Home » ජ්‍යේෂ්ඨයන් සමඟ ගැවසෙන්න මම හරි ප්‍රියයි, කෑදරයි

ජ්‍යේෂ්ඨයන් සමඟ ගැවසෙන්න මම හරි ප්‍රියයි, කෑදරයි

රංගන ශිල්පී චින්තක වාස්

by Thanushika
March 20, 2025 11:56 am 0 comment

වත්මන් සිනමාවේ සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ රඟන නළුවන් බොහෝය. ඇතැම් අය චරිතයට අනුගතවී රඟන්නේ නැත. ඔවුන් රඟන්නේ රංගනය යනු කුමක්දැයිවත් නොදැනය. රූපය, කඩවසම්බව රංගනයට එකම සුදුසුකම යැයි ඔවුහු සිතා සිටිති. එහෙත් රඟපෑම පිළිබඳ නිසි පුහුණුවක්, අධ්‍යයනයක් තිබිය යුතුයැයි ඔවුහු නොසිතති. නළුවෙක් වූ පමණින් ලැබෙන සෑම චරිතයකටම අනුගතවීමට අසීරුය. විශේෂයෙන් චරිතාංග රංගන ශිල්පියෙක් වීමට ඔහු සතුව රංගනය පිළිබඳව මනා පුහුණුවක් තිබිය යුතුය. දක්ෂතාවයක් තිබිය යුතුය. අතීතයේ විසූ විශිෂ්ට කලාකරුවන්ගේ හැකියාව දායදයක් ලෙස උරුම කරගත් දූ දරු පරපුරක්ද සිනමාවේ, ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයෙහි දස්කම් දක්වමින් සිටී. තම මව්පියන් කලාකරුවන් වූ පමණින් ඒ අඩිපාරේ ඇවිද නොගිය දරුවන්ද බොහෝ ඇත. ඒ අතරින් චින්තක වාස් රංගන හැකියාව උපතින්ම තුරුලු කරගනිමින් ක්ෂේත්‍රයට පිවිසි චරිතයකි. මෙතරම් කලක් ඔහු ක්ෂේත්‍රයේ රැඳී සිටින්නේ ඔහුගේ පියා රංගවේදියෙක් වූ නිසාම නොවේ. ඔහු සතුව සැබෑ දක්ෂතාවයක්, හැකියාවක් තිබීම නිසාය. මේ දිනවල විකාශය වන රොන් සොයා ටෙලි නාට්‍යයේත්, පසුගිය දා තිරගත වීම ඇරඹූ අයිස් ක්‍රීම් චිත්‍රපටයේත් චින්තක වාස්ගේ දස්කම් දැකගත හැක. ඔහුගේ නවතම කලා තොරතුරු පාඨකයන්, ප්‍රේක්ෂකයන් සහ රසිකයින් අතර බෙදාහදා ගැනීමට ඔහු මෙවර සරසවිය සමඟින් එක්විය.

මම මේ දිනවල ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ නිවන්ත ප්‍රසාරගේ නවතම ටෙලි නිර්මාණයේ රූගත කිරීම් සඳහා සහභාගී වෙමින් සිටින්නේ. එය මෙගා ටෙලි නාට්‍යයක්. “රොන් සොයා” කියන්නේ වෙනස්ම ආකාරයක මෙගා වැඩක්. මට මින් පෙර නිවන්තව මුණගැසී නැහැ. එහෙත් ඔහුගේ කලින් නිර්මාණ මම නරඹලා තිබුණා. විශේෂයෙන් රැල්ල වෙරළට ආදරෙයි ටෙලි නිර්මාණයත් වෙනත් මෙගා නාට්‍ය වගේ නෙවෙයි. ඔහු හරි අපූරුවට නිර්මාණවල යෙදෙන කෙනෙක්. රැල්ල වෙරළට ආදරෙයි හි රඟපෑ සහෝදර ශිල්පීන්ගෙන් මම නිවන්ත ගැන අසා තිබුණා. ඒ නිසා වැඩිපුර නොසිතා මම රොන් සොයා බාර ගත්තා. මම මෙගා නාට්‍යවල පෙනී නොසිටින තරම්. එහෙත් නිවන්ත අධ්‍යක්ෂණය කරන ආකාරය දුටුවහම රොන් සොයා වෙනස් ගමනක් යන මෙගා ටෙලිනාට්‍යක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඔහු දිනකට දර්ශන හයක් හෝ අටක් වැනි ප්‍රමාණයක් තමයි රූගත කරන්නේ. චරිත පිළිබද හොඳ අවබෝධයක් ඔහුට තියෙනවා. එක් දර්ශනයකට දිගු වේලාවක් ගන්නවා. මෙගා නාට්‍ය කලාවට වෙනස් ආලෝකයක් ලැබෙනවා රොන් සොයා නිසා.

රොන් සොයා ටෙලි නාට්‍යයේ රෙදි මෝලේ විජේ කියන චරිතය තමයි මට ලැබී තිබෙන්නේ. ඔහු පාතාලයට සම්බන්ධ චණ්ඩියෙක් වුවත් සංවේදී දුෂ්ටයෙක්. අනුන්ගේ දේ කොල්ල කාලා, මිනිසුන් මරල වීරයෙක් වෙන්න උත්සාහ කරන චරිතයක් නෙවෙයි. විජේ ඉන්දියානු චිත්‍රපට ලෝලියෙක්. ඔහු සැබෑ ජීවිතයේත් හැසිරෙන්නේ ඉන්දියාවේ විජේ සේදුපති වගේ. රෙදි මෝලෙ විජේ සමාජයට ප්‍රිය වූ දුෂ්ටයෙක්.

රොන් සොයා පිටපත සිනමා සහ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ අරුණ ජයවර්ධනගේ. නිවන්තගේ අදහසුත් මෙයට මුසුවෙලා තියෙනවා. රොන් සොයා වයස් භේදයකින් තොරව කාටත් නැරැඹිය හැකි විදිහට විකාශය වන ටෙලි නාට්‍යයක්. බොහෝ දෙනෙක් අසන ප්‍රශ්නයක් තියෙනවා. එයටත් මේ අවස්ථාවේ පිළිතුරු දිය යුතුයි. රොන් සොයා කියන්නේ දෙමළ හෝ මලයාලම් කොපියක් නෙවෙයි. නමුත් එහි සෙවණැල්ල වැටිලා තියෙනවා. දෙමළ, මලයාලම් අභාසය රොන් සොයාහි ගැබ් වී තිබෙනවා. චරිතවල ස්වරූපය, ඔවුන්ගේ ඇඳුම් පැලඳුම්වල පෙනුමෙහි දෙමළ මලයාලම් ආභාසයක් තිබෙන බව කිව යුතුයි. උදාහරණයක් විදිහට පෙන්වා දියහැකියි රෙදි මෝලේ විජේගේ පෙනුම සහ ඔහු ඇඳගෙන සිටින ඇඳුම. විජේට රඟපාන මම එහි ඇඳීන්නේ දෙමළ , මලයාලම් පිරිමින් අඳීන විදිහට. මම ඉහතින් සඳහාත් කළාවගේ රොන් සොයා කොපියක් නෙවෙයි. නමුත් එහි එන සංගීතය, සංස්කරණය ඉන්දියානු සංගීතයට සංස්කරණයට නැඹුරුවක් තිබෙනවා.

විශේෂයෙන් රොන් සොයා නාට්‍යයේ මා දුටු විශේෂත්වය වන්නේ රූගත කිරීම් සඳහා යොදාගත් දර්ශනතල. අපි බොහෝ දුරට දකින්නේ ගෘහස්ථ දර්ශන. නිවසකට, කාමරයකට, කොටු වෙලා. එහෙත් රොන් සොයා එයින් බැහැර වෙලා තියෙනවා. මෙහි රූගත කිරීම් බොහෝමයක් එළිමහන් දර්ශන. ඒ නිසා ප්‍රේක්ෂකයාත් බිත්ති හතරකට කොටු කර නැහැ. අවට පරිසරය සමඟ ප්‍රේක්ෂකයන්ව සමීප කරගැනීමට අධ්‍යක්ෂකවරයා සමත් වී තිබෙනවා.

රොන් සොයා රූගත කිරීම් කරන්නේ කොළඹ ජනාකීර්ණ ප්‍රදේශයක් වන ආමර් වීදිය අවට සහ රෙදි මෝල වත්ත කියන ප්‍රදේශයේ. එම ප්‍රදේශයේ විවිධ ජාතීන් විවිධ ආගම් අදහන ජනතාව ජීවත් වෙනවා. රූගත කිරීම් වලට ඔවුන්ගෙන් කිසිම බාධාවක් නැහැ. ඔවුන් ඉතා හොඳ අවබෝධයකින් ඉන්නේ. කුමන ජාතියේ වුවත් කුමන ආගමක වුවත් ඔවුන් එකාමෙන් සහය දෙනවා රොන් සොයා කණ්ඩායමයට. මම මින් පෙර එහෙම සහයෝගයක් දෙන පිරිසක් දැකල නැහැ.

අදවන විට රූපවාහිනී නාලිකාවල වැඩිවශයෙන් විකාශය වන්නේ මෙගා නාට්‍ය. ඒවා කොටස් සිය ගණනකින් යුක්තයි. මට මේ ක්ෂේත්‍රයේ අවුරුදු විස්සක පමණ පළපුරුද්දක් තියෙනවා. මම මුලින්ම සඳහන් කළා මා මෙගා නාට්‍යවලට සම්බන්ධ වුණේ නැති තරම් කියලා. එයට හේතු තිබෙනවා. සමහර මෙගා ටෙලිනාට්‍ය මුලදී ඉතාම සාර්ථක විදිහට පටන් ගන්නවා. කොටස් දහයක් පහළොවක් පමණ විකාශය වනවිට පිටපත් රචකයා මාරු වෙනවා. ඉන්පසු ලියන්නේ වෙනත් කෙනෙක්. ඔවුන් දෙදෙනා අතර සම්බන්ධකමක් නැති වෙන්න පුළුවන්. විරසක වෙන්න පුළුවන්. එවිට පිටපතත් වෙනස් වෙනවා. එයින් හානිය අසාධාරණය සිදු වෙන්නේ නිර්මාණයට. එවිට ප්‍රේක්ෂකයන් ටෙලිනාට්‍ය නැරඹීමෙන් ඈත් වෙනවා. එවැනි අවස්ථා ඕනෑතරම් සිදුවෙලා තියෙනවා. රොන් සොයා නාට්‍යයත් කොටස් සිය ගණනකින් සමන්විත වෙයි. නමුත් ඒ කතාව රිද්මයකට අනුව ගලාගෙන යයි කියල මා තුළ විශ්වාසයක් තියෙනවා.

චින්තක වාස් අත්දැකීම් බහුල ශිල්පියෙක්. ලැබෙන චරිතය, දිගු කාල පරාසයක විහිදී යනවා දැයි ඔහුට අදාළ නැත. තප්පර ගණනකට සීමා වූ චරිතයකට වුවත් මැනෙවින් සාධාරණය ඉටු කිරීමට ඔහු සූදානම්. ඔහු මේ වනවිට සම්මානනීය රංගන ශිල්පියෙක්. පසුගිය සරසවිය සිනමා සම්මාන උළලේදී විශේෂ කුසලතා සම්මානයකින් පිදුම් ලැබීමට ඔහු සමත්විය. එහෙත් එම සම්මානය එදින වේදිකාවට නැඟ සම්මානය ඔහුගේ දෝතට තුරුලු කරගැනීමට ඔහුට නොහැකි විය. ඒ පිළිබද ඔහු පැවසුවේ මෙවන් දෙයකි.

එදා සම්මාන උ ළෙලට පැමිණීමට නොහැකි වුණේ සම්මාන උළෙලකට සහභාගීවීමට ඇති අකමැත්ත නිසා නෙවෙයි. මම කැමතියි සහභාගී වෙන්න.නළුවෙක්ට එය උත්තේජනයක්.මට එම සම්මානය ලැබී තිබුණේ නිවුස් පේපර් චිත්‍රපටය වෙනුවෙන්. එම චිත්‍රපටයට සම්බන්ධ කර ගනීද්දී මාව ඒ සඳහා එතරම් සූදානම් කිරීමක් කළේ නැහැ. බන්ධනාගාරය ඇතුළත දර්ශනයේදී මට දෙබස් සහිත කොළයක් ලැබුණා පමණයි. ඒ අනුව මම මගේ චරිතය කළා. මගේ කොටස එක් දිනකින් රූගත කිරීමත් අවසන් කළා. පොඩි කොටසක් රඟපාපු මට සම්මානයක් හිමි වෙයි කියල හිතුවේ නැහැ. එදා දිනය මම අදහන ආගමට අනුව විශේෂ දවසක්. ඒ හේතුව නිසා තමයි මම නොපැමිණියේ.

මට සිනමාවේදී ලැබෙන්නේ දුෂ්ට දාමරික චරිත. 2024 වසරේදි මා රඟපෑ මන්දාරා චිත්‍රපටය තිරගත වුණා. එහිත් මට හිමි වුණේ දුෂ්ට කපටියෙක්ගේ චරිතයක්. මාව එවැනි චරිත වලට කොටු වෙලා. මුලින්ම එවැනි චරිත රඟපෑ විට අධ්‍යක්ෂකවරු තමාගේ චිත්‍රපටය සඳහා තෝරා ගන්නෙත් එවැනිම චරිතයකට. ජැක්සන් ඇන්තනී රංගවේදියා මාව තෝරාගත්තේ චරිතයකට. ඝරසර්ප චිත්‍රපටයට. මේ වෙලාවේ විශේෂයෙන් මතක් කළ යුතුයි එඩ්වඩ් ජයකොඩි සහ චරිතා ප්‍රියදර්ශනී යුවළ. ඔවුන් තමයි මාව ඒ සඳහා හඳුන්වා දී තිබුණේ. ඝරසර්ප චිත්‍රපටයේ මට රඟපාන්න තිබුණේ පොඩි කොටසක. මානසික රෝගියෙක්ගේ චරිතයකට. එහි දෙබස් තිබුණේ නැනැ. එවැනි චරිතත් කලාතුරකින් ලැබෙනවා. එහෙත් බහුතරයක් මාව තෝරාන්නේ දුෂ්ටයාට. සිනමාවේදී වෙනස්ම වූ චරිතයන්ට පණ පොවන්න කෑදරකමකින් ඉන්නවා. ඒත් එවැනි අවස්ථා තවම ලැබී නැහැ.

චින්තක වාස් අවුරුදු විස්සක පමණ සිට රංගනයේ යෙදී සිටින ශිල්පියෙක්. සිනමාව සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය පිළිබද අත්දැකීම් ඇති ශිල්පියෙක්. එවන් පසුබිමක අධ්‍යක්ෂණය දෙසට යොමු නොවන්නේ මන්දැයි ඇසූ පැනයට ඔහුගේ පිළිතුර මෙයයි.

ඔව් මට රඟපෑම පිළිබද අවුරුදු විස්සක පමණ පළපුරුද්දක් තියෙනවා. එහෙත් අධ්‍යක්ෂණය කියන්නේ පුළුල් විෂයයක්. දැවැන්ත වපසරියකට විහිදෙන විෂයයක්. වර්තමානයේ ඉන්නවා දක්ෂ අධ්‍යක්ෂවරු සහ කැමරා ශිල්පීන්. දක්ෂ අධ්‍යක්ෂවරයෙක්ට එවැනිම දක්ෂ කැමරා අධ්‍යක්ෂවරයෙක් ලැබුණොත් ගේම් එක ප්ලේ කරන්න පුළුවන්. නැත්නම් නිර්මාණය අසාර්ථකයි. අධ්‍යක්ෂණයට මා සතු දැනුම අල්පයි. තව අවුරුදු ගණනාවක් මේ ක්ෂේත්‍රයේ රැඳී සිටියත් මම අධ්‍යක්ෂණය සඳහා යොමු වෙන්නේ නැහැ. ඇතැම් පිරිස් නිර්මාණ එකක දෙකක රඟපාල පසුව අධ්‍යක්ෂණය පැත්තට යොමුවෙලා ඉන්නවා. ඒත් අපි නිතරම තමා කරන කාර්යය ගැන අධ්‍යයනය කරමින් පුහුණු වෙමින් ඉදිරියට යා යුතුයි. රඟපෑ පමණින් සියල්ල සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ ගැන දැනුමක් තිබිය යුතුයි. අතීත නිර්මාණ නැරඹිය යුතුයි. ජ්‍යේෂඨයන් සමඟ අදහස් හුවමාරු කර ගනිමින් ඔවුන් සතු දැනුම ලබාගත යුතුයි.

රොන් සොයා නාට්‍යයේ ජගත් චමිල සහ කුමාර තිරිමාදුර රංගනයෙන් දායක වෙනවා. ඒත් රූගත කිරීම් වලදී මට තවම හමුවෙලා නැහැ.

ඔවුන් දෙදෙනා මට වඩා පරිණතයි. වයසින් නෙවෙයි ඔවුන් කළ නිර්මාණවලින්. එවැනි චරිත සමඟ ගැවසෙන්න මම ඉතා ප්‍රියයි. මහේන්ද්‍ර පෙරේරා, සරත් කොතලාවල වැනි ශිල්පීන් සමඟ වැඩ කරන විට මට අවශ්‍ය නිදහස් වේලාවට ඔවුන් සමඟ කතා කරන්න. ඔවුන්ගේ අත්දැකීම් බෙදාහදා ගන්න.

රොන් සොයා රූගත කිරීම්වලදී මට නව පරපුර මුණ ගැසෙනවා. ජ්‍යේෂඨයන් සමඟ ඇසුරු කිරීමෙන් රංගනය පිළිබද ඔවුන් සතු දැනුම ලබා ගන්න හැකියාව ලැබෙනවා. ඔවුන් සමඟ ගැවසෙන්න මම හරි ප්‍රියයි සහ කෑදරයි.

මේ අවස්ථාවේ තවත් විශේෂ දෙයක් කියන්න අවශ්‍යයි. නව පරපුර ගැන. මම මේ දේ කියන්නේ රඟපාන්න එන අලුත් දුවලා , පුතාලා, නංගිලා, මල්ලිලාට. ඔවුන්ට දෙන දෙබස කියනවා පමණයි. චරිතයට අනුගත වීමක් නැහැ. රූගත කිරීම්වලට පැමිණි වෙලාවේ සිට ඔවුන් ඉන්නේ ජංගම දුරකතනයත් සමඟ. චරිතය ගැන දැනුම්වත් වීමට ඔවුන්ට අවශ්‍ය නැහැ. ජ්‍යේෂඨයන්ගෙන් යමක් ඉගෙන ගන්නත් ඔවුන්ට අවශ්‍ය නැහැ.

අතීතයේ සිටි ශිල්පීන්ට සර්, මැඩම් කියල කතා කරන මට්ටමට ඔවුන් පත්වුණේ ඔවුන් දැනුමින්, රංගන හැකියාවෙන් සන්නද්ධ වී සිටි නිසා. දිනක් ප්‍රවීණ රංගන ශිල්පියෙක් වන ආනන්ද කුමාරඋන්නැහෑ මා ගාවට ඇවිත් මෙහෙම කිව්වා. “විල්සන්ට් වාස් සර්ගෙන් මම ඉගෙන ගෙන තියෙනවා”

මම පුදුම වුණා. ඒ ඔවුන්ගේ උනන්දුව. අද පරපුරට ජ්‍යේෂඨයන් දිහා බලාගෙන ඉඳලවත් ඉගෙන ගන්න උවනමානවක් නැහැ.

රූගත කිරීම්වලදී මට නිදහසක් ලැබුණ විගස මම කරන්නේ ජ්‍යේෂඨයන් රඟපානවනම් ඒ දෙස බලාගෙන ඉන්න එක. නිළියක්ද වුවත් මට ප්‍රශ්නයක් නැහැ. එයාල රංගනයේ යෙදෙන්නේ කොහොමද කියන එක මම නිරීක්ෂණය කරනවා. රඟපෑමේදී මුල,මැද, අග ඔවුන් හැසිරෙන්නේ කොහොමද චරිතයට කරන කැපකිරීම ඔවුන්ගේ අභිනයන් කෙසේද කියන දේ ගැන මම උනන්දු වෙනවා. අතීතයේ ජ්‍යේෂඨ, ප්‍රවිණ රංගවේදින්ට ජනතාවගේ ගරු බුහුමන් හිමි වුණේ ඔවුන් තමන් කරන වෘත්තිය නිසියාකාරව කළ නිසා. අදවන විට නළු නිළියන්ට එතරම් ගරු කිරීමක් නැත්තේ ඔවුන්ගේම ක්‍රියා කලාපය නිසා.

එහෙත් ඉන්දියාවේ තවමත් නළු නිළියන්ට ගරු කරනවා. අධ්‍යක්ෂවරයා පවා ඒ දේ කරනවා. නළුවෙක් හෝ නිළියකට ඔවුන් හිඳගෙන සිටින ආසනය පිරිනමන්න වුවත් ඔවුන් මැළි වෙන්නේ නැහැ. ඉන්දියාවේ ප්‍රේක්ෂකයන්, රසිකයන් නළු නිළියන්ට සලකන්නේ දේවත්වයෙන්. ක්ෂේත්‍රයේ රැඳී සිටින්න නම් දැනුම ලබා ගැනීම අවශ්‍යයි. පරණ නිර්මාණ නැරැඹිය යුතුයි. නව පරපුරේ ඇතැම් අය සතර අභිනයවත් දන්නේ නැහැ. ඇතැම් රූපවාහිනී වැඩසටහන්වල ඉන්න පූරකලා, පූර්විකාවන්වත් අතීත කලාශිල්පීන් ගැන දැනුමත් නැහැ. වැඩසටහනකට පැමිණීමට කලින් පෙර සූදානමක් නැහැ. අතීත කලාකරුවන් පිළිබද දැනුමත් නැහැ. මොනවා හරි දෙයක් කතා කරල හිනාවෙන එක තමයි ඔවුන් සිදුකරන්නේ. අපේ නිර්මාණ ගැන කතා කෙරෙන්නේ නැහැ. කාලය අපතේ යාම පමණයි සිදුවන්නේ. අද පූර්විකාවන් පූර්විකාරියන් බවට පත්වෙලා. නමුත් ඔවුන් මෙහෙය වන වැඩසටහන් මිලියන ගණන් උපයනවා.

මා ඉතා මැළිකමක් දක්වනවා චැට් වැඩසටහන් වලට සහභාගීවීමට. නමුත් අරුත්බර, ගුණාත්මක වැඩසටහනකට ආරාධනා ලැබුණොත් කොන්දේසි විරහිතව ඒ සඳහා සහභාගී වෙනවා.

චින්තක වාස්ගේ රඟපෑම මුසුවූ රසබර නවතම සිනමා සිත්තමක් පසුගියදා තිරගතවීම ආරම්භ විය. ඒ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ සහ රංගන ශිල්පියෙක් වු ප්‍රදීප් ධර්මදාසගේ කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණයෙන් රසවත් වූ අයිස්ක්‍රීම් චිත්‍රපටයයි. ඒ පිළිබඳව චින්තක වාස් තම අදහස් මුදාහැරියේ මෙසේය.

අයිස් ක්‍රීම් චිත්‍රපටයේ තිර රචනය කලණ ගුණසේකරගේ. ප්‍රදීප් ධර්මදාසගේ ප්‍රථම සිනමා අධ්‍යක්ෂණය. එය වෙනස්ම ආකාරයක රසයක් සහිත නිර්මාණයක්. මට එහි තිබුණේ ප්‍රවීණ රංගන ශිල්පිනියක් ව්න චමිලා පීරිස් සමඟ රඟපාන්න.ඇයව සිපගැනීමට උත්සාහ කරන දර්ශනයක් තිබුණේ. ඒ දර්ශනය කරද්දී පුංචි අපහසුතාවයකට පත්වුණා. විශේෂයෙන් අයිස් ක්‍රීම් චිත්‍රපටයේ වේශ නිරූපණය ගැන කතා කළයුතුයි. එහි විශේෂ චරිත කිහිපයක් අනුව හේමල්ව වෙස් ගැන්වෙනවා. ඒ දස්කම කළේ දක්ෂ වේශ නිරූපණ ශිල්පියෙක් වූ නාරද තොටගමුව්. අයිස් ක්‍රීම් චිත්‍රපටය නැරඹු වෝතින් ඔබටත් එහි වෙනස හඳුනාගැනීමට හැකිවේවි. එනිසා ඉක්මනින් ගිහින් දියවෙන්න කලින් අයිස් ක්‍රීම් නරඹා රස විඳීන්න කියලත් ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටිනවා.

චින්තක වාස් තම රැකියාව කරන්නේ ලේක්හවුස් ආයතනයේය. රැකියාවත් රංගනයත් සමබරව පවත්වාගෙන යන්නේ කෙසේදැයි නැඟූ ප්‍රශ්නයට ඔහු පිළිතුරු ලබා දුන්නේ ආයතනයෙන් තමාට ලැබෙන සහයෝගය ගැනද අගය කරමිනි.

රඟපෑම මගේ වෘත්තියට බාධාවක් කරගෙන නැහැ. ආයතනයෙන් අනවශ්‍ය විදිහට සහයෝගයක් ඉල්ලලත් නැහැ. මට ලැබී තිබෙන නිවාඩු දින වලින් මම කාලය කළමනාකරණය කර ගන්නවා. මගේ සහෝදර සේවක සේවිකාවන් මට සහයෝගය ලබා දෙනවා. ඒ වගේම විශේෂයෙන් සඳහන් කළ යුතුයි ආයතනයේ ඉහළ පාලනාධිකාරිය ගැන. ඔවුන්ගෙන් ලැබෙන සහය ඉතා අගය කළයුතුයි. මට ලොකු සහයොගයක් ලැබෙන්නේ මා ඔවුන් සමඟ ගනුදෙනු කරන ආකාරය නිසා. කා සමඟත් සුහදව කටයුතු කරන සරල කෙනෙක් මම. පොළොවේ පය ගසා ජිවත්වන කෙනෙක්. ඒනිසා කවුරුත් මගේ කටයුතුවලට උදව් කරනවා. ඒ සහයෝගයට මා මේ අවස්ථාවේ ස්තුතිවන්ත වෙනවා.

මේ දිනවල රොන්සොයා සහ තවත් අලුත් ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ ගයාන් කහවත්තගේ සැන්ඩි නාට්‍යයේ රූගත කිරීම්වලට සහභාගී වෙනවා. එය මාර්තු 15 දා සිට හිරු නාලිකාව ඔස්සේ විකාශය වෙනවා. සැන්ඩි , චාලක රණසූරිය අතින් ලියැවුණ අමුතු තාලයක කතාවක්.

සිනමාව පැත්තෙන් කපිල සූරියආරච්චිගේ අග්නික චිත්‍රපටයේ රූගත කිරීම් අවසන් කළා. පුබුදු චතුරංගගේ ‘ කුණා’ චිත්‍රපටයට සම්බන්ධ වුණා. එහි වැඩ අවසන්. වසන්ත කුමාරවිල අධ්‍යක්ෂණය කළ ශාන් ජයරත්න නිෂ්පාදනය කළ සෝනා ඉදිරියේදී තිරගත වීමට නියමිතයි.

මම කුමන නිර්මාණයකට සහභාගී වුවත් ඒ සහෝදර ශිල්පීන් සමඟ විනෝදයෙන් ගත කරනවා. විශේෂයෙන් රොන්සොයා කණඩායම උදේ වැඩ පටන්ගත් වෙලාවේ සිට සවස් වනතුරුම විනෝදයෙන් වැඩ කරනවා. හැම මොහොතක්ම රසවත්. විශේෂයෙන් මා සමඟ රඟපාන සහොදර ශිල්පීන් දෙදෙනා ගැනත් සඳහන් කළ යුතුයි. දර්ශන් තවරාජ් සහ අකලංක ප්‍රභාෂ්වර. ඔවුන් දෙදෙනා දක්ෂයන් දෙදෙනෙක්. දර්ශන් දෙමළ ජාතිකයෙක් ඉතාමත්ම නිහතමානී චරිතයක්. ඔහුට ඇතැම් වචන උච්චාරණය කිරීමට අපහසුයි. ඒ වෙලාවට ඔහු අපෙන් අහනවා. ඒ වගේම තමයි අකලංක ප්‍රභාෂ්වර ඔහු දක්ෂයෙක්. ඒ දෙදෙනා තමයි රොන්සොයා හි මගේ දෙපැත්තෙන් ඉන්නේ.

ඉතා රසබර කතාබහ අතරට චින්තක වාස්ගේ ආදරණීය පියාණන් පිළිබඳ සටහනක්ද තැබිය යුතුය. වින්සන්ට් වාස් යනු හෙළ සිනමාව රංගනයෙන් පෝෂණය කළ දැවැන්ත රංග පෞර්ෂයකින් හෙබි කලා ශිල්පියෙකි. ඔහු සිනමා නිර්මාණ හැත්තෑ පහකට ආසන්න ප්‍රමාණයක චරිත මවා ඇත. සිංහල සිනමාවට ඔහුගෙන් සිදුවූ අමිල මෙහෙයට අමතරව කලාවට වටිනා සම්පතක්ද දායාද කර දී ඇත. ඒ චින්තක වාස්ය. සරසවිය පිළිසඳර නිමාවන මොහොතේ ඔහුගේ මුවින් පිටවූ මේ අපූරු වදන් මෙසේ සටහන් කළ යුතුයි.

මට ඉන්නේ දියණියක් සහ පුතුන් දෙදෙනෙක්. ඔවුන් කලාවට සම්බන්ධ නැහැ. ඔවුන් තවමත් අධ්‍යාපන කටයුතුවල නිරත වෙනවා. කවදා හෝ ඔවුන්ට ගැළපෙන මාර්ගය ඔවුන් විසින්ම තෝරාගනීවි. මගේ පියා සිනමාවේ දක්ෂ රංගවේදියෙක්. මගේ පියාගේ හැකියාව මටත් පිහිටන්නට ඇති. එය මට විශාල අභිමානයක්.

එහෙත් මා නළුවෙක් වූ පමණින් මගේ දියණිය හෝ පුතුන් දෙදෙනා නළුවන් වියයුතු නැත.

සිංහල සිනමාවේ, ටෙලි නාට්‍යයේ දක්ෂ ලෙස චරිත මැවීමට හැකි චින්තක වාස්ව එකම රාමුවක කොටු කළ යුතුද? සුන්දර සුකුමාල නළුවන් අතර සිටින මනා පෞරුෂයකින් හෙබි ඔහුට ඕනෑම තරාතිරමක චරිතයකට පහසුවෙන් අනුගත වීමේ හැකියාව ඇතිබව කිවයුතුය.

සුසන්ත චින්තක වාස් ඔබට ජය!

[email protected]

නයනාංජලි දෙහිපිටිය

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT