Home » චරිත නිරූපණයේ රංග ප්‍රතිභාව

චරිත නිරූපණයේ රංග ප්‍රතිභාව

‍‍‍සනත් ගුණතිලක

by Thanushika
June 26, 2025 12:30 am 0 comment

සනත් ගුණතිලක මෙරට සිනමාවට ප්‍රවිෂ්ට වනුයේ අසූව දශකයේ අග භාගයේදීය. අසූව දශකයේ සිනමාවට ප්‍රවිෂ්ට වූ නළුවන් අතරින් ඔහු කැපී පෙනෙන ප්‍රමුඛයකු වූයේය. හුදෙක් නළුවකු වීමේ බලාපොරොත්තුවකින් සිනමාවට ප්‍රවිෂ්ට නොවූවද, ඔහුට මේ ක්ෂේත්‍රය මනා ලෙස ගැළපුණේය. නළුවෙකුට සරිලන රූපකාය සේම එම විෂයෙහි යම් පර්යේෂණයක, අධ්‍යයනයක යෙදෙමින් එහි සැරිසරන්නට ඔහු දැක්වූ උනන්දුව ඊට හේතු කාරණා විය.

උප්පැන්නේ නම සඳහන් ආකාරයට සොම්සිරි සනත් ජූලියන් ගුණතිලක වූ ඔහු මහනුවර මධ්‍යම පාන්තික පවුලක උපන් අයෙක් විය. මව ගුරුවරියක වූ අතර පියා නීතිඥයකු විය. පවුලේ වැඩිමල් දරුවා වූ ඔහු ට බාල නැගණියක් ද විය. මහනුවර ප්‍රදේශයේ කීර්තිමත් විද්‍යාලයක් වූ කිංග්ස්වුඩ් විද්‍යාලයෙන් සිප් සතර හදාළ ඔහුට විශ්වවිද්‍යාලයට ඇතුළත් වන්නට ලකුණු කිහිපයක් මදි වීමෙන් පසු රැකියාවක අවශ්‍යතාව සපුරා ගනු වස් කොළඹට පැමිණ සිනමා රංගනයට එක් වූයේය.

මහනුවර ප්‍රදේශයේ ටියුෂන් ගුරුවරයකු වශයෙන් සේවය කරමින් සිටියදී පුවත්පතක පළ වූ දැන්වීමක් නිසා හේ නළුවෙකු වූයේය. නළුවෙකු වීම සඳහා ඔහු සම්මුඛ පරීක්ෂණයට පැමිණෙන්නේ විජය ධර්ම ශ්‍රී ගේ ‘සිටු කුමරියෝ’ චිත්‍රපටය වෙනුවෙනි. විජයගේ තෝරාගැනීම කොයිතරම් ගැළපුණේ ද යත් සිටු කුමරියෝ තිරගත වීමටත් ප්‍රථම ඔහුට තවත් චිත්‍රපට ගණනාවකම රඟපාන්නට වරම් ලැබුණේය. සනත්ගේ ප්‍රථම සිනමා ආගමනය සිටු කුමරියෝ වුවද, ඔහුගේ තිරගත වූ ප්‍රථම චිත්‍රපටය වූයේ සුමිත්‍රා පීරිස්ගේ ගඟ අද්දරය. ඒ නිසාම ඔහු සුමිත්‍රාගේ නළුවා ලෙසින්ද සමහරු හැඳීන්වූයේය. සනත්ගේ රංගන දිවියේ සුවිශේෂීම ලක්ෂණය වූයේ ආධුනික නළුවකු වශයෙන් සිනමාවට පැමිණි ඔහුට මෙරට ප්‍රමුඛතම, ජනප්‍රියම රංගවේදනිය වූ නිළි රැජින මාලිනී ෆොන්සේකා සමඟ සිය ප්‍රථම සිනමා පටයේදීම රංගනයට ලද භාග්‍යගයි.

එතැන් සිට විවිධ අධ්‍යක්ෂවරුන් යටතේ විවිධ චරිත නිරූපණයන්හි යෙදීමට සනත්ට ලද අවස්ථා රාශියකි. චරිත නිරූපණය සඳහා කළ කැපවීමත් රංග ප්‍රතිභාවත් සමඟ ඉතාම කෙටි කලක් ඇතුළත ඔහුට ලාංකේය සිනමාවේ ප්‍රමුඛ පෙළේ නළුවකු වීමේ හිමිකම ලැබිණ.

එදා මෙදා තුර ඔහුගේ රංග ශෛලිය දෙස විමර්ශනාත්මක ඇසින් බැලූ විට ඔහුගේ චිත්‍රපට නාමාවලිය විවිධ ගණයන්ගෙන් යුත් චිත්‍රපට සමූහයක එකතුවක් බව පැහැදිලි වෙයි. වාණිජ සිනමාවේ ඉහළම තරු ලකුණු පෙන් වූ නිර්මාණ රැසක් ඒ අතර වනවා සේම කලාත්මක සම්භාව්‍ය ගණයේ නිර්මාණ රැසකින්ද මැද මාවතේ නිර්මාණ රැසකින්ද හාස්‍යෝත්පාදක ගණයේ නිර්මාණවලින්ද එය පෝෂණය වී ඇත.

නැවත හමුවෙමු, සසර චේතනා, ප්‍රාර්ථනා, දිනුම, රජවැඩකාරයෝ, ඔබටයි ප්‍රියේ ආදරේ, නොම්මර 17, චෙරියෝ ඩොක්ටර්, රජදරුවෝ, සුජාතා, බඹසර බිසව් ඇතුළු චිත්‍රපට ගණනාවක් ඔස්සේ ඔහු ජනප්‍රිය සිනමාවේ සුපිරි තරුවක් ලෙසින් ලාංකීය සිනමාවේ බැබළුණේය. එසේම ඊට සමාන්තරව ගඟ අද්දර, රිදී නිම්නය, යහළු යෙහෙළි, දෙවෙනි ගමන, සති පූජා වැනි චිත්‍රපට ගණනාවක රංගනයට එක්වෙමින් තම රංගනයේ ප්‍රතිභාන්විත බව ප්‍රකට කළේය.

ඔහු තම රංගන කුසලතාවයේ ක්‍රමික වර්ධනය පෙන්නුම් කරමින් සම්භාව්‍ය කලාත්මක සිනමාවේ අභියෝගය කෙතරම් අපූරුවට ජයග්‍රහණය කළේ ද යන්න පෙන්නුම් කරලීමට ඔහුගේ පහත චිත්‍රපට කිහිපය පමණක්ම උදාහරණයට ගත හැකි බව මගේ විශ්වාසයයි. ඉන් ප්‍රමුඛස්ථානය හිමිවනුයේ ආචාර්ය තිස්ස අබේසේකරයන්ගේ විරාගයේ අරවින්දගේ චරිතයයි. ඒ සමඟම වසන්ත ඔබේසේකරයන්ගේ කැඩපතක ඡායා (පියතිලක)

එච්. ඩී. ප්‍රේමරත්නගේ පාලම යට (වලහා)

ප්‍රසන්න විතානගේ ගේ සිසිල ගිනි ගනී (හැරිස් මාකලන්ද)

වසන්ත ඔබේසේකරගේ දොරකඩ මාරාව (ප්‍රියන්ත)

උදයකාන්ත වර්ණසූරියගේ රාජ්‍ය සේවය පිණිසයි (ජනක සිටුබණ්ඩාර)

වසන්ත ඔබේසේකරගේ ආගන්තුකයා

සුමිත්‍රා පීරිස්ගේ සක්මන් මළුව ආදිය ගිණිය හැකිය.

අසූව අනූව දශකයන්හි මෙරට සිනමාවේ ජනප්‍රිය ම කථා නායකයන් අතර සිටි සනත් 1990 වර්ෂයේ පැවැති 17 වැනි සරසවිය සම්මාන උලෙළේ 1988 වසරේ ජනප්‍රියම නළුවා සරසවිය සම්මානය ද දිනාගත්තේය.

ඔහු මුල්ම වතාවට සරසවිය සම්මානයක් දිනා ගත්තේ 1984 දී රඟපෑ සුමිත්‍රා පීරිස්ගේ ‘මායා’ චිත්‍රපටය වෙනුවෙන් කුසලතා සම්මානයන් ලබමිනි. ඉන්පසු 1987 දී විරාගයේ රඟපාමින් හොඳම නළුවා ලෙසින් ද, කැඩපතක ඡායා හා රඟපාමින් හොඳම සහාය නළුවා ලෙසින් ද පාලම යට හි රඟපාමින් හොඳම නළුවා ලෙසට ද ‘ආගන්තුකයා’ හි රඟපාමින් හොඳම සහාය නළුවා ලෙසින්ද ‘සක්මන් මළුව‘ චිත්‍රපටයේ රඟපාමින් හොඳම නළුවා ලෙසින්ද සරසවිය සම්මානයෙන් පිදුම් ලැබුවේය.

නළුවකු වශයෙන් ලද අසීමිත ජනප්‍රියත්වය හේතු කොට ගෙන ඔහු ඉන්පසු කලක මෙරට දේශපාලන ක්ෂේත්‍රයටද ප්‍රවිෂ්ට වූයේය. 1993 වර්ෂයේදී පළාත් සභා මැතිවරණයෙන් කොළඹ දිස්ත්‍රික්කය මනාප තිස් අටදහස් ගණනක් ලැබ එක්සත් ජාතික පක්ෂයෙන්් බස්නාහිර පළාත් සභාවට තේරී පත්විය.

කලක් ගාමිණී දිසානායක මහතාගේ ලේකම්වරයකු ලෙසද ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ මාධ්‍ය උපදේශක ලෙසින්ද ජාතික රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයා ලෙසින්ද ඔහු කටයුතු කළේය.

 

සේයාරුව ටෙනිසන් එදිරිසිංහ

හේමාලි විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT