ලෝක සිනමාවේ ජනප්‍රියවූත් දැවැන්ත ආකර්ෂණයක් දිනාගත් සිනමා සන්නාමයක් බවට පත්ව ඇති ශ්‍රේෂ්ඨතම අන්තර්ජාතික සිනමා උත්සවය වන ප්‍රංශයේ ‘කෑන්ස් සම්මාන උලෙළ’ (Cannes International Film Festival) 78වැනි වරටත් සාර්ථක අන්දමින් ප්‍රංශයේ දී නිමාවට පත් වුණා. ලෝක සිනමාවට මහත් සේ ආදරය කරන ප්‍රේක්ෂකයන් වඩාත් අවධානයෙන් සිටින සිනමා උලෙළවල් කිහිපය අතරින් ඉහළින්ම සිටින සම්මාන උලෙළක් ලෙස වාර්ෂිකව පැවැත්වෙන කෑන් සම්මාන උලෙළ මැයි මස 13 වැනිදා සිට 24 වැනිදා දක්වා දවස් 12ක් පුරා අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ. මෙවර කෑන්ස් සිනමා උලෙළෙහි චිත්‍රපට 25ක් හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම නිළිය, හොඳම නළුවා, හොඳම තිර පිටපත ආදී වශයෙන් සම්මාන බොහෝමයක් සඳහා තරඟ වැදිණ.
සම්මාන උලෙළ කාරණා කිහිපයක් සඳහා සුවිශේෂි ලෙස ප්‍රේක්ෂකයන් අතර කතාබහට ලක් විය. ඒ පලස්තීන ඡායාරූප මාධ්‍යවේදිනියක් වන ‘ෆාතිමා හසූනා’ මෙම වසරේ අප්‍රේල් 16 වන දින ගාසා නගරයේ ඇගේ නිවසට ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක් එල්ල විය. මෙම ගුවන් ප්‍රහාරයෙන් ඇය ඇතුළුම පවුලේ සාමාජිකයින් දස දෙනෙකුත් මිය ගියහ. යුද්ධය විසින් අත් කර දුන් ඛේදවාචකයක් ලෙස මෙවැනි ගණයේ හද පාරවන සංවේදී සිදුවීමි අසන්නට ලැබීම ලෝකයේ පැවැත්ම සහ මනුෂ්‍යත්වය පිළිබඳ වටිනාකම පිළිබඳ නැවත වරක් සිතන්නට බල කිරීම වැළැක්විය නොහැකි ය.
මෙම ඛෙිදනීය සිදුවීම ස්මරණය කරමින් සිනමා උත්සවයෙහි ගාසා තීරයේ සිදුවෙමින් පවතින ප්‍රචණ්ඩත්වය පිළිබඳව ශෝකය ප්‍රකාශ කරමින් සහ විවේචනය කරමින් නිල ප්‍රකාශයක් නිකුත් කළේය. උත්සවය ආරම්භක දිනයේ දී ජොනතන් ග්ලේසර්, නූරි බිල්ගේ සෙයිලන්, වික්ටර් එරිස්, හෆ්සියා හර්සි, අකි කෞරිස්මාකි, නාඩව් ලැපිඩ, ක්ලෙබර් මෙන්ඩොන්කා ෆිල්හෝ, පේද්‍රෝ අල්මෝඩෝවර්, ඩේවිඩ් ක්‍රොනෙන්බර්ග් සහ රූබන් ඔස්ට්ලන්ඩ් ඇතුළු අධ්‍යක්ෂවරුන්, නළු නිළියන් සහ නිෂ්පාදකයින් 350 කට අධික පිරිසක් හසූනා ඝාතනය හෙළා දකිමින් ලිපියක් අත්සන් කළ අතර ගාසා තීරයේ සිදුවෙමින් පවතින ජන සංහාරය හෙළා දුටුවේය. “ගාසා තීරයේ ජන සංහාරයක් සිදුවන අතරතුර අපට නිහඬව සිටිය නොහැක” යනුවෙන් ඔවුන් සියල්ලෝම තමන්ගේ යුද විරෝධය ප්‍රකාශ කළහ.
උත්සවය ආරම්භ වූයේ ඇමලී බොනින් විසින් රචිත ප්‍රංශ විකට චිත්‍රපටයක් වන Leave One Day සමඟිනි. උත්සවය අතරතුර ගෞරවනීය පාම් ඩි’ඕර් සම්මාන දෙකක් පිරිනැමෙන ලදී. ඉන් පළමුවැන්න සමාරම්භක උත්සවයේදී සම්මානනීය හොලිවුඩි නළු රොබට් ද නිරෝට පිරිනමන ලද අතර දෙවැන්න සම්මානනීය අති දක්ෂ හොලිවුඩි නළු ඩෙන්සිල් වොෂින්ටන් වෙත පිරිනමන ලදී. මෙවර සම්මාන උලෙළ ලාංකික සිනමාවට ද අතිශයින්ම විශේෂ විය. මන්ද ලාංකේය සිනමාවේ සිනමාවේදිනියක වූ සුම්ත්‍රා පීරිස් අධ්‍යක්ෂණය කළ ‘ගැහැණු ළමයි’ චිත්‍රපටය සංරක්ෂණය කිරීමෙන් අනතුරුව කෑන්ස් සම්මාන උලෙළෙහි ප්‍රදර්ශනය කෙරිණ. එය ලාංකේය සිනමාව තුළ සුවිශේෂි මොහොතකි. 4ම් පිටපතක් ලෙස සංරක්ෂණය කළ චාලි චැප්ලින්ගේ ‘The Gold Rush’ චිත්‍රපටය, ඉනාරිතුගේ ‘Amores Perros චිත්‍රපටය, සත්‍යජිත් රායිගේ ‘Days and Nights in the Forest’ චිත්‍රපටය, ස්ටැන්ලි කුබ්‍රික්ගේ ‘Barry Lyndon’ චිත්‍රපටය ආදී පැරණි සම්භාව්‍ය ගණයේ සංරක්ෂණය කළ සිනමාපට බොහෝමයක් නැවත ප්‍රදර්ශනය කෙරිණ.
මෙවර සම්මාන උලෙළෙහි ජූරියේ ප්‍රධානියා ලෙස කටයුතූ කළේ සම්මානනීය ප්‍රංශ ජාතික නිළියක වන Juliette Binoche විසිනි. බිනෝචේට අමතරව, මෙම වසරේ බහුතර කාන්තා ජූරි සභාවට ඉතාලි නිළි ඇල්බා රොර්වාචර්, ඉන්දියානු චිත්‍රපට නිෂ්පාදක පායල් කපාඩියා, ප්‍රංශ-මොරොක්කෝ ලේඛිකා ලීලා ස්ලිමානි, ඇමරිකානු නිළි හැලී බෙරී සහ ජෙරමි ස්ට්‍රෝං, දකුණු කොරියානු කතුවර හොං සංග්සෝ, මෙක්සිකානු අධ්‍යක්ෂ කාලෝස් රෙගඩාස් සහ කොංගෝ චිත්‍රපට නිෂ්පාදක ඩියුඩෝ හමාඩි ඇතුළත් විය. සම්මාන උලෙළෙහි චිත්‍රපටයක් වෙනුවෙන් පිදෙන ඉහළම සම්මානය වන්නේ ‘Palme d’Or’ සම්මානයයි. 2024 දි එනම් පසුගිය වසරේ දී Palme d’Or සම්මානය දිනාගනු ලැබුවේ ‘Anora’ නමැති හොලිවුඩි සිනමාපටයයි. සම්මාන උලෙළේ ඊළඟ ඉහළ ම සම්මානය වනුයේ Grand Prix සම්මානයයි. මෙම සම්මානය 2024දී තිරගත වූ ඉන්දියානු චිත්‍රපටයක් වූ All we imagine as light චිත්‍රපටය හිමි කර ගත්හ.
මෙවර කෑන්ස් සිනමා උලෙළෙහි හොඳම චිත්‍රපටය වෙනුවෙන් පිදෙන ‘Palme d’Or’ සම්මානය දිනාගනු ලැබූවේ සම්මානනීය ඉරාන සිනමාකරුවකු වන ජෆාර් පනාහි අධ්‍යක්ෂණය කළ ‘It Was Just an Accident’ (එය අහම්බයක් පමණයි) සිනමාපටයයි. The Secret Agent’ චිත්‍රපටය සම්මාන දෙකක් දිනා ගත්තේය. බ්‍රසීලයේ හමුදා ඒකාධිපතිත්වය අතරතුර ඝාතනයෙන් බේරීමට උත්සාහ කිරීමේදී තම අනන්‍යතාවය සඟවමින් වෙස්වළා ගන්නා පියෙකුගේ චරිතය රඟපෑම වෙනුවෙන් නළු ‘වැග්නර් මෝරා’ හොඳම නළුවා ලෙස සම්මානය හිමි විය. කෑන්ස් සම්මාන උලෙළ ඉතිහාසයේ ඉරාක චිත්‍රපටයකට පිරිනමන ලද පළමු සම්මානය ලබාගත් “ද ප්‍රසිඩන්ට්’ස් කේක්” අධ්‍යක්ෂ හසන් හාඩි වෙත ‘කැමරා ඩි’ඕර්’ සම්මානය හිමි විය.
මෙවර කෑන් උලෙළෙහි සම්මාන බෙදී ගියේ මෙයාකාරයෙනි.
1.1.Palme d’Or සම්මානය – It Was Just an Accident චිත්‍රපටය අධ්‍යක්ෂණය – Jafar Panahi
2.Grand Prize සම්මානය – Sentimental Value චිත්‍රපටය අධ්‍යක්ෂණය – Joachim Trier
3.හොඳම නිළිය – Nadia Melliti (La Petite Dernière චිත්‍රපටය)
4.හොඳම අධ්‍යක්ෂවරයා – Kleber Mendonça Filho (The Secret Agentචිත්‍රපටය)
5.ජූරි ත්‍යාගය – සම සම්මාන
Sira චිත්‍රපටය – අධ්‍යක්ෂණය Oliver Laxe
The Sound of Falling චිත්‍රපටය – අධ්‍යක්ෂණය Mascha Schilinski
6.හොඳම තිර රචනය – Jean-Pierre සහ Luc Dardenne – Young Mothers චිත්‍රපටය වෙනුවෙන්
7.හොඳම නළුවා – Wagner Moura – The Secret Agent චිත්‍රපටය
8.විශේෂ ත්‍යාගය (special prize) – Resurrection චිත්‍රපටය – අධ්‍යක්ෂණය Bi Gan
9.Camera d’Or සම්මානය – The President’s Cake චිත්‍රපටය – අධ්‍යක්ෂණය Hassan Hadi
මලින්ත විතානගේ