– සම්මානනීය නළු සූරීගේ යථාර්ථවාදී රංගනය කැපී පෙනෙයි
– දමිළ සිනමාව තුළ මෑතකදී ප්‍රේක්ෂකයා වෙත අභිමුඛ වන අපුරු සිනමා ප්‍රකාශනයක්
නූතන දමිළ සිනමාව තුළ වසරින් වසර නිර්මාණය වන කලාත්මකවූත් සම්භාව්‍යවූත් චිත්‍රපට වටා ඊටම අනන්‍යම වූ කුඩා ප්‍රේක්ෂකාගාරයක් නිර්මාණය වී ඇත. 2024 වසරට අදාළව තිරගත වූ ‘Kottukkaali’ කලාත්මක ධාරාවේ දමිළ චිත්‍රපටය විද්වත් ප්‍රේක්ෂකයා සතුටු කරන අන්දමේ අපූරු චිත්‍රපටයකි. චිත්‍රපටය තුළ ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට ගැනෙන්නේ සුලබ වූ සමාජ ගැටලු දාමයකි. එය දකුණු ආසියානු කලාපයේ රටවලට විශේෂයෙන් පොදු වුවකි. කලාපීය වශයෙන් ඉන්දියාව, බංගලාදේශය, පාකිස්ථානය සහ ශ්‍රී ලංකාවේ වාසය කරන ජනයා මේ මොහොත තුළ පවා මුහුණ දෙන ගැටලු දාමයකි. එනමි කුල භේදය, පුරුෂාධිපත්‍යය සහ සංස්කෘතියට යට වූ ස්ත්‍රී පාර්ශවයේ ඛේදනීය ස්වරූපය යන ප්‍රධාන තේමාවන් ය. චිත්‍රපටය විසින් නිෂ්පාදනය කරන්නේ මානවය සතු දුර්වලතා ය. එය මනුෂ්‍ය ස්වභාවයේ පවතින අඳුරු අහුමුලු එළිපෙහෙළි කිරීමකි. චිත්‍රපටය නැරඹිමේදී ප්‍රේක්ෂකයාට ප්‍රධාන වශයෙන් අභිමුඛ වන චරිත ද්විත්වයකි. ඒ ‘මීනා’ සහ ‘පාන්ඩි’ වේ. මීනා සහ පාන්ඩ් විවාහපත්වීමට පවුල්වලින් ස්ථිර වූ දෙපළකි. නමුත් මීනා ඉගෙනගන්නා කොලිජියේ තරුණයකු සමඟ ප්‍රේම සබඳතාවක් නිසා පාන්ඩ් සහ මිනා අතර ගැටුමක් ඇති වේ.
මීනාගේ සහ පාන්ඩිගේ පවුලේ අය සිතනා ආකාරයට මීනාගේ ශරීරයට ඇතුළුව ඇති අදෘශ්‍යමාන බලවේගයක් හරහා ඇයට මෙම උමතුසහගත තත්ත්වයක් නිර්මාණය කර ඇති බවයි. මේ නිසා පවුල ද්විත්වය විසින් මීනාව දේවාල වෙත රැගෙන යති. ‘Kottukkaali’ චිත්‍රපටයේ කතාව දිවෙන්නේ මීනාගේ සහ පාන්ඩිගේ පවුල් ද්විත්වය විසින් මීනාව දේවාල කිහිපයක් වෙත කැටුව යන චාරිකාව වටායි. මෙම චාරිකාවෙහි පාන්ඩ් විසින් මීනා කෙරෙහි දැඩි වෛරයක් පවතී. පාන්ඩි විසින් මීනාට මිලේචජසහගත ලෙස පහර දෙයි. මීනා අසරණ ය. ඇයට කිසිවක් සිතාගත නොහැකිව කල්පනා කරයි. ජීවිතය යනු අඩි රූලක් තබා ඇඳී තනි සරල රේඛාවක යන ගමනක් නොවේ. සරල රේඛාවක් ලෙස සිතුව ද කඳු, පල්ලම්, දුර්ග, ප්‍රපාත හරහා යන අවිනිශ්චිත ගමනක අප සැවොම අඩු වැඩි වශයෙන් නිරතව සිටින්නේ. එය පාන්ඩි සහ මීනා වැනි චරිත මෙනි. චිත්‍රපටය පුරාවටම අප අත්දකින්නේ සමාජ සමීකරණය තුළ පුරුෂෝත්තමවාදි සංස්කෘතිය විසින් කාන්තාව කෙතරම් අමානුෂික ආකාරයෙන් තළා පෙළනවාද? යන්නයි.
ප්‍රජාවක් වශයෙන් දමිළ සමාජය තුළ හින්දු ආගම සහ එහි බැඳුණු මිථ්‍යාමය දෑ ඔස්සේ කාන්තාවට අත්වන ඉරණමත් ඇගේ පෞද්ගලිකත්වය, ආත්ම ගෞරවය දිය කරන සංස්කෘතිය පිළිබඳ හැඟවුමක් චිත්‍රපටය ප්‍රකට කරයි. එය සංස්කෘතික කම්පනයක් (cultural shock) දක්වා දැනෙන්නට චිත්‍රපටය විසින් ඉඩ සලස්වයි. එයින් අපි ද කම්පනයට ලක් වන්නෙමු. ඉන්දියානු සමාජය තුළ දැඩිව මුල් බැසගෙන ඇති ආගමික අභිචාර විධි ද, සංස්කෘතික හර පද්ධතින් ද මිනිස් බුද්ධියට ඇති ඉඩ අහුරා දමයි. ස්ව අනන්‍යතා අර්බුදය (self Identity crisis) වෙත ගොදුරු වූ ‘මීනා’ පශ්චාත්තාපී හදවත් ඇත්තකුගේ ශෝකාලාපය කෘතිය තුළින් ප්‍රේක්ෂක මනස කලඹයි. මනුෂ්‍ය හැඟීම් පිළිබඳ කියවීම සහ නිරීක්ෂණය ඌන වූ විට අනුවණකම පහළ වෙයි. මානවයා තුළ ඇති ජාගර සත්ත්වයා අවදි වෙයි. අනෙක් අතට බොහෝ සමාජ දේශපාලනික ධූරාවලීන් තුළ තාර්කික බවක් හෝ ජීව විද්‍යාත්මක පදනමක් නැත. ඒවා වනාහි මිථ්‍යාවන්ගේ සහාය ලද අහඹු සිදුවීමි ක්‍රියාවට නැඟීමක් විනා අනෙකක් නොවේ.
‘Kottukkaali’ අධ්‍යක්ෂණය කරන්නේ පී.එස්. විනෝත්රාජ් ය. මේ ඔහුගේ දෙවැනි චිත්‍රපටයයි. 74වැනි බර්ලින් ජාත්‍යන්තර සම්මාන උළෙලේදී ප්‍රදර්ශනය කළ ‘කොට්ටුක්කාලි’ චිත්‍රපටය සංසද අංශය වෙත තේරී පත් විය. විචාරකයන්ගේ සමිභාවනාවට පාත්‍ර වූ ‘Kottukkaali’ චිත්‍රපටය දමිළ සිනමාව තුළ මෑතභාගයේ නිර්මාණය වූ ප්‍රශස්ත ගණයේ චිත්‍රපටයක් ලෙස නම් කරන්නේ සමාජ කතිකාවතක් වෙත ප්‍රවේශ කරන ව්‍යායාමයක් වශයෙනි. චිත්‍රපටයේ කතාව කීමෙිදීත් ඊට උචිත වූ රූප බස හැසිරවීමේදීත් සිනමාකරු පරිණත නිර්මාණකරුවකුගේ ගති ස්වභාවය ප්‍රකට කරයි. චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා කතාව කීමට යොදාගන්නේ වෘත්තාන්තමය චිත්‍රපට ශෛලියෙන් මඳක් විතැන් වූ වාර්තා චිත්‍රපට ශෛලියයි. අධ්‍යක්ෂකවරයාගේ සමස්ත කෘතිය තුළ යොදාගන්නා සම්භාව්‍ය සිනමා රීතිය පවතින්නේ වාර්තා සිනමා ශෛලිය තුළ ය. ප්‍රේක්ෂකයා චිත්‍රපටයට සෘජු මැදිහත්වීමක් සිදු නොකරන්නට අධ්‍යක්ෂකවරයා වග බලා ගෙන ඇත.
ප්‍රේක්ෂකයා චිත්‍රපටයේ සිදුවීමි මාලාව දෙස බලා සිටින සක්‍රීය නිරීක්ෂකයෙකු බවට පත් කරයි. චිත්‍රපටයේ සංස්කරණය සහ සංකේත චිත්‍රපටය පොහොසත් කරන අංශ දෙකකි. නිදර්ශනයක් ලෙස ගලක කකුලක් බැඳ ඇති කුකුළාගේ සහ ඒ දෙස බලන මීනාගේ සමීප රූප වේගයෙන් ඡේදනය වෙයි. සමෝධානිත රූප මාලාවක් මඟින් චිත්‍රපටය අරුත් ගැන්වෙයි. අනෙක් අතට අධ්‍යක්ෂකවරයා විසින් චිත්‍රපටයට පසුබිම සංගීතමය පිහිටාධාරයක් ලබා ගෙන නොමැති වීම විශේෂත්වයකි. ප්‍රේක්ෂකයා චිත්‍රපටයේ ප්‍රකාශ වන සිදුවීම දෙස බලා සිටින්නෙකු බවට පත් කිරීම අරමුණ වී ඇති සේය.
චිත්‍රපටය පුරාවටම පාන්ඩි ලෙස කොලිවුඩයේ සම්මානනීය නළු සූරීගේ යථාර්ථවාදී රංගනය කැපී පෙනෙයි. පාන්ඩිගේ චරිතය තුළින් ඉස්මතු කරන්නේ පිරිමියෙකුගේ යටිසිත දෙයාකාරයකට ක්‍රියා කළ හැකි බවකි. මීනා ලෙස මලයාලම් නිළි ඇනා බෙන්ගේ මුහුණේ ඉංගිත හරහා ප්‍රකාශ වන අසරණබවත්, රෞද්‍ර බවත් කැපී පෙනෙයි. සමස්ත කෘතිය පුරාවටම රූප රාමු විසින් ගොඩනඟන අමුර්තවාදය (abstract) නමැති ශෛලිය විසින් සිනමාත්මක බවක් එක් කර ඇත. මනුෂ්‍ය සම්බන්ධතා සියුම්ව හා සූක්ෂමව විනිවිදිව දකින ‘Kottukkaali’ යනු දමිළ සිනමාව තුළ මෑතකදී ප්‍රේක්ෂකයා වෙත අභිමුඛ වන අපුරු සිනමා ප්‍රකාශනයකි. මෙවැනි ගණයේ චිත්‍රපටයක් ජනප්‍රිය සිනමාවක් වෙත රොඳ බඳීන ප්‍රේක්ෂකයා වෙහෙසට පත් කරනවා මිස ඔවුන් බලාපොරොත්තු වන අන්දමෙි සරල රසවින්දනයක් හෝ ආනන්දයක් ජනිත කරන්නේ නැත. චිත්‍රපටයේ හැඩය, රිද්මය මෙන් ම ඒ හා බැඳෙන සංඥාර්ථ සමඟින් ගොඩනැඟෙන මානුෂිකමය හා සමාජමය අර්ථ ප්‍රබල ය. එය හදවතට නොව බුද්ධියට ආමන්ත්‍රණය කරන්නකි. ‘Kottukkaali’ චිත්‍රපටයක් උචිත වන්නේ මනා සංයමයකින් සහ ශික්ෂණයක් සහිත කලාත්මක සිනමාවක් ස්පර්ශ කරන ප්‍රේක්ෂකාගාරයට ය.
ඉමල්ක විතානගේ