තාත්තාගේ ජීවිතයට වඩා හාත්පසින්ම වෙනස් ජීවිතයක් තමයි අපේ අම්මා ගතකර තිබුණේ. ඇය උඩරට වලව් පෙලැන්තියේ නානුඔය බෝයගම වලව්වේ ඉපදුණ කුමාරිහාමි කෙනෙක්. අම්මාගේ මව් පාර්ශ්වය සහ පිය පාර්ශ්වය යන දෙපාර්ශ්වයම උඩරට වලව්. අම්මගේ තාත්තා හෙවත් අපේ ලොකු අත්තා (එස්. බී අබේකෝන්) නානු ඔය බෝයගම පරම්පරාවේ අම්මගේ අම්මා හගුරන්කෙත ඉලංගන්තිලක වලව්වේ ඉලංගන්තිලකලා. මේ දෙපාර්ශ්වයේ වලව් ආශ්‍රිතව තමයි අපේ අම්මා හැදි වැඩෙන්නේ. අම්මා අධ්‍යාපනය ලබනුයේ මහනුවර හිල්වුඩ් විද්‍යාලයෙන්. ඒකාලයේ හැටියට අම්මා අධ්‍යාපනය ලබනුයේ විද්‍යාලයේ නේවාසිකවය. තාත්තා මුහුණ දුන්න ආකාරයේ ප්‍රශ්නවලට අම්මා ඒ යුගයේ කොහෙත්ම මුහුණ දී නැහැ.
අපේ අම්මා අබේකෝන් මුදියන්සෙලාගේ තලතා අබේකෝන්. අම්මා ඇයගේ පවුලේ වැඩිමලායි. නංගිලා දෙදෙනෙක් සහ මල්ලිලා දෙදෙනෙක් අම්මාට හිටියා. අම්මාගේ අම්මා හගුරන්කෙත වලව්වේ ලීලාවතී ඉලංගන්තිලක. තාත්තා බෝයගම වලව්වේ එස්. බී අබේකෝන්. මේ දෙදෙනා විවාහ වී තිබෙන්නේ යෝජිත විවාහයකින්. අම්මාගේ තාත්තාගේ පවුලේ තව සහෝදරයන් පස් දෙනෙක් ඉදලා තිබෙනවා. ඒ එක සහෝදරයෙකුගේ දියණියක තමයි අපේ ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂ සේන සමරසිංහ ගේ මල්ලි සෑම් සමරසිංහ සමඟ විවාහ වෙන්නේ. අම්මාගේ අම්මා සහ තාත්තා විවාහ වී පදිංචි වනුයේ බෝයගම වලව්වේ. ඒ නිසා අම්මා හැදී වැඩෙන්නේ ඒ පරිසරයේයි.
හැඳී ගෑරුප්පු වලින් කෑම කන , ඉංග්‍රිසියෙන් කතා කරන , සුද්දන්ගේ දරුවන්ව යවන පාසල්වලට දරුවන්ව යවන පරිසරයක ජීවත් වී , ඉගෙනගෙන, අපේ අම්මා අවුරුදු 18-19ක් පමණ වනවිට ගුරුවරියක ලෙසින් සේවයට එක්වෙනවා. ඇයට මුල්ම පත්වීම ලැබිලා තිබෙන්නේ ගම්පොළ සහිරා විද්‍යාලයට.
සාම්ප්‍රදායික සිරිත් විරිත් වලට හිර වෙමින්, වලව්වක් ඇතුලෙ පියාගේ දැඩි අණසකට යටත්ව ජීවත් වූ අපේ අම්මාට ගුරු පත්වීම අසිරිමත් දෙයක් වෙලා තිබෙනවා. දවසේ වැඩි කාලයක් නිවසින් බැහැරව නිදහසේ ගත කරන්න ලැබීම ඒකට එකම හේතුව.නමුත්, වලව්මානයෙන් හිස උදුම්මාගත්ත, සාම්ප්‍රදායිකව සිතුව අපේ ලොකු අත්තා අම්මාගේ රැකියාවට විරුද්ධ නොවීම එක අතකින් ආශ්චර්යයක්. ඔහු කවදාවත් අම්මා රැකියාවට යනවාට විරුද්ධ වී නෑ.
ගම්පොල සහිරා විද්‍යාලයේ ටික කාලයක් සේවය කළ අපේ අම්මාට හදිසියේම මාරුවීමක් ලැබෙනවා උඩපුස්සැල්ලාව අවට කුඩා පාසලකට. නිවසේ සිට යා නොහැකි දුරකින් මෙම පාසල පිහිටි නිසා ඒ අවට ස්ථානයක බෝඩිං වීමට ඇයට සිදු වෙනවා. එවකට උඩ පුස්සැල්ලාව පාසලේ සේවය කල විදුහල්පතිවරයාගේ නිවෙසේ බෝඩිං වෙමින් අම්මා මේ පාසලේ සේවයට යනවා.
එදා උඩපුස්සැල්ලාව කියලා කියන්නේ අති දුෂ්කර ප්‍රදේශයක්. කඳු හෙල් මංමාවත් මැදින් වැටුණු මේ ප්‍රදේශයට හරිහාමන් මාර්ගයක් වත් තිබුණේ නෑ. අති දුෂ්කර මාර්ගයක ගිහින් තමයි පාසලට ගමන් කල යුතු වුණේ. නව යොවුන් විය සම්පූර්ණ කරමින් හිටපු අපේ අම්මගේ යෞවනයට මේ කිසිවක් බාධාවක් ලෙසින් එදා දැනෙන්න නැතුව ඇති. ජිවිතේ තමන් ලබපු පළමු රැකියාව ට ඇය ආදරය කරන්න ඇති. මේ ඈත ගමේ කුඩා දූදරුවන්ගේ ඇස් පාදන්න කැපවෙන්න අම්මගේ තරුණ ජවය යොදවන්න ඇය හිතා ගන්න ඇති.
ජිවිතේ යම් යම් අපූරු සිදුවීම් අපි නොසිතන මොහොතවල් වල , නොසිතෙන අවස්ථාවල සිදුවෙනවා. සමහර දේවල් අපි සංසාරේ ප්‍රාර්ථනා කරගෙන ආ ආකාරයට සිද්ධවෙනවා. සමහර දේවල් අපි කිසිසේත් නොසිතූ ආකාරව අනපේක්ෂිතව සිද්ධ වෙනවා. අම්මගේ ජිවිතේත් නොසිතූ වෙනසක් මේ ගමන නිසා සිදු වෙයි කියලා ඇයත් දැනගෙන නොසිටින්න ඇති.
නමුත් එහෙම දෙයක් සිද්ධ වෙනවා.
අම්මගේ තරුණ කාලේ පින්තූර දැක්කම, කොයි තරම් සුන්දර රූපකායකින් හෙබි තැනැත්තියක්ද කියලා හිතා ගන්න පුළුවන්.උඩරට විදියට ඔසරිය ඇදලා මුතු දෙපොටක් බැදලා යන අම්මගේ රූපය දිහා දෙපාරක් හැරිලා නොබලන්න කෙනෙකුට හේතුවක් තිබුණේ නෑ. ඒ කාලේ අම්මා ඉස්කෝලෙ යනකොට මේ රූපකායේ අසිරිය වින්ද පිරිමි ඕනෑ තරම් හිඳීන්න ඇති. මේ දෙනෝ දාහක් පිරිමි අතරේ අම්මගේ හිත නැවතුණ තැනක් ඇද්ද?
හිත ගිය තැන මාළිගාව කියනවනේ
අම්මා පස්සේ කාලෙක කියලා තිබුණු හැටියට මේ පාසලේ සේවය කරන කාලේ තමයි ඇගේ ජිවිතේ උඩු යටිකුරු වෙන්නේ.එහෙම වෙන්ඩ හේතු වුණේ ඇයට හමුවුණු අපූරු මිනිසෙකු නිසාවෙන්…
ලබන සතියේ…
අම්මගේ ජීවිතේ උඩුයටිකුරු කළ අපූරු මිනිසා…..
හේමාලි විජේරත්න