙතැනදීත් සිනමාකරු ඉලන්ගෝ වෙත අපමණ සහයක් ලබා දෙන්නට නළු නිළි කැළ අදි මදි නොකරති.
සිනමාකරු ඉලන්ගෝ සිනමාපටය නිමා කරන්නේ අභිනව කතිකාවක් ගෙන හැර පාමිනි. මෙය රසිකයාගේ මුහුණටම එල්ල කළ රළු පහරක් සේ හඳුන්වා දීමටද පුළුවන. එනම් වියපත් පුරවැසියන්ගේ සැඟවුණු සිතුම් පැතුම් පිළිබඳ තරමක හැඟීම්බර කතිකාවකි. මියගිය වියපත් පුද්ගලයාගේ අවසන් කටයුතු සුසාන භූමියකදී සිදු කෙරේ. තෙපාර්ශ්වයක් රසිකයා හමුවේ පවසන්නේ මේ වියෝවට තම තමන් පුද්ගලිකවම වග කිව යුතුය යන්නයි . මිතුරාගේ ප්‍රකාශය වන්නේ සංයුක්ත තැටියක බහා තමා දුන් නිල් සිනමාපටය නරඹා වියපත් පුද්ගලයාගේ කාමාශක්ත හැඟීම් උත්සන්න වන්නට ඇති බවය. අනීතික පෙම්බරියගේ ප්‍රකාශය වනුයේ බිරිඳ නොමැති විටක කාමාශක්ත හැඟීම් උත්සන්න කරන දුරකථන ඇමතුමකින් තමා ඔහුව අවදි කළ බවය. වැඩිමහලු පුතුගේ ප්‍රකාශය වනුයේ බිරිඳ තමා වෙත ලබා දුන් වාජීකරණ ඖෂධ පියා අසල තැබූ නිසා ඔහු ඒවා ගිල දමන්නට ඇති බවය.
අනීතික පෙම්බරිය මැදිවිය ඉක්මවමින් සිටින සුරූපිනියක වීමද , බිරිඳ වෙතින් ලැබෙන කායික පහස ඔහුට ප්‍රමාණවත් නොවීමද යන සඳහන සියලු රසිකයනට රහසක් නොවේ. ඉලන්ගෝ මෙහිලා පවසන කුටුම්බ ගතවූ වියපත් පුද්ගලයන්ගේ ශෝචනීය ඉරණම පිළිබඳ කාරණය විදග්ධ ලකුණු සහිත සුලබ හා දුලබ හාස්‍යය විසින් යටපත් කරනු ලැබීම අරභයා විචක්ෂණශීලී වීම රසිකයන්ගේ වගකීමකි. ‘‘නෙලුම් කුලුන’ සම්බන්ධයෙන් වැඩි ප්‍රසාදයක් ඇතිවීමට තිබූ අවස්ථාවකුයි මෙසේ ගිලිහී ගොස් ඇත්තේ.
රූපණ කාර්යය හැරුණු විට සිනමාකරු ඉලන්ගෝගේ මෙම ප්‍රයත්නය සවිමත් කරන සංස්කරණ කාර්යය ඇගැයීමට පසුබට විය යුතු නොවේ. අවැසිම රූප රාමු පමණක් සංස්කරණ ශිල්පියා විෂය කරගත් සැටියකි. තිරනාටකයට නව අරුතක් සැපයීමේ පිළිවෙතකද ඔහු නොපිහිටයි. සිනමාකරු වෙසෙසින් දක්වන අබලන් හා පණ ගැන්වීම අසීරු පැරණි මෝටර් රථයද මියගිය වියපත් පුද්ගලයාගේ දිරාපත් වන ප්‍රභූ දිවිය පිළිබිඹු කරන සංකේතයක් බඳුය. සංස්කරණයේදී මෙයද නිසිව හඳුනා ගන්නට සමත්ව ඇති බව පෙනේ.
‘නෙලුම් කුලුන’ රසික ජීවිත පරිඥානය වඩවන කලාත්මක, සම්භාවනීය හා විවාදාත්මක සිනමාපටයක්ද, නො එසේ නම් සිරිලක සිනමාවට නව රසික පිරිස් හඳුන්වා දීමට නොපැකිළෙන නවමු හා අපූර්ව සිනමාපටයක්ද යන පැන ද්විත්වය නොසලකා නොහැරීම සිනමාවේ බලසම්පන්න බව වටහා ගන්නා රසික සමාජයේ වගකීමකි. මේ සඳහා වන පිළිතුර තුළ එම පැන ද්විත්වය මුසු වන්නට ඇති හැකියාව අවතක්සේරු නොකිරීම ප්‍රඥාගෝචරය.
තුසිත ජයසුන්දර