ගෞතම බුදුන් නිසාම ඒ මහා වාසනාව ලද්දී මහා ප්‍රජාපතී ගෝතමී දේවියයි.
සුහසක් කාන්තාවන්ගේ විමුක්තිය වෙනුවෙන් මෙහෙණි සස්න ආරම්භ කිරීමටද පුරෝගාමී වූ ඈ සිදුහත් කුමරු කුසින් නොවැදුවද එදා මෙදා තුර අප ගෞරවයෙන් වන්දනා කරන ගෞතම බුදු සසුනේ බුද්ධ මාතාව ඇයයි.
සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න තිරරචනය කොට අධ්‍යක්ෂණය කළ තිලංග සුමතිපාල නිෂ්පාදනයෙන් දායක වන නවතම සිනමා පටය වන ගෞතම බුද්ධ මාතා හි පූර්ව ප්රචාරක පටය, වෙබ් අඩවිය හා ගීත එළිදැක්වීම පසුගිය දින කොල්ලුපිටිය මුන්රීච් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි. එයට සමගාමීව මාධ්‍ය දැනුම්වත් කිරීම දී එළැඹෙන දෙසැම්බර් 10 වැනි දින සිට දිවයින පුරා පිහිටි EAP ඇතුළු සිනමාහල් 64ක ප්‍රදර්ශනය ආරම්භ කිරීමට නියමිත බව එහිදී නිෂ්පාදකවරයා සහ අධ්යක්ෂවරයා සඳහන් කළ.
ඉන්දීය නළු නිළියන් රැසක් ද මෙරට රංගන ශිල්පීන්ද රංගනයෙන් දායක වන අතර දෙසැම්බර් 10 වැනි දින වැල්ලවත්ත Savoy Premier (රොක්සි සිනමා) ශාලාවේදී ඉන්දීය නළු නිළියන් සහ සිනමා පටයට දායක වූ සියලූම රංගන ශිල්පීන් සහ කාර්මික ශිල්පීන් පෙරටු කොටගෙන මංගල දර්ශනයද පැවැත්වෙනු ඇත.
බෞද්ධ සාහිත්‍යයේ අපට හමුවන පරම පූජනීය උතුම් කාන්තා රත්නයක් වන මහා ප්‍රජාපති ගෝතමියගේ ජීවන පුවත ඇසුරෙන් නිෂ්පාදක තිලංග සුමතිපාලගේ සංකල්පයකට අනුව සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න මෙහි තිර රචනය සහ දෙබස් රචනා කොට නිර්මාණය සමාජගත කරනුයේ ප්‍රජාපති ගෝතමියගේ පළමු සිනමාත්මක කතා පුවත ලෙසටයි.