Home » ජාතීන් අතර සමඟිය ඇති කරන්න හැකි ප්‍රබලම මාධ්‍යය සිනමාවයි

ජාතීන් අතර සමඟිය ඇති කරන්න හැකි ප්‍රබලම මාධ්‍යය සිනමාවයි

Bommai චිත්‍රපටයේ අධ්‍යක්ෂිකා නවයුගා කුගරාජා

by Thanushika
September 25, 2025 10:00 am 0 comment

මේ ලක්බිමෙහි වසර ගණනාවක කුරිරු යුද්ධයක් පැවති වාතාවරණයක ඇයට සිනමාව යනු සිහිනයක් ලෙස දැනෙන්නට ඇත. මල් සුවඳීන් පිරි, කුරුලු නාදය දසත රැව්දෙන සුන්දර පරිසරයක ජීවත් වනවා වෙනුවට, ඇයට ජීවත් වන්නට ඇත්තේ වෙඩිහඬ සහ බෝම්බ හඬට මැදිවී ගෙනය. ඇයගේ සිතේ මැවුණු සුන්දර සිතුවිලි වෙඩි හඬ මැද වියැකී යන්නට ඇත. ඒ කුමන බාධක කම්කටුළු මැද වුවද ඇගේ සිතේ කොනක තිබී ඇත්තේ සිනමාකාරිනියක වීමේ සිහිනයයි.

ඇය කවුද? ඇය නවයුගා කුගරාජාය.

ලක්මෑණියන්ගේ තුරුලේ උපත ලද ඇයගේ ගම්පියස වූයේ යාපනයේ තෙල්ලප්පලෙයි ග්‍රාමයයි. යුද්ධයක් පැවති වාතාවරණයක වුවත් ඇය ඉගෙනීම් කටයුතු වලට මුල් තැන දුන්නාය. කලාවට නෑකම් කියන පියෙකුගේ ආදරණිය දියණියක වූ නවයුගා කුඩාකළ සිටම පෙම්බැන්ඳේ සිනමාවටය ඇගේ පියා වී.එම්. කුගරාජාය. ඔහු සිනමා අධ්‍යක්ෂවරයෙකු මෙන්ම ලේඛකයෙකුද වන්නේය. නවයුගාගේ එකම අධිෂ්ඨානය වී තිබුණේ හොඳීන් ඉගෙන සිනමා අධ්‍යක්ෂණයට යොමු වීමටය. එහෙත් ඇය රංගනයටද උපන් හපන්කම් ඇත්තියකි. යුද ගිනිදැල් මැද, තිබූ බාධක ජය ගනිමින් පැමිණි ඇය අද සිනමා අධ්‍යක්ෂවරියක මෙන්ම රංගන ශිල්පිනියකද වන්නීය. කුරිරු යුද්ධයකට බියවී සැඟව යනවා වෙනුවට සිතට දිරිය ගත් ඇය සිනමාව තම දිවිය කරගත්තාය. ඇගේ කුලුඳුල් සිනමා සිත්තම පිළිබඳ කතා කරන්නට පසුගිය දිනෙක නවයුගා කුගරාජා සරසවිය හමුවට පැමිණියාය.

සිනමා අධ්‍යක්ෂවරියක වීම මගේ පියාගේ සිහිනයක් සැබෑ කිරීමක්. ඔහු වී.එම්. කුගරාජා. ඔහු චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වගේම ලේඛකයෙක්. ඒ නිසා ඒ ආභාසය මට කුඩාකල සිට තිබුණා. අපි ජීවත් වුණේ යුද වාතාවරණයක් තිබුණ පසුබිමක. මම ඉපදුණේ යාපනයේ නෙල්ලප්පලෙයි ග්‍රාමයේ. ඉගෙන ගත්තේ යාපනයේ රාමනාදන් කොලේජ් එකේ. මම කුඩා කාලේ පටන් ලිවීමට දක්ෂයි. එය මට පරම්පරාවෙන් උරුම වූ දෙයක් ලෙසයි මා දකින්නේ. මම පුංචි කාලේ පටන් කවි ලිව්වා. ඒවා මම එකතු කරගෙන තියා ගත්තා. කවදා හෝ කවි පොතක් කරනවා කියන අදහසින්. පාසලේදී කවි ලියලා ඒ වෙනුවෙන් ජයග්‍රහණ පවා හිමිකර ගත්තා.

1993 දී යුද්ධය නිසා වව්නියාවේ පදිංචියට ආවා. ඉගෙනීම් කටයුතු සඳහා වව්නියාව කොන්වන්ට් එකට ඇතුළත් වුණා. උසස් පෙළ සමත් වෙලා වව්නියාවේ විද්‍යා පීඨයට ( National College of Education ) ඇතුළත් වීමට වරම් ලැබුවා. එහිදී උපාධිය ලබා ගුරුවරියක් වශයෙන් පත්වීමක් ලැබුවා. මම ඉගැන්වූයේ තොරතුරු තාක්ෂණය විෂය්ස් (IT). එහෙත් මගේ ඇගේ තිබුණේ කලාව. මම පාසල් කාලයේ නාට්‍ය පිටපත් රචනා කළා. රඟපෑවා. මම ගුරුපත්වීම ලබා වත්තල ශාන්ත අන්තෝනි විද්‍යාලයේ ඉගැන්වීම් කටයුතු කළා. මම මට ලැබුණු වේතනය එකතු කරල කවි පොතක් එළි දැක්වූවා. එය කුඩා කාලේ එකතු කරපු කවි ටිකේ එකතුවක්. ඉගැන්වීම් කටයුතු කරන අතරේ මම සිනමා කර්මාන්තයට සම්බන්ධ වෙලා වැඩ කළා.

යුද්ධය පැවති සමයේ අපිට සිනමාවක් තිබෙනවා කියල එතරම් දැනුණේ නැහැ. අපිට බලන්න ලැබුණේ විදේශයකින් ගෙන්වන ලද චිත්‍රපටයක් පමණයි. මගේ මව්පියන් මාව යොමු කළේ ඉගැන්වීම් කටයුතු වලට . මම එයාලගේ බලාපොරොත්තු ඉෂ්ට කළා. එනිසා මම හිතුවා දැන් මගේ බලාපොරොත්තුව ඉෂ්ට කරගත යුතු බව. යුද්ධය කාලේ අපි හිතුවේ කොළඹ ආවොත් අපිට කුමක් හෝ දෙයක් කරගන්න පුළුවන් කියලා. 2009 දී රටේ පැවති යුද්ධය නිමාවුණා. ඉන්පසු මට සිනමාව ගැන තිබූ උනන්දුව තව තවත් වැඩි වුණා. අපිට සිනමාවක් තිබෙනවා කියල දැනුණේ යුද්ධය නිම වූ පසුවයි.

සිනමා අධ්‍යක්ෂණයට පිවිසෙන්න කලින් මම රංගන ශිල්පිනියක්. මම චිත්‍රපට කිහිපයකත් රඟපාල තිබෙනවා. 2018 දී තිරගත වූ කෝමාලී කිග්ස් චිත්‍රපටයේ මම රඟපෑවා. මට රංගනයට හැකියාව තිබුණත් මට ලැබුණු ඇතැම් චරිත පිළිබඳ එතරම් පැහැදීමක් තිබුණේ නැහැ. සමහර අධ්‍යක්ෂවරු චිත්‍රපට නිර්මාණය කරනවා යුද්ධය තේමා කරගනිමින්. එහෙත් එහි සැබෑ ස්වරූපය , සැබෑ සත්‍ය දන්නේ යුද්ධයක් සමඟ ජීවත්වූ අය පමණයි. මම යුද්ධය පැවති කාලයේ යාපනයේ ජීවත් වූ තරුණියක් විදිහට මට කියන්න කතා බොහෝමයක් තියෙනවා. ඒවා සමාජයට දැන්විය යුතුයි කියලා මට හිතුණා. එය මගේ යුතුකමක් සහ වගකීමක් ලෙසයි මා සිතුවේ. මට හොඳට ලියන්නත් පුළුවන්. ඒ නිසා තමයි රංගනය පැත්තට වඩා මම අධ්‍යක්ෂණය තෝරා ගත්තේ.

මම මුලින්ම අධ්‍යක්ෂණය කළේ ‘ ‘ පොට්ටු ‘ නම් වූ කෙටි චිත්‍රපටය. එම චිත්‍රපටය සම්මානයටත් පාත්‍ර වුණා. අන්තර් ජාතික සම්මානත් ලැබුණා. Colombo women film festival සම්මාන හිමිවුණා. එය තමයි මෙවැනි චිත්‍රපටයක් කිරීමට මාවතක් එළිපෙහෙළි වුණේ. මගේ සමීපතම හිතවතෙක් වූ සුන්දරේෂන් අයියා මගෙ කෙටි චිත්‍රපට බලල කියූ දෙයකින් තමයි අද මම සිනමා අධ්‍යක්ෂකවරියක් වුණේ.

” නවා go for a feature ”

ඔහුගේ ඒ කියූ දෙයින් මම එය කරනවාය කියන සිතුවිල්ල සිතේ ධාරණය කරගත්තා. ඔහුගේ වචන මට ආශීර්වාදයත් වුණා.

Bommai ( An Island Story ) මගේ කුලුඳුල් අධ්‍යක්ෂණය බිහි වෙන්න සුන්දරේෂන් අයියා එදා කියපු දේත් ඉවහල් වුණා. ඕධථථචඪ චිත්‍රපටයෙන් කතා කෙරෙන්නේ මේ මහ පොළොවේ යුද්ධයෙන් පසු සිදුවූ සත්‍ය කතාවල එකතුවක් ගැනයි. එම කතා එකතුවේ වකවානු දෙකක් ගැන කියැවෙනවා. චිත්‍රපටයේ වැඩි විස්තර කියන්නට උවමනා නැහැ කියලයි මට හිතෙන්නේ. එසේ කතාවම මෙහි සඳහන් කළොත් එහි රසය නැති වෙනවා. චිත්‍රපටය ඔබ නැරඹුවොත් එය දැනගන්නට පුළුවන්.

Bommai චිත්‍රපටය ඉංග්‍රීසි උපසිරස සහිතයි. චිත්‍රපටයේ සැබෑ ස්වරූපයට හානියක් වෙයි සිතා හඬ කැවීමක් කළේ නැහැ. මෙය දෙමළ චිත්‍රපටයක් වුවත් අපේ සිංහල හිතවතුන් මෙය නරඹා තේරුම් ගනිවී. මම හිතනවා සිංහල ප්‍රේක්ෂකයා මෙයට කැමති වෙයි කියලා.

මට මේ චිත්‍රපටයේ වැඩ කටයුතු කරන්න වුණේ අරගලයක් පැවති වාතාවරණයක. අපි චිත්‍රපටයේ පෙර නිෂ්පාදන සහ පුහුණුවීම් කටයුතු කරල තිබුණත් රූගත කිරීම් වෙනත් ප්‍රශ්ණ මතුවුණා. අරගල කාලයක නිසා ගෑස් පෝලිම්වල ඉන්න වුණා. එහෙත් අපේ නිෂ්පාදන කණ්ඩායමේ හැමෝම එකතු වෙලා දරළිප් වලත් ආහාර පිසුවා. ඇතැම් අවස්ථාවල ලොකේෂන් සොයා ගෙන කිලෝමීටර් හතරක් පහක් පයින් යන්න සිදුවුණා. මම මුහුණ දුන් තවත් ප්‍රශ්ණයක් වුණේ භාෂා ප්‍රශ්නය. සමහර අයට දෙමළ භාෂාව බැහැ. ඒ නිසා එකිනෙකා අතර සන්නිවේදන කටයුතු සිදු කරන්න වුණේ මට. කුමන බාධක පැමිණියත් රූගත කිරීම් සාර්ථකව සිදුකළා. මම හිතනවා ඒ Bommai සියල්ල හොඳීන් නිරාකරණය කරගන්න පුළුවන් වුණේ මම කාන්තාවක් නිසා.

සිනමාවට කාන්තාවන්ගේ දායකත්වය තිබෙන්නේ සුළු වශයෙන්. සිංහල සිනමාවේ වගේම ද්‍රවිඩ සිනමාවේත් එසේමයි. කාන්තාවන් වැඩි වශයෙන් සිනමාවට අවතීර්ණ විය යුතුයි කියලයි මා සිතන්නේ. සිනමාවට පුරුෂ පක්ෂයේ දායකත්වය වැඩියි. සිනමාවට පමණක් නෙවෙයි ඕනෑම ක්ෂේත්‍රයක එසේමයි. පුරුෂ පක්ෂය බොහෝ දුරට සිනමා නිර්මාණකරණයේ යෙදෙන්නේ ඔවුන් ගේ තීරණ, අදහස් සහ ඔවුන්ගේ සිතුවිලි අනුව පමණයි. එහෙත් කාන්තාවන් ලෝකය දෙස බලන ආකාරය වෙනස්. ඔවුන් දකින කෝණය වෙනස්. කාන්තාවන් සිතන පතන ආකාරයත් වෙනස්. ඔවුන්ගේ නිර්මාණ හැකියාවේ අමුතුම හැඩයක් තිබෙනවා. කාන්තාවන් සිනමාවට සම්බන්ධ වී තිරය මත මවන කතා හේතුවෙන් සිනමාව මීට වඩා අති සුන්දර වෙයි.

මම ලංකාවේ වගේම ඉන්දියානු සිනමාවේත් වැඩ කරනවා. මගේ චිත්‍රපටය සඳහා ඉන්දියාවේ සිටින මගේ සිනමා සඟයන් විශාල සහයෝගයක් ලබා දුන්නා. ඔවුන් චිත්‍රපටයේ කටයුතු සඳහා අයකළ යුතු නියමිත මුදලවත් ගත්තේ නැහැ මගෙන්. ඔවුන් පුදුමයට පත්වුණා මා ගැන. යුද්ධයක් සමඟ ජීවත් වූ දෙමළ ගැහැණු ළමයෙක් මෙවැනි චිත්‍රපටයක් කිරීම ගැන. ඔවුන් මට ලබා දුන් ප්‍රතිචාර ඉහළයි. ඒ වගේම ඕධථථචඪ කතාවට ඔවුන් කැමතියි.

ඉන්දියානු සිනමාවත් සමඟ මම වැඩ කටයුතු කරන නිසා එහි තත්ත්වය හොඳීන් දන්නවා. ඉන්දියානු සිනමාව කරගෙන යන්නේ කර්මාන්තයක් විදිහට. එහෙත් අපේ ලාංකික සිනමාව කර්මාන්තයක් බවට තවම පත්වී නැහැ. සිනමාකරණයේ යෙදෙනවා නම් අපි බහුකාර්ය විය යුතුයි. සිනමාවේ සෑම පැති කඩක් ගැනම අප තුළ දැනුමක් තිබිය යුතුයි. මම තව විශේෂ දෙයක් දකිනවා. එකම පිරිසක් පමණයි නිර්මාණ කරන්නේ. එසේ වියයුතු නැහැ. සිනමාවට කැමති, ඒ ගැන උනන්දුවක් දක්වන අයට සිනමාවට පිවිසෙන්න අවස්ථා සලසා දිය යුතුයි. එකම පිරිසක් ක්ෂේත්‍රයේ සිටින විට බිහිවෙන නිර්මාණත් එක වගේ. විවිධ වර්ගයේ නිර්මාණකරුවන් සිනමාවට අවශ්‍යයි. සිනමා නිර්මාණ සාර්ථක වෙන්නේ. මම කැමතියි ද්‍රවිඩ නළු නිළියන් වගේම සිංහල නළු නිළියන්වත් අපේ චිත්‍රපටවලට එක්කර ගන්න. අති දක්ෂ ශිල්පීන් සිංහල සිනමාවේ ඉන්නවා. නළු නිළියන් පමණක් නෙවෙයි සිනමාවේ සෑම අංශයකම දස්කම් දක්වන අය දෙමළ සහ සිංහල සිනමාවේ ඉන්නවා. අපේ රටේ තරම් සිනමාවේ දස්කම් පාන ශිල්පීන් වෙන කොහේවත් නැහැ. මේ සමඟිය අප අතර තිබිය යුතුයි. එයට කදිම සධකයක් සිනමාව.

ලංකාව කියන්නේ අවුරුදු ගණනාවක් තිස්සේ යුද්ධයක් පැවති රටක්. අපි සිටියේ එකම රටේ වුවත් හිතට නිතර දැනුණේ රටවල් දෙකක ඉන්නවා වගේ. කොළඹට එන එකත් හීනයක් වෙලා තිබුණේ. අපිට එන්න අවසර ලැබුණේ වව්නියාවට පමණයි. ඒ අත‍රතුරත් ආරක්ෂක කපොලු දහයක් පමණ තිබුණා. ඒත් දැන් එවැනි වාතාවරණයක් නැති නිසා රටේ ඕනෑම තැනක යන්න පුළුවන්. අපි කොළඹට එන්න ඕන. ඒ සමාජය සමඟ ගැවසෙන්න ඕන . ඒ වගේම උතුරේ මිනිස්සුන්වත් ආශ්‍රය කරන්න වටපිටාව සකසා ගත යුතුයි. එය හොඳීන්ම කරන්න පුළුවන් කලාවට. සංහිඳීයාවට හොඳම සාධකය කලාව. කලාව කියන්නේ ගැඹුරින් අධ්‍යයනය කරමින් සෙමෙන් කළ යුතු දෙයක්. උතුරේ නිෂ්පාදනය වන චිත්‍රපට සිංහල අයත්, සිංහල චිත්‍රපට දෙමළ අයත් නැරඹිය යුතුයි. ඒ කටයුත්ත වෙනුවෙන් සිනමාකරුවන් විදිහට අපි යමක් කළ යුතුයි. සමඟිය, සංහිඳීයාව ඇති කරන්න හැකි ප්‍රබලම මාධ්‍ය සිනමාව.

කාන්තාවක් විදිහට ඒ කටයුත්ත ඉටුකරන්න මම බලාපොරොත්තු වෙනවා. Bommai මගේ ප්‍රථම චිත්‍රපටය. ඒ වෙනුවෙන් එයට සම්බන්ධ වූ හැමෝම කැපවුණා. චිත්‍රපටයේ අධ්‍යක්ෂණය වගේම ප්‍රධාන චරිතයකුත් මම රඟපෑවා. යශෝධා රසඳුනි රංගන ශිල්පිනිය සමඟ. ඇය ගැනත් යමක් කිව යුතුයි. ඇය දක්ෂ රංගන ශිල්පිනියක්. යශෝධා රසඳුනී හැරෙන්නට ඒ චරිතයට ගැළපෙන චරිතයක් සිටියේ නැහැ මට.

පසුගිය 18 වෙනිදා සිට Bommai චිත්‍රපටය තිරගත වීම ඇරඹුණා. මංගල දර්ශනය පසුගියදා කොළඹ One Gallface PVR හිදී පැවැත්වුණා. ඒ වගේම යාපනයේදීත් විශේෂ දර්ශනයක් පැවැත්වූවා. එම වාර දෙකේදීම ලැබුණ ප්‍රතිචාර ඉහළයි.

මගේ කුලුඳුල් චිත්‍රපටයට හොඳ ප්‍රචාරයක් මාධ්‍ය මඟින් ලබා දුන්නා. එයට මම ස්තූතිවන්ත වෙනවා. කාන්තාවන්ට කියන්න කතාන්දර ගොඩාක් තිබෙන බව මම ඉහතදීත් සඳහන් කළා. ඒ වගේ තවත් ලස්සන කතා සිනමා තිරයේ මවන්නට මම ඉදිරියේදීත් බලාපොරොත්තු වෙනවා.

 

[email protected]

නයනාංජලි දෙහිපිටිය

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT