‘‘මිනිස්සු කියන කතා සරෝජිනී විශ්වාස කරනවද?
බතී ගැන… බතීත් මාත් ගැන…..’
නෑ අරවින්ද, අරවින්දට වෙන ගැනියෙකුට ආදරය කරන්න බෑ…..
අරවින්ද ආදරය කරන්නේ දුරින් ඉඳගෙන.
සම්පූර්ණ ඇත්ත නෙවෙයි….
එහෙනම් අරවින්ද බතීට ආදරය කළා…..?
‘ආදරය කළෙත් නෑ…, නොකළෙත් නෑ….’
අරවින්ද එහෙම කිව්වට, සරෝජිනිට තමයි ඔහු මුලින්ම ආදරේ කළේ. ඒ හා සමානවම සරෝජිනීත් අරවින්දට ආදරේ කළා. ඒ හින්දම තමයි අරවින්දගේ සම්බන්ධයට සරෝජිනීගේ ගෙදරින් අකැමැති වෙනකොට, සරෝජිනි පැනලා යන්න අරවින්දට කතා කරන්නේ. සරෝජිනී ආදරේදි ඒ තරම් නිර්භීත වුණාට අරවින්ද සරෝජිනි තරම් නිර්භීත වුණේ නෑ. අන්තිමට සරෝජිනි වෙනත් කෙනෙක් විවාහ කර ගන්නතුරු අරවින්ද බලාගෙන හිටියා. සරෝජිනි වෙනත් විවාහයක් කර ගත්තත් මියයන තුරුම අරවින්දට බැඳී පෙම අමතක කළේ නෑ කියලයි මට හිතෙන්නේ.
සරෝජිනි කිව්වෙත් එහෙම තමයි.
සරෝජිනි ගේ ආදරේ තාමත් එහෙමමයි. අරවින්දට විතරක් නොවෙයි. ඇය සිනමාවේ මවපු හැම චරිතයකටම ඇය ආදරෙයි. සරෝජිනි විදියට විතරක් නොවෙයි, ‘සුන්දරී, විනිතා, අනුලා, මිසිනෝනා, චම්පා, මෙකී නොකි චරිතවලට.
ඇය සිංහල සිනමාවේ ශ්රියාවියයි. මේ ශ්‍රියාවිය වෙන කවරුවත් නොවෙයි, ශ්‍රියාණි අමරසේනයි. දේශිය සිනමා ඉතිහාසයට පෑයූ ආකර්ෂණීය නිළි පෞරුෂයක් හිමි, ප්‍රතිභා සම්පන්න නිළියයි.
සිය ජීවන ගමන් මඟේ 80 වැනි වියට සම්ප්‍රාප්ත වන ඇය, සිය රංගන දිවියේ 60 වන දශකය සමරයි. ඉදින් ගෙවුණ අතිතය පුරා ඇ ගැන විමසන්නට, ඇගේ රංගන ප්‍රතිභාවන් හඳුන්වා දෙන්නට මේ පත් ඉරු ප්‍රමාණවත් දැයි නොදනී. එහෙත් ඇගේ රංගන රිද්මය මෙරට ජන හදවත් තුළ සදාතනිකව රැඳුණ බව ලියා තැබිය යුතුය. ඇ විසින් දේශීය සිනමාව උදෙසා කරන ලද කැපවීම, ඒ වෙනුවෙන් දක්වන ලද ආදරය, ගෞරවය ලියා තැබිය යුතුය.
පාලමකුඹුර හේරත් මුදියාන්සේලාගේ ශ්‍රියාණි වීරකෝන් කුමාරිහාමි මෙරට ජන්ම ලාභය ලබනුයේම කලාව සිය දෝත තුළ රුවා ගෙනමය. පාළමකුඹුර හේරත් මුදියාන්සේලාගේ වීරකෝන් බණ්ඩාර සහ දෝන එමලින් විමලාවතී වීරකෝන්ට දාව මෙලොව එළිය දකින ඇය, පවුලේ එකම දරුවාය. කොළඹ නගර සභාවේ රෙකෝඩ් කීපර් කෙනෙකු වශයෙන් සේවය කළ ඇගේ පියාටත්, මවටත් විවාහයෙන් වසර 7ට පසු ඉපදෙන මේ දරුවා මහාර්ඝ සම්පතක්ය. එබැවින් ඇයට සියලු සැප සම්පත් දී නිරන්තර සුව පහසු දිවියක් නිර්මාණය කිරිමට ඔවුහු සැම විටම වෙහෙස මහන්සි වූවෝය. ශ්‍රියාණිගේ පියා උඩරටය. මව පහතරටය. මේ දෙදෙනා විවාහ වි පදිංචි වූයේ කොළඹ මීතොටමුල්ලේය. එබැවින් ශ්‍රියාණිගේ උපන් ගම වනුයේ කොළඹය. ශ්‍රියාණිගේ මවත් පියාත්, විවාහයෙන් පසු, නිතර විනෝද ගමන් සහ වන්දනා ගමන් යෑමට කැමැත්තක් දැක්වූයේය. දිනක් එවැනි වන්දනා ගමනකින් පසු, ශ්‍රියාණිගේ මව ලස්සන සිහිනයක් දුටුවාය. ඒ ඉතාම පැහැදිලි, ලස්සන දිය පාරකට සඳ වැටි දිදුලන අයුරුය. පසුවදාම පන්සලේ හාමුදුරුවන් හමුවී, සිහිනයේ පලාඵල දැන ගැනීමට ශ්‍රියානිගේ මව උත්සුක විය.
‘වාසනාවන්ත ගැහැනු දරුවෙකුගේ පිළිසිඳ ගැනිමක්!
පන්සලේ හාමුදුරුවෝ ශි‍්‍රයාණිගේ මවට දන්වා සිටියේය. වසර 7ක් වැනි දීර්ඝ කාලයක් තිස්සේ තමන් බලාපොරොත්තු වූ දරුඵල සිහිනය සැබැවන බව ඇසීම තරම් මිහිරක් ඇය කෙදිනකවත් විඳ නොතිබිණ. එතැන් සිට ඈ සිය දොතට පැමිණෙන සිඟිත්තිය පිළිබඳ සිහින මවමින් ජීවත් වූවාය. දස එකඩ මසකින් පසුව ඇ ලැබු ඒ අගනා තෑග්ග වුයේ ශ්‍රියාණිය. මව්පියන්ගේ දැඩි ආදර කරුණාව මත, සුවසේ වැඩුණු ඈ, සිය අධ්‍යාපන කටයුතු අරඹන්නේ, මීතොටමුල්ල මධ්‍ය මහා විද්‍යාලයෙනි. තම දියණියට මනා අධ්‍යාපනයක් ලබාදීමේ අරඹුණින් ටික දිනකින්ම ශ්‍රියාණිගේ මව්පියන් ඇය කොළඹ මියුසියස් විද්‍යාලයට ඇතුළත් කළේය. හත්වැනි පන්තිය දක්වා මියුසියස් විද්‍යාලයේ අධ්‍යාපනය ලද ඇය ඉන්පසු උසස් අධ්‍යාපනය සඳහා කොළඹ ගෝතමී විද්‍යාලයට ඇතුළත් වන්නීය.
ශ්‍රියාණි පාසල් වියේ සිටම කලාවට පෙම් බැන්දාය. ‘හතරබිරි කතාව, කොහෙද යන්නෙක් රුක්මණී‘ වැනි පාසල් වේදිකා නාට්‍යවල ඈ එකල රඟපැවාය. එපමණක්ද නොව ඇගේ මවගේ දුර ඥාතියෙකු වූ, එකල ගුවන්විදුලියේ ළමා පිටියේ සිරි අයියා (යූ. ඒ. එස්. පෙරේරා) මෙහෙයවු ළමා පිටියට සම්බන්ධ වී ගායිකාවක වශයෙන්ද කටයුතු කළාය. පසුව බැසිල් මිහිරිපැන්න යටතේ නර්තනය හදාරන්නට ද ඇය පෙලඹුණාය. කෙසේ වෙතත් මේ සියල්ල අතරතුර ඈ පාසල් ශිෂ්‍යාවකව සිටියදී ම ප්‍රසිද්ධ වේදිකාවට පා තැබීමේ භාග්‍යයද ඇය හිමි කරගත්තාය.
ශ්‍රියාණි ප්‍රසිද්ධ වේදිකාවේ ඉදිරිපත්කළ මුල්ම රංගනය ඇතුළත් වූයේ ජී. ඩී. එල් පෙරේරාගේ ‘තම්මැන්නා’ නම් වූ කවි නාඩගමේය. මෙය නිර්මාණය කරන ලද්දේ විජය- කුවේණි පුරාවෘත්තය පදනම් කොට ගෙනය. නමුත් ඇය නාට්‍ය ක්ෂේත්රය පුරා ප්‍රචලිත වුයේ දයානන්ද ගුණවර්ධනයන්ගේ ‘නරිබෑනා’ නාට්‍යයේ ගමදුවගේ චරිතය නිරුපණය කිරීමෙනි. ඉන්පසු කළෙක ඇයට ‘හිතහොඳ අම්මණ්ඩි’, වෙස් මුහුණු වැනි නාටය වලටද දායක වීමට අවස්ථාව හිමි විය. මෙහි හිත හොඳ අම්මණ්ඩි නාට්‍යයේ ඇය කළ රංගනය බොහෝ දෙනාගේ අවධානයට යොමු වු අතර, එය මෙරට වේදිකාවේ තමන් නුදුටු විශිෂ්ට නිරූපණයක් ලෙසින් ආචාර්ය තිස්ස අබේසේකර වරක් පුවත්පතකට ප්‍රකාශ කර තිබුණි. (සරසි පුවත්පත) වත්මනේ ඇය සිය රංගන දිවියේ ප්‍රභාමත් ස්ථාවරයක් දිනා ගන්නට වේදිකාවෙන් ඇය ලද අභාසය, පුහුණුව බොහෝ දුරට උපකාරී වන්නට ඇති බව ඉන් පැහැදිලි වේ.
ඇය වේදිකාවට පිවිසියේ ශ්‍රියාණි වීරකෝන් ලෙසින් වුවත්, සිනමාවට පිවිසෙනුයේ ශ්‍රියාණි අමරසේන නමිනි. ඒ ඇය ඒවන විට ප්‍රවීණ පුවත්පත්කලාවේදියකු වූ ආතර්. යූ . අමරසේනයන් සමඟ විවාහ වි සිටීමෙනි.
ඇය සිනමාවට පිවිස ඇත්තේ වෘත්තාන්ත සිනමා පටයකින් නොවීම සුවිශේෂීත්වයකි. ඇය සිනමා මාධ්‍යයට පැමිණෙනුයේ වාර්තා චිත්‍රපටයකිනි. ඒ ප්‍රඥාසෝම හෙට්ටිආරච්චි අධ්‍යක්ෂණය කළ ‘වින්ග්ස් ඕවර් සිලෝන්’ නම් චිත්‍රපටයෙනි. ඉන්පසුව ඇයට ඩී.බී. නිහාල්සිංහයන්ගේ ‘කෙටි කතාව’ නම් වූ අර්ධ වෘත්තාන්ත චිත්‍රපටයේ රඟපාන්නට අවස්ථාව හිමිවිය. (පැය 2 ධාවන කාලයකින් යුතු) එය ශී‍්‍ර ලංකාවේ නිෂ්පාදිත ප්‍රථම සිනමාස්කෝප් චිත්‍රපටයයි. ‘කහ බළල්ලු’ නමින් සිංහල දෙබස් කැවූ ‘ත්‍රී යෙලෝ කැට්ස්’ නම් වූ ජර්මන් චිත්‍රපටය සමඟ 1967 වසරේදී මෙම චිත්‍රපටය තිරගත කෙරිණ. ශ්‍රියාණි මෙහි ‘රුක්මණී’ නම් චරිතයකට පණ පෙව්වාය. මෙම චිත්‍රපටය නැරඹු ප්‍රකට සිනමා විචාරක, ජයවිලාල් විලේගොඩයන් ඒ පිළිබඳ මෙසේ පවසා තිබිණ.
‘නළු නිළියන් ඇත්තේ පස් දෙනෙකු පමණි. ප්‍රධාන චරිත දෙක රඟපාන වික්‍රම බෝගොඩත් ශ්‍රියාණි අමරසේනත්, යම්තම් පෙනී සිටින සෙසු තිදෙනාත් තම චරිත ගැන හැඟීමක් ඇතිව මහත් සංයමයකින් රඟපාති. (දිනමිණ)
මෙයින් පැහැදිලි වනුයේ ශ්‍රියාණි තම සිනමා ජිවිතයේ මුල් අවධියේදිම විචාරක අවධානය දිනා ගන්නට තරම් රංගනයක් ඉදිරිපත් කර ඇති බවය. ශ්‍රියාණි මුලින්ම වෘත්තාන්ත සිනමාවට එක් වනුයේ 1964 දී තිරගත වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ ‘ගොළු හදවත’ චිත්‍රපටයෙනි. ඇය එහි රඟපෑවේ සුගත් ගේ (වික්‍රම බෝගොඩ) නැනා වන ‘ චම්පා’ ගේ චරිතයයි. ඇගේ වේදිකා නාට්‍ය ගමන් මඟ තුළ මෙන්ම සිනමා ගමන් මඟේද ආරම්භය සනිටුහන් වනුයේ මෙරට වේදිකා නාට්‍ය ක්ෂේත්‍රෙය් මෙන්ම සිනමා ක්ෂේත්රෙය්ද ඉහළ නමක් දිනාගත්, අති දක්ෂ අධ්‍යක්ෂවරුන්ගේ ඇය ප්‍රධාන නිළියක වූයේ කේ.ඒ.ඩබ්ලිව් පෙරේරාගේ චිත්‍රපටවලිනි. (සීයේ නෝට්ටුව, අපරාධය හා දඬුවම) ඇසුරේ වැඩෙමිනි.
මේ ආරම්භයත් සමඟ සිනමාවේ දීර්ඝ චාරිකාවකට ඇයට අවස්ථාව හිමි වනුයේ ඇය සතුවු ආකර්ෂණීය රූප සම්පත්තිය හා උත්පත්තියෙන්ම රැගෙන ආ රංගනයට ඇති දක්ෂතාවය, හැකියාව නිසාය. මෙරට බිහිවූ බොහෝ නිළියන් සේම ශ්රියාණිද මෙරට සිනමාවේ විවිධ අංශයන් ස්පර්ශ කිරීමේ භාග්‍යය හිමිවිය. ඇය වාණිජ සිනමාව තුළද තම අනන්‍යතාව සනිටුහන් කළා සේම, සම්භාව්‍ය කලාත්මක සිනමාව තුළද තම දක්ෂතාවයන් පෙන්වන්නට සමත් වූවාය.
විශේෂයෙන් ඇගේ රංගනයන් අතරින් බොහෝ දෙනාගේ අවධානය දිනාගත් චරිතය වූයේ විරාගයේ සරෝජිනිය. එසේම ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ ‘දැස නිසා’ චිත්‍රපටයේ ඇය කළ රංගනය මේ මොහොතේ අපට අමතක කළ නොහැකිය. එහි ‘සුන්දරී‘ නම් දැස් අඳ යුවතියගේ චරිතය ඇය නිරූපණය කළේ තම දෑස් සුපුරුදු ලෙස විවර කොට ගෙන එය නොපෙනන ආකාරයෙන් රූපණය කරමිනි. විරුපී සැමියෙකුට සහ කඩවසම් රූපකායකින් හෙබි තවුසකුටත් මැදිවන අහිංසක සුන්දර යුවතියකගේ චරිතය ඇය ගේ බාහිර ස්වරූපයටද මැනවින් ගැලපුණි.
ආචාර්ය ලෙස්ටර් පීරිසද් ගේ ‘අහසින් පොළොවට’ චිත්‍රපටයේ ‘විනිතා’ ගේ චරිතයද ඇගේ රංගන භූමිකා අතර සුවිශේෂීය. මෙම චිත්‍රපටයේ අති සංකීර්ණ චරිතය වනුයේ විනිතාගේ සැමියා වන දොස්තර සරත් ගේ චරිතයය. එය නිරූපණය කරනුයේ ප්‍රවීණ රංගවේදී ටෝනි රණසිංහයන්ය. ශ්‍රියාණි මෙහි රඟපානුයේ ඉතාම සංවේදි හැඟීම් සමුදායකින් හෙබි, බාහිර අරමුණුවලට වඩා අධ්‍යාත්මික හැඟීම් කෙරෙහි වැඩි අවධානයට යොමු කරන කාන්තා චරිතයකි. මෙකි හැඟීම් සමුදාය ශ්‍රියාණි මෙම චරිතය වෙනුවෙන් මුදා හරිනුයේ එය තමන්ගේ ආධ්‍යාත්මය කොට ගනිමිනි. ටෝනි රණසිංහයන්ගේ සංකිර්ණ චරිත ස්වභාවයත්, පෙන්නුම් කිරීමට ශ්‍රියාණිගේ මෙම ශාන්ත රංගන ලීලාව බෙහෙවින්ම උපකාරි වු බව මගේ හැඟීමය. මේ ආකාරයෙන්ම ඇය ‘මහගෙදර’ චිත්‍රපටයේ ‘අනුලා’ වුවාය. තරණයේ ‘මිසිනෝනා’ වුවාය. කුළගෙයහි ‘ එඩ්නා‘ වුවාය. මේ කිසිදු චරිතයක ඇගේ රංගන ලීලාව අපට අත හැරිය නොහැකිය.
නිල් අහස් තලේ අගේ
නැ වලාකුළු
ලස්සනයි පුරා හඳේ
රැස් විහිදිලා….. ගීතය ගයමින් ඇය ‘මහගෙදර‘ චිත්‍රපටයේ රඟන ජවනිතාව සිනමා ප්‍රේක්ෂකයින්ට අදටද අමතක නොවනු ඇත. ගුප්ත පරිසරයක, ගුප්ත නිවෙසක, ගුප්ත චරිත අතරට එක්වන එකම පිටස්තර කාන්තාව වශයෙන් ඈ මෙහි කරන රංගනය මහගෙදර සෙසු චරිතයන්හි ගුප්ත ස්වභාවය තව දුරටත් ඉස්මතු කරවන්නකි. ‘කුලගෙය ‘එඩ්නාද, ‘තරණයේ‘ මිසි නෝනා ද මින් පරිබාහිරව ඇය විසින් ගොඩනංවන චරිතය.
වාණිජ සිනමාව තුළ වුවුද ශ්‍රියාණිගේ රංගනය අපට ලඝු කොට දැක්විය නොහැකිය. සරල, බොළඳ පෙම්වතියගේ චරිතයේ සිට මවකගේ චරිතය දක්වා වූ විවිධ චරිත ඈ නිරූපණය කළාය. බොහෝ විට සරල, බොළඳ පෙම්වතියගේ චරිත සිට මවකගේ චරිතය දක්වා වූ විවිධ චරිත ගොඩ නංවන්නට ඒ තුළ ඈ සමත් වුවාය. බොළඳ චරිත, සරල වට්ටෝරු චිත්‍රපටවල රඟපාන්නට සිදුවීම පිළිබඳ තමන් තෘප්තිමත් නොවන බව ඇය යම් යම් අවස්ථාවල පුවත්පත් සම්මුඛ සාකච්ඡාවලදි පැවසුවද, බාහිරින් බලන ඕනැම කෙනෙකුට ඒ ඒ චරිතයන් වෙනුවෙන්ද ඇය සාධාරණත්වය ඔප්පු කර ඇති බව පැහැදිලි වෙයි. ඇය රඟපෑ කල්‍යාණි ගංගා, රත්තරන් අම්මා වැනි චිත්රපටයනිහි ඇගේ රංගනයන් ඉතා උසස් මට්ටක තිබුණි. කෙසේ වූවද ශ්‍රියාණිගේ සිනමා රංගන චාරිකාව දෙස හැරි බලන්නකුට ඇය රඟපෑ වාණිජ වේවා, සම්භාව්‍ය වේවා සියලු චිත්‍රපටයන්හි ඈ රඟපැ චරිතයන්හි කිසියම් ඒකාකාරි ස්වභාවයක් දක්නට හැකි වුවද, එය එක ඉරකින් ප්‍රස්තාර ගත කළහොත් සරල රේඛීය ස්වරුපයක් ගනී. මේ තුළ උස් පහත් වීම් නොමැතිය. ඇගේ චරිත නිරූපණයන් දෙස බලත්දී විවිධත්වය දක්නට නොවනුයේ ඈ කිසියම් සංයමයකින් යුතුව තම රංගනයන් තෝරා බේරා ගත් නිසා බව සිතිය හැකිය. විශේෂයෙන්ම ඇය සිනමාවට ප්‍රවිෂ්ට වන විටත්, මවකි. බිරිඳකි. ඒ මාතෘත්වය සහ පවුලේ බැඳීයාව මත අභියෝගාත්මක චරිත රංගනයන් ට වඩා ඉන් එහා ගිය ගමනක් ඇයට තිබිණ. ඇය වරක් පුවත්පත් සම්මුඛ සාකච්ඡාවකදි මෙසේ ප්‍රකාශ කර තිබිණ.
‘‘අපේ සංස්කෘතිය, සදාචාරය අපට අමතක කරන්න බැහැ. අපට ජීවත් වෙන්න සිදුව ඇත්තේ ඒ සම්මත බැඳීම් වලට සීමා වෙලා. අනෙක සිනමාවට පිවිසෙන විටම මම දෙදෙරු මවක්. එයත් අමතක කරලා හුදෙක් මුදල් තණ්හාවෙන් ලැබෙන ඕනෑම චරිතයක් ඉවක් බවක් නොමැතිව රඟපාන්න මගේ සූදානමක් කවදාවත් තිබුණේ නෑ”
ඈ මේ පවසන්නේ තම රංගභාව ලීලා හිතු හිතූ අයුරින් තිරය මතට මුදා නොහරින බව නොවේද? අභියෝගාත්මක චරිත රංගනයේ නොහැකියාවක් ඇයට ඇතැයි ඉන් අදහස් නොවේ. ඇගේ ජිවන වෘත්තාන්තය දෙස බැලිමේදී කිසියම් වූ ආවේණික වූ ජීවන දැක්මකින් යුතුව මේ සා දුරක් පැමිණි බව තහවුරු වේ. මේ ගමන් මඟ තුළ ඈ සුරක්ෂිතය.
ශ්‍රියාණි හුදෙක් රංගන ශිල්පිනියක් වශයෙන් පමණක් අපට හුවා දැක්විය හැකි නොවේ. ඇය තිර පිටපත් රචිකාවකි. ඇගේ පළමු තිර පිටපත වුයේ ඇගේ සැමියා ආතර්. යු අමරසේන 1981 දි නිෂ්පාදනය කළ, සිරි කුලරත්න අධ්‍යක්ෂණය කළ ‘රිදී තැල්ල’ චිත්රපටයය. එසේම ඇය නවකතා රචිකාවක්ද වන්නිය. ඇගේ ප්‍රථම නවකතාව එළි දැක්වූයේ 1972 දිය. ඒ ‘මා තුරුළට’ නවකතාවය. ඉන්පසු ‘පැතුම, කඳුකරයේ දෝංකාරය’ වැනි නවකතා ඇය අතින් රචනා විය. වැඩිම නවකතා ප්‍රමාණයක් රචනා කළ දේශිය නිළිය විය යුත්තේ ද ඇයය.
සිනමා රංගනයෙන් නොනැවති ඇය පසුව චිත්‍රපට නිෂ්පාදනයටද අත ගැසුවාය. ‘දැසේ මල් පිපිලා’ ඇයගේ ප්‍රථම සිනමා නිෂ්පාදනයයි. පසුව කුලගෙය, තරණය වැනි චිත්‍රපට සඳහා නිෂ්පාදන දායකත්වය පිරිනැමිණ.
විවෘත ආර්ථිකයත් සමඟ පසුකාලිනව පැමිණි රුපවාහිනි මාධ්‍ය කලාවද ශ්‍රියාණි මැනවින් ඇසුරු කළාය. රංගන ශිල්පිනියක් වශයෙන් පමණක් නොව ටෙලි නාට්‍ය නිෂ්පාදිකාවක, අධ්යක්ෂවරියක වශයෙන් ඇය එම මාධ්‍ය තුළ ක්‍රියාකාරි වුවාය. මේ සියලු කාරණා මාධ්‍යයේ ඇයට ඉතාම වර්ණවත් පවුල් ජීවියක් විය. පවුලේ එකම දරුවා බැවින් සිය මවුපියන් මියයන තුරුම ඈ සෙවණේ තබා ගනිමින්, ආදරයෙන් රැකබලා ගත්තිය. දරු දෙදෙනෙකු ගේ මවක් ලෙසින් සිය යුතුකම් ඉටු කරමින් ඔවුන් ආවාහ විවාහ කරදි යහපත් දරුවන් ලෙස සමාජයට තිළිණ කළාය. මෙරට පුවත්පත් කලාවට, සිනමා ක්ෂේත්රයට සුවිශාල මෙහෙවරක් කළ පතාක යෝධයකු ගේ සෙවණේ වැඩුණු ඈ ඔහුට සෙනෙහෙබර බිරිඳක් වී අද දිනය වනතුරුද ඔහු සමඟ ඉතා ආදරයෙන් ජීවන මඟ බෙදා හදා ගන්නීය. මිත්තණියක ලෙසින්ද සිය යුතුකම් ඉටු කරමින් ජිවිතයේ ලැබිය හැකි සියලු තනතුරු ලැබුවාය.
ඉඳීන් ආපසු හැරි බලනු ….. මේ ජිවිතේ පුරා ඇය නොලැබූ ආදරයක් වේද?
ආදරණීය ශ්‍රියානි අක්කා….. ඔබට දිර්ඝායුෂ!
සේයාරූ – නිශ්ශංක විජේරත්න
හේමාලි විජේරත්න