Home » චිත්‍රපට‍ෙයන් පුළුවන් මිනිසාගේ ඔළුවට රිංගලා වෙනස් කරන්න

චිත්‍රපට‍ෙයන් පුළුවන් මිනිසාගේ ඔළුවට රිංගලා වෙනස් කරන්න

- ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සුදත් මහදිවුල්වැව

by Thanushika
May 16, 2024 12:30 am 0 comment

ලාංකේය සිනමාවට පායන නවතම සිනමා පටය වන්නේ සුදත් මහදිවුල්වැව අධ්‍යක්ෂණය කළ ‘My Red Comrade’ සිනමා පටයයි. මතුපිටින් බලන කළ මෙම චිත්‍රපටය සඳහා වාමාංශික දේශපාලන කතිකාවක් අන්තර්ගතය වී ඇති බව පෙනෙන මුත් ඉන් එහා ගිය මහා කතාවක් මෙහි ඇතුළාන්තය තුළින් කියවිය හැකි බව නොරහසක්. ලාංකේය සිනමා වංශය තුළ සුදත් මහදිවුල්වැව ඔහුටම ආවේණික වූ සිනමා ශෛලියක් හඳුන්වා දුන් පුද්ගලයෙක් වශයෙන් අප හඳුනා ගන්නේ ඔහුගේ මුල්ම සිනමා ආගමනය වන ‘සුදු කළු සහ අළු’ චිත්‍රපටය හරහාය. ඉන් පසු පුරා වසර 19ට පසු ඔහු ශ්‍රී ලාංකේය සිනමා ප්‍රේක්ෂකයන් වෙත රැගෙන එන ‘මයි රෙඩ් කොම්රේඩ්’ එදා ඔහු අපට ලබා දුන් නැවුම් සිනමා ආශ්වාදයේ තවත් පැතිකඩක් වේය යනු අපගේ විශ්වාසයයි. මෙවර අප ඔහු හමුවූයේ ඔහුගේ නවතම චිත්‍රපටය පිළිබඳවත්, ඔහුගේ නිර්මාණ ජීවිතය පිළිබඳත් වන කතා බහකටය.

පුරා අවුරුදු 19 ට පසු ඔබ නැවත සිනමාකරණයට එනවා. ඔබ එන්නේ අලුත් සිනමා කලාපයකට. සිනමාවේ බොහෝ දේවල් වෙනස් වෙලා. දැන් මොනවද ඔබට දැනෙන්නේ?

සමහර දේවල් වෙනස් වෙලා. ඒත් සිනමාවේ අර්බුද පරණ විදියමයි. මගේ අලුත් චිත්‍රපටය පෙන්නන්නේ චිත්‍රපට ශාලා 18ක විතරයි. හැබැයි අපි හිතමුකො මේ චිත්‍රපටය අනුරාධපුරය, ත්‍රිකුණාමලය, යාපනය වගේ ප්‍රදේශයක ඉන්න කෙනෙකුට බලන්න ඕන වෙනවා කියලා. නමුත් ඒ අයට බලන්න ක්‍රමයක් නෑ. මේ චිත්‍රපටය ඉතාම දියුණු තාක්ෂණික ක්‍රමවේදයකින් රූපගත කරපු චිත්‍රපටයක්. ඒ තාක්ෂණික මෙවලම් ප්‍රාදේශීය චිත්‍රපට ශාලාවලට තියනවද? අවුරුදු 19ට පස්සෙත් ඒ පරණ ප්‍රශ්නය ඒ විදියටම තියෙනවා. මොකද මගේ සුදු කළු සහ අළු චිත්‍රපටය තමයි පළවෙනි ඩොල්බි ඩිජිටල් චිත්‍රපටය. ඒ කාලෙත් ඒ චිත්‍රපටය පෙන්වන්න මේ රටේ සිනමා ශාලා ඒ විදියට යාවත්කාලීන වෙලා තිබුණේ නෑ. අපිට මේ අර්බුදය තේරුම් ගන්න හොඳම ක්‍රමයක් තමයි මේ එළඹිලා තියෙන්නේ. අපි මේ චිත්‍රපටය රූගත කරලා තියෙන්නේ 8k කියන තාක්ෂණයෙන්. වීදුරු කැලි වගේ රූප තියෙන්නේ. මේ චිත්‍රපටය ආපහු 2k වලට ටෝන් ඩවුන් කරලා තමයි මේ ශාලාවල පෙන්වන්න වෙන්නේ. ඇයි අපි එහෙනම් 8k වලින් ෂූට් කරන්නේ. ඒක මාර ප්‍රශ්නයක්. මේවා තාක්ෂණික ප්‍රශ්න. අනිත් පැත්තට ගියාම මම හිතනවා බෙදාහැරීමේදි සහ මිනිස්සු අතරට ගෙනයෑමේ යාන්ත්‍රණය චිත්‍රපට හදපු අපිම ආපහු දුවලා ගිහින් කරනකොට හරිම වෙහෙසයි. මට හිතෙනවා ලංකාවේ විශේෂයෙන් වේකන්සිස් වගයක් තියෙනවා පශ්චාත් නිෂ්පාදන කටයුතුවල ඉඳලා, චිත්‍රපටය මහජනතාව වෙත ගෙනයන්නට බාරගත හැකි ආයතනයක් හෝ පුද්ගල කණ්ඩායමකට. මට හිතෙනවා ඒ රැකියා අබැර්තුව වෙන කිසි කලකට වඩා දැන් තියෙනවා කියලා.

අවුරුදු 19ට පස්සේ ඔබ කරපු මේ චිත්‍රපටයේ තේමාව වර්තමානයට කොයි තරම් දුරට ගැළපෙනවා කියලද ඔබ හිතන්නේ?

තේමාව කියන එක ගැන මම දෙවිදියකට කතා කරනවා. පළවෙනි එක තමයි මේ චිත්‍රපටය පර්යේෂණාත්මක චිත්‍රපටයක්. අපි ඒක පුර්ව ප්‍රචාරක පටවලදිම කියනවා. මේක වසර හැත්තෑ ගණනක ලාංකික සිනමා ඉතිහාසයේම කරපු පර්යේෂණයක්. එක දර්ශන තලයක්. චරිත දෙකක්. දින හතරකින් රුපගත කිරීම. මේක විශාල අභියෝගයක්. ඒ අභියෝගය ජය අරගත්තේ අපි ඉතාම සංවිධානාත්මකව සහ සැලසුම්සහගතව වැඩකරපු නිසා. ඒ සැලසුම ඕනෑම සිනමාකරුවෙකුට අවශ්‍ය වෙනවා. දෙවැනි එක අන්තර්ගතය විදියට ගත්තම වාමාංශික පසුබිමක මේ කතාබහ කළාට මේකේ මුලික වශයෙන් අපි කතා කරන්නේ සංස්කෘතික මිනිසෙක් ගැන. සංස්කෘතික මිනිසෙක් කියන එක මම සෑහෙන කාලෙක සිට උනන්දු වුණ, මම මේ මොහොතෙත් විශ්වාස කරන, සංකල්පයක්. මොකද අපේ සමාජයේ සංස්කෘතික මිනිසුන් නොමැතිවීම තමයි මේ භාගයක් ප්‍රශ්නවලට මුල. කලාවට සංවේදී, පවතින දේශපාලන වටපිටාවට සංවේදී දේවල් ප්‍රශ්න කරමින් පිළිගන්න කැමැති මනුස්සයෙක් ගැන තමයි අපි මේ චිත්‍රපටය ඇතුළත සාකච්ඡා කරන්නේ. එතකොට සංස්කෘතික මිනිසෙක් කියන සංකල්පය පළවෙනි වරට චිත්‍රපටයකට එන්නේ මම හිතන්නේ මේ චිත්‍රපටය හරහා. මේ චිත්‍රපටයේ හරි ලස්සන සිදුවීම් ගණනාවක් තියෙනවා. පළවෙනි එක තමයි සිංහල චිත්‍රපටයක් ඉංග්‍රීසි නමකින් ඒම. My Red Comrade සිංහලට පරිවර්තනය කරන්න බෑ. මොකද මට හිතෙනවා සිංහල දුප්පත් කියලා. මගේ රතු සහෝදරයා හරි, මතේ රතු මිතුරා හෝ ගමන් සගයා හෝ කියන්න බෑ. Comrade කියන්නේ ඊට වඩා විශාල දේශපාලන කියවිල්ලක්. මං හිතනවා මුකුත් කියන්නේ නැතුව My Red Comrade “
My Red Comrade විදියටම ඔහොම තියමු.

අපේ රටේ සිනමාව නරඹන ප්‍රේක්ෂකයෝ මේක තේරුම් ගනීද?

මම විශ්වාස කරනවා මිනිස්සු ඒක තේරුම ගනී කියලා. මට ප්‍රේක්ෂකාගාරය ගැන පුර්ණ විශ්වාසයක් තියෙනවා. ඒක මීට අවුරුදු 19ට කලින්ට වඩා දැන් තියෙනවා. මොකද දැන් හැම ගෙවල් 10න් එකකටවත් අඩුම තරමේ නෙට්ෆිලික්ස් තියෙනවා. එහෙම නැත්නම් චිත්‍රපට නරඹනවා. එහෙම නැත්නම් වෙන මොනවා හෝ අන්තර්ජාතික චිත්‍රපට නරඹනවා. එතකොට ඒක මලයාලම් සිනමාවේ සිට හොලිවුඩ් දක්වා ඕන දෙයක් වෙන්න පුළුවන්. ගැඹුරු සිනමාවක් ගැන හෝ විකල්ප සිනමාවක් ගැන සාමාන්‍ය මිනිස්සු සවිඥානිකයි. එතකොට ඒ අයට වෙනසක් සහිත, රජකතා හෝ ජාතක කතා හෝ, රජවරුන්ගේ බිරින්දැවරුන්ගේ කතා වලින් එහාට ගිය චිත්‍රපටයක් දකින්න හම්බවෙනවා. අපි ඒ අය කොහොමද මේකට ප්‍රතිචාර දක්වන්නේ කියලා හිතමු. අනිත් කාරණය මම හරිම උනන්දුයි මගේ සිනමාව කියන්නේ කුමක්ද? කියන නිර්වචනයට. ඒක ටිකක් ගැඹුරුයි. මම සිනමාව කියන්නේ රසවින්දන කලාපයෙන් එහාට ගිය, ජීවිතය නැවත මුණ ගස්වන කලාවකට තමයි සිනමාව කියන්නේ. රසවින්දනය ඒක ඇතුළේ තියෙයි. හැබැයි රසවින්දනය කියන්නේ චිත්‍රපටය නොවෙයි.

රසවින්දනය කියන්නේ ඒකේ අනු අංකයක් විතරයි. හැබැයි මට මගේ ජිවිතය මුණගැසෙන කැඩපතක් හම්බවෙනවා නම්, මං කොච්චර ලස්සනද?, මම කොච්චර කැතද?, මට කොච්චර අඩුපාඩු තියෙනවද? කියලා මම දකින, හම්බවෙන එකක් තමයි මේ මොහොතේ මම සිනමාව කියලා කියන්නේ. ඒ අර්ථයෙන් ගත්තම මම හිතනවා සිනමාව කියන්නේ පර්වර්තනිය ලක්ෂණ සහිත, මිනිසෙක් පරිවර්තනය කරන්න පුළුවන්, බලපැම් සහගත මාධ්‍යයක්.

ඒ හින්දනේ චිත්‍රපට ලෝකය පුරා වාරණය කරන්නේ. ඇයි වාරණය කරන්නේ?

චිත්‍රපටයක් මිනිහෙක්ගේ ඔළුව ඇතුළට රිංගලා, ඔළුව වෙනස් කරනවා. මෙන්න මේ වෙනස් කිරීමේ බලයට බය වෙච්ච පාලකයෝ තමයි චිත්‍රපට වාරණය කරන්නේ. චිත්‍රපට පාලනය කරන්නේ. චිත්‍රපටය කියන එක තමයි මම මේ සියවසේ මිනිස්සුන්ගේ ජීවිතයට මැදිහත් වෙන්න පුළුවන් මාධ්‍යය. මම කියන්නේ නෑ අනිත් මාධ්‍යය ඊට වඩා පහලයි කියලා. චිත්‍රපටය ගත්තොත් එහි රූපයක් තියෙනවා. ශබ්දයත් තියෙනවා. ඒ දෙක එකතු වුණාම හැදෙන තෙවැනි මානයක් තියෙනවා. කළුවර කාමරයකට අපි යන්නේ පෙර සූදානමකුත් එක්ක. ටෙලිවිෂන් එකට ඒ වැඩේ කරන්න බෑ.

ඔබේ චිත්‍රපටයේ චරිත දෙකයි තිබෙන්නේ. එබ ඉතාම ප්‍රභලව මේ චරිත දෙක හසුරුවනවා. ඔබේ අභිමතාර්ථ ඉෂ්ට කර ගන්න මේ දෙදෙනාගෙන් ලැබුණු සහාය කොයි වගේද?

සරලව කිව්වොත් මෙහෙමයි. මේ දෙදෙනාම මට මිට කලින් මුණ ගැහුණු අය නොවෙයි. මම මේකට මුල් ආරම්භයක් ලෙසින් ගත්තොත්, ලෝකය පුරා තියෙනවා කර්තෘ සිනමා කියලා දෙයක්. මේක ප්‍රංශයේ හැදුණු සංකල්පයක්. කර්තෘ සිනමා කියන්නේ කර්තෘ ගේ කියවීම, කර්තෘ ගේ ප්‍රකාශනය තමයි සිනමාව කියන්නේ. අනෙක් ආනුශාංගික අංග වෙනස් දේවල් උදාහරණයක් විදියට ගත්තොත් කැමරාව, රංගන ශිල්පියා, ශබ්ද පරිපාලකවරයා කියන්නේ ඔක්කොම එක තලයකදි හම්බවෙන අය. මම නව නිළි දෙපළට කිව්වේ මුකුත් අරන් එන්න එපා කියලා. හිස් කොළ දෙකක් විදියට එන්න. මම එයාලව අලුතින් අඹා ගන්නම් කියලයි. හැබයි මම මේ මොහොතේ විශේෂයෙන් කියන්න ඕන, ඒ දෙන්නම ඒ අභ්‍යාසයට ලෑස්ති වෙලා ආවා. ඒ අභ්‍යාසය වෙනුවෙන් උපරිමයෙන් අනුගත වුණා. ඒ ගෞරවය ඒ ගොල්ලන්ට දෙන්න ඕන. ඒකට අපි විශාල පරිසරයක් හදලා තිබුණා. විශාල අභ්‍යාස මාලාවක් කළා. වැඩමුළු ගණනාවක් කළා. ඒකේ ප්‍රතිඵලය චිත්‍රපටය ඇතුළේ තියෙනවා.

ගෙවුණු වසර 19 පුරා ඔබ මොනවද කළේ?

මගේ අතේ තිර නාටක 7ක් තියෙනවා. රූපගත කරන්න සුදානම් කරපු ඒවා 5ක් තියෙනවා. තව දෙකක සැලසුම් තියෙනවා. මේ කාලය පුරාම මම මේ අභ්‍යාසයේ දිගටම හිටියා. වෙනස තිබුණේ මම චිත්‍රපටයක් කරන වැඩේ ගැන උනන්දු නොවී, ඊළඟ පරපුරක් හදන්න, සිනමා රසවින්දනය සම්බන්ධ දේවල්වලට උනන්දු වුණා. ඒ ගැන ආපහු හිතලා බලද්දි මම දුක් වෙන්නේ නෑ. ඒක මම ආසාවෙන් කරපු වැඩ. කාලය අපතේ ගියා කියලා හිතෙන්නේ නෑ.නමුත් මට දුකක් තියෙනවා ආපහු හැරිලා බලත්දි, බ්‍රහස්පතින්දා චිත්‍රපට පෙන්වීමේ අවකාශය මම අයින් වුණාට පස්සේ නතර වුණා. හරිනම් එහෙම වෙන්න බෑ. ඒකත් පුද්ගල බද්ධව සිද්ධ වෙච්ච දෙයක්. මගේ තිබුණු සිනමා පිස්සුවට කරපු වැඩක් සහ ඒකට ප්‍රේක්ෂකාගාරයකුත් හිටියා. මට සතුටු වෙන්න පුළුවන් අපි කොළඹ ආශ්‍රිතව කිසියම් විදියක සංස්කෘතියක් හැදුවා කියලා. සිනමා කතිකාවක් හැදුවා කියලා. ඉතින් ඒක ආයේ හෙටත් තව කාට හරි පටන් ගන්න පුළුවන්. මම පටන් ගන්නේ නැති වෙයි.

මේ චිත්‍රපටය රූපගත කිරිමේ දි ලබපු සුවිශේෂි අත්දැකිම් ගැන මකත් කළොත්?

මේක චිත්‍රපට සංස්ථා පරිශ්‍රය ඇතුළේ රූපගත වුණේ. අපේ මුලික සාකච්ඡාවේ කාරණා දෙකක් තිබුණා.එකක් තමයි අපි හිතාගෙන හිටියා මේක කෙළින්ම චිත්‍රාගාරයක් ඇතුළත රු ගත කරන්න. නැත්නම් ඇත්ත තැනක රු ගත කරනවා කියලා. ඇත්ත භූමියක රූ ගත කළානම් අපිට මේ දින 4 ඉලක්කයට එන්න බැරි වෙනවා. මට අවශ්‍ය වුණා සුව පහසු, වායු සමීකරණය කරපු කාමරයක් ඇතුළත මේක රු ගත කරන්න. අපි වේගවත් ගමනක හිටියේ. එතනදි අපි හැම දෙයක්ම සැලසුම් කළා. කැම බිම් ඇතුළු හැම දෙයක්ම පාලනය කළා. ඒ නිසා තමයි අපි දින 4න් ඉවර කර ගත්තේ. දින 4 කියන එක අපි කලින් ස්ථිර කර ගත්ත ඉලක්කයක්. ඒකට මම හිතනවා මගේ සියල්ලම දෙපාර්තමේන්තු කොන්දේසි විරහිතව උදව් කළා. ඒ නිසා තමයි ඒ ඉලක්කයට යන්න පුළුවන් වුණේ.

අඩු දින ගණනකින් රූ ගත කළා වගේම ඔබ ඉතාම කෙටි කලකින් මේ චිත්‍රපටය තිරගතත් කළා?

ඇත්තටම මේ චිත්‍රපටයේ වැඩ කරපු අය කවුරුවත් ඇත්ත ගණන් වලට නැඩ කළේ නෑ. රුවන් කොස්තා එයාගේ සැබෑ ගණන් ගත්තේ නෑ. එහෙම කියලා ඔහු ලාභ කැමරාවක් දාලා ලාභෙට වැඩේ කරලත් නෑ. ඒකට හේතුව මම අවුරුදු ගණනාවක් තිස්සේ හම්බ කරපුවා තියෙන්නේ බැංකුවේ නොවෙයි. මිනිස්සු ළඟවීම. රුවන් වගේම කතා කරපු හැම දෙනාම ආවේ ආදරෙත් එක්කමයි. ඒ අය ඒ අයගේ උපරිමය කළා. අපි රුවන් ගැන කතා කළොත් ලංකාවේ පාවිච්චි කරන්න පුළුවන් ඉහළම කැමරාව තමයි මේ සඳහා ඔහු පාවිච්චි කළේ. අපි නාස්තිය 0 ට ගෙනාවා. හැබැයි ඕන තැනට අපි හොඳට වියදම් කරලා තියෙනවා. අපි අපේ තිබුණු මානව සම්බන්ධතා ඔක්කොම පාවිච්චි කරනවා.

සමහරු අහනවා චිත්‍රපටය හදපු ගමන් මෙච්චර ඉක්මනට තිර ගත කළේ කොහොමද කියලා. ඒකත් හරි අපුරුයි. මම චිත්‍රපටය හදනකොට මුදා හරින දිනය ගැන හිතුවා. එක දිගට වැඩ කරලා එක මොහොතක් ආවා චිත්‍රපට පෝලිමේ හිස්තැනක්. ඒ අය ලක ලැහැස්තියක් තිබුණේ නෑ චිත්‍රපටය මුදා හරින්න. විශාල චිත්‍රපට දෙකක් මැද තමයි මේ ඉඩ තිබුණේ. කට්ටිය ‘සිංහබාහු’ වලට බය වුණා. විසල් ආදරේටත් බය වුණා. මේ චිත්‍රපට දෙකම වාණිජ ප්‍රබල චිත්‍රපට දෙකක්. මේ චිත්‍රපට දෙක මැද ඉඳගෙන මේ ජාතියේ චිත්‍රපටයක් දාන්න මනුස්සයෙකුට කිසියම් ආත්ම හයියක් තියෙන්න ඕන. මම හිතනවා ඒ චිත්‍රපට දෙකම තියෙන්න ඕන. ඒකේ කිසි විවාදයක් නෑ. ඒකට ප්‍රේක්ෂකාගාරයක් ඉන්නවා. හැබැයි ඒ ජාතියේ චිත්‍රපට ඉලන්නේ නැති ප්‍රේක්ෂකාගාරයකුත් ඇතිනේ. ඒ අයට පුළුවන් අපේ චිත්‍රපටය බලන්න.

ඔබ විශ්වාස කරනවා මේ චිත්‍රපටයටත් ප්‍රේක්ෂකාගාරයක් ඇති කියලා?

පොඩ්ඩක් නොවෙයි. හොඳටම ඉන්නවා. නමුත් ප්‍රායෝගික ප්‍රශ්නයක් තියෙනවා. මම අර මුලින් කිව්වා වගේ අනුරාධපුරේ මනුසසයෙක් මේ චිත්‍රපටය බලන්නේ කොහොමද කියලා. පොළොන්නරුවේ කෙනෙක් කොහොමද මේ චිත්‍රපටය බලන්නේ?. මේ වගේ විශාල ප්‍රශ්නයක් තියෙනවා. මේ අර්ථයෙන් ගත්තම චිත්‍රපටයක් මුදා හරිනකොට අපට තනියෙන් කරන්න බැරි විශාල කොටසක් තියෙනවා. ඒවාට එකමුතු වෙලා තීරණ ගන්න ඕන. ඒක මගේ ප්‍රශ්නයක් නොවෙයි. මම මෙතන කරන්න බැරි නම් පුළුවන් තැනක් හොයාගෙන යයි. එතකොට ලංකාවේ ප්‍රේක්ෂකාගාරයට තමයි චිත්‍රපටයක් නැතිවෙන්නේ.

ර්ර අඥඤ ඛ්ධථපචඤඥ වලින් පස්සේ සුදත් මහදිවුල්වැව කොහෙද නවතින්නේ?

මගේ වෙන සැලැස්මක් තිබුණා. නමුත් එක මොහොතකදි මම මේ චිත්‍රපටය ප්‍රදර්ශකයන්ට පෙන්නුවාම මම පළවෙනි වරට දැන ගත්තා ප්‍රදර්ශකයෝ ඉල්ලන චිත්‍රපට තියෙනවා කියලා. ඒ අය සිනමා ප්‍රේක්ෂකයෝ එනවා කියලා හිතන චිත්‍රපට ශානරයක් තියෙනවා. මම ඒක දැනගෙන හිටියා. නමුත් ඒක මගේ තේ කෝප්පය නොවෙයි. නමුත් මම ඊළඟට හදන්නේ ඒ ජාතියේ චිත්‍රපටයක්. ලස්සන චිත්‍රපටයක් හදලා මට මේකෙදි මඟ හැරුණු සියලුම ප්‍රේක්ෂකයින් එතැනට එකතු කරනවා. ඒක මම වගේ අධ්‍යක්ෂවරයකුට අභියෝගයක්

නමුත් ඒක ජයග්‍රහණය කරන්න ඕන කරන ජාති ටික ඔක්කොම තියෙනවා. මේ කණ්ඩායම මාත් එක්ක වැඩ කරයි. මම ආසයි ඒකත් මේ වගේ අභියෝගයක් විදියට ගන්න. හැබැයි ඒක මම ඊට කලින් හදපු තේ කෝප්පය නොවෙයි. ඒ තේ කෝප්පය හදන්න මම මුල ඉඳලා ලෑස්තියි. කෝප්පේ හොයන තැන ඉඳලා ලැස්තියි.

සුදත් මහදිවුල්වැව හදන ඒ රස තේ කෝප්පයේ රස බලන්නත් මේ රටේ සිනමා ප්‍රේක්ෂකාගාරය බලාගෙන සිටින බව මතක් කරමින්ම අපි අපේ කතා බහ නිම කළෙමු.

 

සේයාරූ – නිශ්ශංක විජේරත්න

[email protected]

 

හේමාලි විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT