Home » කවි නාඩග‍ෙම් නාට්‍ය පුනරුදය ‘සඳකිඳුරු’

කවි නාඩග‍ෙම් නාට්‍ය පුනරුදය ‘සඳකිඳුරු’

by Thanushika
December 12, 2024 12:54 am 0 comment

1956 වසරේ එදිරිවීර සරච්චන්ද්‍ර නාඩගම් ඇසුරෙන් මනමේ නාට්‍යය නිර්මාණය කිරීමෙන් අනතුරුව නව නාට්‍ය කලාවේ මූලාරම්භය ලකුණු විය. ඉන් පසු සරච්චන්ද්‍ර අනුගාමිකයෝ විවිධ නාට්‍ය සම්ප්‍රදාය පර්යේෂණාත්මක ව අත්හදා බලමින් නිර්මාණ කාර්යයේ නිරත වූහ. එහි ප්‍රතිඵලයක් ලෙස සිංදු නාඩගමට පෙර මෙරට බිහි වූ බවට සැලකෙන කවි නාඩගම් ඇසුරු කරැගෙන 1957 දී ගුණසේන ගලප්පත්ති සඳකිඳුරු කවි නාඩගම නිර්මාණය කළේ ය. නාඩගම් යන පදය ඊට සම්බන්ධ වී තිබුණ ද කවි නාඩගම සිංදු නාඩගමට වඩා යක් තොවිල් හා කෝලම් අනුසාරයෙන් නිර්මාණය වූවකි. යක් තොවිල්වල භාවිත කෙරෙන යක් බෙරය කවි නාඩගමට උපයෝගී කරගැනීම, යක් තොවිල්වල හා කෝලම්වල එන වෘත්ත හා ගායන ශෛලීන් කවි නාඩගමේ අන්තර්ගත වීම ඊට උදාහරණ ය.

චන්දකින්නර ජාතක කතාව ඇසුරෙන් සකස් වූ සඳකිඳුරු කතාව කෝලම් නාටකවල අපර රංගයේ සබ කතාවල දක්නට ලැබෙන අංගයකි. එහෙත් කවි නාඩගම් සම්ප්‍රදායේ එය සම්පූර්ණයෙන් ම රඟ දක්වනු ලබන්නේ උඩරට පළාත්වල පමණි.

ගුණසේන ගලප්පත්ති කවි නාඩගම ප්‍රාසංගික වේදිකාවට ප්‍රතිනිර්මාණය කිරීමේ දී ජන නාටක සම්ප්‍රදායට හා එහි ස්වරූපයට කිසිදු හානියක් නොවන සේ ඉදිරිපත් කර ඇත. කවි නාඩගමේ ආකෘතිය රැකගනිමින් කෝලම් සම්ප්‍රදායේ ආභාසය ලබමින් සඳකිඳුරු කවි නාඩගම වේදිකා ගත වී ඇත.

ජන නාටක ආරම්භයේ දී සිදු වන බුදුන්, දෙවියන් යැද ආශීර්වාද ගැනීම නාට්‍යයේ දී ඒ ආකාරයෙන් සිදු කර ඇති අතර කෙටි කවි නාද රටා භාවිත කරමින් ඉදිරිපත් කර ඇත.

උදා:-

දුරු කළ කෙලෙස් මරු –
සම්බුදු රුවන ලොව්තුරු
සතට සෙත දෙන ගරු –
වඳීම් දම් සඟ රුවන පිවිතුරු
පොරණ පුවතක් වර –
රඟනෙමු සබේ ගී කර
විභිසණ කඳ කුමර –
සමන් සුරිදුනි දෙවන් අවසර

නාට්‍යාරම්භයේ ගායනා කරන පාත්‍රයන් කැඳවීමේ ගායනා ද කෝලම් නාටක ගායනා හා බෙහෙවින් සමාන ය. ගී තනු කෝලම් ආකෘතියට හානියක් නොවන සේ ප්‍රාසංගික ව ඉදිරිපත් කර ඇත.

උදා:- කෝලම් කවිය

පැලඳ මල් මාල ද – ගායනා කර වන මැද
තබා සොඳ තාල ද –
ඒය කිඳුරන් නැටුම් පා සොඳ
සඳකිඳුරු කවි නාඩගමේ කවිය
පැලඳ මල් මාල ද – ගායනා කර වන මැද
නටන සුරඟන ලෙද –
එතී කඟිදුරෝ රැඟුම් පා සොඳ

ඇතැම් දිගු කවි සඳකිඳුරු නාට්‍යයෙහි හා කෝලමේ එක හා සමාන ය. කෝලම් නාටකයේ භාවිත කවි ප්‍රමාණය අධික වන නාට්‍යයේ දී කාල කළමනාකරණය මත කවි ප්‍රමාණය සීමා සහිත වී ඇත.

උදා:-

වරල නිලෙන් ද සිකි පිල මෙන් ද
කලඹ ලෙසින් ද පිටට හෙළා
නළල දිලුම් ද අඩ සඳ මෙන් ද
නිඹ පත මෙන් ද බැම සඟළා
විපුල නුවන් ද ඉඳු නිල මෙන් ද
වත සොමි මෙන් ද රතු දෙතොලා
නිමල සුදෙන් ද කැකුළ සමන් ද
පුබුදින මෙන් ද දන්ත පෙළා

බොහෝ කවි කෝලම් නාට්‍යයේ හා ගුණසේන ගලප්පත්තිගේ සඳකිඳුරු නාට්‍යයේ එක ම ආකාරයෙන් භාවිත වේ. සංගීතය භාවිතය මත ගීතවත් බවක් හා සුමට බවක් නාට්‍යයෙහි ප්‍රතීයමාන වේ. එමෙන් ම ඇතැම් කවි ගායනාවල වචන මනා සංයමයකින් වෙනසකට ලක් කර ඇති අතර එය ජනශ්‍රැතියට හෝ නාට්‍ය නිර්මාණයට හානියක් නොවන ලෙස වෙනස් කර ඇත.

උදා:- කෝලම් නාට්‍යය

පීරන නිල් වරලා කුසුම් පටියෙන්
ගොතමින් බැඳලා
ආරන මල් පිපිලා අතින්
කඩමින් එසමන් සියලා
මෝරන තන කැකුළා එරන්
කුඹුවෙන් ඉවතට පැනලා
මේ රන ලිය කොමළා
බලන් සකි
රඟ දෙන මෙසබ තුළා
සඳකිඳුරු නාට්‍ය කවිය
පීරන නිල් වරලා
පටියෙන් ගොතමින් බැඳලා
ආරන වන බිඳලා
එසමන් මල් සියලා
මෝරන තන කැකුළා
කුඹුවෙන් නිති සරසාලා
මේ රන ලිය කොමළා
බල සකි මෙසබ තුළා

කෝලමේ හා නාට්‍යයේ කතා තේමාව එක සමාන වුව ද කෝලමේ සංවාද භාවිත වීම මත අදහස් ප්‍රකාශනය පහසු වී ඇත. එහෙත් කවි නාඩගමේ සියල්ල කවියෙන් ඉදිරිපත් විය යුතු නිසා ගුණසේන ගලප්පත්ති කෝලම් නාටකයේ ගැයෙන කවි ප්‍රමාණය සංක්ෂිප්ත කර සංශෝධනය කර නිර්මාණාත්මක ව ඉදිරිපත් කර ඇත. සඳකිඳුරු නාට්‍යයේ බොහෝ ගායනා සඳහා එළිවැට, එළිසමය සහිත සිවුපද විරිත් භාවිත කර ඇත. ඒවා කෙටි කවි හා දිගු කවි ලෙස ඉදිරිපත් කර ඇත. ජන කවි නාද රටා, ශාන්තිකර්ම කවි නාද රටා ඇතැම් අවස්ථාවල භාවිත කර ඇත. නාට්‍යයේ ශක්‍රයා රංගාවතරණය වීමේ දී ප්‍රේක්ෂකයාට චරිතය හඳුන්වාදීම සඳහා යාදිනි ගායනා ස්වරූපය අනුගමනය කර ඇත.

උදා:

“සකල ස්වර්ග වාසීන්ට අධිපති වූ වජ්‍රායුධධර සහස්‍රාක්ෂ සුරනාථ මහේන්ද්‍ර පුරන්දර යස ඓශ්චර්ය බලධාරී තිදස පුරවාසී ශක්‍ර දේවේන්ද්‍රයා වෙමි මම.

සඳකිඳුරු නාට්‍ය ආරම්භයේ ජන නාටකවල මෙන් මඟුල් බෙර වාදනයක් සිදු කරනු ලබයි. මෙය දෙවොල් බෙරයෙන් වැයෙන මංගල භේරී වාදනයකි. නාට්‍යයයේ සමස්ත ගායනා සඳහා භාවිත වන්නේ පහතරට බෙරයයි. පැරණි කවි නාඩගමේ මෙන් හඬ දූතයන් පැමිණ කතා සාරාංශයක් ඉදිරිපත් කරනු දක්නට ලැබේ. නාට්‍ය අවසානයේ සිංදු නාඩගමේ මෙන් මංගල ගීතයක් ගායනා කෙරේ.

උදා:

තුනුරුවන් මහ අනුහසින්
නිති ඔබට සෙත් වේ මංගලම්.
සිව්මුරුන් නන් උවදුරින්
ඔබ රකිනු
ජයසිරි මංගලම්
සව් වරම්
දෙවි රජවරුන්
තෙද අනුහසින්
ජය මංගලම්
මංගලම් ජය මංගලම්
ඔබ සැමට වේ
ජය මංගලම්

කවි නාඩගම් ඉදිරිපත් කිරීමේ පරමාර්ථය වී ඇත්තේ පරමාදර්ශී සමාජයක් බිහි කිරීම බව ඒවායේ කතා තේමා විමසීමේ දී පැහැදිලි වේ. ආගමික නැඹුරුවකින් යුත් මෙම නාටක විශේෂයේ ආරම්භයේ හා අවසානයේ ආගමික ආශීර්වාදය අපේක්ෂා කිරීමක් සිදු විය. ගුණසේන ගලප්පත්ති සිය නිර්මාණයේ දී මෙම නියම ඒ අයුරින් ම කැටි ඉදිරිපත් කර

ජනශ්‍රැතියේ ආකල්පමය විශේෂතා ද සිය නිර්මාණයෙන් විශද කරවයි. නාට්‍ය ආරම්භයේ සිට අවසානය තෙක් ගලා යන රිද්මය තේමාවට උචිත ශාන්ත රසයක් ප්‍රේක්ෂකයා තුළ ජනිත කිරීමට සමත් වේ.

සඳකිඳුරු නාට්‍ය නර්තන වින්‍යාස සියල්ල නිර්මාණය වී ඇත්තේ පහතරට ශාන්තිකර්ම හා කෝලම් නර්තන ආශ්‍රිත පද කොටස් අංගහාර භාවිත කරමින් බෙර පද ද ඊට අනුකූලව යොදා ගනිමිනි.

උදා:- නාට්‍ය ආරම්භයේ කිඳුරු පිරිසකගේ නර්තනය හා නාට්‍ය අවසානයේ කිඳුරු පිරිසකගේ නර්තනය

පහතරට නර්තන සම්ප්‍රදාය ඇසුරෙන් මෙම නර්තන නිර්මාණය වී ඇත. එසේම රජ පිරිස කිඳුරියට විදීමට සැරසෙන අවස්ථාවේ දී වාදනය කරනු ලබන්නේ දෙවොල් මඩුවේ අඹ විදමන නාට්‍යමය අවස්ථාවේ අඹයට විදීමට මහලු වෙස්ගත් ශක්‍රයා සඳහා භාවිත කරන බෙර පදය හා අවනද්ධ භාණ්ඩ වේ. අංගහාර ද බොහෝදුරට සමාන ය.

බෙර පදය

රිම් ගතම් ගතම් ගත ගුම්
ගුද ගතම් ගතම් ගත ගුම්
රිම්ගත ගුම් ගුද ගත ගුම් රෙගත දෙගුද දැහිම්

ශක්‍රයා රංගාවතරණය වීමේ දී වාදනය කරනු ලබන්නේ දෙවොල් පද කොටසකි. නර්තන වින්‍යාසය ද පහතරට නර්තන අංගහාර ඇසුරෙන් සකස් කර ඇත.

ගත්තම්ගත ගත්දිග ගත
ගත්තම් ගත ගුන්දිත ගුද

කාට්‍ය අවසන් භාගයේ රජ පිරිස පලවා හැරීම සඳහා ශක්‍රයා ගායනා කරන කවිවල නාද රටා තුරඟා වන්නමේ ගායන විලාස ඇසුරෙන් සකස් වී ඇත.

උදා:-

සඳකිඳුරු නාට්‍යට තුරඟා වන්නම
යව සැණින මෙහි නොසිට
සත් වෙත් මහත් අදර
අදමිටු වූ රජ පවිටු ලත් යුත් සිදත් කුමරු
දන පෙළන ගුණ දහම ගෙන්
සිත් තොසත් පැවිදි සින්දා අංගා

සමස්ත රංග කාර්යයේ පමණක් නොව රංගය කරළිගත වීමට පූර්වයෙහි කවි නාඩගමෙහි සිදු කළ සිරිත්-විරිත් ඊට සමගාමී ව සිදු කිරීමට ගුණසේන ගලප්පත්ති උත්සාහ දරා ඇත. පහනක් දල්වා එය සියලු ම පාත්‍රයන් අතට යැවීමෙන් ත්‍රිවිධ රත්නය ප්‍රමුඛ දෙවියන්ගේ ආශීර්වාදය ලබාගැනීම කවි නාඩගමේ සිදු කළ සිරිත්-විරිත් අතර ප්‍රධාන විය. එය නාට්‍යාරම්භයට පෙර සිදු කිරීම මගින් ජන විඥානයේ වූ විශ්වාස හා ඇදහිලි පාත්‍ර වර්ගයා තුළ ජනිත කිරීමටත් වේදිකා විනය ඇති කිරීමටත් ගුණසේන ගලප්පත්ති ගත් උත්සාහය සාර්ථක වී ඇත.

ආශ්‍රිත ග්‍රන්ථ

1. කළුආරච්චි, ආරියරත්න (2006). කෝලම් නාටක විමසුම, ප්‍රථම මුද්‍රණය : කර්තෘ ප්‍රකාශනයකි.

2. ගලප්පත්ති, ගුණසේන (1959), සඳකිඳුරු කවි නාඩගම, ප්‍රථම මුද්‍රණය, ලංකා කලා මණ්ඩලයේ ප්‍රකාශනයකි.

 

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

[email protected]

තරංගා කුමාරි කරුණානායක

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT