Home » ගී ලතා මඬුල්ලට සමුදුන් චන්ද්‍රාණි

ගී ලතා මඬුල්ලට සමුදුන් චන්ද්‍රාණි

by Thanushika
October 30, 2025 12:05 pm 0 comment

මෙරට සංගීත ක්ෂේත්‍රයට අපූර්වතම රිද්මයකින් සුමියුරු හඬක් මුසුකළ ප්‍රවීණ ගායිකාවක, රංග ශිල්පිනියක මෙන්ම ගුරුවරියක ද වූ චන්ද්‍රාණි ගුණවර්ධන මහත්මිය පසුගිය (8 වැනිදා) දා අභාවප්‍රාප්ත වූවාය. 1953 වසරේ ගුවන් විදුලියේ ළමා පිටියෙන් ගායන ක්ෂේත්‍රයට එක් වූ ඇය කරුණාරත්න අබේසේකරයන් රචනා කළ කුලරත්න තෙත්නකෝන් තනු නිර්මාණය කළ දැන් නිවාඩු කාලෙ හින්දා නෑ ඉස්කෝලේ ගීතය ගායනා කරමින් ඉමහත් ජනපි‍්‍රයත්වයක් දිනාගනු ලැබිණි. ඉන් පසුව ජනපි‍්‍රය ගීත රැසක් ගායනා කළ ඇය තුංතුඹමල්, මල් කෙල්ලක් මං, ලොකු නැන්දා එනවා, ලතා මඩුල්ලක් කතා කරනවා, හැඩකාරයි මං පොඩි කාලේ, රාං කුරුල්ලා, අත්තන මල්, දම්පැහැ වීදුරු පුංචි වළල්ලක් ආදී ජනපි‍්‍රය ගීත රැසක් ගායනා කරනු ලැබීය.

මියයන විට 82 වැනි වියේ පසුවූ ඇය ගුරුවරියක ලෙස ද සුවහසක් දරු දැරියන්ට සංගීතය උගන්වනු ලැබීය. රංග ශිල්පිනියක ලෙසින් ද කටයුතු කළ ඈ වෘත්තීයෙන් නැටුම් ගුරුවරියක ලෙස 1963 දී පත්වීම් ලබා කිරිවත්තුඩුව විදුහල, පන්නිපිටිය ධර්මපාල විදුහල, ගල්කිස්සේ හේන විදුහල, බොරැල්ල සුසමයවර්ධන විදුහල කොටහේනේ බාලිකා විදුහල කළුබෝවිල, බුද්ධඝෝෂ විදුහල ආදී විදුහල් ගණනාවක නැටුම් ගුරුවරියක ලෙස සේවය කළාය.

රාංකුරුල්ලා රාං කියාගෙන මලක සුවඳ සිව් සියගව්, විහාරමහාදේවි සෝමාදේවි, ළයතුළ නලියන, ආයුබෝවන් වාසනාවන්, තරුවක් වුණා නම්, අක්කා නගාලගේ බොළද සිනා, අත්තන මල් ආදී ජනපි‍්‍රය ගීත 100ක් පමණ ගායනා කළ චන්ද්‍රානි ගුණවර්ධන බඩුත් එක්ක හොරු, සාරවිට ආදී චිත්‍රපට කීපයකට පසුබිම් ගායනයෙන් පවා දායක වූවාය. 1964 දී ගුවන් විදුලියේ ඒ ශ්‍රේණියේ සරල ගී ගායිකාවක ලෙස සමත් වූ ඈ 1966 වසරේ පටන් රංගනයට ද පිවිසියාය. දෙපානෝ, මුදු පුත්තු, පේමතෝ ජායතී සෝකෝ, පද්මාවතී, රාමායණය, සිරිසඟ බෝ, සමුද්‍ර දේවි, වෙස්සන්තර ආදී ටවර් හෝල්, නුර්ති ගණනාවක ප්‍රධාන චරිත ඇය රඟපෑවාය.

රූපයෙන්, රංගනයෙන් මෙන්ම ගායනයෙන් පරිපුර්ණ වූ චන්ද්‍රානි 1984 වසරේ තුංතුඹමල්, සිංහයෝ, 1986 දී මල් කෙල්ලක් ආදී වශයෙන් කැසට්පට කීපයක් ද එළි දැක්වූවාය.

ගුවන් විදුලියේ ළමා ගී පරීක්ෂණයෙන් සමත්ව ළමා ගායිකාවක ලෙස ගුවන් විදුලියේ ගී ගැයු චන්ද්‍රානි ගුවන් විදුලියේ ආධුනික පැයට ගී ගයා පළමු ස්ථානය දිනාගැනීමට භාග්‍යමත් වූවාය.

නාරද දිසාසේකර, දේවානන්ද වෛද්‍යසේකර ඩබ්ලිව්. ඩී. අමරදේව, සුසිල් පේ‍්‍රමරත්න ආදී ප්‍රවීණ ගායන ශිල්පීන් සමඟ යුග ගී ගායනයට ද භාග්‍ය හිමි කරගත්තාය.

සංගීත ශිල්පී වික්ටර් පෙරේරා, ශාන්ති ගීත දේව, ඩන්ස්ටන් දª සිල්වාගෙන් හා හොරණ එරන්දතී කලායතනයෙන් සංගීතය පිළිබඳ ඈ වැඩි දුර අධ්‍යයනයක් සිදුකරනු ලැබුවාය.

1952 දී ගුවන් විදුලියේ ළමා උයනට ඇල්ෆ්‍රඩ් පෙරේරා ඉදිරිපත් කළ සංගීත සැන්දෑව ළමා වැඩසටහනට ඉටි පන්දම තනිවේ ගීතය මුලින්ම ගායනා කරමින් ගායන ක්ෂේත්‍රයේ අත්පොත් තැබු චන්ද්‍රානි. ඉන්පසු කරුණාරත්න අබේසේකර, සරත් විමලවීර, එච්.එම්. ගුණසේකර, මඩවල එස් රත්නායක, ඇග්නස් සිරිසේන, චිත්‍රානන්ද අබේසේකර ඉදිරිපත් කළ ළමා පිටියේ වැඩසටහන් සඳහා ගීත ගායනා කරනු ලැබූවාය.

ගුණසේන ගලප්පත්තිගේ් ‘මුදු පුත්තු’ වේදිකා නාට්‍යයට අත්වැල් ගායනයෙන් එක්වෙමින් මුලින්ම වේදිකාවට එක් වූ චන්ද්‍රානි 1981 වසරේ ආසියාතික නාට්‍ය උලෙළ නියෝජනය කරමින් චීනය, බෙල්ජියම, තායිලන්තය, හොංකොං ෂැන්හයි ආදී රටවල් ගණනාවක, සංචාරය කරමින් සිරිසඟ බෝ නාට්‍යයේ ප්‍රධාන නිළිය ලෙස නියෝජනයක් ද ලබාදෙනු ලැබුවාය.

1943 ඔක්තෝම්බර් 07 වැනිදා උපත ලද චන්ද්‍රානි ගුණවර්ධන මියයන විට 82 වැනි වියේ පසුවූවාය. 1996 වසරේ සිදු වූ රිය අනතුරක් නිසාවෙන් වසර ගණනාවක් දැඩිසේ ගිලන්ව සිටි චන්ද්‍රානි නැවත සුවය ලබා ප්‍රේක්ෂකයන් අතරට පැමිණ යළිත් පෙර සේ ගී ගායනයේ නිරතවීම ඇයට ආදරය කළ රසිකයින්ට සතුට දනවන දසුනක් විය.

ජනතා සිත් සතන්වලට මියුරු හඬින් ආමන්ත්‍රණය කළාසේම රංගන ශිල්පිනියක් ලෙස ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගනු ලැබු සුවහසක් දරු දැරියන්ට සංගීතය ඉගැන්වූ ගුරුමවක වූ චන්ද්‍රානි ගුණවර්ධන ඉකුත් 11 වැනිදා මළහිරු බැසයන සැදෑ යාමයේ ගල්කිස්ස සුසාන භූමියේ දී මිහිමඬලෙන් සමුගෙන යනු ලැබිණි.

 

[email protected]

චන්දන දයාසිරිවර්ධන

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT