” මම මගෙ මහත්තයාගෙ කැමැත්තට ඉඩදීලා මගෙ නිවෙිදක..හඬ කැවීම්..රංගන ආදිය සමඟ කළ ගිවිසුම් සියල්ල අහෝසි කර දමලා මහත්තයාගෙයි මගෙයි විවාහ ගිවිසුමට අස්සන් කරලා මම ගෘහණියක් වුණා…ඒත් පස්සෙ මහත්තයා මගෙ කුසලතාවයට කැමැත්ත දුන්නා…”
” මම කොයිදේ කළත් මගෙ පවුල් ජීවිතයයි මට අංක එක වුණේ.. ජීවිතේ ඉලක්ක කරා යන්න අද මමයි මගෙ මහත්තයායි අපෙ පුතාට දිරි දෙනවා…”
ඕ රුවැතිය…සංලාපයෙහි අතිශය ප්‍රියමනාපය…සැබැවින්ම නිහතමානීය..සරසවිය පාඨක ඔබ වෙනුවෙන් මා සමීපයේ සිනාවතින් පසුවන මේ ඇය ඔබට මට හොඳහැටි හුරුපුරුදු කුසලතා රැසකට හිමිකම් කියනා අපූර්වතම වනිතාවකි…
පිළියන්දල ..මඩපාත ප්‍රදේශයේ නිවසන ඇය ආශක්ත කටහඬකින් සේම රූපණවේදිණියක ලෙසින්ද ඉහළම නමක් දිනූ තැනැත්තියකි..
ඕ තොමෝ ආදරණිය රසාදරී පීරිස් නම් මෙවර සංලාපයේ අපේ සොඳුරු කතා නායිකාවය…
ඇය හමුවන්නට මැදිහත් වූ අපේ සුමනා නෙල්ලම්පිටිය මහත්මියගේ බාලම නැගණිය නන්දා නෙල්ලම්පිටිය මහත්මිය පැවසූ අයුරින් පැමිණි මා දැන් ඈ නිවසෙහි ආලින්දයේ සුවපහසු අසුනකය.. මා ඉදිරියෙන් අසුනකට බරදී සිටින්නේ මා සොයා ආ අපේ කතා නායිකාවය..වරක්වත් ඉවතට නොයනා ඇයගේ මුවගෙහි සිනහව එහෙමමය..
මම අපේ ආදරණිය රසාදරී පීරිස් මහත්මියට සවන් දෙමි..
කළුබෝවිල ..ඇන්ඩර්සන් පාරේ.. හැන්නදිගේ හියුබට් පීරිස් සහ වීරතුංග ආරච්චිගේ දයාවතී ද කොස්තා යන මවුපිය දෙපළට දියණියන්ම තිදෙනෙකි..පවුලේ වැඩිමල් දැරිය හැන්නදිගේ ලීලා රසාදරී පීරිස් අපේ ආදරණිය කතානායිකාව වන අතර ඇයගේ ලොකු නංගී චන්දිමා ය..දෙවැන්නී ගංගානි පීරිස්ය..
අපේ රසාදරී ඉගෙනුම පිණිස ගියේ වත්මනෙහි කලා ලොව ප්‍රභාෂ්වර කරවන බොහෝ පිරිසක්ද ඉගෙනුම ලද නුගේගොඩ අනුලා විද්‍යාලයටය..
” මම පුංචිකාලෙ ඉතින් හරිම ආසයි නැටුම් කලාවට..මගෙ නැටුම් ගුරුතුමිය තමයි දයා නෙල්ලම්පිටිය මහත්මිය ..ඔන්න ඉතින් ඒ අතරෙදි තමයි පාසලේ නිවාසාන්තර නාට්‍ය තරඟයක්ද තිබුනේ..”
ආදරණිය රසාදරී කියන්නීය..
වෙසතුරු සිරිත එය ගීත නාටකයකි..සත්තු කතා නොකරන්නේ ඇයි මෑණියනි යැයි මන්ද්‍රි බිසෝතුමියගෙන් විමසූ පුංචි දැරියගේ චරිතයට රඟපාමින් ගායනයක යෙදුණේද ඇයමය..පසුව ඕ පාසලේ නාට්‍ය සංගමයට එකතු වෙමින් නිවාසාන්තර නාට්‍ය හැමඑකකටම පාහේ රංගනයෙන් ගායනයෙන් දායක වූවාය. නැටුම් පුහුණුව දයා නෙල්ලම්පිටිය සහ ලූෂන් බුලත්සිංහල ගුරු දෙපල විසිනි.
” අද අපෙ රටේ කලාව තුළින් නමක් දිනූ බොහෝ දෙනා එදා මට ඇසුරට ලැබුණා..අපේ පවුලේ කවුරුවත් කලාවට සම්බන්ධ අයකු නම් නැහැ..හැබැයි අමල්..අපෙ තාත්තා …ලේඛන කලාවට..සමතෙක්..ඊටත්අඅපෙ තාත්තා මැනවින් අභිධර්මය හදාරපු පිනට කැමතිම කෙනෙක්..තාත්තා රස්සාව කළේ ඔරුවල වානේ සංස්ථාවේ..ශීල ව්‍යාපාරයට අපෙ තාත්තා මාවත් එක්කගෙන යනවා. උපාසක දම් දෙසුමෙදි අපෙ තාත්තා තමයි ධර්ම දේශනා කරන්නේ..අනේ ඇත්තමයි…අපෙ තාත්තා කරුණුකාරණා එකතු කරල බණ කියන කොට මිනිස්සු හඬනවා..මේ මමත් නවත්තගන්න බැරි තරමට හඬා තියෙනවා..”
ඕ එකඑල්ලේ මදෙස බලාගත්වනම කියන්නීය..
” වචන සිරිතෙන් ප්රකාශනය …වගේම ලිවීමේ කුසලතාව මට උරුම වුණේ අපෙ තාත්තාගෙන්..” ඈ කියන්නීය..
අපේ සොඳුරු මේ කතානායිකාව තම පාසලේ නාට්‍ය රැසකම සිය කුසලතා පෙන්නුම් කළාය..
“ඉස්සර ඉතිං ගුවන් විදුලියනෙ හැමෝම අහන්නෙ..අපෙ තාත්තාත් ගුවන් විදුලිය ළඟින් හෙල්ලෙන්නෙ නැහැ. අනේ ඉතින් මටත් ගුවන් විදුලියෙන් කතා කරන්න ඇත්නම් කියලා මයෙ හිතේ ලොකුම සිහිනයක් වුණා.. මම පාසලේ ක්‍රීඩාවලටත් උන්නාට ඒවා මඟහැරුණා. මේ වෙද්දී තමයි මම ජාතික තරුණ සේවා සභාවෙ ටයිපින් ෂෝට් හෑන්ඩ් ක්ලාස් එකට ගියේ..”
ඕ යටගිය තතු එසේ එකහුස්මට කියාගෙන යන්නීය.. ඒ මුහුණේ විකසිත සිනාවද එලෙසමය..
එවක කොහුවල පැත්තේ යෞවන සමිතියක් තිබුණේය..එහි ලාල් ප්‍රේමරත්න නම් සංවිධායකවරයා පැවැත්වූ නාට්‍යය වැඩමුළුව මෙහෙයවීමට පැමිණියේ ප්‍රකට රංගනවෙිදීන් වන ජයලාල් රෝහණ සහ ප්‍රසාද් සූරියආරච්චි මහත්වරුන්ය. ටයිපින් ක්ලාස් අතැර දැමූ අපේ රසාදරී පුරා වසරක්ම එම වැඩමුළුවට ගියාය..
“ජයලාල් රෝහණ අයියා හරිම සුන්දර චරිතයක්..”
අපේ ආදරණිය රසාදරීගේ කුසලතා මැනවින් හැඳීනූ ජයලාල් දිනෙක ඇයගේ නිවසට ආයේය..ඒ පැමිණියේ යෞවන සම්මාන යොවුන් නාට්‍ය උළෙල වෙනුවෙන් කරනා නාට්‍යයකට අපේ කතා නායිකාව තෝරාගත් බව කියන්නට වුවද තාත්තා හරහට කතා කළේය.
” මගෙ දුව නිළියක් කරන්න නම් මට කොහෙත්ම ඕනකමක් නැහැ..අපට උවමනා අපෙ ලොකු දුවට හොඳ අධ්‍යාපනයක් දෙන්නයි. ” ඊට වැඩිපුර හරස් වූයේද අම්මා ය..
රසාදරීගේ තාත්තා ජ්‍යෝතිෂ්‍යය පිළිබඳ ප්‍රවීණයකු වූ බැවින් අවසන දෙදෙනා කුලුපග තරම කිවහොත් ජයලාල් තාත්තාගෙන් ජ්‍යෝතිෂය උගත්තේය..තාත්තා පසුව තම දියණිය නාට්‍යයට සහභාගි කරවීම පිණිස අම්මාට පැවරුවේය..
” අප්පේ..එතැන වැඩිපුරම උන්නෙ ප්රවීණතම ඈයෝ..පසුකාලෙ නාට්‍ය ලොව දැවැන්තයන් වුණ අය තමයි එදා එතැන උන්නෙ..ඒ හැමෝම මම හඳුනාගත්තා වගේම එතැන හිටිය පුංචිම කෙල්ලත් මමයි…”
ඕ සිනාසෙන්නීය..
” අනේ අමල්…මටවත් නොදැනීම මට එහි ප්‍රධාන චරිතයක්ම ලැබුණානෙ..ඒ තමයි ජයලාල් අයියාගෙ පළමු නාට්‍ය “ලෝකා” නාට්‍යය..”
” ලෝකා” සම්මාන 12කින් සම්මානිත වූ අතර අපේ ආදරණිය රසාදරී එහි හොඳම සහය නිළිය ලෙසින් සම්මානිත වූවාය.
මේ කියන කාලයේදීම ගුවන් විදුලියේ රංග භූමි වැඩසටහනක් තිබිණි.ඇය ගුවන් විදුලියේ පටිගත කිරීම් මැදිරිය දැක ඕ දෑස් ලොකුකර ගන්නට වී…. සිත තිබූ සිහිනය යටපත්ව අලුත්ම සිහිනයකින් පෙළෙන්නට වන්නීය..
එමොහොතේ සිත හටගත් විපරියාසය කෙතරම්ද යත් එහි ප්‍රධානී ගාමිණී සුමනසේකරයන් විමසූ පැනයකදී අන්දුන් කුන්දුන්ව පසුවූ කළ ඇය වෙනුවෙන් මැදිහත් වූයේ ඩග්ලස් සිරිවර්ධනයන්ය.
” ගුවන් විදුලිය මට ආගන්තුකනෙ…මම හීන මවපු තැනනෙ..ඉතින් අමල්..මං කොහොම හරි එතැනටම ගියා..”
අපේ රසාදරී ඉහවහා ගිය සතුටකින් යුතුව කියන්නීය..
ලෝකා නාට්‍යයෙන් අනතුරුව ඇයට නාට්‍ය ගලා එන්නට වී..ඒ අතර ටෙලි නාට්‍ය රංගනයටද ආරාධනා ලැබුවාය..ඇයගේ පළමු ටෙලි සිත්තම “ප්‍රවීණයන්ද රඟපෑ” රැකවරණය” විය..
88/ 89 කලබලකාරී යුගයේදීද ලෝකා රටවටේ යයි. ඒ අතර ධර්මසිරි බණ්ඩාරනායකගේ ” මකරාක්ෂයා” හි අවස්ථාව ලද්දාය. මේ අතරේදීය..ඇයට සෝවියට් මිත්‍රත්ව වැඩමුළුවට කැඳවීම ලැබුණේ..ප්රවීණතමයින් රැසක් සිටි එම වැඩමුළුවෙන් බොහෝ පිරිසක් රංගන ක්ෂෙත්රයට පිවිසුණි.
” අනේ මට තවමත් මතකයි අමල්..88 කණ්ඩායමට සම්බන්ධ වෙලා දින දහයක වැඩමුළුවට ගිය හැටි. අනේ අපෙ තාත්තා මාව එක්කගෙන රටේ කලබල අස්සෙ වාහනත් නැතිව පයින්ම ගිය හැටි..මගෙ තාත්තා මාව පුදුම විදිහට ආරක්ෂා කළා..පරිස්සම් කළා..මා වෙනුවෙන් කැපවුණා…”
ඈ මුහුණ පළමුවරට අඳුරු වනු පෙනේ..දැන් ඕ බිමබලාගත්වනම ය..” අනේ අපේ තාත්තා” ඈ තොල් මතුරන්නීය…තවත් ටික වේලාවකින් දිගු සුසුමක් හෙළා ළය සැහැල්ලු කරගත් නියායෙන් යළි කටහඬ අවදි කරන්නීය..
” ඒ වැඩමුළු ඇසුරින් මට නාට්‍ය රැසකම විවිධ චරිත රඟපාන්න ලැබුණා..”
උත්තමාවී…වළලු සැණකෙළි..නාග ගුරුලා වගේ නාට්‍ය ගොඩක රඟපෑවා..එතකොට මං විශ්වවිද්‍යාලයට යන ගමන්..”
” නාග ගුරුලා” නැරැඹූ මහාචාර්ය එදිරීවීර සරච්චන්ද්‍රයන් ඇය කැඳවීය..
“විද්‍යාර්ථියෙක් නිසාම මට අවස්ථාව ලැබුණේ..එය විශේෂයි. මනමේ නාට්‍යයේ ගීතයක් ගයන්න මාව තෝරා ගත්තා.. අප්පේ දැන් මට පුහුණුවිම් ගොඩයි..විශ්වවිද්‍යාලයට යනවා..හවස පුහුණුවිම් යනවා.. රංගනයයි ගීත ගායනයයි කරන්න වුණා..ඒ එක්කම බී.වික්ටර් පෙරේරා මහතාගෙ ගෝලයෙක් ළඟ සංගීතය ඉගෙන ගන්නත් ගියාට පස්සෙ මටම තේරුණා මට මේ ලොකු අනවශ්‍ය ප්‍රෙෂර් එකක් නේද කියලා..මම තාත්තා ට කියලා නැවතුණා…” යි කී අපේ කතා නායිකාව රසාදරී හිඳසිටි අසුනෙහි තවත් හරිබරි ගැහෙමින් කියන්නට වූයේ…
“බලන්ඩකෝ. මගෙ තියෙන මෝඩකම..ඔයින් මෙයින් මනමේ නාට්‍යයේ ගායන අවස්ථාව මට මඟහැරුණානෙ…” කියාය.
සරච්චන්ද්‍ර මහත්මිය ඊට දොස් පැවරුවේ ඇයගේ තාත්තාටය. පසුව සිදුවූයේ සරච්චන්ද්‍ර මහත්මියගේ ” කපුවා කපෝති” නාට්‍යයේ ඇය ප්‍රධාන චරිතයට තෝරා ගැනීමය..
” ඔය මනමේ..රත්නාවලී..වාසවදත්තා..ප්‍රධාන චරිතයට නටන්න..රඟපාන්න..ලස්සන ඇඳුම් අඳීන්න..මට ඉතිං අවස්ථාව ලැබුණා..මම විවාහ වෙනකම්ම වාසවදත්තා නාට්‍යයේ රඟපෑවා..මගෙ ලොකු සිහිනයක් සැබෑවුණා.”
විශ්වවිද්‍යාලයෙන් ඉවත්ව රංගනයට තම ලොකු දෝණිය කැපවන බව දත් අම්මා සැරවූවාය..අම්මා එකදිගට විරෝධය පෑවාය..එම විරෝධයේ අවසානය වූයේ ඥාතියකු මාර්ගයෙන් රන්ලිය ඇඟලුම් ආයතනයේ රස්සාවකට සින්න කිරීමය..
” මේ කාලෙ තමයි ඔෂින් නාට්‍ය කළේ..ඉතින් මං ආයෙත් විශ්වවිද්‍යාලෙ යනවා.. ගුවන් විදුලියේ නිවේදක වැඩත් කරනවා. ගාමන්ට් එකෙත් වැඩට යනවා..අනේ මන්දා අමල්..එදා මං මේවා කොහොමද කළේ කියල අද මට මහා පුදුමයකුත් හිතෙනවා..”
අපේ ආදරණිය කතා නායිකාව දෑස් මහත්කර කියන්නීය..
ඇයගේ ප්‍රදේශයේ දහම් පාසලේ ගුරුතුමා අතුල රන්සිරිලාල් මහතාය. දහම් අධ්‍යාපනයට අමතරව ගායනය..රංගනය..විවාද..කථික තරඟ ආදියද මෙහෙයවූයේ ඔහු ය. පසුව හෙතෙම රූපවාහිනීයට පැමිණියේය..දහම් පාසලේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති දහම් පාසල් භක්ති ගීත කණ්ඩායම අපේ ටයිටස් තොටවත්තයන්ගේ ලා තණකොළ පෙත්තාස්..බැහැයි කියල..බැහැයි කියල බැහැ….ගැයුවේද එම දහම් පාසලේ කණ්ඩායමය..
” මට නිතර ගුවන් විදුලියට යන්න ලැබුණානෙ..ඒ අතරේ අතුල සර් මට හඳුනාගන්න ලැබුණා. ඒ නිසාම මට ඔෂින් ටෙලි නාට්‍යයේ ඔෂින් චරිතයට හඬ කැවීම් ශිල්පිනියක් වුණා…”
ඇය කතා ස්වරයද ආශක්තය..ඈ මහත් සතුටකිනි.
රූපවාහිනි තිරයේ ඔෂින් පමණක්ම නොව දඟර වලිග ලප වානර..සැප දුක හාරන මීයෝ..යවෙස්ලූ මිනිසා..ඇනා කැරනිනා..මල්ගුඩි දවස..කාටූන් හා චිත්‍රපටවලට ටයි මහත්තයා හරහා මට මගෙ කටහඬට අවස්ථාව ලැබුණා. පස්සෙ අතුල සර්ගෙ වලස් මාමාගෙ වලස් නැන්දාගෙ චරිතය..සුජාත දියණි..දිරිය දියණි..මායාවරුන්ගේ ලෝකය..ජනහිතකාමී රැජිණිය වගේම අතුල සර්ගෙ හැම නිර්මාණයකටම දායක වුණා…අතුල සර්ගෙන් පස්සෙ අය සමගත් මං හඬ ශිල්පිනියක් හැටියට කටයුතු කරනවා…”
” දෙරණ…රංජිවනී බැද්දවිතානගෙ පෘථිවි මහරජ..(මහරාණි ජකිලා) චරිතයට හඬ සිරිත අපේ කතා නායිකාවගේය.
මේ වනවිට අපේ සොඳුරු කතා නායිකාව රසාදරී පීරිස් මහත්මිය වේදිකා නාට්‍ය 12 කද චිත්රපටයකද ටෙලි නාට්‍ය 15කද රඟපා ඇත්තේය..
ඇය විශ්වවිද්‍යාලීය ලලිත කලා විශේෂවේදී උපාධිය දෙවන පෙළ ඉහළම සාමාර්ථ්යයෙන්ද පිදුම් ලද්දාය..
ලක්හඬ ගුවන් විදුලියේ සම්මුඛ පරීක්ෂණයකටද බඳුන් වූ ඕ තොමෝ තේරී පත්වූවාය ..ජාතික රූපවාහිනීයේ නුග සෙවණ ..ස්වාධීන රූපවාහිනීයේ සියත්රාහි නිවෙිදාකාවකද වෙමින් විධායක නිෂ්පාදිකාවක් හා නිවේදිකාවක ලෙසින් ආසියානු මාධ්‍ය ජාලයේ තරු එෆ්.එම්. ගුවන් විදුලියේ ද කටයුතු කළාය…
ඇය කම්පිත වූයේ තම ආදරණිය අම්මා රෝගාතුර වීමෙනි..පවුලේ වැඩිමලා හැටියටද ඇයට වගකීම්ද පැවරී තිබුණෙන් ඇයට පෙර …නැගණිය විවාපත් වූවාය..
දැන් අපේ රසාදරීටද විවාහයක් ගැන ගෙතුළ කතිකාවකි. ඈ අතපතා පැමිණියේ ගණකාධිවරයකු වන දුමින්ද මුණසිංහ තරුණයාය…
තමන් දැනට නිරතව පසුවන සියලු කලා කටයුතු කෙරෙන් ඉවත්වන ලෙසට හෙතෙම ඉල්ලීමක්ද කළේය…කලා ක්ෂෙත්රයේ ඉසව් කිහිපයකම අවිවේකිව තමන් ගෙවන ජීවිතය තමන්ගේ විවාහ දිවියට නිසැකවම බාධා පැමිණෙන බව ඕ ඒ වනවිටද පසක් කොට සිටියාය..තමන් අතපතා සපැමිණි ජීවන සහකරුද ගුණවන්තය..
” මං සෙව්වා නම් මට හම්බුවෙන්නෙ නැති කෙනෙක් මට හම්බ වුණේ..මගෙ ෆෝන් එකත් වහලා එයාට දුන්නා..සිම්පතත් ඉවතට දාලා එයාට දුන්නා..නැත්නම් කලා කටයුතුවලට මට ආරාධනා එනවනෙ..මං කරමින් සිටි සියල්ලම මං විවාහය වෙනුවෙන් අතහැරල දැම්මා..නිවේදක කටයුතු හඬ කැවීම්..රඟපෑම් සඳහා කළ ඇග්රිමන්ට් අහෝසි කරල දමලා මහත්තයාගෙ ඇග්රිමන්ට් එකට මම අස්සන් කළා…හැබැයි…එයා ඩබින් කරනවාට අකැමති වුණේ නම් නැහැ..මොකද මහත්තයා ඔෂින් බලල එයාටත් ඒ ගැන ආසාවක් ඇතිවෙලා තිබුණු හින්දා..ඒ නිසා එයා කැමැත්ත දුන්නා…අදටත් මම ඩබින් වලට යනවා..”
අපේ සොඳුරු කතා නායිකාව රසාදරී අතගත්තේ දුමින්ද මුණසිංහ මහතා සමඟිනි.. ඒ 2000 වසරේදීය..
එම විවාහයෙන් ඔවුනට තිළිණ වූ පුතු බෙනුල් මුණසිංහ ය..දැනට පුතු විශ්වවිද්‍යාල සිසුවකුව ඉගෙනුම ලබමින් සිටී.
දැනටත් ඇය වෙත ආරාධනා එයි. රූපවාහිනීයේ නුග සෙවණට ලද ආරාධනයේදී දුමින්ද ඊට අකැමැතිවීමෙන් ඔහුගේ මව තම පුතුගේ අකැමැත්තට විරෝධය පාමින් රසාදරී වෙනුවෙන් කතා කළාය..
” මෙච්චර කල් තමන්ගෙ ආත්ම ගරුත්වය රැකගෙන කටයුතු කරන්න පුළුවන් වෙච්ච රසාදරී දුවට ඇයි දැන් එපාය කියන්නෙ..”
ඒ හඬ දුමින්දගේ මවගේය.
රසාදරී කෙරෙහි බැඳුණු සිත්ඇති ප්‍රේමනීය දුමින්ද තවදුරටත් කලා කටයුතු කරගෙන යාමට ඇයට අවසරය දුන්නේය..
නුග සෙවණ පුරා වසර 12ක නිවෙිදිකාව වූයේ අපේ රසාදරීය..දෙරණෙහි මෝනිං වැඩ සටහනේද ඇයමය..හඬ කැවීම් කටයුතු ද පෙර පරිද්දෙනි.
ශර්මිලා ධර්මදාස තමන්ගේ “පොදු” ටෙලි නාට්‍යයේ අවස්ථාවට ඇයට ආරාධනා ලැබුණාය.
වසර 20කට පසුව ඕ ටෙලි සිත්තමක යළි රඟපෑවාය.
” අලුත් පරම්පරාව අතරටත් මට යන්න ලැබීමත් මට සතුටට කාරණයක්..”
ඈ කියන්නීය..
” මෙහෙමයි අමල්..මා එදා නැවති තැනට වඩා අද ටෙලි වේදිකා ක්ෂෙත්රය හරිම වෙනස්..කාගෙවත් බලපෑමක් නෙවි. මම ක්ෂෙත්රයෙන් සමුගන්න තීරණය කළා…”
ඇය ඒ ටික කීවේ මා විමසූ පැනයකදීය..
” මම හිතන්නෙ දැන් මගෙ කාලය ඉවරයි කියලා ..ම්..ම්…බෝනස් කාලයක් ලැබී තියෙනව ඩබින් වලට..වයස අවුරුදු 16දි පටන්ගත් ගමනක්නෙ මේ මං ඇවිත් තියෙන්නෙ. විවාහයත් සමගම මම සාමාන්‍ය ජීවිතයට නැඹුරු වුණා. අනික අමල්…කලාව විතරක් නෙවිනෙ..තව දේවල් තියෙනවනෙ..මගෙ මහත්තයාට රසට කෑම ටික හදල දෙන්න ඕනා. මම මං ගැනත් බලන්න එපායැ. මගෙ අම්මාට දැන් 87ක්…”
” මෙපමණ දුරක් එන්න මගෙ හැඟිම් තේරුම් ගත්ත මාව පරිස්සමින් කරපු..මා එක්කම ළඟින්ම හිටපු ඒ මගෙ රත්තරන් තාත්තා දැන් මා ළඟ නැහැ…මගෙ තාත්තා යන්නම ගියා…මගෙ මැද නංගි නැතිවුණා 34දි..පිළිකාවකින්…තාත්තට ඒ කම්පනයත් දරාගන්න බැරිවුණා..තාත්තා නැතිවුණා…නංගියි තාත්තායි නැතිවුණාම අම්මා පටාචාරාවක් වගේ වුණා.. අම්මා ශක්තිමත් ගැහැනියක්..අම්මා බලාගැනීම මගේ වගකීමනෙ…”
ඇයගේ හඬ බිඳුණු ස්වරයකි…බිමබලාගත්වනම පසුවන ඈ මොහොතකින් යළි හිස ඔසවා මුවගට සිනාවක් නගන්නට වෑයමකින් කීයේ “මං සතුටින් සැනසිල්ලෙන් ඉන්නා බවය..
නවලිය සිත්ගත් නිවේදිකාව ලෙසින් සම්මානිත වූයේ අපේ ආදරණිය රසාදරීය. රාජ්‍ය නාට්‍ය උලෙළට ඇය රඟපෑ සෑම නාට්‍යයක්ම නියෝජනය වීමද ඇයගේ භාග්‍යයක්සේ සලකන්නීය.
” මම ලොකුවට හිතන කෙනකුත් නෙවි. මගෙ වැඩේ කරල මට ඕනා මගෙ පාඩුවේ ඉන්නයි…”
” අනාගතය ගැන ලොකු දේවල් මට නැහැ..මං ආසාකරපු…හීන හැම එකකටම මම ගියා…අනේ අරක කරන්න බැරිවුණා කියන ඒවා මා තුළ නැහැ.මගේ පවුල් ජිවිතය මට ඉලක්කය වුණේ.. අපෙ පුතා හොඳ මනුස්සයෙක් වෙනව දකින්න අපි දෙන්නම පුතාට දිරිදෙනවා. ”
” පසුතැවිල්ලක් නැතිව සතුටින් නීරෝගීව ඉතිරි ජිවිතය ගෙවන්න ඔිනකම තමයි මට තියෙන්නෙ..හැමදෙයම අනිත්‍යයි කියා මේ අපේ ගෙදරම සිදුවුණු දේවල් වලින්ම අවබෝධ වුණා. මේ කිසිවක් අපට අයිති නැහැනෙ..පුතාගෙ ජිවිතය පුතාගෙ..අම්මාට පුතාට බලමින් මං සතුටින් ඉන්නවා..
ඇත්තමයි… හිනාවෙලා ඉන්නමයි මට ඕනා..අපේ ජිවිත ඉතිරිය තව ටිකයි..ඒ නිසා විඳීන්න දෙන්න කියන කතාව මහත්තයා කියන්නෙ..මහත්තයා හොඳ රසිකයෙක්. ”
මා දැන් ඇයගෙන් සමුගෙන යා යුතුය ..ඕ අසුනින් නැඟී සිටින්නීය..
” මාව හොයාගෙන මාව බලන්න ආව සරසවිය පත්තරේට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා…”
අපේ සොඳුරු කතා නායිකාව..ක්ෂෙත්ර කිහිපයකම සිය ප්‍රතිභාව සනිටුහන් කළ අපේ ආදරණිය රසාදරී පීරිස් මහත්මියට චිර ජීවනයම වේවා!
අමල් යශෝමන් ජයසිංහ