සමාජයේ ඉහළ තනතුරු දරන කලාකාමී අදහස් වලින් පිරිපුන් සංගීතයට ළැඳීයාව දක්වන පිරිස් කලා ක්ෂේත්රයට යොමු වීම අගය කළ යුතු කටයුත්තකි. විවිධ වූ වෘත්තීන් වල නියැළෙන බොහෝ වෘත්තිකයන් තම මනස නිරවුල් කර ගන්නේ ගීතයක් ඇසීමෙනි. ගීතයක් ගැයීමෙනි. දින සතිපුරා රැකියාව වෙනුවෙන් වෙහෙස මහන්සි වන මිනිසාගේ මනසට මඳකට හෝ සැනසිල්ලක් ලබා ගත හැක්කේ කලාවට යොමුවුවහොත් පමණි. කලාවට ඇලුම් කරන ගායනයට ඇලුම් කරන සමාජයේ ඉහළ නිලයක් දරන කලාකාමියෙකු පසුගිය දා පත්තර මහගෙදර සාමාජිකයෙකු වන සරසවිය සොයා ආවේය. අධ්‍යාපනයේ හිණි පෙත්තට ගිය ඔහු මහාචාර්යවරයෙකි. එහෙත් ඔහු අදවන විට ගායකයෙකි. අධ්‍යාපන මට්ටම කෙතරම් ඉහළට ගියත් ඔහු තුළ කලාකාමී මිනිසෙකු ද ජීවත්වන බව කිවයුතුය. ඔහු ගයන ගීතය සරලය. ඔහු කියන්නේ සඳ ලස්සනයි යනුවෙනි. ඔහු එසේ කියන්නේ ඔහුගේ මිහිරි හඬින්ම වීම විශේෂත්වයකි. ඒ ලස්සන සඳ පිළිබඳ ඔහු දැක්වූ අදහස් මෙසේය.
ලස්සන සඳක් ගැන කියන්නට මත්තෙන් මම මාව හඳුන්වා දීම හොඳයි කියා සිතනවා. මම ගාමිණී විලත්ගමුව. මොරටුව විශ්වවිද්‍යාලයේ පේෂකර්ම සහ ඉංජිනේරු ඇඟලුම් අංශයේ මහාචාර්යවරයෙකු ලෙස සේවය කරනවා. අපි ගත කරන්නේ අතිශය කාර්යබහුල ජීවිතයක්. ඒ කාර්යබහුල ජීවිතයෙන් මදකට හෝ මිදෙන්න ක්‍රමයක් අපි සොයා ගතයුතුයි. කුඩාකල සිටම මම සංගීතයට ප්රියකළා. මම අධ්‍යාපනය ලැබුවේ දකුණු තලංගම විද්‍යාවර්ධන විදුහලේ. අපිට සංගීතය ඉගැන්වූයේ සාගරිකා ප්‍රේමසිරි ගුරුතුමිය. විල්සන්ට් ප්‍රේමසිරි සංගීතවේදියාණන්ගේ බිරිඳ. අපේ පාසලේ කනිෂ්ඨ ජ්‍යේෂ්ඨ වශයෙන් කොටස් දෙකකින් යුක්ත වුණා. මට ඉතා හොඳීන් ගී ගැයිමට හැකිබව පාසලේ ඉහළ පංතිවල සිසුන් දැනගෙන සිටියා.
දවසක් ඉහළ පන්තියක සහෝදරයෙක් බයිසිකලයකින් අපේ ගෙදරට ආවා. ඇවිත් මාව එක්ක ගියා ගීත පුහුණුවීමක් සඳහා. ඔවුන් දැනගෙන ඉන්න ඇති මට හොඳීන් ගී ගැයීමට හැකිබව. සාගරිකා ගුරුමහත්මිය පාසලේ ගායන කණ්ඩායමක් හැදුවා. තරඟවලට සහභාගී කරවන්න. මාවත් ඒ කරවන්න. මාවත් ඒ කණ්ඩායමට බඳවා ගත්තා. අපි සමස්ත ලංකා තරඟවලට සහභාගී වුවත් ජයග්‍රහණය කරන්න හැකියාව ලැබුණේ නැහැ. අපි එදා ගයපු ගීතය පසු කාලයක චණ්ඩි පැටව් කියන චිත්‍රපටයේ ගීතයක් ලෙස යොදා ගත්තා. ඒ ගීතය කියන්න මමත් සම්බන්ධ වුණා.
සාමාන්‍ය පෙළින් පසුව උසස් පෙළ කරන්න නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයට ඇතුළත් වුණා. මම උසස් පෙළ කළේ ගණිත අංශයෙන්. උසස් පෙළ සමත්වෙලා මම ඇතුළත් වුණේ ඉංජිනේරු පීඨයට. එම කටයුතු අවසන් වීමෙන් පසුව කථිකාචාර්යවරයකු ලෙස සේවය කළා.
ඉන්පසු අධ්‍යාපන කටයුතු සඳහාමම එංගලන්තය බලා ගියා. එහිදී මම සිංහල සංගමයට සම්බන්ධ වෙලා ගායන , වාදන කටයුතු කළා. 2021 දී නැවතත් ලංකාවට ආවා. මේ විදිහට තමයි මගේ අධ්‍යාපන කටයුතු සිදුවුණේ.
මට මගේම ගීතයක් ගායනා කරන්න බලාපොරොත්තුවක් තිබුණා. ඒ නිසා මම ප්‍රවීණ ගීත රචිකාවියක වන යමුනා මාලිනී මහත්මියව මුණගැසුණා. මම මගේ අදහස එතුමියට පැවසුවා. ගීතයේ අඩංගු වියයුතු අදහස් මම ඇයට ඉදිරිපත් කළා. යමුනා මාලිනී මහත්මිය ඒ අදහස් අනුව මෙන්න මේ විදිහට අපූරු ගීතයක් මට්ස් ලියා දුන්නා.
සඳ ලස්සනයි
සඳ වට ඇත නැතද තරු
ගඟ ලස්සනයි
දියවර රළ නගන තුරු
සිත ලස්සනයි
මගෙ නුඹ ගැන සිතන තුරු
මට ලස්සනයි
නුඹේ සිත දිවි තිබෙන තුරු
මා මෙහි සඳහන් කළේ ගීතයේ මුල් කොටස පමණයි. ගීතය පුරාම ඇත්තේ, ආදරය මුසු සොබා සෞන්දර්ය. යමුනා මාලිනී මහත්මිය මගේ අදහස හරි අපූරුවට ගී පද වලට පෙරළා දුන්නා. මම ඇයට ස්තූතිවන්ත වෙනවා මගේ සිතේ තිබූ අදහස ඒ අයුරින්ම ලියා දුන්නාට.
මම මේ ගීතයට වීඩියෝවක් කළා. එයට අදහස දුන්නේත් යමුනා මාලිනී මහත්මියගේ ආදරණීය දියණිය. ඇය ඉගෙන ගන්නෙත් මොරටුව විශ්වවිද්‍යාලයේ. විශ්වවිද්‍යාලයේම සිසු සිසුවියන් සහභාගී කරවාගෙන එය නිර්මාණය කළා.
දේශනය සිදු කරන අතරේ එක් සිසුවෙක් පාඩම් වැඩ වලින් මිදිලා කල්පනා ලෝකයක තනිවෙලා. ගුරුවරයා එය දකිනවා. පසුව මේ සිසුවා කොළයක් ගෙන පද වැල් ගොනු කරමින් සිටිනා විට විශ්වවිද්‍යාලයේ අනෙක් සිසුන් එය උදුරාගෙන දුවනවා. පසුව එය දැන්වීම් පුවරුවේ අලවනවා. එය දකින ගුරුවරයා එය පසුව එය ගීතයක් බවට පරිවර්ථනය කරගනිමින් ගායනා කරනවා. ඇත්තටම ඒ ගුරුවරයා විදිහට වීඩියෝවේ පෙනී සිටින්නෙත් මම. සිසුවා ලියන ගීතය වශයෙන් පෙන්වන්නේ යමුනා මාලිනිය මා වෙනුවෙන් රචනා කරන ලද ගීතය.
මේ ගීතය සඳහා ලස්සන තනුවක් දමා සංගීතවත් කළේ ආචාර්ය රෝහණ වීරසිංහ. මේ ගීතය මම යූ ටියුබ් එකට ඇතුළත් කළා. මේ වන විට එය නැරඹු පිරිස අට දහසකට ආසන්නයි. සඳ ලස්සනයි ගීතය ගුවන් විදුලියේ සහ රජරට ගුවන් විදුලි සේවයේත් ප්‍රචාරය වී තිබෙනවා. වර්තමානයේ අපට වැඩි වශයෙන් ඇසෙන්නේ හරසුන් ගීත. ඇතැම් ඇය අර්ථයක් නැති ගීත ලියනවා. එහෙත් එම ගීත එක රැයකින් ජනප්‍රිය වෙනවා. තරුණයන් පිරිස බලාපොරොත්තු වන්නේ කුමක් හෝ ගීතයක් ගයා ඉක්මනින් ජනප්‍රිය වෙන්න. ඒ පරම්පරාවට දොස් කියන්න බැහැ. අපේ පැරණි ගීත ශෛලීන් නව ආරයකින් ඉදිරිපත් කරන දක්ෂ තරුණ ගායක ගායිකාවන් ද ඒ අතර ඉන්නවා. ප්‍රවීණයන්ගෙන් සහයෝගය, ගුරුහරුකම් ලබාගෙන මේ සංගීත ක්ෂේත්රයේ ගමනක් යා යුතුයි. ඒ වගේම මාධ්‍යයට පුළුවන් සුභාවිත ගීත තරුණ පරම්පරාව අතර ප්‍රචලිත කරන්න.
මම සේවය කරන මොරටුව විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන්ට එවැනි පසුබිමක් සකසා තිබෙනවා. විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා පිටවූ කිහිපදෙනෙකු සම්බන්ධ කරගෙන සිසුන් වෙනුවෙන් සංගීත භාණ්ඩ කීපයක් ලබා ගත්තා. ඒ අනුව අපේ ප්රවීණයන්ගේ සුභාවිත ගීත ඔවුන් ලවා ගායනා කටවනවා. අපි විශ්වවිද්‍යාලය තුළ වසරක් පාසා මහා පරිමාණයෙන් පැදුරු සාජ්ජයක් පවත්වනවා.
සංගීත කලාව වෙනුවෙන් මම දිගටම කැපවෙනවා. සංගීතය ඕනෑම කෙනෙක්ගේ මනස සුවපත් කරන්න ඉවහල් වෙනවා. මේ දිනවල මම සංගීතය නිසියාකාරව හදාරමින් ඉන්නේ. ඉන්දියානු සංගීත ප්‍රථමා විභාගය සමත් වුණා. මට ගායනා කරන්න මුල්ම ගීය ලියාදුන් ප්‍රවීණ ගීත රචිකාව වන යමුනා මාලිනී මහත්මියට සහ තනුව නිර්මාණය කළ ආචාර්ය රෝහණ වීරසිංහයන්ටත් මගේ හද බැති ප්‍රණාමය පුද කරනවා.
නයනාංජලි දෙහිපිටිය