Home » ඛේදවාචක අත්දුටු ඉතිහාසයක පුනරාවර්තනය

ඛේදවාචක අත්දුටු ඉතිහාසයක පුනරාවර්තනය

Warfare

by Mahesh
May 1, 2025 12:30 am 0 comment

යුද්ධය යනු අතිශය බිහිසුණු ක්‍රියාදාමයකි. මරණීය ක්‍රියාවලියකි. එය ඇතැම් ශාස්ත්‍රාලිකයන්, දාර්ශනිකයන් හඳුන්වන්නේ දේශපාලනික – සාමාජීය ප්‍රපංචයක් ලෙසිනි. ශිෂ්ටාචාරය යුද්ධවලින් පිරී පවතින්නකි. ඉතිහාසය ද එසේමය. ලොව ඕනෑම රටක ඉතිහාසයක පරිචයන් ලියවී ඇත්තේ යුද්ධයේ බිහිසුණු විස්තර කිරීම් මතිනි. යුද්ධය ඉතිහාස විනාශ කර දමන බව ජර්මනියේ විශිෂ්ටතම ලේඛකයකු වන ‘වුල්ෆ්ගැන්ග් ගොතේ’ වරක් ප්‍රකාශ කළේය. ඉතිහාසයේ සිදු වූ අතීත යුද ස්මරණයන් නුතනයේ පවා දෝංකාර දනවන බවට කදිම නිදර්ශනයක් ලෙස අධිපතිවාදී හොලිවුඩ් සිනමා ධාරාව හරහා බිහි වූ ‘Warfare’ යුද සිනමාපටය නම් කළ හැකිය. පසුගිය අප්‍රේල් මස 11 වැනිදා සිට ලොව පුරා සිනමාශාලාහි තිරගත කිරීම ආරම්භ කළ ‘Warfare’ සත්‍ය සිදුවීමක් පාදක කරගෙන තැනූ සිනමාපටයකි. චිත්‍රපටය සඳහා කේන්ද්‍ර වන්නේ ඉරාක යුද සමයේ ඇමරිකානු සීල් සොල්දාදුවන් පිරිසක් විසින් මුහුණ දුන් ක්‍රියාදාමයක් වටායි. එනම් 2006 වසරේ ඉරාක යුද්ධයේ කොටසක් වූ ‘රමාඩි සටන’ තුළ සිදු වූ එක් ඛෙිදවාචකයක් පිළිබඳ සිනමාපටයේ කතාව ගෙතෙයි.

යුද්ධය කුරිරුවූත් දුක්ඛිතවූත්, කම්පනමය තත්ත්වයක් නිරායාසයෙන්ම නිර්මාණය කරන්නක්. එහි වීරත්වයක් නොමැත. එහි ශ්‍රේෂ්ඨ භාවයකුත් නැත. මේ සියලු දේ තිබෙනුයේ යුද්ධය නරඹන ප්‍රේක්ෂකයන්ට පමණකි. යුද්ධය කිසිම අවස්ථාවක මානුෂික නැත. අනෙක් අතට මානුෂවාදී යුද්ධයකට අතපොවන්නට කිසි අයෙකුට නොහැකිය. කොටින්ම මනුස්ස ගති ගුණ ඒ වෙලාවට එළියට අයින් නොකර යුද්ධ කරන්න කොහොමටත් නොහැකිය. ‘Warfare’ යනු යුද සෙබළා පිළිබඳ දැඩි කම්පනයක් ඇති කරවනසුලු නිර්මාණයකි. චිත්‍රපටය පුරා යුද සෙබළා උත්කර්ෂයට නංවන ප්‍රචාරාත්මක (Propaganda) බව පසෙකලා යුද විරෝධී (Anti-War) සහ යුද සෙබළා සංග්‍රාමයේ මුහුණදෙන පීඩාව, තම ජීවිතය හා ආත්මය යුද්ධ භුමි⁣ය තුළ විසිරුවා හරින ආකාරය පිළිබඳ තමයි සාකච්ජාවට ලක්වෙයි. සිනමාපටයෙහි හුදෙක් ගිනි අවි සටන් මාලාවකට එහා ගිය සැබෑවටම යුද භූමියේ අත්දැකීම් ලද සත්‍ය චරිත ඇසුරින් කතාව මෙම සත්‍යබව නිසා ම යුද්ධයේ ලත් මානසික සහ ශාරීරික පීඩාවේ සැබෑව සහ සමීපබව ⁣නරඹන ප්‍රේක්ෂක අපට එයාකාරයෙන්ම දැනෙන්න පටන් ගනී.

‘Warfare’ සිනමාපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ ‘රේ මැන්ඩෝසා’ සහ ‘ඇලෙක්ස් ගාර්ලන්ඩ්’ දෙපළ විසිනි. චිත්‍රපටයේ තිර පිටපත රචනා කර ඇත්තේ ද රේ සහ ඇලෙක්ස් දෙදෙනාගේ සුසංයෝගයෙනි. ‘ඇලෙක්ස් ගාර්ලන්ඩ්’ 2024 වසරේ අධ්‍යක්ෂණය කළ ‘Civil war’ නමැති ඩිස්ටෝපියානු දේශපාලනික චිත්‍රපටය විචාරකයන්ගේ පැසුසම් හිමි වූ අපුරු චිත්‍රපටයකි. චිත්‍රපටය රේ සහ ඇලෙක්ස් පරිකල්පනය කරන ප්‍රබන්ධයක් නොවේ. සැබෑවටම සිදු වූ අතීත ස්මරණයකි. හිටපු හමුදා සීල් යුද සෙබළකු වන ‘රේ මැන්ඩෝසා’ විසින් යුද සංස්කෘතිය සහ යුද කටයුතුවල ප්‍රායෝගික දැනුම මඟින් සීල් යුධ මෙහෙයුමක ඇති නිවැරදිව නිරූපණය කරන්නට දායකත්වය ලැබී ඇත. චිත්‍රපටයේ නිරූපණය වන සීල් මෙහෙයුමේ නිරත වූ සෙබළුන් අදටත් ජීවතුන් අතර සිටී. සම්පුර්ණයෙන්ම පාහේ ඔවුන්ට සිදු වූ ඛේදවාචකය පිළිබඳ මතක ඇසුරින් කරන ලද ප්‍රතිනිර්මාණයකි. ‘Warfare’ සිනමාපටය අනෙකුත් යුද චිත්‍රපටවලට වඩා විශේෂ වන්නේ කෙටි කාලයකදි සිදුවන මෙම සිදුවීම් දාමයේ ගලා යාම ප්‍රේක්ෂකයාට සජීවිව අත්විඳීමට ඉඩ සැලසීමයි. සිදුවීමෙන් පරිබාහිරව වෙනත් අතුරු සිදුවීමකට ජේදනය වීම හෝ අතීතයේ සිදු වු දර්ශනයකට ජේදනය නොවී කතාවෙි රිද්මය අවසානය දක්වා පවත්වාගෙන යයි. එය සම්පූර්ණයෙන්ම පාහේ මෙම යුද මෙහෙයුමේ ප්‍රේක්ෂකයා කොටස්කරුවකු වීම වැළැක්විය නොහැකි කාරණයක් බවට පත් කරයි.

‘ඩෙඩ්ලයින් හොලිවුඩ්’ නමැති ⁣පුවත් වෙබ් අඩවියේ ග්‍රෙගරි නුසන් නම් මාධ්‍යවෙිදියා ‘Warfare’ පිළිබඳ මෙසේ ලිවීය. “හොඳම දේ තමයි ‘Warfare’ කියන්නේ කලාත්මකව නිර්මාණය කරන ලද ප්‍රතිනිර්මාණයක්. නරකම දේ තමයි එය ද රටේ අධිරාජ්‍යවාදයේ වඩාත්ම භයානක අවස්ථාවන්හිදී සකස් කරන ලද නිරුවත්බව ප්‍රකට කරන මිලිටරි ප්‍රචාරණයක් වීම”. ජීවිතවල මිල කොපමණද? යුධ භුමියේ දහස් සංඛ්‍යාත මිනිස් ජීවිත දැවී අළු වී යන්නේ කාගේ වරදින්ද? විවාහය, දෙමාපියන්, බිරින්දෑවරුන්, දරුවන් යනාදී පාර්ශවයන් හුදෙකලා කර හිස් වූ භූමියක් අත්පත් කර ගැනීම වෙනුවෙන් සිදු කරන මේ නිරර්ථක උත්සාහයෙන් ලැබෙන වටිනාකම කුමක්ද? කිසිවක් නැත. එකිනෙකාගේ ආත්මය (soul) ⁣වෙනුවෙන් සටන් වැදෙන ආකාරයත්, මේ දෙපාර්ශවයම යකඩ උණ්ඩ නාස්ති කරමින් අති ව්ශාල ජන සංහාරයකට අත පොවන ආකාරයත් සංවේගජනක ආකාරයෙන් පෙන්නනවා.

ඉරාකයේ සටන්කාමීන් ඉලක්ක කොටගෙන මේ ගමන් කරන හමුදා නඩය හරහා මරණීය චාරිකාවක් සමඟ යුද ගිනිදැල් මැද යෙදෙන බිහිසුණු ගමනාන්තයත්, යුද්ධයේ විකාරරූපී ස්වභාවයත් ඉස්මතු කර පෙන්වන්නට අධ්‍යක්ෂකවරුන් දෙපළ විශිෂ්ට ලෙස සමත් වී ඇත. මනුෂ්‍යයන් ලෙස අප යුද්ධ කරන්න යනවා නම් සම්පූර්ණයෙන්ම නොමිනිසුන් විය යුතුයි යන්න සෑම මොහොතකම චිත්‍රපටයෙහි නිරූපණය වේ. මන්ද තමන් මරා දැමු මිනිසෙකුගේ මරණය බොහෝම සැහැල්ලුවෙන් විනිශ්චයකින් තොරව හිතෙන් අයින් කර දැමීමට හැකි වෙන්නේ නොමිනිස් මට්ටමකින්ම හේතු සහගත අයෙකුට පමණක් නිසා. චිත්‍රපටයේ විශිෂ්ට බව කියාපාන නළු කැළගේ යථාර්ථවාදී රංගනය වඩාත් කැපී පෙනේ.

පැයයි විනාඩි තිහක් පුරා යුද්ධයක පවතින යථාර්ථවාදීබව ප්‍රේක්ෂකයා වෙත සමීප කරන සංස්කරණ ක්‍රමවේදයන්, කැමරා කෝණ, රූප ඛණ්ඩ ආදියෙන් සිනමාවේ ශිල්ප ක්‍රම දැවැන්ත අන්දමින් දැකගත හැකි විශිෂ්ට නිර්මාණයකි. සාමාන්‍ය යුද චිත්‍රපටයකට වඩා ඉන් ඔබ්බට ගිය අමු සහ අව්‍යාජබව චිත්‍රපටයේ සෑම රූප රාමුවකම තීව්‍ර වෙයි. යුද්ධයක ඇති අවුල්සහගතබව, ආතතිය, කම්පනය ප්‍රේක්ෂකයා වෙත දනවන්නට සමත් වේ. ඉරාක – ඇමරිකානු සංග්‍රාමයේ සැබෑ තත්ත්වය පිළිබඳ අමානුෂිකවූත් විකෘතිවූත් ස්වාභාවය කියැවෙන හොඳම නිර්මාණවලින් එකක් “Warfare” ලෙස හැඳින්විය හැකිය. ජීවිතය සහ මරණය අතර දෝලනය වන අසීරු මෙහෙයුමක පුනරූපණ සිනමාත්මකව පිළිබිඹු වේ. ඔබට “Warfare” සිනමාපටය මේ දිනවලදී කොළඹ වන් ගෝල් ෆේස් සාප්පු සංකීර්ණ පරිශ්‍රයේ පිහිටි PVR සිනමාශාලාවෙන් නැරඹීමට හැකිය.

මලින්ත විතානගේ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT