Home » ක්ලැරන්ස් චිත්‍රපටයේ ගී ගැයීමට ලැබීම සිහිනයක් සැබෑවීමක්…

ක්ලැරන්ස් චිත්‍රපටයේ ගී ගැයීමට ලැබීම සිහිනයක් සැබෑවීමක්…

ගායක, සංගීත අධ්‍යක්ෂ හා ගීත රචක නෙලුක විජේසූරිය

by Thanushika
October 2, 2025 10:35 am 0 comment

ක්ලැරන්ස් Rhythm of the Guitar චිත්‍රපටය අතිසාර්ථකව තිරගත වෙමින් පවතී. ජීවිතයෙන් සමුගත් තේජා ඉද්දමල්ගොඩගේ අධ්‍යක්ෂණයෙන් හැඩවූ ‘ ක්ලැරන්ස් ‘ චිත්‍රපටය මේ වනවිට අතිශයින් ජන ආකර්ෂණයට ලක්වූ චිත්‍රපටයක්. ක්ලැරන්ස් විජේවර්ධනගේ සහ ඇනස්ලි මාලේවයන් ගැයූ ගීත වලින් රසවත් වූ මෙම චිත්‍රපටය දෙතුන්වතාවක් නරඹන්න ප්‍රියතාවයක් උපදින තරමට සුන්දරය. එය නැරඹූ බොහෝ දෙනා කතා කළේ එහි රංගනයේ යෙදෙන යොවුන් නළු නිළියන් පිළිබඳ සහ ගීත පිළිබඳ පමණි. විශේෂයෙන් එහි එන ගීත වලට බොහෝ දෙනා ඇලුම් කළේ එම ගීත දෙසවනට අතිශයින් මිහිරි වූ නිසාය.

එදා ක්ලැරන්ස් සහ ඇනස්ලි ගායනා කළ ගීත චිත්‍රපටයේ ගායනා කරන්නේ කවුරුන්ද පිළිබඳ ඇතැම් දෙනා හරිහැටි දැනුම්වත් නැත. චිත්‍රපටයේ ගැයෙන ‘ සුමුදු සමන් මල් පොඩි පිපුනාවේ, මංගෝ කළු නැන්දේ ගීත අතිශයින් ජනප්‍රියයි. තිරය පිටුපස එම ගීත ගායනා කරන්නේ කවුදැයි ලොවට හෙළි කිරීම සරසවියේ වගකීමයි. ක්ලැරන්ස් විජයවර්ධනයන්ගේ හඬට ගී ගයන්නේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂවරයා වන සුරේෂ් මාලියද්ද මය. එසේනම් ඇනස්ලි මාලේවන ගේ ගීත වලට හඬ මුසු කරන්නේ කවුරුන්ද . අද සරසවිය ඔස්සේ කතා කරන්නේ ඒ හඬේ හිමිකරු සමඟය. නෙලුක විජේසුරිය. ඒ ඇනස්ලි මාලේවනගේ ගීත ගායනා කරන පසුබිම් ගායකයාය. ක්ලැරන්ස් චිත්‍රපට නාමාවලියේ එම නම සඳහන් වී ඇතත් ඒ රුව බොහෝ දෙනා නොහඳුනති. ඒ නිසාම නෙලුක විජේසූරිය සරසවියට කැන්දාගෙන ඒමට ගත් උත්සාහය සාර්ථක වීම සතුටට කරුණකි. එයට පාලම තැනූවේ ක්ලැරන්ස් චිත්‍රපටයේ සහය අධ්‍යක්ෂ නිරෝෂන් එදිරිමාන්නය. ඔහු සරසවියට ලබා දුන් තොරතුරු ඔස්සේ නෙලුක විජේසූරිය නම් අපූරු ගායකයාව සරසවියට සොයා ගත හැකිවිය. නෙලූක වෘත්තියෙන් ලීඩ් ගිටාර් වාදකයෙකු මෙන්ම ගායකයෙකු, ගී පද රචකයෙකු සහ සංගීත අධ්‍යක්ෂවරයෙකුද වන්නේය. මෙවැනි දක්ෂතා රැසකට හිමිකම් කියන නෙලුකගේ හඬ ක්ලැරන්ස් චිත්‍රපටයට මහත් ආලෝකයක් ගෙන දෙන්නේය. නෙලූක චිත්‍රපට පසුබිම් ගායකයෙකු ලෙස දොරට වඩින්නේ ක්ලැරන්ස් අඩරබඩථ ධට බඩඥ ට්භඪබචප චිත්‍රපටයෙනි. මෙම චරිතය සමාජයේ ප්‍රචලිත කළ යුතුය. ගී ගැයුමට දක්ෂතාවක් නැති එහෙත් මිල මුදල් යහමින් තිබෙන , නව තාක්ෂණය භාවිතා කරන ඕනෑම කෙනෙකුට අද ගීත ගායනා කළ හැක. එසේ කරළියට පැමිණෙන ගායකයන් කරළියේ කරණම් ගසද්දී නෙලුක වැනි දක්ෂයන් තම සංගීත ගමන ඉවසීමෙන් කල්පනාකාරීව යාම පිළිබඳ අගය කළයුතුය. ඔහු ගායනයට වාදනයට දක්ෂයෙකි. ඔහුගේ ගීත ගැයීමේ හැකියාව කොතෙක්දැයි මැන බැලීමට ක්ලැරන්ස් චිත්‍රපටය කදිම උදාහරණයකි. නෙලූකගේ එකම සිහිනය වී ඇත්තේ කවදා හෝ චිත්‍රපට පසුබිම් ගායකයෙකු වීමටය. එම සුන්දර සිහිනය සැබෑ කරගත් නෙලූක සරසවිය ඉදිරියේ තම සංගීත දිවියේ ආරම්භයේ සිට තොරතුරු හෙළි කළේ මෙසේය.

නෙලුක විජේසුරිය කියන නම කරළියට ආවේ ‘ ක්ලැරන්ස්’ චිත්‍රපටය නිසා. පසුබිම් ගායකයෙකු වීමේ සිහිනය මටඒ නිසා සැබෑවක් කරගන්න හැකිවුණා. චිත්‍රපටයක පසුබිම් ගායනයට කවදාද පිවිසෙන්නේ, එයට අඩිතාලම දමා ගන්නේ කෙසේද කියා සිතමින් සිටින විටදී තමයි මට ක්ලැරන්ස් චිත්‍රපටය ලැබෙන්නේ. ඒ පිළිබඳ සරසවිය සමඟ කතා කරන මේ මොහොතේ මම කැමතියි මගේ සංගීත දිවියේ ආරම්භයේ සිට තොරතුරු හෙළි කරන්න.

කුඩාකාලේ පටන් මට තිබුණේ සංගීතය සමඟ ගෙවුණු වටපිටාවක්. මගේ තාත්තා ඩ්‍රම්ස් වාදකයෙක්. ඒ නිසා සංගීතයට මමත් ඉබේම ළංවුණා. පෙර පාසලේ සිට පහ වසර දක්වා මම ගියේ පානදුර ශාන්ත ජෝන් බාලිකාවට. ඒක මිශ්‍ර පාසලක්. එහිදී මම සංගීතය ඉගෙන ගත්තේ නැහැ. හය වසරේදී මාව පානදුර රාජකීය විද්‍යාලයට ඇතුළත් කළා. ඒ කාලයේදී දිලුක්ෂි පෙරේරා ගුරුතුමිය යටතේ හඬ පුහුණුව කළා. පාසල් කාලයේ සිටම ගිටාරයට ආදරය කළා. ඒ නිසාම මම හේමසිරි සිල්වා යටතෙ ගිටාර් වාදනය ඉගෙන ගත්තා. ඉන්පසු චන්න අතලේ මහහාගෙන් ගිටාර් වාදනය වැඩිදුර ඉගෙන ගත්තා. 2018 දී තුෂාර පීරිස්ගේ සංගීත කණඩායම සමඟ සම්බන්ධ වුණා. මම උසස් පෙළ ඉගෙන ගත්තේ මොරටුව වේල්ස් කුමර විද්‍යාලය. උසස් පෙළ කළේ වාණිජ විෂයයන් වලින්. ඒ අතරේ මම තව යහළුවන් කිහිප දෙනෙක් සමඟ සංගීත කණ්ඩායමක් හදාගත්තා. ස්ටීල් ෆෙදර්ස් නමින්. එහිදී මගේම ගීත නිර්මාණ පහක් කළා. මම ගීත නිර්මාණයකට පෙලඹුණේ වයස අවුරුදු 14 දී.

පසුව මම ස්ටීල් ෆෙදර්ස් සංගීත කණ්ඩායමෙන් ඉවත් වෙලා 2020 වසරේදී මගේම සංගීත කණ්ඩායමක් පිහිටුවා ගත්තා. ඒ අතරේ මගේ උසස් අධ්‍යාපන කටයුතුත් කරගෙන ගියා. මගේ සංගීත කණ්ඩායම මම නම් කළේ රී- ජෙනරේෂන් නමින්. උසස් අධ්‍යාපන කටයුතු වලින් පසුව මම මගේ වෘත්තීය විදිහට තෝරා ගත්තේ සංගීතය. දැන් මම සංගීත අධ්‍යක්ෂවරයෙක් . ඒ වගේම ගිටාර් වාදනය පුහුණු පන්ති පවත්වනවා. ගීත රචනා කරනවා වගේම තනු නිර්මාණයත් මගේ අතින් සිදු වෙනවා. මේ ආකාරයට තමයි කුඩාකල සිට මගේ සංගීත ජීවිතය ආරම්භ වුණේ.

මගේ සංගීත ජීවිතයේ සංධිස්ථානයක් වුණේ ක්ලැරන්ස් චිත්‍රපටයට පසුබිම් ගායකයෙකු ලෙස සම්බන්ධ වීම. ඒ සඳහා මාව යොමු කළේ මට ගිටාර් වාදනය පුහුණු කළ චන්න අතලේ මහතා. ක්ලැරන්ස් චිත්‍රපටයට පසුබිම් ගායකයන් සොයන බව සංගීත අධ්‍යක්ෂ සුරේෂ් මාලියද්ද ඔහුට දන්වා තිබුණා. ඒ අවස්ථාවේ තමයි චන්න අතලේ මහතා මා ගැන කියා තිබුණේ. ඒ අනුව මම සුරේෂ් මාලියද්ද මහතාව මුණගැසීමට ගියා. ඒත් මම හරියට දැනගෙන සිටියේ නැහැ මේ කටයුත්ත කුමක්ද කියලා. සුරේෂ් මාලියද්ද හමුවූ අවස්ථාවේ ඔහු මට විස්තර කළා මෙය චිත්‍රපටයක ගීත ගායනා කිරීමට බව. අපේ රටේ සංගීතයට නැවුම් රසයක් ලබාදුන් ක්ලැරන්ස් විජයවර්ධන සංගීතවේදියා ගැන නිර්මාණය වන චිත්‍රපටයක් බව ඔහු මට විස්තර කළා. මගේ හඬ ඒ අදාළ රංගන ශිල්පියාට ගැළපෙනවද කියා පරීක්ෂා කළයුතු බව පැවසුවා.මම ලවා ගීත කිහිපයක් ගයනා කරවා ගත්තා.

ක්ලැරන්ස් චිත්‍රපටයේ ගීත ගායනා කිරීම සඳහා එක් එක් අයව තෝරා ගන්නා බව මුලින් යෝජනා වී තිබෙනවා. එහෙත් සුරේෂ් මාලියද්ද එයට එකඟ වී නැහැ. ඒ අදාළ චරිතයට පසුබිම් ගීත ගායනා කළයුත්තේ එක් අයෙකු බව ඔහුගේ අදහස වී තිබෙනවා. ඔහුට අවශ්‍ය වී තිබුණේ තරුණ හඬක්. මාව පරීක්ෂා කිරීමෙන් පසුව වෙන කිසිම ගායකයෙක් ඒ සඳහා කැඳවා තිබුණේ නැහැ. ඔහු මට කියා සිටියා ඇන්ස්ලි මාලෙවන මහතාගේ හඬට මගේ හඬ හොඳීන් ගැළපෙන බව. ඒ වගේම ඒ චරිතය නිරූපණය කළ සාරංග දිසාසේකරගේ රුවටත් මගේ හඬ ගැළපෙන බව. ඇන්ස්ලි මාලෙවයන්ගේ ගීත එකොළහක් පමණ මම ගායනා කළා.

සංගීත අධ්‍යක්ෂ සුරේෂ් මාලියද්දව මට පළමු වරට මුණගැසුණේ ක්ලැරන්ස් චිත්‍රපටය නිසාමයි. මම පොඩි කාලේ පටන් ක්ලැරන්ස් විජයවර්ධනයන්ගේ සහ ඇන්ස්ලි මාලෙවයන්ගේ ගීත ඇසුවා. එම ගීතවලට මම දැඩිසේ ප්‍රියකළා. මම කවදා හෝ ගායකයෙක් වෙනවා කියන සිතුවිල්ල මගේ සිතේ ඇතිවුණේ ඒ ගීත රසවිඳපු නිසා. ක්ලැරන්ස් චිත්‍රපටයට පසුබිම් ගායනයෙන් සම්බන්ධවීමට මගේ භාග්‍යයක්. ක්ලැරන්ස් චිත්‍රපටයේ ගීත ගායනයට මගේ හඬමුසු කරන්න ලැබීම මගේ ජීවිතයේ වීරයන් දෙදෙනෙකුට කරන්න ලැබුණු උපහාරයක් වගේ. ඒ ක්ලැරන්ස් විජයවර්ධනයන් සහ ඇන්ස්ලි මාලෙවනයන් මගේ ප්‍රියතම ගායකයන් වූ නිසා.

මට මේ වටිනා අවස්ථාව ලැබුණ විගස මම ඒ බව දැන්වූයේ ඇන්ස්ලි මාලේවනයන්ට. ඔහු ඉතාමත් සතුටු වුණා. ඔහු ඒ අවස්ථාවේ පැවසූ දෙයින් මට ඇතිවුණේ දරාගත නොහැකි සතුටක්.

” හරියට හරිනේ, ඔයා නැතුව වෙන කවුද කියන්න ඉන්නේ”.

ඔහු සතුටු වුණේ ඔහුගේ ගායන ශෛලිය මම ඉදිරියට ගෙන යන නිසා. ඔහු මේවන විටත් ප්‍රසංග පවත්වන්නේ, සංගීත නිර්මාණ කටයුතු කරන්නේ මගේ සංගීත කණඩායමත් සමඟ. ක්ලැරන්ස් චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂ සුරේෂ් මාලියද්ද ගැන විශේෂයෙන් කතා කළ යුතුයි. ඔහු සංගීත වැඩකටයුතු කරන විට අපේ අදහසුත් පිළිගන්න තරම් නිහතමානී චරිතයක්. ගීතයකට සංගීතය මුසු කරන විට ‘මෙන්න මේ තැන මේ විදිහට කිව්වොත් හොඳයි නේද කියා පෙන්වා දුන්නොත් ඔහු ඒ අදහස පිළිගන්න පැකිළෙන්නේ නැහැ. ඒ නිසාම තමයි ‘ ක්ලැරන්ස්’ චිත්‍රපටයේ නව සංගීත සංයෝජනය එතරම් මිහිරි වුණේ. චිත්‍රපටයේ සංගීත කටයුතු කරන්න පහසු වුණේ ඔහුගේ ඒ නිහතමානී ගතිගුණ නිසා.

ක්ලැරන්ස් චිත්‍රපටයේ මංගල දර්ශනය පැවැත්වුණේ නුවර. එදා පුළුල් තිරයේ පසුබිමෙන් මගේ හඬ ඇසෙන විට මට මම ගැන නිහතමානී ආඩම්බරයක් දැනුණා. පසුබිම් ගායකයෙකු වෙන්න සිහින මවපු මම , එදා ඒ සිහිනය සැබෑවක් වුණා කියලා දැනුණ විට මම කල්පනා කළා මගේ කටහඬින් තව බොහෝ දේ කළහැකියි නේද කියලා. මගේ හඬත් සමඟ සංගීත ක්ෂේත්‍රයේ නව නිර්මාණ කරන්න මම උත්සාහ ගන්නවා. සමාජ මාධ්‍ය ඔස්සේ මම ගීත ගායනා කරන වීඩියෝපට හුවමාරු වුණා. ඒවා දැකලා බොහෝ අය පුදුම වුණා මගේ හඬ ගැන.

අපි ප්‍රිය කරන දේවල් කිරීමෙන් තමයි ජීවිතය දිනන්නේ. හැමෝම ඉගෙන ගන්න කාලේ සිතන්නේ සමාජයේ පිළිගත් උසස් රැකියා කරන්න. හොඳීන් ඉගෙන ගත්තොත් ඕනෑම කෙනෙකුට ඒ තත්වයට ළංවිය හැකියි. එහෙත් කලාකරුවෙකු වන්න හැමෝටම බැහැ. කුමන රැකියාව කළත් තමන් කරන කාර්‍යට කුසලතාවයක් නැත්නම් ඒ සඳහා මහන්සි වෙන එක තේරුමක් නැහැ. තමාගේ හැකියාවට සරිලන වෘත්තියක් තෝරා ගැනීම තමයි හොඳම දේ. ඒ වෙනුවෙන් මම මගේ පාර සකසා ගත්තා. මේ වන විට මම සිටින ස්ථාවරය ගැන මම සතුටු වෙනවා.

තරුණෙයෙකු ලෙස ජීවත් වීමේදී ආර්ථික ස්ථාවර බව වැදගත්ම කාරණයක්. මම මගේ සංගීත කටයුතු වලට නිසි වටිනාකමක් දීලා තිබෙන්නේ. ඒ අනුව ඒ ලැබෙන දෙයින් ජීවත්වීමේ හැකියාව මට තිබෙනවා. ඒ නිසා මගේ පරම්පරාවේ අයටත් මේ සංගීත ක්ෂේත්‍රයට එන්න බලාපොරොත්තුවෙන් සිටින අයටත් යමක් කිව යුතුයි. වර්තමානයේ තරුණ පිරිස බලාපොරොත්තු වන්නේ ඉක්මණින් ජනප්‍රිය වෙන්න. අද වන විට ඒධ් තාක්ෂණය බලවත් වෙමින් පවතිනවා. ගීතයක් ගායනා කර ගැනීමට නොහැකි අයටත් තාක්ෂණය නිසා ගායකයෙකු හෝ ගායිකාවක වීමේ හැකියාව තිබෙනවා. මිල මුදල් , තාක්ෂණික දැනුම ඇත්නම් ඕනෑම කෙනෙකුට ගායකයෙකු වෙන්න පුළුවන් තත්වයක් තිබෙන්නේ. එහෙත් ඔවුන් තුළ සංගීත ඥානය නැහැ.

මම විශ්වාස කරන දෙයක් තිබෙනවා. අපි මේ ගමන ඉදිරියට යාමේදී අපේ ජ්‍යේෂ්ඨයන් මොනවද කළේ සහ ඔවුන් අපට දායාද කළ දේ ගැන අගයමින් යා යුතුයි. ඔවුන් රැකගෙන ආ කලාව ආරක්ෂා කරගනිමින් එයට තරුණ අපගේ නව අදහස්ද මිශ්‍ර කරගනිමින් නිර්මාණකරණයේ යෙදීම තමයි වැදගත්. ක්ලැරන්ස් විජයවර්ධනයන් වෙනුවෙන් තැනූ චිත්‍රපටය නිසා තමයි මටත් පසුබිම් ගායකයෙකු වෙන්න ලැබුණේ. ඒ ඔහු කළ නිර්මාණ තවමත් අප අතර මතකයේ තිබූ නිසා. රසිකයන් අතර මතකයේ රැඳෙන නිර්මාණ කිරීමයි වැදගත්.

මෙම චිත්‍රපටයේ ගැයෙන ‘ සුමුදු සමන් මල් පොඩි පිපුනාවේ ‘ ගීතය සමාජය තුළ අතිශයින් ජනප්‍රිය වුණා. ඇතැම් අය මට සුබ පතද්දි කිව්වේ මම නිසා නැවතත් එම ගීතය ජනප්‍රිය වුණා කියලා. සංගීත ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් මාව අගයමින් , දිරිමත් කරමින් ප්‍රතිචාර දැක්වූවා. මේරියන්ස් සංගීත කණ්ඩායමේ දිලිප් සහෝදරයා මාව අගයමින් මට කතාකළා. එය මට සතුටක්.

මගේ පවුලේ අයත් චිත්‍රපටය නැරඹුවා. ඔවුන්ට එය අලුත්ම අත්දැකීම්ක් වුණා. මම අම්මාගේ කුසතුළ සිටින කාලයේ පටන් ඇයගේ හීනයක් වෙලා තිබෙන්නේ ඇගේ කුස තුළ සිටින දරුවා කවදා හෝ ගායකයෙකු වෙනවා දකින්න. අම්මාට දැනෙන්න ඇති ඇයට ලැබෙන්නේ පුතෙකු බව. මාව ලැබෙන්න ඉද්දී අම්මා නිතර අහල තිබෙන්නේ ක්ලැරන්ස් විජයවර්ධනයන්ගේ සහ ඇනස්ලි මාලේවනයන්ගේ ගීත. එයත් අපූරු සිදුවීමක්.

මේ අවස්ථාවේ මතක් කළ යුතු විශේෂ පිරිසක් ඉන්නවා. හේමසිරි සිල්වා, චන්න අතලේ, දිලුක්ශි පෙරේරා, කුමුදුනි මෙන්ඩිස්, නෙළුම් දල්පදාදු, චිත්‍රාංගනී ප්‍රනනාදු යන ගුරුවර ගුරුවරියන් ආදරෙන් මතක් කරනවා. ඔවුන්ගෙන් ලද ගුරුහරුකම් සහ ආශිර්වාදය නිසා තමයි අද මම මෙවැනි තත්වයක ඉන්නේ. ඒ වගේම ඉදුනිල් කරුණාතිලක, සමන් නාගහවත්ත, නිලේෂ් සිල්වා, ලකී දේවා, අර්ජුන් පෙරේරා, කණිෂ්ක කරුණාරත්න, පූජිත වික්‍රමරත්න යන මහත්ම මහත්මීන්, මගේ මේ ගමනට විශාල සහයෝගයක් දුන්නා.

ක්ලැරන්ස් චිත්‍රපටයේ අධ්‍යක්ෂතුමාවත් ආදරෙන් මතක් කළ යුතුයි. ඔහු මට මුණගැසී නැහැ. ඔහු අපෙන් සමුගත් අවස්ථාවේ ඔහුගේ පුතා කිව්වේ ” නෙලුක ඔයා උපරිම සාධාරණය කරල තියෙනවා” කියලා චිත්‍රපටයට. තේජා ඉද්දමල්ගොඩ මහතාගේ සමුගැනීම අප හැමෝටම විශාල පාඩුවක්. ඔහු ජීවත්ව සිටියා නම් තව බොහෝ සුන්දර නිර්මාණ අපට දැකබලා ගන්නට තිබුණා. එසේ නම් ඔහු අපවත් කිසිදා අමතක කරන්නේ නැහැ. ඒවගේම මෙම චිත්‍රපටයේ නිෂ්පාදක තුසිත විජේසේනවත් ගෞරවයෙන් මතක් කරනවා. මාව සරසවිය පුවත්පත් සාකච්ඡාවට සම්බන්ධ කරදුන් ක්ලැරන්ස් චිත්‍රපටයේ සහය අධ්‍යක්ෂවරයා වන නිරෝෂන් එදිරිමාන්න සහෝදරයාට මම බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා.

ඒ වගේම ක්ලැරන්ස් චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන දමිත් අයියා, සාරංග අයියා ඇතුළු සියලුම ශිල්පීන්ටත් මම සුබ පතනවා. තවත් පිරිසක් සිටිනවා මේ දක්වා මාත් සමඟ සංගීත චාරිකාවේ යෙදෙන. ඒ මගේ සංගීත කණඩායමේ සහෝදර පිරිස. ඔශනාත් රාජවසම්, ශෙන්‍යා මෙන්ඩිස්, උත්පල රණසිංහ , ශෙහාන් ප්‍රනාන්දු සහ ඉන්දික අධිකාරි. අපි එකම පවුලක සහෝදර පිරිසක් වගේ වැඩ කරනවා.

චිත්‍රපට පසුබිම් ගායකයෙකු වීමේ සිහිනය සැබෑවූ මේ මොහොතේ එය අතරමඟ නවතා දමන්නට මම සූදානම් නැහැ. ඉදිරියේදීත් චිත්‍රපට සඳහා ආරාධනා ලැබුණොත් මගේ හඬින් උපරිම සහය එම නිර්මාණ සඳහා ලබා දෙනවා.

 

සේයාරූ – නිශ්ශංක විජේරත්න

[email protected]

නයනාංජලි දෙහිපිටිය

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT