” මගේ එකම අරමුණ හොඳ නිර්මාණ අගයන පාඨකයාගේ අරමුණු හා එකතුවීමයි.
“හතළිස් ඇඳීරියට පෙර.”.සිය කුලුඳුල් කාව්‍යය ග්‍රන්ථය එළිදක්වමින් කාංචනමාලා ගී කියනගේ කතුවරිය කියයි.
දශක හතරක සිහින
පෙළහරට එක්වන්න
මා සමඟ ඇති මතක
ගනුදෙනුව පියවන්න
වැටුණු තැන් රිදුණු තැන්
සීරුවට විඳගන්න
හතළිස් ඇඳීරියට පෙර
නොවැරදී ඔබ එන්න.
ඕ තොමෝ වරෙක කථිකත්වයෙහි හපනියකි. වරෙක අරුත්බර ගේය පද රචිකාවියකි. තවත් වරෙක සෞන්දර්යය විඳගන්නට එන්නැයි වත්මන් දරු පරපුරට නන්තැන්හි ආයාචනා කරන්නියකි..තවත් වරෙක සාහිත්‍යයට සෞන්දර්ය යට බොහෝ ඈතින් දිවෙන වෘත්තියක නිරතවන්නියකි..නොඑසේනම් පෞද්ගලික විශ්ව විද්‍යාලයක පීඨාධිපතිනියක මෙන්ම නීතිඥ වෘත්තීයෙහිද නිරත ඕ සිය කුලුඳුල් කාව්‍යය කෘතිය ජනගත කැරෙමින් ලේඛන සාහිත්‍ය කලාවටද පිවිස සිටින්නීය..
එම කෘතියේ කතුවරිය වන කංචනමාලා ගී කියනගේ සරසවිය සමඟ කරන ලද සංලාපයකි මේ.
ඔබ පිළිබඳව යමක් සඳහන් කළොත්..?
මම කාංචනමාලා ගී කියනගේ..මගේ මව් පාසල් ගුරුවරියක්..පියසීලී ගී කියනගේ..තාත්තා ආරියපාල ගී කියනගේ . ඔහු විශ්‍රාමික ප්‍රාදේශිය ලේකම්වරයෙක්..මධ්‍යස්ථ මතධාරියක ලෙසින් ජීවිතය සමඟ ලෝකය දකින්නට මට වරම් ලැබුණේ මගේ මවුපියන්ගෙන්..කොළොන්නාව බාලිකා විද්‍යාලයෙන් කොළඹ විශාඛා විද්‍යාලයෙන් ඉගෙනුම ලබා නීති පීඨයට ආවා..නීතිපති..නීතිවේදී ප්‍රථම උපාධිය ලබා නීතිඥවරියක විදිහට දිව්රුම් දී දැනට වසර විස්සක් ..ශ්‍රී ලංකා ආයතනයේ විභාගයට පෙනී සිට අන්තිම වරට නීතිපති උපාධිය ලැබුවා.
ආචාර්ය උපාධිය ද හදාරමින් ඕ පෞද්ගලික විශ්ව විද්‍යාලයක නීති පීඨයේ පීඨාධිපතිනියක ලෙසින් දැනට කටයුතු කරන ඇය බාහිර කථිකාචාර්යවරියක ද වේ.
නීති පොතයි සාහිත්‍යය කලාවයි අතර ගැළපීම දුෂ්කරයි..මෙය ඔබ දකින ආකාරය කීවොත්…?
මම පාසල් කාලයේ සෞන්දර්යය විෂයයන් වලට හරිම කැමතියි..ඒ වගේම සම්බන්ධයි. පාසල් වේදිකාව මට හොඳට හුරුපුරුදුයි. පාසලේ වේදිකා නාට්‍ය රචනා කළා. නිෂ්පාදනය කළා වගේම මමත් රඟපෑවා..එහි තේමා ගීත පද රචනයත් මගේමයි. පාසල් ජනසන්නිවේදන අංශයෙන් වගේම සාහිත්‍ය කලා උත්සවවලදි හා සිංහල සාහිත්‍යය සංගම්වලදීද විවිධ තනතුරු හෙබවූවා..කථිකත්වයටද නමක් දිනුවා..විශාඛා විද්‍යාලයේ විවාද කණ්ඩායමේ වසර තුනක්ම සිටි එකම ශිෂ්‍යාවද මමයි. ජයන්ත චන්ද්‍රසිරි මහතාගෙන්ද සම්මානිත වුණා..
ඔබ නීති ක්ෂෙත්‍රයේ වගේම දැන් ග්‍රන්ථ කතුවරියක්…පාරවල් දෙකක නියෝජනයක්..?
මගේ කුලුඳුල් කෘතිය ” හතළිස් ඇඳීරියට පෙර… ” මගෙ 46 වන උපන්දිනය නිමිතිකොට පසුගියදා ජනගත කළා..එයට හේතු තියෙනවා..වත්මනෙහි හරවත් අර්ථවත් සාහිත්‍යය රසයක් පාඨකයාට ලැබෙනවාද සැකයි. මට උවමනාව වූයේ ඒ හිස්තැන යම් තරමකින් හෝ පුරවා දැමීමයි…ඇත්ත..මම නීති ක්ෂෙත්‍රයේ තමයි. නීති විද්‍යාලයේ විවාද කණ්ඩායම්වල ඉදිරියෙන්ම සිටියා..ආදර්ශ උසාවි හදල සිංහල දමිල භාෂා දෙකින්ම මම විවාද කළා..නීති පීඨයට ඇතුළත් ව සිටියත් කලා කටයුතුවලටත් නැඹුරුව සිටියා. උසාවියක දකින සිද්ධීන් හරීම ඛේදාන්තයි..සංවේදී සිත් නැත්තවුන් නිසා..උසාවි පැත්තෙන් මැදිහත් වූ අත්දැකීම් ඇසුරින් පසුකලෙක සහ නීති ශිෂ්‍යාවකව සිටියදී ලද අත්දැකීම් අලළා ලියුවා. යුක්තිය එකක්. සමානාත්මතාව තව එකක්. නීති සිද්ධාන්ත හොඳයි..නමුත් ඒවා ක්‍රියාත්මක කරවන්නට බැරිවන අවස්ථා තියෙනවා. පෙනි පෙනී සාධාරණය ඉටුකරන්නට බැරිව යන අවස්ථා තියෙනවා..
ඔබගේ “හතළිස් ඇඳීරියට පෙර ” නමැති කුලුඳුල් කෘතිය හා එහි වටපිටාව ගැන සඳහන් කළොත්…?
මම පාසල් අවධියේ සිටම විවිධ පුවත්පත්වලට කවි රචනා ලියුවා…ඒවා පළවුනාම ලැබුණු ප්‍රතිචාර වලින් තව තවත් මාව දිරිමත් වුණා..මේ මගේ කුලුඳුල් කාව්‍යමය කෘතිය..මම හයවසර පන්තියේ සිට සාහිත්‍ය විෂයට නැඹුරුයි. නීති ක්ෂෙත්‍රයට ආවත්..මගෙ අම්මා සිංහල විෂයයෙහි පරිණතයි. රසාස්වාදය වගේම කලාව හා සම්බන්ධ පරිසරයක් අපට තිබුණේ..ජීවිතයේ පරිඥානය ගැන අවබෝධ ලැබුණෙ මගෙ තාත්තාගෙන්.. ජීවිතය දිහා බලා සංවේදීව බලා ලියන්න පුරුදු වුණේ අම්මා තුළින්.. අන්තර් පාසල් සමස්ත ලංකා මට්ටමින් ගද්‍ය පද්‍ය ලියුවා .. පාසල්වල නිවාසාන්තර තරඟවලට “තුරුපත් නළවාලා…මලින් මලට සරනා…මී මැසි බඹර තුඩේ නාදය රැව්දෙන්නයි ” ලියමින් එයට මම සමූහ ගායනයටත් එකතු වුණා.
ප්‍රේමය පිළිබඳ නිර්මාණයනට වැඩි වශයෙන් නැඔුරුව ලියූ ඕ ප්‍රේමාන්විතයින්ගේ ප්‍රේමය..විරහව. විරහ ගී ප්‍රේමය..මව් දාරක සෙනෙහස..නීතිය..පිළිබඳ පැදි සිරිත සිරිමත් කරන්නීය..
තම ජීවිතයේ විවිධ අවස්ථාවලදී සිය පැදි සිරිත සිරිමත් කළ ඇය විසින් පැදි 46 ක එකතුවකින් තම දිවි සිරිතේ 46 වන සැතපුම පෙනි පෙනී සදැස් හා නිසඳැස් එකතුවකින් ලියූ හතළිස් ඇඳීරියට පෙර “ඇයගේ කාව්‍යය කෘතිය එළිදැක්වූදා ඇය’තින් ලියැවුණු ගේය පද රචනා රැසක් අතුරින් ජනගත කැරුණු ගීත කිහිපයක්ද ඇගේ දියණිය ඇතුළු තවත් කිහිපදෙනකු වෙතින් ගැයුම් සිරිත ඔපවත් විණි.
ඇයගේ දිවිගමනේදී ඇයට හා ඇයගේ කුසලතාවට ළෙන්ගතු බොහෝ පිරිසක්ද මෙම අවස්ථාවට එකතුව සිටි අතර එහිදී එම කෘතිය රත්න ශ්‍රී විජේසිංහයන්ට පිරිනැමුණු අතර එහි පෙරවදන ලියූ බුද්ධදාස ගලප්පත්ති …පසුවදන ලියූ මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මහත්වරුනටද කතුවරියගේ සිංහල විෂය බාර ගුරුතුමියක වන සෝමා හේරත් මහත්මිය ඇතුළු විද්වත් රැසකගේ සුරතට එහිදී ප්‍රදානය කෙරිණි .
ඔබ ගේය පද රචිකාවක ලෙසින් යම් ප්‍රගතියක් ලබා තිබෙනවා…?
ඔව්..හොඳ ගීත රචනා අද සමාජයේ විරලයි…හොඳ ගීත විරලයි. අඩුම ගාණේ මේ තත්ත්වය හැකිතරමින් හෝ වෙනස් කරන්නටයි මට ඇති ලොකුම උවමනාව..මේ වෙද්දි මගෙ අතින් ලියැවුණු බොහෝ ගීත රචනාවලදි ලොකු අගැයීම් ලැබී තිබෙනවා. දැනට මගේ ගීත රචනා 70ක පමණ එකතුවක් තියෙනවා. එඩ්වඩ් ජයකොඩි..කීර්ති පැස්කුවල්..දීපිකා ප්‍රියදර්ශනී පීරිස්…ක්‍රිශාන්ත එරන්දක..ශානිකා විජේසේකර .සමන්ත පෙරේරා..රසිකා කුමාරසිංහ වෛද්‍ය විශේෂඥ සංජීවනී රූපසිංහ.. ආදීන් මගේ ගේය පද රචනාවන් ප්‍රකාශිත කර තියෙනවා..ඒ වගේම ආචාර්ය වික්ටර් රත්නායකයන් ඇතුළු ජනප්‍රිය සංගීතඥයන්ගෙ දායකත්වය මගෙ නිර්මාණ වලට ලැබී තිබෙනවා. නව පරපුරේ බොහෝ පිරිසක් මගේ ගී පද රචනා ඇසුරින් ගීත ගයනවා..ඉතින් මම මා ගැන වගේම මට ලැබෙන ප්‍රතිචාර නිසා බොහොම සතුටින් ඉදිරියටත් නිර්මාණවල යෙදෙනවා..ඒ වගේම මගෙ මේ කාර්යයන් වලදී සෙවණැල්ල වගේ මට දිරිය දෙන වෘත්තීයෙන් ගණකාධිකාරිවරයකු හා කළමනාකරණ නිලධාරියකු වන මගේ සැමියා ප්‍රසන්න බෙල්පගේ වගේම මගෙ දරුවන් මගෙ සමීපතමයන් මට ඉදිරියටත් ශක්තියක්මයි..
අවසාන වශයෙන් ඔබ…?
කියන්න තියෙන්නෙ තම හැකියාව කුසලතාව තමන් පළමුව හඳුනාගන්න..යහපත් සමාජ ඇසුරද තබාගෙන ඉදිරියට යන්න..කියා කලා ක්ෂෙත්‍රයට එන අයට කියන්න තිබෙන්නෙ..මම නීති ක්ෂෙත්‍රයේ කටයුතු කළාට මගෙ ජීවිතයේ වැඩි ඉඩක් තියෙන්නෙ කලාවට.මම කාලයක්ම නීති ක්ෂෙත්‍රයෙන් වෙන්වෙලා බාහිර කථිකාචාර්යවරියක ලෙසින් කටයුතු කළා..තව බොහෝ කලක් මා තුළ කලාවට හා කලා නිර්මාණවලට ඇති ආදරයත් ඒ සමඟම පවතීවි..
ඇයගේ පෑන්තුඬින් රසගැන්වුණු ගී පද අරුතින් හැඩගැන්වූ ඇයගේ කුලුඳුල් සඳැස් නිසඳැස් හතළිස් හයකින් සමන්විත හතළිස් ඇඳීරියට පෙර නවතම කාව්‍යමය කෘතිය එළිදැක්වූ එම උත්සවය නන් විසිතුරින් එකලුව ගිය සුබ රාත්‍රියක සිරියෙන් ඇලළිණ.
අමල් යශෝමන් ජයසිංහ