Home » ඊළඟ පරපුර නන්දා මාලිනියගේ අගය වටහා ගත යුතුයි

ඊළඟ පරපුර නන්දා මාලිනියගේ අගය වටහා ගත යුතුයි

ගායන ශිල්පී - රජිව් සෙබස්තියන්

by Thanushika
September 18, 2025 11:50 am 0 comment

දේශයේ යශෝරාවය බදු විශාරද ආචාර්ය නන්දා මාලිනී මහත්මියගේ 82 වැනි ජන්ම දිනය නිමිතිකොට ඇගේ ගායන දිවියේ තිඹිරිගෙය වූ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නවවැනි මැදිරිය ආචාර්ය නන්දා මාලිනි මැදිරිය ලෙස නම් කරමින් ඇගේ ඡායාරූපයක් ද එහිදී නිරාවරණය කරනු ලැබුවේ රජය පාර්ශවයෙන් මැදිහත්ව එතුමියට කරනු ලැබු උපහාරයක් ලෙසිනි.

රජය පාර්ශවයෙන් නන්දා මාලිනියට එවැනි ගෞරවයක් අත් කරදෙන අතරේ ඇගේ ජන්ම දිනයේම මාලිනියේ නන්දා නමින් එතුමියට උපහාර ගීතයක් නිර්මාණය කොට තිළිණ කරනු ලැබුවේ සංගීත ක්ෂේත්‍රයේ ජනප්‍රිය ගායකයකු පද රචකයකු තනු නිර්මාණකරුවකු සංගීත අධ්‍යක්ෂවරයකු වූ රජිව් සෙබස්තියන්ය.

රජිව් සෙබස්තියන්ගේ සංකල්පයක් අනුව ඔහු විසින්ම පද රචනය, තනු නිර්මාණය සංගීත අධ්‍යක්ෂණය කොට සහෝදර කලාකරුවන් කලාකාරියන් සමුහයකගේ ගායන දායකත්වයෙන් මෙම අපුර්වතම උපහාර ගීතය නිර්මාණය කෙරිණි.

ගායන ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් වූ විවිධ පරම්පරා නියෝජනය කරන ගායනයේ විවිධ හැඩ තල රටා ගෙනහැර දැක් වූ ටී.එම්. ජයරත්න, දීපිකා ප්‍රියදර්ශනී, ෂයාමි ෆොන්සේකා, රේමන්ඩ් ෆොන්සේකා, ප්‍රියා පීරිස්, වෝල්ටර් ප්‍රනාන්දු, කොරින් අල්මේදා, අතුල අධිකාරී, සෙව්වන්දි රණතුංග, පියල් පෙරේරා, සොහාන් වීරසිංහ, ඩේමියන් වික්‍රමතිලක, මාරියෝ ආනන්ද, රජිව් සෙබස්තියන් ගායක ගායිකාවන් එක්ව මාලිනියේ් නන්දා උපහාර ගීතය සාමුහිකව රසගන්වා තිබීම ද මෙහි ඇති විශේෂත්වයකි.

මේ වනවිටත් යුටියුබ් සමාජ මාධ්‍ය ජාලයට රසවින්දනය සඳහා මුදාහැර ඇති මාලිනියේ නන්දා ආශීර්වාදාත්මක උපහාර ගීතය ශ්‍රවණය කිරිමේ භාග්‍ය මේ වනවිටත් නන්දා මාලිනි ගේ ගීත පි‍්‍රයකරන්නන්ටත් ඇයට ආදරය සෙනෙහස දක්වන දෙස් විදෙස් ලෝකවාසී සැමටත් උදා වී ඇත.

මෙම මාලිනියේ නන්දා ආශිර්වාදාත්මක උපහාර ගීතයේ සංකල්පය හා සැලසුම සිදුකළ ගීතය රචනය කරමින් තනු නිර්මාණය කරමින් සංගීත අධ්‍යක්ෂණය සිදුකළ ජනපි‍්‍රයගායක රජිව් සෙබස්තියන් තම නිර්මාණ කාර්යයේ රස මුසු තොරතුරු සමඟින් සරසවිය හා කතාබහට එක්වෙමින්.

ඉතින් රජිව් දේශයේ යශෝරාවය නමින් විරුදාවලිය ලත් නන්දා මාලිනිය වෙනුවෙන් ඔබ රචනා කළ ආශිර්වාදාත්මක උපහාර ගීතය මුමුණමින්ම අපේ කතාබහට ප්‍රවිශ්ඨයක් ලබා ගනිමු නේද?

සරස්වතිය ලක් මවට තිළිණ කළ දායාදය නන්දා

ගුවන් විදුලියේ ළමා මණ්ඩපයේ

දස්කම් පෑ නන්දා

පාලකයින් හමුවේ හිස් නොනැමූ

දණ නොනැමූ නන්දා

සත්‍යයේ ගීතය සප්ත ස්වරයෙන්

පණ ගැන්වූ නන්දා

නන්දා නන්දා

මාලිනියේ නන්දා

නන්දා නන්දා

මාලිනියේ නන්දා

වැඳුම් පිදුම් ලද තරමට

නිරහංකාර වූ නන්දා

සුදු ඔසරිය පිළිබිඹු කරනා

තතු ලොව නොදනී නන්දා

නිවි නිවි දිලෙනා නෙක තරු අතරේ

පහන් තරුව නන්දා

චිරං ජයතු පතනෙමු නිති

ඔබ හට හද ගැඹුරේ රන්දා

මේ ගීතය මම අතින් ලියවුණු තෙවන උපහාර ගීතය මීට කලින් මම ක්ලැරන්ස් විජේවර්ධනට, ඩෙස් මන්ද සිල්වාට උපහාර ගීතයක් ලියා තනු නිර්මාණය කොට සංගීතවත් කොට පටිගත කිරීමක් සිද්ධ කරනු ලැබුවා. ක්ලැරන්ස් 1996 වසරේ මිය යනවා. මම 1997 වසරේ ඔහු වෙනුවෙන් උපහාර ගීතයක් කරනවා. ඇනස්ලි මාලේවන ඉන්ද්‍රානි පෙරේරාගේ ගායනයන් සමඟ කදුළෙන් නිමා වූ මගේ ගී පොත නමින්. ඩෙස්මන් ද සිල්වා 1999 වසරේ ඉඳලා හැම ඇල්බමයක්ම රෙකෝඩ් කළේ මගේ සංගීතයට සිංදු දෙකක් විතරයි. ඔහු පිට ගායනා කළේ. ඩෙස්මන් වෙනුවෙන් මා නිර්මාණය කරන උපහාර ගීතය අපි හයදෙනෙක් ගායනා කළා. ඩෙස්මන්ව ළඟින් ආශ්‍රය කරපු අයත් සමඟ ඒ ගීතය ගායනා කරන්නට මට අවශ්‍ය වුණා. ඒ අනුව වර්නන් පෙරේරා, චුටි පද්මපෙරුම, සොහාන් වීරසිංහ, ඇනස්ලි මාලේවන, පියල් පෙරේරා, මම ඇතුළු පිරිසක් ඒ උපහාර ගීතය ගායනා කළා.

මම අතින් ලියවුණු තෙවන උපහාර ගීතය ලියවුණේ නන්දා මාලිනී මහත්මිය වෙනුවෙන් මාලිනියේ නන්දා ගීතය පේළි දාහතරක් ඇතුව මා අතින් ලියවුණා. නන්දා මාලිනී කියන චරිතය එක අන්තයකට කොටුවෙලා කොටු කරගෙන ඉන්න වටපිටාවක්නේ දකින්න තියෙන්නේ. නමුත් සමාජය ඇයව එක පැත්තකට කොටුකරන්න උත්සාහ කළත් එතුමිය විවිධත්වය හොයපු කෙනෙක් එහෙම නොවෙයි නම් සුකිරි බටිල්ලන් එක්ක වෙළෙඳපොළට යමල්ලා කියන්නෙත් නෑ. හිඟාකකා කොළපතක් අරන් ලුණුයි බතුයි කමුකො රත්තරං කියන්නෙත් නෑ. අපි එතුමියව කොටුකරන්න ඇණ ගහන්න හැදුවට ඒක තමයි එතුමියගේ චේන්ජ් එක.

මට ඕනෙ කළා හැමදාම ඉන්නෙ නැති වෙනස්ම පරම්පරාවක් එක්ක මේ ගීතය ගායනා කරවන්න. නන්ද අක්කා කියන්නේ කවුද කියල අපි දනවන්න ඕනේ දැන් ඉන්න හා ඉදිරියට ඉන්න පරම්පරාවට මිසක් පරණ අයට නොවෙයි.

ඔය අදහස නිසාම තමයි මම මේ උපහාර ගීතය ගායනයේදී විවිධ හැඩතල රටා මැවූ මට වඩා ප්‍රවීණ මෙන්ම මට වඩා ළාබාල ශිල්පී ශිල්පිනියන් පිරිසක් මේ සඳහා තෝරාගත්තේ. ටී.එම්. ජයරත්න ප්‍රබුද්ධ ශාස්ත්‍රීය පැත්ත. ඊට පස්සේ නන්දා මාලිනීගේම ගෝලයකු වූ දිපිකා පි‍්‍රයදර්ශනී ඒ දෙන්නගෙන් පටන් ගෙන ඊට පස්සේ මම එතනට ගන්න හිටියේ ඇනස්ලි මාලේවන. ඔහු අසනීපයි ඊට පස්සේ බැලුවා ඉන්ද්‍රාණි පෙරේරා ඇය ඒ වෙනකොට ලංකාවේ හිටියේ නෑ. මම ඒ වෙනුවට ෂයාමි ෆොන්සේකාව අරගත්තා. කොහොම හරි අන්තිමට පොඩි පේළියක් හරි මම ගායනා කරන්න හිටියේ ඇනස්ලි හිටියේ නැති නිසා නැත්නම් මම කොහෙත්ම මේ සඳහා ගායනයෙන් එක්වන්න නොවෙයි හිටියේ.

නන්දා මාලිනී වෙනුවෙන් උපහාර ගීතයක් කරන්න තරම් ඔබගේ සිත මෙවැන්නකට පෙලඹෙන්න තරම් හේතු වූ කාරණාත් ඇති?

අප ආදරය කරන ගෞරවය දක්වන අය වෙනුවෙන් අපේ ආදරය ඔවුන් ජිවත්ව සිටියදී පිදිය යුතුයි කියන මතය මා තදින් විශ්වාස කරන කෙනෙක් අපි මිනිස්සුනට උපහාර පිදිය යුත්තේ ජීවතුන් අතර සිටියදී මිසක් ඔවුන් නැතිවුණාම නොවෙයි ඊට පස්සේ අපි දුක්වෙලා වැඩක් නෑ. මිනිස්සු ජිවත්වෙලා ඉන්නකොට තමයි අපි ඔවුන්ගේ මුණට හිනාවක් දියයුත්තේ කියලයි. මම අදහස් කරන්නේ. නන්දා මාලිනී වෙනුවෙන් උපහාරගීතයක් ලියන්න ඕනේ කියල මට සිතුණ අවස්ථා කීපයක්ම තිබුණා. ඒ අතරින් මගේ හිතට තදින්ම කාවැදුණු දිනයක් තමයි. මාලිනී ෆොන්සේකා මිය ගිය දවස. එදා සවස්යාමයේ මාලිනි ෆොන්සේකා වාසය කළ නිවසට ඇගේ දේහය රැගෙන ආවා. මේ අවස්ථාවට අවසන් ගෞරව දක්වන්න නන්දා මාලිනී මහත්මියත් පැමිණියා. එතුමිය එදා අසනීප පිටින් එතනට ඇවිත් ඉන්නවා. මම දැක්කා ඇගේ කතා කරන විලාසයෙන් පේනවා ඈ හොඳ ශරීර සෞඛ්‍යයෙන් නෙමේ ඉන්නේ කියලා. සහෝදර ශිල්පිනියක් වෙනුවෙන් අවසන් ගෞරව දක්වන්න තමන්ගේ අසනීප තත්ත්වයත් නොතකා තමයි ඇය පැමිණ තිබුණේ ඇය එතැනදී කියනවා මම මාලිනීට චිත්‍රපට පසුබිම් ගීත ගායනා කරලා තියනවා මම ඒවාට සම්මානත් ලැබිලා තියනවා කියලා. මීටත් කලින් මට තවත් අපුරු සිද්ධියක් දැක්කා. රටක ජනාධිපතිවරයෙක් නන්දා මාලිනීව වේදිකාවට ගෙන්වා ගන්න ඕනේ ඒකේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වේදිකාවෙන් බැස නන්දා මාලිනී මහත්මිය ළඟට ගිහින් ඇයට සම්මානය පිරිනමනවා. මේ සිද්ධි දෙකම දැකීමෙන් පසු මට ලොකු හැඟීමක් ආවා. මෙතුමිය වෙනුවෙන් ගීතයක් රචනා කරන්න. මම ඒ අනුව එතුමිය වෙනුවෙන් ගීතයක් ලිව්වා. මගේ පුරුද්දක් තියනවා මම මොනවා හරි සිංදුවක් ලිව්වත් එදා ක්ලැරන්ස් විජේවර්ධයන්ට පෙන්නුවා පටිගත කරන්න කලින්. ක්ලැරන්ස් නැති වුණාට පස්සේ මම සිංදුවක් ලිව්වොත් ගායන ශිල්පී වර්නන් පෙරේරාව හමුවෙලා හෝ අඩුම තරමින් දුරකතනයෙන් හරි කියනවා ඒ ලිව්ව දේ තුළ ඇති දොස් නිදොස් කරගන්න. මේ ගීතයත් මම ඒ විධියට වර්නන් අයියාට පෙන්නුවා. ඔහු ක්ෂණිකව පිළිතුරු දුන්නා. ෂා කොච්චර වටිනා වැඩක් ද ගීතයේ පද ඔහුත් සමඟ කතා බහකරමින් එහෙට මෙහෙට මාරුකළා. අලුතින් කිසිවක් ලිව්වෙත් නෑ ඔය අතරේ මම මාලිනියේ නන්දා ගීතයේ මා ලියු පදවැල් වල ගුණදොස් විමසීමක් ප්‍රවීණ ගීත රචක කුලරත්න ආරියවංශ මහතා සමගත් කතාබස් කළා. එතුමන් මේ කටයුත්ත අගය කළා. ඒ වගේම බුද්ධදාස ගලප්පත්ති මහතාටත් මගේ අදහස කියල ගීත රචනය පෙන්නපුවහම රජීව් මරු හොඳ අදහසක් ඉක්මනින් වැඩේ කරන්න කිව්වා.

මේ සඳහා දායක වූ ගායක ගායිකාවන්ගෙන් මොන වගේ සහයෝගයක් ද ඔබගේ මේ උපහාර ගීතය වෙනුවෙන් ලැබුණේ?

සියලුම ගායන ශිල්පී ශිල්පිනියන් නොමිලේ නන්දා මාලිනීය වෙනුවෙන් තම හඬ මුසු කරන්න නොපැකිළිව ඉදිරිපත් වුණා. සියලුම ශිල්පීන් රතු මිශ්‍ර පාට ඇඳුම් අදින්න තීරණයක් කළා. රතු කේන්ද්‍රකරගත්ත පාට ඇඳුම් තමයි අපි මේ සඳහා ඇන්දේ. විෂුවල් සඳහා අපිට ලයිබ්‍රි දර්ශන කීපයක් අවශ්‍ය වුණා. මේ අවශ්‍යතාවය දෙරණ ආයතනය අපිට නොමිලයේම ලබාදුන්නා ඉතාම නිර්ලෝභීව ඒ විෂුවල්වල නන්දා අක්කා ඇදන් හිටිය ඇඳුමේ පාට තිබුණෙත් රතුයි සුදුයි. අපේ වැඩේට ඒ විෂුවල් හරියටම ගැළපුණා. මේ කාර්ය වෙනුවෙන් රෙකෝඩ් කිරීම සඳහා ශබ්දාගාරයට ගිය වියදම් වාදකයන්ට ලබා දුන් මුදල් සියලු බර පැන මම දැරුවා. දුර සිට ඒ මේ අපහසුතා තිබූ සමහර ගායක ගායිකාවන් ගේ ප්‍රවාහන ගාස්තු මම දැරුවා.

මෙහි ගීතයේ රූප ගත කිරීම් සඳහා යන සියලු මුදල් සඳහා අනුග්‍රහය දැක්වීමට සවුත් ඒෂියන් ටෙක්නොලොජිස් ආයතනයේ හිමිකරු සංජය පද්මපෙරුම මහතාත් සීමාසහිත මැලිබන් බිස්කට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී රවී ජයවර්ධන මහතාත් අර්ථපතිත්වයෙන් දායක වීමක් සිද්ධ කළා.

නන්දා මාලිනීගේ ජිවිතයේ එක්පැති කඩක් ඔබ මේ ගීතය හා බද්ධ කර ඇති විෂුවල් වලින් පවා පෙන්වන්න උත්සාහයක් අරගෙන තිබුණ හැඩයි.

නන්දා අක්කා පුංචි කාලේ පැලදුවයි කියන කට්ට සෙරෙප්පු දෙක දාගෙන ඈ මේ සංගීත සාගරයේ ඉහළට නැගි ආකාරය මට මේ ගීතයේ විෂුවල් මඟින් පෙන්වන්න ඕනෙ කළා. ඒ විෂුවල් එකට අවශ්‍ය කට්ට සෙරෙප්පු දෙකක් හොයාගන්න මම මාරම කට්ිටක් කෑවා. ඒ විෂුවල් එකේ තියන පඩි පෙළ ඇගේ ජීවිතය මුලදී ඇය ඒ පඩිපෙළ නඟින්නේ කට්ිට සෙරෙප්පු දෙක දාගෙන. ඊට පස්සේ ඇය ඔසරියට පියමනිනවා. පිටකොටුවේ ගුබ්බෑයන්වල මුඩුක්කු අස්සේ මම රිංගුවා මේ කට්ට සෙරෙප්පු දෙකක් හොයාගෙන. ඒත් මගේ උත්සාහය හරි ගියේ නෑ. ඊට පස්සේ මගේ මොරටුවේ පාසල් මිතුරන් දෙපළක් වූ සුමාල්, පෙරේරා, නොයෙල් ක්‍රිස්ටෝෆර් දෙපළ වඩු මඩුවකට කියල මට ලී ප්‍රේම් එක හදල දුන්නා. ඊට පස්සේ ඒක කොළඹ ගෙනත් පටි දෙක ගහල කට්ට සෙරෙප්පු යුගල හදාගත්තා.

විෂුවල් රූපගත කිරීම සඳහාත් ඔබ සුවිශේෂ තැනක් තෝරාගෙන තිබුණ බවක් දකින්න තිබුණා.

නන්දා මාලිනිය කියන්නේ අභිමානවත් විප්ලවීය හඬක් ඒ නිසාම මට මේ විෂුවල් රූපගත කරන්න තැන් කීපයක් ගැන හිතට ආවා. අරගලයට සමීප ගෝල්පේස් පිටියේ සිංහ කොඩිය යට නෙළුම් පොකුණ ළඟ නිදහස් චතුරශ්‍රය අසල, ගෝල්ෆේස් එක ළඟ මම අතහැරිය පසුව ඒ අසල කඩකීපයක් ඉදිකරල තිබුණ නිසා පස්සේ මට හිතුණා නිදහස්චතුරශ්‍රය මේකට හොඳම තැන කියලා.

මෙම ගීතය නිර්මාණයේදී ඔබේ වෙහෙසට සමීප අත්වැලක් එක්කළ සුවිශේෂී චරිතත් ඔය අතරේ ඇති නේද?

මේ ගීතය නිර්මාණකරණයේදී මට වචනයෙන් හරි ශක්තියක් වුණු හැමෝම බොහෝම ලෙන්ගතු සිතින් සිහිපත් කරනවා. මම විසින් රචනා කළ මාලිනියේ නන්දා ගීතයේ චිරංජයතු පද පෙළ සියලුම ශිල්පීන් විසින් ගායනා කරමින් එක්වුවහොත් ගීතයට වඩාත් අලංකාරයක් ගෙන දෙනු ඇතැයි යෝජනාවක් ගෙන ආ දීපිකා ප්‍රියදර්ශනීටත් ශබ්ද පරිපාල කටයුතුවලට අවසන් අදියරයේදී රාත්‍රියේ ශබ්ද පරිපාලන කටයුතු වලට ස්වේඡාවෙන් ඉදිරිපත්ව සහාය දැක් වූ අතුල අධිකාරිටත් මම මේ වේලාවේ විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා.

විශාල වියදමක් කරල නන්දා මාලිනිය වෙනුවෙන් ඔබ මේ කළ උතුම් කටයුත්ත නන්දා මාලිනියට දැකගන්න සැලැස්සුවේ නැද්ද?

ඒ කාර්ය මම මේ විධියට සිද්ධ කළා. ගුවන් විදුලියේ උත්සවය තිබුණේ නන්දා අක්කගේ උපන්දිනයට පෙරදින උදේ වරුවේ මම සවස් වරුවේ එතුමියට කතා කළා. නන්දා අක්කා කිව්වා මට මහන්සියි. අපි වෙන දවසක කතා කරමු කියලා. මම හා කියල දුරකතනය විසන්ධි කළා. රාත්‍රී නමයට විතර යළිත් නන්දා අක්කා බලාගන්න. ඇයට සමීප පවුලේ අයකුට මම කතා කරල කිව්වා ඇගේ වට්සැප් අංකයට මම වීඩියෝවක් එවනවා. ඒක ඇය පසුදා අවධී වී විවේකීව ඉන්න මොහොතක ඇයට බලන්න සලස්වන්න කියල. ඒ කිව්ව විධියට පසුදා ඇගේ උපන්දිනය දවසේම නන්දා අක්කා අපේ උපහාර ගීතය නරඹල සතුටු වෙලා මට වොයිස් මැසේජ් එක්ක එව්වා මෙහෙම.

මට සුබපතල පරම්පරා දෙකක අය ගීතයක් පටිගත කරල දාල තිබුණා. මාලිනියේ නන්දා කියල ඒ ගීතය මම බලල හරියට සංතෝස වුණා. මොකද දෙවන පරම්පරාවක් අපිට ආදරය දක්වපු එක ගැන. ඒ ගොල්ලොත් ඒකට සම්බන්ධ වෙච්ච එක ගැන මට තියෙන්නේ ලොකු සතුටක්. ඒ නිසා මම ඒ ගොල්ලන්ට සුබ ප්‍රාර්ථනා කරනවා. ඒ ගොල්ලෝ අපේ සින්දු වලට දක්වපු ආදරයට ස්තූතියි. ඔක්කොටම ස්තූතියි කියලා. අපි කළේ උපහාරයක්. ඕනෙම කෙනෙක්ට උපහාරයක් කළ හැකියි.

මම දෙයක් කළේ නන්දා මාලිනීව සතුටු කරන්න එතුමිය ඒ සතුට මට ප්‍රකාශ කරල ඉවරයි.

ආචාර්ය නන්දා මාලිනී රජිව් සෙබස්තියන්ගේ ජිවිතයේ සුවිශේෂී කඩයිම් බොහොමයක සදා අනුස්මරණීය චරිතයක්?

හැත්තෑව දශකයේ මට අවුරුදු හතක් පමණ වයසේදී මොරටුව කන්දපාරේ මම කුලී නිවසක ජීවත්වන විට ඒ නිවස ඉදිරිපස සොල්දර ගෙදරක නේවාසිකව නන්දා මාලිනී ජීවත් වුණා. දවසක් මගේ අම්මත් නැන්දත් මට එක්තරා කාන්තාවක් පෙන්නල කිව්වා අර ඉන්නේ සිංදු කියන නන්දා මාලිනී කියල ඒ තමයි මම එතුමියව දැක්ක මුල්ම අවස්ථාව. ඊට පස්සේ කාලෙක දී ක්ලැරන්ස් විජේවර්ධනගේ ආරාධනයෙන් මගේ ගීත හතරක් ඔගී ශබ්දාගාරයේ පටිගත කරගෙන ගුවන් විදුලියට භාර දෙන්න. එම්.එච් පෙරේරාව මුණ ගැහෙන්න ගියවෙලේ එහිදී සිනහවකින් මුව සරසාගෙන මා ඉදිරියට ආවේ නන්දා මාලිනි මහත්මිය. ඒ වනවිට අපි එකිනෙකා නොහඳුනන ආගන්තුකයන්.

තවත් වසර ගණනාවකට පසු විදෙස් ගතව සිටි ඩෙස්මන් ද සිල්වා සහ ඩෙස් මන්ඩ් රැද්‍රිගු මෙරටට ගෙන්වා මම සංවිධානය කළ අති සාර්ථක Desmond & Dezmond  ප්‍රසංගය පැවති දිනය. පසුදා මට නන්දා මාලිනි නැවත හමුවන්නේ දයානන්ද පෙරේරාගේ ERX  ශබ්දාගාරයේදී එහිදී එතුමිය මට සුබපතන්නේ ආ රජිව් සාර්ථක ෂෝ එකක් කළා කියල ආරචිංයි කියමිනි.

කොවිඩ් වසංගතයයන් පසු මම විවිධ ගායන ශිල්පීන් වෙනුවෙන් ගීත නිර්මාණය කොට නිෂ්පාදනය කළ Starlanka Musical Parade  මංගල සංයුක්ත තැටිය මා පිළිගනුවනු ලැබුවෙත් එතුමිය වෙතට.

මාලිනියේ නන්දා ඔබේ නිර්මාණ කාර්ය ගැන ආපසු හැරිල බලනකොට ඔබට මොනවගේ හැඟීමක් ද ඇතිවෙන්නේ?

මෙය එදා මෙදා තුර බිහි වූ උසස්ම ගීතය නොවෙයි. හැබැයි දුර්වලම ගීතයක් ද නොවෙයි කියල මම විශ්වාස කරනවා. ඒත් තමන්ගේ ක්ෂේත්‍රයේ ප්‍රවීණ ගායන ශිල්පිනියක් වෙනුවෙන් වැඩිම ගායන ශිල්පී ශිල්පිනියන් පිරිසක් එක්ව ප්‍රථම වරට ගැයූ ගීතය ලෙස මෙය ඉතිහාසයට එක්වීම ගැන මම මහත් ආඩම්බරයෙන් සතුටු වෙනවා.

ආචාර්ය නන්දා මාලිනිය මොලොවට ජනිත කළ ආදරණීය දෙමව්පියන් එතුමියගේ සොයුරු සොයුරියන් දූ දරුවන් ඥාතින් එදා මෙදා තුර එතුමියගේ ගීත වලට දායක වූ ගේය පද රචකයන්. සංගීත අධ්‍යක්ෂවරුන් වාදන ශිල්පීන් නිෂ්පාදකවරුන් ඡායාරූප ශිල්පීන් කවර නිර්මාණ ශිල්පීන් නිවේදන ශිල්පීන් කැමරා ශිල්පීන් වේශ නිරූපණ ශිල්පීන් මාධ්‍යවේදීන්, රසිකයින් ඇතුළු එතුමිය මෙතෙක් දුර පරෙස්සමට රැගෙන ඒමට සහය වූ සියලු දෙනාටම එතුමිය පසසා නිර්මාණය වූ මෙම ආසිරි ගී මල්දම උපහාරයක්ම වේවා.

 

[email protected]

සේයාරූ – තිලක් පෙරේරා

චන්දන දයාසිරිවර්ධන

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT