අතීතයේ සිට පැවැතගෙන ආ සිංහල වේදිකානාට්‍ය කලාව වර්තමානය වන විට වෙනස් හැඩයක් ගෙන ඇත. එයට හේතුව විවිධ ශානරයන් ඔස්සේ , විවිධ මාතෘකා ඔස්සේ නාට්‍ය බිහිවන බැවිනි. ඒ අතර හරසුන් බොළඳ ගණයේ නිර්මාණද බිහිවීම කනගාටුවට කරුණකි. එහෙත් මද අස්වැසිල්ලක් හෝ ලබා දීමට ඇතැම් නාට්‍යකරුවන් පෙලඹී සිටීම සතුටට කරුණකි. නීතීඥ කපිල ගාමිණී ජයසිංහ එවන් නිර්මාණ කරුවෙකි.වර්තමානයේ සිදුවූ ඇතැම් සමාජීය සහ පරිසර ගැටලු ඔහු කල්තියා හඳුනාගත් පුද්ගලයෙකි. ඒ අනුසාරයෙන් ඔහු නාට්‍ය නිර්මාණද බිහිකර ඇත. මෙවර සරසවිය හමුවෙන් කියැවෙන්නේ නීතීඥ කපිල ගාමිණී ජයසිංහයන් අතින් බිහිවූ නාට්‍ය පෙළහර පිළිබඳවය.
මම කලාවට සම්බන්ධ වුණේ පාසැල් ගිය කාලේ සිට. මගේ පාසැල මතුගම ආනන්ද ශාස්ත්‍රාලය. අ.පො.ස. උසස් පෙළ සඳහා මම හැඳෑරුවේ කලා විෂයයන්.කළුතර දිස්ත්‍රිකයෙන් ප්‍රථම ස්ථානය හිමිවූයේ මට. කලා අංශයෙන්. ඒ නිසා මට නීති විද්‍යාලයට ඇතුළත්වීමට වරම් හිමිවුණා. 1989 රටේ තිබුණ කලහකාරී වාතාවරණයක්. ඒ නිසා අපිට අවුරුදු දෙකක් බලා සිටින්නට සිදුවුණා නීති විද්‍යාලයට ඇතුළත් වීමට. එහෙත් ඒ අවුරුදු දෙක මම අපතේ හැරියේ නැහැ. මම ඒ කාලය යෙදෙව්වේ තරුණ සේවා සභාවේ ජනමාධ්‍යකරණය හදාරන්න. ඒ වගේම නාට්‍ය හා රංග කලාව ,සිනමාකරණය යන පාඨමාලා හැදෑරුවා.
1990 යෞවන සම්මාන උලෙළ වෙනුවෙන් මම පිළිරූ නමින් නාට්‍යයක් නිර්මාණය කළා. ඒ පිළිරූ නාට්‍ය අවසන් වටයට තේරුණා. අවසානයේ පිළිරූ සඳහා සම්මාන හයක් හිමිකර ගැනීමට හැකිවුණා. එය විද්‍යා ප්‍රබන්ධයක් ඇසුරින් නිර්මාණය වූවක්. එදා මගේ නාට්‍යය නරඹන්න ප්‍රවීණ නාට්‍යවේදී සහ රංගන වේදියෙක් වූ බන්දුල විතානගේ ඇවිත් සිටියා. එදා ඔහු මට ආරාධනාවක් කළා. ඔහුගේ හිරු දහස කියන නාට්‍යයේ රඟපාන්න. එහි ප්‍රධාන චරිතය රඟපෑවේ යශෝධා විමලධර්ම. මම රඟපෑවේ ජෝර්ජ් ගිබ්ස් කියන චරිතය. එහි බුද්ධදාස විතානාරච්චි කිංස්ලි ලෝස් සහ සිරිල් ජයසිංහ එහි රංගනයෙන් දායක වුණා. මා මුලින්ම ජාතික වේදිකාවට ගොඩවූ අවස්ථාව එයයි. බන්දුල විතානගේ මහතා මගේ රඟපෑම් දැකලා තමයි ඔහුගේ හිරු දහස නාට්‍යයට මාව ගත්තේ. පිළිරූ නාට්‍යය කළේ මීට වසර 35 ට පමණ පෙර. වර්තමානයේ තිබෙන ඒධ් තාක්ෂණය මම ගැන මම එදා කතා කළා. පිළිරූ සඳහා හොඳම පසුතල , හොඳම ඇඳුම් නිර්මාණය සහ හොඳම රචනය සඳහා සම්මාන දිනා ගත්තා. එදා අවසන් වටයට පිළිරූ තෝරාගන්නා විට ප්‍රවීණ නාට්‍යවේදීන් වන සුගතපාල ද සිල්වා, ජයන්ත චන්ද්‍රසිරි සහ ඩග්ලස් සිරිවර්ධනයන් සිටියා. සුගතපාල ද සිල්වා මහතා මගෙන් ඇහුවා පිළිරූ පිටපත මගේමද කියලා. එවිට මගේ වයස අවුරුදු දහ නවයයි. ඔහුට විශ්වාස කළ නොහැකි වුණා මගේ අතින් එවැනි පිටපතක් ලියවේ යැයි කියා. ඒ වෙලාවේ එතන සිටි සුනන්ද මහේන්ද්‍ර මහත්මයා කිව්වා “කපිල තමයි මෙහි පිටපත ලියා තිබෙන්නේ විදුසර පුවත් පතට කපිල ලියූ විද්‍යා ප්‍රබන්ධ ලිපි මා කියවා තිබෙනවා” ඔහු එසේ ප්‍රකාශ කළ නිසාම මගේ පිළිරූ නාට්‍යය අවසන් වටය සඳහා සුදුසුකම් ලැබුවා.
මම ඒ කාලේ විද්‍යා ප්‍රබන්ධ ග්‍රන්ථ කියවීමට හුරුවී සිටි කෙනෙක්. අයිසැක් ඇසිමාවෝ, ආතර් සී ක්ලාක් , එච් බී බිල්ස් වැනි විද්‍යාඥයන්ගේ ග්‍රන්ථ ඇතුළු සියයකට ආසන්න ප්‍රමාණයක් මම කියවලා තිබෙනවා. එදා මගේ නාට්‍ය කලාව බේරා ගැනීම පිළිබඳව අදටත් මම සුනන්ද්‍ර මහේන්ද්‍ර මහතාට ස්තූතිවන්ත වෙනවා. පිළිරූ නාට්‍ය අපි රටවටා පාසැල්වල පෙන්නුවා. කොළඹ ආනන්ද, ශාන්ත බ්‍රිජට්, රුවන්වැල්ල රාජසිංහ විද්‍යාලය ඇතුළු පාසැල් 74 ක පමණ අපි දර්ශන වාර පැවැත්වූවා.
පිළිරූ නාට්‍ය කලාට පසුව තමයි මම කැම්පස් ආවේ. පිළිරූ නාට්‍යය කරපු නිසා මගේ නම කැම්පස් එකේ බොහෝ දෙනෙක් අතර ප්‍රචලිත වෙලා තිබුණා. ඒ නිසා මට තදින්ම නවක වදයටත් මුහුණ දෙන්නට සිදු වුණා. ඉන්පසු නැවතත් 1992 දී මම ‘ මීදුම’ නමින් තවත් නාට්‍යයක් කළා. එය දිගු නාට්‍යයක්. එය සමාජයට පණිවිඩයක් දෙන නාට්‍යයක්. තුන්වන ලෝකයේ රටවල ජීවත්වන මිනිසුන්ව කුරු භාවයට පත් කරන්න ලෝකයේ බලවත් රටවල් දරන උත්සාහය එයින් පෙන්වා දෙනවා. එහි පසුතලයත් නිර්මාණය වූයේ විද්‍යා පර්යේෂණාගාරය කුණු කන්දක් උඩ පිහිටා තිබෙන විදිහට. සොබා දහමට විපතක් කළොත් සොබා දහම විසින්ම මිනිසාට දඬුවම් දෙන බව ඔප්පු වුණා. මීතෙන් වායුව බහුලව එක් රැස්වීම නිසා මීතොට කුණු කන්ද පුපුරා ගියා 2014 දී. සොබා දහමට කරන ව්‍යසනය නිසා දුන් දඬුවම තමයි ඒ. මම ඒ පිළිබඳ දුන් පණිවිඩයත් එයයි.මීදුම නාට්‍යයේ මෙන්න මේ විදිහට ගී පද කිහිපයක් කියැවෙනවා.
මිනිසුනේ දෙසවන් යොමව්
සොබා දහමට පිටුපානා
අමර වී උනුනුන් නසන්නට කැස කවනා
මේ නුඹලා උදෙසා ගැයෙනා අවසාන ගීතයයි….
ඉන්පසු මම ‘ අඳුරට පෙර ‘ නමින් නාට්‍යයක් නිර්මාණය කළා. ඒ 1995 දී. අන්තර් ජාතික විශ්වවිද්‍යාලයීය නාට්‍ය උලෙළ සඳහා. එම උලෙළ සඳහා විශ්වවිද්‍යාල මට්ටමින් නාට්‍ය 27 ක් ඉදිරිපත් වී තිබුණා. ඒ අතරින් මගේ නිර්මාණයට හොඳම නාට්‍ය නිෂ්පාදනයට හිමි සම්මානය දිනා ගත්තා. එදා විනිශ්චය මණ්ඩලයේ සිටියේ සුගතපාල ද සිල්වා, ජයන්ත චන්ද්‍රසිරි සහ රංජිත් ධර්මකීර්ති යන නාට්‍ය වේදීන්. 1996 දී ආගන්තුකයා නිර්මාණය කළා. අන්තර් විශ්ව විද්‍යාලයීය නාට්‍ය උලළේදී එය හොඳම නිෂ්පාදනය දෙවන ස්ථානය හිමි වුණා.’ අඳුරට පෙර සහ අවමානය රටවටා ප්‍රදර්ශනය කිරීමට හැකිවුණා. ” පිළිරූ” නාට්‍ය වෙනුවෙන් අපි ගොඩනඟා ගත් ප්‍රතිරූපය නිසා අඳුරට පෙර සහ අවමානය ඉතා පහසුවෙන් රටවටා වේදිකා ගත කිරීමට හැකිවුණා. ඒ කාලේ ටිකට් එකක් රුපියල් දහයයි.
මගේ වෘත්තීමය ජීවිතය ආරම්භයත් සමඟ මම නාට්‍ය නිර්මාණය කිරීමේ කටයුතු නැවතුනා. අවුරුදු විසි හතක් මම මගේ වෘත්තීමය කටයුතුවල නිරත වුණා. ඒ අතරතුර මම ලේඛන කලාවට යොමු වුණා. ඒ කාලයේ නීති ග්‍රන්ථ 61 ක්, කෙටිකතා 5 ක්, නවකතා 5 ක්, පරිවර්තන 2ක්, අනුවර්තන 2 ක් සහ නාට්‍ය ග්‍රන්ථයක් මගේ අතින් ලියැවුණා. අවුරුදු 27 ක් නාට්‍ය නිර්මාණයක් නොකර නිහඬ වෙලා සිටියත් 2023 දී මම නැවතත් නිර්මාණ කරන්න පෙලඹුණා. ඒ අනුව 2023 දී මම ‘ මායා දැල’ නාට්‍ය නිර්මාණය කළා. එයින් කියැවුණේ දික්කසාද වූ විශ්ව විද්‍යාල කථිකාචාර්‍යවරයෙක් ඔහුට අහිමි වූ ආදරය නැවතත් සොයා යාම. මෙහිදී ඔහුගේ යටි සිතත් චරිට්ගයක් බවට පත් වෙනවා. ඒ යටි සිතට පණ පොවන්නේ මම. කථිකාචාර්‍යවරයාගේ චරිතය රඟපෑවේ උදිත ගුණරත්න . අනෙක් චරිත සඳහා නිවේදිකාවක් වන මොනිකා සේරසිංහ, රංගන ශිල්පී ගාමිණී ජයලත්, නීතීඥ තාරකා ද සිල්වා සහ කාරියවසම් රංගනයෙන් දායක වුණා. ‘ මායා දැල’ ඉතා ජනප්‍රිය වූ නාට්‍යයක්. අපි පෙන්නුවේ මහජන දර්ශන පමණයි. ඒ නාට්‍යයේ තිබූ අන්තර්ගතය හේතුවෙන් පාසැල් දර්ශන පැවැත්වූයේ නැහැ.
ඒ කාලයේ බහුලව නිර්මාණය වූයේ හරසුන් නාට්‍ය ඔවුන් කුමන හෝ මාතෘකාවක් යටතේ නාට්‍ය නිෂ්පාදනය කර පෙන්වන්න පුරුදු වුණා.ඔවුන් එයින් බලාපොරොත්තු වුණේ ලාභ ලැබීම පමණයි. ඒ හේතුවෙන් ගුණාත්මක නාට්‍ය නිර්මාණය කරන්නන්ට එයින් කිසියම් බලපෑමක් ඇතිවුණා. එම නාට්‍යවල ටිකට් පත්වල මිලත් අධික වුණා. අවම ගාස්තුවත් රුපියල් දහසක් පමණ වුණා. ඒ නිසා පවුල් පිටින් නරඹන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. විශාල මුදලක් වැය වන නිසා. උගත් බුද්ධිමතුන්ගේ නාට්‍ය නරඹන .එකෙන් ඈත් වුණා. ඒ නිසා අපි නාට්‍යය සඳහා රුපියල් පන්සියයක ටිකට් පතක් නිකුත් කරන්න තීරණය කළා. සරසවි ප්‍රකාශකයෝ අධිපති එච්. ඩී. ප්‍රේමසිරි මහතා අපට පෝස්ටර් 1000ක් නොමිලේ මුද්‍රණය කර දුන්නා. ඔහු මගේ නීති පොත් 44ක් ප්‍රකාශයට පත්කර දී තිබෙනවා. අපි ඒ පෝස්ටර්කොළඹ නගරය පුරා ඇලවීමට සැලැස්සුවා. දිනක් මා චාරිකාවක නිරත වුණා කොළඹ සිට නුගේගොඩ දක්වා, අපි පෝස්ටර් අලවන්න දීපු කෙනා ඒ රාජකාරිය හරියට ඉටු කර තිබෙනවා දැයි බලන්න. කියන්න කනගාටුයි සෑම අසුනක්ම රුපියල් පන්සීයයි කියා මුද්‍රණය කළ කොටස ඉරා දමා තිබුණා. එහෙත් අපි එයින් සැලුනේ නැහැ. අපි මායා දැල වේදිකා ගත කළා. එදා මුළු ප්‍රේක්ෂකාගාරයම පිරී ඉතිරී ගියා.
2024 දී මා ‘ අපි ඔක්කොම අළු පාටයි ‘ කියන නාට්‍යය නිපැයුවා. එයින් විග්‍රහ කෙරෙන්නේ චුති සිත ගැන. මරණාසන්න මොහොතේදී අධික ලෙස තරහකින් හෝ ක්‍රෝධයකින් පසු වුවහොත් ඔහු අන්තරා භවයේ ගත කරන කාලය වැඩියි. ඔහු මරණාසන්න මොහොතේදී අධික ලෙස සතුටින් සිටියත් අන්තරා භවයේ ගත කරන කාලය වැඩියි. මේ පිළිබඳ ලෝකයේ පර්යේෂණ 11,000කින් පමණ ඔප්පු වෙලා තියෙනවා. ඒ පිළිබඳ ග්‍රන්ථ දෙකකුත් ලියැවිලා තියෙනවා. මහාචාර්ය ඉයන් ස්ටීවන්සන්ගේ Reicarnation of Birth සහ එඩ්ගා කේසිගේ Some Cases of Reicarnatioද . ‘ සංසාර මන්දිර’ නමින් එය සිංහලයට පරිවර්තනය කළේ කන්නිමහර සුමංගල හිමියන් විසින්.
මේ ආශ්‍රයෙන් තමයි ‘ අපි ඔක්කොම අළු පාටයි’ නාට්‍යය නිර්මාණය කළේ. මෙහි සංගීතය නිර්මාණය කළේ නවරත්න ගමගේ විසින්. දැනට අපි දර්ශන වාර 30 ක් පමණ පෙන්වා තිබෙනවා. ලබන ජූලි 25 වෙනිදා හොරණ නගර සභාවේදී එය නැවතත් වේදිකා ගත වෙනවා. එය සංවිධානය කරනු ලබන්නේ හොරණ නීතිඥ සංගමය විසින්. අපි මාස ගණනක් පුහුණුවීම් කළා. මෙහි මුලින්ම රඟපෑවේ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන විසාකේස චන්ද්‍රසේකරන්, සිතාරා වන්නිආරච්චි සහ කුමාරි ජයලත් යන රංගන ශිල්පින් .
වර්තමානයේ කසුන් කාරියවසම්, බන්දුල අතාවුදහෙට්ටි, ගිහාන් සහ මෙත්වානී රංගනයෙන් දායකත්වය සපයනවා. මෙත්වානී මෙම නාට්‍යය සඳහා අලුතින් හඳුන්වාදෙන ශිල්පිනියක්. අපි ඔක්කොම අළු පාටයි නාට්‍යයේ ආලෝකකරණය සිදු කරන්නේ ගාමිණී හේමචන්ද්‍ර (ලයිට් ගාමිණී) විසින්. පසුතල නිර්මාණය බන්දුල අතාවුදහෙට්ටි විසින් සිදුකළා. අංග රචනය තරංග රුක්මල්වල. මේ සියලු දෙනා මගේ නාට්‍ය ජීවිතයේ ආරම්භයේ සිට දන්නා හඳුනන උදවිය. ඒ හිතවත් කම උදව් වුණා මගේ නිර්මාණවලට.
අපි ඔක්කොම අළු පාටයි නාට්‍යය සඳහා ඉහළ ප්‍රතිචාර ලැබුණා. පන්නල පුරහලේදී අපි නට්‍යය වේදිකා ගත කළා. මම සොයා බලපු විදිහට එක් දිනකදී වැඩිම ප්‍රේක්ෂක පිරිසක් නරඹා තිබූ නාට්‍යයක් ලෙස එය වාර්තා වුණා. එය සංවිධානය කළේ පන්නල ජාතික පාසැල් ගුරු සුබ සාධක සංගමය. ගුණාත්මක නිර්මාණයක් කළොත් ඒ වටා එක්වන පිරිස වැඩියි. ඒ සිදුවීමම වුණා වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලයේ නාට්‍ය දර්ශන වාරයේදීත්. උදෑසන රැස්වීමේදී නිහඬ කළ නොහැකි සිසුන් අපේ නාට්‍ය නිසා නිහඬව තබා ගන්න හැකි වූ බව ඒ පාසැලේ ගුරුවරයෙක් වූ තරංග හෙට්ටිආරච්චි මහතා පැවසුවා.
අපේ නිර්මාණ රටවටා ගෙන යාමේදී මූලිකවම බලපාන්නේ වියදම් ප්‍රශ්නය. බොහෝ දුර පළාත් වලට යාමේදී ප්‍රවාහන වියදම් අධිකයි. එය අපට දැරිය නොහැකියි. එය බොහෝ නාට්‍යකරුවන් මුහුණ පාන ගැටලුවක්. ඒ නිසා රාජ්‍ය මට්ටමින් හෝ සංස්කෘතික අමාත්‍යාංශයේ මැදිහත් වීමක් සිදුකර ඒ ගැටලුව සඳහා යම්කිසි පියවරක් ගන්නවා නම් හොඳයි කියා මම යෝජනා කරනවා.
කෙසේ වුවත් මා නාට්‍ය නිර්මාණකරණයේ දිගටම රැඳී සිටිනවා. මාගේ ඉගැන්වීමේ කටයුතු, ග්‍රන්ථ රචනය සහ වෘත්තීමය කටයුතු කරනා ගමන් කලා කටයුතු ද සමබරව කරගෙන යන්න මම බලාපොරොත්තු වෙනවා.
මෙම ජූලි මස 17 වැනි දා මගේ නාට්‍ය නිර්මාණයන් වන අඳුරට පෙර සහ අවමානය යන කෙටි නාට්‍ය ද්විත්වය වේදිකාගත වෙනවා. සවස 3.30 ට සහ සවස 6.30ට. එය පැවැත්වෙන්නේ මරදාන එල්ෆීන්ස්ටන් රඟහලේදී. මේ සොඳුරු සැදෑවට නාට්‍ය වලට ප්‍රිය කරන සහෘදයන් සියලු දෙනාට මම ආරාධනා කරනවා අපත් සමඟ එකතු වෙන ලෙස. ගුණාත්මක සහ රසවත් නාට්‍ය නිර්මාණ ප්‍රිය කරන ඔබට හරවත් සහ රසවත් සන්ධ්‍යාවක් වනවා නිසැකයි.
නයනාංජලි දෙහිපිටිය