Home » අවුරුදු 60 තිස්සේ තවමත් පෙම්වතිය මගේ බිරිඳයි

අවුරුදු 60 තිස්සේ තවමත් පෙම්වතිය මගේ බිරිඳයි

ප්‍රවීණ රූපණවේදී බුද්ධදාස විතානාරච්චි

by Thanushika
December 19, 2024 10:54 am 0 comment

භූ ගර්භ විද්‍යාඥවරයෙකු වන මහාචාර්ය පලිහවඩන සිය ආදරණීය බිරිය හා දරුවා සමඟ ඕස්ට්‍රේලියාවට යන්නේ, ඕස්ට්‍රේලියාවේ කුපර්බේඩි ප්‍රදේශයේ කැණීම් කටයුතු වෙනුවෙනි. එහෙත් නොසිතු මොහොතක සිදුවන රිය අනතුරක් නිසාවෙන් ඔහුගේ බිරිය මිය යන අතර, කුඩා පුතු අතුරුදන් වේ. ඒ වනවිට දරුවාට වයස අවුරුදු 7-8ක් පමණ වන අතර,කෙතරම් උත්සාහ කළද දරුවා සොයා ගැනීමට නොහැකි වේ. මේ නිසාම මහාචාර්ය පලිහවඩන නැවත ලංකාවට පැමිනෙණ අතර , ලංකාවේ ඉතාමත්ම හුදකලා දිවියක් ගත කරයි.

මෙම සිද්ධියෙන් පුරා වසර 25 ට පසු ඔහු නැවත ඕස්ට්‍රේලියාවේ කුපර්බේඩි බලා පිටත්ව යන්නේ අතුරුදන්වූ සිය ආදරණීය පුතණුවන් පිළිබඳ යම් හෝඩුවාවක් හෝ දැන ගැනීමේ අටියෙනි.මේ ගමනේදි ඔහුට මුහුන දෙන්නට සිදුවන්නේ නොසිතු විරූ අහඹු සිද්ධීන් රාශියකටය.

මේ අහඹු සිදුවිම් දැන් අපට කියන්නේ මහාචාර්ය පලිහවඩනය.ඔහු ඕස්ට්‍රේලියාවේ සිට නැවත ලංකාව බලා පැමිණියේ ඉතාමත්ම වැදගත් රාජකාරියක් ඉටුකිරිම වෙනුවෙනි. මහාචාර්ය පලිහවඩන අපට හමුවනුයේ තව නොබෝ කලකින් අපට දැක ගත හැකි , ෂැඩෝ ‘ සිනමා පටයෙනි. සම්පූර්ණයෙන් ඕස්ට්‍රේලියාවේ රූපගත කරන ලද මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වනුයේ ඕස්ට්‍රේලියාවේ වාසය කරන චාලක ජයසිංහය. එහි ප්‍රධාන භූමිකාව වන මහාචාර්ය පලිහවඩනගේ චරිතය නිරුපණය කරනුයේ මෙරට කෘතහස්ත රූපණවේදියකු වන බුද්ධදාස විතානාරච්චිය.

මහාචාර්ය පලිහවඩන පිළිබඳ අපට පැවසුවේ බුද්ධදාස විතානාරච්චිය. වර්තමානයේ ඔහු , පදිංචිය සඳහා ඕස්ට්‍රේලියාව තෝරාගෙන තිබුණද පසුගිය කාලයේ ලංකාවට පැමිණියේ මෙරට දේහපාලන ක්ෂේත්‍රෙය් කිසියම් වෙනසක්, පෙරළියක් බලාපොරොත්තුවෙන් පැවති නව දේශපාලනක සංස්කෘතියක් ඇති කිරීමේ කාර්ය භාරයට තමන් විසින් ඉටුවිය යුතු යුතුකම් කොටස සිදුකිරිමටය. මේ අතරවාරයේ අපි අපේ කතා බහ සිනමාව, කලාව හා රුපණවේදය කෙරෙහි යොමුකරලුයේ පුරා දශක ගණනාවක් ඔහු විසින් මෙරට ප්‍රේක්ෂක සමූහයා ඉදිරියේ ප්‍රකට කරන ලද ප්‍රතිභා සම්පන්න රංග කාර්යය අපට කිසිසේත් අමතක කළ නොහැකි බැවිනි.

අපි අපේ කතා බහ ඔබ ඕස්ට්‍රේලියාවේදි සම්බන්ධ වූ නවතම චිත්‍රපටය වූ ‘ෂැඩෝ’ වලින්ම ආරම්භ කරමු.

ඇත්තටම පසුගිය අවුරුද්දේ අන්තිම කාලයේ වගේ තමයි මට මේ චිත්‍රපටයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ.චිත්‍රපටයේ නම ‘ෂැඩෝ’. මේ චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව වෙන්නේ භූ ගර්භ විද්‍යාඥයකු වන මහාචාර්ය පලිහවඩනගේ චරිතය. ඔහු ලංකාවේ භූ ගර්භ විද්‍යා මහාචාර්යවරයෙක්. තම තරුණ බිරිඳත් සමඟ ඔහු ඕස්ට්‍රේලියාවේ කුපර්බේඩි ප්‍රදේශයට යන්නේ එහි කැණීම් කටයුතු සඳහා සම්බන්ධ වෙන්න. ලෝකයේ අතිශයින්ම ප්‍රසිද්ධ ඕපල් කියන මැණික් වර්ගය, අපි කියන්නේ චන්ද්‍රනාන්ත මාණික්‍ය ලැබෙන පතල් පිහිටලා තිබෙන්නේ මේ ප්‍රදේශයේ තමයි. මෙහි වැඩ කරගෙන ඉන්න අතරතුර තමයි රිය අනතුරකින් ඔහුගේ තරුණ බිරිඳ මිය යන්නේ සහ කුඩා දරුවා අතුරුදන් වන්නේ. ඒ වනවිට දරුවාට අවුරුදු 7-8ක් විතර ඇති. මේ අනතුරින් පසිසේ මහාචාර්ය පලිහවඩන ආපහු ලංකාවට එනවා. අවුරුදු 25ට පස්සේ ඔහු ආයෙත් ඕස්ට්‍රේලියාවට එන්නේ දරුවා පිළිබඳ හෝඩුවාවක් තිබේදැයි බලන්න. ඒ ආපු අවස්ථාවේ මුහුණ දෙන්නට සිද්ධවෙන සිදුවීම් මාලාවක් තමයි ‘ෂැඩෝ’ චිත්‍රපටයට පසුබිම් වෙන්නේ. මහාචාර්ය පලිහවඩනගේ තරුණ අවදිය සහ මහව අවධිය යන දෙකම මම නිරුපණය කරන අතර මගේ බිරිඳ සහ මගේ පුතුගේ පෙම්වතිය යන චරිත ද්විත්වයම නයනතාරා වික්‍රමආරච්චි නිරූපණය කරනවා.

අවධි දෙකකින් යුත් මෙම චරිතය නිරූපණයේදී ඔබ මුහුණ දුන් සුවිශේෂතා මොනවාද?

මහාචාර්යවරයාගේ තරුණ විය හා වයෝවෘද කාලය යන දෙකම නිරූපණය කරන්නේ මම. මම දැනටත් ඕස්ට්‍රෙලියාවේ ජිවත්වන නිසා මට මේ චරිතය ආගන්තුක බවක් දැනුණේ නෑ. පරිසරය, ගස් කොළන්, කාලගුණය, මේ හැම දෙයක්ම මට හුරු පුරුදුයි. මම ලංකාවේ ඉඳලා එක පාරටම ගියා නොවෙයිනේ. මේ චිත්‍රපටයේ රූ ගත කිරීම් තිබුණේ ඔස්ට්‍රේලියාවේ කුපර්බේඩි කියන ප්‍රදේශයේ. බොහෝ විට ඕස්ට්‍රෙලියාවේ වෙසෙන අයවලුන් පවා මේ ප්‍රදේශයට යන එන එක දුර්ලබයි. මේ ප්‍රදේශය කාන්තාර ප්‍රදේශයක්. වැලි කාන්තාර නොවෙයි. තෘණ කාන්තාර. වෙන ගහකොළ කිසිවක් නෑ. ඒ නිසා පොළොව යට හාරලා තමයි ගෙවල් හදලා තියෙන්නේ මේ ප්‍රදේශයේ තමයි චන්ද්‍රකාන්ත මාණිකය හමුවන පතල් තිබෙන්නේ. මෙල්බර්න් වැනි නගරයක සිට කිලෝ මීටර් පන්දාහක් වැනි දුර ගමනකින් තමයි මේ ප්‍රදේශයට යන්න තිබෙන්නේ ඉතින් මට මේ ගමන ලොකු අත්දැකිමක් වුණා.

චිත්‍රපටයේ තිර නාටකය සහ අධ්‍යක්ෂණය ඔස්ට්‍රේලියාවේම වාසය කරන කෙනෙකුගේ නේද?

ඔව්. චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ චාලක ජයසිංහ. ඔහු ලංකාවෙන් ගොස් ඔස්ට්‍රේලියාවේ පදිංචි වූ කෙනෙක්. කලාවට බොහොම හිතැති කෙනෙක්. චිත්‍රපටයේ තිරනාටකය ඔහුගේ සහ ධම්මික පීරිස් ගේ. චිත්‍රපටය සඳහා ලංකාවෙන් කීප දෙනෙක්ම සහභාගි වුණා. මම ලංකාවෙන් ගියාට පස්සේ එහිදී දැන හඳුනාගෙන තමයි මට මේ චිත්‍රපටයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ. මේ චිත්‍රපටයේ නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය චාලක ජයසිංහගේ. සහාය අධ්‍යක්ෂණය ප්‍රදීප් මානවඩු, කැමරා අධ්‍යක්ෂණය මංජුල සූරියආරච්චි. නිෂ්පාදන විධායක ශානිකා ජයසිංහ. චරිත නිරූපණයෙන් මමත් සමඟ නයනතාරා වික්‍රමආරච්චි, චන්දු ජයසිංහ, විජිතා හිදුරංගල, හරින්ත ප්‍රනාන්දු, ආදින් ඒකතු වුණා.

ඔබ ලංකාවේ පදිංචිය අතහැරියේ ඇයි?

ඇත්තටම මම ලංකාවෙන් ගියේ මගේ පෞද්ගලික ජීවිතයේ හේතුකාරණා මත. මගේ දරුවෝ පදිංචි වෙලා ඉන්නේ විදේශ ගතව. ඒ අයගේ මුනුපුරු මිනිබිරියෝ හය දෙනෙකුත් මට ඉන්නවා. ඔවුන් සියලු දෙනා ඒහේ රැකියා කරමින් ජීවත්වෙනවා. දරුවෝ එහේ අධ්‍යාපනය ලබනවා. ඉතින් පසුගිය වසර හතරකට ආසන්න කාලයක් මම ලංකාවේ තනියම වෙසෙමින් විවිධ කලා කටයුතුවලටත් සම්බන්ධ වුණා.නමුත් මෙහේ මම තනියම ගෙවන ජිවිතේට මගේ දරුවෝ බිරිඳ කැමති නෑ. ඔවුන් කැමති අපි හැමදෙනාම ඒකට ජිවත් වෙන්න. ඒ් නිසා මම තීරණය කළා මමත් එහෙටම යනවා කියලා. ඒ් අනුව මම ඔවුන් ළඟ පදිංචියට ගියා. ඇත්තටම පවුලේ අයගේ ආදරය සමඟ ජිවත්වෙන ඒක තුළ පුදුම මිහිරියාවක් තිබෙනවා. ඒ් මිහිරියාව දැන් මම අත්විඳිනවා.

කලාවෙන් සහ ලංකාවෙන් ඈත්වීම ඔබට කනගාටුවට කරුණක් වුණේ නැතිද?

මට තෝරා ගැනීමක් කරන්න සිද්ධ වුණා. මගේ රූපණ කලාව මගේ ජිවිතය වගේ තමයි. ඒ්ක මම බොහොම ආදරයෙන් දේවත්වයෙන් කරපු දෙයක්. නමුත් මගේ පෞද්ගලික ජීවිතේ. දරුවෝ. බිරිඳ. මුනුපුරු මිනිබිරියන් එක්ක ගත කරන ජීවිතේට මට ඊට වැඩිය මුල්තැන දෙන්න සිද්ධ වුණා. මගේ ජීවිතේ තනියම ගත කරනවා කියන්නේ ඒකේ ඇති අර්ථයක් නෑ. මිනිසෙකුට, ගැහැනියකට හෝ කවර හෝ පුද්ගලයෙකුට මානව සබඳතා, ආදරය, දයාව, ළෙන්ගතුකම වැනි දේවල් අතිශයින්ම වැදගත්. ඒ කිසි දෙයක් මුදල් හදල් තිබුණට ගන්න බෑ. ඒ් නිසා නළුවෙක්, රූපණවේදියෙක් විදියට මට රටම ආදරය කළත් මා සතු පෞද්ගලික මානව සබදතා වෙනුවෙන් මම ඊට වඩා සංවේදි වෙනවා.

මේ පාර ඔබ ලංකාවට ආවේ කලා කටයුත්තක් වෙනුවෙන්ද?

මම ආවේ අපේ රටට බොහෝ වැදගත් කාරණාවක් වෙනුවෙන් මගෙන් ලැබිය යුතු දායකත්වය පිරිනමන්න. ජීවිතේ පුරාම අපි අපේක්ෂා කරපු, අපි දැකපු සිහිනයක් සැබෑ කර ගැනීමට උදව්වෙන්නයි ආවේ. මේ රටේ සමාජ, ආර්ථික, දේශපාලන, සංස්කෘතික සියලු අංශයන්ගේ වෙනසක් අපි ප්‍රාර්ථනා කළා. ඒ ප්‍රාර්ථනාව දැන් මල්ඵල ගැන්විලා තිබෙනවා. ඒ වෙනුවෙන් කැපවෙන්නයි ආවේ. පසුගිය මැතිවරණ දෙක වෙනුවෙන්ම ඒ වෙනුවෙන් මම රට පුරා ගියා. වැදගත් මතවාද ප්‍රාශ කළා. ඒ සියලු දේ කළේ කිසිදු දේශපාලන වාසියක්, තනතුරක් බලාපොරොත්තුව නොවෙයි.නිලතල ලාභ ගනීම, දේශපාලන වාසි ගැනීම, පුද්ගලික වරප්‍රසාද, වරදාන ගැනීම් එතැන තිබුණේ නෑ.මේ රට වෙනුවෙන් රට වෙනත් දිශානතියකට යොමු කිරීමේ බලාපොරොත්තුවෙන් කරපු දේවල් ඒවා. ඒක දැන් ඉෂ්ට සිද්ධ වෙලා තියනවා.

1970 දශකයේ ඉඳලා අවුරුදු 50ක් තිස්සේ අපි මේ වෙනුවෙන් මහන්සි වුණා. අපි සටන් කළා. විවිධ අවස්ථාවල සිරගත වුණා.අපි පරාජය වුණා. යළි යළි නැඟී සිටියා. අපේ දේශපාලන අරමුණ මේ රටේසමාජ, ආර්ථික, දේශපාලන ක්‍රමය වෙනස් කරමින් දියුණු සමාජ ආර්ථික ක්‍රමයක් මේ රටේ නිර්මාණය කරන එක.

මේ දීර්ඝ කාලීන වෙහෙස මහන්සියේ ප්‍රතිඵලය දැන් ඔබට නිරාමිස ප්‍රීතියක් ගෙන දෙනවා ඇති නේද?

ඇත්තටම ලොකු සතුටක් තිබෙනවා. ඒ සාර්ථක කර ගත්තේ අපි අති විශාල කැපවීම් ටිකක් කරලා ප්‍රතිවිරුද්ධ මත මර්දනය කිරීම්වලට අපි ලක්වුණා. සමහර අවස්ථාවල අපි සිරගත කිරීම් වලට ලක්වුණා නමුත් මේ වනවිට බලය සියල්ලම අපේ පැත්තට හැරිලා තිබෙනවා. වසර ගණනක් ගිහිල්ලා වුණත් ජනතාව දැන් රාජ්‍ය බලය දීල තිබෙනවා. පාර්ලිමේන්තුවේ 155ක බලයක් කියන්නේ පහසු වැඩක් නොවේ. උතුර දකුණ ජනවර්ග භේදයක් නොමැතිව මේ බලය අනුමත කරල තිබෙනවා. මේ ලංකා සමාජය ආර්ථික දේශපාලන පසුබිම තුළ අපි ජීවත් වෙලා තිබෙනවා අපි ඒක හොඳීන් හඳුනාගෙන හිටියා. විවිධ ප්‍රධානීන් සමඟ වැඩ කරලා තිබෙනවා. රටේ තත්ත්වය අධ්‍යයනය කරලා තිබෙනවා. මේ වසර ගණන පුරාම හැම දෙයක් පිළිබඳවම ස්වේච්ඡාවෙන් නිස්සරණ අධ්‍යාශයෙන් ලාභ පාඩු නොතකා කැපකිරීම් කළ යුතු තැන්වල කැප කිරීම් කර විඳගෙන තිබෙනවා අපි බලාපොරොත්තු වුණේ රට සහ රටට යහපත් අනාගතයක්. පුද්ගලික දියුණුවක් නොවේ. අද වන විට මට සතුටු වෙන්න පුළුවන් මගේ ජීවිත කාලය තුළම ජනතා අනුමැතිය ඇතිව ඒ දේ ලැබීම පිළිබඳ.

ලාංකේය ටෙලි නාට්‍ය කලාවේ ඔබ සුවිශේෂී අනන්‍යතාවයක් ගොඩනගා ගත් රූපණවේදියෙක් ඉදිරියේදී අපිට ඔබව දකින්න නැති වෙයිද?

මම කලින් කරපු ටෙලි නාට්‍ය කිහිපයක්ම ඉදිරියේදී විකාශය වීමට නියමිතව තිබෙනවා. අලුත් පාලනය යටතේ යම් යම් වෙනස්වීම් සිදුවෙමින් හොඳ ටෙලි නාට්‍ය කලාවක් බිහිවේවි කියලා අපි හිතනවා. නමුත් ටෙලි නාට්‍ය කෙරෙහි මගේ වැඩි උනන්දුවක් නෑ. සිනමා මාධ්‍යය කියන්නේ ඊට වඩා ප්‍රබල මාධ්‍යයක්. ලෝකේ කොහේ හිටියත් හොඳ නිර්මාණයකට සම්බන්ධ වෙන්න වුණොත් ඒකට මමපසු බසින එකක් නෑ. ජයන්ත චන්ද්‍රසිරිගේ දඬු බස්නා මානය වගේ ටෙලි නාට්‍යයක් පරම්පරා ගණනාවක් ගිහින් වුණත් අදටත් මිනිස්සු නරඹනවා. ඇත්තටම ඒවා සර්වකාලීන වටිනාකමක් ඇති නිර්මාණ.

ඔබ ජීවිතයේ සැඳෑ සමය ගත කරන අයෙක් ජීවිතය දිහා ආපසට හැරිලා බලද්දි මොකද හිතෙන්නේ?

මම ජීවිතයේ සැදෑ සමය ගතකරනවා කියලා මට හිතෙන්නෙ නෑ. මගේ ජීවිතයේ සැඳෑ සමයක් නෑ. මට තියෙන්නේ ජීවිතේ උදෑසනක් විතරයි. හැම දවසක්ම මට උදෑසනක්. හැම දවසේම මම ජීවිතේට ආරම්භයක් ලබලා දෙනවා. මම හැම මොහොතේම ජීවිතය දිහා සුබවාදීව බලන කෙනෙක්. ජීවිතේ කියන්නේ සුන්දර අත්දැකීමක් මම පුද්ගලික ජීවිතය ලබන ආත්මයක් ගැන හිතන්නෙ නෑ. බුදු දහම අනාත්මවාදී. මම බෞද්ධයෙක් නිසා බුදු දහමට අනුව ආත්මය ගැන හිතන්නෙ නෑ. මම ඉපදුණේ 1947 ජූනි 30 වෙනිදා. දැන් මට අවුරුදු හැත්තෑ හතක් වයසයි. කාලය විසින් ළදරු විය ළමා විය ළමාවිය යොවුන් විය තරුණ විය ගෙවලා දැන් පරිණත අවධියට පත්වෙලා තිබෙනවා. ලෝකයේ වෙනත් රටවල්වල නම් අපි හඳුන්වන්නේ ජ්‍යේෂ්ඨයෝ කියලා. දැන් අපි අවුරුදු හැත්තෑව අසූව කියල ජීවිතය අත්හැරිය යුතු නෑ. ජීවිතයේ අත්හරින්න ඕනත් නෑ. මත්පැන් මත්ද්‍රව්‍ය වනී දේවල් ජීවිතයෙන් අත්හැරියට කමක් නෑ. තණ්හාව ලෝභකම ද්වේශය මෝහය වැනි දේ අත්හැරියට කමකුත් නෑ. නමුත් ජීවිතයේ අත්හැරිය යුතු නෑ. මේ අවුරුදු හැත්තෑ හතට මම ජීවිතේ ඒ ඒ අවදි විඳලා තිබෙනවා. ඉතින් ආපස්සට හැරිලා බලනකොට මට මගේ ජීවිතේ ගැන තෘප්තිමත් වෙන්න පුළුවන්. මගේ පළමු පෙම්වතිය මගේ බිරිඳ වුණා. දුක සැප හැමදේම දරාගෙන ජීවිතයට මුහුණ දීලා මගේ පළමු පෙම්වතිය මගේ බිරිඳ වුණා. අවුරුදු හැටක් තිස්සේ තාමත් මගේ පෙම්වතිය ඇය හැමදාම ආදරේ අලුත් වෙනවා. ආදරේ වියපත් වෙන්නේ නෑ. ජීවිතයේ අවුරුදු සීයක් කියලා ගත්තොත් මුල් අවුරුදු විස්ස අපි අපේ දෙමව්පියෝන්ගෙන් යැපෙන අය ඔවුන්ට වුවමනා විදියට තමයි ජීවත් වෙන්නේ. ඊට පස්සේ අවුරුදු අසූවෙන් පෙර පස්සේ තමයි අපි අපිට ඕන ආකාරයට ජීවත් වෙන්නේ. ඊට පස්සේ ජීවත් වනතුරු ඉන්නේ එක්කෝ දරුවෝ සමඟ ඔවුන්ට ඕන ආකාරයට එහෙමත් නැත්නම් විදේශයක ජීවත් වෙනවනම් රජයට රජය මඟින් රජයට ඕන ආකාරයට ඉන්න සිද්ධ වෙනවා. ඒ අනුව බලනකොට අවුරුදු හැටක විතර කාලයක් තමයි අපිට ඕන ආකාරයට ජීවත් වෙන්නේ.

ඔබේ ජීවන අත්දැකීම් හරි විශාලයි. මතු පරපරක් වෙනුවෙන් ඒවා ලියා තබන්නට අදහසක් නැතිද?

ඔබේ ප්‍රශ්නයට පිළිතුරු මේ දවස්වල මම ලියමින් ඉන්නවා. ගෙවුණු වසර ගණනාව පුරා මාත් සමඟ ගෙවුණු මේ රටේ සමාජ ආර්ථික දේශපාලන සංස්කෘතික විපර්යාසයන් ඒ හරහා මා ලැබූ අත්දැකීම් අලුත් පරම්පරාවකගේ දැන ගැනීම පිණිස මගේ අත්දැකීම ඔස්සේ මේ දිනවල මම ලියමින් පවතිනවා. ජීවිතය කියන්නේ සුන්දර අත්දැකීමක් ඒක සුන්දර වන්නේ ජීවිතය තේරුම් ගත්තම ජීවත් වෙන්නේ කුමක් සඳහාද කියලා හරියට තේරුම් ගතහොත් ඒ ඛේදවාචකයක් කර නොගෙන එහි ආස්වාදය වින්දනය කරමින් ජීවත්විය හැකියි.

 

[email protected]

හේමාලි විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT