Home » උම්මාදෝ හරහා කතා කරන්නේ සමාජයේ අසාධාරණයට ලක්වන ගැහැනු ගැන

උම්මාදෝ හරහා කතා කරන්නේ සමාජයේ අසාධාරණයට ලක්වන ගැහැනු ගැන

යොවුන් ලේඛිකා කාවින්ද්‍යා හේමචන්ද්‍ර

by Thanushika
December 19, 2024 11:00 am 0 comment

ලාංකේය සාහිත්‍යට එකතු වන යොවුන් ලේඛිකාවක් ලෙස කාව්න්ද්‍යා හේමචන්ද්‍ර පාඨකයන් අතර ස්ථානගත වන්නේ ඇය විසින් කුළුදුලේම රචනා කරන ‘උම්මාදෝ’ නවකතාව හරහායි. පළමු නවකතාව ලෙස උම්මාදෝ නවකතාව පාඨකයන්ගේ ඉහළ ප්‍රතිචාර ලබමින් ඇය දෙවන නවකතාව ලෙස ‘දෙවර’ මෙි වසරේ පාඨකයන් අත පත්කළ දෙවන නවකතාව වෙයි. මෙවර සරසවිය හරහා ඉඩ වෙන් වන්නේ ලේඛිකා කාවින්ද්‍යා හේමචන්ද්‍ර සමඟ සිදු කළ සාහිත්‍යයමය කතා බහ සමඟයි.

කාවින්ද්‍යාගේ සාහිත්‍ය ගමන පටන් ගන්නේ නවකතාව එක්ක. ඔබට මේ ලිවීමේ ආශාව දැල්වුණේ කොහොමද? මොකක්ද ඒකට මුලාරමිභය?

පාසල් කාලයේ ප්‍රාථමික අංශයෙ ගද්‍ය රචනා ලිවීම්වලින් මම සමස්ත ලංකා ජයග්‍රහණ ලබාගෙන තියෙනවා. ඒවත් එක්ක මට දැනුණ දෙයක් තමා මට යම්කිසි දෙයක් ගළපලා ලියාගන්න පුළුවන් කියන එක. මම පළවෙනි වතාවට පහ වසරෙදි කවි පොතක් ලියනවා. එතනදි පන්තිභාර ගුරුතුමිය මාව ප්‍රශංසා කරනවා මට ලියන්න පුළුවන් කියලා. ඒත් එක්කම මම අවුරුදු 11 දි පළවෙනි පොත සහ 13 දී නවකතාවක් ලියනවා. අවුරුදු 11 දි ලියන පොත පාසල් සමස්ත ලංකා තරඟවලදි ජය ලැබීම තමා මේ විදියට ලියන්න පන්නරයක් වුණේ.

ඔබේ පළමු නවකතාව විදියට ‘උම්මාදෝ’ කෘතිය ලියන්න පසුබිම සැකසුණ් කොහොමද?

මම ජීවත් වෙන්නේ ගමක. විශේෂයෙන්ම දරිද්‍රතාව පිරුණු නාගරීකරණය නොවූ ග්‍රාම්‍යත්වය පිරුණු ගමක. ඒ වගේම කාලෙකට කලින් යුධමය වාතාවරණය එක්ක ගමේ ගොඩක් පවුල් වල අම්මලා පිටරට වල ගිහින් දුවා දරුවො නිවෙස් වල තනිවෙලා දුක් විඳීනවා මම දැක්කා. එහෙම දරුවො නොසෑහෙන්න අකටයුතුකම් වලට මුහුන පාන විදිය මම දැක්කා. දෙමව්පියෝ සෙවණ අහිමි වුණ , දෙමව්පියෝ ඇතුවත් දරුවොන්ට හව්හරණක් නැතුව ලිංගික අඩත්තේට්ටම්වලට ලක් වෙන වගේම අතිශය දරුණු ලෙස අනාරක්ෂිත වෙන ගෑනු දරුවොන්ගේ ජීවිත කතා මම ඇස් දෙකෙන් දැක්කා. මට ලොකූ උවමනාවක් තිබුණා මේ කියන මේ දුක් විඳීන මේ අසාධාරණයන්ට ලක් වෙන ගැහැනු වෙනුවෙන් කතා කරන්න. ඉතින් ඒවත් එක්ක මට පසුබිම සැකසුණා උම්මාදෝ තුළින් සමාජ විවරණයක් කරන්න.

කාවින්ද්‍යා මෙි වසරේ ලියපු ‘දෙවර’ නවකතාව මිනිස් ජීවිතය පිළිබඳ සියුමි විවරණයක්. දෙවර හරහා ඔබ කියන්නට උත්සාහ දරන්නේ මොකක්ද? ඊට ලැබෙන ප්‍රවේශය කොහොමද?

ඔව්. ඇත්තටම වළව් පැළැන්තිය කියන්නෙ හැමදාමත් ගාම්භීරව වැජඹුණ සහ යම්කිසි මාන්නක්කාරකමකින් හිස උදුම්මවා ගත් පිරිසක් විදියට මම දකිනවා. ඒ වගේම තමා කුටුම්භය තුළ දරුවො සම්බන්ධ ගැටලුවලදි හැමදාමත් වරද පැටවෙන්නේ ස්ත්‍රී පාර්ශ්වයට. නමුත් ඕනෑ තරම් ගැටලු පුරුෂ පාර්ශවයේ තියෙන්න පුළුවන්. ඒ වගේම සමරිසි ආදරය පුරුෂයන් පුරුෂයන් කෙරේ බැඳුණ හෝ ස්ත්‍රියක් ස්ත්‍රියක් කෙරේ බැඳුණු ආදර කතා එදා සමාජය තුළත් අප්‍රකට ලෙස තිබුණා කියන දේ අපි දන්නවා. ඒත් ඒ ගැන කතා කරන පිරිස අඩුයි. ඒ වගේම පුරුෂ මූලික ආසියාතික රටක් වෙන ශ්‍රී ලංකාව වගේ රටක් තුළ පුරුෂාධිපත්‍යට හිස නමනු විනා එතනින් එහාට වරදක් වේවා දුර්වලකමක් වේවා ඒ කිසිවක් වෙනුවෙන් හඬක් නඟන පිරිසක් අපිට දකින්න පුළුවන් වෙන්නෙ නෑ. නිරන්තරයෙන් අපිට කතා බහ කරන්න ලැබෙන්නෙම ස්ත්‍රියකගේ වරදකාරි බව ස්ත්‍රිය සතු චපලත්වය දුර්වලකම කියන දේ. නමුත් මට පුදුමාකාර උවමනාවක් තිබුණා ස්ත්‍රියම විතරක් නෙවෙයි මේ කියන ගැහැනියටම ඇඟිලි දික් නොකර සාධාරණව බලන්න පුළුවන් විදියෙ සිදුවීමක් ගොඩනඟන්න. ඉතින් මට උවමනා වෙනවා ස්ත්‍රියකගේ දෝෂවලින් තොරව පුරුෂ පක්ෂයේ යම් යම් ගැටලු නිසා වළව් පැලන්තිය බිඳ වැටීම තුළින් සමාජයට යම් පණිවිඩයක් ලබා දෙන්න. වළව් පැලන්තිය බිඳ වට්ටවාලීම තුළදි මම ප්‍රබන්ධ කරපු මේ වාසලමුදලි වලව්ව ගොඩ නැඟෙන්නේ මගේ ගම පාදක කරගෙන. ඉතින් ගමේ තියෙන ග්‍රාම්‍යත්වය, අපිට එක පුංචි නූලක් වැනි දේකින් හැමදාමත් පන්සල හා තියෙන සම්බන්ධය නැති වීම දැන හෝ නොදැන මේ කියන අවිචාරශීලී ග්‍රාම්‍ය හැසිරීම් සියල්ල එකට කරලා සමාජ විවරණයක් කළ හැකි ප්‍රබන්ධයක් පාඨකයාට දෙන්නයි උවමනා වුණේ…

කාවින්ද්‍යාගේ නවකතා ද්විත්වය තුළ භාෂාව හැසිරවීම ඔබටම ආවේණික වුණු එකක්. මෙි ගැමි භාෂාව කොහොමද? නවකතා රචනයට පාදක වුණේ?

ඔව්. මුලින්ම කිව්වා වගේ මම අනුරාධපුර කණුගැහැව කියන ගමේ ඉපදිලා හැදුණු වැඩුණු කෙනෙක්. ඉතින් මම හැදුණ ගමේ පුංචිම කාලයේදි බස හැසිරුණු විදිය සහ නුවරකලාවිය බස තමා ඒකට මම යොදාගන්නේ. නුවර කලාවිය කියන්නෙ මේ අනුරාධපුර අපිට උරුම වුණ බස. ඒ වගේම ඒ හා සමානව ළඟ ළඟ යන ඌව වෙල්ලස්ස හා දිගාමඩුලු බස් වහරත් ඒ වගේම සෙංකඩගල සිදුවීම් සම්බන්ධයෙන් උඩරට සංස්කෘතියත් උපයෝගි කරගත්තා… ඇත්තටම භාෂාව කියන දේ මම කෘතීමව ගොඩ නඟලා නෑ. ඒක විශේෂයෙන් කියන්න ඕනෙ . මොකද උම්මාදෝ කියන පළවෙනි නවකතාව මේ කියන භාෂාව නිසාම ප්‍රතික්ෂේප වෙලා නමුත් රටේ ප්‍රධාන ප්‍රකාශන ආයතනයකින් එළියට දුන්නු ඒ බස්වහරට සාධාරණයක් වුණ හැටි මතකයි. ඉතින් මේ කියන බස හැසිරීම මට නුහුරු දෙයක් නෙවෙයි. මේ ග්‍රාම්‍යත්වය පිරුණු වචන, ස්ත්‍රීත්ත්වය පිරුණු වචන මට ආයාසයෙන් තොරව ලියැවුණ දේවල්. ඒ වගේම මේ බස තුළ යම්කිසි හැඟීම් විරහිත බවක් තියෙන තැන් වගේම ඕනෑවටත් වඩා සෙනෙහෙබර වදන් තියෙන තැන් එනවා.ඉතින් ඒ දේවල් අදටත් නුහුරක් නොවෙන නිසාමයි මම මේ සරල බස් වහර එක්කම මගේ නිර්මාණ සිදු කරන්නෙ. ඒ විදියට සරල සහ පැරණි ග්‍රාම්‍ය බස් වහර උපයෝගි කරගෙන තමා මම නවකතා දෙකම රචනා කරන්නේ.

ඔබ වඩාත් ප්‍රිය කරන කෘති මොනවද කියලා මම ඇහුවොත්?

මගේ ජීවිතේ මේ වෙනකල්ම නොවෙනස්වුණ එකම දෙයක් තමා තුංමංහංදිය නවකතාව… අදටත් මගේ කැමතිම පොත තුංමංහංදිය . ඒකට තියෙන්නෙ එකම හේතුවක් විතරයි . තුංමංහංදිය නවකතාවේදි අබිලිං සිඤ්ඤෝ කියන චරිතය මාමා කෙනෙක් විදියට දරුවෙක්ගෙ ජීවිතේට වටිනාකමක් දීලා හිත ඇතුළේ දරාගන්න බැරි තරම් බර හැඟීමක් ඉතුරු කරලා යන්න යනවා.. ඉතින් මගේ ජීවිතයේ වුණත් මාව දිනවන්න මට වඩා උවමනාව තිබුණු ඒ අහිංසක හිත මගේ කිරිඅත්තා කියන ඒ චරිතය මගේ ජයග්‍රහණය වෙනුවෙන් සියලුම අත්තිවාරම් දාලා නිහඬවම යන්න යන්නේ මගේ ජීවිතේ දරාගන්නම බැරි වේදනාව ඒ බර හැඟීම ඉතුරු කරලා. ඒ නිසාම තමා මට තුංමංහංදිය කියවන වාරයක් ගාණේ අදටත් ඇස් වලට කඳුළු එන්නේ. ඇත්තටම නවකතාවලින් ඒ ඇරෙන්න වෙන පොතක් මට විශේෂ කරලා කියන්න නැති වුණත් රුසියානු පරිවර්තන කියන්නෙ මම ආසාවෙන් කියවන පොත්. ඊට අමතරව මම වැඩිපුරම ප්‍රිය කරන්නේ ඉතිහාසය හා සාහිත්‍යය සම්බන්ධ කෘතිවලට.

කාව්‍න්ද්‍යාගේ සාමාන්‍යයෙන් එදිනෙදා ලිවීම කියන කර්තව්‍යය සිද්ධවෙන්නේ කොහොමද? ලියන කාලෙට හැසිරීම මොනවගේද?

මම සාමාන්‍යයෙන් වසර පුරා ලියන කෙනෙක් නම් නෙවෙයි .මට යම්කිසි සිදුවීමක් රචනා කරන්න උවමනයි කියල දැනුණම මම ඒ ගැන අතිශය ගැඹුරට තොරතුරු හොයනවා. ඒ විදියට මට අවශ්‍ය අවකාශය සූදානම් කරගත්තට පස්සේ මම ඒ වෙනුවෙන් කාලය කැප කරල ලිවීම පටන් ගන්නවා. විශේෂයෙන් ම මේ කියන ලිවීමේ කාලයේදී නම් සාමාන්‍යයෙන් මට මාව පවා අමතක වෙන කාලයක්. රැයක් දවාලක් නෑ වගේම මම කතාව ඇතුළේ ඉන්න සෑම චරිතයක් ඇතුළෙම ජීවත් වෙනවා. ඉතින් ඒ කාලයට මම බාහිර සමාජයෙන් යම්තාක් දුරට ඈත් වෙලා තමා ලිවීම පටන් ගන්නේ.

ඔබගේ නවකතා සියල්ලම වගේ ස්ත්‍රීය පිළිබඳ ගැඹුරු නිරික්ෂණයකින් ලියවුණු ඒවා. ඔබ ස්ත්‍රිය සමිබන්ධ මෙතරමි ලාලසාවකින් රචනා කරන්නේ ඇයි?

ඇත්තටම මම ස්ත්‍රියක් නිසාවෙන්ම ස්ත්‍රීවාදය වෙනුවෙන් පෙනී හිටීමක් කියලා කියන්න බෑ .ඒත් මගේ ජීවතයේ වගේම මම පුංචි කාලයේ පටන්ම දැකපු ස්ත්‍රිය කියන සමාජ අසාධාරණයට ලක් වුණ චරිතය ගැන සාධාරණ හැඟීමක් සමාජගත කරන්න මට පුදුමාකාර උවමනාවක් තිබුණා. ඉතින් මම හිතන්නේ ඒ හේතුවම තමා මේ තරම් ලාලසාවකින් මම ස්ත්‍රීත්වය විවරණය කරන්න හේතුව.

 

[email protected]

ඉමල්ක විතානගේ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT