නිවේදනය, ගායනය, රංගනය, නර්තනය ආදී කලා අංශයන්ගේ දක්ෂතා පෙන්වමින්, නිවේදනය වෙනුවෙන් පිටපිටම සම්මාන ලබාගත් ඇය තවමත් පාසල් ශිෂ්‍යාවකි.. නමින් සදුෂි සවින්ද්‍යා අමුකොටුව වන ඇය, සිය කලා හැකියාවන් පිළිබඳ සරසවිය හා මෙසේ අදහස් දැක්වුවාය.
සදුෂි, ඔබ කලා හැකියාවන් එළිදක්වන්නේ කොරෝනා සමයේ නේද…..?
ඔව්, ඒ කාලයේ අපි ගෙදරට වෙලා ඉගෙනීම් කටයුතු කළා.. මා ඉගෙනගත් කටුකෙන්ද මිහිඳු ප්‍රාථමික විද්‍යාලයේ හිටපු අයෝමා සඳමාලි සුරවීර ටීචර්ට අදහසක් ආවා, ඒ කාලයේ Online ඉගැන්වීම් ගැන්ස් කියවෙන ගීතයක් නිර්මාණය කරන්න. ඒ ගීතයට මල්ක මල්ලව මාමා තනු නිර්මාණය කර මට ගායනා කරන්න අවස්ථාව ලබාදුන්නා. එයට ගොඩක් ප්‍රතිචාර ලැබුණා . ඒ කොරෝනා සමයේ ඇරඹි ගමන තමයි අද වෙනකල් ආවේ.
සදුෂිගේ ගම්පළාත, පාසල ගැනත් මතක් කරමුද…..?
මගේ ගම දන්කොටුව. අප්පච්චි නුවර නිසා කවදාහරි නුවරට යනවා. මම ඉගෙනගන්නේ වෙන්නප්පුව ශුද්ධ වූ පවුලේ බාලිකා මහා විද්‍යාලයේ 10 වසරේ.
මේ දිනවල ඔබේ නවතම කලා කටයුතු මොනවද…..?
තවම මම සිරස ටීවි Kids 1st වැඩසටහනේ ළමා නිවේදිකාවක් විදිහට කටයුතු කරනවා. ඊට අමතරව මගේ ගීතයක් ඉදිරියේදී රසවිඳීන්න ඔයාලට පුළුවන්.
නිවේදනය තුළින් ඔබ කැපී පෙනෙනවා. නිවේදනයට යොමුවූ අයුරු සිහිකළොත්….?
නිවේදනයට යොමුවෙන්නේත් කොරෝනා සමයේමයි. ඒකාලයේ අපි හිටියේ නුවර ගෙදර. ඒ ගේ ළඟ කෙනෙක් හෙළසර රේඩියෝවට මාව හඳුන්වලා දුන්නා. එහි ‘හෙටට පිපෙන මල්’ නමින් වැඩසටහනක් කළා.. ඒකතමයි මගේ පළමු නිවේදන අත්දැකීම. එතැනින් මම ළමා නිවේදනයට අත්දැකීම් රැසක් ලැබුවා. ඉන්පසු තමයි මට සිරස ටීවී Kids 1st වැඩසටහනට සම්බන්ධ වෙන්න ලැබුණේ. එහිදී මම මුලින්ම කළේ Kids Can Cook විශේෂාංගය. ඒකේ තිබුණේ මට උයන්න. ඒ වෙද්දි මම උයලා තිබුණේ නැති නිසා එය මට අභියෝගයක් වුණා. ඒත් ඉතින් මම ඒකට සාර්ථකව මුහුණදුන්නා. එතැනින් ඇරඹි Kids 1st වැඩසටහනට ළමා නිවේදිකාවක් විදිහට අදටත් සම්බන්ධ වී සිටිනවා.
සිරස ටීවී Kids 1st නිවේදනය ඔබේ කලාදිවියේ සංධිස්ථානයක් කියා මා සිතනවා…..?
පිළිසඳරක කතා කරන විදිහ, යම්කිසි තොරතුරක් සමාජයට ලබාදෙන ආකාරය, සම්මුඛ සාකච්ඡා ආදිය පිළිබඳ මේ වැඩසටහන තුළින් අපට කියාදුන්නා. එසේම වත්මන් අගමැතිවරිය සමඟත්, ඇගේ මෙන්ම බොහෝ ජ්‍යේෂ්ඨ චරිතවල ළමා කාලය ගැන කතා කිරීමට මට හැකිවුණා. ඒ වෙනුවෙන් එවකට සිටි එහි අධ්යක්ෂ වන ප්‍රදීප් මහේෂ් ලියනගේ සර්ට, ලලිත් සර්ට, චන්ද්‍රිකා මිස්ට ස්තුති කරනවා. මෙහිදී නිවේදනයේ අත්දැකීම් ලබාගන්න සජීවී වැඩසටහන්වලට හුරුපුරුදු කළේ මේ ගුරුවරුන්. එසේම කැමරාකරණය කරන මාමලත් අපට කැමරාවට මුහුණදෙන ආකාරය කියාදී අපේ අඩුපාඩු හදාගන්න උදව් කළා.
නිවේදනය වෙනුවෙන් පිටපිට සම්මාන ගත්තා නේද……?
සම්මානයකින් ඇගයුමට ලක්වීම අපේ ජීවිතයට වටිනාකමක් එක් කරනවා. ඒ වටිනාකම මට ලැබුණේ Kids 1st වැඩසටහනේ අධ්යක්ෂ මාමලා, නැන්දලා නිසා . MUGP ආයතනයෙන් සංවිධානය කළ ‘2024 People’s Pinnacle Award’ හොඳම ළමා නිවේදිකාව ලෙස සම්මාන ලැබුවා. මේ වසරේත් NEW GENERATION YOUTH TOP 40 Awards 2025 Up Comming Kids TV Presenter සම්මානයෙන් හොඳම නිවේදිකාවන් 40 අතරට එන්න ලැබුණා. එය මා ලද ජයග්‍රහණයක්.
ළමා ගායිකාවක් ලෙස ඔබේ භූමිකාව පැහැදිලි කළොත් ……?
කොරෝනා සමයේයි මම මුලින්ම ගීතයක් ගයන්නේත්. එය තමයි ‘ටීචර් ළඟ නෑ කියා ඇඬූ අපි’ ගීතය. ඉන්පසු ගැයූ ‘මගේ රෑනේ රෑනේ’ ගීතය බොහෝ ජනප්‍රිය වුණා. මේ වෙද්දී මම ගීත 7ක් පමණ ගායනා කර තිබෙනවා. ඒ අතර සගා ගුරුගේ මාමාගේ නිර්මාණයකටත් ශ්‍රී එෆ්. එම්. හරහා සම්බන්ධ වෙන්න ලැබුණා.. ඒ ළමා දිනය වෙනුවෙන් කළ ‘ලක් මෑණියනි’ ගීතයෙන්. ඉදිරියේදී මගේ තවත් ගීතයක් ඔයාලට අහන්න ලැබේවි.
රංගනයත් සදුෂිට හුරුපුරුදු විෂයයක්…..?
මම මුලින්ම TNL නාළිකාවේ විකාශය වූ ‘භව නිමාව’ ටෙලිනාට්‍යයේ ළමා චරිතයක් රඟපෑවා . අනුර විජේනායක සර්ගේ ‘ලූනු පොත්තා’ ටෙලිනාට්‍යයේත් , ‘ශක්ති’ ටෙලිනාට්‍යයේත් ළමා චරිත කළා .
ළමා නිරූපණ ශිල්පිනියක් ලෙස වෙළෙඳ සන්නාම ප්‍රවර්ධනයටත් දායක වුණා නේද…..?
ඇත්තෙන්ම ඒකනම් මම ගොඩාක් ආසාවෙන් කළ දෙයක්. CIB වෙළෙඳ දැන්වීම හරහා මට ඒ අවස්ථාව ලැබුණේ. නිරූපණයට මම ගොඩක් කැමැතියි . ඉදිරියටත් මගේ වෙළෙඳ දැන්වීම් කිහිපයක් දැකගන්න ලැබේවි.
වාදනය, නර්තනය අංශවලට සදුෂිගේ නැඹුරුව කවරාකාරද …..?
මගේ අනාගත බලාපොරොත්තුවත් නර්තන ගුරුවරියක් වීමයි. එසේම භරත නැටුම්වලට මම ගොඩාක් ආසයි.. සුපුන් ශ්‍රී වික්‍රමාරච්චි සර් යටතේ ඒ පිළිබඳ ඉගෙනගන්නවා. එහි පළමු විභාගය අවසන් කළා. වාදන අංශයෙන් මම වයලීනය, ගිටාරය පිළිබඳ ඉගෙනගන්නවා.
නිවේදනය, ගායනය, රංගනය ආදී විෂයයන් තුළින් වඩාත් කැමැති විෂයයක් වේද….?
ඔව්, මම ගොඩක් කැමැතියි නිවේදනයට. අනෙක් විෂයයන්ටත් කැමැතියි
සදුෂිට ගුරුහරුකම් දුන් පිරිසකුත් ඇති ….?
මුලින්ම අම්මයි තාත්තයි මතක් කළයුතුයි. මහේෂ් , ලලිත් සර්ලා හඬ හැසිරවීමේ සිට බොහෝ දේ කියාදුන්නා.
කලා අංශයෙන් ජයග්‍රහණ හා සම්මානත් ලබලා ඇති…..?
පාසල් තරගවලින් පද්‍ය ගායනා තරග, මිශ්‍ර සංගීත තරග ජය ලැබුවා. පළාත් සහ සමස්ත ලංකා තරගත් දිනුවා.
ලේඛන කලාවට නැඹුරුවක් නැද්ද….?
කොරෝනා සමයේ මම පොතක් ලිව්වා. ඒ කාලයේ රජයෙන් අපට කිව්වනේ ‘රටක් වටින පොතක්’ ලියන්න කියලා. මම ඒකට ලිව්වේ ‘අප්පච්චි’ කියලා කවි පොතක්. එයට සහතිකයක් හිමිවුණා. තවත් පොතක් ලියන්න බලාපොරොත්තු වෙනවා.
නිර්මාණ දිවියට පාසලෙන් ලැබෙන සහාය ගැන කීවොත් ….?
මගේ ප්‍රාථමික පාසල කටුකෙන්ද මිහිඳු ප්‍රාථමික විද්‍යාලය. එසේම කටුකෙන්ද සංඝබෝධි මහා විද්‍යාලයේත් මම ඉගෙනගත්තා . දැන් වෙන්නප්පුව ශුද්ධ වූ පවුලේ බාලිකාවේ ඉගෙනගන්නේ. වත්මන් පාසලෙන් මගේ කලාකටයුතුවලට හොඳ සහායක් ලැබෙනවා . එහි විදුහල්පතිනිය වන කන්‍යා මවුතුමියවත් අනෙකුත් ගුරු මෑණිවරුන්ටත් , පියවරුන්ටත් ස්තුතිවන්ත වෙනවා. එසේම පාසලේ මාධ්‍ය ඒකකයට මාව සම්බන්ධ කරගැනීම ගැන සතුටු වෙනවා.
චිත්‍රපට රංගනයට ආරාධනා ලැබුණේ නැද්ද ….?
චිත්‍රපටයක රඟපාන්න ආසාවෙන් ඉන්නේ. පුංචි ආරාධනාවකුත් තිබෙනවා . ඉදිරියේදී බලමු.
වේදිකාවට ගොඩවෙන්න අදහසක් නැද්ද ……?
වේදිකාවට ගොඩවෙන්න අදහසක් නැතිව නෙවෙයි.. ආරාධනාවකුත් ලැබුණා. පුහුණුවීම්වලට දින දෙක, තුනකුත් ගියා. මගේ අම්මා, අප්පච්චි දෙන්නම ගුරුවරුන් .. ඒ දෙන්නා එක්ක මේ ගමන යාමට තිබෙන නිසා හිමින් ගමනක් යන්නයි අපි සිතුවේ.
හඬකැවීම් කලාව සඳුෂිට සමීප විෂයයක් නෙවේද….?
හඬකැවීම මම ගොඩාක් ආස දෙයක්. වෙළෙඳ දැන්වීමකට හඬ දෙන්න ආසාවක් තිබෙනවා . මීට පෙර සමාජ මාධ්‍යයේ වෙළෙඳ දැන්වීම් කිහිපයක හඬකවා තිබෙනවා .
සදුෂි දස්කම් දක්වන අංශවලින් වැඩිදුර අධ්‍යාපනය ලබන්න බලාපොරොත්තුවකුත් ඇති…….?
මම ගොඩක් කැමැතියි නර්තන, නිරූපණ සහ සංගීත ක්ෂේත්රවලින් ඉදිරියට යන්න . විදෙස්ගතව ඉගෙනීමට කැමැත්තක් තිබෙනවා .
මවුපියන්ගෙන් ඔබේ ගමනට ලැබෙන සහාය මොනවගේද ……?
ඔව්, මට මුල්ම අත්පුඩිය ලැබෙන්නේ මවුපියන්ගෙන්.. මගේ දක්ෂතා දැකලා මුලින්ම සතුටු වෙන්නේ ඒ දෙන්නා.. මට එයාලා නිතරම කියන්නේ මුල මතක තියාගන්න, මේ ගමනට අතහිත දුන් අය අමතක කරන්න එපා කියලා. වැඩසටහනකට සහභාගි වෙද්දි අම්මයි, අප්පච්චියි බොහෝ දේ කියාදෙනවා. ඒ දෙන්නා නිසයි මම අද මෙතැන ඉන්නේ. ඒ දෙන්නට මේ මොහොතේ ස්තුතිවන්ත වෙනවා.
මනෝජ් රුක්මල් කුමාරසිංහ