Home » කෝලම් කලාව ලොවට ගෙනයන සමන් සර්

කෝලම් කලාව ලොවට ගෙනයන සමන් සර්

by Mahesh
August 15, 2024 12:30 am 0 comment

– මට පුංචි කාලෙ ඉඳන් ඇහුණෙ බෙර සද්දෙ
– කැලණිය විශ්වවිද්‍යාලය මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වුණා
– කෝලම් මඩුවක් කිරීමේදී එහි අතීතය පිළිබඳ කරුණු වත්පිළිවෙත් ආදිය හොඳින් අධ්‍යයනය කර තිබීම වැදගත්
– අපි කෝලම් මඩුවක් කරන්නේ නිසි පිළිවෙළකට
– යහපත් සිතින් වැඩක් කරනකොට සොබාදහම පවා අපිට ආශිර්වාද කරනවා
– මම ගුරුවෘත්තියටම කොටුවෙලා නැහැ

ලෝකයේ අනෙකුත් රටවලට නැති අපූරු නර්තන කලාවකට උරුමකම් කියන්නට මේ පුංචි දූපත සමත් වීම ශ්‍රී ලාංකිකයින් වන අපට අභිමානයක් ගෙන දෙන්නකි. උඩරට පහතරට, සබරගමු යන ශෛලීන් තුනෙන් සමන්විත වූ ශ්‍රී ලාංකීය නර්තන කලාව දැන් ලොව පුරා ද ප්‍රචලිත වී ඇත. එයින් උඩරට නැටුම් සම්ප්‍රදායට සේම පහතරට නැටුම් කලාවටද හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ලංකාවේ විවිධ පළාත්වල විවිධ පරම්පරාවන් තුළින් ඒ ඒ ජන සම්ප්‍රදායන්ට අදාළව නැටුම් ශාන්ති කර්ම බලි තොවිල් නිර්මාණය වී තිබේ. ඒවා පැවත එන්නේ පුරාණයේ සිටය. රජ දවස සිට උඩරට පහතට සබරගමු වශයෙන් වෙනත් සම්ප්‍රදායන් අනුගමනය කර ඇති බව පොත්පත්වල සඳහන් වෙයි. පසුව ඒවා නැවත අතුවලට බෙදී විවිධ කුලපරම්පරා වශයෙන් සාම්ප්‍රදායන් හා නව්‍යකරණයට ලක්ව ඇත. ඒවායෙන් ඇතැම් කොටස් මේ වන විට ගිලිහී ගොස් ඇත. පහතරට නැටුම් කලාව විවිධ ශාන්ති කර්ම වලට පමණක් සීමා වී නොමැත. ඉතාමත් උසස් කලාත්මක නාට්‍ය අංගයන්ගෙන් සමන්විත කෝලම් නාට්‍ය කලාව පහතරට සම්ප්‍රදාය තුළ ප්‍රධාන තැනක් ගනියි.

වර්තමානය වන විට කෝලම් කලාව තරමක් දුරට ජනතාවගෙන් ඈත් වී ඇත. විශේෂයෙන් දරුවන්, තරුණ පිරිස අතර කෝලම් ගැන දැනුම අල්පය.

පාසලේ සහ විශ්වවිද්‍යාලවල නර්තනය ඉගෙන ගන්නා දරු දැරියන් අතර යම් දැනුමක් තිබීම සතුටට කරුණකි. එහෙත් ඔවුන් බොහෝ විට පොත්පත්වල ඇතුළත් විෂය කරුණුවලට පමණක් සීමා වී ඇත. අතීතයේ අපගේ වැඩිහිටියන් කෝලම් මඩු නරඹා ඇත. ඒ ගැන දැනුම්වත් වී ඇත. ගම් මට්ටමින් කෝලම් මඩු, ශාන්ති කර්ම යාගහෝම එකල නිතර දකින්නට ලැබී ඇත. ඒවා සඳහා විශේෂ ශිල්පී කණ්ඩායම් ද සිට ඇත.

එහෙත් පාසැල් ළමුන්ගේ එකමුතුවෙන් කෝලම් මඩුවක් නැටීම මින් පෙර අසා නැත ශ්‍රී ලංකා පාසල් ඉතිහාසයේ ප්‍රථම වරට ඒ කටයුත්තට පාසල් දරුවන් මුල පුරා තිබීම පුදුමයට හේතුවකි. පාසල් දරු දැරියන් හතළිහකගේ එකමුතුවෙන් ඒ ඒ කටයුත්ත මල් පල ගැන්වෙන දිනය වැඩි ඈතක නොවේ. මෙම අගෝස්තු 22 පිළියන්දල මධ්‍ය විද්‍යාලයීය දරුවන් මඩු බැසීම සහ කෝලම් මඩුව නැටීමට නියමිතයි. එය පසුදා පහන් වනතුරු විද්‍යාල භූමියේදී පැවැත්වේ.

මෙම මහඟු කටයුත්තේ නියමුවා වනුයේ පිළියන්දල මධ්‍ය විද්‍යාලයේ නර්තනාචාර්ය ශාස්ත්‍රපති සමන් කුමාර මහතායි. පාසල් ඉතිහාසයේ පළමු වරට සිදු කරන කෝලම් මඩුව පිළිබඳව දැනුම්වත් කිරීමට සමන් කුමාර මහතා පත්තර මහ ගෙදරට ගොඩ වැදුනේය. දවසේ පැය කිහිපයකට සීමා වූ ඉගැන්වීමේ කටයුතුවලින් ඔබ්බට ගොස් කෝලම් අඩුවක් සංවිධාන කිරීම සුළුපටු කාරියක් නොවේ. එවැනි භාරදූර කටයුත්තකට අත ගැසීමද අවදානම්ය. එහෙත් ඒ බාධක සියල්ලටම මුහුණ දෙමින් ඔහු මෙම අභියෝගය ජය ගනිමින් සිටී.

කෝලම් මඩුව පිළිබඳව කතා කිරීමට කලින් මේ ශක්තිමත් මිනිසා ගැන සඳහන් කළ යුතුයි.

සමන් කුමාර මහතා බලපිටිය ගුරු විද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයෙකි. එමෙන්ම ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු සහකාර කථිකාචාර්යවරයෙකි. ශ්‍රී ලංකාවේ අති දක්ෂ නර්තන ගුරු පරපුරපුරකින් නර්තන ශිල්පය උගත් සිසුවෙකි. ප්‍රසංග නර්තන අධ්‍යක්ෂ චන්න විජේවර්ධනයන්ගේ චන්න උපුලි නර්තන කණ්ඩායමේ සාමාජිකයෙකි.

“මම කැමතියි මගේ කුඩා අවධියේ පටන් නැටුමට යොමුවෙන හැටි කතා කරන්න”.

සමන් කුමාර මහතා ඉතාමත් සුහදශීලී ලෙස කතාව ආරම්භ කළේය.

“මම පහතරට නර්තනයට තමයි පුංචි කාලේ ඉඳන් යොමු වුණේ ඒකට හේතුව මගේ ඥාතිවරයෙක්. එතුමා තමයි නර්තනාචාර්ය බන්ධු විජේසූරිය. එතුමා මගේ බාප්පා කෙනෙක්. ඉතින් මම හැදුණේ වැඩුණේ එයාලගේ ඇසුරත් සමග. මට පුංචි කාලෙ ඉඳන් ඇහුනෙ බෙර සද්දෙ. ඇහැට දැක්කේ නැටුම්.

මට ඒ දේවල් හොඳටම මතකයේ රැඳුණා. මම හොඳීන් නැටුම් කලාව ග්‍රහණය කරගෙන ඉගෙන ගෙන උපාධිය ලබා ගත්තා. ජාතික අධ්‍යාපන ආයතනයේ උපාධියද, අධ්‍යාපනවේදී උපාධියද ලබා ගත්තා. ඉන්පසුව තමයි මම කැලණිය විශ්වවිද්‍යාලයට යන්නේ. ශාස්ත්‍රපති උපාධිය සම්පූර්ණ කිරීම සඳහා. එතන තමයි මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වුණේ. මගේ අධ්‍යයන කාලය වුණේ වසර දෙකක්. මට එහිදී මුලින්ම හමුවෙන්නේ මහාචාර්ය මංගලිකා ජයතුංග මහත්මියව. එතුමිය තමයි මට ශක්තිය වුණේ. මම මගේ පර්යේෂණ ග්‍රන්ථය සඳහා තෝරා ගත්තේ ‘කෝලම්’, කෝලම්වල එන එක් මුහුණක් පිළිබඳව මහා සම්මත රජ මුහුණ මම හොඳීන් ඒ ගැන පර්යේෂණ කටයුතු කළා. මට ඒ සඳහා ඉහළ ප්‍රතිඵල ලැබුණා.

සමන් කුමාර මහතා වචනයට පමණක් සීමා වූ නැටුම් ගුරුවරයෙක් නොවේ. ඔහු නර්තනය පිළිබඳව දැනුමෙන් සන්නද්ධ වූ ගුරුවරයෙකි.

“මගේ අධ්‍යයන කටයුතු අවසන් වුණාට පස්සේ මට හිතුණා දරුවන් වෙනුවෙන් මොනවා හෝ යමක් කරන්න, කෝලම් කලාව ඇසුරින්. මගේ විදුහල වන අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විදුහලේ දූ පුතුන්ට. එහෙත් ඒ සිහිනය අතරමඟදී බොඳ වුණා.

මගේ බිරිඳගේ සේවා මාරුවත් සමඟ මට කොළඹට එන්න සිදුවුණා. මොරටුව වේල්ස් කුමරි විදුහලට තමයි මම එන්න හිතාගෙන හිටියේ. මම දවසක් ඒ කටයුතු සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට ගිය වෙලාවක මට අපේ හිටපු විදුහල්පතිතුමා වන දර්ශන උඩවත්ත මහතා හමුවුණා. ඒත් මම එතුමා කලින් දැනගෙන හිටියේ නැහැ. එතුමා මා සමග කතාබහ කරලා, ආරාධනා කළා පිළියන්දල මධ්‍ය විද්‍යාලයට එන්න කියලා. ඒ අනුව තමයි මම මැදි විදුහලට එන්නේ. මේ පාසලේ තියෙන සුන්දර පරිසරයට මම ආස කළා. මේ පාසලේ දරුවන් වෙනුවෙන් යමක් කරන්න ඕන කෙනෙක් සිතුවිල්ල මගේ හිතේ පැලපදියම් වුනා. විදුහල්පතිතුමා මට පළමුවෙන්ම පවරපු රාජකාරිය තමයි පාසලට බෙර කණ්ඩායමක් හදන්න. ඒ අඩුපාඩුව තදින්ම තිබිලා තියෙනවා පාසැලේ. මම බොහොම ආසාවෙන් බාරගත්තා ඒ කටයුත්ත. දරුවන්ගේත් උනන්දුව තිබුණා ඒ පිළිබඳව. හොඳ පුහුණුවකින් පස්සේ මට හැකි වුණා බෙර කණ්ඩායමක් ඇති කරගන්න. ඉන් නොනැවතුණු මම වෙස් කණ්ඩායමක් හදන්නත් උනන්දු වුනා.

මේ සඳහා මම ළමයි විසි එකක් තෝරාගෙන පුහුණුවීම් පටන් ගත්තා අධ්‍යාපන කටයුතුවලට බාධාවක් නොවන විදිහට. විශේෂයෙන් කියන්න ඕන නැටුම් කරපු ළමයි විතරක්ම නෙමෙයි වෙස් නැටුම් කණ්ඩායමේ හිටියේ. විද්‍යා විෂයන් කරන තාක්ෂණ විෂයන් කරන දරුවන් ඒ සඳහා සම්බන්ධ වුණා. ඒ වගේම පාසලේ ඉන්න දඟකාර පුතාලා එහෙමත් මම සම්බන්ධ කරගත්තා. අති සාර්ථකව පුහුණුවීම් කරලා දරුවන් 21 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් හදලා කලඑළි මංගල්‍යයක් පැවැත්වූවා. ඔය විදිහට පාසල තුළ බොහෝ කලා කටයුතු කළා නර්තනය පැත්තෙන්. ඒ මොනවා කළත් කෝලම් මඩුව කිරීමේ සිතුවිල්ල මගේ හිතේ ඒ විදිහටම තිබුණා. මම ඒ සිතිවිල්ලත් එක්ක ඉන්න වෙලාවෙ තමයි පිළියන්දල ධර්ම ශාස්ත්‍රෝදය පිරිවෙන් විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේගෙන් ආරාධනයක් ලැබෙන්නේ. විහාරස්ථානයේ කොලම් මඩුවක් පවත්වන්න කියලා.

මම හරි ආසාවෙන් ඒ ආරාධනාව පිළිගත්තා. පාසලේ දරුවන් එකතු කරගෙන මම කෝලම් මඩුවක් කළා. එය හිතපු නැති විදිහට සාර්ථක වුණා. හිතපු නැති විදිහට සෙනඟ ආව බලන්න. ඒ අවස්ථාවේ ලොකු ශක්තියක් මගේ හිතට ආව. ඒත් පෞද්ගලිකව මට යම් යම් ගැටලු මතු වුණා. ඒ අවස්ථාවන් වලදී මම මානසිකව හොඳටම වැටුණා. ඒ වෙලාවේ මට ලොකු ශක්තියක් වුණේ මහාචාර්ය මංගලිකා ජයතුංග එතුමිය. මගේ තත්ත්වය දැනගෙන මාව දිරිමත් කළා. “පුතා ඔයා අලුතෙන් හිතල, අලුතින් දෙයක් කරන්න පටන් ගන්න”. ඒ විදිහට තමයි එතුමිය මාව දිරිමත් කළේ. ඒත් මට පාසල දාලා යන්න වුණා. ජාතික අධ්‍යාපන ආයතනයට යන්න වුණ නිසා. මම එතනට මගේ උපරිම සේවය දීල නැවතත් මගේ පාසලටම ආවා. ඉන්පසුව මම හිතා ගත්තා ‘කෝලම් මඩුව‘ කරනවාමයි කියලා. එහෙම තීරණයක් ගන්න තවත් හේතුවක් තියෙනවා. ජාතික අධ්‍යාපන ආයතනයේ වරුණ අලහකෝන් මහත්මයා මට යෝජනාවක් කළා, පාසලේ දරුවන් එකතු කරගෙන ඒ කටයුත්ත ආරම්භ කරන්න කියලා. මම දරුවෝ ටික එකතු කරගෙන ලහි ලහියේ වැඩේට සූදානම් වුණා. ගැහැනු සහ පිරිමි දරුවන් දෙගොල්ලෝම මම සම්බන්ධ කරගත්තා. අපි හැමදාම පුහුණුවීම් කරනවා අධ්‍යාපන කටයුතුවලට බාධාවක් නොවන විදිහට. අපේ දරුවෝ නටන්නේ බෙර ගහන්නෙ පුදුම ජවයකින්. මම හොඳ පුහුණුවක් දෙනවා. දණ්ඩි කඳ පවා හදලා ඒ හරහා ඔවුන්ට පුහුණු කරනවා.

කෝලම් මඩුවක් කිරීමේදී එහි අතීතය පිළිබඳ කරුණු වත්පිළිවෙත් ආදිය හොඳීන් අධ්‍යයනය කර තිබීම වැදගත්. ඒවාට ආවේණික වූ සිරිත් විරිත් විශේෂයෙන් සිදු කිරීමට අවශ්‍යයි. සමන් කුමාර මහතාද මේ භාරදූර කටයුත්තට අත පවා ඇත්තේ ඒ පිළිබඳ නිසි අධ්‍යයනයක් පර්යේෂණයක් කිරීමෙන් පසුවයි.

මම මේ ගැන සොයා බලා තොරතුරු රැස් කරන්න කොළඹ ජාතික කෞතුකාගාරයට ගියා. ඒ කටයුත්තට මම පාසලේ ඉගෙන ගන්න ශිෂ්‍යයෙක් එක්ක ගියා. මගේ සහයට. කෞතුකාගාරයේ තිබෙන පරණ පුස්කොළ පොත් මම සොයාගෙන මම ඒවා අධ්‍යයනය කළා. ඒ සඳහා මට හොඳ සහයෝගයක් ලැබුණා කෞතුකාගාර නිලධාරී නිලධාරිනියන්ගෙන්. අවසානයේ ඔවුන් ඉල්ලීමක් කළා අපි කරන කෝලම් මඩුව කෞතුකාගාරයේ තියන්න කියලා. මේ දේ නිසා අපිට අතුරු ප්‍රතිඵලත් ලැබිල තියෙනව. කියන්න සතුටුයි මා එක්ක මට උදව් කරන්න සම්බන්ධ වුණ ශිෂ්‍යයා හොඳ දැනුමක් ලබා ගත්තා; කෝලම් මුහුණු ගැන තොරතුරු සෙවීමේදී. ඔහුට හොඳ මතක ශක්තියක් තියෙනවා ඒ පිළිබඳ. මේ වෙනකොට ඔහු හොඳ බෙර වාදකයෙක්. මුහුණ පාට කරන්නේ ඒ ශිෂ්‍යයා. වැඩ කටයුතු මෙහෙයවන්නේ ඔහු. තාක්ෂණ විෂයන් කරපු ඒ දරුවා, දැන් හොඳ කලාකරුවෙක්. පාසලේ ටිකක් දඩබ්බර ගතියක් තිබුණ ඒ දරුවා දැන් යහපත් දරුවෙක් ඒ ගැන මට පුංචි ආඩම්බරයකුත් තියෙනවා.

මෙවැනි කටයුත්තක් සිදු කිරීම ලෙහෙසි පහසු කාර්යයක් නොවෙයි. ඒ සඳහා වැය වන මුදලද අධිකයි. වෙස් මුහුණේ සිට ඇඳුම් පැලඳුම් සඳහා වන වියදම ද ඉතා අධිකයි. එහෙත් ඒ සෑම දෙයක්ම සූදානම් කරගන්නා ආකාරයද අපූරුයි. අතීතයේ වෙස් මුහුණු කැපීමට භාවිතා කළේ ජලාශ්‍රිතව වැවුණු ඩිං අතු, ගිම්පොළ වැනි ශාකයි. එහෙත් පහසුවෙන් කපා හැඩ වැඩ කිරීමේ පහසුව නිසා කඳුරු රුක්අත්තන ශාක භාවිත කිරීමට පටන්ගෙන ඇත. ඒ පිළිබඳව සමන් මහතා මෙවැනි පැහැදිලි කිරීමක් කළේය.

කෝලම් නැටුම්වල ප්‍රධානම අංගය තමයි වෙස් මුහුණ. කෝලම් මුහුණෙන් විවිධ චරිත නිරූපණය කිරීම තමයි කෙරෙන්නේ. අතීතයේ සිට අතු වැනි ශාක භාවිතා කළත් වර්තමානයේ කඳුළු රුක්අත්තන වගේ ශාක උපයෝගී කරගන්නවා වෙස් මුහුණු කපන්න. වෙස් මුහුණු ගැන කතා කරනකොට අපිට මතක් වෙන්නේ දකුණේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ නේ. වෙස් මුහුණු මිලදී ගන්න ගියා නම් අපිට විශාල මුදලක් අවශ්‍ය වෙනවා. ඒ සඳහා අපිට පාසලට වගකීම පවරන්නත් බෑ. දෙමව්පියන්ටත් මේ කාලයේ වියදම් දරන්න බෑ. ඒ නිසා මම කරපු පර්යේෂණත් යොදාගෙන සිසු සිසුවියන් එක්ක එකතු වෙලා අපිම වෙස් මුහුණු නිර්මාණය කරන්න පටන් ගත්තා. අහක දාලා තිබුණු කදුරු රුක්අත්තන ලී අපිට හම්බවුණා.

ඒ වගේම තමයි ඇඳුම්. පාසලේ ගුරුවරියන් මට ඔවුන්ගේ පාවිච්චියට ගන්නේ නැති සාරි ගෙනත් දුන්නා. අපි ඒවා කපල මහලා තමයි ඇඳුම් හදාගත්තේ. පිටින් ඇඳුම් මසා ගන්න ගියොත් අපට විශාල මුදලක් වියදම් කරන්න වෙනවා. අපිම අපේ වස්ත්‍රාභරණ සකස් කරගන්න නිසා වියදම අඩුයි. අපිට අනෙකුත් කටයුතු වලට මුදල් අවශ්‍ය නිසා ජචප ඹචඵඩ එකක් පවා ශිෂ්‍ය ශිෂ්‍යාවන් සංවිධානය කළා.

අපිට ලොකු අනුග්‍රාහක බවතුන් නැහැ. ඒත් විශ්ව ශක්තිය නිසාදෝ කෙසේ හෝ මේ වැඩ ටික ලස්සනට පිළිවෙළට කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. මම මගේ වියදමින් මුහුණු පවා ගත්තා. අඩු වියදමින් ඇඳුම් මහගන්නවා. විශේෂයෙන් කියන්න ඕන දෙවොල් ඇඳුමක් මහ ගන්නවා නම් රුපියල් 25,000ක් පමණ වැය වෙනවා. ඒත් අපිම මහණ නිසා වියදම උනේ රුපියල් 10,000ක් වගේ මුදලක්. ඒ වගේම මුහුණු පාට කරන වර්ණ පවා අපි නියමාකාරයෙන් යොදාගෙන තියෙනවා. මෙහිදී සඳ කිඳුරු කෝලම නටනවා ඒ සඳහා බාපත් (පියාපත්) අවශ්‍යයි. බාපත් හදන්න ගියොත් විශාල මුදලක් වැය වෙනවා. ඒත් ඒවට අවශ්‍ය ද්‍රව්‍ය අපිම හොයාගෙන පාසැල තුළදීම ඒවා නිර්මාණය කරනවා. මේ කෝලම් මඩුවට අවශ්‍ය සියලුම දේවල් කරන්නේ පාසැලේ සිසුන්මයි. බාහිරින් කිසිම කෙනෙක් සම්බන්ධ කරගන්නේ නැහැ. ඒ නිසා දරුවන් තුළ කෝලම් මඩුව සම්බන්ධව තියෙන්නේ හොඳ දැනුමක් සහ කැපවීමක්.

වෙස් බැඳීම, මඩු බැසීම වැනි නර්තන කලඑළි මංගල්‍යයන් වලදී විශේෂයෙන් ආගමානුකූලව චාරිත්‍ර විධි සිදු කිරීම පුරාණයේ සිට පැවත එන්නකි. සති මාස ගණන් ඒ වෙනුවෙන් පුද පූජා පැවැත්වීම සිරිතයි. ඒ පිළිබඳව සමන් මහතා පැහැදිලි කිරීමක් කළේය.

අපි කෝලම් මඩුව කරන්නේ නිසි පිළිවෙළකට මඩු බැසීමේ කටයුත්තට අදාළ සියලුම වත් පිළිවත් කරමින් තමයි අපි මෙයට සූදානම් වෙන්නේ. මමත් සිසු සිසුවියන් සියලුම දෙනා ඒ වෙනුවෙන් පේවිලා ඉන්නේ. මස් මාංශ ආදිය ආහාරයට නොගෙන. අපි ඉදිරි සතියේ පිළියන්දල ගනේවත්ත දේවාලයට භාර වෙනවා. අපේ පාසලේ බෝරුක මුල පූද පූජා පවත්වනවා. බෝ පෙළේ පාසලේ රෝපණය කරන්න සම්බන්ධ උණේ මම. අපි අනුරාධපුරයෙන් තමයි අපි බෝ පැලේ අරගෙන ආවේ. මුලින්ම අපිට ගන්න තිබුණ බෝ පැලේ නැති උණා. ඒත් මම කොහොම හරි අරගෙන යන තීරණේම හිටියා. ඒ එකම ශ්‍රී මහා බෝධිය ගාවට මහා වැස්සක් ඇද හැලුණා. අපි හිස් අතින් ආපසු එන්න හිටපු ගමන පමා උණා. ඒ නිසා. ඒ පමා වීම නිසා නැති වූ බෝ පැලය අපට නැවතත් ලැබුණා. අපි යහපත් සිතින් වැඩක් කරනකොට සොබාදහම පවා අපිට ආශිර්වාද කරනවා.

මඩු බැසීමේ මංගල්‍යයේ වතාවත් කටයුතු සිදු කරනු ලබන්නේ පිළියන්දල මැදි විදුහලේම ආදි සිසුවෙකි. ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අංශයේ කථිකාචාර්ය රංගනාත් ද සිල්වාය.

මේ කතාබහේදී සමන් මහතා ඉතා පැහැදිලි විස්තරයක් කළේය. එය ඉතා රසවත්ය. හරබරය. මෙවන් වූ ගුරුවරුන් සෑම පාසලකම සිටී නම් අපේ දරු පරපුරේ අනාගතය ගැන බිය විය යුතු නැත.

සමන් කුමාර මහතාගේ ප්‍රාසංගික නර්තන හැකියාව ගැනද මෙහි සඳහන් කළ යුතුයි. පසුගිය වසරේ පිළියන්දල මැදි විදුහලේ පැවති කලා උළෙල එයට කදිම නිදසුනකි. එහි තේමාව වී තිබුණේ හැත්තෑව අසූව දශකයේ සිනමාවයි. අතීත සිනමාවේ විචිත්‍ර වූ ගීතවලට නර්තන වින්‍යාසය කර තිබුණේ සමන් මහතාමයි.

“ඇත්තටම මේ නැටුම් හරිම ලස්සනයි, ඉතා ඉහළ මට්ටමකින් නිර්මාණය වෙලා තියෙනවා.” ඒ එදා විශේෂ අමුත්තා ලෙස පැමිණි ප්‍රවීණ රංගවේදිනි ශ්‍රියාණි අමරසේන මහත්මියගේ ප්‍රතිචාරයයි.

සමන් කුමාර මහතා පාසල තුළටම කොටු වූ නර්තන ගුරුවරයෙක් නොවේ. ඔහුගේ හැකියාවන් පාසලෙන් පිටවේදිකාවේද විහිදී ඇත. ඔහු ප්‍රවීණ නර්තනාචාර්ය චන්න විජේවර්ධන සහ ප්‍රවීණ නර්තනාචාරිනී උපුල් පණිභාරතගේ ගෝලයෙකි. එමෙන්ම ප්‍රවීණ නර්තනාචාරය නැසී ගිය කුලසිරි බුධවත්තයන් යටතේ නර්තනය හැදෑරූ දක්ෂ සිසුවෙකි. චන්න උපුලි රංගායතනයේ නිර්මාණයක් වන කුවේණි මුද්‍රා නාට්‍ය ප්‍රවීණ නාට්‍යවේදී ධර්මජිත් පුනර්ජීවගේ සිංහබාහු ඉංග්‍රීසි පරිවර්තන නාට්‍යයද සමන් කුමාර මහතා රංගනයෙන් දායක වී ඇත.

මම ගුරුවෘත්තියටම කොටුවෙලා නැහැ. ලැබෙන විවේකයෙන් මම පාසලේ බාහිර වැඩ වලටත් සම්බන්ධ වෙනවා. මම රීදිරැයක් ප්‍රසංග වලට නර්තනයෙන් දායක වෙලා තියෙනවා. තහංචිය කියන ටෙලිනාට්‍යයේ රඟපෑවා. ශ්‍රී ලංකාවේ පනස් වන නිදහස් වර්ණ ජයන්තියට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ කලා කටයුතුවලදී මට මුණගැහුණු ග්‍රැන්විල් රොද්‍රිගු, රොජර් සෙනෙවිරත්න වැනි කලාකරුවන් මාව දිරිමත් කළා මගේ දක්ෂතා දැකලා.

සමන් කුමාර මහතා තමාට ශිල්පදුන් ගුරුවරුන්ට අකුරටම යුතුකම් ඉටුකළ ගරු සැලකිලි දැක්වූ ශිෂ්‍යයෙකි. සවුදම් අතර 66 වෙනි සවුදම සමන් මහතා නිර්මාණය

කර ඇත. ඒ චන්න උපුලී සවුදමයි. උත්සවාකාරයෙන් එය පවත්වා ඇත්තේ ඔහුගේ ගම් ප්‍රදේශය වූ අම්බලන්ගොඩ ප්‍රදේශයේය. සමන් කුමාර මහතාගේ ඒ උතුම් ගුණය නිසාම ජනනාත් වරකාගොඩ මහතා එයට විශාල සහයෝගයක් ලබා දී ඇත.

සමන් කුමාර මහතා පාසලේ දක්ෂ ගුරුවරයෙක් වූ නිසා ඔහුවට එක්රොක් වී ඇති පිරිසද බොහෝයි. විශේෂයෙන් හිටපු විදුහල්පති දර්ශන උඩවත්ත මහතා වැඩ බලන විදුහල්පතිනි අකිලා අබේවික්‍රම, ගුරු මණ්ඩලය, පාසල් සංවර්ධන සමිතිය, ආදි ශිෂ්‍ය සංගම්, දෙමව්පියන් ඒ අතර සිටීම විශේෂත්වයක්.

ඉතිහාසයේ පළමු වරට පාසැලක් තුළ කෝලම් අඩුවක් පැවැත්වීම මඩු බැසීම සිදු කිරීම පාසලේ නර්තන චාර්යවරයා වන සමන් කුමාර මහතා විසින් සිදුකිරීම නර්තන ගුරු පරපුරටම ආදර්ශයකි. ඒ පිටුපස වටිනා අරමුණක්ද ඔහුගේ සිත තුළ ඇත කෝලම් අඩුව පාසලට පමණක් සීමා නොකර දිවයින පුරා පාසල්වල පැවැත්වීමට හැකියාවක් ලැබුණොත් ජාත්‍යන්තරයටද රැගෙන යාම ඔහුගේ එකම අරමුණයි. එම අරමුණේ පළමු පියවර තබන මෙම අගෝස්තු 22දා විශේෂ අමුත්තන් රැසක් සහභාගී වීමට නියමිතයි.

ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මංගලිකා ජයතුංග, කැලණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය රංගනාත් ද සිල්වා සහභාගි වීමට නියමිතයි.

විශේෂයෙන් මෙම කෝලම් මඩුව මඩු බැසීමේ මංගල්‍යය කරගෙන යාමේදී සමන් මහතාට ශක්තිය දුන් බොහෝ පිරිසක් ඇත. ඒ සියලු දෙනාට ස්තුතිය පුද කිරීමට ද ඔහු අමතක කළේ නැත.

මාව මේ කටයුත්ත වෙනුවෙන්ම නිදහස් කරලා පවුලේ සියලු වගකීම් බාරගත්ත මගේ ප්‍රිය බිරිඳට මම පළමුවෙන්ම ස්තූතිවන්ත වෙනවා. ඇය ජයම්පති සඳමාලි ආරියරත්නයි. මගේ බිරිඳ කරන්නෙත් වගකිවයුතු රැකියාවක්. දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්වරිය ලෙස සේවය කරයි. සමන් මහතාට ඇය යෝධ ශක්තියකි.

ඒ වගේම මගේ ආදරණීය අම්මා තාත්තා ආදරෙන් මතක් කරනවා. කුඩා කල සිට ඔවුන්දුන් ශක්තිය තමයි මේ. මේ එහි ප්‍රතිඵලයක්. මගේ පාසලේ දරුවන්ගේ කැපවීම මහන්සිය උනන්දුව මම ඉතා අගය කරනවා. මම ඉගෙන ගත් පාසල් දෙක විශේෂයෙන් මතක් කරල ගෞරව කරන්න ඕන. ඒ තමයි බටපොල කල්‍යාණ තිස්ස විදුහල සහ බටපොල මධ්‍ය විද්‍යාලය.

මට මේ කටයුත්ත සඳහා ප්‍රචාරයෙන් සහයෝගය ලබා දෙන මාධ්‍ය ආයතන වලට මගේ ස්තුතිය පිරිනමනවා. විශේෂයෙන් සරසවිය පුවත්පතට. අපේ දක්ෂතා හඳුනාගෙන අපේ කලා කටයුතු කවදත් අත හිත දෙන සරසවිය පුවත්පතට.

මම මේක අවස්ථාවක් කර ගන්නවා සරසවිය පාඨකයින්ට විවෘත ආරාධනාවක් කරන්න. අගෝස්තු 22 රාත්‍රියේ සිදු කරන කෝලම් මඩුව නරඹන්න එන්න කියලා.

සමන් කුමාර මහතා සමඟින් කළ කතාබහේ අවසානයට පැමිණියත් ඔහුගේ දක්ෂතා හා පිළියන්දල මැදි විදිහල් දරුවන්ගේ දක්ෂතා තව බොහෝ ඇත. එවැනි ගුරුවරු, ගුරු දෙවිවරුය. එවන් ගුරුවරුන් යටතේ ශිල්ප ලබන දරුවන්ද පින්වත් දරුවන්ය. කෝලම් අඩුවට සහ මඩු බසින සියලුම දූ දරුවන්ට සහ නර්තන ගුරු සමන් කුමාර මහතාට මේ කටයුත්ත සඳහා යෝධ ශක්තිය ලැබේවා! සියලු කලාවන්ට අධිපතිනිය වූ ශ්‍රී සරස්වතී මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා! ඒ ‘සරසවිය’ පුවත්පතේ පැතුමයි.

නයනාංජලි දෙහිපිටිය

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT