එදා රූප පෙට්ටියේ රූප මැවෙන ආකාරය දෙස මිනිසුන් දෑස් යොමා බලා සිටියේ මායා ලෝකයක අතරමං වූවා සේය. එහෙත් වර්තමානය ඊට හාත්පසින්ම වෙනස් ය. එදා මැජික් පෙට්ටියක් බඳු වූ රූපවාහිනිය යන්ත්‍රය දැන් සාමාන්‍ය භාණ්ඩයක් වී හමාරය. විසි හතර පැයේම නරඹන්නට දෑ එහි ඇත. රූපවාහිනි නාලිකාද බහුලය. එදා රූපවාහිනී යන්ත්‍රය අසලට ගොස් නාලිකාව තෝරා ගන්නවා වෙනුවට අද තම අසුනේ සිටම ඇඟිලි තුඩු මඟින් තමන්ට කැමති නාලිකාව තෝරා ගෙන රිසි රිසි දෑ තමන්ට නැරඹීමට අවස්ථාව සැලසා ගත හැක.
අද රූපවාහිනී නාලිකාවල දිගහැරෙන නාටක බහුලය. කාගේත් සුපුරුදු වචනය ටෙලි ඩ්‍රාමාය. විවිධ මාතෘකා ඔස්සේ මැවෙන කතා බහුලය. සවස හයේ සිට මධ්‍යම රාත්‍රිය දක්වා ටෙලි තිරයේ මැවෙන කතා විවිධාකාරය. ඒ අතරතුර සුලබව ඇත්තේ මෙගා ටෙලි නාට්‍ය රැල්ලය. ඒවාහි බොහෝ විට අඩංගු වී ඇත්තේ පවුලේ කතා සහ ආදර කතාය. ඉඳහිට වෙනස් මඟක් ගත් ටෙලි නාට්‍ය විකාශය වන අවස්ථා අපට දැකගත හැකිවේ. එවැනි වෙනස් තේමාවකට නිර්මාණය වූ අලුත්ම තාලයේ ටෙලි නාට්‍යයක් පිළිබඳ ප්‍රේක්ෂකයන් දැනුම්වත් කිරීමට එහි අධ්‍යක්ෂකවරයා සහ අර්ථපති පසුගිය දිනෙක සරසවිය හමුවට පැමිණියහ. එම නවතම ටෙලිනාට්‍යයේ නමද තරමක වෙනස් හැඩයක් ගෙන ඇත. මෙම සැප්තැම්බර්යේ දෙරණ නාලිකාව ඔස්සේ විකාශය වීමට නියමිත මෙම ටෙලි නාට්‍යයේ නම ‘ 4 ක්’. පළමුවෙන් ‘ 4ක්’ පිළිබඳ කතාබහ කිරීමට සරසවිය සමඟ එක්වූයේ එහි අධ්‍යක්ෂවරයා වන සුරේන් ධනංජය රාජපක්ෂයි.
මාව මුලින්ම කලා ක්ෂේත්‍රයට හඳුන්වා දුන්නේ වසන්ත මොරගොඩ. ඔහු මගේ මාමා. මුලින්ම මම කලා අධ්‍යක්ෂකවරයෙක් විදිහට වැඩකළා. පසුව සහය අධ්‍යක්ෂකවරයෙක් ලෙස සිරස නාලිකාවට සම්බන්ධ වුණා. ඒ විදිහට කටයුතු කරගෙන යන අතරේ දෙරණ නාලිකාවේ ටෙලි ෆිල්ම්ස් අධ්‍යක්ෂණය කරන්න අවස්ථාව සැලසුණා. මම ‘ හදවතේ කතාව’ කියන මෙගා නට්‍යය අධ්‍යක්ෂණය කළා. මට ඒ අවස්ථාව හිමිවුණේ එහි කොටස් සියයක් විකාශය වීමෙන් පසුවයි. එහෙත් මා ටික කාලයකට ඒ කටයුතු වලින් ඈත්වුණා. මම කරපු ඇතැම් වැඩවලට මට ලැබිය යුතු මුදල් නොලැබීම නිසා. මම ටෙලිනාට්‍ය වලට සම්බන්ධ වුවත් සිනමාවටත් දායකත්වය සපයා තිබෙනවා. ඒ මවුස් චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂකවරයා ලෙස.
ටික කලක් නිහඬව සිට නැවතත් මම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කිරීමේ කටයුතුවල නිරත වුණා. ඒ ශමාල් ඩිල්ෂාන්ගේ ආරාධනාවක් නිසා. ඔහු නිෂ්පාදනය කළ අලුත්ම ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂකවරයා ලෙස කයයුතු කිරීමට මට අවස්ථාව හිම්වුණා. එහි නම ‘4ක්’ අමුතුම විදිහේ වැඩක්. ළඟදීම ‘ 4ක් ‘ විකාශය වෙනවා. හැමදාමත් ප්‍රේක්ෂකයන්ට නරඹන්න ලැබෙන්නේ එකම වට්ටෝරුවක ටෙලි නාට්‍ය. ඒත් ‘4ක්’ ඊට හාත්පසින්ම වෙනස්. මෙහි ඉන්නේ ප්‍රධාන පිරිමි චරිත හතරක්. ඔවුන් හතර දෙනාට මුහුණ පාන්නට සිදුවන අකරතැබ්බයන් පිළිබඳ කියවෙන කතාවක් තමයි ‘ 4ක්’ ටෙලි නාට්‍යයෙන් කියවෙන්නේ. මේ තරුණයන් හතර දෙනාගෙන් එක් අයෙකු පිරමිඩ වංචාවකට හසු වෙනවා. තව කෙනෙකුට එයාගේ බැංකු ගිණුමේ ප්‍රශ්නයක්. තුන් වෙනියා යාළුවෙක්ට ණයට සල්ලි දීලා. හතර වෙනියා හොර ඒජන්සි එකකට හසු වෙලා. මේ හතර දෙනාම මේ සිද්ධීන් නිසා එකම තැනකදී හමුවෙනවා. මේ අය එකිනෙකා හඳුනන්නේ නැහැ. ඒ හමු වෙන්නේ කොහොමද, කොතැනකදිද කියා දැන ගන්න නම් ‘4ක්’ බලන්න වෙනවා. සම්පූර්ණ කතාවම සඳහන් කළොත් එහි අගය සහ රසය නැති වෙනවා. ඒ නිසා ළඟදීම ‘4ක්’ ටෙලි තිරයෙන් දැක බලා ගන්න පුළුවන්. මෙය කුතුහලයෙන් පිරි සිද්ධීන් ගණනාවකින් යුත් කතාවක්. මෙගා නාට්‍ය මාලාවකුත් නෙවෙයි. කොටස් තිහකට පමණ සීමා වූවක්.
මෙහි ඉෂාර මධුෂාන්, දනූ ඉන්නසිතම්බි, වසන්ත මුහන්දිරම්, ආකාශ් බුද්ධි, අවිශ්කා උමයංගි, ප්‍රමෝද් ගනේආරච්චි, හර්ෂණී දිසනායක, තාරා කළුආරච්චි, චමින්ද බටකොටුව, ප්‍රියන්ත විජේකෝන් ඇතුළු නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වුණා. ‘4ක්’ ටෙලි නාට්‍යයේ රූගත කිරීම් සිදුකළේ කොළඹ සහ කිරිඳීවැල. ප්‍රධාන වශයෙන් රූගත කිරීම් සිදුවුණේ කොළඹ මාළිගාවත්ත ප්‍රදේශයේ.
මා මුලින් සඳහන් කළා අධ්‍යක්ෂණයෙන් ඈත් වී සිටිබව. අපි යහපත් අරමුණින් වැඩ කරන්නේ. එහෙත් ඇතැම් උදවියගේ වංචාකාරී ක්‍රියා නිසා ක්ෂේත්‍රයේ රැඳී සිටින්නට සිතුණේ නැහැ. කලා ලෝකයේ සිදුවන අකටයුතුකම් වලට සහනයක් සලස්වන්න නිසි ක්‍රමවේදයක් සකස් වෙලා නැහැ. ඒ පිළිබඳ කනගාටුවක් තිබෙනවා. කලාව කියන්නේ උතුම් දෙයක්. කලාකරුවන්ට වටිනාකමක් දිය යුතුයි. එහෙත් ඇතැම් රූපවාහිනී නාලිකාවලින් අපට ලැබිය යුතු මුදලවත් ලැබෙන්නේ නැහැ. බොහෝ නාලිකා රඳා පවතින්නේ ටෙලි නාට්‍ය නිසා. ඒ නිසා ටෙලි නාට්‍යකරුවන්ට ආරක්ෂා කරගන්න ඔවුන් උනන්දු විය යුතුයි.
මට ‘ 4ක්’ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය සඳහා කතා කළේ ශමාල් අයියා. ඔහු මා හමුවී කිව්වා දෙරණ වෙනුවෙන් වැඩක් කළ යුතුයි කියලා. ඒ අනුව තමයි මම මේ නාට්‍ය අධ්‍යක්ෂණය කිරීම සඳහා බාර ගත්තේ. ඔහු ක්ෂේත්‍රය තුළ නමක් දිනා ගත්ත කෙනෙක්. ඔහු තුළ වංචාව , බොරුව, රැවටීම , කේළාම්කීම් නැහැ. ඔහු මීට පෙරත් සාර්ථක නිර්මාණවලට නිෂ්පාදනයෙන් දායක වූ නිෂ්පාදකවරයෙක්. ඔහුත් සමඟ වැඩ කරන්න පහසුයි.
ඉදිරියේදී තවත් වැඩ කටයුතු කිහිපයක් කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමට කැමැත්තක් තිබෙනවා. ඒ ගැන මේ දිනවල සාකච්ඡා කරමින් ඉන්නේ.
කාලයකට පසු නැවතත් ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කිරීමට ලැබීම සතුටට කරුණක්. මම හිතනවා මෙම ටෙලි නාට්‍ය ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැලඳ ගනිවි කියලා.
‘4ක් ‘ නිෂ්පාදකවරයා වන ශමාල් ඩිල්ෂාන් අදහස් දක්වමින්
මම මින්පෙර අතිසාර්ථකව තිරගත වූ චිත්‍රපට තුනකුත් ජනප්‍රිය ටෙලි නාට්‍ය තුනකුත් නිෂ්පාදනය කර තිබෙනවා. ඩොක්ටර් නවරියන් , ෆේස් ටු ෆේස් සහ කොළඹ සන්නිය රිටන් චිත්‍රපටයත්, ලොක්කී , දියණී සහ ලොක්කිගේ කතාව යන ටෙලි නාට්‍ය තුන මම නිෂ්පාදනය කළා. අවුරුද්දක පමණ විරාමයක් අරගෙන තමයි මම නැවතත් ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කිරීමට යොමු වුණේ. ඒ අනුව තමයි ‘ 4ක් ‘ ටෙලි නාට්‍යය නිෂ්පාදනය කරන්න පෙළඹුණේ. මට අවශ්‍ය වුණේ දෙරණ නාලිකාව වෙනුවෙන් නිර්මාණයක් කරන්න. මම මින් පෙරත් දෙරණ සමඟ වැඩ කළා.මේ සඳහා මගේ මිත්‍ර සහන් අබේවර්ධනත් නිෂ්පාදනයෙන් දායක වුණා.
මම අධ්‍යක්ෂවරුන් කිහිපදෙනෙක් ගැන සොයා බැලුවා. මගේ යාළුවෙකුගේ මාර්ගයෙන් මට සුරේන්ව හමුවුණා. අපි මුලින්ම මේ ගැන කතාබහ කළා. මගේ අදහස මම ඔහුට පැහැදිලි කිරීමෙන් පසුව සුරේන් කැමැත්ත පළකළා ‘ 4ක්’ ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කරන්න. මෙය රචනා කළේ ආරියවංශ කුලතිලක සහ යෞවන සමීන්ද්‍ර රත්නායක. අපි ඔක්කොම එකට එකතු වෙලා පිටපත ලිවීමේදී සාකච්ඡා කළා. මෙය කොපියක් නෙවෙයි. අපේ ස්වතන්ත්‍ර නිර්මාණයක්. පිටපත ලිවීමෙන් පසු දෙරණ සභාපති ලක්සිරි වික්‍රමගේ මහතාගෙන් ඒ සඳහා අනුමැතිය ලැබුණා. ඉන්පසු අපි මූලික වැඩකටයුතු පටන් ගත්තා. මුලින්ම කළේ නළු නිළියන් තෝරා ගැනීම. ඒ අනුව අපි තීරණය කළා දෙරණ රියැලිටි වැඩසටහන්වලින් තේරී පත්වූ ශිල්පීන් යොදා ගන්න. මෙය විකාශය කරන්නෙත් දෙරණෙ නිසා.
අපි මේ කටයුත්ත පටන් ගත්තේ සත්භාවයෙන් . කිසිවෙකු රැවටීමට නොවෙයි. අපි මෙම ටෙලි නාට්‍යය නිර්මාණය කළේ දෙරණ නාලිකාවේම විකාශය කරන්න. එහෙත් අපිත් සමඟ හිතවත්ව සිටි පිරිසක් දෙරණ නාලිකාවේ සභාපතිතුමන්ට කියල තියෙනවා අපි මේක කරන්නේ දෙරණේ ශිල්පීන් අරගෙන ටෙලි නාට්‍යයක් කරල වෙනත් නාලිකාවකට දෙන්න කියලා. අපේ කරට අත දාගෙන අපිට එරෙහිව කේලම් කියන පිරිසක් ඉන්නවා. අපි ඒ කවුරුන්ද කියල හොඳීන් දන්නවා. අපේ හිත්වල පටු අදහස් නැහැ. පසුව අපි ලක්සිරි වික්‍රමගේ මහතා හමුවී සැබෑ තතු පැහැදිලි කළා. ඔහු අපිව විශ්වාස කළා. අපි අපේ ටෙලි නාට්‍යය සාර්ථකව නිම කළා. ඒ අනුව සැප්තැම්බර් මාසයේ සිට සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම රාත්‍රී නවයට විකාශය කරන්න අපට අනුමැතිය ලැබුණා.
‘4ක්’ ටෙලි නාට්‍යයට සම්බන්ධ වූ රංගන ශිල්පීන් සෑම දෙනාගෙන්ම අපිට හොඳ සහයක් ලැබුණා. මෙය මෙගා නාට්‍යයක් නෙවෙයි. අපි සාර්ථක නිර්මාණයක් කළා කියලා විශ්වාසය අප සිත්තුළ තිබෙනවා. නිෂ්පාදකවරයෙකු විදිහට දැනට වසර ගණනාවක සිට මම ටෙලි නාට්‍ය සහ සිනමා ක්ෂේත්‍රයේ ඉන්නවා. මා කිසිම කෙනෙකුට මූල්‍යමය වශයෙන් වංචාවක් සිදුකර නැහැ. ගෙවිය යුතු ශිල්පීය ගෙවීම් නියමිත වෙලාවට ගෙවා අවසන් කරනවා. වංචාවෙන් ඒ වගේම කේලම් කියමින් එකිනෙකා කොටවන පහත් ගතිපැවතුම් මා තුළ නැහැ. වංචාකරන , කේළම් කියන අයට පැවැත්මක් නැහැ. එසේ කරන අයට අපි දඬුවම් දියයුතුත් නැහැ. ඔවුන්ට ඉබේම දඬුවම් ලැබේවි. කලාව කියන්නේ කුමක්ද කියා බොහෝ අය දන්නේ නැහැ. නිර්මාණයක් කිරීමේදි කකුලෙන් අදිනවට වඩා සමූහිකව සමඟියෙන් වැඩ කළ යුතුයි.
මේ ටෙලිනාට්‍යය සඳහා මා සමඟ අත්වැල් බැඳගෙන සිටින මගේ සමීපතම මිතුරා සහන් අබේවර්ධන ගැන කතා කළ යුතුමයි. ඔහුත් මේ ටෙලිනාට්‍යය සඳහා නිෂ්පාදනයෙන් දායක වෙනවා. අපි මේ ක්ෂේත්‍රයට අවතීර්ණ වුණේ එකටමයි. සහන් මේ වනවිට ඉන්නේ නවසීලන්තයේ. දුරු රටක සිටියත් ඔහු මා සමඟ නිෂ්පාදන කටයුතු වෙනුවෙන් දායක වෙනවා. මට එය ලොකු ශක්තියක්. ඔහු මට තීරණගන්න උපරිම නිදහස ලබා දී තිබෙනවා. ‘4ක් ‘ ටෙලි නාට්‍යයට දායක වන රංගන ශිල්පීන් ගැනවත් ඔහු සොයා බැලුවේ නැහැ. එයට හේතුව අප දෙදෙනා අතර පවතින දැඩි විශ්වාසය සහ මිත්‍රත්වය. සහන් සහ මම මෙතෙක් කළ කිසිදු නිර්මාණයක් අසාර්ථක වුණෙත් නැහැ. ඔහු නවසීලන්තයේ සිටියත් අපේ නවතම නිෂ්පාදනය වන ‘ 4 ක් ‘ ටෙලි නාට්‍ය සඳහා ආශීර්වාදය එක් කරන බව මා හොඳීන් දන්නවා.
ඒ වගේම මෙම ටෙලිනාට්‍යය සඳහා රංගනයෙන් දායක වූ රංගන ශිල්පීන්, කැමරාකරණයෙන් මයුර කෞශල්‍යටත්, වේශ නිරූපණයෙන් සහය වූ උභය දිසානායක සහ කාර්මික ශිල්පීන් සියලු දෙනාටත් නන් අයුරින් සහය දුන් සැමටත් ස්තුතියි කියන්න මා මෙය අවස්ථාවක් කර ගන්නවා.
ළඟදීම ‘4ක්’ එක්ක අපි එනවා පුංචි තිරයට ඔබව හමුවන්න.
නයනාංජලි දෙහිපිටිය
