Home » කලා අධ්‍යක්ෂණය සහ රංගනය යනු සංකීර්ණ විෂයයන් දෙකක්

කලා අධ්‍යක්ෂණය සහ රංගනය යනු සංකීර්ණ විෂයයන් දෙකක්

රංගන ශිල්පි-කලා අධ්‍යක්ෂ රුවන් මධුසංඛ

by Thanushika
May 15, 2025 11:08 am 0 comment

සහාය කලා අධ්‍යක්ෂවරයකු ලෙස ක්ෂේත්‍රයට පිවිස, කලා අධ්‍යක්ෂවරයකු වශයෙන් නිර්මාණ රැසකට සිය හැකියාව මුදාහැරි ඔහු, අද වනවිට නළු භූමිකාවේ සිට ටෙලි නිර්මාණ සහ චිත්‍රපට රැසකට රංගනයෙන් දායක වී සිටියි. නමින් රුවන් මදුසංඛ වන හෙතෙම සිය කලා දිවිය පිළිබඳ අදහස් දැක්වීමට සරසවිය හා මෙසේ එක්විය

මේ දිනවල ඔබේ නවතම කලා කටයුතු මොනවාද …?

මේ දවස්වල ස්වර්ණවාහිනියෙන් විකාශය වන “හිරිපොද වැස්ස”, ටෙලිනාට්‍යයේ රියැදුරකුගේ චරිතයක් නිරූපණය කරනවා. ඒවගේම හිරු නාළිකාවේ විකාශය වන “වත්සුණු” ටෙලිනාට්‍යයේ “පාලි” නමැති චරිතයටත් ජීවය දෙනවා. සුපුරුදු පරිදි “33 කාමරය” නාට්‍ය මාලාවේ එකිනෙකට වෙනස් චරිත රංගනයේ යෙදෙනවා

රංගන ශිල්පියකු ලෙස ඔබ ආ ගමන්මඟ ගැන තෘප්තිමත් ද…..?

අවුරුදු 14ක් තිස්සේ ලොකු කට්ටක් කාලා ආව ගමනක් මේක. රංගන ශිල්පියකු, කලා අධ්‍යක්ෂවරයකු වීම ගැන විශාල සතුටක් තිබෙනවා. සමහර අවස්ථාවල ඇතිවෙන කැපිලි, කෙටිලි නිසා දුකකුත් ඇතිවෙන අවස්ථා නැතිවා නෙවෙයි. ඒවගේම අපි අපේ අතින් වියදම් කරගෙන ගිහින් රඟපාපු අවස්ථා තිබුණා. ආර්ථික අපහසුකම් තිබුණත්, කලාවට තිබෙන ආදරය නිසා, රංගන ශිල්පියකුවීමේ සිහිනය තිබූ නිසා කට්ට කාගෙන සිටියා. ක්ෂේත්‍රයට එද්දි සිටි ස්ථානයත් සමඟ බලද්දි අද ඉන්න තැන ගැන සතුටක් තිබෙනවා

රඟපෑ චරිත අතරින් වඩාත් සුවිශේෂී චරිත එහෙමත් ඇති …..?

වසර 14ක් තිස්සේ කලා ක්ෂේත්‍රයේ ඉන්නවා. මගේ කලා ලොවේ හැරවුම් ලක්ෂ්‍යය වුණේ හිරු නාළිකාවේ විකාශය වූ “අළු යට ගිනි” කතාමාලාවේ ‘”කෙසෙල්වත්තේ දිනුක” නමැති පාතාල සාමාජිකයාගේ චරිතයයි. ඒක ප්‍රධාන චරිතයක්. ඒතාක් මට ප්‍රධාන චරිතයක් ලැබී තිබුණේ නැහැ . “අළු යට ගිනි”හි කෙසෙල්වත්තේ දිනුක චරිතයෙන් ලැබුණු උත්තේජනය සමඟ මේතාක් ගමනක් ආවේ. ඒ රංගනය දුටු බොහෝ අධ්‍යක්ෂවරු මට යම් යම් චරිතවලට ආරාධනා කළා . මේ චරිතය මගේ රංගන දිවියේ වටිනාම වගේම සුවිශේෂීම චරිතයක් කියන්න පුළුවන්

“ඇගේ කතාව , 33 කාමරය” ටෙලිනාට්‍ය මාලාවන්හිදී අපට ඔබව නිතරම හමුවෙනවා. එකී නිර්මාණවලට කොහොමද එක්වුණේ….?

කලා ලොවේ ඉන්න මගේ මිතුරෙක් වන හසිත රංගන නමැති සහාය අධ්‍යක්ෂවරයා හරහා තමයි මට හිරු නාළිකාවේ නිර්මාණවලට දායකවෙන්න ලැබුණේ. ඔහු හරහා තමයි මුලින්ම සුරේෂ් අල්විස් මහතා, ලසිත සමරතුංග මල්ලි මුණගැසුණේ . ලසිත මල්ලි හරහා 33 කාමරය අධ්‍යක්ෂ මලින්ද රත්නායක අයියා හමුවුණා. ලසිත මල්ලි හරහා “ඇගේ කතාව”ට එක්වුණා . මාව රංගන ශිල්පියෙක් ලෙස ප්‍රේක්ෂකයා හඳුනාගත්තේ “ඇගේ කතාව” සහ “33 කාමරය” හරහායි

නළුවකුවීමට පෙර කලා අධ්‍යක්ෂවරයකු ලෙසත් ඔබ කටයුතු කළා නේද…..?

මම සහාය කලා අධ්‍යක්ෂවරයෙක් ලෙස වැඩ පටන්ගත්තේ 2012දී. එතැනින් තමයි මම කලාවට සම්බන්ධ වෙන්නේ. එයට අවස්ථාව ලැබුණේ මගේ ඥාතියකු, රංගන ශිල්පියකු, ඡායාරූප ශිල්පියකු වන අනිල් ජයසිංහ අයියා හරහා. හිරු නාළිකාව ආරම්භයත් එක්ක විකාශය වූ “වැහි ලිහිණි” ටෙලිනාට්‍යයේ සහාය කලා අධ්‍යක්ෂවරයා වශයෙන් මම වැඩකළා. එහිදී මගේ කලා අධ්‍යක්ෂවරයා විදිහට මට ගුරුහරුකම් දුන්නේ ගාමිණී එස්. බණ්ඩාර අයියා. කලා අධ්‍යක්ෂණය ගැන කිසිදෙයක් නොදන්න මම ගාමිණී අයියා යටතේ ඒ ගැන ඉගෙනගත්තා . සහාය කලා අධ්‍යක්ෂණයෙන් පසුව මම තනියෙන් කලා අධ්‍යක්ෂවරයෙක් ලෙසත් වැඩකළා. එසේ ආරම්භ කළ කලා දිවිය ඔස්සේයි මේ දක්වා ගමනක් ආවේ. වෘත්තිය මට්ටමින් ක්ෂේත්‍රයේ රැඳෙන්න හැකිවුණේ සහාය කලා අධ්‍යක්ෂවරයෙක් ලෙස පය තැබීමත් සමඟයි

කලා දිවියේ ආරම්භය ගැන කෙටියෙන් කීවොත් …..?

අනිල් ජයසිංහ අයියා ඡායාරූපකරණය කළා. මම එයාගේ සහායක විදිහට වැඩකළා. ඒ අතර ටෙලිනාට්‍යවල නිශ්චල ඡායාරූප ශිල්පියකු විදිහටත් එයා වැඩකළා. ඔහු එක්ක වැඩකරද්දි නළුනිළියන් දකිද්දි මටත් රඟපාන්න ආසාවක් ඇතිවුණා. ඔහු මාර්ගයෙන් තමයි “වැහි ලිහිණි “ටෙලියේ සහාය කලා අධ්‍යක්ෂණයට එක්වුණේ

කලා අධ්‍යක්ෂණය නමැති විෂයය කොහොමද දැනෙන්නේ…..?

මම මුලින්ම සහාය කලා අධ්‍යක්ෂ සිට කලා අධ්‍යක්ෂ ලෙසත් වැඩකළා. එහෙත් ලොකුවට කලා අධ්‍යක්ෂවරයෙක් විදිහට වැඩකරලා නම් නැහැ . කලා අධ්‍යක්ෂණය නමැති විෂයය හරිම සංකීර්ණයි. සරලව කීවොත් මාරම කට්ටක් කන්න වෙන ක්ෂේත්‍රයක්. පසුතල සැකසීම, දර්ශනතල, ඇඳුම් පැලඳුම්, රංග භාණ්ඩ ආදී සියල්ල පිළිබඳ මෙහිදී හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. කලා අධ්‍යක්ෂණය සංකීර්ණ කාර්යයක් කීවොත් හරි

කලා අධ්‍යක්ෂණය සහ රංගනය යන ක්ෂේත්‍ර දෙකෙහි වෙනස කොහොමද දකින්නේ…….?

කලා අධ්‍යක්ෂණයත් රංගනයත් දෙකම සංකීර්ණ විෂයයන් දෙකක්. කලා අධ්‍යක්ෂණය කියන දේ ප්‍රායෝගිකව වැඩ කිරීමේදී අත්දැකීම් සමඟ ඉගෙනගනිමින් සිදුකරන්න පුළුවන් වෘත්තියක්. රංගනය නමැති විෂයය බලාගෙන සිටි පමණින් කරන්නත් බැහැ. කෙනෙක් රඟපාන දිහා බලාගෙන හිටියට රංගන ශිල්පියෙක් වෙන්න බැහැ. ඒ විෂයය ප්‍රගුණ කළයුතුයි, හැදෑරිය යුතුයි. රංගන ශිල්පියකුවීම ලෙහෙසි නැහැ. හැදෑරීම, අභ්‍යාස තුළින් තමයි රංගන හැකියාව ඉස්මතු වෙන්නේ

සිනමාවට සම්බන්ධ වුණේ නැද්ද…..?

“තානාපතිලගේ ගෙදර, මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි” වැනි චිත්‍රපට දෙකකට පමණයි රංගනයෙන් එක්වුණේ. ඒවා සුළු චරිත. සිනමාවේ කැපී පෙනෙන තරමේ ප්‍රධාන චරිත රඟපාලා නැහැ

වේදිකාවට ගොඩවෙන්න අදහසක් නැද්ද ….?

වේදිකාවට ගොඩවෙන්න ආසාවක් තිබෙනවා. ස්ථිර වශයෙන් වේදිකා නාට්‍යයක චරිතයක් භාරගෙන කරන්න ආසයි. හොඳ රංගන ශිල්පියකු බිහිවෙන්න වේදිකාව නමැති අත්තිවාරම සම්පූර්ණ වෙන්න ඕන. වේදිකාවට ගොඩවූ කෙනෙකුට කලා ක්ෂේත්‍රයේ පිළිගැනීමත් වැඩියි

පාසල් කාලයේ කලාකටයුතු කළේ නැද්ද……?

ඉස්කෝලේ යන කාලයේ වේදිකා නාට්‍යයක සුළු චරිතයක් කළා. මට ලැබුණු චරිතයට අදාළ කෙනා නොපැමිණි නිසා මට ඒ සඳහා අවස්ථාව ලැබුණා. ඒ කාලයේ රංගන ශිල්පියෙක් වෙනවා කියලා හීනෙකින්වත් හිතලා තිබ්බේ නැහැ

ක්ෂේත්‍රයේදී ඔබට ගුරුහරුකම් දුන් පිරිසකුත්, විශේෂයෙන් මතක් කළ යුතු පිරිසකුත් ඇති….?

සහාය කලා අධ්‍යක්ෂවරයෙක් ලෙස ක්ෂේත්‍රයට එද්දි මට වැඩ පුරුදු කළ ගාමිණි එස්. බණ්ඩාර අයියාව මතක් කළ යුතුයි. කිසිවක් නොදත් මට තනියෙන් කලා අධ්‍යක්ෂණය කළ හැකි තැනට විනය, පිළිවෙළ ආදිය ඉගෙනගත්තේ ඔහුගෙන්. ඔහු පුරුදු කළ දේවල් එක්ක තමයි අදටත් මගේ ඒ පිළිවෙළ සැකසී තියෙන්නේ. අධ්‍යක්ෂවරයාට, ජ්‍යේෂ්ඨ රංගන ශිල්පීන්ට ගරු කළයුතු ආකාරය වැනි බොහෝදේ ඉගෙනගත්තේ ඔහුගෙන්. රංගනයට මට පාර හදලා දුන්නු අනිල් ජයසිංහ අයියා, සමන් කුමාර ලියනගේ අධ්‍යක්ෂවරයාත් ලසිත සමරතුංග මල්ලි, මලින්ද රත්නායක අයියා, කපිල කුමාර සමරකෝන්, ප්‍රියන්ත සමරකෝන්, ප්‍රදීප් කේ. රාජපක්ෂ, සුසන්ත රාමසිංහ, හසිත කේ. රාජපක්ෂ ආදීන් මේ මොහොතේ සිහිපත් කරනවා

කලා දිවියේ අමතක නොවන මතකත් ඇති…..?

කවදාවත් අමතක නොවන සිද්ධියක් නම් තිබෙනවා . ඒක මිහිරිද අමිහිරිද කියා කියන්න බැහැ . “මහිංසා” නමින් ටෙලිනාට්‍යයක් අපි කළා. එය අධ්‍යක්ෂණය කළේ ජෝසප් ජෙරම් මහතා.. එහි රූගතකිරීම් කළේ අත්තනගලු ඔයේ. තිසුරි යුවනිකා ප්‍රධාන චරිතය කළේ. එහි තිසුරි සිහිනැතිවෙලා ගහක කැපූ අත්තක් දිගේ පාවෙලා එන අවස්ථාවක් තිබුණා . එහිදී මා ඇතුළු පිරිසක් දිය නාමින් ඉන්නවා. එහිදී අපි ඇය පාවීගෙන එන හැටි දකිනවා. මට තමයි එහිදී ඇයව බේරාගෙන එන්න තිබ්බේ . එදා වතුර පහර ඉතා සැරවයි තිබුණේ . අපේ නිෂ්පාදක කණ්ඩායමත් එතැන සිටියා. සැඩපහරට තිසුරිව ගහගෙන එද්දී මම ඇයව අල්ලගන්න ඕනේ. මෙහිදී ඇය මම ඉන්න සීමාවෙන් එහාට ගහගෙන ගියා. මට එහිදී ඒ අත්ත අල්ලගන්න බැරිවුණා . නිෂ්පාදක කණ්ඩායම කඹයක් දාලා දෙපැත්තෙන් ඇදගෙන සිටි නිසා තිසුරිව අල්ලගන්න පුළුවන් වුණා. එහෙම නොවුණානම් කතාව සෑහෙන ලොකු වෙනසක් වෙන්න තිබ්බා. වුණේ මොකද්ද කියලවත් තිසුරි දන්නේ නැහැ. ඇය රංගනයේ නිරතවෙලයි සිටියේ. එදා පොඩ්ඩක් එහාමෙහා වුණානම් දරුණු දෙයක් වෙන්නත් තිබ්බා. ඒ සිද්ධිය නම් ජීවිතයේ කවදාවත්ම අමතක වෙන එකක් නැහැ

රංගනය හැරුණාම ඔබට වෙනත් කලා හැකියාවනුත් ඇති…..?

මම කුඩා කල ඉඳන්ම මියුසික්වලට කැමැතියි. කාලයක් මම පොඩි කණ්ඩායම් හදාගෙන ගිටාර් ර්‍ථතචර කළා.. ප්‍රැටිස් කළා. ගිටාර් වාදකයකු වීමේ ආසාව තවමත් තිබෙනවා. ගායනයටත් කැමැත්තක් තිබෙනවා. ලංකාවේ සංගීත කණ්ඩායමකට සම්බන්ධ වෙලා ගායනයේ නිරතව තිබෙනවා. ආධුනික ගායකයකු විදිහට මට යම් ගායන හැකියාවක් තියෙනවා කියලා මට සිතෙනවා. වාදනයත් මට තරමක්දුරට පුළුවන්

ඔබ වෙනත් රැකියාවකත් නිරතවෙනවද…..?

ඔව්, මම මගේම කියලා සැලූන් එකක් කරගෙන යනවා. දැනට ඒ ව්‍යාපාරය පටන් අරගෙන අවුරුදු 15ක් විතර වෙනවා. සැලූන් එක තියෙන්නේ කුලියාපිටියේ වයඹ විශ්වවිද්‍යාලය ආසන්නයේ.

තිර පිටපත් රචනයට යොමුවූයේ නැද්ද…..?

තවම නම් නැහැ. ඒත් තිර රචකයෙක් වෙන්න ආසාවක් තිබුණා. මගේම පිටපතක් ලියන්න අදහසක් තිබෙනවා. ඊට පෙර ඒ ගැන ඉගෙනගතයුතු බොහෝ දේ තිබෙනවා. ඒ ගැනත් අධ්‍යයනය කරනගමන් ඉන්නේ

යූටියුබ් සමාජ මාධ්‍ය ඔබ කොහොමද දකින්නේ…..?

ඇත්තෙන්ම අද යූටියුබ්වල තමයි මිනිස්සු ඉන්නේ. අද මිනිස්සු ටී.වී. බලන්නේ නැහැ . කාර්යබහුලත්වය එක්ක අද හැමදේම බලන්නේ ජංගම දුරකතනයෙන්. අපි කොච්චර හොඳ නිර්මාණ කළත් ඒවා රූපවාහිනියෙන් දකිනවා අඩුයි. යූටියුබ් නිසා වෘත්තිය රංගන ශිල්පීන්ට අවාසියක් වුණාදෝ කියලත් විටෙක හිතෙනවා. ප්‍රවීණයන්ට වැඩ අඩුවෙද්දී අලුතින් එන පිරිස යූටියුබ්වලින් හොඳ ආදායම් සොයන අවස්ථා තිබෙනවා. යූටියුබ්වල විකාශය වන කොටස් මුහුණු පොතේ, ටික්ටොක්වල වයිරල් වෙන අවස්ථාත් තිබෙනවා . මෙහි සාර්ථකත්වය 50/50ක් වගේ කියලා මට හිතෙනවා. ඒක මගේ පෞද්ගලික අදහස පමණයි. මගේත් යූටියුබ් චැනලයක් තිබෙනවා. ඇත්තෙන්ම අද මිනිස්සු ඉන්නේ යූටියුබ් එක්කයි

ඔබ ඒකාංගික ටෙලිනාට්‍ය දෙකක් නිෂ්පාදනය කළා…ඒකට මොකද වුණේ….?

මේ වෙද්දි මම පෝය ටෙලිනාට්‍ය දෙකක් නිෂ්පාදනය කර තිබෙනවා. ඒවා තවම විකාශය වුණේ නැහැ .ටෙලිනාට්‍යයක් නිෂ්පාදනය කළාම නිෂ්පාදකවරු අසරණ වෙනවා එය විකාශය කරගැනීමේ සටනේදී. නාළිකාවලට ගියාම ඔවුන් අනුග්‍රාහකයන් ඉල්ලනවා. එවැනි ගැටලු තිබෙනවා. මට නිෂ්පාදනයට ආසාවක් තිබුණා. විකාශය සම්බන්ධ ගැටලු මටත් ආව නිසා නිෂ්පාදනය ගැන දැන් කැමැත්තක් නැහැ

නව නිෂ්පාදකවරුන් බිහිනොවන්නේත් නිෂ්පාදනවලට නිසි වෙළෙඳපොළක් නොමැතිවීම නිසයි. ආයේනම් නිෂ්පාදනය ගැන සිතන්නේවත් නැහැ

කලාකටයුතුවලට ගෙදරින් ලැබෙන සහාය මොනවගේද …..?

ගෙදරින් හොඳ සහයෝගයක් තිබෙනවා කලාකටයුතුවලට. මම විවාහකයි. මට අවුරුදු 5ක පුතෙක් ඉන්නවා. මගේ තාත්තා නැහැ. අම්මා සහ බිරිඳ මට කලාකටයුතුවලට හොඳ සහායක් දෙනවා

 

[email protected]

මනෝජ් රුක්මල් කුමාරසිංහ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT