Home » කලාව සහ සංස්කෘතියට ගරු කරන සමාජයක් තැනීම ‘රිද්ම’ හි අරමුණයි

කලාව සහ සංස්කෘතියට ගරු කරන සමාජයක් තැනීම ‘රිද්ම’ හි අරමුණයි

ජාතික රූපවාහිනියේ ‘‘රිද්ම’ වැඩසටහනේ අධ්‍යක්ෂිකා අනෝමා වීරසේකර

by Thanushika
January 9, 2025 12:30 am 0 comment

1982 වසරේ රූපවාහිනිය ශ්‍රී ලංකාවේ ස්ථාපිත වීමත් සමඟ ජනතාව ඒ වටා රොඳබැඳ ගත්තේ නැවුම් අත්දැකීමක් ලබන්නටයි. එදා සිට හරවත්, රසවත් වැඩසටහන් රාශියකින් සන්නද්ධ වූ ජාතික රූපවාහිනිය ලංකාවේ ප්‍රමුඛතම විද්‍යුත් නාලිකාව බවට පත්වන්නට වැඩි කාලයක් ගතවූයේ නැත. ජනතාව ගුණාත්මක වැඩසටහන්වලින් පෝෂණය කිරීමට එදා සිට මේ දක්වා ජාතික රූපවාහිනිය ගත් උත්සාහය අතිමහත්ය. ජාතික රූපවාහිනියේ අභිමානය රටට සහ ලොවටම කියාපෑවේ ගම්භීරත්වයෙන් වැජඹෙන සලකුණ වන සැලළිහිණියාය.

ඒ අතරතුර තවත් පෞද්ගලික නාලිකාවල උපත සිදුවීමත් සමඟ ඒ වටාද ප්‍රේක්ෂකයෝ රොක්වීමට පටන් ගත්හ. එහෙත් ඒ කිසිවක් නිසා සැලළිහිණියා නොසෙල් වී තම අභිමානය රැක ගනිමින් කටයුතු කළේය. වර්තමානයේ සැලළිහිණියාට නව පණක් ලැබී ඇත.

ජාතික රූපවාහිනියේ හිටපු සභාපති ආචාර්ය සෙනේශ් දිසානායක බණ්ඩාරයන්ගේ මඟ පෙන්වීම යටතේ නව සංකල්පයක් දියත් කෙරිණ.

“ගුණාත්මක ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ගුණාත්මක රූපවාහිනියක්” යන තේමාව යටතේ අලුත් වැඩසටහන් පෙළක ආරම්භය සිදුවිය. රිද්ම වැඩසටහන ආරම්භ වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි.

විවිධ ජාතීන් අතර පවත්නා සංස්කෘතීන්ට අයත් කලාත්මක සංස්කෘතිකාංග හුවමාරු කරගැනීම, බෙදාහදා ගැනීම, එකිනෙකාගේ සංස්කෘතීන්ට ගරු කිරීමට පෙලඹවීම යන කරුණු කැටිකොට ගත් නැවුම් වැඩසටහනක් ලෙස රිද්ම හැඳීන්විය හැකිය. එහි කුලුඳුල් වැඩසටහන පසුගිය නොවැම්බර් 2 දා සිට ජාතික රූපවාහිනී තිරය මත දිගහැරිණ. සෑම සෙනසුරාදා දිනකම රාත්‍රි 7 සිට 7.30 දක්වා කාලය රිද්ම සඳහා වෙන්කර ඇත.

කලාව සහ සංස්කෘතික සඟරාමය වැඩසටහනක්වන “රිද්ම” අධ්‍යක්ෂණය කරනු ලබන්නේ අනෝමා වීරසේකර විසිනි.

ජාතික රූපවාහිනිය වටා ගුණාත්මක ප්‍රේක්ෂකයන් පිරිසක් ළංකර ගැනීමේ අරමුණින් බිහිවූ “රිද්ම” පිළිබඳ කතාබහ කිරීමට පසුගිය දා ඇය සරසවිය සමඟ එක්වූවාය.

රිද්ම ගැන කතා කිරීමට මත්තෙන් අනෝමා වීරසේකර ගැන, ඇගේ දස්කම් ගැන, ඇගේ ආදරණිය කැදැල්ල ගැන ප්‍රේක්ෂකයන්ට දැන ගැනීම පිණිස තොරතුරු ගෙනහැර දැක්විය යුතුය.

කැලණිය විශ්වවිද්‍යාලයෙන් ජනසන්නිවේදන පිළිබඳ විශේෂවේදී උපාධිය ලබාගත් පසුව ඇය 2009 සිට 2020 දක්වා අනෝමා ජාතික රූපවාහිනි ප්‍රවෘත්ති අංශයට සම්බන්ධ වී කටයුතු කළාය. ඇය හොඳම සෞඛ්‍යය වැඩසටහන සඳහා විශිෂ්ටතා සම්මානය ලබාගෙන ඇත.

මොහාන් සමරනායක මහතා සභාපතිධුරය දැරූ අවධියේ පින්නවල සත්වෝද්‍යානය කේන්ද්‍ර කොට ගනිමින් ඇය විසින් නිර්මාණය කරන ලද “වනපෙතින් නික්ම” යන සඟරාමය වැඩසටහන සඳහා ද සම්මාන හිමිකර ගත්තාය.

ජයතිලක කම්මැල්ලවීරයන්ගේ “ලේ” කෙටිකතා සංග්‍රහය ඇසුරෙන් ඕතධධඤ, අනෝමාගේ කුලුඳුල් කෙටි චිත්‍රපටය වන අතර එහි තිර රචනය, නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය කර ඇත්තේ ඇය විසින්මය.

2011 දී තරුණ සේවා සභාව මඟින් පැවැත්වූ ශ්‍රී ලංකා සිනේමැටික් හාවස්ට් නමැති සම්මානය හොඳම කෙටි චිත්‍රපටය සඳහා හිමිකර ගත්තාය. එවැනි සම්මානයක් හිමිකරගත් එකම කාන්තාව ඇයයි.

අනෝමා වීරසේකර රූපවාහිනියේ අධ්‍යක්ෂවරියක් ලෙස කටයුතු කරද්දී ඇගේ ආදරණීය ස්වාමිපුරුෂයා එහි ප්‍රවෘත්ති සහ කාලීන සිදුවීම් අංශයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරයි. ඔහු ඉන්දික මාරසිංහයි. ජාතික රූපවාහිනියට ඒධ් තාක්ෂණය හඳුන්වාදීමේ පුරෝගාමියා ඔහුය.

තම දෙමව්පියන්ගේ අඩිපාරේ යමින් උපතින්ම උරුම කරගත් හැකියාවෙන් දස්කම් පාන්නට ඇගේ ආදරණීය පුතු බුවිදු පසත් මාරසිංහ සමත් වී ඇත. බුවිදු කොළඹ ඩී.එස් සෙනානායක විද්‍යාලයේ හතවසරේ ඉගෙනුම ලබන දක්ෂ සිසුවෙක් මෙන්ම පාසැලේ දක්ෂ නිවේදකයෙකි.

අනෝමාගේ දස්කම් සහ ඈ පිළිබඳ තොරතුරුවලින් පසුව මෙම කතාබහේ වැදගත්ම මාතෘකාව ගැන කතා කිරීමට ඇය තම හඬ අවදි කළාය.

“රිද්ම” වැඩසටහනේ ආරම්භය ගැන විස්තර කළොත් ?

ජාතික රූපවාහිනියට අලුත් සභාපතිවරයකුගේ පැමිණීමත් සමඟ රූපවාහිනියේ හැඩය වෙනස් විය යුතුයි කියන යෝජනාව ආවා. අපිට දැනුම් දුන්නා ඒ සඳහා යෝජනාවලියක් ඉදිරිපත් කරන්න කියල. අලුත් වැඩසටහන් පිළිබඳ. ඒ අනුව නව වැඩසටහන් ගැන අපි සැලසුම් ඉදිරිපත් කළා. ඒ අතරින් යෝජනාවලි දෙකක් අනුමත වුණා. ඒ අනුව තමයි රිද්ම බිහිවෙන්නේ.

නව ආරෙකින් පටන් ගත් රිද්ම වැඩසටහනෙහි අන්තර්ගතය පැහැදිලි කරන්න පුළුවන් ද ?

කලාව සහ සංස්කෘතිය පිළිබඳ කතා කරන වැඩසටහනක් තමයි රිද්ම කියන්නේ. මම හිතන විදිහට රටක ජනතාව සමෘද්ධිමත් කරන්න නම් කලාව අවශ්‍යයි. අද රටේ මිනිස්සු ඉතාමත් කාර්‍යබහුලයි. විශාල පීඩනයකින් ජීවත් වෙන්නේ. හැල්මේ දුවන ජීවන රටාවක් තියෙන්නේ. එනිසා ඔවුන්ගේ මනස නිරවුල් කරගැනීමට රිද්ම වැනි වැඩසටහන් අවශ්‍යයි. එවැනි වැඩසටහන්වල අඩුවක් පවතිනවා.

සංගීතය, නර්තනය, චිත්‍ර කලාව, සිනමාව, ඡායාරූප කලාව, ටැටූ කලාව ආදී බොහෝ අංශයන් ගැන රිද්ම ඔස්සේ කතා කෙරෙනවා. ඒ වගේම තමයි සංස්කෘතිය ගැනත් පුළුල් කතාබහක් රිද්ම හරහා සිදුවෙනවා. විශේෂයෙන් අපේ රටේ සංස්කෘතිය වැසී පවතින්නේ. ඒ ගැන හිතලා තමයි මම රිද්මට වර්ණ යෙදුවේ. කළු පැහැයෙන් සංස්කෘතියත්, සුදු පැහැයෙන් කලාවත් පෙන්නුම් කෙරෙනවා. සංස්කෘතිය ගැන කතා කරනවානම් රිද්ම ඔස්සේ සංස්කෘතීන්ට ගරු කිරීම, විවිධ සංස්කෘතීන්ට අයත් සංස්කෘතිකාංග හුවමාරු කරගැනීම, බෙදාහදා ගැනීම වැනි කරුණු ගැන පුළුල්ව කතා කෙරෙනවා. ඒ ගැන අදහස් හුවමාරු කරගැනීමට විද්වතුන්, කලාකරුවන්, සාහිත්‍යධරයන්, වැනි තවත් බොහෝ අංශයන්හි නියැළිලා ඉන්න පිරිසගෙන් රිද්ම සඳහා සම්පත් දායකත්වය ලබා ගන්නවා. රිද්ම ඔස්සේ විනෝදාස්වාදය වගේම අධ්‍යාපනික දැනුමකුත් ලබා දෙන්න කටයුතු කරනවා. විශේෂයෙන් කලාකරුවන් ගැන කතා කෙරෙනවා. ඒ වගේම තමයි පොත් එළිදැක්වීම් සහ ඒවා රචනා කළ අය ගැන අපි තොරතුරු රිද්ම තුළින් ලබා දෙනවා. ඉහත සඳහන් කළ කාරණා සියල්ල කැටිකරගත් සඟරාමය වැඩසටහනක් විදිහට රිද්ම හඳුන්වා දෙන්න පුළුවන්.

රිද්ම වැඩසටහනින් විශේෂයෙන් සංස්කෘතිය පිළිබඳ කතා කෙරෙනවා. ඒ ගැන තවදුරටත් විස්තර කළොත් ?

රිද්ම ඔස්සේ සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන ජාතීන් ඇතුළු විවිධ ජාතීන් සතුව පවතින සංස්කෘතිකාංග ගැන සවිස්තරාත්මකව තොරතුරු ඉදිරිපත් කරනවා. ඇතැම් විට ප්‍රේක්ෂකයන් නොදන්නා තොරතුරු රිද්ම ඔස්සේ දැන ගන්න පුළුවන්. විවිධ ජාතීන්ට ආමන්ත්‍රණය කරන්න පුළුවන් විදිහට රිද්ම සැකසිලා තියෙනවා. පිටරටවල සංස්කෘතීන් ගැන විශේෂයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සමඟ බැඳී විවිධ ජාතීන්ට ආවේණික වූ විශේෂ කලාවන් ගැන ඉදිරියේ දී වැඩසටහනට ඇතුළත් වේවි. උදාහරණයක් විදිහට වූෂු කලාව.

රිද්ම වැඩසටහන ඔස්සේ කරන්න බලාපොරොත්තුවන වැදගත්ම දේ තමයි අන්තර් සංස්කෘතීන් අතර සම්බන්ධතාව ගොඩනැගීම. මම ඒ පිළිබඳ විශේෂයෙන් හදාරා තිබෙනවා විශ්වවිද්‍යාලයේදී. අපි හැමදෙනාම ඒ පිළිබඳ දැනුම්වත් වීම වැදගත්.

ශ්‍රී ලංකාව යුද්ධයෙන් බැටකාපු රටක්. ඒ නිසා අනෙක් ජාතීන්ට ගරු කරමින් ජාතීන් අතර පවතින සංස්කෘතීන් අගය කළ යුතුයි. රිද්ම වැඩසටහන වැදගත් කොට සලකන්න පුළුවන් අන්න ඒ නිසයි.

ශ්‍රී ලංකාවේ සංස්කෘතිය ගැන කතා කරනවිට ආදි වාසීන් ගැන කතා නොකරම බැහැ. ඔවුන් සතුව තියෙනවා ඔවුන්ටම ආවේණික වූ සංස්කෘතියක්. ඉදිරි වැඩසටහන්වලදී අපි ඔවුන් ගැනත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි සියලු ජාතීන්ගේ සංස්කෘතීන් එක්තැන් කර කරපු ආකර්ෂණීය වැඩසටහන් ඉදිරියේදී ප්‍රේක්ෂකයාට දැක ගන්න ලැබෙයි.

රිද්ම සඟරාමය වැඩසටහන සඳහා සම්පත් දායකයින් සහ එයට සහභාගී වන ශිල්පීන් තෝරාගන්නේ කොහොමද ?

මමත් සහ මගේ ඒකක ප්‍රධානී රංග ප්‍රේමරත්න මහතාත් කතාබහ කරල තමයි එම චරිත තෝරාගන්නේ. කාලීන මාතෘකා ගැන කතා කරනවානම් ඒ සඳහා සම්බන්ධ චරිත තෝරා ගන්නවා.

උදාහරණයක් විදිහට පසුගිය දා තිරගතවීම ආරම්භ වූ ගුරුගීතය චිත්‍රපටය ගැන කතා කරනවානම් එහි රඟපෑ ප්‍රධාන චරිත සහ අධ්‍යක්ෂවරයා වගේ අය සම්බන්ධ කිරිම සිදුකරනවා.

රූපවාහිනියෙන් තරමක් ඈත් වූ තරුණ පිරිසට රිද්ම මඟින් ආමන්ත්‍රණය කරනවාද ?

අනිවාර්යයෙන් තරුණ පිරිස ළංකරගත යුතුමයි. ඔවුන් සමාජය ගැන දැනුම්වත්. ඒත් කියවීමෙන් ටිකක් ඈත්වෙලා. ඔවුන් ගැවසෙන්නේ සමාජ මාධ්‍ය එක්ක. කියවීමෙන් තමයි මිනිසා පරිපූර්ණ වෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා තරුණ පිරිස රිද්ම වටා එක්වෙයි කියල. ඔවුන් රූපවාහිනියෙන් රිද්ම නොබැලුවත් යූ ටියුබ් ඔස්සේ හෝ රිද්ම සමඟ එකතු වෙයි.

රිද්මට ලැබෙන ප්‍රතිචාර කොහොමද ?

තවම කෙටි කාලයයි පටන් ගෙන. හොඳ ප්‍රතිචාර ලැබෙනවා. අපිට ලැබෙන ප්‍රතිචාරවලින් රිද්ම ප්‍රේක්ෂකයා අතරට ගිහින් තියෙනවා කියල දැනෙනවා. එහි ආකෘතියට, අන්තර්ගතයට ප්‍රේක්ෂකයන් කැමතියි. රිද්ම වැඩසටහනට යොදා ඇති ආලෝකකරණය ගැනත් ප්‍රතිචාර ලැබෙනවා. ප්‍රවෘත්ති නොබලන ප්‍රේක්ෂකයන් පිරිසක් රිද්ම බලන්න පෙලඹිලා ඉන්නවා. එයට හේතුව තමයි අනෙක් නාලිකාවල ප්‍රවෘත්ති විකාශය වන වේලාවට තමයි රිද්ම විකාශය වෙන්නේ. විශේෂයෙන් මේ වැඩසටහන සඳහා අපි කැඳාවාගෙන එන සම්පත්දායකයන් වන කලාකරුවන්, විද්වතුන්, සාහිත්‍යධරයන් සහ එක් එක් ක්ෂේත්‍රයන්හී ප්‍රවීණයන් ට ප්‍රේක්ෂකයන් කැමතියි.

රිද්ම වැඩසහනේ වටිනාකමික්, ගුණාත්මක බවක් තිබෙන නිසා අලෙවි කිරීමට යමක් සහ හැකියාවක් තිබෙන බව මට විශ්වාසයි. ඒ අනුව රිද්ම වැඩසටහන ඉදිරියට ගෙන යාමට අනුග්‍රාහක භවතුන් සහයෝගය ලබා දෙයි කියල විශ්වාසයක් තියෙනවා. මේ වනවිටත් ආයතන කිහිපයක් සමඟ සාකච්ඡා කරල තියෙනවා.

නව පණක් ලැබූ සැලළිහිණියා පිළිබඳ කුමක්ද කියන්න තියෙන්නේ ?

ඇත්තටම විශේෂ වෙනසක් සිදුවෙමින් පවතිනවා. හිටපු සභාපති ආචාර්ය සෙනේශ් දිසානායක බණ්ඩාරයන්ගේ සංකල්පය වුණේ ගුණාත්මක වැඩසටහන් විකාශය කිරීමෙන් ගුණාත්මක ප්‍රේක්ෂක පිරිසක් ජාතික රූපවාහිනිය වටා එක්‍ රොක් කර ගැනීම. ජාතික රූපවාහිනිය සෑම දෙනාම නරඹන තත්වයට පත්කර ගැනීම තමයි අරමුණ වූයේ. යම්කාල වකවානුවලදී රූපවාහිනියෙන් ප්‍රේක්ෂකයා ඈත් වුණත් නැවතත් ඔවුන් ඒ වටා රැස් වෙමින් සිටිනවා.

රිද්ම වැනි ගුණාත්මක වැඩසටහන් ජාතික රූපවාහිනියෙන් විකාශය වෙන්න ආරම්භ වූ නිසා එහි අභිමානය තව තවත් වැඩි වුණා. මේ ලැබුණ අවස්ථාවෙන් අපිට අලුත් වෙනසක් කරන්න හැකිවුණා. ගුණාත්මක මාධ්‍ය සංස්කෘතියක් වෙනුවෙන් ජාතික රූපවාහිනිය ක්‍රියාත්මක කරන අලුත් වැඩපිළිවෙළ නිසා හොඳ ප්‍රේක්ෂකයන් පිරිසක් ඇතිවේවි. විශේෂයෙන් රිද්ම ගැන කතා කරද්දී ඩිල්ෂාන් පතිරත්න සහ දිව්‍ය ශාරිකා බ්‍රෙන්ඩන් යන දෙදෙනාව මතක් කරන්න අවශ්‍යයි. ඔවුන් දෙදෙනා තමයි රිද්ම වැඩසටහනේ නිවේදන කටයුතු සිදුකරන්නේ. ඒ වගේම රිද්ම වැඩසටහන සාර්ථකව විකාශය කිරීමට සහයෝගය දෙන සියලුම දෙනාට ස්තූතිය පුදකරනවා.

ජාතික රූපවාහිනිය මඟින් විකාශය කෙරෙන ගුණාත්මක වැඩසටහන් පෙළෙන් රිද්මට සුවිශේෂී ස්ථානයක් හිමිවේ. විවිධ ජාතීන්ගේ සංස්කෘතිකාංග සහ කලාව පිළිබඳ රූපවාහිනිය තිබූ හිඩැස පිරවීමට රිද්ම ට හැකියාව ඇත. රටක් සමෘද්ධිමත් වීමට ජාතීන් අතර සහයෝගීතාව, එකමුතුව තිබිය යුතුය. කලාව නිසා මිනිසා සංවේදී හදවතක් ඇති තැනැත්තෙක් බවට කිරීමට හැකිය.

හරවත්, ගුණාත්මක වැඩසටහන් පෙළක ඇරැඹුමේ ඉහළින් වැජඹෙන රිද්ම සමඟින් එක්වන්නට ප්‍රේක්ෂකයාට ආරාධනා කරමින් එහි අධ්‍යක්ෂවරිය වන අනෝමා වීරසේකරටත්, රිද්මටත් සරසවියෙන් සුබ පැතුම් !

සේයාරූ – නිශ්ශංක විජේරත්න

[email protected]

නයනාංජලි දෙහිපිටිය

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT