මට වෙලාවකට හිතෙනවා මම මේ දකින්නේ හීනයක්ද කියලා. තවත් වෙලාවකට මට හිතෙනවා මේක හරියට චිත්‍රපටයක් වගේ නේද? කියලත්. ඒත් මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙක දැන් ජිවතුන් අතර නෑ කියලා දැනෙන කොට අදටත් මගේ හදවත හිරවෙන ඉකියක් එනවා. ඒ හිරවීමෙන් කියන්නේ මේ දෙන්නට මගේ ජීවිතේ කොයි තරම් තැනක් දීලා තිබුණද ? මේ දෙන්නා මගේ ජීවිතේට කොයි තරම් වැදගත්ද කියන එකයි..
ජිවිතේ එහෙම තමයි හැමදාමත් අපිට තියෙන්නේ හමුවීම් සහ වෙන්වීම් තමයි. ඒත් ඒ හමුවීම් වෙන්වීම් මැද තිබුණු උණුසුම් වැලඳ ගැනීම් තවමත් මට ජීවත් වෙන්න සවියක් දෙනවා.
අම්මා ඒ කාලේ මට කියලා තිබුණු විදියට අපි ඉපදෙන්නත් ඉස්සර අපේ අම්මගේ යොවුන් විය කොහොම ගෙවෙන්න අතිද කියලා මට හිතා ගන්න පුළුවන්. උඩරටට ආවේණීක සාම්ප්‍රදායික ඔසරියකින් සැරසිලා උඩපුස්සැල්ලාවේ පුංචි ඉස්කෝලෙක උගන්වන්න යන අපේ අම්මගේ තරුණ රූපය මම හිතින් මවා ගන්නවා. උතුරා යන යෞවනයත් එක්ක අම්මගේ වැදගත් ප්‍රභූ පෙනුම දිහා බලපු පිරිමියෙක් දෙසැරයක් හැරිලා බලල නොගියා නම් ඒක තමයි පුදුම වෙන්න ඕන කාරණය.
එකෝමත් එක දවසක මේ පුංචි කුමාරිහාමිට බැලුම් හෙළපු ඇස් දෙකක් ළඟ එයාගේ හිතත් නතර වෙනවා. අම්මා ඉස්කෝලෙට යන පාරේ තිබුණු තැපැල් කාර්යාලයට ගොඩ වදින්නේ ලියුමක් තැපැල් කරන්න. ඒ කාලේ අද වගේ සන්නිවේදන තාක්ෂණය දියුණු වෙලා තිබුණේ නෑ. දුරකතන පාවිච්චියක් තිබුණෙත් නෑ. එකම සන්නිවේදන ක්‍රමය වුණේ එක්කො ලියුමක් දැමීම එහෙම නැත්නම් ටෙලිග්‍රෑම් එකක් යැවීම. අපේ අම්මත් උඩපුස්සැල්ලාව ඉස්කෝලෙ ළඟ තිබුණු තැපැල් කාර්යාලයට ගොඩ වදින්නේ ගෙදරට ලියුමක් දාන්න. මේ තැපැල් කාර්යාලයේ හිටපු කඩවසම් තැපැල් මහත්තයා අම්මා දිහා බලන්නේ සංසාර පුරුද්දකට වෙන්න ඇති. නිතර තමන්ගේ තැපැල් කාර්යාලය ඉදිරිපිටින් යන තරුණ ගුරුවරිය කෙරෙහි ආල හැඟුම් ඇති කරගන්නා ඔහු මේ ප්‍රේමය සාක්ෂාත් කර ගන්නේ බොහෝ දුෂ්කරතා මධ්‍යයේ.
පුදුම හමුවීම් කියන්නේ මේවට තමයි. දෛවය විසින් අපේ අම්මාටත් තාත්තාටත් උරුම කර දී තිබූ ප්‍රේමය නැමැති අති ආකර්ෂණීය හැඟීම් මෝදු වෙමින් දෙදෙනාම ප්‍රේමයෙන් බැඳෙන්නේ මේ සුන්දර කඳුකර පරිසරයේදියි. යොවුන් ප්‍රේමය , ආදරය කොයි තරම් ප්‍රේමනීයද කියලා මට අවබෝධ වෙන්නේ මටත් ඒ හැඟීම් දැනෙන ගත්ත නව යෞවනයේදීයි. අපේ අම්මයි තාත්තාත් ඒ අසිරිමත් ප්‍රේමයෙන් තමන්ගේ නව යෞවන සිතුවිලි අතර චමත්කාර ජනක රටා මවන්න ඇති. ප්‍රේමයේ කිරුළු දරමින් එක වහලක් යටට පැමිණ ආදරයේ රමණීය ආශ්වාදය විඳීන්න පෙරුම් පුරන්න ඇති.
ආදරයට කොහිදෝ බාධා නැත්තේ…… කිව්වා වගේ අම්මගෙයි තාත්තගෙයි මේ ප්‍රේමයට වලව්මානයෙන් හිස උදුම්මාගෙන සිටි අපේ ලොකු අත්තා නම් කැමැත්තක් දක්වලා නෑ.
පස්සේ කාලයක මම පුංචි දැරිවියක් විදියට ලොකු අත්තා ළඟ හැදී වැඩෙන අවධියේ ලොකු අත්තා කුමන ආකාරයේ කෙනෙකු දැයි යන්න හොඳීන් වටහා ගත්තා. අපේ පවුලේ සියලු දෙනාම එයාට දැක්වුයේ අසීමිත බය පක්ෂපාතිත්වයක්. පස්සේ කාලෙක අම්මාගේ මල්ලිලා විවාහ දිවියට ඇතුළත් වනවිටත් ලොකු අත්තා මේ දැඩි ප්‍රතිපත්තිවලම සිටියා. අම්මාගේ එක් මල්ලි කෙනෙක් විවාහ වුයේ කතෝලික තරුණියක සමඟයි. ඒ විවාහය සිදුවන අවස්ථාවේ ලොකු අත්තා පල්ලිය ඇතුළතට වත් නොපැමිණි අයුරු එදා පුංචි මගේ මතකයේ තවමත් රැඳී තිබෙනවා. ලොකු අත්තාගේ ගෙදර තිබුණේ පුදුම නීති කන්දරාවක්. හරියට කෑම වෙලාවට කෑම මේසයෙන් සියලු දෙනා වාඩිවිය යුතුය. කන වෙලාවට කතා කළ නොහැකියි. පාඩම් වැඩ වුවද අදාළ වෙලාවට කාල සටහනකට අනුව සිදු විය යුතුය. නිදා ගන්නටද වෙලාවක් ඇත. යළි පසුදා අවදි වන්නටද වෙලාවක් ඇත.
මගේ මෑණියන් හැදෙන්නේ වැඩෙන්නේද මේ වගේ පරිසරයකයි. අම්මාගේත්, ඉහළ මධ්‍යම පාන්තික පවුලක උපන් අපේ තාත්තාගේත් විවාහයට ලොකු අත්තා නොකැමැති වන්නේ තාත්තාගේ පවුලට අම්මාගේ පෙළැන්තිය නොගැළපෙනවා කියාය. එහෙත් යොවුන් ප්‍රේමයේ අසිරියෙන් මත්ව සිටි අම්මාත් තාත්තාත් එක් දිනක දැඩි තීන්දුවකට එළඹෙනවා. ඒ කොයි තරම් බාධා වැට කඩොළු පැමිණියත් ඔවුන් ගේ ප්‍රේමය ජය ගන්නවා යන ස්ථිර අධිෂ්ඨානයෙන් යුතුව 1957 එක්තරා දිනයක ඔවුන් දෙදෙනා නීතියෙන් බැඳෙනවා.
අම්මයි තාත්තයි ඒ කාලයේ කියලා තිබුණු විදියට මේ දෙන්නා විවාහයෙන් පස්සේ පදිංචි වනුයේ නාවලපිටියේයි. තාත්තා නාවලපිටිය තැපැල් කන්තෝරුවට මාරුවක් ගන්නා අතර අම්මාද නාවලපිටියේ පාසලකට මාරුවක් ගන්නවා. ඒ කාලයේ නාවලපිටියේ තිබිලා තියෙනවා චාල්ස් ෆ්ලැට් කියලා ෆ්ලැට් වගයක්. එයින් ගෙයක් අරගෙන තමයි අම්මයි තාත්තායි පදිංචි වෙලා තිබෙන්නේ. දෙදෙනාටම රැකියාවක් හිමිව තිබීමෙන් ජීවිතය පටන් ගන්න මහා ලොකු අමාරුකමක් තිබිලා නෑ. ඒත් ඉතින් අම්මගේ තාත්තා, අපේ ලොකු අත්තාගෙන් නම් අම්මාට සමාවක් තිබිලා නෑ. අපි ලැබිලා කාලාන්තරයක් ගිහිල්ලාත් ලොකු අත්තා අපේ අම්මත් එක්ක කතා කළේ නෑ. අම්මගේ අම්මා නම් අපිව ලැබුණට පස්සේ සියල්ල අමතක කරලා අම්මා ළඟට ආවා. සමහර අවස්ථාවල අපිව බලා ගන්නත් ආවා. අම්මා කාලයක් යනකම් බෝයගම වලව්වට ආවේ ගියේ නෑ. අම්මගේ අම්මා මුණ ගැහෙන්නත් ගියේ එයාගේ හඟුරන්කෙත වලව්වට.
ගැහැනියකගේ ජිවිතේ සරුව සම්පුර්ණ වෙන්නේ මව් පදවිය ලැබුණ දවසට කියලා කියනවා. අපේ අම්මත් තාත්තාත් උතුම් වූ මව්පිය පදවි ලබන්නේ නාවලපිටියේ මේ කඳුකර පරිසරය මැද්දේමයි.
ලබන සතියේ ….
දංචූටි ගේ උත්පත්තිය
හේමාලි විජේරත්න