– ස්වාධීන රූපවාහිනියේ කැමරාවලට කතා කළ හැකිනම් උදය කළ වැඩසටහන් ගැන කියයි
– අප දෙදෙනාගේ ගැළපීම ස්වභාව ධර්මයා විසින් “උදය_සුරවීර” නමින් ස්වාධීන රූපවාහිනියට නිර්මාණය කරදුන්නා
– ඉතා විශිෂ්ට වැඩසටහන් නව පරපුරට සංරක්ෂණය කිරීමයි ඔහුගේ වෑයම වුණේ
– අතින් වියදම් කරගෙන, ප්ලේන්ටියක් බීලා ආත්ම තෘප්තියට වැඩකළ චරිතයක් ගැන ලියනවානම් උදය නාමය අමතක
කරන්න එපා
– උදයගේ සාහිත්‍යය තිබුණේ පොතේ නෙවෙයි ඇඟේ
– සංහිඳ, සියපත් පොකුර, තඹරවිල, නොමියෙන සිහිනය” ආදී වැඩසටහන් දෙස් විදෙස් ඇගැයුමට ලක්වුණා
ස්වාධීන රූපවාහිනී සේවයේ වැඩසටහන් නිෂ්පාදකවරයකු, අධ්යක්ෂවරයකු ලෙස විශිෂ්ට යුගමෙහෙවරක් කරමින් සිට ඉකුත්දා මාධ්‍ය ලොවෙන් පමණක් නොව සිය දිවිසැරියෙන්ද සමුගත් උදය කුමාර තෙන්නකෝන් නමැති මාධ්‍යවේදියා පිළිබඳ මතක සටහනක් තැබීමට උදයගේ අඹයහළුවකු වන ස්වාධීන රූපවාහිනී නාලිකාවේ සම්ප්රවේශකවරයකු, වැඩසටහන් නිෂ්පාදකවරයකු, අධ්යක්ෂවරයකු ද වන ඉන්ද්‍රසිරි සුරවීරයන් සරසවිය හා මෙසේ සම්මුඛ විය.
පසුගියදා අප අතහැරගිය මාධ්‍යවේදියකු, වැඩසටහන් නිෂ්පාදකවරයකු, අධ්යක්ෂවරයකු වන උදය කුමාර තෙන්නකෝන් පිළිබඳ හඳුන්වා දුන්නොත්….?
උදය කුමාර තෙන්නකෝන් කියන්නේ රූපවාහිනී මාධ්‍යයේ ප්‍රතිභාපූර්ණ නිෂ්පාදකවරයෙක්. ඒ වගේම වැඩසටහන් අධ්‍යක්ෂණය පිළිබඳ විශිෂ්ටයෙක්. ඔහු ස්වාධීන රූපවාහිනියේ විවිධ වැඩසටහන්, විශේෂයෙන් සංගීත වැඩසටහන් සඳහා නව අර්ථකථනයක් ගෙනා චරිතයක්. රූපවාහිනී මැදිරියේ මෙන්ම එළිමහන් ප්‍රාසාංගික අවස්ථාවලදී, තමන්ගේ නිෂ්පාදන මෙහෙවරේදී ඔහු කැමරා සියල්ලගේ සංකලනයෙන් සහ සංස්කරණයෙන් අවසානයේ වැඩසටහන් රූපවාහිනී තිරය මත දිගහැරෙද්දී ලංකාවේ පමණක් නොව විදෙස් ප්‍රේක්ෂකයාගේ රස උල්පත වුණේ ඒ වැඩසටහන්. ඒවා එසේවීමට හේතුවුණේ උදය කුමාර තෙන්නකෝන්ගේ දක්ෂතාව. උදයට තම දීර්ඝකාලීන පළපුරුද්ද ඇතුළෙම ගොඩනැගීතිබුණා ගායක ගායිකාවන්, සංගීත ශිල්පීන්, ගීපද රචකයන්, සිනමාවේදීන්, වේදිකා නාට්‍ය ශිල්පීන් පොදුවේ සමස්ත කලාකෙත අස්වැද්දවීම වෙනුවෙන් කැපවූ සියලුදෙනා සමඟ ලොකු සබැඳීයාවක්. ඒක නෙට් වර්ක් එකක්. එනිසා උදයගෙන් එකී ශිල්පීන්ට වූ මෙහෙවර අනභිභවනීයයි. එසේම ඔවුන්ව රූපවාහිනී මාධ්‍යයට එක්කර ගැනීමෙන් උදය අග්‍රගණ්‍ය මෙහෙවරක් ඉටුකළා. එය වඩාත් වැදගත් වුණේ රූපවාහිනී ප්‍රේක්ෂකයාට. එකී ප්‍රේක්ෂකයාට රූපවාහිනියේ නැවුම්, වින්දනීය බවක් සමීප කරවීමේ විශිෂ්ට මෙහෙවරක් සිදුකරන්න උදය කුමාරට හැකිවුණා. ඔහු උත්තම ගණයේ නිර්මාණකරුවෙක් ලෙසයි මම හඳුනාගන්නේ. ඇත්තෙන්ම උදය කුමාර තෙන්නකෝන් කියන්නේ තිරය පිටුපස මහා නිමැවුම්කරුවෙක්
උදය කුමාර තෙන්නකෝන් ඔබට දැනුණේ කොහොමද….?
උදය සහ මා අතර තිබෙන්නේ බොහෝ අන්‍යෙන්‍ය සම්බන්ධයක්. දශක දෙකහමාරක පමණ සබඳතාවක් අපි දෙදෙනා අතර තියෙන්නේ. එය මනසින් අවබෝධ කරගත් දෙයක්. අපි විවිධාකාර වැඩසටහන් ඉදිරිපත් කර තිබෙනවා. අපේ හිතවත්කම තුළ සුන්දර අතීතයක් ඉතිරිවී තිබෙනවා. උදය පුදුම සුන්දර මනුස්සයෙක්. ඔහු තිරයේ පිටුපස මහා නිමැවුම් කළාට ඒවා උලුප්පන්න උත්සහ කළේ නැහැ.ඔහු ඔහුගේ යුතුකම හරියටම කළා. සංස්කෘතික කලාවක් නිෂ්පාදනය කර ජනමනස තුළ සෞන්දර්ය නිර්මාණය කළ යුතුයි කියන කරුණ ඔහුගේ ඔළුවේ ඇඳීලා තිබුණා. ඒ වෙනුවෙන් අපි සැලසුම් හැදුවේ. ඔහුව මට දැනුණ විදිහ කිව්වොත් ඔහු හොඳ මනුස්සයෙක්. ඔහු තම අරමුණ කරා යන්න නිරන්තර උනන්දුවෙන් කටයුතු කළා. සෑම තත්පරයක් ගාණෙම ඒ වෙනුවෙන් කැපවෙනවා. අපි අතර සහෝදරත්වයක්, ළෙන්ගතුකමක් තිබ්බා. අපිට එන අභියෝග අපි බෙදාගත්තා. ප්‍රේක්ෂකයාට වඩාත් වටිනා දෙයක් ලබාදීම පිළිබඳ ඔහු තෘප්තිමත් වුණා. කලාශිල්පියකුගේ වැඩසටහනක් විකාශය වූවාට පසුව එහි පසු විපරම පිළිබඳ ඔහු ඉතා ඕනෑකමින් සොයාබැලුවා
ඔහු සමඟ ඔබේ ගනුදෙනුවේ ආරම්භය සිදුවූ ඒ අතීතයට ගියොත්….?
අපි දෙන්නා අතර වූ ගනුදෙනුවේ ආරම්භය කොතැනද යන්න හරියටම විග්රහ කරන්න අමාරුයි. එහෙත් ප්‍රාසාංගික වේදිකාවේ අපි නිතර හමුවුණා. මමයි උදයයි අතර ආරම්භය පසුගිය වසර 25-30ක කාලය අතර ගෙවීයනවා…මට මතකයි එක කාලයක තිබුණා ස්වාධීන රූපවාහිනියෙන් මාසයකට කරන ප්‍රාසාංගික වැඩසටහන්වල නිමාවක් නැති කාලයක්. එහෙම කාල පසුකරද්දි ඒ හැමදෙයකම උදය කුමාර නිෂ්පාදක ලෙස සිටියා. ස්වාධීන රූපවාහිනියේ මධ්‍යතන යුගයේ ප්‍රධාන නිෂ්පාදකවරු දෙදෙනෙක් සිටියා, එක්කෙනෙක් චන්දික විජේසේන, අනිත්කෙනා උදය කුමාර තෙන්නකෝන් ඔවුන් දෙදෙනා මහා කණු දෙකක් වගේ ප්‍රාසාංගික අවස්ථාවන්හි සජීවීකරණයේ යෙදුණේ.
ඔහුට හොඳ කනක් තිබ්බා. ඔහු සෑම මොහොතකම අපිව හවුල් කරගන්නවා ශබ්ද රසය විඳීන්න. සජීවී සංගිත වැඩසටහන් ගැන ඔහු බැරෑරුම් ලෙස කල්පනා කළා. ඒවා හරිම සංකීර්ණ දේවල්. ස්වාධීන රූපවාහිනියේ කැමරාවලට කතාකරන්න පුළුවන් නම් උදය කළ වැඩසටහන් ගැන කියයි “I.T.N රන්තරු.” වැඩසටහන අපි කළා.ඔහු එහි නිෂ්පාදකවරයෙක් ලෙස ඉතා අනභිභවනීය යුතුකමක් ඉටුකළා චන්දික සමඟ එකතුවෙලා.මේ වැඩසටහනේ අවසන් තරගයේදී විදුලි ආලෝකකරණය පිළිබඳ ප්‍රශ්නයක් මතුවූ අවස්ථාවේ ඔහු නිදිවරාගෙන පසුදින වැඩසටහනට ආලෝකය සැපයීම වෙනුවෙන් ඉතා කැපවීමෙන් කටයුතු කළ හැටි මට හොඳට මතකයි. ධ්.ඊ.ව්. රන්තරු කියන්නේ ලංකාවේ ප්රාසාංගිකකරණයේ ඉතා ඉහළම පිළිබිඹුවක්. අපි දෙන්නා එකතුවෙලා ජනජීවිතය තුළ සෞන්දර්යයේ ඉතා ලස්සන තැනක් ස්පර්ශ කරනවා, 2010එය සැලසුම් කළා. සොඳුරුතම මිනිසුන්ගේ අතීතාවර්ජනය යන ටැග් එක ඔස්සේ. අපි “සංහිඳ” වැඩසටහන හඳුන්වා දුන්නා. ලංකාවේ කලාව වෙනුවෙන් තම ජීවිත කාලයම කැපකළ ජීවතුන් අතර නැති නිර්මාණවේදීන්ගේ මෙහෙවර ඇගයුමට ලක් කිරීමයි කළේ. සංගීත ලොවේ ආනන්ද සමරකෝන්ගෙන් ආරම්භ කර සියලුදෙනාත්, ගායන ශිල්පීන්, ගීපද රචකයන්, සංගීතඥයන්, සිනමාකරුවන් ආදීන් ගැනත් “සංහිඳ” තුළ අපි කතා කළා. මේ වැඩසටහන නොසිතූ ලෙස ජනප්‍රිය වුණා. “සංහිඳ” තුළින් අලුත් පීඨිකාවක් රූපවාහිනියට හඳුන්වා දුන්නා. එයට සරසවිය හිටපු කර්තෘ ඒ .ඩී. රන්ජිත් කුමාර මහතා, එතුමාගේ පුත් වත්මන් සරසවිය කර්තෘ ආචාර්ය නුවන් නයනජිත් කුමාර ඇතුළු සම්භාවනීය විද්වතුන් රැසක් සහභාගි වුණා. මෙය ඉතා කෙටි කලකින් සම්මාන රැසකට උරුමකම් කීවා. දෙස් විදෙස් ප්‍රතිචාරත් ඉහළින්ම තිබුණා.
මාධ්‍යවේදියකු ලෙස උදය කුමාර තෙන්නකෝන්ගේ භූමිකාව අර්ථවිග්රහ කළොත්….?
මාධ්‍යවේදියකු ලෙස උදය කුමාර ගැන අර්ථවිග්රහයේදී මට තිබෙන්නේ ඒ පිළිබඳ කලාත්මක විචාරයක්. “සංහිඳ, තඹරවිල, සියපත් පොකුර, නොමියෙන සිහිනය, ප්‍රේම් නොවූ ප්‍රේම්” ආදී වැඩසටහන් සියල්ල ගැන කතා කළොත් ඒ සියල්ල කලාත්මකයි. මේ වැඩසටහන්වලට පුදුමාකාර අර්ථයක්, විචාරාත්මක බවක් එකතු වුණා. ගීතයක්, වේදිකා නාට්‍යයක්, චිත්‍රපටයක් පිළිබඳ තිබෙන සාහිත්‍යමය විචාරය, සංගීතමය විචාරය මේ වැඩසටහන්වලට එකතු වුණා. මෙවැනි වැඩසටහන් ඊටපෙර තිබුණෙත් නැහැ. මේ සියල්ල බලද්දී මාධ්‍යකරණය තුළ උදය කුමාර තෙන්නකෝන් යනු සුපිරි සාහිත්‍ය පදනමක් සහිත නිර්මාණවේදියෙක්. මෙරට ප්‍රේක්ෂකයාට උසස් රසවින්දනයක් ලබාදීමට, බුද්ධිමය නිම්වළලු පුළුල් කිරීමට තමන්ගේ ආත්ම තෘප්තිය පමණක් යෙදවූ නිර්මාණවේදියෙක් තමයි උදය කියන්නේ. ආත්මතෘප්තිය මුල්කරගෙන රාජකාරිය ඉටුකළ කෙනෙක් ඔහු. ජ්‍යෙෂ්ඨ කලාකරුවන්ට කෘතගුණ සලකමින් “තඹරවිල” ඔහු නිර්මාණය කළා. “නොමියෙන සිහිනය” සජීවී ලෙස ඉදිරිපත් කළේ. මෙකී වැඩසටහන් අදියර 100 ඉක්මවූ ඒවා. මෙරට කලාකරුවන් වෙනුවෙන් කළ ඉතා විශිෂ්ට එම වැඩසටහන් නව පරපුරට සංරක්ෂණය කිරීමයි උදයගේ අදහස වුණේ. ස්වාධීන රූපවාහිනියේ තැටිපටි පුස්තකාලයේ වැඩි ඉඩක් උදයගේ වැඩසටහන්වලට වෙන්වුණා. සමහර වැඩසටහන් යූටියුබ් සඳහා මුදාහැරියා. එම වැඩසටහන්වලට කවුද ගෙන්වන්නේ, තෝරාගන්න ගීත මොනවද ආදිය උදයයි මමයි කතා කරගන්නේ. අපි දෙදෙනාගේ මේ ගැළපීම ස්වභාව ධර්මය විසින් “උදය-සුරවීර” නමින් ස්වාධීන රූපවාහිනියට නිර්මාණය කරදුන්නා. උදය විශ්‍රාම යනතෙක්ම ඒ වැඩසටහන් ඒ විදිහටම විකාශය වුණා. ඒවගේම ඔහු විශ්‍රාම ගත්තට පසුවත් රැකියාවට එනවා. කිසිඳු ගෙවීමක් ඔහුට සිදුනොකළත් ඔහු ඒ අවස්ථාවල අවශ්‍ය වැඩසටහන් සම්පාදනය කරලා ගෙදර යනවා ස්වේච්ඡාවෙන්ම.
වැඩසටහන් නිෂ්පාදකවරයකු ලෙස නිෂ්පාදන කාර්යය තුළ ඔහු සුවිශේෂී වන ආකාරය පැහැදිලි කරනවා නම් ….?
ඔහුගේ නිෂ්පාදන කාර්යය ගැන කතා කරද්දී බොහෝ කතා කරන්න තිබෙනවා. එකක් තමයි උදය සතුව තිබෙන පරිචය. කිසිම සටහනක් නැතිව කැමරා ටික අදාළ තැන්වල ස්ථානගත කළාම පුදුමාකාර සංයමයකින් ඒ වැඩටික සිදුකරනවා. ඒවගේම මැදිරිය ඇතුළේ අපි කරන කතාබහ කෙරෙහිත් ඔහුගේ ඥානය යොදවනවා. බහුකාර්ය හැකියාවක් ඇති කෙනෙක් තමයි උදය කියන්නේ. නිෂ්පාදන කාර්යයේදී ඔහුට හොඳ පෞරුෂත්වයක් තිබුණා. සෑම කලාකරුවකු සමඟම උදය ළෙන්ගතුයි. “බලන් කඩතුරා, සොඳුරු ආඥාව”වගේම මුල් යුගයේ “සවනක් රැස්, චැට් ඇන්ඩ් මියුසික් ” වැඩසටහන්වල නිෂ්පාදකවරයා වුණේත් උදය. ඒ සියල්ල ලස්සනට නිමකළ චරිතයක් උදය කියන්නේ.
ඔහු තුළ සැඟවී සිටි සොඳුරු කලාකරුවා පිළිබඳ ඔබට දැනෙන්නේ කවරාකාරයෙන්ද …..?
ඔහුගේ ඇතුළාන්තයේ කොහොමත් සැඟවුණු කලාකරුවෙක් සිටියා. ඔහු කලාකරුවන්ට හරිම ආදරෙයි, ගරු කළා. චිත්‍රපටවලට, ගීතවලට හරිම කැමැතියි. ඔහු ගෙදර පුස්තකාලයක් තියාගෙන මේ හැමදේම අධ්‍යයනය කළා. සෑම ජීවිතයක් ගැනම සටහනක් ඔහු සතුව තිබුණා. ඒ පිළිබඳ දැනගෙනයි වැඩසටහන් ඉදිරිපත් කළේ. රටේ ඉහළම නිලය දරන ජනාධිපතිගේ සිට සියල්ලෝම උදයගේ වැඩසටහන් නරඹා තෘප්තියක් ලැබුවා. ප්‍රවීණයන්, නවකයන් සැවොම සමඟ උදය ඉහළම ගනුදෙනුවක් සිදුකළා.
ස්වාධීන රූපවාහිනිය තුළ උදය සහ ඔබේ සුසංයෝගය පැහැදිලි කළොත් ….?
ස්වාධීන රූපවාහිනිය ඇතුළේ “උදය-සුරවීර” යන සුසංයෝගය අවුරුදු 20කට වඩා පැරණියි. ඒ සුසංයෝගයේ තිබුණේ ඉතා හරවත්, සෞන්දර්යාත්මක දේවල්. අපි දෙදෙනා ලෝකයේ විවිධ රටවල සංචාරය කර තිබෙනවා. රටම මාව ආදරයෙන් වැලඳගත්තේ මගේ තිරය පිටුපස උදය කුමාර තෙන්නකෝන් සිටි නිසා. ඔහු තමයි තිරය ඉදිරිපිට භූමිකාව මට හදලා දෙන්නේ. අපි දෙදෙනාගේ සුසංයෝගය ඉතා ගැඹුරින් තිබුණා.එහි ප්‍රතිඵල ලෙස තමයි ස්වාධීන රූපවාහිනියේ ඉහතින් මා පැවැසූ ” සංහිඳ, සියපත් පොකුර, තඹරවිල, නොමියෙන සිහිනය” වැනි වැඩසටහන් ප්‍රේක්ෂකයා අතරට ගියේ. අපි දෙදෙනාගේ ඒ සුසංයෝගය තුළ ආදරය, තිබුණා, තර්ක විතර්ක තිබුණා, වැඩක් කරන්න ගියාම මරාගන්න තැනුත් තිබුණා. ඒ ඒ වැඩේ වෙනුවෙන් විතරයි.
උදය් ඉදිරිපත් කළ වැඩසටහන් පිළිබඳ පැවැසුවොත් ….?
ඔව්, ඒ අතර “I.T.N රන්තරු, චැට් ඇන්ඩ් මියුසික්, බලන් කඩතුරා හැරදෑසේ, සවනක් රැස්, සංහිඳ, තඹරවිල, සියපත් පොකුර, නොමියෙන සිහින, සොඳුරු ආඥාව” ආදී වශයෙන් වැඩසටහන් රැසක්ම ඔහු ඉදිරිපත් කළා. ඒවායේ නිෂ්පාදන, අධ්යක්ෂණ කාර්යයෙන් උදය දායක වුණා. ඒවා පැය 02කට අධික විකාශන කාලයකින් යුත් වැඩසටහන් බොහෝ ඒවා සජීවී වැඩසටහන් වුණා. ඒවා ඉතා කැපවීමෙන් කළ දැවැන්ත වැඩසටහන් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. කැමරා 07, 08 කින් පටිගත කළ වැඩසටහන් ඒවගේමයි ප්‍රාසාංගික වේදිකාවත්. ලක්හඬ සංවත්සර ප්‍රසංග කිහිපයක්ම සංවිධානය කළා. සුනිල් එදිරිසිංහ-වික්ටර් රත්නායක එකතුවෙන් ඉතා අලංකාරවත් ප්‍රසංගයක් කළ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී. ඒකේ නිෂ්පාදක වුණේත් උදයයි. ඒක හරිම ලස්සනට ප්‍රචාරය වුණා
සාහිත්‍යවේදියකු, ලේඛකයකු ලෙස ඔහුගේ භූමිකාව මොනවගේද …..?
උදය ලිව්වේ නැහැ. ඒත් එයාට සාහිත්‍යයක් තිබ්බා. ඔහුගේ සාහිත්‍යය තිබුණේ පොතේ නෙවෙයි ඇඟේ. එහෙම නැත්නම් කැමරා ඇස ඉදිරිපිට. එහෙමත් නැත්නම් බහුකාර්ය නිෂ්පාදන ඇතුළේ. නිෂ්පාදනවල එකතු කරන සාහිත්‍ය ගුණාංග ඇතුළේ. ඒක සාහිත්‍යද, කවියද, නාට්‍යද, සිනමාවද මොන මාතෘකාව ගත්තත් උදය ඉතා විශිෂ්ට සාහිත්‍යධරයෙක් ලෙස හඳුන්වන්න පුළුවන්. මම සහ උදය “සංහිඳ” ඉදිරිපත් කරන කාලයේ එක වැඩසටහනකදී හෙන්රි කල්දේරා මහතා ගැන කතා කළා. ඔහුගේ බාලපුතා චමින්ද එයට සහභාගි වුණා. ඔහු පියාගේ අත්දැකීම් ගැන කියනවා. එහිදී කියනවා හෙන්රි කල්දේරා මහතා කියූ දෙයක්. “කුලී නිවෙසට මුදල් ගෙවාගන්න බැරිව මම ඒ නිවසට ඇවිදගෙන යද්දි ගෙදර මිනිස්සුන්ට මාව එළවාගන්න බැරි නිසා මම යන පාරේ ළිඳ ළඟ වැට ඔවුන් ගලවා තිබ්බා. ළිඳ වටේ ගිහින් ගෙදරට යන්නඕන. එහෙම තත්ත්වයකට මම මුහුණදුන්නා” කියා ඔහු පැවැසූ බව එහිදී කිව්වා. දෑස් නොපෙනෙන කලාකරුවාව කොතරම් පීඩාවට ලක් කර තිබේද මේ සමාජය කියන කාරණය එහිදී ගැඹුරින් කතා කළා. එම වැඩසටහන අවසන් වෙද්දී පිළිගැනීමේ අංශයට දුරකතන ඇමතුමක් ආවා ඔබතුමන්ලගේ වැඩසටහන බැලුවම අපි කොයිතරම් වැරැද්දක් කරලද කියා තේරුණා කියලා. ඒ මිනිස්සුන්ගේ ඊළඟ පරම්පරාව අපෙන් සමාවගත්තා. මේ වැඩසටහන නැරඹූ ඉහළ පරිමාණයේ ව්‍යාපාරිකයෙක් හෙන්රි කල්දේරා මහතාගේ ගමේම ඔහු වගේම අහිංසක කලාකරුවෙක් මුණගැසී ඔහුට නිවෙසක් තනා එයට “සංහිඳ” කියා නම් තැබුවා. ඒකට මමත් උදයත් ගියා. ඒවගේ මිනිසුන්ගේ සිත් තුළ මහා විප්ලවයක් කරන්න අපට හැකිවුණා
ඔබේ මාධ්‍ය ලොවේ ළඟම මිතුරා වූ උදය කුමාරයන්ගේ වියෝව ඔබට දැනුණේ කෙසේද….?
උදය නැතිවෙන්න දින කිහිපයකට කලින් අපි හදිසි ඩොකියුමෙන්ට්‍රි එකක් සංස්කරණය කරමින් සිටියා. ඒ මොහොතේ මම උදයට කතා කළා. ඔහුගේ ගෙදරින් කිව්වේ “උදය සැපසේ නිදි , මේ දිනවල වැඩියෙන්ම කරන්නේ නිදාගන්න එක” කියලා. පසුව ඔහු රාත්‍රියේ මට කතා කළා. එහිදී බොහෝදේ අපි කතා කළා. ඊට පසුදිනත් ඔහු උදේ මට කතා කළත් මට ඒ දුරකතන ඇමතුමට කතා කරගන්න හැකියාවක් තිබුණේ නැහැ. මොනයම් හෝ කරුණක් නිසා ඒ අවස්ථාව මට මගහැරුණා. ඒක තමයි ඔහුගෙන් ලද අවසන් ඇමතුම. උදය නැතිවූ බවට ආරංචිය මට ලැබුණෙත් උදය කාලයේ. ඒක මට අදහාගන්න බැරිවුණා. අපි දෙන්නා සහෝදරයෝ වගේ හිටියේ. ඒක වචනවලින් විස්තර කළ හැකි, සිතුවිලිවලින් මැනිය හැකි දෙයක් නෙවෙයි. ඊට වඩා බොහෝ ගැඹුරු බිඳවැටීමක්. තවමත් මම ඉන්නේ ඒ බිඳවැටීම තුළ සිරවෙලා
මාධ්‍යවේදියකු ලෙස ඔබද වසර ගණනක අත්දැකීම් ලැබූවෙක්…..?
මගේ මාධ්‍ය දිවියට දශක කිහිපයක් වෙනවා වසර ගණනක අත්දැකීම් ඇතුළේ, වැඩිම බෙදාගැනීමක් බෙදාගන්නේ උදය කුමාර තෙන්නකෝන් සමඟයි. මට ලැබුණු රූපවාහිනී සම්මානවල 90/%කම තිබෙන්නේ උදය කුමාර තෙන්නකෝන්ගේ දායකත්වය. ඔහු නිෂ්පාදනය කළ වැඩසටහන්වල තමයි මමත් අස්වනු නෙළුවේ. ඒවැඩසටහන්වලට මම පිටපතින් දායකත්වය ලබාදුන්නා. ඒ ඇගයුම මට අඩු නැතිව ලැබී තිබෙනවා.
නිවේදකයකු වශයෙන් ඔබේ භූමිකාව මොනවගේද…..?
නිවේදකයෙක් ලෙස ශ්‍රව්‍ය හා දෘශ්‍ය මාධ්‍යයේ අපි හුඟාක් අස්වනු නෙළා තිබෙනවා. ඒවා මේ අවකාශයේ කොතැනක හෝ තිබෙනවා. මම කියන්නේ මේ ආර්ටිකල් එක කියවන අය අපි කරලා තියෙන දේ මොනවද කියලා සොයා බලන්න කියලයි. එතකොට ඔබට අපිව හමුවේවි. එවිට අපි ගැන තක්සේරු කරගන්න…
ඔබ වඩාත් තෘප්තිමත් වු වැඩසටහන් සහ එයට හේතුසාධක කවරේදැයි කියනවානම් ….?
අපි කළ වැඩසටහන් සියල්ලටම උදයයි මමයි දෙන්නම කැමැතියි. මුල් යුගයේ කළ “සංහිඳ”ට වැඩියෙන් කැමැතියි “සංහිඳ”ට සහභාගී වූ අයගෙන් 60%ක් 70%ක්ම දැන් ජීවතුන් අතර නැහැ. ඒ වැඩසටහනේදී එයාලා කියන්නේ ඒ අයගේ ලෝකයේ අතීතයේ සිටි වටිනා චරිත ගැන. ඒක එක් අතකින් බැලුවොත් අපට ළඟාවිය නොහැකි අතීතයක් සිහිපත් කරන වැඩසටහනක්….ඒ නිසා මමත් උදයත් ඒකට වඩාත් කැමැතියි. අපි දෙන්නා සජීවීව කළ “නොමියෙන සිහිනය ” කියන්නේ පුදුමාකාර අභියෝග රැසක් …….ඒ අභියෝග නිසාම එයට කැමැතියි. අපි දෙන්නා “සියපත් පොකුර”ට මේ සියල්ලටම වඩා කැමැතියි. අපි එතෙක් කළ සංගීත වැඩසටහන්වල උච්චතම අවස්ථාව සියපත් පොකුරෙන් ප්‍රේක්ෂකයාට සමීප කළා. ජීවත්ව සිටින සෑම කලාකරුවකු වෙනුවෙන්ම ඒ දේවල් කිරීමට හැකිවුණා. කලාකරුවන්ගේ අත්දැකීම් හාරා අවුස්සාගෙන අපට හැකිවුණා ඉතා හොඳ වැඩසටහනක් ඉදිරිපත් කරන්න…..ඒ සියල්ල තුළ දැන් ඇත්තේ මතකයක් පමණයි .මම තවම කල්පනා කරනවා උදය නැතිව අපි කොහොමද ඊළඟ අවස්ථාව නිර්මාණය කරන්නේ කියලා. උදයගේ භූමිකාවට එහිදී මමම ප්‍රවිෂ්ට වෙනවද වෙනත් නිර්මාපකයෙක් සොයාගන්නවද, නිෂ්පාදකවරයෙක් සොයාගන්නවද කියා සිතමින් ඉන්නේ. ඒවා දැන් සිගින වගේ වෙලා
මේ වැඩසටහන් අතර මම වඩාත් තෘප්තිමත් වුයේ වැඩසටහන් කිහිපයක් තිබුණා .එකක් මම කලින් පැවැසූ හෙන්රි කල්දේරා පිළිබඳ වැඩසටහන. සියපත් පොකුරේ බොහෝ වැඩසටහන් සාර්ථකයි. “සංහිඳ” වැඩසටහනක් තිබ්බා ලතා වල්පොළ පවුලේ ජීවතුන් අතර සිටින සියලුම සාමාජිකයන් ගීත ගායනයට ආව වැඩසටහනක්. ලතා, අමිත්, සුනෙත්, ධම්මිකා, චමින්ද ඇතුළු සියලුදෙනාම එකතුවුණා. එය ඉතා විශිෂ්ට වැඩසටහනක් වුණා. සම්මානනීය වුණා. සමස්තයක් ලෙස ගත්තොත් උදය සහ මම එකතුවෙලා ලබාගත් අස්වැන්න ආභාසයෙන් සම්මාන 25ක් වගේ ලැබුණා….සම්මානයන්ට නිර්දේශිත වූ ඒවාත් ඒ හා සමානව තිබෙනවා. අපි පසුගිය කාලය තුළ කොතරම් වටිනා කරුණු සමාජගත කර තිබෙනවාද කියා සිතා බලන්න. කලාකරුවන් 400කගේ පමණ පැය 02හි වැඩසටහන් ස්වාධීන රූපවාහිනී පුස්තකාලය තුළ තවමත් ඒ විදිහටම තිබෙනවා. ඒවා ඓතිහාසිකයි.
ඔබේ මාධ්‍ය දිවියේ ගුරුතත්හිලා සැලකිය හැකි පිරිස ගැන මතක් කළොත්…..?
උදයව මට මුණගස්වන්නේ ස්වාධීන රූපවාහිනියට මාව රැගෙන ආව නිව්ටන් ගුණසේකර මහතා. ඔහුගේත් සහය මට නොඅඩුව ලැබුණා. මට මතකයි ඒ කාලයේ සිටි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (වැඩසටහන් )විපුල රත්නසිරි මහතා ආදී මේ හැමෝම මගේ ගමනට ශක්තියක් වුණා. මගේ ගමන් මගේ ආකාර 02ක් තිබෙනවා.එකක් ශ්‍රව්‍ය මාධ්‍ය. ඒ ගුවන්විදුලි මාධ්‍යය. එතැනදී මට ශක්තිය එකතු කළ වෙනම පිරිසක් ඉන්නවා. අශෝක තිලකරත්න, චන්දන තිලකරත්න, අශෝක කරුණානායක, නිව්ටන් ගුණසේකර ආදීන්. අනෙක් අතින් ගත්තොත් දෘශ්‍ය මාධ්‍ය වූ (ශ්‍රව්‍ය-දෘශ්‍ය) රූපවාහිනිය. එකී මාධ්‍යය තුළ අතිශය වටිනා වැඩසටහන් ගොන්නක් ඉදිරිපත් කරන්න ලැබුණා. ශ්‍රව්‍ය-දෘශ්‍ය මාධ්‍ය තුළ ඉහළින්ම වැජඹෙන්න ස්වාධීන රූපවාහිනී මාධ්‍යය තුළ මට හැකිවුණේ මොවුන්ගේ සහය නොඅඩුව ලද නිසයි… අදටත් ඒක එහෙමමයි. වත්මන් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වැඩසටහන් ) සරත් කුමාර පෙරේරා. ඔහු හොඳ වැඩසටහන් නිෂ්පාදකවරයෙක්. අධ්යක්ෂවරයෙක්….ඔහු සෑම වැඩසටහනක්ම නරඹනවා. අපේ වැඩසටහන් නරඹා “ඊයේ වැඩේනම් මරු” කියන බොහෝ පිරිසක් ඉන්නවා….ඔවුන්ද හොඳ නිෂ්පාදකවරුන්…….ඒ සියලු ගෞරවයන් උදය කුමාර තෙන්නකෝන්ට ලැබෙන්න ඕන.ඔහු තමයි ඒ වැඩසටහන් පිටුපස සිටි දැවැන්තයා…සාහිත්‍ය වපසරිය සහ සංවාදාත්මක වපසරිය තුළ මා ළඟ තිබූ දැනුමත් එම වැඩසටහන්වලට එකතු කළා
මෙතෙක් ආ මාධ්‍ය ගමන්මඟ දෙස නැවත හැරී බැලුවොත් ….?
මෙතෙක් ආ මාධ්‍ය ගමන දෙස හැරී බැලුවොත් ශ්‍රව්‍ය හා දෘශ්‍ය මාධ්‍ය තවම මම අහගෙන ඉන්නවා වගේම තවම මම ඒවා අධ්‍යයනය කරනවා. මේ මාධ්‍ය තුළ තාක්ෂණය මම උපරිමයෙන් යොදාගන්නවා….නූතන තාක්ෂණ මෙවලම් අන් සියල්ලටම වඩා මම භාවිත කරනවා. ශ්‍රව්‍ය-දෘශ්‍ය මාධ්‍ය දෙකෙහි වටිනාකම මගේ ගිණුමට බැරවී තිබෙනවා. ඒ වගේම ප්‍රේක්ෂකයා වගේම ශ්රාවකයාත් මගේ හිතවතුන්…ඔවුන් දෙදෙනාටම ස්තුති කරන්නත් මෙය අවස්ථාවක් කරගන්නවා
ඔබේ මාධ්‍ය දිවිය අළලා ග්රන්ථයක් සම්පාදනයට අදහසක් නැද්ද…..?
දැනටමත් මම ග්රන්ථ කිහිපයක් ලියා තිබෙනවා. තවම ඒවා මුද්‍රණද්වාරයෙන් එළිදක්වන්න උනන්දුවක් නැතිකමයි තියෙන්නේ. දැනට මම විශ්වවිද්‍යාල මට්ටමේ සහ ආයතන මට්ටමේ දේශන පවත්වනවා.. ඒ තුළ නව ක්රමෝපායන් මම සොයාගෙන ගොස් තිබෙනවා. ඒවා යම් දත්ත සමූහයක් ලෙස අනාගතයේදී සමාජගත කරන්න බලාපොරොත්තු වෙනවා. එය ග්රන්ථයක් ලෙස හෝ ඩිජිටල් මාධ්‍යයෙන් හෝ වෙනයම් ආකාරයකින් හෝ සම්පාදනය කරන්න බලාපොරොත්තු වෙනවා
සාහිත්‍ය, කලා වැඩසටහන්වලට අමතරව වෙනත් වැඩසටහන් මෙහෙයවීමේදී විවිධ ශානරයන් තුළ ඔබ එය සමබරව පවත්වාගෙන ගියේ කෙසේද…..?
සාහිත්‍ය- කලා වැඩසටහන් තමයි මෑතයුගයේ මූලික වශයෙන් එකතු වූ කාරණා. එහෙම වෙන්නේ අපි ගමනක් යද්දි හැමදේ ගැනම දැනගෙනනේ යන්නේ…මුල් කාලයේ එහෙමයි. අපි සෑම වැඩසටහනක්ම ඉදිරිපත් කළා…පසුකාලීනව අපේ දේශපාලන පරිචය, අපි ළඟ තිබූ සාහිත්‍යය, සෞන්දර්ය සොයායෑමේ කැක්කුම වගේ දේ නිසා මේ වෙද්දි දශක 03ක් වගේ ගෙවීයද්දී අපිව හඳුන්වනවා සාහිත්‍ය හා කලා වැඩසටහන් ඇතුළේ සිටින විශිෂ්ටයෝ කියලා…එතැන අපේ ආස්ථානය තබා තිබෙනවා. ඒ ආස්ථානය බිඳගෙන යන්න අපි උත්සහ කරන්නේ නැහැ. ඒත් සිත දන්නවා මා තෝරාගත යුත්තේ මොන වැඩසටහන ද කියලා…සජීවී විස්තර කථනයට මම හරිම කැමැතියි. පණ පිහිටුවන්න පුළුවන් වචන තියෙන්න පුළුවන් මෙතැන .නුවර පෙරහර, කැලණි පෙරහර, සබරගමු පෙරහර ආදි මේ සෑම තැනකදිම මගේ හඬ යොදාගෙන තිබෙනවා. ඒ නිසා සෑම ශානරයක්ම ඉතා වැදගත්. ගෘහස්ථ වේදිකාව, මැදිරි නිවේදනය, මැදිරියේ සංගීත වැඩසටහන්, මැදිරි තුළ දේශපාලන වැඩසටහන් ඊට අමතරව විශේෂාංග වැඩසටහන් ආදී මේ සෑම වැඩසටහනකම සමබරතාව පවත්වාගන්න හැකිවුණේ මහ පොළොවේ සමබරව ඇවිදින නිසා…මිනිස්සු හා මම අතර ලොකු පරතරයක් නැහැ මැදිරියෙන් එළියට බැස්සම මමත් පාරේදී ඔබට හමුවන හිතවතෙක් පමණයි
ඉදිරි නිර්මාණ කාර්යයන් ගැන කීවොත් ……..?
ඉක්මනින්ම අලුත් සංගීත වැඩසටහනකට යන්න බලාපොරොත්තුව තිබුණා .ඒකට උදයත් පැත්තකින් සිටියා…එයට සැලසුම්ද අපි හදලා තිබ්බේ…..ඒක Modern Culture එකේ එන සංගීතමය වැඩසටහනක් සහ කියවීමක්.. අද පරපුරේ බොහෝ ගීත බිහිවෙනවා…ඒ බිහිවන ගීත තුළ නැවතිය යුතු තැන් අපි සොයාගත යුතුයි. එය ඉදිරියට එන්න තිබෙන වැඩසටහනක්. එය කාත් සමඟ ද සැලසුම් කරන්නේ කිය මම කල්පනා කරමින් ඉන්නේ.
මනෝජ් රුක්මල් කුමාරසිංහ